Saturday, December 28, 2013


අද වාගේ කාලෙක කෙනකු වර්තමානයේ ජීවත් වෙනවා කියන්නෙම ධනය, බලය වගේම භෞතික භාණ්ඩ පසුපස එළවීමක් විතරයි. මේ තරගයෙන් මිදිලා අල්පේච්ඡව ජීවත් වෙන කෙනකු කියන්නේ සමාජයෙන් හුදෙකලා වූවෙක්. 60-70 දශකවල ඉපදුණු කෙනකු දැක්ක සාරධර්ම තිබුණු යුගයක් තිබුණා. ඊට පස්සේ එයාලා තමන්ගේ මැදිවියේ දකින්නේ මිනිසත්කම පිරිහුණු මොනරු රජයන යුගයක්. රස්තියාදුකාරයා ඇතුළු අපි හැමෝම ගෙවන්නේ මෙන්න මේ යුගය. මුලින් කී යුගයේදී මිනිහෙකුට ආත්මයක් කියලා දෙයක් තිබුණා නම් දැන් එහෙම දෙයක දූවිල්ලක්වත් ඉතිරි වෙලා නෑ.

ඒ යුගයේදී වැඩිහිටියන්ට, පන්සලේ හාමුදුරුවන්ට, වෙද මහත්තයට, ඉස්කෝලේ මහත්වරුන්ට හැමෝම ගරු කළා. ඒත් අද එහෙම නෑ. එදා එයාලා සේවයක් කළා නම් අද වෙද්දි ඒ සේවාව බිස්නස් එකක් බවට පත් වෙලා. එදා ඉස්කෝලෙ මහත්තයා අද ටියුෂන් සර් වෙලා. අධ්‍යාපනය දෙන්නේ මුදලට. එදා පාවහන් නොමැතිව මිනිසුන්ගේ සුවසෙත උදෙසා යොදුන් ගණන් ඇවිදපු හාමුදුරුවන්ට අද බණකට වඩින්න රෝද හතරක් නැතිව බෑ. ඒකෙත් එක පැත්තක් තියෙනවා. ඉක්මනට බණ කියලා ඉක්මනට පන්සලට ඇවිත් මෙගා ටෙලි නාට්‍යයක් ගොඩ දාගන්න පුළුවන්නේ.

ඒ යුගයේ රජයේ සේවකයා කියන්නේ වැදගත් මිනිහෙක්. කන්තෝරුවක කාර්යාල සහායක පවා ගමේ වැදගත් මිනිහෙක්. ක්ලාර්ක් මහත්තුරු ගැන කියලා වැඩක් නෑනේ. ගමට ලියුම් ගේන තැපැල් කාරයා එදා ගරු කටයුතු තැපැල් මහත්තයා. ගම හරහා දිවෙන ලංගම බසයේ රියැදුරු මහත්තයාට නොකියන මඟුලක් ගමක නෑ. ඒත් අද වෙද්දී කවුරුවත් කාවවත් ගණන් නොගන්න සමාජයක්. මොකද එහෙම ගණන් ගන්න වෙලාවක් නෑ. පොඩ්ඩක් වට පිට බැලුවත් අනෙක් අය ඉස්සර වෙලා දුවනවා. ඉතින් අද වෙද්දි නගරය විතරක් නෙවෙයි ගමත් සුන්දර නෑ. එදා වගේ ගහෙන් බා ගත්තු රා මුට්ටියක්, දෙකකට වග කියලා ගම මැදින් රෑ දෙමන්දමේ සීපද කියාගෙන හුළු අත්ත වන වනා යන ගැමියො අද දකින්න නෑ. එහෙම ගැමියෙක් දකින්න ඕනෑ නම් මහගමසේකරගේ ‘තුංමන්හන්දිය’ ච්ඍච් පටය බලන්න වෙනවා.

අද දවසේ කොළඹ නගරය අලංකාර කෙරෙනවා. පැරැණි ගොඩනැඟිලි සංරක්ෂණය වෙනවා. ඒවා හොඳ වැඩ. නගරයේ කැළිකසළ ශුද්ධ වෙලා පිළිවෙළක් වෙන එක හොඳයි. ඒත් මිනිස්සු වැඩි වැඩියෙන් අභ්‍යන්තරය කිලිටු වෙද්දි නේද තමන්ගේ වට පිටාව ශුද්ධ කරන්න වෙහෙසෙන්නේ? අන්තිමට ඉතිරි වෙන්නේ සුන්දර කොන්ක්‍රීට් වනාන්තරයක්  මැද ආධ්‍යාත්මිකව හිස් වුණු මිනිහෙක් විතරයි. ඒ හිස්කම වැහෙන්න රට පුරා හන්දියක් හන්දියක් ගාණේ බුද්ධ ප්‍රතිමා, සුරුවම් ඉදිවේවි. දැනටත් හැම වෙලේම අනෙකාගේ බෙල්ල කපා ගෙන හරි ඉස්සරහට යන්න හදන මිනිස්සු දවසකට සිය පාරක් විතර අනෙක් අයට බුදු සරණයි කියනවා. ඒ දුරකතන සංවාද අවසානයේ. අද වෙද්දි බුදු සරණයි කියන්නේ බායි, සීයූ, චෙරියෝ වගේ වචනයක් බවට පත් වෙලා.

රස්තියාදුකාරයා පෙර යුගය සහ පසු යුගය දෙකම දකිනවා. අද වෙද්දී නිම නොවෙන වර්තමානයක ජීවත් වන මිනිසාට යම් තරමකට හෝ වචනයේ අර්ථයෙන් මනුෂ්‍යයකු වෙන්නේ අතීත මතකයේදී විතරයි. වර්තමානය කියන්නේ අතීතයේ ප්‍රක්ෂේපණයක් කියලා කවුදෝ කියලා තිබුණා. ඒක පට්ට බොරුවක්. අතීතය කියන්නේ කෙනකුට මානසිකව හරි මනුෂ්‍ය හැඟීම් උපද්දවන සංකල්පයක්.

අද වෙද්දි ජයන්ත චන්ද්‍රසිරිගේ ‘සමනල සංධ්වනිය’ ට මිනිස්සු සෙට් වෙන තැන ඕකයි. අතීතයේත් වඩා මතකයට එන සංවේදී හැඟීම ආදරයනේ. ඉතින් අතීතයක් තිබුණු කෙනකුට ‘මට මගේ නොවන මගේම ආදරයක්’ ගැන මතක පුංජයක් හරි තියෙනවා. ආදරය සීමාමායිම් නොතකන සංවේදී හැඟීමක් වෙද්දී කෙනෙක් ඒ ආදරයම විවාහය දක්වා ගෙන යන්නේ කලාතුරකින්. තවමත් ලංකාව වගේ තුන් වැනි ලෝකයේ රටක විවාහය බොහෝ විට තීන්දු වෙන්නේ ආර්ථික සාධක මත. විවාහ නොවී ඉඳීමේ අවනම්බුවෙන් ගැලවෙන්න බොහොම සංවේදී ගැහැනු රොබෝවරු වගේ මිනිස්සුන්ට කඹුරන්නේ ඔය යාන්ත්‍රණය නිසා. මවුපියන්ට බරක් නොවෙන්න ඕනෑ නිසා වැටිලා ඉන්න තැනක් තියෙන, අරක්කු, සිගරැට් නොබොන මිනිහෙක් තෝරා ගත්තම ‘ගොඩ’ වගේනේ.

මෙතැනදී රස්තියාදුකාරයාට එයාගේ ආදරණීය පාප මිත්‍රයකු මතක් වෙනවා. එයාට අනුව නම් අරක්කු, සිගරැට් නොබොන යහපත් හැදියාවක් තියෙන හොඳ ස්වාමි පුරුෂයන්ගේ විනීත භාර්යාවෝ ආදරය කරන්නේ හොඳට අරක්කු, සිගරැට් බොන හැදියාවක් ගෑවිලා නැති මිනිසුන්ටලු. මේකේ යාන්ත්‍රණය නම් කියලා දෙන්න එයාට දැනුමක් නෑ. ඒත් මේ කියන්නෙත් ‘මගේ නොවන මගේම ආදරයක්’ ගැන තමා.

සමනල සංධ්වනිය ගැන රස්තියාදුකාරයා එක කොලමක්ම කතා කළා. ඔයාලට මතක ඇති වාදීෂ කියන ගැටවරයා පුණ්‍යා කියන තරුණිය එයාගේ පෙම්වතාට ලියපු ලියුමක් එක්ක ජීවත් වෙන හැටි. වාදීෂ, පුණ්‍යාට ලියුම් භාර දෙන්න දරන උත්සාහය. ඒ ලියුමෙ සංවේදිතාව එක්ක පුණ්‍යාට බැඳෙනවා. ඒ තමයි එයාගේ මගේ නොවන මගේම ආදරය.

ලංකාව වගේ මානසිකව නොවැඩුණු මිනිස්සු ඉන්න කොදෙව්වක කෙනකුට තමන්ගේ අව්‍යාජ සිතුවිලි බෙදා ගන්න කෙනෙක් නෑ. හැම වෙලේම අපට හමුවෙන මිනිස්සු දෙබිඩ්ඩො වෙන්නේ ඒ නිසා. අනෙක් අතට විවෘතව, අවංකව කතා කරන මිනිහා මෙහෙදී පට්ට මෝඩයකු බවට පත් වෙනවා. ඉතින් තනියම කල්පනා කර කර තනිවම විඳවන එක තමයි ලාංකික තරුණයාගේ දෙදහස් පන්සියයක උරුමය.

මෙතැනදී රස්තියාදුකාරයාට මතු කරන්න අවශ්‍ය සමනල සංධ්වනියේ හැඟීම්බර පැත්ත නෙවෙයි. මේ චිත්‍රපටයේ නොපෙනෙන දේශපාලනය. වාර්ගික අරගලය නිමා වෙද්දී සිනහව අරක් ගත්තේ ගාමණී, මාතා, සෙල්වම් වගේ චිත්‍රපට. එ්වායේ දෙමළ ත්‍රස්තවාදයේ කුරිරු බව එක්ක මානුෂික සිංහල, සොල්දාදුවා ගැන කතා කළා. ඒ රැල්ල ‘ප්‍රතිරූ’ චිත්‍රපටය එක්ක නැති වෙලා යනවා.

ඊළඟට සිනමාවට එන්නේ කුවේණි, අබා, මහින්දාගමනය, සිරිපැරකුම් වගේ අතීත රාජාවලි සම්බන්ධ චිත්‍රපට. වර්තමානයේ නීච වැඩ, පක්කලි වැඩ කරන හැම කෙනෙක්ම මේ චිත්‍රපට බලලා තමන් ශේ‍ර්ෂ්ඨ සිංහලයෙක් කියලා සතුටු වෙනවා. මේ චිත්‍රපට අයත් වන්නේ අපට අතීතයේ තිබුණා යැයි සිතන අභිමානයක් එක්ක. ඉතින් හැමෝටම වර්තමානය අමතක කරලා අතීතයේ ජීවත් වෙන්න පුළුවන්. බස්වල සෙනඟ පටවගෙන ඉස්සරහට පුවක් මල් කිනිත්තක් ගහගෙන අනුරාධපුරය, පොළොන්නරුව නැත්නම් සෝමාවතිය, දිඹුලාගල, වගේ තැන්වලට වන්දනාවේ යන්න පුළුවන්.

සමනල කතාවේ ඇත්ත දේශපාලනයත් මීට වෙනස් නෑ. චන්ද්‍රසිරිගේ අතීත වැඩ බැලුවම ඒවාත් අතීතයෙන් ආ කතා. වෙද හාමිනේ, දඬුබස්නාමානය අකාල සන්ධ්‍යා වගේ ටෙලි එන්නෙත් අතීතයෙන්. වෙද හාමිනේ. කියන්නේ තලකිරියාගම ගමේ අතීතයේ හිටපු ඉසිවර වෙද මහත්තයාගේ දුව. දඬුබස්නාමානයේ කතා කරන්නේ අතීතයේ තිබුණා යැයි කියන අංගම්පොර ගැන. අකාල සන්ධ්‍යා වල හමුවෙන්නේ අතීතයේ හිටියයි කියන සුදලිය, මරු වල්ලිය කියන සටන් පරපුරවල් දෙකක් ගැන. ඒ කතා අස්සට ප්‍රේමය ඔබ්බවලා තියෙන්නේ. කොහොමත් නිකම්ම නිකම් කතාවකට  ආදරය කලවම් කළාම කාට වුණත් බලා ඉන්න ආශාවක් ඇති වෙනවනේ. මොකද අපට ආදරය අහිමි නිසා අනුන්ගේ ආදර කතා අස්සෙ හරි අපේ ජීවිත ගොඩ දාගන්න පුළුවන්නේ. කොහොම නමුත් ආකෘති හරඹ, අව්‍යාජ ආදරය, වීරත්වය, ත්‍රාසය, කලවම් කරලා ආපු මේ ටෙලිත් අවසාන විනිශ්චයේදී අයත් වන්නේ අතීත වේදනාවන්ට. දැන් නොමැති අතීතයේ  තිබුණා යැයි සිතන ශේ‍ර්ෂ්ඨත්වයකට.

සමනල කතාවේ නම් 1992 තරම් අතීතයක ඉඳන් චිත්‍රපටය දිග හැරෙන්නේ. කතාව ලිපි ගනුදෙනු කරපු යුගයෙන් ඉර්ඉ යුගය දක්වා  දිවෙන්නේ. ගැටවරයකුගේ ළපටි සිතේ පැලපදියම් වුණු ආදරය, විරහව සුන්දරයි. ඒ සංවේදීකම අපිව ගෙන යන්නේ අපට තිබුණා යැයි අපි සිතන අතීතයට. ඒ අතීතයේදී අපට අහිමි වුණු ආදර කතාවලට. ඉතින් ,චන්ද්‍රසිරි අපි වර්තමානයට හෙණ ගහන්න කියලා අතීතයේ ජීවත් වෙනවා. ඔයාට සතුටු ඇති නේද?
අමරසිරිගේ සින්දුව ලස්සනයි. වාදීෂ නියමෙට රඟපානවා. පුණ්‍යා දැක්කම ඇඬෙනවා. වැඩේ මරු හැබැයි සිංදුව ලියපු අමිල කියන විදියට ජයන්ත චිත්‍රපටය කරල තියෙන්නේ සිංදුව මුල් කරගෙන. ඒක වෙනමම කතා කරන්න ඕන කතාවක්.

රන්ගිරි දඹුල්ලේ ක්‍රිකට් ගහද්දී බඩු මිල ඉහළ යනවා. චාල්ස් කුමාරයා ලංකාවට එද්දිත් එහෙමයි. දැන් අපි මැන්ඩෙලාගේ වීරත්වය කතා කරනවා.  ඒ වගේ අපි වාදීෂගේ ඔපෙරාවට වශී වෙලා අපේ ඉපැරැණි ආදරය කතා එක්ක සම වැදිලා ආපසු ඇස් හරිද්දි ඇඳි වතත් නැති වෙලා.
ඇත්ත. යථාර්ථය කටුකයි. ඒක සිනමාවට ගෙනාවම ගල් මුල් වදින්නේ ‘මේ මගේ සඳයි’ කරපු හඳගම, කලාකාරයෙක් වෙද්දී චන්ද්‍රසිරි කලා ශිල්පියෙක් වෙන්නේ ඒකයි.
‘භාවිතයෙන් තොර න්‍යාය වඳයි’ කිව්වේ  ලෙනින්. යථාර්ථය නොදුටු ඇස් ඇතිව වර්තමානය මඟහැරලා අතීතය ගොඩනැඟීම කලාව නෙවෙයි. බදුලු කෝච්චියේ පරිප්පු වඩේ විකුණනවා වගේ වැඩක්.

Wednesday, December 18, 2013

ජේත්තුකාර රස්තියාදුව
  0     December 15, 2013 2:00 am Hits(46)

රස්තියාදුකාරයාගේ හිතට වදින්න සිංහලෙන් ලියපු  ලේඛකයන් බොහෝ දෙනෙක් අද වෙද්දි ජීවතුන් අතර නෑ. මහගමසේකර සහ මාර්ටින් වික්‍රමසිංහ මෙලොවින් සමුගනිද්දි රස්තියාදුකාරයා පතපොත  අතගාන කුඩාවෙක්. සාහිත්‍යය එක්ක රස්තියාදුකාරයාගේ  ජීවිතය  සමපාත වෙද්දි සුගතපාල ද සිල්වා වගේම එදිරිවීර සරච්චන්ද්‍ර නොඑන්නම ගියා. සරච්චන්ද්‍ර කියනවා වගේ ආවොත්  නොගොසින් බැරිය.

ඒ පරපුරෙන්  අපට තාම ඉතිරි වෙලා ඉන්නේ සිරි ගුණතිලක  සහ ගුණදාස අමරසේකර. ඒත් සිරි ගුණසිංහගේ නම් නව නිර්මාණයක් ළඟදී දැකගන්නට ලැබුණේ නැහැ.  ඒත් වාසනාවකට වගේ අමරසේකර නම්  තාමත් ලියනවා. අමරසේකරගේ ව්‍යාජ ජාතික චින්තනය  එක්කවත්, ගමෙන් නගරයට එන ප්‍රඥාවන්තයා එක්කවත් රස්තියාදුකාරයා  කොහෙත්ම එකඟ නෑ. ඒවා මනස්ගාත. ඔළුවේ හදාගත්තු බහුබූත. ඒ මොනවා වුණත් අද දවසේ සිංහල භාෂාව  ලස්සනටම හසුරුවන ලේඛකයා අමරසේකර  බව නම් හැබෑ  සත්‍යයක්. ඒ මට්ටමට එන්න නිශ්ශංක විජේමාන්න, ලියනගේ  අමරකීර්ති වගේම එරික් ඉලයප්පආරච්චිත් සෑහෙන කට්ටක් කනවා.
 ගම සහ නගරය අතර දෝලනය වන ගමෙන් නගරයට පැමිණි උගත් තරුණයාගේ මනෝභාවය අමරසේකර  හරියට චිත්‍රණය කරන්නේ යටලමත්ත නම් ග්‍රාමයේ  උපත ලැබීම ආධාර කරගෙන. ජීවන සුවඳ, යළි උපන්නෙමි වගේම ගන්ධබ්බ ආපදානයත් ඔය තරම් අව්‍යාජ වන්නේ ඒ නිසා.

රස්තියාදුකාරයාට හදිසියේ අමරසේකර සිහිපත් වුණේ 2013දී එළිදැක්වුණු ඔහුගේ කියනු මැන දිවි අරුත කෙටිකතා සංග්‍රහය  නිසා. පොතේ පෙරවදනේ අමරසේකර මේ වගේ සටහනක් තියනවා.
“නවකතාව තමා වසන සමාජය හා තමා ගෙවන ජීවිතය පිළිබිඹු කරන කැඩපතක් විය යුතුය.”
මෙච්චර පරක්කු වෙලා හරි අමරසේකරගේ ඇස් පෑදුණු එක නම් ලොකු දෙයක්. බලලෝභය  නිසා රට, ජාතිය, ආගම ගැන කතා කරපු බොරු දේශ ප්‍රේමීන්ගෙන් අමරසේකර ඇත්තටම  මිදුණා නම් හොඳ පොතක් කියවන්නට ලැබීමේ භාග්‍යය අපට ලැබේවි.
 මේ කෙටිකතා සංග්‍රහයේ කෙටිකතා අතරින් අද රස්තියාදුකාරයා සාකච්ඡාවට ගන්නේ ‘රැගෙන මා අත සමි¼ද කියනු මැන දිවි අරුත’ කියන කෙටි කතාව. සුපුරුදු පරිදි මේ කෙටි කතාවේ සාරාංශයකට අපි යොමු වෙමු.

 මේ කතාවේ කථකයා සුගතේ. එයා ගමේ ඉස්කෝලෙකින් ශිෂ්‍යත්වය සමත් වෙලා කොළඹ රාජකීය විද්‍යාලයට ආපු ශිෂ්‍යයෙක්. එයාගේ තාත්තා ගමේ වෙද මහත්තයෙක්.  රාජකීය විද්‍යාලයේදී එයාට කොළඹ හතේ ප්‍රසිද්ධ රාජ නීතිඥයකුගේ පුතා වන ලූෂන්  පීිරිස් හමුවෙනවා. තමන්ගේ ගෙදර වැඩකාරයෝ සමඟ පමණක්  සිංහලෙන් කතා කරන ලූෂන්ගේ තලයට ඉංගී්‍රසි හරියට නොදන්නා සුගතෙලා වැටෙන්නේ නෑ. සරසවි පිවිසුමෙන් සුගතේ වෛද්‍ය පීඨයට  ඇතුළු වෙද්දී සරසවි පිවිසුමට පෙනී නොහිටම ලූෂන් එංගලන්තයේ  ඔක්ස්ෆර්ඩ් සරසවියට යනවා.

ටික කාලෙකට පස්සේ ලූෂන්  ලංකාවට ගොඩබසින්නේ සමාජවාදියකු විදියට. දැන් එයාගේ  නමට දැරණියගල කෑල්ලක්  එකතු වෙලා.  ටික දවසකින්  එයා පත්කළ මන්ත්‍රිවරයකු විදියට ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්නේ. ඊළඟට එයා ආණ්ඩුවේ ප්‍රබලම ඇමැතිවරයා  බවට පත් වෙනවා. ඒ ලූෂන් පීරිස් ලෙසින් නෙවේ. ලලිත් ප්‍රියනාත් දැරණියගල යන නමින්. මේ වෙද්දි සංවේදී මිනිසකු වන සුගතේ රෝගීන්ගේ වේදනාව දැකීමෙන් අෑත් වෙන්න මහජන සෞඛ්‍ය වෛද්‍ය සේවයට පත්වෙලා. හෙදියක වුණු විමලාව විවාහ කරගෙන. ඒ ආදර සම්බන්ධතාවක ප්‍රතිඵලයක් ලෙස.

සුගතේ, දෛවය ගෙනැවිත් දෙන දේ  භාරගන්නවා විනා, දෛවය වෙනස් කරගැනීමේ ආශාවක් නැති මිනිහෙක්. ඊට වෙනස්ව ලූෂන් දෛවයට අභියෝග කර සිය අපේක්ෂා මුදුන්පත්කරවා ගන්නෙක්. ඔහුගේ ජීවිතය වන්නේ උද්දච්චකම, උඩඟුකම සහ මමායනය. ඒත් ඔහු අවංක  ඇමැතිවරයෙක්. රට ගැන, සමාජය ගැන හරවත් විශ්ලේෂණ නැති වෛද්‍යවරුන්ගෙන් සුගතේ හුදෙකලා වෙනවා. විවේකයේදී සිංහල නවකතා  කියවපු ඔහු කාලයක් පන්සල්වල  බිතුසිතුවම් පිටපත් කළා.  මේ විදියට සුගතේ  අල්පේච්ඡ ජීවිතයක් ගත කරද්දි ලූෂන් බරපතළ ලෙස බලය හඹා යනවා.

 අවසානයේ ඡන්දයෙන් පැරැදී මන්ත්‍රිකම අහිමි වන ලූෂන් අවලංගු කාසියක් බවට පත්වෙනවා. ඉක්බිති ඔහු පිළිකාවකින් මිය යනවා.
 අරුත්සුන් ජීවිතයට අරුතක් ලැබෙන්නේ ජීවිතය ඉක්මවා සිටින පරමාදර්ශයක් වෙත කැපවුණොත් බව මතක් කරමින් සුගතේ සිය මිතුරකු නොවූ මිතුරාගෙන් සමු ගන්නවා.

 ලංකාවේදී ලූෂන් පීරිස් වගේ මැති ඇමැතිවරු නම් ඕනෑ පදම් ඉන්නවා. ජනතාවගේ ගැලවුම්කාරයෝ විදියට ඇවිත් තමන්ගෙ හත්මුතු පරම්පරාවම ගලවා ගන්න හදන්නේ. ලංකාවට දෙදහස් පන්සියයක බෞද්ධ උරුමයක් තියෙන එක ඇත්ත. ඒත් බෞද්ධ  දර්ශනය තමන්ගේ ජීවිතයට  එකතු කර නොගැනීම තමයි වරද. ලූෂන් පීරිස් වගේම තමන් අජරාමර විදියට හිතලා වැඩ කරපු කී දෙනකුට මරණය නොසිතූ වෙලාවක ළඟා වුණේ නැතිද?
කෙනෙක් මෙලොව ඉපදෙන්නෙ දින නියමයක් නැති මරණ දඬුවමක් එක්ක. ඒත් කාටවත් තමන් මරණය හිමි සත්ත්වයෙක් කියලා මොහොතකටවත් හිතෙනවාද? එහෙම හිතෙනවා නම් ධනය, බලය පසුපස මේ තරම් තණ්හාවකින් හඹා යන්නේ නෑනේ.

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි දන්නේ ගම හොඳයි, නගරය සංකරයි විදියට. ඒත් මේ හොඳ  ගැමියා කොහොමින් හරි නගරයට එනවා. ඊළඟට නාගරිකයන්ටත් වඩා නාගරික  වෙන්න උත්සාහ කරනවා. රස්තියාදුකාරයා කලින් දවසකත් පවසපු  විදියට යම් ආයතනයක මනුස්සකමක් ගෑවිලාවත් නැති නිලධාරියෙක් ඉන්නවා නම් ඒ බොහෝ විට ගමෙන් නගරයට අමාරුවෙන් ආපු කෙනෙක්. තුත්තිරි ගස් අල්ල අල්ලා ඇවිත් අන්තිමට හැමෝටම  කරදරයක් වෙනවා.

 බටහිර රටවල මෝටර් රථ ඕනෑ වන්නේ දෙපාවල දිගුවක් විදියට.  ඒ කියන්නේ පහසුවෙන් ගමන් යන්න. ජංගම දුරකතන  අවශ්‍ය වන්නේ ඉක්මනින් පණිවුඩ හුවමාරු කරගන්න. ඒත් අද වෙද්දි සමහර ආයතන ප්‍රධානීන් ළඟ එක එක මාදිලියේ  වාහන හත අටක් තියෙනවා. එයාලගේ  මේස උඩ දුරකතන  හතර පහක්, ජංගම දුරකතන නම් ගණනාවක් තියෙනවා.  සමහරු  ගොඩයන්ට මැජික් කියන්නේ මේවට  වෙන්න ඇති. ලංකාවෙදි වාහන, දුරකතනවලට තියෙන්නේ බටහිර අර්ථය නෙවෙයි. තමන්ගේ තත්ත්වය, බලපුළුවන්කාරකම පෙන්වන්න තමයි වාහන, දුරකතන පාවිච්චි කරන්නේ. නිකමට  හිතන්න තමන්ගේ මිදුලේ  වාහන හත අටක් තියෙන මිනිහෙක් පිස්සෙක් නොවී බේරෙයිද?  උදේට නැඟිටලා ගමනක් යන්න මොන වාහනයක් තෝරා ගන්නවද කියලා අඩු ගාණේ පැය භාගයක්වත් කල්පනා කරන්න වෙනවනේ.

 පසුගිය කාලේ ඇමැති පුත්තු, සමාජ ශාලාවලදී තරුණයන්ට ගැහුවේ එයාලා දරුණු නිසා නෙවෙයි. තමන්ට බලයක් තියෙන බව ලෝකයාට පෙන්නීමේ ආශාවෙන්. මොකද  බලය කියන එක කෙනෙක් දිහා බැලුවම පෙන්නේ නෑනේ. ඉතින් ඒකට පහරදීම වගේ ක්‍රියාවක් කරන්නම වෙනවා. තමන් සල්ලිකාරයෙක් බව නම් කඹයක් විතර චේන් එකක් බෙල්ලේ දාගෙන, අත් දෙකේම ඔරලෝසු දෙකක් දාගෙන පෙන්වන්න පුළුවන්නේ.

සරලව මනුෂ්‍ය අර්ථයෙන් මිනිහෙක් කියන්නේ හිතන දේ කියන, කියන දේ කරන කෙනෙක් වෙන්න ඕනෑ. ඒත් සාමාන්‍ය ලාංකිකයා කියන්නේ මේකෙ විරුද්ධ පැත්ත. ඒ කියන්නේ තමන් හිතන දේ වෙනුවට වෙනත් දෙයක් කියන  ඊට හාත්පසින්ම  විරුද්ධ දේ කරන්නෙක්. කුහක  වත කියන්නේ ඕකට වෙන්න ඇති.
 මේ කියපු දේ තවත් වැටහෙන්න රස්තියාදුකාරයා සත්‍ය  නිදසුනක් ගේන්නම්. එක්තරා රාජ්‍ය ආයතනයක විධායක ශේ‍ර්ණියේ හාදයෙක් හිටියා. හිටි හැටියේ මෙයාට  ඉහළ තනතුරක්  ලැබුණා.  මෙයාගේ සගයෝ මෙහෙම වුණේ කොහොමද හොයලා බැලුවා. ඒක වෙනම කතාවක්. ඒත් එයා කවදාවත් මස්, මාළු තියා උම්බලකඩ කෑල්ලක්  ගෑවුණු තැනක  නොකන  මදුරුවෙක්වත් නොමරන පට්ට බෞද්ධයෙක්. එයාගේ කන්තෝරුවෙ මේසේ උඩ බුද්ධ පින්තූර, අතේ පිරිත් නූල්, නිල වාහනයෙන්  ඇහෙන්නේ පිරිත් සංගායනා. ඒත් ව්‍යවහාර ජීවිතයේදී එයා තමන්ට පහළ  සේවකයන්ව තළා පෙළා දාන එක කරන්නේ.

ඒ කියන්නේ සොක්කන්ට ලෙඩ දාන මෙයා ලොක්කන්ට කොන්ද නමනවා. එතැනින් නොනැවතී දණ ගහනවා. ලොක්කන්ගේ ගෙවල්වල බල්ලෝ, පූසන්ට පවා ඇඹරෙනවා. ලොක්කගේ අල්ලපු ගෙදර ඉන්න  කුලියට පොල් කඩන එකාටත් ඇඹරෙනවා. ඇත්තටම මොකක්ද මේ විකාරරූපී රංගනය. මෙයා අනුන්ට මනුස්සකමට නොසලකපු නිසා මෙයාට කවුරුවත් සලකන්නේ නෑ. ඒක තේරුම් නොගෙන බැනුම් අහලා කිචවෙලා, නීච වෙලා, කේලාම් කියලා ඉහළ තනතුරකට පැනලා ඒ හයියෙන් බලෙන් මිනිසුන්ගෙන් සැලකුම් ගන්න හදනවා. මොනතරම් අසහනයකින්, අතෘප්තියකින්ද එයා ජීවත් වෙනවා ඇත්තේ.

බලයට ඇති ආශාව කියන්නේ එක්තරා මානසික ලෙඩක්. තමන් ලබන වැටුපට සරිලන සේවයක් නොකරන මේ ලෙඩ්ඩු අනුන්ට ලෙඩ දමමින් පිරිත් අහමින් පසුවෙනවා. අඩුම තරමින් වැඩක් නොකර  හරි, අනුන්ට වැඩ කරගන්න දීලා  ඇති තරම් පිරිත් ඇහුව නම් අඩු ගාණේ සෝවාන්වත් වෙන්න තිබුණා.
අනේ මෙහෙම තණ්හාවක්
අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්

Tuesday, December 10, 2013

ජේත්තුකාර රස්තියාදුව 

පසුගිය දවස්වල සියනෑ කෝරලේ පුරාවට කඩින් කඩ වැසි. වැස්සත් හරියට දැන් කාලේ කෙල්ලෝ වගේ. වැස්ස ගැන කලින් තීරණයකට එන්න අමාරුයිනේ. ඒ වගේ කෙල්ලෝ ගැනත් පූර්ව නිගමනයකට යන්න බෑ. මොකද ඊළඟ මොහොතේ එයාලා හැසිරෙන විදිය දෙයියොත් දන්නේ නෑ.  ලංකාවේදි වැස්ස ගැන කාලගුණ අනාවැකි නිතරම බොරු වෙනවා. ඒ වගේ තරුණියොත් තමන් ගැන තමන්ගේ පෙම්වතුන් හිතන විදිය වැරැදි බව හැමවිටම සනාථ කරනවා.

 කොහොම වුණත් මේ වස්සාන කාලේ රස්තියාදුකාරයාට පාරේ රස්තියාදු ගහන්න ඉඩ නොලැබුණු තරම්.  ඒ නිසා මේ දවස්වල රස්තියාදුකාරයා පොත්පත්වල අකුරු අතර වගේම, චිත්‍රපටවල රූප රාමු අතරේ රස්තියාදු ගැහැව්වා. පසුගිය  තීරු ලිපිවල ඔයාලා හමුවට ආවේ ඒ රස්තියාදුවේ ප්‍රතිඵල තමයි.

 නොවැම්බරයේ අවසාන දිනය වැටුණේ සෙනසුරාදාවකට. අතපය හිරි ඇර ගන්නත් එක්ක රස්තියාදුකාරයා පොද වැස්ස නොතකා ඒ හැන්දෑවේ පාරට බැස්සා. කොළඹ - මීගමු පාරේ  ඇවිදගෙන ගිය රස්තියාදුකාරයා පෙරියමුල්ලෙන් හැරිලා  මීගමු වෙරළ මාවතේ ඉදිරියට ගියා. පාළුව, තනිකම වගේම සීතල විඳින්න නම් මධුවිතකට වඩා ඔෟෂධයක් තවත් නෑනේ. රස්තියාදුකාරයා දෙවරක් නොසිතාම පාර අයිනේ තිබුණු අවන්හලකට වැදුණා. ඒකේ නම ඕ.ටූ. ඒ කියන්නේ විද්‍යාත්මක නම් ඔක්සිජන් කියන තේරුම. ඇත්ත  තමයි සමහර වෙලාවට ජීවිතය ජීවත් කරවන ඔක්සිජන් කියන්නේ මධුවිතනේ. අවන්හලේ අඳුරු මුල්ලක  අසුන් ගත්තු රස්තියාදුකාරයා වටපිටාවට ඇහැ යොමු කෙරුවා. තැන් තැන්වල තිබුණු මේස වටේ  ඇඟ පුරා පච්ච කොටා ගත්තු, කොණ්ඩෙ වවපු වගේම තට්ටේ ගා ගත්තු තරුණයෝ එක්රැස් වෙලා හිටියා. එයාලගේ සැහැල්ලු ඇඳුම්, පැලඳුම් කියා පෑවේ එයාලා මීගමුව නගරයට ආගන්තුක නොවන බවක්.

අවන්හල මධ්‍යයේ වූ කවිච්චියක නීගේ‍රා් තරුණයකු අසුන් ගෙන සිටියා. ඔහුගේ උකුල මත ඔහු වගේම නීගේ‍රා්  තරුණියක් ඔහුව අතොරක් නැතිව සිප ගනිමින් පසුවුණා. විදේශිකයන් බහුලව ගැවසෙන මීගමුවට මේ වගේ දර්ශන  අලුත් දේ නෙවෙයි. ලංකාව සිංහල බෞද්ධ  රටක් වුණාට  මීගමුවේ ඉන්නේ ගොඩක්ම කතෝලික  බැතිමතුන්නේ. ඉතින් අවහන්හලේ හිටි පච්ච කොටා ගත්තු තරුණයෝ මේ ජෝඩුව දිහා නිකමටවත් බැලුවේ නැහැ.  අවහන්හලේ  එක් කොටසක  දිග මේසයක් වටා පහළොවක් වගේ පිරිසක් අසුන් ගෙන සිටියා. ඔවුන්ට නම් මේ දසුන හිතට අල්ලපු බවක් පේන්න තිබ්බේ නෑ. එයාලා නම් මීගමුවට ආගන්තුකයන් බව රස්තියාදුකාරයාට වැටහුණා. හිමිහිට මධුවිත තොල ගාන අතරේ රස්තියාදුකාරයා හිටියේ වටපිටාව ගැන විපරමින්.
 කොහොමත් ලාංකිකයාට අනුන්ගෙන් තොර ලෝකයක් නෑනේ. අනුන් නොසොයන්න. තමන් සොයන්න. මේ විදියට බුදු හාමුදුරුවෝ හරිම පැහැදිලිව කියලා තියෙනවා. ඒත් ඒ කතාව ඉන්දියාවට වගේම ලංකාවටත්  අදාළ නෑ.

 මේ දිගු මේසෙ හිටි අයගෙන් දෙදෙනකු හැරෙන්න ඉතිරි අය තරුණයන්. එයාලාගේ  කතාබහේ  අතරින් පතර ලංකාවේ දකුණේ ප්‍රාදේශීය  ව්‍යවහාර  භාෂාවත් පාවිච්චි වුණා. මේ වන විටත් අවන්හලේ ඇසුණු බටහිර සංගීතයට  ඔවුන් නර්තනයක් එක් කළා. ඒත් ඒ ඝෝෂාකාරී සංගීතය  සුළු වේලාවකින් ඔවුන්ට එපා වුණු බවක් පෙනුණා.  අනතුරුව ඔවුන් මුහුදු වෙරළ දිසාවට පල්ලම් බැස්සා. රස්තියාදුකාරයාත් හිමිහිට එයාලා පිටුපසින් පියවර මැන්නා. වෙරළේ  අඩ අඳුරු තීරයකට එක්කාසු වුණු කොහේද තිබුණු බොංගෝ බෙරයක් එළියට ඇදලා ගත්තා.

මොහොතකින්  මීගමු වෙරළ සිසාරා මියුරු ගී රාවයක් ඇසෙන්නට වුණා. මේ වෙද්දි රස්තියාදුකාරයාත් ඒ කණ්ඩායමේ සාමාජිකයකු වෙලා ඉවරයි. ඔවුන්ගේ ගායනයට තාල තබමින් ඒ අතරතුර ඔවුන් හා ‍ෙදාඩමලු වෙන්න රස්තියාදුකාරයා අමතක කළේ නෑ.

 මේ වෙද්දි බෙර වාද්‍යය කළේ ධනුෂ්ක. මිල්ටන් මල්ලවාරච්චිගේ ගීත ගායනා කළේ අමල්. ජෝතිපාලට පණ දුන්නේ චනුෂ්ක. මධුවිතින් තොර අයෝමාල්, නිශාන්ත ගායනා කළේ නව පරපුරේ ගීත. චන්දන,  අනුෂ්ක, වෙල්ලප්පිලි, සුරවීර, මලින්ත යන නම් රස්තියාදුකාරයාගේ මතක පොතට එක් වුණා.  මෙයාලා මීට මාසයකට පමණ කලින් ජනතා අයිතියට පැවරුණු කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ මෙහෙයුමට උරදෙන  තරුණයෝ බව රස්තියාදුකාරයා දැන් දන්නවා.  අර මුලින්  සඳහන් කළ මැදිවියේ දෙදෙනා සමරකෝන් මහත්තයා සහ සරත් මහත්තයා. ඔවුන් දෙදෙනාගේ  මඟ පෙන්වීම නිවැරැදි බව මෙතැනදීම රස්තියාදුකාරයාට වැටහුණා. මේ සාදයට  මුළුමනින්ම වගේ ජීවය කැවූයේ දැනටත් සංගීත කණ්ඩායමක රිදම් ගිටාර් වාදකයකු වන සමීර. සිංහල, හින්දි වගේම බටහිර ගීතත් ඔහු මනාව හැසිරෙව්වා.

 මේ ප්‍රිය සාදයට ඔබ්බෙන් නවතා තිබූ ලොරියක  කැසට් යන්ත්‍රයක් මහා හඩින් කෑ ගසන්න පටන් ගත්තා. පමණ ඉක්මවා මධුවිත  පානය කළ තරුණයන් තිදෙනකු ඒ හඬට නැටුමක යෙදුණා. සාමාන්‍යයෙන් මේ වගේ පොදු තැනක ගැටුමක ආරම්භය වන්නේ මේ වගේ කඩාවැදීම්. ඒත් මෙතැනදි අපේ තරුණයෝ වෙරළේ වෙනත් තැනකට තමන්ගේ ප්‍රිය සාදය ගෙන ගියා.

 තවත් මධුපැන් සමඟ රුෂාන් සාදයට එක් වෙන්නේ මේ වෙලාවේ. තිදරු පියකු වන රුෂාන් බිරියගේ සුළු පමාවකින් තමයි ගෙදරින් එළියට පැන ගෙන තියෙන්නේ.  එයාගේ රථය මීගමු වැල්ලේ එරුණා. තල්ලු කරලා ගොඩගන්න බැරි රථය උස්සලා පැත්තකින් තියන්න තරම් මේ තරුණයෝ ශක්තිමත් වුණා. ඒත් ඒ ශක්තිය ඔවුන් අර ලොරියේ බැස්ස තරුණයන් මත මුදා නොහැරීම නම් රස්තියාදුකාරයාට අදහන්න බැරි තරම්. අඩ හෝරාවක් පුරාවට පැවැති වැස්සත් මේ ප්‍රිය සාදයට බාධාවක් වුණ් නෑ. ඒත් මේ වෙද්දි වෙරළ පුරාවට සිටි විනෝදකාමීන් දැන් දැකගන්න නෑ.  මේ වෙද්දි මැදියම් රැයත් ගෙවිලා. එතැනට පැමිණි පොලිසියේ මහත්තුරු දෙන්නෙක් එතැනින් ඉවත් වන ලෙස ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීමට සවන් දෙන්න තරම් අපේ තරුණයෝ නිහතමානි වුණා. රස්තියාදුකාරයාත් ඔවුන්ගේ වාහනයක පිහිටෙන් පාන්දර ගම්පහ නගරයට සේන්දු වුණා.

 තත්කාලීන සමාජයේදී අපට නිරන්තරයෙන් අහන්න ලැබෙන්නේ සොරකම්, මංකොල්ල කෑම්, මිනීමැරීම් වගේම ස්ත්‍රී දූෂණ පිළිබඳව. පේන විදියට සමාජය  බරපතළ විදියට පිරිහීමට ලක්වෙලා. ඒ අතරේ ගුවන්විදුලියෙන් වගේම රූපවාහිනියෙන් දවස පුරාවට බණ දේශනා අහන්න ලැබෙනවා. හන්දියක්, හන්දියක් ගාව බුදු පිළිම. ඒ තැන්වලත් පාන්දර පිරිත් සජ්¿ධායනා ඇසෙනවා. මිනිස්සුන්ට වැඩි වැඩියෙන් බණ ඇහෙද්දි ඊට සාපේක්ෂව අපරාධත් වැඩිවෙනවාද මන්දා.
 70 දශකයේ වගේම 80 දශකයේ මැදක් වනතුරු ගුවන් විදුලිය හැරෙන්න රූපවාහිනිය තිබුණේ නෑ. ඒ නිසා ගීත අසන්න ලැබුණට ගායකයාව දකින්න ලැබුණේ නෑ.

අද නම් ගායක, ගායිකාවෝ හැමෝම රූපවාහිනිය හරහා  ගෙදර සාලයට ම එනවානේ. ඒත් එදා තමන් ආශා ගායකයා හෝ ගායිකාව දැකගන්න යාබද නගරයේ කලාතුරකින් පැවැත්වෙන සංගීත සන්දර්ශනයට යන්නම වෙනවා. බාල, මහලු, ස්ත්‍රී, පුරුෂ භේදයක් නැතිව එදා හැමෝම වගේ සංගීත  සන්දර්ශනවලට ඇදුණා. රස්තියාදුකාරයාට තවම මතකයි හැම අවුරුද්දෙම දෙසැම්බරයේදී නිට්ටඹුවේ පැවැත්වුණු ‘ක්‍රිස්මස් සැටඩේ නයිට්’ ප්‍රසංගය. අද ජීවතුන් අතර නැති ජෝති, මිල්ටන්, වල්පොළ රස්තියාදුකාරයා  මුලින් දැක ගත්තේ ඒකෙදී. එහෙත් අද වෙද්දි ඒ විදියේ සජීවී වින්දනයක් ලබන්න ටිකක් අමාරුයි. ඒකට හේතුව රූපවාහිනියෙන් ගායක, ගායිකාවො දැකලම එපාවීම නෙවෙයි. පිහි ඇනුමකින් තොරව අවසන් වෙන සංගීත සන්දර්ශනයක් කියන්නේ කිසිවකු නොමළ ගෙයකින් අබ අහුරක් හොයා ගන්නවා  වගේ.

 මීගමු වෙරළේ නම් පොලිස්  ආරක්ෂාවෙ අඩුවක් නෑ. ඒත් අද වෙද්දි ලංකාවේ උණවටුන, පොල්හේන වගේ මුහුදු වෙරළ වගේම බෝපත් ඇල්ල වගේ දියඇලි ළඟත් නිතරම  ගැවසෙන්නේ පොඩි දේකටත් දැළි පිහි අදින තුට්ටු දෙකේ බොරු චණ්ඩි. ඒ නිසාවෙන් මවුපියන් තම දරුවන් සමඟ රූපවාහිනියට ඇබ්බැහි වෙනවා. අද වෙද්දි විනෝදය  පොදු අවකාශයෙන් පෞද්ගලික අවකාශයට ඇවිල්ලා.

 ඉතින් මෙන්න මේ වගේ කාලෙක රස්තියාදුකාරයාට අහම්බෙන් හමුවුණු කොළඹ - කටුනායක අධිවේගී මාර්ග මෙහෙයුමේ තරුණයන් වාසනාවන්. සාදය පුරාවට  එක අසභ්‍ය වචනයක්වත් කටින් පිට නොකරපු වැඩිහිටි  ගෞරවය වගේම හොඳ විනයක්, ශිෂණයක් තිබුණු මේ තරුණයෝ ගමෙන් ගෙනා හොඳ දේ රැක ගත්තොත් රස්තියාදුකාරයාට සුබවාදීව ලියන්න හැකි වේවි.
 බොහෝ වෙලාවට ගමෙන් නගරයට එන තරුණයන් ගැන සමාජයේ හොඳ ආකල්පයක් නෑ. ඒ නිසයි මහගමසේකර අතින් මේ විදියට ලියැවෙන්නේ.

සිදාදියට එන්නට මට
බුද්ධිය නුඹ තමයි එදා
පාර කියා දුන්නේ 
ඒ එනකොට ගෙන ආ දෙය
විය පැහැදම් වුණා මිසක
අලුතින් එක්වූ කිසිම දෙයක් නැත්තේ
හිස බර කළ පුහු නම්බුව විතරයි මට ඇත්තේ ...

Monday, December 2, 2013

ජේත්තුකාර රස්තියාදුව
මේ ලෝකේ ඉන්න බොහෝ දෙනකු වගේම රස්තියාදුකාරයාත් ආදර කතාවලට සංවේදියි. මේ වතාවෙ එයා කියවපු ටිකක් වෙනස් ආකාරයක ආදර කතාවක් ඔයාලා එක්ක බෙදා ගන්නම්. මේ කතාව හමු වන්නේ චූලානන්ද සමරනායක පරිවර්තනය කරපු දිවාලෝකය නම් සෝවියට් - රුසියානු කෙටි කතා සංග්‍රහයේ. කතාවේ නම ‘මෝඩයා’. රචකයා අපට වැඩිය හුරුපුරුදු කෙනෙක් නෙවෙයි. ලියොනිද් පර්වොමයිස්කි කියලා කෙනෙක්. ඉතින් අපි හැමෝගෙම පහසුවට මේ කෙටි කතාව තවදුරටත් කෙටි කරලා කියන්නම්.

හැමෝම පල්ම පල් මෝඩයන් ලෙස හඳුන්වපු මේ කකුලක් ආබාධිත තරුණයාගේ නම මිකෝලා. පාසලේ දක්ෂම ශිෂ්‍යයා වුණු ඔහුගේ පසු කාලීන වෘත්තිය වුණේ  සිනමා යන්ත්‍ර ක්‍රියා කරවීම. මිකෝලා පාසලේ දහවැනි පන්තියේ ඉන්න කාලේ ඔවුන්ට සමූහ ගොවි පොළක අස්වැන්න නෙළීමට උදව් වෙන්න යන්න සිදු වුණා. ආබාධිත කකුල නිසා මිකෝලාට නොයා සිටීමට හැකි වුණත් ඔහු සිය කැමැත්තෙන්ම මේ ගමනට එක් වුණා. තමන්ගේ රටට හැකි උපරිම විදියට සේවය කරන පරමාර්ථයක හිටපු මිකෝලා සිය ශක්ති ප්‍රමාණයටත් වඩා වෙහෙසුණා.

ඒකෙ ප්‍රතිඵලයක් විදියට ඔහුට සහලෝලා උණ ගැනුණා. මේ කාලයේ ඔහුව රැක බලා ගත්තේ අසල පාසලේ ගණිත ගුරුවරිය වුණු ගායිනා කොන්ස්තන්තිනෝවා ඇය සිය සැමියාගෙන් වෙන්ව ජීවත් වුණු දෙදරු මවක්. මිකෝලාට වඩා ඇය දස වසක් වැඩිමල්. ඉතින් මේ මිකෝලා ගැටවරයා ගායිනාට ආදරය කරන්න පටන් ගත්තා. ඒ නිසා පාසලෙන් ඔහුට ලැබෙන්නට තිබුණු දක්ෂම ශිෂ්‍යයාට ලැබෙන රන් පදක්කම පවා ඔහුට අහිමි වුණා.

දිස්ත්‍රික් කමිටු සභාපති, විදුහල්පති ඇතුළු දන්නා හඳුනන හැමෝගේම අවමානයට ලක්වන්නට මිකෝලාට සිදුවුණා. මේ අවධියේ ගායිනාගේ දියණිය මෙනිංජයිටිස් රෝගයෙන් මන්ද බුද්ධිකභාවයට පත් වුණා. ඇය යථා තත්ත්වයට ගෙන ඒමට සමත් වුණේ මිකෝලාගේ උත්සාහයෙන්. අන්තිමේදී මිකෝලා, ගායිනාව විවාහ කර ගත්තා. ඇගේ පැරැණි සැමියාට ස්තුති කරන්නට ඔහු අමතක කළේ නෑ. එතැනින් නොනැවතුණු මිකාලෝ ගායිනාගේ නැන්දණිය, ඒ කියන්නේ ඇගේ පැරැණි සැමියාගේ කුඩම්මාට පවා සරණ වුණා. වැදගත්ම දේ ගායිනා මිකාලෝ සමඟ ආදරයෙන් ජීවත් වුණු එක.

ඉතින් ඔබ කියන්නේ මිකාලෝ මෝඩයෙක්ද? මේ කතාව කියන්නේ මිකෝලාගේ පාසල් මිතුරකු වන රියැදුරෙක්. ඔහුට අනුව මිකෝලා කරන්නෙම මෝඩ වැඩ. සමූහ ගොවිපොළේ වැඩවලින් ලේසියෙන්ම කර අරින්න තිබුණු මිකෝලා එහෙම කරන්නේ නෑ. ඒ මදිවට දරු දෙදෙනකුගේ මවකට ආදරය කරනවා. ඇගෙන් කායික අවශ්‍යතා ඉටුකර ගෙන ඇයව මඟ හරින්නෙත් නෑ. ඒ මදිවට ඇගේ දියණියගේ අසනීපය වෙනුවෙන් දැඩි කැපකිරීමක් කරනවා.

මිකෝලා පසුපස එන දිස්ත්‍රික් කමිටු සභාපතිගේ තරුණ දියණිය ලුද්මිලාව මිකෝලා මඟහරිනවා. මිකෝලා අතට එන වාසනාවට පයින් ගසන්නෙක් විදියටයි මේ රියැදුරු මිත්‍රයා දකින්නේ. මිකෝලා, ගායිනාව විවාහ කර ගත්තා මදිවට ඇගේ පැරැණි සැමියාගේ කුඩම්මාටත් සරණ වෙනවා. මේ හැමදේම රියැදුරා ඇතුළු මිකෝලා හඳුනන්නන් දකින්නේ පල්ම පල් මෝඩ වැඩ විදියට. එයාලගේ අර්ථයෙන් තමයි මිකෝලා ගේ කතාවට ‘මෝඩයා’ කියන අපහාසාත්මක නම ලබන්නේ.

මේ කතාවට පසුබිම් වෙන්නේ විප්ලවයෙන් පසු බිහිවුණු සමාජවාදී රුසියාවේ ප්‍රදේශයක්. සමූහ ගොවිපොළ පවත්වා ගෙන යන සැමට සමානාත්මක වුණු වටපිටාවක්. ඒත් මේ සමාජවාදී පසුබිමේ පවා අධිපති වන්නේ පුරුෂ මූලික චින්තනය. තරුණයකු ආවාහ විය යුත්තේ තරුණියකට මිස වියපත් ගැහැනියකුට නොවේ යන්න එහි එක් අදහසක්. ආදරය යන්න සීමා මායිම් රහිත පුළුල්ව පැතිරුණු සංකල්පයක් ලෙස ගන්නට සමාජවාදයෙන් ශික්ෂිත මිනිසුන්ට පවා නොහැකි වෙනවා.

යම් හෙයකින් මිකෝලා, ගායිනාව කාලයක් ඇසුරු කර ඇයව අත් හැරියා නම් ඒ ඔහුගේ ලිංගික දඟකාරකමක් ලෙස සලකන්නට ඉඩ තිබුණා. පහත් ක්‍රියාවක සූරකමක් ලෙස හුවා දක්වන්නට කැමැති සමාජයම ඔහු ඇය හා විවාහ වීම දකින්නේ මෝඩකමක් ලෙසයි. මෙය 1908 සෝවියට් රුසියාවට පමණක් ආවේණික වූ සත්‍යයක් නොවේ. 2013දී ලංකාවට පවා අත් හැර ගන්නට නොහැකි වුණු පරම සත්‍යයයි.

“සැමියාගෙන් වෙන්වුණු එසේ නැතිනම් සැමියා මියගිය කාන්තාවන්ට අනුකම්පා කිරීමට බොහෝ පිරිමි හැම විටම සූදානමින් සිටිති. ඒ ආදරය යන්න ඉස්මතු කරමිනි. හව්හරණක්, ආදරයක් නොලැබෙන මෙවැනි ස්ත්‍රීහු මෙබඳු පිරිමින්ට රැවටෙති. ආදරය, රැකවරණය පතා පිරිමින් ට සමීප වන මෙබඳු කතුන් නොදන්නේ ඔවුන්ට අවශ්‍ය කායික ආස්වාදය පමණක් බවය. එතැනින් නොනවතින මේ පුරුෂයෝ තම අනුරාගී සූරකම් තම සගයන් හමුවේ පවසමින් උදම් අනන්නට මැළි නොවේ. එවන් අවස්ථාවල ගොදුරු බවට පත්වන්නේ අහිංසක ස්ත්‍රියයි. ඇය අනාචාරයේ හැසිරෙන කාන්තාවක බවට සමාජය ඉදිරියේ නිරුවත් වේ. එහෙත් ඇයව වරදට පොලඹවා ගත් පිරිමියාට නොඉඳුල් කන්‍යාවක හා ආවාහ වීමේ බාධාවක් නැත.

දරුවන් සමඟ විවාහ බිඳ වැටුණු කාන්තාවන් මෙන්ම ඒ තත්ත්වයට පත්වූ පුරුෂයන් ද අද සමාජයේ විරල නොවේ. එහෙත් ඔවුන්ට ඇත්තේ කාන්තාවන්ට නැති වරප්‍රසාදයකි. ඔහු කැමැති ආකාරයේ යළි ළාබාල තරුණියක හා විවාහ වීමට ඔවුන්ට සමාජයේ බාධා තහංචි නැත. බොහෝ විට මැදිවියද පසු කර ඇති වැන්දඹු පිරිමි හා විවාහ වන තරුණ කෙල්ලන් ගැන කතා අද සමාජයට ආගන්තුක නොවේ.

‘මාර පොරක්. අවුරුදු පනස් පහේදී බැන්දේ අවුරුදු විස්සක කෙල්ලක්.’
මෙවැනි කතා අද අපට බහුල වශයෙන් අසන්නට ලැබේ.
වියපත් පුරුෂයකු තරුණියක ආවාහ කර ගත් විට ඔහු සමාජය ඉදිරියේ පොරක් වේ. එහෙත් ඒ අයුරින් වැඩිමල් තරුණියක හා ආවාහ වන තරුණයා මෝඩයෙක් වේ. නිකම්ම නිකම් මෝඩයකු නොව පල්ම පල් මෝඩයෙක් වේ. මේ රටේ චින්තන දරිද්‍රතාව එයයි.

සාමාන්‍ය සමාජ සම්මතය වන්නේ තරුණයකු විවාහ දිවියට ඇතුළත් වන විට තමාට වඩා වසර කිහිපයකින් බාල තරුණියක විවාහ කර ගත යුතු බවයි. එහෙත් ඒ මක් නිසාද? තරුණයාගේ පෙළපත් නාමය ගෙන යන්නට දරුවන් අවශ්‍ය නිසා මෙන්ම ළාබාල තරුණියක ගෘහය තුළ දෙවැනි පන්තියේ පුර වැසියකු කළ හැකි බැවිනි.

අසරණ කාන්තාවන් රවටා ඔවුන්ව ලිංගිකව සූරා කන සමාජයක් වෙසෙන ලොවක රස්තියාදුකාරයාට මේ ‘මෝඩයා’ පිළිබඳ කතා කරන්නට අවශ්‍ය වන්නේ මෝඩකම ඇති අනෙකුන්ට නැති දුර්ලභ චරිත ලක්ෂණ නිසාය. එබැවින් කෙටි කාලීන සබඳතා එනම් හුදු කායික ඇසුර පතා අසරණ කාන්තාවන් රවටන ලොවක ආබාධිත පයක් සමඟ දිවි ගෙවන මිකෝලා යනු සැබෑ පිරිමියෙකි; මෝඩයකු නොවේ.

කෙනකු මෝඩයකු වන්නේ ඔහුට සමාජයෙන් ලැබෙන ප්‍රතිචාර හරහාය. සත්‍යය නම් මිකෝලා යනු සමාජයෙන් ලැබෙන ගැරහුම් අත් හැර සිය ප්‍රේමය වෙනුවෙන් ප්‍රේමය උදෙසා සමාජයේ ප්‍රතිචාර නොසලකා හැරි අභීත තරුණයෙකි. සමාජයේ තහංචි බාධා මැද මිකෝලා වෙන්නට නොහැකිව ළතැවෙන තරුණයන් කීදෙනකු මේ වනවිට සමාජ සම්මතයට ගැළපෙන තරුණියන් විවාහ කර ගෙන සිතින් පැරැණි ආදරයේ ජීවත් වනවා ඇතිද?
රස්තියාදුකාරයාට කියන්නට යමක් ඇත. ඒ වෙන කිසිවක් නොව ආදරය ගැනයි. ආදරය යනු පවුල් පසුබිමෙන්, කුලයෙන්, ධනයෙන් තමාට සම නැතිනම් තමාට ඉදිරියෙන් ඇති තරුණියක තෝරා ගෙන අෑ වෙනුවෙන් ඉදිරි ජීවිතය ඔහේ ගෙවා දැමීමද?

ආදරය යනු ඔතරම් සරල දෙයක් නම් අලුයම ලූ කෙළ පිඬක් සේ එය අමතක කළ හැක්කක් විය යුතුය. එහෙත් එය එසේ නොවේ. ආදරය යනු කවදා කොතැනක කුමන වේශයකින් හමුවන්නක්ද යන්න කල් තබා දැන ගත හැක්කක් නොවේ. මිකෝලාට ගායිනා හමුවන්නේද අහම්බෙනි. ආදරය යනු එලෙස අහම්බයකින් හමු වන්නක් මිස පස් මහා බැලුම් බලා සොයා ගත හැක්කක් නොවේ.

‘ගායිනා කොන්ස්තන්තිනෝවාගේ දෑස් බැබළුණේ ප්‍රේමයෙන් හා මෘදු බැවිනි. ශාන්තභාවය හා පූර්ණ ආලයෙන් පිරි මුහුණුවලට උරුම කී මේ දෙදෙනා එක් කිරීම මඟින් ඉරණම නිවැරැදි දෙයම සිදු කර ඇතැයි මම සැමියා හා බිරිය දෙස බලමින් කල්පනා කෙළෙමි.’

පිටුව 206 
දිවා ලෝකය
චූලානන්ද සමරනායක

Tuesday, November 26, 2013

ජේත්තුකාර රස්තියාදුව
අද ඊයේ නෙවෙයි කාලයක ඉඳන් ලංකාවේ හින්දි චිත්‍රපට උන්මාදයක් තිබුණා. අතීතයේදිත් බොලිවුඩ් තරු වුණු දිලිප් කුමාර්, රාජ් කපුර්, දේව් ආනන්ද වගේ නළුවන්ට ලාංකික සිනමා ලෝලියෝ ආදරේ කළා. හැබැයි ඒ අතීතයේ හින්දි තරුවලට අභියෝග කරන මට්ටමට සිංහල සිනමාවේ නළුවෝ හිටියා. ගාමිණී, විජය, රවීන්ද්‍ර, ටෝනි වගේ සුපිරි තරු හින්දි තරු මට්ටමේ නැතිනම් ඊටත් එහායින් හිටියේ.

ඒත් අද වෙද්දී සිංහල සිනමාවේ තරු ගුණය තියෙන නළුවෝ නෑ. නිළියෝ ගැනත් කියන්න තියෙන්නෙ ඒ දේමයි. එදා නාර්ගීස්ට, මීනා කුමාරිට, ඩිම්පල් කපාඩියාට සමානව සිංහල සිනමාවේ රුක්මණී දේවි, සන්ධ්‍යා කුමාරි, අනුලා රණවීර, පුණ්‍යා හීන්දෙණිය වගේ සුපිරි නිළියෝ හිටියා. අද ඒ වගේ තරු නෑ. ඒ නිසා තමයි පූජා උමා ශංකර්ලා අද සිංහල සිනමාව ආක්‍රමණය කරලා තියෙන්නේ.

කොහොම වුණත් මේ දවස්වල ලාංකේය සිනමා රසිකයෝ උන්මාදයට පත් කරපු හින්දි චිත්‍රපටයක් රස්තියාදුකාරයාට නරඹන්න ලැබුණා. චිත්‍රපටයේ නම ආශික් -2. ඒ කියන්නේ ‘උමතුව‘ කියන තේරුම. වෙලාවට ලංකාවේ බෞද්ධ සංවිධාන හින්දි චිත්‍රපට නොබලන්නේ. එහෙම වුණා නම්  අනිවාර්යයෙන් ආශික් - 2 ලංකාවේ තහනමට ලක් වෙනවා. මොකද මේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා චිත්‍රපටය පටන් ගත්තු වෙලාවේ ඉඳන් කරන්නේ බොන එකමයි. සැන්ඩි නැතිව, බයිට් නැතිව බෝතල් ගණනාවක් කටේ තියාගෙනම ඉවර කරනවා. මෙයා ගායකයෙක්. නම රාහුල් ජයිකර් (ආදිත්‍ය රෝයි කපුර්). එයාගේ ජීවිතය කියන්නේ මත්පැන්.

ඉන්දියාවේ සුපිරි ගායකයා වුණු රාහුල් බීම නිසාම පිරිහෙනවා. ඒත් දවසක අෑත කුඩා අවන් හලකදී ඔහුගෙම ගීතයක් ගයන ගායිකාවක් ඔහුට හමු වෙනවා. ඇය අරෝහි ෂිර්කේ (සර්දා කපුර්). රාහුල් ඇයව ජනප්‍රිය ගායිකාවක් බවට පත් කරනවා. ඔහු ගී ගැයීමෙන් අෑත් වෙනවා. දුටු දා සිටම ඇයට පෙම් කරන ඔහු ඇය ජනප්‍රිය වෙත්දී තව තවත් මධු විතට ඇදෙනවා. ජනප්‍රියත්වය හීන වෙද්දී ඔහු දුප්පතෙක් වෙනවා. මධු විතට ඇගෙන් මුදල් සොරා ගන්නා තැනට ඔහු පත් වෙනවා. දැන් අරෝහි ගායිකාවක පමණක් නොව නිළියක්. ඇගේ දියුණුවට ඇති බාධාව තමා බව වටහා ගන්න රාහුල් සිය දිවි හානි කර ගන්නවා.
ආශික් - 2 තිර ගත වෙන්නේ 2013 අවුරුද්දේ. මීට අවුරුදු තිහකට පෙරයි ‘අභිමාන්’ තිරගත වෙන්නේ. එයත් ගායකයකු වටා ගෙතුණ කතාවක්. ඒ දවස්වල අභිමාන් ප්‍රචාරක පටයේ කියැවුණේ මෙහෙම පාඨයක්. ඔවුන් දෙදෙනා එක් කළේද සංගීතයයි. වෙන් කළේද සංගීතයයි.

සුබීර් කුමාර් (අමිතාබ් භච්චන්) ඉන්දියාවේ ජනප්‍රියම ගායකයා. මධු බඳුනක්, දුම් වැටියක් ඔහු අත තිබුණත් ඔහු මත්පැනට දැඩිව ඇබ්බැහි වූවෙක් නොවෙයි. ඔහුට උමා දේවිගේ (ජයා බහදුරි) ගායනයක් මුලින්ම ඇහෙන්නේ. අනතුරුව සාම්ප්‍රදායික ඉන්දියානු කුල කුමරියක වන උමාව ඔහු විවාහ කර ගන්නවා. ඇගේ පියාගෙන් රාගධාරි සංගීතය හදාරපු ඇය ටික කලකින් සුබීර්ට වඩා ජනප්‍රිය වෙනවා. සුබීර්ට ඇති ජනප්‍රියතාව අඩු වෙමින් උමා පෙරමුණට එනවා. මෙයින් මානසිකව ඇද වැටෙන සුබීර් ඇයට බැන වැදීම නිසා ඇය ආපසු සිය පියා වෙත යනවා. ඇගේ කුස සිටින දරුවාත් ප්‍රසූතියේදී මිය යනවා. ඇය කම්පාවට පත්ව කතා නොකර හැඟීම් විරහිතව ඉන්නවා. ඇය සුවපත් වන්නට නම් ඇගේ ඇසින් කඳුළු පිට විය යුතුයි. අවසානයේ ඇය ප්‍රසංග වේදිකාවක සුබීර් ගී ගයනු අසා සිටිනවා. ඒ ඔවුන්ගේ මධු සමය දා ගැයූ ගීයයි. ඇගේ නෙතින් කඳුළු කඩා වැටෙනවා. සුබීර් හා එක්ව ඇය යළි ගී ගයනවා. ආශික් - 2ට වෙනස්ව යළි එක්වීමකින් ශුභදායි ලෙස අභිමාන් නිමාවට පත් වෙනවා.

උමා, සුබීර්ට ආදරය කරනවා. ඒත් සුබීර්ට වැදගත් වන්නේ ගායකයකු ලෙස ඔහුට ඇති පිළිගැනීම. ඔහුගේ රසිකයන් උමා වටා රොක් වෙද්දී ඔහු නොසන්සුන් වෙන්නේ ඒ නිසයි. ඉන්දියාව කියන්නේ පිතෘ මූලික සමාජයක්. මහා ඉහළින් බල පවත්වන රටක්. එතැනදී පිරිමියා තමයි මුල් තැන ගන්නේ. ගැහැනිය පිරිමියාට යටත් දෙවැනි පන්තියේ පුර වැසියෙක් විදියට ගණන් ගැනෙන්නේ. නිදහස්කාමී ජීවිතයක් ගත කරන චිත්‍රා වෙනුවට සුබීර් තෝරා ගන්නේ උමාව. ඒ උමාගෙන් සුබීර් සාම්ප්‍රදායික ඉන්දියානු කුල කාන්තාව දකින නිසා. ඇත්ත ජීවිතයෙත් ජයා බහදුරි අමිතාබ් භච්චන්ගේ බිරිය වෙන්නේ මේ නිසාම වෙන්න ඇති. ‘අභිමාන්’ අවසන් වෙන්නේ යළිත් සුබීර් කුමාර්, උමා දේවි සමඟ ප්‍රසංග වේදිකාවට එක් වෙමින්. උමා නිසාම අහිමි වුණු ජනප්‍රියත්වය යළි උමා නිසාම ලබා ගනිමින් එක් පැත්තකින් උපන් ගෙයිම මියයන දරුවාත් සමඟ උමා හැඟීම් දැනීම් නැති තත්ත්වයකට පත් වෙන්නෙම යළි සුබීර්ව වේදිකාවට නග්ගන්න. ඔහුගේ අහිමි වුණු ජනප්‍රියත්වය යළි ලබා දෙන්න. ඉන්දියාව තුළ බල පැවැත්වෙන පිරිමියා ප්‍රමුඛයි යන දෘෂ්ටිවාදය සිනමාවට පවා මඟහැර යන්න බෑ.

ඒත් 2013දී අපට ආශික් - 2 වල හමුවන ඉන්දියානුවා දියුණු චරිතයක්. රාහුල්, අරෝහි තමාගෙ ගීතය ගයනු අසා සිටිනවා. අරෝහිගේ ගායනය තම ගායනට වඩා උසස් බව ඇය ඉදිරියේ ප්‍රකාශ කරන්න ඔහු පැකිළෙන්නේ නෑ. එතැනින් නොනැවතී ඇය ඉන්දියාවේ ජනප්‍රියම ගායිකාව දක්වා ගෙන යන්නට ඔහු ඇයට උපකාර කරනවා. තමාගේ දුර්වලකම මධුවිත සේ දකින ඔහු ඇගේ දුර්වල තැන ලෙස දකින්නේ තමාවයි. ඔහුගේ ගායන දිවිය පිරිහෙන්නේ මධුවිතට අසීමිතව ලොල් වීම නිසායි. ඒ ආකාරයට අරෝහි තමාට ඇති ආදරය නිසා පිරිහෙන බව රාහුල් අවබෝධ කර ගන්නවා. ඇයට ඇති ආදරය නිසාම ඇගේ සාර්ථකත්වය පතා රාහුල් සිය දිවි නසා ගන්නවා.

‘අභිමාන්’ හි සුබීර් ආත්මාර්ථකාමියකු වන විට ආශික්හි පෙම්වතා, රාහුල් සැබෑ ආදරය යනු ජීවිත පරිත්‍යාගයෙන් හෝ පෙම්වතියගේ යහපත පතන පරාර්ථකාමියෙක්. ‘අභිමාන්’ හි උමා සුබීර් හා එක් වෙන්නේ නීතියෙන්. එහෙත් ආශික් හි අරෝහි රාහුල් වෙත යන්නේ විවාහය ගැන අදහසක් ඇතුව නොවේ. සැබෑ ආදරය යන්නට බලපත්‍ර ඇවැසි නොවන බව ඇය සනාථ කරනවා. ජීවිතය ජීවත් කරවන්නේ ආදරයයි. මධු විතෙහි ගිලුණු රාහුල්ගේ ජීවිතය පණ ගසන්නේ අරෝහිගේ ආදරය හේතුවෙන්.

‘අභිමාන්’ 80 දශකයේ ඉන්දියානු දෘෂ්ටිවාදයේ නියෝජනයක් වන විට ආශික්-2 යනු සමකාලීන ඉන්දියානු දෘෂ්ටිවාදයේ නියෝජනයක් නොවන්නේ ඇයි? චීනය සහ ඇමෙරිකාව සමඟ ලෝකයේ ආධිපත්‍යයට සටන් වදින ඉන්දියාව යනු තවදුරටත් ගෞතම බුදුරජුන්ගේ මවුබිම හෝ අශෝක අධිරාජ්‍යයාගේ දේශය හෝ නොවෙයි. ලෝක වෙළෙඳපොළේ අනෙකුත් හා තරග වදින වාණිජ දේශයක්. මුදලට මුල් තැන ලැබෙන ඉන්දියානු ජන සමාජය තුළ නොපවතින්නක් සැබෑ ආදරය. සැබැවින් නොපවතින සැබෑ ආදරය චිත්‍රපටයක වේශයෙන් හෝ දැකීම ඉන්දියානුවන්ට සහනයක් වෙන්නේ ඒ නිසා. ‘ආශික්’ හි රාහුල් මිය යන්නේ සැබෑ ආදරය යන්නට ශුභදායි එක් වීමක් ඉන්දියාව තුළ නොපවතින නිසාද? කෙසේ වුවත් තවදුරටත් සැබෑ ආදරය යන්න පවතින්නේ රිදී තිරයේ හෝ සාහිත්‍ය නිර්මාණයක සංකල්පයක් ලෙස පමණයි.

ආශික් - 2හි අපට හමුවන්නේ නවක මුහුණක්. ඒ ආදිත්‍ය රෝයි කපුර්. බොලිවුඩය පවතින්නේ එකම තරුවකින් නෙවෙයි. දිලිප් කුමාර්, අමිතාබ්, රාජේශ් ඛන්නා වගේ තරු නිවෙද්දී අමීර්, සල්මන්, ෂාරුක් යන ඛාන් ත්‍රිත්වය එනවා. ඊළඟට රන්ධීර් කපුර් බොලිවුඩය ආක්‍රමණය කරනවා. දැන් ආදිත්‍ය රෝයි. ඉතින් බොලිවුඩ් සිනමාව ලෝකෙම ජයගන්න එක පුදුමයක් නෙවෙයි. ඒත් ලංකාවේ අපි තවමත් ගාමිණී, විජය මතක් කරලා හූල්ලනවා. මොකද තවමත් තරු ගුණය තියෙන නළු නිළියෝ ලංකාවෙ ඉපදිලා නැති නිසා.

 ලංකාව, ඉන්දියාව වෙනුවට චීනයට දෑත් දිගු කරද්දී ලංකාවේ හැම පාරකම බජාජ් ත්‍රිරෝද රථ, ඉන්දියානු යතුරුපැදි දුවනවා. ඒ වෙනුවට චෙරි ශ්‍රී ශ්‍රී  වගේ  මෝටර් රථ ආවත්, ලංකාවේ සිනමාහල්වලට නම් හින්දි චිත්‍රපට නැතුව ගැලවීමක් නෑ. රට පුරා හතු පිපෙනවා වගේ පවතින වීඩියෝ වෙළෙඳසල්වලට බොලිවුඩ් චිත්‍රපට ආවේ නැත්නම් ඒ තැන්වල රාත්‍රි කොත්තු කඩ දාන්න තමයි වෙන්නේ.
කොහොම නමුත් රාහුල් ජයිකර්ගේ සැබෑ ආදරය සිහිපත් කරමින් රස්තියාදුකාරයා සතියක විරාමයකට යන්නම්
ජීවිතයත් ඔබම පමණයි
මගේ සැනසුමද
මගේ වේදනාවද
මගේ උමතුවද
ඔබම පමණයි

Tuesday, November 19, 2013

ප්‍රේම සම්බන්ධතා බොහොමයක් සබන් බුබුළු වගේ. කෙටි කාලීන පැවැත්මක් තියෙන්නේ. ඇයි එහෙම ආදර සම්බන්ධතාවලට වැඩි ආයුෂ නැත්තේ? මේ පිළිබඳ කතා කරද්දී, අපි දකින දකින තරුණියන් සමඟ සම්බන්ධතාවකට යන තරුණයන් වගේම, ඒ දේම කරන තරුණියොත් අත් හැරලා දාමු. ඒ අය සුව කරන්න ලංකාවේ කවිච්චියේ ප්‍රතිකාර වගේ සායන නෑනේ.

ආදරයක් විවාහයකට පෙරාතුව අවසන් වීමට පොදු හේතුව විදිහට සලකන්න පුළුවන් නොගැළපීම. මේ නොගැළපීමට හේතු මහා ගොඩක් තියෙනවා. හැබැයි මේ නොගැළපීම ආදර කතාවේ මුල්ම අවධියේත් තියෙනවා. ඒත් විවාහය කියන සන්ධිස්ථානයේදී තමයි මේ කෙස් ගස් වගේ තිබුණු නොගැළපීම් කොස් ගස් වගේ වෙන්නේ.

බුදු දහමෙදී කතා කරනවා හේතුඵලවාදය ගැන. සරලව ගත්තොත් හේතුවක් නිසා ඵලයක් හට ගන්නවා. මේක සොබා දහමට සාධාරණයි. ඒත් සංස්කෘතික ජීවිතයේදී හේතුව කියන්නේ ඵලයට පසුව එන දෙයක්. යම් සිදුවීමකට පසුව තමයි අපි හේතු සොයන්නේ. ඒ කියන්නේ යමක් වුණාට පසුව. ඉතින් ආදරයේදීත් මේ වගේමයි. පෙම්වතාට හෝ පෙම්වතියට වෙන අතක් බලා ගන්න හිතුණාම තමයි නොගැළපීම කියන හේතුව ඉස්මතු වෙන්නේ. ඉතින් ඒ හේතු ජාතිය, දේශය, කුලය, මව සහ පියා ගේ පටන් ධනය, බලය, නිලය වැනි අනන්ත සංඛ්‍යාවක් කාරණා දක්වා දිගු වෙන්න පුළුවන්.

අතීතයේදී බිඳුණු ප්‍රේමය වෙනුවෙන් ජීවිත කාලය හුදෙකලාව ගත කරපු පෙම්වතුන් හිටියා. එහෙම නැතිනම් සිය දිවි නසා ගත්තු, මත්පැනට ඇබ්බැහි වුණු පෙම්වතුන් සුලබව හිටියා. ඒත් ඒ අසූව දශකයට පෙරාතුව. එතැනින් පසුව විවෘත ආර්ථිකෙත් එක්ක ශුද්ධ වූ දේ පවා විකිණෙන්න ගන්නවා. එතැනදී ආදරය පවා තවදුරටත් නිර්ව්‍යාජ, අධ්‍යාත්මික බැඳීමක් නෙමෙයි. වෙළෙඳපොළේ විකිණිය හැකි තවත් එක් භාණ්ඩයක් විතරයි. ඉතින් මේ තත්කාලීන සමාජයේදී ආදරය වෙනුවට පවතින්නේ තෝරා ගැනීමක්; අනාගතයේ ලාභ ඉපදවිය හැකි ආයෝජනයක්. ඒ නිසා නටබුන් වූ ප්‍රේමයන් මත ඉකි බිඳ, වැළපෙන පෙම්වතුන්, පෙම්වතියන් අද දවසේ හොයා ගැනීම එච්චර පහසු දෙයක් නෙමෙයි.

ඒ කොහොම වුණත්, අද රස්තියාදුකාරයා කතා කරන්නේ පෙම් සබඳතා බිඳ වැටෙන එක්තරා වෙනස් ආකාරයක් පිළිබඳව. සමහර වෙලාවට පෙම් සබඳතා හිටි අඩියේ නවතිනවා. කාටවත් හේතුව තේරුම් ගන්න බෑ. මොකද හැමෝටම වගේ පේන්නේ පෙම්වතා සහ පෙම්වතිය එකිනෙකාට හරියටම පෑහෙනවා වගේ. රූපයෙන්, ගුණයෙන්, වත් පොහොසත් කමින්, පවුලේ තත්ත්වයෙන් දෙන්නා ඒ එකිනෙකා පරයන්නේ නෑ. ඒත් විවාහය වෙන්නේ නෑ. පුදුමයි නේද? ඒත් ඒක ඇත්තක්.

මේ කතාව රස්තියාදුකාරයා කාලෙකට ඉස්සර කියවපු කෙටි කතාවක තිබුණේ. කෙටි කතාවෙ නමවත් ලේඛකයා කවුද කියලාවත් රස්තියාදුකාරයාගේ මතකයට එන්නේ නෑ. ඒත් ඒ කතාවෙ සාරාංශය මේ වගේ. එක්තරා පාසලක තරුණ ගුරුවරයෙක් ඒ පාසලේම තරුණ ගුරුවරියකට පෙම් කරනවා. ගුරුවරිය ටිකක් දුර පළාතක. දවසක මේ ගුරුවරයා ඇගේ නිවෙසට යනවා. එදයින් පසු ඔහු ඇගෙන් ටික ටික දුරස් වෙනවා. එක් මොහොතක ඔහු ඇයටත් නොකියා වෙනත් පාසලකට මාරු වෙලා යනවා. දෙදෙනාගේ නොගැළපීමක් ගැන කාටවත් හිතා ගන්න බෑ. ඇත්තටම වෙන්නේ, මේ ගුරුවරයා එක්තරා නගරයකදී, සමහර විට කොළඹදී වෙන්නැති - දිනපතා දකින හිඟන්නෙකු හිටියා. එදා අර ගුරුවරියගේ නිවෙසෙදි හමු වෙන ඇගේ පියා මේ හිඟන්නා. ඔහු හිඟා කාලා තියෙන්නේ තමන්ගේ දුවට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න. ඒත් තමන්ගේ තාත්තා සිඟා යදින බව ඇය දන්නේ නෑ. හිඟන්නාට මේ ගුරුවරයා ගැන මතකයක් නෑ. මේ විදිහට ගුරුවරයාගේ අෑත්වීමට හේතුව දන්නේ ගුරුවරයාම විතරයි.

එක පැත්තකින් තමන් ආදරය කරන වගේම තමන්ට ආදරය කරන පෙම්වතිය. ඇගේ කියන්න ‍ෙදාසක් නෑ. ඇගේ පියා හිඟන්නෙකුවීම ඇගේ වරදක් නෙමෙයි. එහෙත් හිඟන්නෙකුගේ දුවක හා ආවාහ වීම සම්මතයට අනුව කළ නොහැක්කක්. මේ උභතෝකෝටිකයට පිළිතුරක් කෙසේ සොයන්නද? එක්කෝ, සමාජය තඹ පිච්චියකට මායිම් නොකර අෑ හා විවාහ විය යුතුයි. නොඑසේනම් අෑව අමතක කළ යුතුයි. උත්තරයක් සොයා ගත නොහෙන ඔහු කරන්නේ හිටි අඩියේ පළා යෑම.

ලියෝ තෝල්ස්තෝයි ‘බාල් නැටුමෙන් පසු’ නම් කෙටි කතාව ලියන්නේ 1903දී. මේ කෙටි කතාව රස්තියාදුකාරයාට කියවන්න ලැබෙන්නේ පද්ම හර්ෂ කුරුණගේ විසින් පරිවර්තනය කරන ලද රුසියානු කෙටි කතා සංග්‍රහයෙන්.

මේ කතාව කියන්නේ තමන්වම කමකට නැති මිනිසෙකු ලෙස හඳුන්වා ගන්න ඉවාන් වසිල්යෙවිච්. ඔහු පළාත් බද විශ්වවිද්‍යාලයක සිටින අවධියේ ප්‍රීතිමත්, කෙළිලොල් තරුණයෙක්. ඔහුගේ සිත් දිනා ගත් තරුණිය වරෙන්කා. ඇගේ පියා යුද නිලදරුවෙක්. එක් රැයක වංශාධිපතියකුගේ ප්‍රිය සම්භාෂණයකදී ඔහු වරෙන්කා සමඟ කළ බාල් නැටුමෙන් සතුටට පත් වෙනවා. ඇය කෙරෙහි වූ ඔහුගේ ආදරය නිසා ඔහුට එදින පාන්දර නින්ද යන්නේ නෑ. වධ බෙර හඬක් සමඟ හොරණෑ නාදයක් ඔහුට වරෙන්කාගෙ නිවෙස අසල වෙල් එළියෙන් ඇසෙනවා. ඔහු එදෙසට ඇදෙනවා. හමුදා සෙබළ කාණ්ඩයක් පැන යෑමට තැත් කළ ටාටර් වරයකුට කස පහර දෙමින් රැගෙන යනු ඔහුට දක්නට ලැබෙනවා. එම කණ්ඩායම මෙහෙයවන්නේ වරෙන්කාගේ පියා. හදිසියේ ඉවාන්ව දකින ඔහු ඉවාන් දෙස රවා බලනවා. ඉවාන් ලැජ්ජාවෙන් එතැනින් ඉවත්ව යනවා. ඒ සිදුවීම ඔහුට අමතක කරන්න බෑ. එදා රෑ වෙරිවන තුරු මත්පැන් බිව් පසුයි ඔහුට නින්ද යන්නේ. වරින් වර ඔහු වරෙන්කාව හමු වුණත්, ඇගේ මඳ සිනහව ඔහුට සිහි ගන්වනන්නේ වෙල් එළියේදී දුටු ඇගේ පියා. අෑ කෙරෙහි වූ ඔහුගේ ප්‍රේමය ක්‍රමයෙන් ක්‍ෂය වෙනවා.

යුධ හමුදාවට බැඳීමට තිබූ ආශාවත් ඉවාන්ගෙන් බැහැර වෙනවා. ඔහු කිසිවක් නොකරන කමකට නැති මිනිසෙකු බවට පත් වෙනවා. ඔහුගේ ජීවත් වීමේ ආශාව මෙන්ම වරෙන්කා කෙරෙහි වූ දැඩි ප්‍රේමය එක් රැයක් පහන්වන්නට සුන්නද්දූලි වෙලා යනවා. ඇය කෙරෙහි වූ ගැඹුරු, මුදු හැඟීම අතුරුදන් වෙනවා. අහම්බයකින් ඇස ගැටුණු අනපේක්‍ෂිත සිදුවීමක් ඔහුගේ ආදරයට මෙන්ම මුළු ජීවිතයටද බලපාන්නේ ඒ විදිහට. මේ කතාවේ ටෝල්ස්ටෝයි ගෙන එන තර්කය වෙන්නේ මිනිසා පරිසරය අනුව හැදෙනවා නෙමෙයි. ඔක්කොම වෙන්නේ ඉබේටයි කියන එක.

මෙතැනදී අපි පද්ම හර්ෂ කුරණගේ ලියූ රුසියානු කෙටි කතා හි 148 පිටුව උපුටා දක්වමු.
‘මගේ ප්‍රේමය? එදා හිටන් මගේ ප්‍රේමය ටිකෙන් ටික මැලවිලා යන්න පටන් ගත්තා. අද පුරුදු පරිදි කල්පනා සහිතව මඳ සිනා පාන කොට වෙල් එළියේදී දුටු අන්දමට මට නිලධාරියා මතක් වෙනවා. එයින් මට අපහසුවකුත්, අසන්තෝෂයකුත් දැනුණා. මම ටිකින් ටික ඇය බලන්න යෑම අත හැරියා.
මගේ ප්‍රේමය ක්‍රමයෙන් නැති වෙලා ගියා. සමහර වෙලාවට සිදුවන දේවල හැටි ඔහොම තමයි. ඒ වගේ සිදුවීම් මිනිසෙකුගේ මුළු ජීවිතයටම බලපානවා. මුළු ජීවිතය වෙනස් කරනවා.’

රස්තියාදුකාරයා මෙතැනදී මතුකරන්නේ, මොන තරම් බලවත් ප්‍රේමයක් වුණත් දරාගත නොහැකි සිදුවීමක් හරහා දෙදරා ඉරිතළා යන බවයි. මෙතැනදී වැදගත් කාරණය නම් මේ සිදුවීම ඇතුළේ පෙම්වතිය කොහෙත්ම නෑ. ඇය එහෙම සිදුවීමක් දන්නෙවත් නෑ. ඒත් ඇගෙන් බාහිර, ඇගෙන් තොර එහෙත් ඇගේ පියා සම්බන්ධ අමානුෂික ක්‍රියා කලාපය අවසාන කරන්නේ ඇය අත්විඳින ඔහුගේ ආදරය. ඒ එක්ක විනාශ වෙන්නේ ඔහුගේ ජීවිතය.
මේ අත්දැකීම රුසියාවේ ඉවාන් වසිල්යෙවිච්ට පමණක් සීමා වූවක් කියලා දැන් ඔයාලා හිතනවා ඇති. කරුණාකර තමන්ගේ ගැටවර වියට ආපහු යන්න. එදා පටන් මේ දක්වා කාලය අනුලෝම ප්‍රතිලෝමව සිහිපත් කරන්න. ඔයා ජීවිතය ඇතුළේ, ආදරය ඇතුළේ රස්තියාදු ගහපු කෙනෙකු නෙම් ඔයාගේ ජීවිතයේ මේ වගේ සිදුවීමක් නැති වෙන්න බෑ.

බොහෝ වෙලාවට තමන් ආදරය කරන තරුණියට ඒ තරම් ම වෛර කරන තරුණයො ඔබට හමු වෙලා නැතිද? තරුණයෙක් තරුණියකට උමතු ලෙස ආදරය කරනවා. එහෙත් ඇය දකින විට ඔහුට මැවෙන්නේ අප්‍රසන්න මතකයක්. ඇගෙන් තොර ලෝකයක් ඔහුට නෑ. ඒත් අර අප්‍රිය සහගත මතකය එක්ක ඔහුට ජීවත් වෙන්නත් බෑ. හොඳයි ඔබ ඔහු නම් මොකක්ද ගන්න තීරණය?
ඔබ ආදරය කරන තරුණියගේ පියා, සාහසිකව මරා දැමූ ඔබේ පියාගේ ඝාතකයා බව ඔබට දැන ගන්නට ලැබුණොත්... 

Sunday, November 10, 2013

ජේත්තුකාර රස්තියාදුව
රස්තියාදුකාරයා ගොම්මන් කළුවරත් එක්ක වේයන්ගොඩ සීගිරි සිනමා ශාලාවට රිංගුවා. ඒ ජයන්ත චන්ද්‍රසිරිගේ සමනල සංධ්වනිය නැරැඹීමේ අභිලාෂයෙන්. සමනල සංධ්වනියට කලින් මාස ගණනාවක් සීගිරිය බදු අරන් හිටියේ සිරි පැරකුම් ඒකෙදි ජනතාව පවුල් පිටින් අතීත කාමයට රොක් වුණා. සමනල සංධ්වනියත් එක්තරා ආකාරයකට අතීත කාමයක් තමයි. ඒත් ඒක නරඹන්න ජන ගංගාවක් නම් ගලන්නේ නෑ. බහුතරයක් ලාංකිකයෝ කියන්නේ ආත්මාභිමානය බිංදුවට සමාන කොටසක්. මෙයාලා බලාගෙන ඉන්නේ තිරයට හරි කමක් නෑ රජ කෙනකු පහළ වෙන තුරු. මොකද වන්දනාමාන කරන්න. බෞද්ධ දර්ශනය කෙසේ වෙතත් ලාංකිකයා හරියටම උකහාගෙන තියෙන්නේ දණ්ඩ නමස්කාරය තමයි. මේක හරියට ස්වාමි-සේවක සබඳතාව වගේ. ස්වාමියා කොයිතරම් සේවකයාව පීඩාවට පත් කළත්, සේවකයාට  ස්වාමියාගෙන් තොර පැවැත්මක් නෑ. තවමත් ප්‍රවේණිදාස ක්‍රමයේ හැව ඇරගන්න බෑ අපට.

ඒ කතාව පැත්තකට දාමු. මොකද ලාංකික චින්තනය කියන්නේ ගස්, වැල් වගේ සොබාදහමට අයිති දෙයක් මිස සංස්කෘතික කාරණාවක් නෙවෙයිනේ.
රස්තියාදුකාරයා සමනල සංධ්වනිය නරඹන්න ගියේ බරපතළ කුතුහලයකින්. ඒකට හේතුපාදක වුණේ එයාට එහෙන් මෙහෙන් ඇහුණු චිත්‍රපටයේ තේමා ගීතය.
ඉකි ගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා.......

මේ කතාව අතීතයට සම්බන්ධ එකක් බව පැහැදිලියි. ඒත් මොකක්ද මේ මගේ නොවන මගේම ආදරය කියන්නේ? ඒක ටිකක් විතර ප්‍රහේලිකාත්මකයි. මගේ නොවන කියන්නේ මට අයිති නෑ කියන එක. මට අයිති නැති මගේ ආදරය කියන්නේ වෙන කාගෙවත් තරුණියකට ආදරය කරනවා වගේ තේරුමක්නේ. ඉතින් රස්තියාදුකාරයාට ඕනෑ වුණේ මේ මගේ නොවන මගේම ආදරය විඳින්න. කොහොමත් ආදර සාහිත්‍යයට එකතු වෙන්නේ සාම්ප්‍රදායික ආදර කතා හරි විවාහ හරි නෙවෙයිනේ. ඒ අතින් බලද්දී අසම්මත ආදරය කියන්නේ ආදරයේ සම්මතය වගේ. කොහොම හරි කමක් නෑ. රස්තියාදුකාරයා සමනල සංධ්වනියේ සාරාංශයෙන් පටන්ගන්නම්.

සමනල සංධ්වනිය දිග හැරෙන්නේ 1992 අවුරුද්දේ ඉඳන් 2013 අවුරුද්ද දක්වා. ඒ කියන්නේ එස්.එම්.එස්. යුගයට පෙර ලියුම්වලින් සන්නිවේදනය වන යුගයේ පටන්. මේ කතාව ඇරැඹෙන්නේ වාදීෂ දේවින්ද වික්‍රමනායක කියන ගැටවරයාට අහම්බයකින් හමුවන ආදර හසුනකින්. ඒ පුන්‍යා නම් තරුණියක විසින් ඇගේ පෙම්වතා වන රේවතට ලියන ලද්දක්. ලියුමට අනුව ඔවුන් හැම අවුරුද්දෙම මාර්තු 07 නුවරඑළියේ කුමාරි උද්‍යානයේදී හමුවෙන්න නියමිතයි. ඉතින් වාදීෂ මාර්තු 7 වැනිදා කුමාරි උද්‍යානයට යනවා. ඒ පුන්‍යාට ලියුම භාරදෙන්න. පුන්‍යාව දැකගන්න වාදීෂට හැකි වුණත් 92 අවුරුද්දෙවත්, 93 අවුරුද්දෙවත් ලියුම පුන්‍යාට දෙන්න වාදීෂට බැරිවෙනවා. මේ ලියුම ගැන දැනගන්න වාදීෂගේ අයියා ලියුම වාදීෂගෙන් අරගන්නවා. ඔහු මාර්තු 7 වැනිදා ජීවිතයෙන් අමතක කරන්න වාදීෂට බලකරනවා. යළි අපට වාදීෂ හමුවෙද්දී ඔහු ජනප්‍රිය සංගීතවේදියෙක්. විවාහක එක් දරු පියෙක්. ඒත්, ඔහු තදින් බීමට ඇබ්බැහිවෙලා. 2013 පෙබරවාරියේ දවසක වාදීෂගෙ උපන් දිනය. එදා වාදීෂගෙ අයියා අර පුන්‍යාගේ ලියුම වාදීෂ අතට පත්කරනවා. 2013 මාර්තු 7 යළි වාදීෂ කුමාරි උද්‍යානයට යනවා. අවුරුදු 21ට පසු ඔහුට පුන්‍යා හමුවෙනවා. මේ වෙද්දී පුන්‍යාගෙ සැමියා රේවත, පුදුමාතලන් ක්‍රියාන්විතයේදී මියගිහින්. වාදීෂ, පුන්‍යාගෙන් සමුගන්නේ ඔහුගේ සංගීත සංධ්වනිය නැරැඹීමට ඇයට ආරාධනා කරමින්. එහිදී ඔහු පුන්‍යාට ඇගේ ලිපිය භාර දෙනවා. ඒ මෙසේ කියමින්. ‘මට මගේ ළඟට එන්න දෙන්න.’

හීනෙන් හිනැහී තුන් යම මා රවටා
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිළෙනවා
නින්දෙන් ඇහැරී කළුවරේම යළි සොයනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා.....


වාදීෂ ආදරය හඳුනාගන්නේ පුන්‍යාගේ ලියුමෙන්. මුලින්ම ඔහු ලියුමේ පිට කවරය සොයන්න වෙහෙස ගන්නවා. ඒක හරියන්නේ නෑ. ඊළඟට ඔහු 92 මාර්තු 7 කුමාරි උද්‍යානයට යනවා. පළමුවෙන් ඔහු ලියුම දෙන්නේ වැරැදි තරුණියකට. ඊළඟට ඔහු පුන්‍යාව දකිනවා. ඔහු අෑ පසුපස යනවා. එතැනදී ඔහු පුන්‍යාගේ නවාතැනේ තරුණියන්ගේ ගුටි පූජාවකට ඉලක්ක වෙනවා. නැවත ඔහු පුන්‍යාගේ නවාතැනට යද්දී ඇය එතැනින් යන්න ගිහින්. ලියුමෙන් මිදෙන්න ඔහු එය දිය ඇල්ලකට විසිකරනවා. ඒත් නැවතත් එය ඔහුට ලැබෙනවා. ඊළඟ අවුරුද්දේ ඒ කියන්නේ 93 අවුරුද්දේ මාර්තු 7 ඔහු යළි කුමාරි උද්‍යානයට යනවා. එතැනදී පුන්‍යාට හිරිහැර කරන්න සැරසෙන පාදඩයකුට ඔහු පහර දෙනවා. ඒ මැරයන්ගෙන් ඔහු ගැලවෙන්නේ අමාරුවෙන්. එතැනදීත් ඔහුට පුන්‍යාව මඟ හැරෙනවා.
වාදීෂ ජීවත්වෙන්නේ පුන්‍යාගේ ලියුම හිතේ දරාගෙන. පුන්‍යාගේ වචන ඔහුගේ හිතේ නින්නාද වෙනවා. ඔහු පුන්‍යාව හමුවෙලා ලියුම ඇයට භාරදෙන්න මහත් වෙහෙසක් දරනවා. අනපේක්‍ෂිත ගැටුම්වලට මැදිවෙනවා. ඔහුගේ මේ මහන්සිය, ශ්‍රමය එක්ක ඔහුගේ හිතේ පුන්‍යා ගැන ආදරයක් ඇතිවෙනවා. මේ ලක්‍ෂ්‍යයේදී තමයි වාදීෂගේ අයියා, වාදීෂගෙන් පුන්‍යාගේ ලියුම උදුරාගන්නේ. ඒත් අවුරුදු 21ක් පුරාවට වාදීෂ ජීවත්වෙන්නේ පුන්‍යා ගැන මතකයේ. ඔහුට ඇයව මොහොතකටවත් අමතක වෙන්නේ නෑ. ඔහුගේ ගීතයන්ට පාදකවෙන්නේ මේ අහිමි ආදරයේ වේදනාව. වාදීෂ සැබැවින්ම විඳින මානසික පීඩාව. ළතැවුල. ඒ නිසයි ඒ ගීත සාර්ථක වෙන්නේ. ඔහුගේ හදවතේ ගැඹුරුම වේදනාව සුන්දර ශෝක ගීතයන් නිර්මාණය කරනවා.

2013 පෙබරවාරියේදී වාදීෂට, පුන්‍යාගේ ලියුම ආපසු ලැබෙනවා. ඒ වාදීෂගේ අයියාගෙන් වාදීෂට ලැබෙන උපන්දින තෑග්ග. එතැනදී වාදීෂගේ සොහොයුරාගේ කතාවෙන් වාදීෂගේ ජීවිතය නිරාවරණය වෙනවා. අපි දැනටමත් වාදීෂ මධුලෝලියකු බව දන්නවා. ඒත් ඒ කලාකාරයන්ගේ සාමාන්‍ය විදිය කියලා අපට හිතහදාගන්න බෑ. වාදීෂ, පුන්‍යා ගැන මතක මත්වතුරේ දිය කරන්න උත්සාහ ගන්නේ. ඒත් ඒක අසාර්ථක වෑයමක්. මේ වෙද්දී වාදීෂ, විවාහක එක්දරු පියෙක්. සෞන්දර්යා, ඔහුගේ බිරිය ආදරයක කූටප්‍රාප්තිය නෙවෙයි. යෝජිත විවාහයක ප්‍රතිඵලයක්. ඒත් ඇය වාදීෂට ආදරෙයි. වාදීෂව විවාහ කරවන්නේ, ඔහුගේ නිමක් නැති පෙම් පටලැවිලි නිසා තරුණියන් අසරණ වීම වළක්වන්න. ඒ බව පවසන්නේ වාදීෂගේ අයියා. ඒත් මෙතැනදී වාදීෂ සල්ලාලයකු ලෙස සලකන්න බෑ. මේ කෙටි පෙම් සබඳතා කලාකරුවන්ගේ පැෂන් එක විදියට ගන්නත් බෑ. පුන්‍යාගේ මතකත් එක්ක වාදීෂට වෙන පෙම් සබඳතාවක් දිගටම පවත්වාගෙන යන්න බෑ. වරින් වර මතකයට එන පුන්‍යා වාදීෂගේ පෙම් සබඳතාවල නිමාව සටහන් කරනවා. ඒ නිසයි ඔහුට ස්ථීර ආදරයක් ඇති නොවෙන්නේ.

බැලූ බැල්මට මේ කතාව විශ්වාස කරන්න බෑ වගේ. කොහේද ඉන්න පෙම්වතියක් එයාගේ පෙම්වතාට ලියපු ආදර හසුනක් වෙන කෙනකුගේ ජීවිතයට මේ තරම් බලපෑමක් කරයිද? ඒත් අපි හැමෝම දැන හෝ නොදැන මේ වගේ අතීත කතාවක් එක්ක ජීවත්වෙනවා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? කවුරු අකැමැති වුණත් ඇත්ත ඒක තමයි. අපේ වර්තමාන ජීවිතය කියන්නේ අපිට මතක හෝ අමතක අතීත සිදුවීමක ප්‍රක්ෂේපණයක්ම විතරයි.

අපි මේ කතාව තවත් පැහැදිලි කරගන්න බලමු. මවගේ ගර්භාෂයේ වැඩෙන කලලය මෙලොව එළිය දකින්නේ ළදරුවෙක් විදියට. මේ ළදරුවා බිහිවෙන්නේ භාෂා ලෝකයට. එයා බහ තෝරන්න ගන්නවා. ළදරුවා දරුවෙක් වෙලා ඊගාවට ළමයෙක් වෙනවා. ඊටත් පස්සේ යොවුන් විය. අධ්‍යාපනය ඉවර වෙලා රැකියාවක්. එතැන්නි පස්සේ පරස්තාවක්, සාමාන්‍යයෙන් කෙනකු අත්විඳින ජීවිතය මේකයි. දෘශ්‍යමානය සත්‍ය නම් කෙනකුගේ ජීවිතය පටන්ගන්නේ එයා මෙලොව එළිය දැකපුදා ඉඳන්. සත්‍ය නම් කෙනකුගේ පසුකාලීන ජීවිතය කියන්නේ මීට වෙනස් දෙයක්. කෙනකුට තමන්ගේ ළමා කාලයේදී විඳින්නට සිදුවන දරාගත නොහැකි අත්දැකීමක් හරහා තමයි එයාගේ වර්තමානය නැත්නම් අනාගතය තීරණය වෙන්නේ. බොහෝ වේලාවට මේ දරාගත නොහැකි අත්දැකීම කෙනකුගේ මතකයේ නෑ. ඒත් එයාගේ ජීවිතය තීරණය වෙන්නේ එයාට අමතක එයාගේ යටි සිතට මතක මේ සිදුවීම එක්ක.

දැන් ඔයාලට වාදීෂව තේරුම්ගන්න පහසුයි. එයාගේ ජීවිතයේ මුල් කාලයේ හමුවන ආදර හසුන එයාව කැලඹීමකට පත්කරනවා. ඒ හසුන පුන්‍යාට භාරදෙන්න එයාට බැරි වෙනවා. ඒත් එයාගේ ජීවිතයේ පසු කාලයට බලපාන්නේ මේ හසුන. ඒ වාදීෂ ආදරය හඳුනාගන්න විදිය. ඇත්තටම වාදීෂ ආදරය කරන්නේ පුන්‍යාට. ඒ ආදරය එයාට දැනෙන්නේ පුන්‍යාගේ වදන් අතරින්. වෙන තරුණියකට හිත නොයන්න තරම් ඒ අත්දැකීම ගොඩක් ප්‍රබලයි. එයාට සෞන්දර්යා විවාහ කරගන්න සිදුවෙනවා. ඒත් එයා බැඳිලා ඉන්නේ පුන්‍යා එක්ක.

අන්තිමට පුන්‍යා වාදීෂගේ සංගීත සංධ්වනිය රසවිඳින්න එනවා. එතැනදී වාදීෂ පුන්‍යාට එයාගේ ආදර හසුන භාරදෙනවා. කඳුළු සලන පුන්‍යාගේ මුහුණ වාදීෂගේ මුහුණට සමීප වෙනවා. ඇත්ත නම් වාදීෂත් පුන්‍යාත් එකිනෙකා වැලඳගන්න ඕනෑ. ඒත් මේ වෙද්දී පුන්‍යා වියපත්. වාදීෂ එක් දරු පියෙක්. එක් වෙන්නට ඉඩක් නැති අවකාශයක්. පුන්‍යාට පුන්‍යාගේ ලියුම දෙනවාත් එක්කම වාදීෂ පුන්‍යාගෙන් අෑත් වෙනවා.

මේක හරියට මනෝ විශ්ලේෂණයකදී කෙනකු තමන්ගේ මානසික රෝගයේ මූල බීජය හඳුනාගන්නවා වාගේ. එතැනින් පස්සේ එයාට සාමාන්‍ය ජීවිතයකට යන්න පුළුවන්.

කොහොම වුණත් කෙනකුගේ ජීවිතය කියන්නේ එයා සබුද්ධිකව හසුරුවන දෙයකට වඩා දැන හෝ නොදැන එයාගේ මතකයේ සනිටුහන් වුණු අමතක නොවන අතීත මතකයක ප්‍රක්ෂේපණයක් බව යළිත් අවධාරණය කරන්නම්.
රිදුමක් වාගේ කිසිදා සුව නොවනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරුවනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා...

Sunday, November 3, 2013

ජේත්තුකාර රස්තියාදුව
අවුරුදු අටකට පෙර මා ඔබ දුටුවේ ඔබ සර්කස් බලමින් සිටියදීය. ඒ මොහොතේම මම මටම මෙසේ කියාගතිමි; ‘මම ඇයට ප්‍රේම කරන්නේ අෑ වැනි කිසිවකු - සතෙකු, ගහක්, කොළක්, තාරකාවක්, ඇයට වඩා සුන්දර සුකුමාර කිසිම මනුෂ්‍යයකු මේ ලොව නොමැති හෙයිනි.’ මේ පොළොවේ සියලුම සුන්දරත්වය ඔබ තුළ ගැබ් කොට ඇතිවාක් මෙනි.

හිතා බලන්න! මම මොනව කරන්නද? වෙන නගරයකට පලා යන්නද? එහෙත් මගේ හදවත හැම විටම ඔබ ළඟය. ඔබගේ පා ළඟය. මගේ හදවත හැම විටම ඔබ පිළිබඳ සිතිවිලිවලින්, ඔබ පිළිබඳ සිහිනවලින් පෙම්බර උමතුවකින් පිරී ඇත.’
ඔබ මේ කියැවූයේ වේරා නිකොලායෙව්නා කුමරියට පෙම් බැඳි ෂෙල්ට්කොෆ් නම් මානවකයා සිය දිවි තොරකර ගැන්මට පෙර වේරා කුමරිය වෙත යැවූ ලිපියේ කොටසකි. සිය ප්‍රේමයෙන් මිදෙන හසරක් නොමැතිව මරු වසඟයට ගිය ෂෙල්ට්කොෆ් අපට හමුවන්නේ ඇලෙක්සන්දර් කප්රින් විසින් 1910 දී රචනා කරන ලද රත්මිණි වළල්ල කෙටි කතාවෙනි.

වේරා කුමරිය විවාහක කතකි. ඇගේ සැමියා රදළ නායකයකු වූ ෂේයින් කුමරුය. සැප්තැම්බර් 17ට යෙදී තිබෙන වේරා කුමරියගේ උපන් දින දා ඇයට එවැන්නකු හඳුනාගත නොහැකි වුණු උපන්දින ත්‍යාගයක් ලැබේ. ඒ රත්මිණි වළල්ලකි. එයට වගකිව යුත්තා ෂෙල්ට්කොෆ් නමැති අයකු බව දැනගන්නා ෂෙයික් කුමරු හා වේරා කුමරියගේ සොහොයුරු නිකොලොයි ඔහුව සොයා යයි. වේරා කෙරෙහි වූ ප්‍රේමයෙන් මිදෙන්නට ෂෙල්ට්කොෆ්ට නොහැකිය. එහෙත් එය වේරාට කරදරයකි. ඇගේ යුගදිවියට බාධාවකි. එහෙයින් ෂෙල්ට්කොෆ්, වේරා කුමරියගේ යහපත උදෙසා සිය ආදරයත් දරාගෙන අවසන් ගමන් යයි.

ප්‍රේමය වෙනුවෙන් දිවි පිදූවන් ගැන අතීත කතා අපි කොතෙකුත් අසා ඇත්තෙමු. මතකයෙන් අෑත් කළ නොහැකි ප්‍රේමය හමුවේ මත්පැනට ගොදුරුව ජීවිතය කාලකණ්ණි කර ගත්තවුන්ද දුලබ නොවේ. එහෙත් ඒ බොහෝ විට බිඳුණු ප්‍රේමයන් හමුවේයි. මෙතැනදී අපේ ෂෙල්ට්කොෆ් ඔවුන්ගෙන් ඉඳුරාම වෙනස්ය. වේරා කුමරිය සමඟ ඔහුගේ සුළු හෝ පෙම් සබඳතාවක් නොවීය. හරියටම නම් ෂෙල්ට්කොෆ් යනු ඒක පාක්‍ෂික පෙම්වතෙකි. වසර අටක් පුරාවට ඔහුගේ හිතෙහි රැඳී සිටියේ වේරා කුමරිය පමණි. අෑ පිළිබඳ ඔහුගේ මතකයන්හි ඔහු නොවීය. ඔහුගේ දිවියේ වටිනාම දේ වූයේ වේරා කුමරිය උත්සවයක බාල් නැටුමකදී පුටුවක් උඩ අමතක කර දමා ගිය ලේන්සුවක් හා තමාට ලියන්නට එපා යැයි අෑ ඔහුට එවූ ලියුම් කැබැල්ලකි. ඒ හැරෙන්නට ඇයට අමතකව ගිය අෑ අතේ වූ කලා ප්‍රදර්ශනයක පත්‍රිකාවකි. ඔහු අෑ පිළිබඳ කෙතරම් විමසිල්ලෙන් සිටියේද යත්, ඇය බිතෝවන්ගේ සංගීතය ඇසීමට නිතර යන බව ඔහු දනියි. කෙසේ වුව ඔහු සිය දිවියෙන් සමුගන්නට පෙර, තමා දැඩිව ඇළුම් කළ ඒ සිහිවටන පුලුස්සා දැමුවේය. ඒ වේරා කුමරිය තම මරණයට ගෑවීම වැළැක්වීමටය.

පුම ඉතිරි බේදයකින් තොරව ආදරය කිරීමට මෙන්ම ආදරය ලැබීමට මිනිස් වග ආශා කරති. එහෙත් ජීවිතයේ සත්‍ය ස්වභාවය වූ කලී වෙනස් වීමයි. එබැවින් ආදරය යන්න මෙතැනදී නම් ස්ත්‍රී පුරුෂ ලිංගිකයන් අතර බැඳීම යනු බොහෝවිට නියතයක් නොව විචල්‍යයකි. ආදරයෙන් බැඳුණු දෙදෙනකු වුව යම් මොහොතක දුරස්වන්නට ඉඩ ඇත. නොඑසේ නම් ආදරයේ කූටප්‍රාප්තිය වූ විවාහයෙන් අනතුරුව පවා සැමියා හෝ බිරිය වෙනත් සබඳතා සොයා යෑමේ ප්‍රවණතාවක් ඇත. ආදරය දෝර ගලා යද්දී විවාපත්වන්නන් පවා සිය සහකරු හෝ සහකාරිය වෙනුවට නව සබඳතා කරා ඇදී යෑම බැලූ බැල්මට වරදක් ලෙස පෙනුණද අද සාමාන්‍යකරණයට ලක්වූවකි. මෙබඳු වූ ලෝකයක ෂෙල්ට්කොෆ් සුවිශේෂයකි. ඔහු තමා ආදරය කරන එහෙත් තමාට පෙරළා ආදරයෙන් ප්‍රතිචාර නොදක්වන වේරා කුමරියගෙන් දුරස්වීම වෙනුවට මරණය ඉත සිතින් වැලඳ ගනී.

ඕනෑම අයෙක් තමා වෙනුවෙන්ම කැපවුණු, තමාටම පමණක් ආදරය කරන පෙම්වතකු හෝ පෙම්වතියක රහසින් ප්‍රාර්ථනා කරති. කලාතුරකින් කෙනකුට සිය ජීවිතයේදී වරක් පමණක් අත්විඳින්නට ලැබෙන මෙබඳු දිව්‍යමය ප්‍රේමයක්, බොහෝවිට ජීවිතයට ළංවීමට පෙර මඟහැරේ. තරුණයෙක් තරුණියකට ආදරය කරයි. එහෙත් ඔහු තම ආදරය ප්‍රකාශ කිරීමට මැලි වේ. සිත පුරා ආදරය පුරවාගෙන තමා ප්‍රතික්ෂේප වේ යන බියෙන් ඔහු කල් මරයි. මේ වනවිට ඇය වෙනකකුගේ පෙම්වතියකි. එහෙත් ඔහුට ඇයව සිය සිතින් ඉවත් කරගත නොහැකිය. මේ ලෙස සැබෑ ආදරය යන්න සාක්ෂාත් වීමට පෙරාතුව අත්හැරෙන්නකි. ගුවන් විදුලියෙන් දහස් ගණනක් විරහ ගී ඇසෙන්නේත්, සාහිත්‍යයට බිඳුණු පෙම් කතා එකතු වන්නේත් මේ සාක්‍ෂාත් නොවුණු ප්‍රේමය නිසාය. ඔබ සිතින් ආදරය කළ ඔබේ සිත් ගත් තරුණිය යම් දිනෙක ඔබ ඇය වෙනුවෙන් තවමත් වෙනකකු නොපතන බව දැනගතහොත්.... එවිට ඇය බිරියක, මවකව සිටියත් ඔබ වෙනුවෙන් කඳුළක් නොහෙළාවිද? ජීවිතයේ කෙනකු විඳින්නට ආශා කරන ඒ ආත්ම පරිත්‍යාගශීලී ප්‍රේමය තමාට මඟහැරුණු බව ඇය වටහාගනු ඇත.

ආදරය යන්නට නිර්වචන සපයන්නට පටන් ගැනුණේ අද, ඊයේ නොවේ. ඒ මිනිසා භාෂා ලෝකයට ඇතුළුව ස්ත්‍රී පුරුෂ මිනිස් සබඳතා අර්ථ ගන්වන්නට පටන්ගත් විටය. එක් අතකින් මානසික රෝගයක් ලෙසට තර්ක කළ හැකි ආදරය සංකීර්ණ මනෝ භාවයකි.

ඔබට තරුණියක හමුවේ. ඇය ඔබ ප්‍රාර්ථනා කළ පෙම්වතිය බව ඔබට වැටහේ. ඇගේ ගතිගුණ ඔබ ආශා කළ ඒවාය. දැන් ඔබ ඇගේ පෙම්වතාය. ඇය ඔබේ පෙම්වතියයි. මේ ආදරය යනු බොහෝවිට වරදවා වටහාගත් එකකි. ඔබ තරුණියක වෙත ඇදී යන්නේ ඇය ඔබේ යටි සිතේ රැඳුණු රුවට සමරූප වීම හේතුවෙනි. ඇයට ආකර්ෂණය වූ ඔබ දකින, ඔබ ආශා කරන ඇගේ ගතිලක්‍ෂණ යනු ඇගේ සත්‍ය ගති ස්වභාවය නොවේ. ඒ ඔබ අෑ වෙත ආරෝපණය කළ, අෑ තුළ තිබිය යුතුයැයි ඔබ අපේක්‍ෂා කරන ගති ලක්‍ෂණයි. එබැවින් ඔබේ පෙම්වතිය යනු ඔබ ආශා කරන ගුණාංග ඔබ විසින්ම ආරෝපණය කරන ලද සජීවී ස්ත්‍රී රූපයකි.
රස්තියාදුකාරයාට, ෂෙල්ට්කොෆ් පිළිබඳ කතා කරන්නට සිදුවන්නේ ඔහු ඔබ මෙන් හිමිකරගැන්මේ අපේක්‍ෂාවෙන් තොරව නොමසුරුව පෙම් කරන ආදරවන්තයකු බැවිනි. වේරා කුමරිය උසස් සමාජ පන්තියකය. ඇගේ සැමියා රදළ නායකයෙකි. ඇගේ පන්තිය පිළිබඳ ඔහුට වැටහීමක් නැත. එබැවින් ඔහුගේ ආදරය කොන්දේසි විරහිත එකකි. යටත්විජිත පිරිසෙයින් පෙරළා ආදරයවත් අපේක්‍ෂා නොකර හිමිකර ගැන්මේ බලාපොරොත්තුවකින් තොරව ඔබට තරුණියකට හෝ තරුණයකුට ආදරය කළ හැකි නම් ඇගේ මතකයෙන් ඔබට මිදිය නොහැකි නම් වේරා කුමරියට මඟහැරුණු ආත්ම පරිත්‍යාගශීලී සැබෑ ප්‍රේමය එයයි.

අද දවසේ ෂෙල්ට්කොෆ්ගේ ආගමනයක් දැකීම විරලය. ඔහු මෙන් ආදරය සිත පුරා පැතිරුණු මානවකයන්ට අද කවරකු හෝ සමඟ විවාහ වීමට සිදුවේ. ඒ සමාජයට බියෙනි. කල වයස ගෙවෙන විට තනිව සිටීම අවමානයට කරුණකි. සැමදා කඩෙක් කෑමට නොහැකි නිසා බත් පත සරිකරන ගැහැනියක, මහලු වූ කල වැඩිහිටි නිවාසයකට යෑමේ බියෙන් සැලකුම් ලබන්නට දූ දරුවන් සෑදීම මේ විවාහයේ අපේක්‍ෂාවයි. ෂෙල්ට්කොෆ් ලෙස වෙඩි තබාගෙන සිය පරම්පරාව අපහාසයට ලක් කිරීමට ඔහුට නොහැක. එබැවින් අපට කළ හැක්කේ ෂෙල්ට්කොෆ් වෙනුවෙන් අවුරුදු දහස් ගණනකට වරක් පැමිණෙන එම උදාර ප්‍රේමය වෙනුවෙන් බිතෝවන්ගේ මෙම වාදනයට සවන් දීමයි.

වේදනාව, දුක හා මරණය කරා බැගෑපත්ව ප්‍රීති සහගතව විනාශයට ගිය ජීවිතයක් මිහිරි නාදය තුළින් ඔබට පෙන්වමි. මැසිවිල්ල, අවලාදය හෝ ආඩම්බරකමේ ශෝකය හෝ වැනි කිසිවක් මම නොදන්නෙමි. ඔබගේ නාමයට ආශීර්වාද වේවා!
ඔව්. දුක, ලේ සහ මරණය මම කල් තියා දකිමි. ආත්මයෙන් ශරීරය වෙන් කිරීම අමාරු යැයි සිතමි. එහෙත් සුන්දර ප්‍රශංසාව, හැඟීම්බර ප්‍රශංසාව, සාන්ත ප්‍රේමය මම ඔබට දානය කරමි. ඔබගේ නාමයට ආශීර්වාද වේවා!
ඔබගේ හැම පියවරක්ම, හැම මඳ සිනාවක්ම, හැම බැල්මක්ම, හැම අඩි ශබ්දයක්ම මම මෙනෙහි කරමි. මගේ අන්තිම සිහි කිරීම් මිහිරි ශෝකයක් තුළ සුමුදු සුන්දර ශෝකයක් තුළ ගැබ්වී ඇත. එහෙත් මම ඔබගේ ශෝකයේ හේතුවක් නොවෙමි. දෙවියන්ගේ කැමැත්ත, ඉරණම අනුව නිහඬව හුදකලාව මම යන්නෙමි.
ඔබගේ නාමයට ආශීර්වාද වේවා!

මගේ සෝබර මිය යන පැයෙහි මම ඔබ අබිමුව පමණක් යදිමි. මටද ජීවිතය සුන්දර වන්නට තිබිණි. නොකොඳුරන්න, මගේ අසරණ හදවත නොකොඳුරන්න. මගේ ආත්මය තුළින් මම මරණය කැඳවමි. එහෙත් මගේ හදවත ඔබ සඳහා කෙරෙන ප්‍රශංසාවෙන් පිරී ඇත.
ඔබගේ නාමයට ආශීර්වාද වේවා!
ඔබවත් - ඔබ වටා සිටින අයවත් ඔබ කොතෙක් සුන්දරදැයි නොදනිති. වේලාව වදී. දැන් වේලාව හරි. මරණාසන්න ජීවිතය අවසන්වන දුක්බර මොහොතේ මම තවමත් ගයමි.
ඔබට මහිමය අත්වේවා!
දැන් එය - සාන්ත මරණය - පැමිණෙයි
ඔබට මහිමය අත්වේවා!


(උපුටාගැනීම) රත්මිණි වළල්ල - අලෙක්සන්දර් කැප්රින්

Wednesday, October 16, 2013

ජේත්තුකාර රස්තියාදුව
මෙම වෘත්තාන්තය කෙසේ පටන් ගත යුතු දැයි මම නොදනිමි. පසුගිය කාලය තුළ සිදුවූ හැමදේ ඒ සිදුවූ අනුපිළිවෙළින්ම මා සිහිපත් කළ යුතුයි. එහෙත් ඒ සිදුවීම් මා මතකයට නැඟෙන්නේ එවන් කාල රටාවකට අනුව නොවේ. එය එලෙසම ඔබට විස්තර කළහොත් එය අගක් මුලක් නැති නන් දෙඩවිල්ලක් යැයි ඔබ සිතනු ඇත. ඔබ කුමක් සිතුවත් මට ඉන් ඇති ඵලය කුමක්ද? මා උත්සාහ කරන්නේ ඔබට කතාන්දරයක් කීමට නොවේ. මා සිත අරක් ගත් බරකින් නිදහස් වීමටයි. ඉන් පසු මා සිටින කාමරයේ බාල්කයේ ගැට ගසා ඇති කඹයෙන් මගේ දිවි තොර කර ගනිමි.

මේ රස්තියාදුකාරයාගේ පාපෝච්චාරණයක් නෙවෙයි. නිධානයක් ගැනීමට සිය බිරිය වූ අයිරින්ව මරා දැමූ විලී අබේනායකගේ පාපෝච්චාරණයයි. විලී අපට හමුවන්නේ ලෙස්ටර්ගේ නිධානය චිත්‍රපටයෙන්. මේ නිධානයට පාදක වන්නේ ජී.බී. සේනානායකගේ එනමින්ම වූ කෙටි කතාවක්. ඒත් මෙතැනදී රස්තියාදුකාරයා ඉස්මතු කරන්නේ විලී අබේනායක ලෙස රඟපෑ ගාමිණී ෆොන්සේකාගේ ප්‍රතිභාවය. ජෝ අබේවික්‍රම, විජය කුමාරණතුංග, ටෝනි රණසිංහ, රවීන්ද්‍ර රන්දෙණිය වගේ දක්‍ෂ නළුවන් හිටියත් ගාමිණී තමයි සිංහල සිනමාවේ අසමසම පෞරුෂත්වය. ගාමිණීට කිට්ටු කරන්න නළුවෙක් රස්තියාදුකාරයාගේ ජීවිත කාලේ නම් බිහිවන්නේ නැති බව ඒකාන්තයි.

තමන්ගේ කොණ්ඩය කපාගත්තු මොරිස් බාබර්ට මුදල් දීම ප්‍රතික්ෂේප කරනවා. එතැනදී ඔහු බාබර්ලා දෙන්නටම පහර දෙනවා. මෙතැනට මැදිහත් වන්නේ සුදු සරමකින් සහ සුදු කමිසයකින් සැරසුණු මැදිවියේ අයෙක්.
‘මොකක්ද ‍ෙදාරේ අහිංසකයන්ට සල්ලි දෙන්නකෝ’ එයින් කෝපයට පත්වන මොරිස් මැදිවියේ පුද්ගලයාට පහර පිට පහර දෙනවා. පහර කා නැඟිටන ඔහු එක්වරම එක් අතකින් සරම දණහිස තෙක් ඔසවා තිත්ත කුණුහරුපයක් කියමින් මොරිස්ට පහර දෙනවා. අවසානයේ අඩපණව වැතිර සිටින මොරිස්ට නැඟිටින්නට අත දෙන්නෙත් මැදිවියේ පුද්ගලයායි. ඒ වසර විස්සකට පසු හිර ගෙදරින් නිදහස ලබා පැමිණි චුට්ටේ. දිනේෂ් ප්‍රියසාද් අධ්‍යක්‍ෂණය කළ ‘දෙමෝදර පාලම’ චිත්‍රපටයේ ඒ තරම් තාත්වික සටනකට එක් වන්නේ චුට්ටේ ලෙස ගාමිණී ෆොන්සේකා. චුට්ටේගෙන් ගුටිකන මොරිස්ට රඟපාන්නේ හැමදාම දුෂ්ටයකු වුණු විල්සන් කරූ.

හතර දෙනාම සූරයෝ චිත්‍රපටයේ පොඩ්ඩේ ලෙස රඟපාන ගාමිණී වරක් ගරාජයකදී ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුට පහර දෙනවා. ඒ රස්තියාදුකාරයා සිංහල චිත්‍රපටයක දැකපු තාත්විකම සටන් ජවනිකාව. 60-70 දශකයේදී සිනමාවේ ප්‍රතිවීර චරිත නිරූපණය කළේ එච්.ඩී. කුලතුංග, ආනන්ද ජයරත්න, ලයනල් දැරණියගල, මොරිස් දහනායක, බැප්ටිස්ට් ප්‍රනාන්දු, පූජිත මෙන්ඩිස්, පියදාස විජේකෝන්, බන්දු මුණසිංහ, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, සේනක පෙරේරා කියන නළුවන්. මේ හැමෝම වාගේ ගාමිණීගෙන් මදි නොකියන්න ගුටි කාපු අය. ගාමිණීගෙන් ගුටි කන්න හරි, ගාමිණී එක්ක එකට රඟපාන්න ලැබීම එයාලට ලොකු ආඩම්බරයට හේතුවක්. දැන් සැදෑ සමය ගතකරන මේ සටන් නළුවන්ට නිතර මෙනෙහි කරන්න යමක් ඉතුරු කරලා ගාමිණී සමුගත්තේ.
වසන්තයේ මේ ආදරේ දේදුනු පායා....

අර ගුවනේ නැඟේ නැඟේ ඡායා
නිලට නිලේ කඩා හැලේ දිය රැලි කඳු යායේ.......
මේ ගීතය ගයමින් චන්දන කිට්ටු වන්නේ චම්මිට. හදිසියේ කඩා වැටුණු ආගන්තුක තරුණයාව මඟහරින්න තැත් කරන චම්මි පසුව ඔහු හා ගී ගයනවා. මේ සෙල්වරත්නම්ගේ හොඳට හොඳයි චිත්‍රපටයේ. චම්මි ලෙස රඟපාන්නේ මාලනී ෆොන්සේකා. ඒ සිනමාවේ ගාමිණී, මාලනී යුගයයි.
සේන සමරසිංහගේ බොහෝ නිර්මාණවලට එක්වුණේ ගාමිණී. කස්තුරි සුවඳ ඒ අතරින් අමතක නොවන චිත්‍රපටයක්. හැමෝටම පහර දෙන ලයනල් දැරණියගල, ගාමිණීගෙන් ගුටි කනවා. ලයනල් ආදරය කරන තරුණියගේ පෙම්වතා වන්නෙත් ගාමිණී.
ලංකාවේ (අ) විචාරකයන්ට අනුව ගස් වටේ දුවන පෙම්වතුන් සිටින වට්ටෝරු සිනමාවට ගාමිණී යමක් එක් කළා. ගැලරියේ විසිල් පහර නොකඩවා ගාමිණීට වදිද්දී නිෂ්පාදකයන්ගේ පොකැට්ටුව පිරුණා. ඒක හොඳ දෙයක්. මොකද මේ චිත්‍රපටවල ලාභයෙන්, පාඩු ලබන්න බලාගෙන හරි කලාත්මක චිත්‍රපට නිෂ්පාදනයට මේ සමහර නිෂ්පාදකවරු එක් වුණා.

ගාමිණී වීර චරිත රඟපාන, පෙම් කරන චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා පිහිටෙව්වා. විජය සිංහල සිනමාවේ අහිංසක පෙම්වතා වෙද්දී, ගාමිණී අයුක්තියට එරෙහිව සටන් වැදුණා. ගාමිණී බොහොම ආක්‍රමණශීලීයි. ඔහු දුගී තරුණයකුට රඟපාන විට පවා, පොහොසත් තරුණියකට ළංවන්නේ බයාදුකමෙන් නෙවෙයි. ගාමිණීගේ පෞරුෂත්වය ආදරයේදී පවා කැපී පේනවා.
සිනමාවේ තරුණියක් ගාමිණීට ආදරේ කරද්දී ඒක බොරුවක් විදියට ප්‍රේක්‍ෂකයාට හිතෙන්නේ නෑ. මොකද ගාමිණීට ආදරේ නොකර කෙල්ලෝ වෙන කාට ආදරේ කරන්නද?

සටන් අධ්‍යක්‍ෂවරු පවා ගාමිණීගෙන් ගුටි කද්දීත් එහෙමයි. ගාමිණීට ගහන්න බැරි කෙනෙක් නැති බව අපට තේරෙනවා. ගාමිණී සිනමාව නම් මායාව ඇත්තක් බව අපට සනාථ කළා.
එතෙක් මෙතෙක් සිංහල සිනමාවේ මතකයේ රැඳෙන චරිත කිහිපයකම හිමිකාරයා ගාමිණී ෆොන්සේකා. නිධානයේ විලී අබේනායක, ගාමිණීම අධ්‍යක්‍ෂණය කරපු පරසතු මල්හි වැහිහේනේ බොනී මහත්තයා, සුනිල් ආරියරත්නගේ සරුංගල් චිත්‍රපටයේ, දෙමළ ජාතික නඩරාජා, හුලවාලි චිත්‍රපටයේ ධාරා නම් රොඩී රැහේ මහයා, නිහාල්සිංහගේ වැලිකතරේ වික්‍රම රන්දෙණිය නම් පොලිස් පරීක්‍ෂකවරයා, අමල් බිසෝහි බයිසා නම් ගැමියා ගාමිණීගේ අමතක නොවන රංගනයන්ගෙන් කිහිපයක්.

ඒත් ඔබ 60-70 දශකයේ සිනමා ලෝලියකු නම් ගාමිණී කියපු සැණින් ඔබට ගාමිණී රඟපෑ සූරයා චිත්‍රපට පෙළ මතක් වෙනවා නොඅනුමානයි. ඒ එදත් සූරයා අදත් සූරයා, සූරයන්ගෙත් සූරයා, සූරයා සූරයාමයි වැනි චිත්‍රපට. ලෙනින් මොරායස්ගේ ඔන්න බබෝ බිල්ලෝ එනවාහි ගාමිණීගේ පෙම්වතිය වන්නේ ස්වර්ණා කහවිට. ඇය සිරිල් මල්ලි චිත්‍රපටයේත් ගාමිණීගේ පෙම්වතිය. ෂරිත ලායි, වීණා ජයකොඩි, ශි්‍රයානි අමරසේන, සෝනියා දිසා, ගාමිණී හා තිරයේදී පෙම් කළ නිළියන්ගෙන් කිහිපදෙනෙක්.

වරින් වර ගාමිණී හා පටලා නිළියන් සම්බන්ධ කළ වාර ගණන බොහෝයි. ගාමිණීට පෙම් නොකර වෙන කාට පෙම් කරන්නදැයි සිතා ගාමිණී රසිකයන් සැනසෙන්නට ඇති. ගාමිණී  ආදරවන්තයකු මිස සල්ලාලයකු නොවේ. අද දවසේ නිළියන් අධ්‍යක්‍ෂවරුන්, නිෂ්පාදකවරුන් මෙන්ම ජනප්‍රිය නළුවන් හා නිදි වදින්නේ චිත්‍රපටයක ප්‍රධාන චරිත පතාය. එහෙත් ගාමිණී යනු එවැනි භින්න පෞරුෂයක් හිමි නළුවකු නොවේ. ලෙස්ටර්ට හැරෙන්නට සිනමා ලෝකයේ අනෙක් අයට ‘ගාමිණී සර්’ය. නැතිනම් ගාමිණී මහත්තයාය. ගාමිණී සැබැවින්ම මහත්මයෙකි.

පට් පට් ගා මුදල් සෙවීමට ගැමියන් උනන්දු කළ ටෙලි නාට්‍ය වූයේ පළිඟු මැණිකේය. පුදුමයකට මෙන් ඒ නාට්‍යයේ රඟපෑ කිහිපදෙනකුම අද මුදල් පතා කඩේ යන්නන්ය. එහි එක් නළුවකු තමාව හඳුන්වා ගන්නේ ගාමිණීගේ පුනරාගමනය ලෙසයි. ගාමිණීට රඟපෑමෙන් සම වීමට තබා ගාමිණී වැනි පෞරුෂයක් ගොඩ නඟාගන්නට සිහින මැවීම පවා විහිළුවකි.

ගාමිණී යනු නාගරික ශික්‍ෂණය ලද සැබෑ පිරිමියෙකි. අද සිනමාවට නැත්තේද පිරිමි නළුවන්ය. මේ බව නැවත නිර්මාණය කළ නීල් රූපසිංහගේ හතර දෙනාම සූරයෝ නැරඹුවා නම් වටහාගත හැකිය. පොඩ්ඩේට සමාන වන්නට නූතන පොඩ්ඩේට කිසි ලෙසකිනුත් නොහැකිය.
මේ කියවන ඔබ රස්තියාදුකාරයා අතීත කාමයේ හිරවී සිටින්නකු ලෙස වටහාගනු ඇත. අද දවසේත් දක්‍ෂ තරුණ නළුවන් නැත්තේ නොවේ.

ඒ බොහෝ කොට චරිතාංග රංගනයටය. රවීන්ද්‍ර රොෂාන්, ජගත් බෙනරගම, ජගත් මනුවර්ණ දක්‍ෂ තරුණ නළුවන්ය. කමල් අද්දරආරච්චිට චිත්‍රපට ලැබුණා නම් ඔහුගේ දක්‍ෂ රඟපෑම් දැකගන්නට තිබිණි. සේනාධීර රූපසිංහ අකාලේ මිය නොගියා නම් ගාමිණීට කරට කර සටනක් දීමේ හැකියාව ඔහුට තිබිණි.
දඩයමේ ජයලාල් ලෙස රඟපෑ රවීන්ද්‍ර, බඹරු ඇවිත්හි බේබි මහත්තයා මෙන්ම පාර දිගේහි චන්දරේ වූ විජය, වැලි කතරේ ගෝරිං මුදලාලි වූ ජෝ, දෙලොවක් අතරෙහි නිශ්ශංක වූ ටෝනි, විරාගයේ අරවින්ද වූ සනත් සිංහල සිනමාවේ මතකයේ රැඳෙන රංගනයන්ය. බොහෝවිට දෙවැනි පෙළ චරිත නිරූපණය කළ කලං, විමල්, සෝමසිරි දෙහිපිටිය, සිරිල් වික්‍රමගේ යනුද සිනමාවේ දක්‍ෂ නළුවන්ය.

එහෙත් ගාමිණීගේ වියෝව සිංහල සිනමාවට දරාගත නොහැකිය. ගාමිණීගේ අඩුව යම් තරමකට විජයගෙන් පිරිමසා ගත්තද, රිදී තිරය පිරෙන පෞරුෂත්වයක් ගාමිණීගෙන් හැර කාගෙන් අපේක්‍ෂා කරන්නද? ගාමිණීගෙන් පහර කන්නට නොලැබුණු සටන් නළුවන්ට මෙන්ම ගාමිණී  හා පෙම් කරන්නට නොලැබුණු නිළියන්ට කනගාටුව ප්‍රකාශ කරමින් රස්තියාදුකාරයා සමුගන්නම්.
රන්මසු රන් කිරිගරුඬ තලාවක
සැලෙන නදින් ඔබ අමතන්නම්
පා යුග එසවෙනවා
මා ඔබ වෙත එනවා
ආවා සොයා....... ආවා සොයා ආද

Thursday, October 3, 2013

ජේත්තුකාර රස්තියාදුව
මනමේ, සිංහබාහු යනු අතීතයේ එදිරිවීර සරච්චන්ද්‍ර අතින් නිමැවුණු නාට්‍යයන්ය. එහෙත් එම කෘතීන්හි තේමාව හුදෙක් අතීතයට සීමා වූවක් නොවේ. ඒ බැව් සනාථ කරන්නට මෙන් 2013 දී නිශ්ශංක විජේමාන්න අතින් නවකතාවකට නෑකම් කියන්නක් නිර්මාණය වී තිබේ. තිත්ත සීනි, කීඩෑවෝ ඇවිත්, මුවා මැරූ සලමන් වැනි කෙටි කතා සංග්‍රහ හරහා සාහිත්‍ය ලෝකයට පැමිණි ඔහුගේ මේ දෙවැනි දිගු කතාව ‘තාරා මගේ දෙව්දුව’යි. එක් අතකට එය අතීත කතාවක් වර්තමානය හා ගළපන්නට කළ වෑයමකි. කෙසේ වුව ‘තාරා මගේ දෙව්දුව’ කියවූ ඔබට මෙන්ම නොකියවූ ඔබගේද පහසුව තකා එහි සාරාංශය විමසා බලමු.

පුරාවිද්‍යා නිලධරයකු වන භානුක බණ්ඩාර, ක්‍රි. ව. හත්වැනි - අට වැනි යුගවල වෙල්ලස්ස, බින්තැන්න ආශ්‍රිතව වන්දනාමානයට ලක්වූ තාරා දේවි නම් දෙවඟනගේ ප්‍රතිමාවක් සොයයි. තාරා ශ්‍යාමලී කුමාරස්වාමි යනු, භානුක සිය බාලවියේ පෙම් බැඳි දැරියයි. ඇය සිංහල මවක කුස, දෙමළ පියකුට දාව උපන්නියකි. ඇගේ සමාජ තත්ත්වය හා නොපෑහෙන දුප්පතකු වූ භානුක ඇගෙන් පලා යයි. වසර ගණනාවකට පසුව අවිවාහක තාරාට භානු මුණගැසෙන විට ඔහු එක් දරු පියෙකි. ඔහුගේ බිරිය තාරාගේ ළඟම මිතුරිය වූ ප්‍රියංගාය. මේ දෙවන වර ඔවුන්ගේ හමුවීම තාරා සහ භානුකගේ ප්‍රේමය අලුත් කරන්නට සමත් විය. භානුක, තාරාට පෙම් කරන බවත්, තාරාද භානුකට පෙම් කරන බවත් ප්‍රියංගාට රහසක් නොවේ. භානුකට සිය කැණීම්වලදී තාරා දේවිගේ ප්‍රතිමාව හමුවේ. එහි හිස කඳින් වෙන් වී ඇත. එහෙත් ඒ ප්‍රතිමාවේත්, සැබෑ තාරාගේත් සාම්‍යයක් භානුක දකියි. යළි තාරා සොයා යන භානුකට ඇය මානසික රෝහලකට ඇතුළු කළ බවත්, එතැනින් මිදී පලා ගිය බවත් දැනගන්නට ලැබේ.

සැබෑ තාරා ගේ කතාව කියැවෙන්නේ දෙමළ හා සිංහල ප්‍රතිවිරෝධිතා පසුබිම් කරගෙනය. එක් අතකින් සිංහල හමුදාව, ත්‍රස්ත හමුදාව සමඟ අවසන් යුද්ධයට එළැඹ තිබේ. දෙමළ ජාතිකයන් පෙනී සිටින බව හඟවන රාජ්‍ය නොවන සංවිධානයක් ඒ මුවාවෙන් මුදල් ලබා ගැනීමේ සිට දේශපාලන අරමුණු ඉටු කර ගැන්මට වෙහෙසෙයි. භානුක, තාරා වැන්නවුන් හා ඔවුන්ගේ දක්ෂතාව මේ සංවිධානය අයුතු ලෙස ප්‍රයෝජනයට ගනියි.
වරෙක භානුක ගීතයක් නිර්මාණය කරයි.

ආ¾ඩි ළිඳේ වතුර රසයි
කලා වැවේ වතුර තරම්
අම්මේ...
පැලපීය අරන්
දකුණුකරෙන්
අපි එනවා
තල් හකුරු කන්න
අම්මේ...

එම ගීතය දෙමළ බසට පෙරළන්නේ තාරායි. භානුකට නොතේරෙන තනුව එකම වූ ගීතයේ පද තාරා වෙනස් කර ඇත.
කලා වැවේ වතුර රසයි
ආ¾ඩි ළිඳේ වතුර තරම්
අම්මේ...
තල් හකුරු අරන්
උතුරුකරෙන්
අපි එනවා
පැලපීය කන්න
අම්මේ...

සිංහලයන්ට ආඩි ළිඳේ වතුර රස නමුදු එය කලා වැවේ වතුර තරම් රස නොවේ. තාරාට අනුව කලා වැවේ වතුර රස නමුදු එය ආඩි ළිඳේ වතුර තරම් රස නොවේ. සාමය සහ සමානත්වය අපේක්ෂා කළ ද ඒ ඒ ජාතීන් තමන් අනෙක්වාට වඩා ශේ‍ර්ෂ්ඨ යැයි හඟියි. කලා වැවේ බොර වතුරට වෙනස්ව උල්පත්වලින් එන ආ¾ඩි ළිඳේ වතුර රස යයි කාටවත් නොකියවෙන්නේ එබැවිනි. සත්‍යය වෙනුවට ඇත්තේ සංසන්දනාත්මක බවකි.

රස්තියාදුකාරයාට අවශ්‍ය සිංහල හා දෙමළ දේශපාලනය ‘තාරා’ කෘතියෙන් ගෙනහැර පාන්නට නොවේ. එම දේශපාලනය සංකීර්ණ සේ පෙනෙන නමුත් අතිශය සරල සමීකරණයකට වුව ලඝු කළ හැකිය. සිංහලයාට සිංහල යනුවෙන් ඔහුටම ආවේණික අනන්‍යතාවක් නැත. එපරිදිම දෙමළාට දෙමළ යනුවෙන් ඔහුටම ආවේණික අනන්‍යතාවක්ද නැත. සිංහලයකුට සිංහල වීමට දෙමළකු ඇවැසි වන අතර, දෙමළාට දෙමළකු වීමට සිංහලයකුද අවශ්‍යය. එළාර නැත්නම් දුටුගැමුණු නැති අතර දුටුගැමුණු නැතිනම් එළාරයෙක් ද නැත. ලංකාවේ උතුරු නැඟෙනහිර ද්‍රවිඩ බිම් ලංකාවේ දකුණට බලපාන අයුරු ඔබට ගෙදර වැඩ සඳහා දෙන්නම්. කොටි සංවිධානය ක්‍රියාත්මක වන අවධියේ දකුණ සහ කොටි සංවිධානය භූමියෙන් ඉවත් කළ පසු දකුණ සංසන්දනය කර බලන්න.

කෙසේ වුව ‘තාරා මගේ දෙව්දුව‘ දේශපාලන විග්‍රහයකට යෑම වෙනුවට රස්තියාදුකාරයාව පොලඹවන්නේ ‘තාරා දේවි’ ය සොයා යන්නටය. කවුද මේ තාරා දේවි? ඇය මානව හිතවාදිනියකි. පති භක්තිය ඇත්තියකි. වරින් වර මේ බිමෙහි ඉපදෙමින් ඇය ආදරය, යුක්තිය, සාමය උදෙසා පෙනී සිටින්නීය.
භානුක පසළොස්වැනි වියේදී තාරාට ආදරය කරයි. එහෙත් ඇගේ ආදරය පෙරළා ලැබේද යනු ඔහුට ඇති ගැටලුවයි. එහෙයින් ඔහු ඇය ද ඇය වෙසෙන නගරයද අතැර පලා යයි. දැන් ඔහු සැබැවින් අහිමි වූ තාරා වෙනුවට, ‘තාරා දේවිය’ ගේ ප්‍රතිමාවක් සොයයි.

ස්ත්‍රිය, සැබෑ ස්ත්‍රිය, ආදරයේ ගැහැනිය කවුද යන්නට ඔහු පිළිතුරක් ගොනු කරයි. එබඳු ගැහැනියක් අතීතයේ ජීවත්ව සිටියාය. එහෙත් ඇය වරින් වර උත්පත්තිය ලබන්නීය. මේ ආත්මයේ ඇය තාරා ශ්‍යාමලී කුමාරස්වාමිය. මේ ආදරය දන්නා ගැහැනිය සොයා යන භානුක පරිකල්පනය කරන ‘තාරා’ යි.
සරච්චන්ද්‍රට අනුව වැදි රජු, මනමේ කුමරියගෙන් කඩුව උදුරා ගත්තා මිස, කුමරිය වැදි රජුට කඩුව දුන්නා නොවේ. සියුමැලි ළඳ බොළඳ කුමරියට මේ සටන දරා ගත නොහැකිව ඇය විපිළිසරව පසු වූ බවකි. ඒ බැවින් ඒ ඓතිහාසික වරදත් අහිංසක අෑ මත පැටවෙයි.

ආදරයට පැවැත්මක් ඇත්තේ, ආදරය එක්වීමකින් කෙළවර නොවන්නක් විටදීය. ආදරය යන්න උත්කර්ෂයට නැඟෙන්නට නම් පෙම්වතුන් එක් නොවිය යුතුය. ඉතිහාසය මේ පිළිබඳ සාක්ෂ්‍ය දරයි. රෝමියෝට, ජුලියට් හමු නොවේ. ‘වදරිං හයිට්ස්’හි හීත්ක්ලිෆ්ට, කැතරින් හිමි නොවේ. ඇලෙක්සැන්ඩර් ඩුමාගේ සිටුවර මොන්ත ක්‍රිස්තෝහි එඩ්වඩ් දාන්තේට මර්සිදි හමු නොවේ. ගොළු හදවතක් දම්මිට නොතිබී දම්මි, සුගත් සමඟ පැන ගියා නම් ගොළු හදවතක් නැත.

‘තාරා මගේ දෙව්දුව‘ හි යාන්ත්‍රණයද මීට වෙනස් නොවේ. සැබෑ ස්ත්‍රිය නැතිනම් ආදරය දන්නා, සැබැවින් ආදරය කරන ස්ත්‍රිය යනු නීතිය ඉදිරියේ හෝ දෙවියන් ඉදිරියේ එක් වන ගැහැනිය නොවේ. ඇය අයිති පරිකල්පනීය ලෝකයටය. මැදි විදුහලට පැමිණෙන නවක ශිෂ්‍යාව ‘තාරා’ට ආදරය කරන්නේ භානුය. ඒ පෙනෙන විදියට ඇය ද ඔහුට ළෙන්ගතුය. අනෙක් ළමුන්ට වෙනස්ව භානුක සාහිත්‍යය පිළිබඳ දැනුම ඇති බොහෝ පත පොත කියවූවෙකි. සිංහල සාහිත්‍යයේ ප්‍රවීණයකු වූ ඇගේ පියාගේ සිත් ගන්නට භානුක සමත් වන්නේ එහෙයිනි. එහෙත් භානුක හිටි හැටියේ පලා යයි. අනතුරුව ඇයට සමීප වන්නේ භානුකගේ පාසල් සගයා දුෂ්‍යන්තය. වසරකට අඩු කලකින් ඒ සබඳතාව කෙළවර වේ. ඇගේ මස්සිනා වන දෙමළ තරුණයාට ද ඇය ප්‍රිය නොකරයි. වරින් වර ඇයට සමීප වන කිසිදු පිරිමියකු හා නිත්‍ය ඇසුරකට ඇය නොපෙලඹෙයි. ඇය භානුක පිළිබඳ පරිකල්පනීය ලොවක ජීවත් වේ.

සැබැවින්ම තරුණියකගේ සිත ඇදී යන්නේ තමාට ආදරය කරන තමා ලුහු බැඳ එන පිරිමියා වෙනුවට, තමා ආදරය කරද්දී තමාගෙන් දුරස්ව පලා යන තරුණයාටද? එක් අතකට එබඳු අහිමි ආදරයක් යනු, වෙනකකුගේ ආදරය ලැබීමෙන් වැළකීමට තරුණියක, ඇය නොදැනුම්වත්ව පවත්වාගෙන යන ආරක්ෂාකාරී යාන්ත්‍රණයකි. ආදරය යනු පරිපූර්ණ පෙම්වතකු ලැබීම නම් මිථ්‍යාව ඇයට අවශ්‍ය විවාහයෙන් ගැලවී අතෘප්තිය ආත්මය කරගෙන ජීවත් වීමටය. එය සැබෑ ස්ත්‍රිය හෝ ආදර බර ස්ත්‍රිය නොව මානසික ව්‍යාධියකින් පෙළෙන ස්ත්‍රියක සිහිගන්වන්නකි.

මීට සමානව භානුක, තාරාගේ යෙහෙළිය ප්‍රියංගා හා ආවාහ ව දියණියක ද සිටින පියෙකි. එහෙත් ඔහු ජීවත් වන්නේ තම කැදැල්ල තුළ නොවේ. පැටි වියේදී හමු වූ ‘තාරා’ දැරිය පිළිබඳ මතකයේය. ඔහු ‘තාරා දේවි’ ප්‍රතිමාව සොයා ගවේෂණය කරන්නේ නොලැබුණු සැබෑ තාරාව අජීවී තාරා දේවි තුළින් දකින්නටය.
තරුණයකු ආදරය කර හෝ නොකර විවාහ වේ. දරුවන් ලබයි. ගත වන පවුල් ජීවිතය ඔහුට සාමාන්‍යකරණය වේ. ඉන් මිදෙන්නට ඔහු තමාට සැබැවින් පෙම් කරන තරුණියක පිළිබඳ පරිකල්පනයක පැටලේ. කතාවේ එන භානුකට නම් මේ තරුණිය තාරා ශ්‍යාමලීය. ඇය අවිවාහකව සිටීමෙන් ඔහු හඟින්නේ, ඒ තමාට ඇය කළ ආදරයේ ඇති ගැඹුරු බවය. එහෙත් ඔහුට, ඇය හා කායික ඇසුරකට යෑමට ඇගෙන් ඉඩ නොලැබේ. ඒ වෙනුවට ඇය, ඔහු සමඟ කඳු මිටියාවත්වල සැරිසරයි. තමන්ගේ අතීතය පිළිබඳ ආවර්ජනයක යෙදෙයි. එහෙත් ඇයට ඔහුට හිමි වීමට ඕනෑකමක් නැත. මෙතැනදී නම් ඇය තම බාධාව බවට පත්කර ගන්නේ භානුකගේ බිරිය ප්‍රියංගා හා ඔවුන්ගේ දියණියයි. භානුක තමාට ආදරය කරන සැබෑ ආදර බර ස්ත්‍රිය තාරාගෙන් දකින නමුදු, තාරාට භානු යනු විවාහයෙන් මෙන්ම සැබෑ ජීවිතයෙන් පලා යෑමට තනා ගත් පරිකල්පනීය උත්තරයක් පමණි.

භානුක හමුවන තුරු ඇයට, ඔහු පිළිබඳව ඇති ආදරය, සත්‍යයක් සේ විශ්වාස කරමින් ජීවත් විය හැකිය. එහෙත්, ඔහු සැබැවින්ම හමු වූ පසු ඇයට පරිකල්පනයේදී හමු වූ භානුකට වෙනත් භානුකයකු හමුවේ. උඩුකය නිරුවත් කර, තම හදේ ගැස්ම භානුකට දැනෙන්නට සලස්වන තාරාට වෙනස් ව ඔහුගේ අත යැවෙන්නේ ඇගේ ඩෙනිම් කලිසම කරාය. වරෙක ඔහු, ඇය මල් පාවරයකදී තමාට යට කර ගනියි. ඇය ඔහුගේ ග්‍රහණයෙන් මිදෙයි. තාරාට අවශ්‍ය භානුකව හිමි කර ගැන්මට හෝ භානුකට හිමි වීමට නොවේ. පරිකල්පනීය ලෝකයක, සිතින් මවා ගත් භානුකයකුට පෙම් කර ව්‍යවහාර ලෝකයෙන් පලා යෑමටය.

සාහිත්‍යයේදී වේවා, නටබුන් වූ ස්ත්‍රී ප්‍රතිමා තුළ ස්ත්‍රිය සොයනවුනට මඟහැරෙන්නේ සැබෑ ස්ත්‍රියයි. එහෙත් ආදර බර ස්ත්‍රිය යනු අතීතයේදී සිටි, වර්තමානයේදී ද කොහේ හෝ ඇති ස්ත්‍රියක යැයි විශ්වාස කිරීම පිරිමියාට සහනයකි. එහෙත්, ඔබට සැබැවින්ම ආදරය කරන ස්ත්‍රිය යනු කිසිදා හමු නොවන කිසිවකුට කිසිදා හමු නොවූ මිරිඟුවකි.

තාරා,
මගේ දෙව්දුව... සොයා ගත නොහැක මට ඔබව
සැබැවින්ම ගොහින් බෝ අෑත දුර
නොපෙනී සිටින විට නොව
රැඳී සිටින විට මා ළඟම තව තවත් ඔබ සොයා ගත නොහැක මට

Sunday, September 22, 2013

ජේත්තුකාර රස්තියාදුව
සාමාන්‍යයෙන් ලාංකිකයා ඕපාදූප කතාවෙහිලා රුසියෙකි. ඇසූ දේ පිළිබඳ මෙන්ම දුටු දේ පිළිබඳවත් ඔහු තොර තෝංචියක් නැතිව කතා කරයි. හිස් වචන කතා කිරීම යනු නොකළ යුත්තකි. එහෙත් ඒ පිළිබඳ කාටවත් වගේ වගක් නැත. එබැවින් ඕපාදූප යනු ලංකාවේ සාමාන්‍යකරණයට ලක්වූවකි.

රස්තියාදුකාරයාට මේ සටහන තබන්නට මුල් වූයේ, පසුගිය දිනවල ලංකාවේ මහත් ආන්දෝලනයට ලක්වුණු සිනමා කෘතියකි. ඒ 2011 වසරේදී සංජීව පුෂ්පකුමාර නිර්මාණය කළ ‘ඉගිල්ලෙන මාළුවෝ’ ය. ප්‍රංශ සිනමා උළෙලක් සමඟ එය මුල්වරට ලංකාවේ තිරගත විය. ඒ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීය. අනතුරුව එම කෘතියට එල්ලවූයේ කටුක විවේචනයන්ය. ගල්මුල් ප්‍රහාරයන්ගෙන් බැට කෑ ‘ඉගිල්ලෙන මාළුවෝ’ බිම ඇද වැටී අවසන් හුස්ම හෙලීය. ඒ නැවත දේශීය රිදී තිරයේදී නම් ඉගිල්ලෙන්නට වරම් අහිමිවය.

මෙහි ඇති පුදුමය නම් ඉගිල්ලෙන මාළුවෝ නැරඹූවන්ටද වඩා නැරඹූ නැතිවුන් චිත්‍රපටය පිළිබඳ පළ කළ අදහස්ය. ඕනෑම චිත්‍රපටයක් නැරඹුවකුට ඒ පිළිබඳව කියන්නට කුමක් හෝ අදහසක් ඇත. කෙනකු සිනමා ශාලාවකට යන්නේ හිස් වූ මනසකින් නොවේ. බහ තෝරන වියේ සිට ටිකෙන් ටික එකතුව කරපින්නාගත් මති මතාන්දර සම්භාරයක් සමඟය. එබැවින් කෙනකු ඒ ගැන අදහස් පළ කරන්නේ තමා තුළ ඇති ඒ (නො) දැනුමෙනි. කෙනකුට යමක් ඇතැයි හැඟෙන චිත්‍රපටය, තව කෙනකුට කිසිවක් නැතැයි හැඟෙන්නේ ඒ දෙදෙනාගේ (නො) දැනුමේ සීමාවන් නිසාය. චිත්‍රපටය නැරඹුවකුට කියන්නට මොනවා හෝ තිබීම මෙනයින් සාධාරණය. එහෙත් ඉගිල්ලෙන මාළුවෝ’ පිළිබඳ මත පළ කළ විත්‍රපටය නරඹා නැති වුන් පිළිබඳව තත්ත්වය කෙසේද? ඔවුන් වනාහි අති පණ්ඩිතයන් වන්නට තැත් කරන මුග්ධයන්ය. ඒ එසේ වුව කෘතිය නරඹා ඒ පිළිබඳ අදහස් දක්වන අයද හුදු නුවණැත්තෝ නොවෙති.

මන්ද ඒ අදහස යනු හුදෙක් ඔවුන්ගේ රුචි අරුචිකම් නිසාය. එබැවින් මේ බොහොමයක් අදහස් යනු ඕපාදූප නොඉක්ම වූ ඒවාය.
කෙසේ වුව යම් අහම්බයකින් රස්තියාදුකාරයාට ‘ඉගිල්ලෙන මාළුවෝ’ නරඹන්නට හැකියාව ලැබිණි. බැලූ බැල්මට එය ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ ‘ඉර මැදියම’ ආකෘතිය සිහි ගන්වයි. යුදමය වාතාවරණය පසුබිමව, යම් කාල පරාසයක දිවෙන නැඟෙනහිර දුෂ්කර ගම්මානයක වෙසෙන පවුල් තුනක කතාවක් තිරයේ දිග හැරෙයි. එහි අන්තර්ගත කතා ත්‍රිත්වය නැතිනම් ආඛ්‍යාන තුන මෙසේයි.

01 වාසනා සහ පරාක්‍රම නම් හමුදා සෙබළාගේ කතාව.
02 වැන්දඹු මව සහ ඇගේ පුතුගේ කතාව
03 දෙමළ තරුණියගේ කතාව

පරාක්‍රමට පෙම් කරන වාසනා ඔහු නිසා ගැබ්බර වේ. කලලය ගබ්සා කරන්නට තැත් කළද ඔවුන් එහි ලා අපොහොසත් වේ. ගරා වැටුණු ගොඩනැඟිල්ලක ඔවුන් ලිංගිකව එක්වේ. ඒ දර්ශනය ඇගේ පියාගේ නෙත ගැටේ. ඔහු මහත් කම්පාවට පත්වේ. එහෙත් ඔහු තමා දුටු දේ රහසේ තබා ගනී. ගම ආරක්ෂා කිරීමේ සිවිල් බළකායට ඔහුත් ඇතුළු වේ. මුරපොළේ රාජකාරියට වාර්තා නොකිරීමේ වරදට ඔහු හමුදා සෙබළුන්ගේ දඬුවමකට ලක්වේ. අනතුරුව හිස් බංකරයක් තුළදී ඔහු තම ගිනි අවියෙන් වෙඩි තබා ගෙන මියයයි. මේ අතර පරාක්‍රම ඇතුළු බළකායට වෙනත් අෑත කඳවුරකට මාරුවක් ලැබේ. වාසනා ගම අත් හැර පලා යයි.

02 වැන්දඹු මව සහ ඇගේ පුතා
වැන්දඹු මවක් සිය දරුවන් සමඟ දුකසේ දිවි ගෙවයි. දුගී බව නිසාම ඇය කිරි විකුණන්නට ගත්තද එය අසමත් වේ. ඇය ගමේ තරුණයකු වූ ගැමුණු සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන යයි. ඇගේ වැඩිමල් පුතු පාසල් ශිෂ්‍යයෙකි. ඔහු මාළු විකුණා සිය පවුල නඩත්තු කිරීමට සහාය වේ. ඔහු තම පාසලේ දැරියක හා පෙම් සබඳතාවක් පවත්වයි. සිය මව සහ ගැමුණු පිළිබඳ කට කතා ඔහුගේ කන වැටේ. මේ නිසා පෙම්වතිය ඉදිරියේ අපහාසයට පත්වන ඔහු නොසන්සුන් වේ. සෝදිසියෙන් පසුවන ඔහුට, සිය මව, ගැමුණු සමඟ සමහන් සුව විඳිනු නෙත ගැටේ. මේ පිළිබඳ බහින් බස් වීමකින් පසු ඔහු සිය මව පිහියෙන් ඇන මරා දමයි. ඔහුද නිවෙසින් පලා යයි.

03 දෙමළ තරුණිය
දෙමළ දැරිය මල්වර වන්නේ ඇය තම නිවෙස බලා යන බස් රියේදීය. ඇගේ මව ගෘහණියකි. පියා ලිපිකරුවෙකි. ඇගේ පාසලට පැමිණෙන කොටි තරුණයෝ, තම සටන සාධාරණීකරණය කරමින් දේශන පවත්වති. එක් රැයක ඔවුන්ගේ නිවෙසට කඩා වදින කොටි තරුණයෝ ලක්ෂ දෙකක කප්පම් මුදලක් ඉල්ලති. එය නොලැබුණොත් තරුණිය පැහැර ගන්නා බවට තර්ජනය කරති. කප්පම් ගැනීමට කොටි නිවෙසට පැමිණෙන විට තරුණිය පැන ගොසිනි. මුදල් සහ තරුණිය නොලැබෙන කොටි ඇගේ මවුපියන්ව වෙඩි තබා ඝාතනය කරති.

ප්‍රසන්නගේ ‘ඉර මැදියම’ ආකෘතියද මෙයට වෙනස් නොවේ. එහිද යුදමය පසුබිමක ආඛ්‍යාන තුනක් දක්නට ලැබේ.
01 අතුරුදන් වූ ගුවන් නියමුවා සොයා යන ඔහුගේ බිරිය සහ මාධ්‍යවේදියා.
02 හමුදා සෙබළා සහ ඔහුගේ නැඟෙණිය.
03 සිය ගම්බිම් හැර යන්නට සිදුවුණු මුස්ලිම් ජාතික පියා සහ පුතු.
ඉර මැදියම අවසානයේ හමුදා සෙබළා බසයක ගමන් කරයි. ඒ දිශාවටම මුස්ලිම් ජාතිකයා ද බයිසිකලයක් පැද යයි. ඒ ඔවුන් යළි සිය ජීවිත සොයා යන ආකාරයයි.

‘ඉගිල්ලෙන මාළුවෝ’ හි ආරම්භයේද ගමන් කරන බස් රථයක් හමුවේ. ඒ තුළ වාසනා, වැන්දඹුව සහ ඇගේ පුතා මෙන්ම දෙමළ දැරියද දක්නට ලැබේ. බස් රථය නවත්වන හමුදා මුරපොළේ පරාක්‍රමද සිටියි. රියැදුරු, කොන්‍ෙදාස්තර සහිත බසය පවසන්නේ එයට නිශ්චිත ගමනාන්තයක් ඇති බවයි.
යළි ‘ඉගිල්ලෙන මාළුවෝ’ හි අවසානයේද එම බස් රථය ගමන් කරනු පෙනේ. එහෙත් රියැදුරෙක් නොමැතිව සුක්කානම කරකැවී ඉදිරියට යන බසයේ කොන්දොස්තරවරයෙක්ද නැත. එහි අසුන් ගෙන සිටින්නේ මව මරා පලා යන පුතා නිවෙසින් පලා යන වාසනා හා කොටින්ගෙන් ගැලවීමට පලා යන දෙමළ තරුණියයි. රියැදුරු නොමැති බසය, නිශ්චිත ගමනාන්තයක් නැති ඔවුන්ගේ පලා යෑම රූපණය කරයි.

වරෙක පරාක්‍රම සහ වාසනා දෙපසින් අල්ලා ගත් ගිනි අවිය මැදි කර ගෙන සමාන්තර රේල් පීලි මත ගමන් කරති. කිසිදා හමු නොවන සමාන්තර රේල් පීලි මත සිටින ඔවුන් තාවකාලිකව එක් කරන්නේ ගිනි අවියයි. යුදමය පසුබිමක හටගත් ඔවුන්ගේ ආදරය තාවකාලික එකක් බව ඉන් ගම්‍ය වේ. කෙසේ වුව පරාක්‍රම තමාව හැර යන බවට වාසනා සැක උපදවයි.

‘බුදු වෙන්න හිතා ගෙන වුණත් සිද්ධාර්ථ කුමාරයා යශෝධරා දේවිව දාලා ගිය බව මම දන්නවා. ඒ අය අපි වගේ නෙවෙයි ආත්ම ගණනක් පෙරුම් පුරපු අය’ ඒ වාසනාය. ‘දන්නවද සිද්ධාර්ථ කුමාරයා දාල ගියත් යශෝධරා දේවි සිද්ධාර්ථට හැමදාම ආදරෙන් හිටියා.’ ඒ පරාක්‍රමය.
‘මම නම් දාල ගියොත් මරනවා’ වාසනා එසේ පිළිතුරු දෙයි.
පසුව පරාක්‍රම වාසනා හැරදා අෑත කඳවුරකට මාරුවක් ලැබ යයි. මහත් පීඩාවකින් පාරේ ඇවිද යන වාසනාට ගමේ පන්සලේ හාමුදුරුවෝ මුණ ගැසෙයි.
‘හාමුදුරුවනේ ඒකා ගියේ මගේ බඩට දරුවෙක් දීලා’

‘වාසනා , සිද්ධාර්ථ කුමාරයා, යශෝධරා දේවිව දාලා ගියාම යශෝධරා දේවි හඬුවද? වෛර කළාද? නෑනේ. රාහුල කුමාරයා ඉපදුණා විතරයි. ඒත් යශෝධරා දේවි, රාහුල කුමාරයාව උස් මහත් කරලා ශාසනයට පූජා කළා නේද?’
‘යශෝධරාට තිබ්බ දේවල් මට නෑනේ, හාමුදුරුවනේ.’
සති අග පුවත්පත්වල සමහර ලිපි මඟින් පැවැසුණේ ‘ඉගිල්ලෙන මාළුවෝ’ බෞද්ධාගමට අපහාස කරන බවකි. සිද්ධාර්ථ යනු ගෞතම බුදුන්ගේ ගිහි ජීවිතයේ නාමයයි. සිද්ධාර්ථ යශෝධරා හැර යන්නේ බුදු වීමෙන් පසු නොව, බුද්ධත්වයට පෙරය. මෙතැනදී මතු කෙරෙන්නේ, දරිද්‍රතාව සහ අනාරක්ෂාව සහිත යුදමය පසුබිමක වාසනාට, දරුවකු හදා වඩා ගත නොහැක යන්නයි.

චිත්‍රපටයේදී පරාක්‍රම යනු හමුදා සෙබළෙකි.
හමුදා සෙබළා රණවිරුවකු වන්නේ යුද බිමේදී රට වෙනුවෙන් සටන් කරන විටය. ඔහු තරුණියක හා පෙම් කරන විට පෙම්වතෙකි. බිරියට ඔහු සැමියෙකි. දරුවන්ට පියෙකි. තරුණියන් අතරමං කරන විටෙක සල්ලාලයෙකි. එබැවින් හමුදා සෙබළකුට රණවිරුවකු ලෙස නිත්‍ය අනන්‍යතාවක් නැත. එය රජවරු සිටුවරු මෙන්ම පුලනුන් හටද වලංගු ධර්මතාවකි. ජයග්‍රාහී යුද්ධයට මිලිටරිමය නායකත්වය දුන් හමුදාපතිටද පසු කලෙක සිරගත වන්නට සිදුවිය. එවිට ඔහු රණවිරුවකුද ? තවත් එක් සිරකරුවකු පමණක්ද? කෙසේ වුව, තරුණියක ගැබ් ගන්වා පලා යෑම රණ විරුවකුට තරම් නොවන බව සත්‍යයකි. එහෙත් ‘ඉගිල්ලෙන මාළුවෝ’ යනු චිත්‍රපටයකි. එබැවින් එය ප්‍රබන්ධයකි. පරාක්‍රම යනු ප්‍රබන්ධ චරිතයකි. සත්‍යයටත් වඩා ප්‍රබන්ධයට බිය විය යුතුද?

‘ඉගිල්ලෙන මාළුවෝ’හි දෙමළ තරුණියගේ මවුපියන් මරා දමන්නේ කොටි තරුණයන්ය. ඒ ඉල්ලූ කප්පම නොලැබුණු බැවිනි. යුදමය පසුබිමක සාමාන්‍ය ජනතාවට ඇත්තේ පීඩාවකි. හිංසනයකි. මල්වර දැරියට බසයෙන් බැසීමට සිදු වන විටත් ඇගේ මවුපියන් මරා දැමෙන විටත් ක්‍රියාත්මක වන්නේ මේ හිංසනයයි.
චිත්‍රපටයේ ඇති ලිංගික ජවනිකාවල පසුතලය වන්නේ ගරා වැටුණු ගොඩනැඟිලිය. යුදමය පසුබිමක මෙවැනි නටබුන් වූ නිවෙස් මිස සුව පහසු තානායම් නැත. එබැවින් පරාක්‍රමට සිදුවන්නේ ගරා වැටුණු නිවෙසක ආවරණයකින් තොරව වාසනා හා කායිකව එක් වන්නටය. ත්‍රිකුණාමලයේ හැදී වැඩී කොළඹට සංක්‍රමණය වූවකු ගේ නිල් චිත්‍රපට දැක්ම, මේ ලිංගික ජවනිකාවලට පදනම් වූ අයුරු පැහැදිලිය.

‘ඉගිල්ලෙන මාළුවෝ’ හි පෙම්වතා අතින් ගැබ්බරව අසරණ වන තරුණිය වාසනාය. පෙම්වතා පරාක්‍රමය. වැන්දඹු බිරියගේ පතිවත කෙලෙසන්නේ ගැමුණුය.
ඉතිහාසයට අනුව පරාක්‍රමබාහු යනු ලංකාව පෙරදිග ධාන්‍යාගාරය බවට පත් කළ රජ කෙනෙකි. දුටුගැමුණු යනු එළාර නම් ද්‍රවිඩ රජු පරදා රට එකසේසත් කළ නරපතියෙකි. එහෙත් චිත්‍රපටයේ හමුවන පරාක්‍රම තරුණියක් අනාථ කර පැන යයි. ගැමුණු අසරණ වැන්දඹු බිරියකගෙන් සිය කම්පවස නිවා ගනියි. නමින් වාසනා වුවද වාසනා යනු අවාසනාවම ජීවිතය කර ගත් තරුණියකි. ඒ අනුව ගැමුණු, පරාක්‍රම මෙන්ම වාසනා යනු හුදෙක් සංඥා නාම මිස ඒ නම් තුළ ඒවාට ආවේණික අර්ථයන් නැත.

යළි ‘ඉගිල්ලෙන මාළුවෝ’ යනුම විවිධ අර්ථ ජනිත කරවන්නකි. සිංහල ජාතිවාදියකුට මෙය රණවිරුවන්ට කළ අපහාසයක් විය හැකිය. දෙමළ ජාති වාදියකුට මෙය කොටි සංවිධානයකට කළ අපහාසයක් විය හැක. ස්ත්‍රීවාදියකුට මෙය ස්ත්‍රීන්ට එරෙහි පුරුෂ පීඩනය විය හැකිය. තවකෙකුට මෙය ඩබල් × වර්ගයේ නිල් චිත්‍රපටයක් සේ පෙනෙන්නටද ඉඩ ඇත.

චිත්‍රපටයේ එක් ජවනිකාවක එළිමහනේ ගසකට හේත්තු වී සිටින පරාක්‍රමව, වාසනා සිප ගනියි. ඇස් වසා ගන්නට ඔහුට පවසන වාසනා, ඒ ක්‍ෂණයෙන් ඔහුගේ රහසඟ කපා දමයි. ගැහැනු සොඬෙකු මේ ජවනිකාව ආදර්ශයට ගන්නට ඉඩ ඇත. ඒ මෙසේයි.
තරුණියක හා ලිංගිකව එක්වන විට වැරැදීමකින්වත් දෙ ඇස වසා නොගත යුතු බවයි.
කෙසේ වුව සිංහල රිදී තිරයේ ‘මාළුවෝ ඉගිල්ලෙනතුරු’ පොකුණ බොර දිය වන තුරු වැඩිහිටියන්ට ‘සිරි පැරකුම්’ සරණයි!