Monday, March 3, 2014

“කවුළුව” යනු රස්තියාදුකාරයාට අනුව යම් ආකාරයකට සුවිශේෂී චිත්‍රපටයකි. තිස්ස අබේසේකර තිර රචනයෙන් දායක වුණු “කවුළුව” අධ්‍යක්‍ෂණය කළේ ඩැනී ඩබ්ලිව්. පතිරණයි. හා පුරා කියා තිරයට පැමිණියේ 1981 වසරේදීය. “කවුළුව” යනු සාලිය, අශෝකමාලා ගණයේ පෙම් පුවතක් ලෙසට කෙනකු වරදවා වටහා ගන්නට බොහෝදුරට ඉඩ ඇත. එසේ වුව “කවුළුව” යනු හුදු අවරගණයේලා සැලකිය යුතු චිත්‍රපටයක් නොවේ.

ජේ.ආර්. ජයවර්ධන විවෘත ආර්ථිකය සිරිලකට හඳුන්වා වසර 3කට පසු “කවුළුව” තිරගත වුවද, කඩිනමින් වෙනසකට භාජන වූ චින්තනමය පෙරළියක් “කවුළුවේ” දක්නට නොලැබේ. එබැවින් අසූව දශකයේ මුල් භාගයේ තිරගත වුවද “කවුළුව” අපට කවුළුවක් තනන්නේ 78ට පෙර පැවැති ලාංකේය අග නාගරික සංස්කෘතිය වෙත එබී බැලීමටය.

“කවුළුවේ” කතා වස්තුව සැකෙවින් මෙසේය. කොළඹ කුරුඳුවත්තේ වෙසෙන විවාහක කාන්තාවක වූ මෝනා (දිල්හාරා ජයවර්ධන)ගේ අනියම් පෙම්වතා අනුර (සනත් ගුණතිලක)ය. ඔහු මෝටර් කාර්මිකයෙකි. දිනක් මෝනාගේ නිවෙසේ පෙම් සුව විඳි අනුරාධ (සනත් ගුණතිලක)ට ස්ත්‍රියකගේ ළතෝනියක් ශ්‍රවණය වේ. උඩු මහලේ කවුළුවකින් එබී බලන අනුර ඉදිරිපස නිවෙසේ සිට දිව යන තරුණියක දකියි. අනුරට ඇසුණු කෑගැසීම විදුලි සැර වැදී මියගිය මායා (ස්වර්ණා මල්ලවාරච්චි)ගේ බව අනතුරුව අපට වැටහේ. මායා ධනවතකු වූ රංජිත් (විජය කුමාරණතුංග)ගේ බිරියයි. පොලිස් පරීක්‍ෂක වික්‍රමසිංහ (රෙක්ස් කොඩිප්පිලි)ගේ ප්‍රශ්න හමුවේ රංජිත්, මායා හා බැඳුණු සිය කෙටි අතීතය හෙළි කරයි.

දිනක් සිය ඇවැස්ස නෑනා වන අංජලී (සබීතා පෙරේරා)ගේ උපන් දින සාදයට සහභාගි වී ආපසු එන බීමත් රංජිත්ගේ රියට හැපෙන මායාගේ පියා මියයයි. පසුතැවිල්ලට පත්වන රංජිත් මවද අහිමි මායාගේ දුක සැප සොයා බලයි. රංජිත් හා මායා අතර පෙම් සබඳතාවක් ඇතැයි ඔහුගේ මවුපියෝ වරදවා වටහා ගනිති. රංජිත්ගේ මව මහමඟදී මායාට තර්ජනය කරයි. තම නිවසින් පිටව යන රංජිත් මායා විවාහ කර ගනියි. මෙසේ මායා මියයන්නේ ඔවුන් දෙදෙනා සතුටින් කල්ගත කරන අවධියේය.
මේ අතර මෝනාගේ දැඩි විරෝධතාව නොතකා අනුර ඇගේ නිවෙසේ කවුළුවෙන් තමා දුටු දේ පොලිසියට හෙළි කරයි. මායා මිය යන විට තමා ඒ නිවෙසේ සිටි බව අංජලී පිළිගනියි. අංජලී රංජිත්ගේ නිවෙසට යන්නේ අසනීපයෙන් පසුවන රංජිත්ගේ මව වෙත රංජිත්ව යැවීම අරමුණු කරගෙනය. එහිදී ඇය මායාට විදුලිසැර වැදුණු විට බියපත්ව පලාගිය බව පැහැදිලි වේ.

රැයෙහි මෝනා සොයා යන අනුරට හමුවන්නේ මෝනාගේ මළ සිරුරය. අනුරගේ හෙළිදරව්වෙන් අනතුරුව තම අනියම් පෙම හෙළිවේ යන බියෙන් ඇය සියදිවි තොර කරගෙනය.
මුහුදු වෙරළේදී අංජලීව හමුවන රංජිත්ට දැනගන්නට ලැබෙන්නේ මායාගේ දිවි බේරාගත හැකිව තිබියදී අංජලී එසේ නොකළ බවයි. වැලපෙන අංජලීට පිටුපා යන රංජිත්ගේ රූපයකින් “කවුළුව” වැසේ. චිත්‍රපටය නිමාව දකී.

“කවුළුව” චිත්‍රපටයේ අපට පෙම් සබඳතා දෙකක් හමුවේ. එකක් ධනවතකුගේ බිරිය වන මෝනා හා අනුර අතර අනියම් ප්‍රේමයයි. අනෙක මධ්‍යම පාන්තික රංජිත් හා මුඩුක්කු තරුණියක වන මායා අතර කෙටි විවාහ ජීවිතයයි. මේ සබඳතා දෙකම අවසාන වන්නේ මෝනාගේ මෙන්ම මායාගේද මරණයෙනි.
චිත්‍රපටයක් මඟින් සැම විටම පාහේ ඒ යුගයේ අධිපති මතවාදය නියෝජනය වේ යන්න මෙහිදී සාකච්ඡා කළ හැකිය. ඒ සඳහා “කවුළුව” අපට කවුළුවක් විවර කර දේ.
70 දශකයේදී අනියම් සබඳතාවක් යනු නිශ්චිත අවසානයක් සනිටුහන් කළ නොහැකි නොපවතින සම්බන්ධයකි. මෝනාගේ දිවි නසා ගැනීම අවශ්‍ය වනුයේ මේ නොපවතින සම්බන්ධය අවසානයකට ගෙන ඒමටය.

ඒ යුගයේ පන්ති සංචරණ හැකියාව, එනම් බොහෝ විට පහළ පන්තියක සිට ඉහළ පන්තියකට සංක්‍රමණය වීම යනු අභව්‍ය සිදුවීමකි. විය නොහැක්කකි. ඒ යුගයේදී අර්ථයකට ගෙන ඒමට නොහැකි රංජිත් හා මායා අතර විවාහ දිවිය මායාගේ මරණයෙන් නිමා වන්නේ එබැවිනි.
තවදුරටත් මායාගේ මරණය මායා කෙරෙහි වූ රංජිත්ගේ ආදරය නොනසා පවත්වා ගන්නට උපකාර කරයි. දැන් රංජිත්ට මියගිය යහපත් බිරියගේ මතක සමඟ ජීවත් විය හැකිය. ඒ අනුව මායාගේ මරණය සැබෑ ආදරය යනු සැබැවින්ම පවතින්නක් බව තහවුරු කරයි. දැන් මුඩුක්කුවක හැදුණු වැඩුණු තම බිරිය පිළිබඳව රංජිත්ට මෙසේ උදාන වාක්‍ය පැවැසිය හැකිය.

“මම උපන්න, හැදුණු, වැඩුණු පන්තියේ කා ළඟවත් දැක්කෙ නැති තරම් අවංකකමක් මම මායා ළඟ දැක්කා. ඒත් මම බැන්දෙ ආදරය මුල්කරගෙන නෙවෙයි.”
රංජිත්, මායාව විවාහ කරගත් පසු තමා තරම් කිසිවකු ශෝකයට පත්නොවූ බව අංජලී පවසයි. එහෙත් අංජලී යනු හුදෙක් ආදරයෙන් පැරැදුණු නාගරික පෙම්වතිය නොවේ. “කවුළුව” චිත්‍රපටයේ කේන්ද්‍රීය චරිතය ඇයයි. 70 දශකයේ මතවාදය තහවුරු කරන්නේ ඇයයි.

අංජලී ඍජුව මායාගේ මරණයට වගකිවයුතු වන්නේ ඇය විදුලිය විසන්ධි කර මායා බේරා නොගන්නා බැවිනි. ඇය ඒ බව රංජිත්ගෙන් වසන් කළා නම් හෝ ඇය දකින විටත් මායා විදුලි සැරෙන් මියගොස් සිටියා නම් අංජලීට රංජිත්ව දිනාගන්නට ඉඩ තිබිණි. එහෙත් චිත්‍රපටයේ කතාව ගොඩනැඟෙන්නට අංජලීට රංජිත්ව දිනා ගැනීමේ ඉඩකඩ අවුරාලමිනි. එසේ වන්නේ මායා කෙරෙහි වූ රංජිත්ගේ ආදරය නොවෙනස්ව තැබීමටය. සැබෑ ආදරය යනු සැබෑවට පවතින්නක් බව තහවුරු කිරීමටය.
එක පැත්තකින් මායාගේ මරණය හරහා යුගයේ පැවැතිය නොහැකි විවාහයක් නිමා කරන අංජලී අනෙක් පැත්තෙන් ආදරය යනු ඇත්ත ලෝකයේ පවතින්නක් බව තහවුරු කිරීමට උපකාරි වේ.

“කවුළුව” ආරම්භයේ රංජිත් සොයා යන අංජලීගේ රථය අනුර සොයාගෙන මෝනාගේ රථය හා ගැටෙන්නට ආසන්න වේ. එක් මොහොතකට පමණක් මෝනාගේ නෙත ගැටෙන මේ තරුණිය අංජලී වක්‍රව මෝනාගේ මරණ සහතිකය ලබාදේ. යම් හෙයකින් අංජලී දිව යනු අනුර නොදුටුවා නම් හෝ අංජලී දිවයනු දුටු බව අනුර පොලිසියට හෙළි නොකළා නම් මෝනාගේ දිවි ගැලවෙන්නට ඉඩ තිබිණි. එහෙත් ඊළඟ සතියේ මෝනාගේ සැමියා ආපසු ලංකාවට පැමිණි පසු අනුර හා මෝනාගේ අසම්මත කතාවට අර්ථයක් ඒ යුගයේ නොතිබිණි. එ බැවින් මෝනාට සියදිවි නසා ගන්නට ඉඩහැර අනියම් සබඳතා යනු නොපවතින්නක් බව තහවුරු කරයි.
මේ අනුව අංජලී යනු 70 දශකයේ පන්ති සංචරන හැකියාවක් නැති බව මෙන්ම අනියම් සබදතා යනු නොපවතින්නක් බව තහවුරු කරන්නියයි. රංජිත්ට මායාගේ මතකය සමඟ ඉන්නට ඉඩහැර ආදරය යනු සැබෑවක් බව තහවුරු කරන්නේද ඇයයි.

70 දශකය පුරාවට අනියම් සබඳතාවකදී කාන්තා පාර්ශ්වයට කඳුළු නොවියැකුණු දෙනෙතින් ශෝක වීම හැරෙන්නට වෙනත් විකල්පයක් නොතිබිණි. “කවුළුව” මේ ශෝක වන්නිය “මෝනා”ය. ඉංග්‍රීසි භාෂාවෙන් මෝන(ර්) යනු කඳුළු සලන්නිය වන විට කවුළුවේ දුකට පත් ස්ත්‍රිය කඳුළු සලන්නිය “මෝනා” වීම හුදු අහම්බයක්ද?
ඒ ආකාරයටම තත්‍ය ලෝකයේ සැබැවින් නොපවතින මායාවක් ලෙස අර්ථ ගැන්වෙද්දී “කවුළුවේ” හමුවන 70 දශකයේ සිටිය නොහැකි ස්ත්‍රිය “මායා” වීමත් හුදු අහම්බයක්ද?
කෙසේ වුව කොළඹ හතේ සුපිරි නිවෙසක විදුලි කාන්දුවකින් කාන්තාවක මියයෑම පිළිබඳව රස්තියාදුකාරයට ඇත්තේ බලවත් ශෝකයකි.