Monday, December 2, 2013

ජේත්තුකාර රස්තියාදුව
මේ ලෝකේ ඉන්න බොහෝ දෙනකු වගේම රස්තියාදුකාරයාත් ආදර කතාවලට සංවේදියි. මේ වතාවෙ එයා කියවපු ටිකක් වෙනස් ආකාරයක ආදර කතාවක් ඔයාලා එක්ක බෙදා ගන්නම්. මේ කතාව හමු වන්නේ චූලානන්ද සමරනායක පරිවර්තනය කරපු දිවාලෝකය නම් සෝවියට් - රුසියානු කෙටි කතා සංග්‍රහයේ. කතාවේ නම ‘මෝඩයා’. රචකයා අපට වැඩිය හුරුපුරුදු කෙනෙක් නෙවෙයි. ලියොනිද් පර්වොමයිස්කි කියලා කෙනෙක්. ඉතින් අපි හැමෝගෙම පහසුවට මේ කෙටි කතාව තවදුරටත් කෙටි කරලා කියන්නම්.

හැමෝම පල්ම පල් මෝඩයන් ලෙස හඳුන්වපු මේ කකුලක් ආබාධිත තරුණයාගේ නම මිකෝලා. පාසලේ දක්ෂම ශිෂ්‍යයා වුණු ඔහුගේ පසු කාලීන වෘත්තිය වුණේ  සිනමා යන්ත්‍ර ක්‍රියා කරවීම. මිකෝලා පාසලේ දහවැනි පන්තියේ ඉන්න කාලේ ඔවුන්ට සමූහ ගොවි පොළක අස්වැන්න නෙළීමට උදව් වෙන්න යන්න සිදු වුණා. ආබාධිත කකුල නිසා මිකෝලාට නොයා සිටීමට හැකි වුණත් ඔහු සිය කැමැත්තෙන්ම මේ ගමනට එක් වුණා. තමන්ගේ රටට හැකි උපරිම විදියට සේවය කරන පරමාර්ථයක හිටපු මිකෝලා සිය ශක්ති ප්‍රමාණයටත් වඩා වෙහෙසුණා.

ඒකෙ ප්‍රතිඵලයක් විදියට ඔහුට සහලෝලා උණ ගැනුණා. මේ කාලයේ ඔහුව රැක බලා ගත්තේ අසල පාසලේ ගණිත ගුරුවරිය වුණු ගායිනා කොන්ස්තන්තිනෝවා ඇය සිය සැමියාගෙන් වෙන්ව ජීවත් වුණු දෙදරු මවක්. මිකෝලාට වඩා ඇය දස වසක් වැඩිමල්. ඉතින් මේ මිකෝලා ගැටවරයා ගායිනාට ආදරය කරන්න පටන් ගත්තා. ඒ නිසා පාසලෙන් ඔහුට ලැබෙන්නට තිබුණු දක්ෂම ශිෂ්‍යයාට ලැබෙන රන් පදක්කම පවා ඔහුට අහිමි වුණා.

දිස්ත්‍රික් කමිටු සභාපති, විදුහල්පති ඇතුළු දන්නා හඳුනන හැමෝගේම අවමානයට ලක්වන්නට මිකෝලාට සිදුවුණා. මේ අවධියේ ගායිනාගේ දියණිය මෙනිංජයිටිස් රෝගයෙන් මන්ද බුද්ධිකභාවයට පත් වුණා. ඇය යථා තත්ත්වයට ගෙන ඒමට සමත් වුණේ මිකෝලාගේ උත්සාහයෙන්. අන්තිමේදී මිකෝලා, ගායිනාව විවාහ කර ගත්තා. ඇගේ පැරැණි සැමියාට ස්තුති කරන්නට ඔහු අමතක කළේ නෑ. එතැනින් නොනැවතුණු මිකාලෝ ගායිනාගේ නැන්දණිය, ඒ කියන්නේ ඇගේ පැරැණි සැමියාගේ කුඩම්මාට පවා සරණ වුණා. වැදගත්ම දේ ගායිනා මිකාලෝ සමඟ ආදරයෙන් ජීවත් වුණු එක.

ඉතින් ඔබ කියන්නේ මිකාලෝ මෝඩයෙක්ද? මේ කතාව කියන්නේ මිකෝලාගේ පාසල් මිතුරකු වන රියැදුරෙක්. ඔහුට අනුව මිකෝලා කරන්නෙම මෝඩ වැඩ. සමූහ ගොවිපොළේ වැඩවලින් ලේසියෙන්ම කර අරින්න තිබුණු මිකෝලා එහෙම කරන්නේ නෑ. ඒ මදිවට දරු දෙදෙනකුගේ මවකට ආදරය කරනවා. ඇගෙන් කායික අවශ්‍යතා ඉටුකර ගෙන ඇයව මඟ හරින්නෙත් නෑ. ඒ මදිවට ඇගේ දියණියගේ අසනීපය වෙනුවෙන් දැඩි කැපකිරීමක් කරනවා.

මිකෝලා පසුපස එන දිස්ත්‍රික් කමිටු සභාපතිගේ තරුණ දියණිය ලුද්මිලාව මිකෝලා මඟහරිනවා. මිකෝලා අතට එන වාසනාවට පයින් ගසන්නෙක් විදියටයි මේ රියැදුරු මිත්‍රයා දකින්නේ. මිකෝලා, ගායිනාව විවාහ කර ගත්තා මදිවට ඇගේ පැරැණි සැමියාගේ කුඩම්මාටත් සරණ වෙනවා. මේ හැමදේම රියැදුරා ඇතුළු මිකෝලා හඳුනන්නන් දකින්නේ පල්ම පල් මෝඩ වැඩ විදියට. එයාලගේ අර්ථයෙන් තමයි මිකෝලා ගේ කතාවට ‘මෝඩයා’ කියන අපහාසාත්මක නම ලබන්නේ.

මේ කතාවට පසුබිම් වෙන්නේ විප්ලවයෙන් පසු බිහිවුණු සමාජවාදී රුසියාවේ ප්‍රදේශයක්. සමූහ ගොවිපොළ පවත්වා ගෙන යන සැමට සමානාත්මක වුණු වටපිටාවක්. ඒත් මේ සමාජවාදී පසුබිමේ පවා අධිපති වන්නේ පුරුෂ මූලික චින්තනය. තරුණයකු ආවාහ විය යුත්තේ තරුණියකට මිස වියපත් ගැහැනියකුට නොවේ යන්න එහි එක් අදහසක්. ආදරය යන්න සීමා මායිම් රහිත පුළුල්ව පැතිරුණු සංකල්පයක් ලෙස ගන්නට සමාජවාදයෙන් ශික්ෂිත මිනිසුන්ට පවා නොහැකි වෙනවා.

යම් හෙයකින් මිකෝලා, ගායිනාව කාලයක් ඇසුරු කර ඇයව අත් හැරියා නම් ඒ ඔහුගේ ලිංගික දඟකාරකමක් ලෙස සලකන්නට ඉඩ තිබුණා. පහත් ක්‍රියාවක සූරකමක් ලෙස හුවා දක්වන්නට කැමැති සමාජයම ඔහු ඇය හා විවාහ වීම දකින්නේ මෝඩකමක් ලෙසයි. මෙය 1908 සෝවියට් රුසියාවට පමණක් ආවේණික වූ සත්‍යයක් නොවේ. 2013දී ලංකාවට පවා අත් හැර ගන්නට නොහැකි වුණු පරම සත්‍යයයි.

“සැමියාගෙන් වෙන්වුණු එසේ නැතිනම් සැමියා මියගිය කාන්තාවන්ට අනුකම්පා කිරීමට බොහෝ පිරිමි හැම විටම සූදානමින් සිටිති. ඒ ආදරය යන්න ඉස්මතු කරමිනි. හව්හරණක්, ආදරයක් නොලැබෙන මෙවැනි ස්ත්‍රීහු මෙබඳු පිරිමින්ට රැවටෙති. ආදරය, රැකවරණය පතා පිරිමින් ට සමීප වන මෙබඳු කතුන් නොදන්නේ ඔවුන්ට අවශ්‍ය කායික ආස්වාදය පමණක් බවය. එතැනින් නොනවතින මේ පුරුෂයෝ තම අනුරාගී සූරකම් තම සගයන් හමුවේ පවසමින් උදම් අනන්නට මැළි නොවේ. එවන් අවස්ථාවල ගොදුරු බවට පත්වන්නේ අහිංසක ස්ත්‍රියයි. ඇය අනාචාරයේ හැසිරෙන කාන්තාවක බවට සමාජය ඉදිරියේ නිරුවත් වේ. එහෙත් ඇයව වරදට පොලඹවා ගත් පිරිමියාට නොඉඳුල් කන්‍යාවක හා ආවාහ වීමේ බාධාවක් නැත.

දරුවන් සමඟ විවාහ බිඳ වැටුණු කාන්තාවන් මෙන්ම ඒ තත්ත්වයට පත්වූ පුරුෂයන් ද අද සමාජයේ විරල නොවේ. එහෙත් ඔවුන්ට ඇත්තේ කාන්තාවන්ට නැති වරප්‍රසාදයකි. ඔහු කැමැති ආකාරයේ යළි ළාබාල තරුණියක හා විවාහ වීමට ඔවුන්ට සමාජයේ බාධා තහංචි නැත. බොහෝ විට මැදිවියද පසු කර ඇති වැන්දඹු පිරිමි හා විවාහ වන තරුණ කෙල්ලන් ගැන කතා අද සමාජයට ආගන්තුක නොවේ.

‘මාර පොරක්. අවුරුදු පනස් පහේදී බැන්දේ අවුරුදු විස්සක කෙල්ලක්.’
මෙවැනි කතා අද අපට බහුල වශයෙන් අසන්නට ලැබේ.
වියපත් පුරුෂයකු තරුණියක ආවාහ කර ගත් විට ඔහු සමාජය ඉදිරියේ පොරක් වේ. එහෙත් ඒ අයුරින් වැඩිමල් තරුණියක හා ආවාහ වන තරුණයා මෝඩයෙක් වේ. නිකම්ම නිකම් මෝඩයකු නොව පල්ම පල් මෝඩයෙක් වේ. මේ රටේ චින්තන දරිද්‍රතාව එයයි.

සාමාන්‍ය සමාජ සම්මතය වන්නේ තරුණයකු විවාහ දිවියට ඇතුළත් වන විට තමාට වඩා වසර කිහිපයකින් බාල තරුණියක විවාහ කර ගත යුතු බවයි. එහෙත් ඒ මක් නිසාද? තරුණයාගේ පෙළපත් නාමය ගෙන යන්නට දරුවන් අවශ්‍ය නිසා මෙන්ම ළාබාල තරුණියක ගෘහය තුළ දෙවැනි පන්තියේ පුර වැසියකු කළ හැකි බැවිනි.

අසරණ කාන්තාවන් රවටා ඔවුන්ව ලිංගිකව සූරා කන සමාජයක් වෙසෙන ලොවක රස්තියාදුකාරයාට මේ ‘මෝඩයා’ පිළිබඳ කතා කරන්නට අවශ්‍ය වන්නේ මෝඩකම ඇති අනෙකුන්ට නැති දුර්ලභ චරිත ලක්ෂණ නිසාය. එබැවින් කෙටි කාලීන සබඳතා එනම් හුදු කායික ඇසුර පතා අසරණ කාන්තාවන් රවටන ලොවක ආබාධිත පයක් සමඟ දිවි ගෙවන මිකෝලා යනු සැබෑ පිරිමියෙකි; මෝඩයකු නොවේ.

කෙනකු මෝඩයකු වන්නේ ඔහුට සමාජයෙන් ලැබෙන ප්‍රතිචාර හරහාය. සත්‍යය නම් මිකෝලා යනු සමාජයෙන් ලැබෙන ගැරහුම් අත් හැර සිය ප්‍රේමය වෙනුවෙන් ප්‍රේමය උදෙසා සමාජයේ ප්‍රතිචාර නොසලකා හැරි අභීත තරුණයෙකි. සමාජයේ තහංචි බාධා මැද මිකෝලා වෙන්නට නොහැකිව ළතැවෙන තරුණයන් කීදෙනකු මේ වනවිට සමාජ සම්මතයට ගැළපෙන තරුණියන් විවාහ කර ගෙන සිතින් පැරැණි ආදරයේ ජීවත් වනවා ඇතිද?
රස්තියාදුකාරයාට කියන්නට යමක් ඇත. ඒ වෙන කිසිවක් නොව ආදරය ගැනයි. ආදරය යනු පවුල් පසුබිමෙන්, කුලයෙන්, ධනයෙන් තමාට සම නැතිනම් තමාට ඉදිරියෙන් ඇති තරුණියක තෝරා ගෙන අෑ වෙනුවෙන් ඉදිරි ජීවිතය ඔහේ ගෙවා දැමීමද?

ආදරය යනු ඔතරම් සරල දෙයක් නම් අලුයම ලූ කෙළ පිඬක් සේ එය අමතක කළ හැක්කක් විය යුතුය. එහෙත් එය එසේ නොවේ. ආදරය යනු කවදා කොතැනක කුමන වේශයකින් හමුවන්නක්ද යන්න කල් තබා දැන ගත හැක්කක් නොවේ. මිකෝලාට ගායිනා හමුවන්නේද අහම්බෙනි. ආදරය යනු එලෙස අහම්බයකින් හමු වන්නක් මිස පස් මහා බැලුම් බලා සොයා ගත හැක්කක් නොවේ.

‘ගායිනා කොන්ස්තන්තිනෝවාගේ දෑස් බැබළුණේ ප්‍රේමයෙන් හා මෘදු බැවිනි. ශාන්තභාවය හා පූර්ණ ආලයෙන් පිරි මුහුණුවලට උරුම කී මේ දෙදෙනා එක් කිරීම මඟින් ඉරණම නිවැරැදි දෙයම සිදු කර ඇතැයි මම සැමියා හා බිරිය දෙස බලමින් කල්පනා කෙළෙමි.’

පිටුව 206 
දිවා ලෝකය
චූලානන්ද සමරනායක

No comments:

Post a Comment