Sunday, May 18, 2014

ජේත්තුකාර රස්තියාදුව   0     May 18, 2014 2:00 am Hits(38) 

නොසිතූ මොහොතක රස්තියාදුකාරයාට දුරකතන ඇමැතුමක් ලැබුණා. සාමාන්‍යයෙන් අද දවසේ දුරකතන ඇමැතුමක ඇති සුවිශේෂයක් නෑ. හැමෝම අතේ අද ජංගම දුරකතන තියෙනවනේ. ඒත් මේ ඇමතුම රස්තියාදුකාරයාට ලැබෙන්නේ අවුරුදු දහයකට පස්සේ. ඒ රස්තියාදුකාරයාගේ අතීත පෙම්වතියකගෙන්. තිදරු මවකුත් වුණු ඇයට හදිසියේ රස්තියාදුකාරයාව මතකයට ඇවිල්ලා.

ඇගේ හඬ කන වැටුණු ඇසිල්ලෙම රස්තියාදුකාරයා දෙවරක් නොසිතා ඇය ඇමැතුවා.
‘ඇයි සකුණි.’
‘අවුරුදු 10කට පස්සේ ඔයා එකපාරටම මගේ කටහඬ හඳුනාගත්තේ කොහොමද?’ ඒ ඇගේ පළමු පැනය.
‘සකුණි, අවුරුදු 10ක් කියන්නේ දිගු කාලයක්. කැලණි පාලම යටින් මොනතරම් වතුර ගලාගෙන යන්න ඇතිද? ඉරවල් කීයක් පායන්න ඇතිද? මට හමුවුණු ඔයා වගේ පුංචි කෙල්ලෝ කාරණා කාරණ දන්න ගැහැනු වෙන්න ඇතිද? කී දාහක් ඉපදිලා, කී දාහක් මැරෙන්න ඇතිද? ඒ හැමදේම එහෙම වුණත් ඔයාගේ මතකය, මට තව අමතක නෑ.’

රස්තියාදුකාරයා හැඟුම්බර වුණා.
‘ඔයා මට ඔච්චරටම ආදරේ කළාද?’ ඇගේ හ‍ෙ¾ඩ් ශෝකයක්ද, පසුතැවිල්ලක්ද යන්න තේරුම්ගන්න රස්තියාදුකාරයා අසමත් වුණා.
‘ඇත්තමයි සකුණි. මම ඔයාට මලකට, සමනලයකුට වගේ ආදරය කළා. මගේ ආදරය හරි අහිංසකයි. මම ඔයාව ඇඳක් එක්ක සම්බන්ධ කරලා හිතුවේ නෑ. සත්තයි.’
රස්තියාදුකාරයා කටහඬ අවදි කළා.

‘ඔයාට වැරැදුණේ ඔතැනයි’ ඒ සකුණි.
රස්තියාදුකාරයා මොහොතකට ගොළු වුණා. එයාගේ මුළු ශරීරයම අප්‍රාණික වෙලා ළඟම තිබුණු පුටුවකට කඩා වැටුණා. තවදුරටත් දුරකතනයට සවන් දෙන්නවත්, කතා කරන්නවත් රස්තියාදුකාරයාට පුළුවන්කමක්වත් ඕනෑකමක්වත් ඉතිරිවෙලා තිබුණේ නෑ. ඉර හතක් පායන මහ දවාලේ එයාගේ ලෝකේ අන්ධකාර වුණා.
රස්තියාදුකාරයාගේ අතීත ආදර කතා අපට මොකටද කියලා ඔයාලට හිතෙනව ඇති. ඒක ඇත්ත. මනෝමයෙන් හරි ආදරය නොකරපු කෙනෙක් හොයාගන්න අමාරුයි. ඒත් මෙතැනදී රස්තියාදුකාරයා අවුරුදු 10කට පස්සේ දැනගත්තු දේ සමහර ආදරවන්තයෝ කලින්ම දැනගන්නවා. ඒත් මේ දේ දැන නොගෙනම ජීවිතය ගෙවා දාන අයත් ඉන්නවා.

ආදරය වෙනුවට රාගය විතරක් ගැහැනියගෙන් බලාපොරොත්තු වන පිරිමි නම් මෙතැනදී උදම් අනාවි. ගැහැනුන්ට මොන ආදරයද? උන්ට ඕනෑ සෙක්ස් විතරයි කියාවි. ඒත්, රස්තියාදුකාරයා ගැහැනිය එච්චර සරල තැනකට ලඝු කරන්නේ නෑ. එහෙම කළොත් ඒක වැරැදියි.
අපි ආයෙම සකුණි කියන දේ විමසලා බලමු. රස්තියාදුකාරයා ඇයට ආදරය කරන්නේ මලකට, සමනලයකුට වගේ. මල හා සමනලයා අයිති වන්නේ ස්වභාවධර්මයට. සොබාදහමට ඇලුම් කරන අපි කවුරුවත් සොබාදහම තමන්ගේ කරගන්න උත්සාහ කරන්නේ නෑ. මොකද එහෙම කරන්නත් බෑනේ. සකුණි කියන්නේ සොබාදහම වගේ අචේතනික වස්තුවක් නෙවෙයි. රස්තියාදුකාරයාට වරදින්නේ අන්න එතැනදී. ඇයත් ලෙයින්, මසින් තැනුණු හැඟීම්, දැනීම් තියෙන මනුෂ්‍ය ප්‍රාණියෙක්නේ. ඒත් මේ කාරණය එතැනින්ම හමාර කරලා හිත හදාගන්න බෑ. මොකද ඒ බව හොඳටම දන්න හැම කාම කලාවේ කෙළ පැමිණි පිරිමින්ට පවා වරදිනවා. 
හැම වෙලාවෙම වගේ පිරිමියකුට ගැහැනිය පිළිබඳ තියෙන්නේ වැරැදි වැටහීමක්.

රස්තියාදුකාරයාගේ කතාවේදී එයා සකුණිට කවි ලියනවා. සකුණිගේ චිත්‍ර අඳිනවා. සකුණිත් එක්ක පොත්පත් ගැන කතාකරනවා. ඇලෙක්සැන්ඩර් කැෆරින්ගේ ‘රන් මිණි වළල්ල’ කතාවේ ආදරය වෙනුවෙන් සියදිවි හානි කරගත් ෂෙල්ට්කොෆ්ව අගය කරනවා. ජීවිතයට එක් වතාවක් පමණක් අහම්බෙන් කෙනකුට ලැබෙන දිව්‍යමය ප්‍රේමය ගැන කතා කරනවා. රස්තියාදුකාරයා දිව්‍යමය ප්‍රේමයක ආනන්දයෙන් සකුණි දිහා බලන්නේ.

ඒත් ඊට වෙනස්ව සකුණිට ඇත්ත ජීවිතයේ ප්‍රශ්න තියෙනවා. එයා ඉන්නේ එයාව හදිසියේ අත්හැරලා එයාගේ හොඳම යෙහෙළියව විවාහ කරගත් පෙම්වතාගේ මතකයෙන්. ඒ විතරක්ද අකාලයේ මියගිය තමන්ගේ ආදරණීය සහෝදරයා ගැන මතකයෙන්. දුරින් ඉඳගෙන ආදරය කරපු රස්තියාදුකාරයාගෙන් අෑට ඇගේ ප්‍රශ්නවලට උත්තරයක්වත්, ඇයට සැනසුමක්වත් ලැබෙන්නේ නෑනේ. ඒ වෙනුවට ඇගේ හැම ප්‍රශ්නයකදීම ඇගේ ළඟින් හිටපු, ඇයට අවශ්‍ය වෙලාවට අෑ ළඟ ඉන්න ඇගේ හොඳම යාළුවාව ඇය විවාහ කරගන්නවා; රස්තියාදුකාරයටයි එයාගේ මල්වලට, සමනලයන්ට කැමති දෙයක් කරගන්න ඇරලා.

යමක්කමක් තියෙන පිළිවෙළට ඉන්න පවුල්වල තරුණියෝ පවා හිටිහැටියේ තමන්ට වඩා පහළින් ඉන්න තරුණයෝ එක්ක පැනලා යනවා. සමහර මන්ත්‍රිවරුන්ගේ ළාබාල දියණිවරු මන්ත්‍රිතුමාගේ ශරීර ආරක්‍ෂකයෙක් එක්ක පැනලා යනවා වගේ. එහෙම නැතිනම් ධනවත් මුදලාලිගේ දුවලා හෝටලයේ වේටර් තරුණයෙක් එක්ක වහං වෙනවා වගේ. අතීත ඉන්දියාවෙත් පටාචාරා සිටු දුව කැලේ වැදුණේ සිටු මැඳුරේ මෙහෙකාරයා එක්කනේ. ඇයි මෙහෙම වෙන්නේ?
මුදල් හොයන එක, වස්තු රැස්කරන එක ලේසි දෙයක් නෙවෙයි. සිටුවරු, මහා මුදලාලිලා ධනයත් එක්ක  ගැටෙද්දී එයාලට තමන්ගේ දියණියන් මඟහැරෙනවා. මන්ත්‍රිතුමා ඡන්දදායකයන් එක්ක දඟලද්දී, දුවගේ තනි නොතනියට ඉන්නේ රියැදුරු, නැත්නම් ආරක්‍ෂක නිලධාරියා. ඇයට අවශ්‍ය දේ කෙරෙන්නේ ඔහු අතින්. ඇය කැමැති තැනක යන්නේ ඔහු එක්ක. ඇයට අවශ්‍ය සැලකීම වගේම ආරක්‍ෂාව ලැබෙන්නේ ඔහුගෙන්.

විධායක ශේ්‍රණියේ පෙම්වතකුට තමන්ගේ පෙම්වතියට ඕනෑ ඕනෑ වෙලාවක ඇය මුණගැහෙන්න බෑ. ඒත් සමාජයේ පහළ ස්ථරයක තරුණයකුට - නිදසුනක් විදියට ත්‍රිරෝද රථ රියැදුරකුට එහෙම ගැටලුවක් නැහැ. ඇයත් එක්ක ඇගේ ගමන්බිමන් යන්න ඔහුට බාධාවක් නෑ. මල්, සමනල්ලු නොදන්නවා වුණාට ඇගේ දුක, ශෝකයේදී ඇයව සනසන්න පාරේ ජීවිත ගතකරන එයාලා හොඳට දන්නවා. ඉතින්, ඊට පස්සේ එයාලාගේ පශ්චාත් විවාහය අපි දෙවියන් වහන්සේට භාර දෙමු.

මෙතැනදී යමක්කමක් තියෙන, යම් ප්‍රාමාණික උගත්කමක් තියෙන තරුණයා වටහා නොගන්නා යමක් තියෙනවා. ඔහු තරුණියන්ව කොටස් දෙකකට බෙදනවා.  දුටු පමණින් කාමය උපද්දවන, මොහොතක කම් සැපතකට පමණක් සුදුසු තරුණිය හා එසේ නොවන විවාහ ජීවිතයකට සුදුසු අහිංසක, විනීත තරුණිය විදියට. මේ දෙවැනියට කී තරුණියට ඔහු පෙම් කරනවා. ඇයව ආරක්‍ෂා කරනවා. ඇයත් එක්ක ගතකරන අනාගත පවුල් ජීවිතය පිළිබඳ අහස් මාලිගා තනනවා. ඒත් හිටි හැටියේ මේ විනීත තරුණිය හදිසියේ හඳුනාගත් පාදඩ පිරිමියකු හා පලා යනවා. ඇගේ වැදගත් පෙම්වතා තමන්ගේ අනාගත සුබ සිහිනෙන් කටුක සත්‍යයට අවදි වෙනවා. ඔහුට මේ සිදුවීම අදහාගන්න බෑ. තේරුම්ගත නොහෙන ඇගේ ද්‍රෝහීකම ඔහු අසහනයට පත් කරනවා.

මෙතැනදී රස්තියාදුකාරයා කියන්න හදන්නේ ගැහැනු කවුරුද වරදේ නොබැඳෙන? කියලා නෙවෙයි.  පිරිමියකු ආදරයට රාගය පටලවා ගන්නේ නැතිව ඉන්නවා. ඒත් ගැහැනියට ආදරය කියන්නේ රාගයත් එක්ක යන සම්මිශ්‍රණයක්. තමන්ගේ පෙම්වතියට ආදරය කරන, ඇය ගැන කවි පද බඳින, අෑ ගැන මනෝ ලෝකයක ඉන්න පිරිමියා ඇයට වැඩක් නෑ. ඇයට ඕනෑ ඇය එක්ක හුදෙකලා වෙන්න ආශා, ඇයව සිපගන්න, ඇගේ ශරීරය ආදරයෙන් ගවේෂණය කරන පෙම්වතෙක්. ඇයට ආදරය හරියට දැනෙන්නේ එතකොට. තමන්ට ආදරේ කරන, තමන්ගේ සිරුරට ආශා කරන පිරිමියකුයි ඇය ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේ පෙම්වතකුට ඇය තමන්ව පූජා කරනවා.
විවාහයට පෙරාතුව ගැබ්ගන්නේ එහෙම නැතිනම් කන්‍යාභාවය අහිමිව අසරණ වන තරුණියෝ කියන්නේ තමන්ට සමීප වුණු පෙම්වතාට කිසිදු ඉතිරියකින් තොරව ආදරය කරපු අය. එහෙම නැතිව අධික කාමාශාව නිසා පිරිමින් පතපු තරුණියන් නෙවෙයි. ආදරය නිසාම පිරිමින්ට ඉඩ දුන්නු තරුණියක ඒ පිරිමියා නම් කරන්නේ පැනලා දෙන, වල් ගැහැනියක විදියට.  පිරිමි ලෝකයේ මේ කතාවට තටු ලැබෙනවා. ඊළඟට ඇයට හමුවන පිරිමියා එන්නෙම ඇගේ ශරීරය පතාගෙන. මෙතැනදී ආදරය නිසාම ඒ තරුණිය මහමඟට වැටෙනවා.

මේ ලක්‍ෂ්‍යයේදී රස්තියාදුකාරයාට මතක් වෙන්නේ ගුණදාස අමරසේකරගේ මුල් කාලයේ නවකතා. යළි උපන්නෙමි, ගන්ධබ්බ අපදානය වගේ කතා. ඒ කතාවල ගමෙන් නගරයට එන බුද්ධිමතාට නොතේරෙන්නෙම ගැහැනිය සහ ගැහැනියකගේ ආදරය. ඔහු තමන් ආදරය කරන තරුණිය සමඟ ආධ්‍යාත්මික ප්‍රේමයක් ගැන සිතනවා; ඇය පාරිශුද්ධ තරුණියක ලෙස දකිනවා. එහෙත් ඇයට ඕනෑ ඔහුගෙන් හාදුවක්. ඔහු සමඟ හුදෙකලාව පෙම් සුව විඳින්න. මේ වෙලාවේ අපේ ග්‍රාමීය පෙම්වතා වියවුලකට යනවා. ඔහුට ප්‍රේමාලිංගන ග්‍රාම්‍ය අසභ්‍ය දේ. ව්‍යවහාර ලෝකයට පිටුපාලා කාව්‍යමය ලෝකයක තනිවුණු අමරසේකරලාගේ ඛේදාන්තය එයයි.
මතක තියාගන්න, ගැහැනිය ආදරය දකින්නේ ලස්සන වචන අහසේ සමනල්ලු, මල් අස්සේ විතරක් නෙවෙයි. ඇයට, ඇගේ ශරීරයට ආශා කරන පෙම්වතාගේ ප්‍රේමාලිංගනය ඇතුළේ.

Monday, May 5, 2014

ජේත්තුකාර රස්තියාදුව   0     May 4, 2014 2:00 am Hits(28) 

ජීවිතය කියන්නේ හැමෝම වගේ පිළිවෙළකට ගත කරන්න බලාපොරොත්තුවන්නක්. ඒත් කාගෙවත් ජීවිත එහෙම පිළිවෙළකට ගත වෙන්නේ නෑ. නොසිතපු මොහොතක සිදුවන අලකලංචියකින්  ජීවිතයේ රිද්මය බිඳෙනවා. කෙනෙක් තමන්ගේ ළමාවිය ගත කරලා ගැටවර වියෙනුත් පසුව රැකියාවක් නැතිනම් ජීවනෝපායක් සොයා ගන්නවා. මෙන්න මේ කාලෙදි තමන් හිටපු අම්ම, තාත්තා සහෝදර, සහෝදරියෝ ඇතුළත් පවුලෙන් වෙන්වෙලා මෙයා තමන්ටම පවුලක් හදා ගන්නවා.

ඒ කියන්නේ විවාහ වෙනවා. විවාහයෙන් පසුව දරු මල්ලෝ; එයාලා ලොකු මහත් කරලා ලොකු මහත්වරු කරන එක ජීවිතයේ ඒකායන අරමුණ බවට පත්වෙනවා. මෙන්න මේ අරමුණට කෙනෙක්ට පිළිවෙළකට ළඟා වෙන්න අමාරුයි. සමහර විට තමන්ගේ මරණය නැතිනම් බරපතළ අසනීප තත්ත්වයක් මෙතැනදී හරස් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැතිනම් බලාපොරොත්තු ගොන්නක් පොදි කර ගෙන ඇහැ වගේ බලා ගත්ත දරුවාගේ මරණයක්; එහෙම නැතිනම් දරුවාගේ මෑණියන්ගේ මරණයක් වුණත් මේ ජීවිතයේ තියෙන පිළිවෙළ බිඳ දමනවා.

මරණය කියන්නේ උපන් හැමෝටම කවදා හරි අත් විඳින්න වෙන සංසිද්ධියක්. මරණයේ දුක මළවුන් එක්ක වැළලෙනවා කියලත් කියනවා. කොහොම නමුත් රස්තියාදුකාරයා ඇතුළු අප හැමෝම ජීවත් වෙන්නෙත් දින නියමයක් නැති මරණ දඬුවමක් එක්කළා. මරණයකදී ඇති වෙන්නේ දරාගත නොහැකි ශෝකයක්. දුකක්. වේදනාවක්.

මීට අමතරව තමන්ගේ බිරිය නැතිනම් සැමියා තමන්ව අත් හැරලා පිටත සබඳතාවකට යෑමෙන් තමන්ගේ පවුල සීසීකඩ විසිර යෑමේ සම්භාවිතාවක් පවතිනවා. හැම තැනදීම නොවුණත් මේ හැරයෑම බොහෝ විට මරණයක් තරම්ම නැතිනම් මරණයකට වඩා දරුණු අත්දැකීමක් වෙනවා. ඒත් ඒ හැමෝටම නෙවෙයි. ඒ වගේ තමාව අත්හැර බිරිය පැන යෑමේ සිදුවීමක් රස්තියාදුකාරයාට මෙතැනදී සිහිපත් වෙනවා. ඒ 2011 වසරේදී එළිදැකපු කෙටි කතා සංග්‍රහයකදී හමුවුණු කෙටි කතාවකින්. කෙටි කතා සංග්‍රහය ‘පර මලක සුගන්ධය’ රචකයා වෙන්නේ හෙන්රි ජයසූරිය. අදාළ කෙටි කතාවෙ නම ‘බත් කොල්ලා’.

බත් කොල්ලගේ වයස අවුරුදු 31යි. නමේ හැටියට එයා කරන්නේ තමන්ගේ බිරිය සඳමාලි පාර්සල් කරන බත් තමන්ගේ රැලේ බයිසිකලයේ නැඟලා තැන් තැන්වලට බෙදා හැරීමයි. රැලේ බයිසිකලය බත් කොල්ලට ලැබෙන්නේ තාත්තාගේ පරවේණි උරුමයෙන්. වින්කලේ බාස් උන්නැහැ බත් කොල්ලාගේ රැලේ බයිසිකලයයි. එයාගේ 28 හැවිරිදි බිරිය සඳමාලියි ගැන කියන්නේ මේ වගේ කතාවක්.

‘උෟට ඔය බයිසිකලෙයි උගේ ගෑනියි තරං වටිනා වෙන දෙයක් මේ තුන් ලෝකෙම නෑ’
බත් කොල්ලාගේ ජීවිතය ගෙවුණේ එකම විදියට. සඳමාලි උයන කෑම පාර්සල් දහවල බෙදා දුන්නට පස්සේ බත් කොල්ලා ලාසරස්ගෙන් හීන් අඩියක් ගහලා ගෙදර ඇවිත් නින්දක් දානවා. හවසට ටවුමට යන ඔහු පසුදා බත් පාර්සල්වලට අවශ්‍ය කළමනා ගෙන එනවා.
ඒත් නොසිතූ විදියට මේ දින චරියාව එක් දිනකදී වෙනස් වෙනවා. ඒ දහවලෙහි ගෙදර එන බත් කොල්ලාට සඳමාලි ගෙදර නැති බව පසක් වීමෙන් වෙනදා වගේ  හවස හිස් පිඟන් ගේන්නවත්, සල්ලි එකතු කරන්නවත් බත් කොල්ලා එදා ගියේ නෑ. ඒ වෙනුවට එයා රෑ වෙන තුරුම සඳමාලිව හෙව්වා. ඒත් පලක් වුණේ නෑ. එදා පටන් බත් කොල්ලා දහවලට බත් ගෙනා යෑම නැවත්වූවා. ඒත් ඒ දින දෙක තුනකට පමණයි.

‘එක් හවස් යාමයක බැංකුවේ හුරු පුරුදු කස්ටර්මස්ලා අබියස බත් කොල්ලා කඟවේනකු සේ පෙනී සිටියා.
‘සර්’ ඔහු මහත්තුරුන්ව ඇමැතුවා. 
හෙට ඉඳලා මං සර්ලට කෑම ගේනවා. දැන් ඉතිං කඩෙන් කන්න ඕනෙ නෑ. මතක් කරලා යන්නයි ආවෙ සර්’
‘මුදලාලි පවුල ආයෙ ආවද?’
‘මොන!’ බත් කොල්ලා පැවැසුවෙ ඉතා සන්සුන් සිතින් සැහැල්ලුවෙන්.

‘මං වෙන ගෑනියෙක් ගෙනාවා’
‘සර්ලා බය වෙන්න එපා! මේකිටත් හොඳට උයන්ඩන පිහන්න පුළුවන්. ඊයේ රෑ ටැස් කළා. හැම දෙයක්ම සඳමාලියට වඩා හුඟාක් හොඳයි’.
බත් කොල්ලා හිනාවුණා හයියෙං.
‘පෙරේදා රෑ රා තැබෑරුම ගාව උන්නේ කඩල ගොට්ටක් කකා තට්ට තනියෙං. කාත් කවුරුවත් නැති අනාථ වෙච්ච එකියක්. මං එක්කං ආවා!.. එච්චරයි. සමාජවාදෙ කියන්නේ ඕකටනෙ සර්! නැද්ද සර්?’

බත් කොල්ලා ආයේම මේඩ් ඉන් ඉන්ග්ලන්ඩ්! ඔරිජිනල් රැලේ බයිසිකලයට නැඟුණා.
හෙට ගැන මහා බලාපොරොත්තුවක් නැති අද දවසේ ජීවිත වෙත බත් කොල්ලාගේ කතාව ඉවර වෙන්නේ ඒ විදියට. හැමිල්ටන් ඇළ ආශ්‍රිතව ඇළකන්දෙ ජීවත්වෙන බත් කොල්ලා අයිති වෙන්නේ සමාජයේ පහළ ස්තරයකට. සමහරු මුඩුක්කුවාසීන් විදියට මෙයාලා හඳුන්වන්නේ. බරපතළ විදියට කිව්වොත් පාදඩ පීඩිත පන්තිය නියෝජනය කරන්නේ ‘බත් කොල්ලා’.

මේ කතාවේ මුලදිම කියනවා බත් කොල්ලාට ලෝකය වෙන්නේ උගේ රැලේ බයිසිකලෙයි උගේ ගෑනියි විතරයි කියලා. ඒත් එයාගේ ගෑනි, සඳමාලි පැදුරටත් නොකියා පලා යනවා. ඒ ඇසිල්ලෙන් කොල්ලා තවත් ගෑනියෙක් ගේනවා. ආයේම රැලේ බයිසිකලේයි, ගෑනියකුයි කොල්ලාට ඉන්නවා.
මෙතැනදී බත් කොල්ලාට උගේ වහල යට ගෑනියෙක් ඉඳීම අවශ්‍යයයි. ඒ බත් වෙළෙ¼දාමට සහ කායික අවශ්‍යතා පිරිමසා ගන්නට. එතැනදී අවුරුදු 9ක් එකට හිටපු සඳමාලිද වෙන එකියක්ද කියන එක එයාට අදාළ නෑ. මගේ ගෑනිය කියන්නට කවුරුන් හෝ ගෑනියක්. එච්චරයි. වැඩේ සරලයි.

ලංකාවේදී කලාකාරයෝ, ආචාර්යවරු, මහාචාර්යවරු, ප්‍රබුද්ධයෝ, ගැහැනිය තේරුම් ගන්න බැරිව දිගින් දිගටම පොත් ලිව්වා. නාට්‍ය නිෂ්පාදනය කළා. ස්ත්‍රිය සොයා නොනවතින ගමනක යෙදුණා. මේ නොපවතින ස්ත්‍රියව හඳුනාගන්න බත් කොල්ලට තිබුණු ඉව මේ ප්‍රබුද්ධයන්ට තිබුණේ නෑ.
සඳමාලි ගෙදරින් ගිය දවසේ බත් කොල්ලා හැම තැනම ඇයව සෙව්වා. ඒත් හමු වුණේ නෑ, කොල්ලාට සඳමාලිව තේරුම් ගන්න තරම් න්‍යායික දැනුමක් තිබ්බේ නෑ. තමන් දන්න න්‍යායකට සඳමාලිව ගේන්න කොල්ලා දන්නේ නෑ. අනෙක් අතට සඳමාලි ගැන ඔළුවේ හදාගත්තු මනස්කාන්ත, පාර භෞතික කොල්ලාට තිබුණේ නෑ. කොල්ලා තේරුම් ගත්තේ මෙච්චරයි. ගැහැනිය සඳමාලි හෝ කවුරුන් හෝ මගේ වහල යට සිටින විට මගේ ගැහැනියයි. ඇගෙන් ඉටුවිය යුතු වන්නේ බත් ඉවීම සහ බත් පාර්සල් කිරීමට අමතරව අවශ්‍ය විටක කම් සැප ලැබීමට සහයෝගය දීමයි.

ආධ්‍යාත්මික ආදරය, සංසාරගත බැඳීම්, මේ කිසිවක් බත් කොල්ලාගේ දැනුමට ගෝචර වෙන්නේ නෑ දහවල් බත් පාර්සල් බෙදා හීන් අඩියක් ගසා, ටකරං වහල යට සිගරැට්ටුවක් උරමින් නින්දට වැටීම කොල්ලාගේ චිත්ත සමාදානයයි.
එක් අතකින් එදා වේල හම්බකර ගෙන අමාරුවෙන් දිවි ගෙවනවුට මානසික ගැටලු නෑ. ඒ ඔවුන්ට සිතන්නට වෙලාවක් නොමැති කම සහ පොත පතින් ඇට්ට කුණාවූ දැනුමක් නැති නිසාය. උගතුන්, බුද්ධිමතුන් යැයි සැලකෙන්නන්ට මුදල් මෙන්ම විවේකය ගෙවීමට කාලය තියෙනවා.
බත් කොල්ලාගේ ගෑනි වෙනුවට විද්‍යාඥයකුගේ, නැතිව මහාචාර්යවරයකුගේ බිරිය වෙනකකු හා ගියහොත් කුමක් වේවිද? පළමුව ඇය පිළිබඳ සොයන එතුමා අනතුරුව ඒ සම්බන්ධයෙන් න්‍යායිකව විශ්ලේෂණය කර සමහර විට නිසංසල අවහන්හලක මධු විතක් තොලගාමින් තම සහෘදයන් හා ගැහැනියගේ චපලත්වය සම්බන්ධ න්‍යායක් ගොඩනඟාවි. ඒ මධ්‍යම පාන්තිකයන්ට ඇති (නො) දැනුම අතිරික්ත කාලය සහ මුදල් නිසාය.

එහෙත් මීට වෙනස්ව බත් කොල්ලාට සිතන්නට දැනුමක්වත්, නාස්ති කරන්නට කාලයක්වත් නැත. කෙසේ හෝ බත් වෙළෙදාම කළ යුතුව තියෙනවා. තැබෑරුම අසල හමුවන ගැහැනියගේ පාරිශුද්ධතාව ඔහුට ගැටලුවක් නොවන අතර සඳමාලිගේ ඩියුටිය ඇය හොඳින් කිරීම ඔහුට ඕනෑවටත් වඩා ප්‍රමාණවත්ය.
මංගල යහනාවේදී පාරිශුද්ධ භාවය ඔප්පු කර ගත නොහැකි වූ බිරින්දෑවරු නිසා ඉතිරි ජීවිත කාලයම මානසිකව වද විඳින සැමියන්ට බත් කොල්ලා ආදර්ශයකි.
මධ්‍යම පාන්තිකයාට විවාහය යනු බැරූරුම් කාරණාවකි. පස් මහ බැලුම් බලා කළ යුත්තකි. එක්කෝ විවාහ ආදරය මුල් කර ගත් ඒවාය. නැතිනම් යෝජිත ඒවාය. ඒ කෙසේ වුව විවාහයේ දී මධ්‍යම පාන්තික සැමියා ආදරයට මුල් තැන දුන්නත් ලිංගික විශ්වාසය ඇගෙන් පතයි. ඒ ඇය තමා හැර අන් පිරිමියකුගේ පහස නොලැබිය යුතු බවයි.

බොහෝ කොට මධ්‍යම පාන්තික සැමියා තම බිරියගේ අණට ඉහළින් නොයන්නෙකි. අෑ අකැමැති මත්පැන් පානය ඔහු අත්හරියි. දුම්පානය බැහැර කරයි. අෑ කැමැති සියල්ල ඉෂ්ට කිරීමට ඔහු සැදී පැහැදී සිටී. රස්තියාදුකාරයාට අනුව ගැහැනුන් මත්පැන් සහ දුම්වැටිවලට ප්‍රසිද්ධියේ විරුද්ධ බව ඇත්තකි. එහෙත් රස්තියාදුකාරයාට ඇති ගැටලුව වන්නේ මත්පැන් නොබොන, දුම්පානය නොකරන, සිය බිරිය අකැමැති කිසිවක් නොකරන වැදගත් මහත්වරුන්ගේ බිරියන් මත්පැනින්, දුම්වැටියෙන් තොර ලොවක් නැති පාදඩ පිරිමින් හා හොර රහසේ කම් සැප විඳින්නේ ඇයි යන්නයි.
රස්තියාදුකාරයා මේ පැනයට පිළිතුරක් දීමට ඉක්මන් වන්නේ නෑ. එසේ වුවහොත් මත්පැන්, දුම්වැටි බේතකටවත් සොයා ගැනීමට නොහැකි වටපිටාවක් නිර්මාණය වීමට ඉඩ ඇත.

ඉතිං ජීවිතයේ පිළිවෙළක් තියෙන එකේ වරදක් නෑ. ඒත් මතක තියා ගන්න මේ පිළිවෙළ බිඳ වැටෙන්න නියමිත ගැහැනිය හෝ බිරිය නිසා නෙවෙයි. අෑ ගැන තියෙන පාර භෞතික විශ්වාසය නිසා.

Monday, March 3, 2014

“කවුළුව” යනු රස්තියාදුකාරයාට අනුව යම් ආකාරයකට සුවිශේෂී චිත්‍රපටයකි. තිස්ස අබේසේකර තිර රචනයෙන් දායක වුණු “කවුළුව” අධ්‍යක්‍ෂණය කළේ ඩැනී ඩබ්ලිව්. පතිරණයි. හා පුරා කියා තිරයට පැමිණියේ 1981 වසරේදීය. “කවුළුව” යනු සාලිය, අශෝකමාලා ගණයේ පෙම් පුවතක් ලෙසට කෙනකු වරදවා වටහා ගන්නට බොහෝදුරට ඉඩ ඇත. එසේ වුව “කවුළුව” යනු හුදු අවරගණයේලා සැලකිය යුතු චිත්‍රපටයක් නොවේ.

ජේ.ආර්. ජයවර්ධන විවෘත ආර්ථිකය සිරිලකට හඳුන්වා වසර 3කට පසු “කවුළුව” තිරගත වුවද, කඩිනමින් වෙනසකට භාජන වූ චින්තනමය පෙරළියක් “කවුළුවේ” දක්නට නොලැබේ. එබැවින් අසූව දශකයේ මුල් භාගයේ තිරගත වුවද “කවුළුව” අපට කවුළුවක් තනන්නේ 78ට පෙර පැවැති ලාංකේය අග නාගරික සංස්කෘතිය වෙත එබී බැලීමටය.

“කවුළුවේ” කතා වස්තුව සැකෙවින් මෙසේය. කොළඹ කුරුඳුවත්තේ වෙසෙන විවාහක කාන්තාවක වූ මෝනා (දිල්හාරා ජයවර්ධන)ගේ අනියම් පෙම්වතා අනුර (සනත් ගුණතිලක)ය. ඔහු මෝටර් කාර්මිකයෙකි. දිනක් මෝනාගේ නිවෙසේ පෙම් සුව විඳි අනුරාධ (සනත් ගුණතිලක)ට ස්ත්‍රියකගේ ළතෝනියක් ශ්‍රවණය වේ. උඩු මහලේ කවුළුවකින් එබී බලන අනුර ඉදිරිපස නිවෙසේ සිට දිව යන තරුණියක දකියි. අනුරට ඇසුණු කෑගැසීම විදුලි සැර වැදී මියගිය මායා (ස්වර්ණා මල්ලවාරච්චි)ගේ බව අනතුරුව අපට වැටහේ. මායා ධනවතකු වූ රංජිත් (විජය කුමාරණතුංග)ගේ බිරියයි. පොලිස් පරීක්‍ෂක වික්‍රමසිංහ (රෙක්ස් කොඩිප්පිලි)ගේ ප්‍රශ්න හමුවේ රංජිත්, මායා හා බැඳුණු සිය කෙටි අතීතය හෙළි කරයි.

දිනක් සිය ඇවැස්ස නෑනා වන අංජලී (සබීතා පෙරේරා)ගේ උපන් දින සාදයට සහභාගි වී ආපසු එන බීමත් රංජිත්ගේ රියට හැපෙන මායාගේ පියා මියයයි. පසුතැවිල්ලට පත්වන රංජිත් මවද අහිමි මායාගේ දුක සැප සොයා බලයි. රංජිත් හා මායා අතර පෙම් සබඳතාවක් ඇතැයි ඔහුගේ මවුපියෝ වරදවා වටහා ගනිති. රංජිත්ගේ මව මහමඟදී මායාට තර්ජනය කරයි. තම නිවසින් පිටව යන රංජිත් මායා විවාහ කර ගනියි. මෙසේ මායා මියයන්නේ ඔවුන් දෙදෙනා සතුටින් කල්ගත කරන අවධියේය.
මේ අතර මෝනාගේ දැඩි විරෝධතාව නොතකා අනුර ඇගේ නිවෙසේ කවුළුවෙන් තමා දුටු දේ පොලිසියට හෙළි කරයි. මායා මිය යන විට තමා ඒ නිවෙසේ සිටි බව අංජලී පිළිගනියි. අංජලී රංජිත්ගේ නිවෙසට යන්නේ අසනීපයෙන් පසුවන රංජිත්ගේ මව වෙත රංජිත්ව යැවීම අරමුණු කරගෙනය. එහිදී ඇය මායාට විදුලිසැර වැදුණු විට බියපත්ව පලාගිය බව පැහැදිලි වේ.

රැයෙහි මෝනා සොයා යන අනුරට හමුවන්නේ මෝනාගේ මළ සිරුරය. අනුරගේ හෙළිදරව්වෙන් අනතුරුව තම අනියම් පෙම හෙළිවේ යන බියෙන් ඇය සියදිවි තොර කරගෙනය.
මුහුදු වෙරළේදී අංජලීව හමුවන රංජිත්ට දැනගන්නට ලැබෙන්නේ මායාගේ දිවි බේරාගත හැකිව තිබියදී අංජලී එසේ නොකළ බවයි. වැලපෙන අංජලීට පිටුපා යන රංජිත්ගේ රූපයකින් “කවුළුව” වැසේ. චිත්‍රපටය නිමාව දකී.

“කවුළුව” චිත්‍රපටයේ අපට පෙම් සබඳතා දෙකක් හමුවේ. එකක් ධනවතකුගේ බිරිය වන මෝනා හා අනුර අතර අනියම් ප්‍රේමයයි. අනෙක මධ්‍යම පාන්තික රංජිත් හා මුඩුක්කු තරුණියක වන මායා අතර කෙටි විවාහ ජීවිතයයි. මේ සබඳතා දෙකම අවසාන වන්නේ මෝනාගේ මෙන්ම මායාගේද මරණයෙනි.
චිත්‍රපටයක් මඟින් සැම විටම පාහේ ඒ යුගයේ අධිපති මතවාදය නියෝජනය වේ යන්න මෙහිදී සාකච්ඡා කළ හැකිය. ඒ සඳහා “කවුළුව” අපට කවුළුවක් විවර කර දේ.
70 දශකයේදී අනියම් සබඳතාවක් යනු නිශ්චිත අවසානයක් සනිටුහන් කළ නොහැකි නොපවතින සම්බන්ධයකි. මෝනාගේ දිවි නසා ගැනීම අවශ්‍ය වනුයේ මේ නොපවතින සම්බන්ධය අවසානයකට ගෙන ඒමටය.

ඒ යුගයේ පන්ති සංචරණ හැකියාව, එනම් බොහෝ විට පහළ පන්තියක සිට ඉහළ පන්තියකට සංක්‍රමණය වීම යනු අභව්‍ය සිදුවීමකි. විය නොහැක්කකි. ඒ යුගයේදී අර්ථයකට ගෙන ඒමට නොහැකි රංජිත් හා මායා අතර විවාහ දිවිය මායාගේ මරණයෙන් නිමා වන්නේ එබැවිනි.
තවදුරටත් මායාගේ මරණය මායා කෙරෙහි වූ රංජිත්ගේ ආදරය නොනසා පවත්වා ගන්නට උපකාර කරයි. දැන් රංජිත්ට මියගිය යහපත් බිරියගේ මතක සමඟ ජීවත් විය හැකිය. ඒ අනුව මායාගේ මරණය සැබෑ ආදරය යනු සැබැවින්ම පවතින්නක් බව තහවුරු කරයි. දැන් මුඩුක්කුවක හැදුණු වැඩුණු තම බිරිය පිළිබඳව රංජිත්ට මෙසේ උදාන වාක්‍ය පැවැසිය හැකිය.

“මම උපන්න, හැදුණු, වැඩුණු පන්තියේ කා ළඟවත් දැක්කෙ නැති තරම් අවංකකමක් මම මායා ළඟ දැක්කා. ඒත් මම බැන්දෙ ආදරය මුල්කරගෙන නෙවෙයි.”
රංජිත්, මායාව විවාහ කරගත් පසු තමා තරම් කිසිවකු ශෝකයට පත්නොවූ බව අංජලී පවසයි. එහෙත් අංජලී යනු හුදෙක් ආදරයෙන් පැරැදුණු නාගරික පෙම්වතිය නොවේ. “කවුළුව” චිත්‍රපටයේ කේන්ද්‍රීය චරිතය ඇයයි. 70 දශකයේ මතවාදය තහවුරු කරන්නේ ඇයයි.

අංජලී ඍජුව මායාගේ මරණයට වගකිවයුතු වන්නේ ඇය විදුලිය විසන්ධි කර මායා බේරා නොගන්නා බැවිනි. ඇය ඒ බව රංජිත්ගෙන් වසන් කළා නම් හෝ ඇය දකින විටත් මායා විදුලි සැරෙන් මියගොස් සිටියා නම් අංජලීට රංජිත්ව දිනාගන්නට ඉඩ තිබිණි. එහෙත් චිත්‍රපටයේ කතාව ගොඩනැඟෙන්නට අංජලීට රංජිත්ව දිනා ගැනීමේ ඉඩකඩ අවුරාලමිනි. එසේ වන්නේ මායා කෙරෙහි වූ රංජිත්ගේ ආදරය නොවෙනස්ව තැබීමටය. සැබෑ ආදරය යනු සැබෑවට පවතින්නක් බව තහවුරු කිරීමටය.
එක පැත්තකින් මායාගේ මරණය හරහා යුගයේ පැවැතිය නොහැකි විවාහයක් නිමා කරන අංජලී අනෙක් පැත්තෙන් ආදරය යනු ඇත්ත ලෝකයේ පවතින්නක් බව තහවුරු කිරීමට උපකාරි වේ.

“කවුළුව” ආරම්භයේ රංජිත් සොයා යන අංජලීගේ රථය අනුර සොයාගෙන මෝනාගේ රථය හා ගැටෙන්නට ආසන්න වේ. එක් මොහොතකට පමණක් මෝනාගේ නෙත ගැටෙන මේ තරුණිය අංජලී වක්‍රව මෝනාගේ මරණ සහතිකය ලබාදේ. යම් හෙයකින් අංජලී දිව යනු අනුර නොදුටුවා නම් හෝ අංජලී දිවයනු දුටු බව අනුර පොලිසියට හෙළි නොකළා නම් මෝනාගේ දිවි ගැලවෙන්නට ඉඩ තිබිණි. එහෙත් ඊළඟ සතියේ මෝනාගේ සැමියා ආපසු ලංකාවට පැමිණි පසු අනුර හා මෝනාගේ අසම්මත කතාවට අර්ථයක් ඒ යුගයේ නොතිබිණි. එ බැවින් මෝනාට සියදිවි නසා ගන්නට ඉඩහැර අනියම් සබඳතා යනු නොපවතින්නක් බව තහවුරු කරයි.
මේ අනුව අංජලී යනු 70 දශකයේ පන්ති සංචරන හැකියාවක් නැති බව මෙන්ම අනියම් සබදතා යනු නොපවතින්නක් බව තහවුරු කරන්නියයි. රංජිත්ට මායාගේ මතකය සමඟ ඉන්නට ඉඩහැර ආදරය යනු සැබෑවක් බව තහවුරු කරන්නේද ඇයයි.

70 දශකය පුරාවට අනියම් සබඳතාවකදී කාන්තා පාර්ශ්වයට කඳුළු නොවියැකුණු දෙනෙතින් ශෝක වීම හැරෙන්නට වෙනත් විකල්පයක් නොතිබිණි. “කවුළුව” මේ ශෝක වන්නිය “මෝනා”ය. ඉංග්‍රීසි භාෂාවෙන් මෝන(ර්) යනු කඳුළු සලන්නිය වන විට කවුළුවේ දුකට පත් ස්ත්‍රිය කඳුළු සලන්නිය “මෝනා” වීම හුදු අහම්බයක්ද?
ඒ ආකාරයටම තත්‍ය ලෝකයේ සැබැවින් නොපවතින මායාවක් ලෙස අර්ථ ගැන්වෙද්දී “කවුළුවේ” හමුවන 70 දශකයේ සිටිය නොහැකි ස්ත්‍රිය “මායා” වීමත් හුදු අහම්බයක්ද?
කෙසේ වුව කොළඹ හතේ සුපිරි නිවෙසක විදුලි කාන්දුවකින් කාන්තාවක මියයෑම පිළිබඳව රස්තියාදුකාරයට ඇත්තේ බලවත් ශෝකයකි.

Saturday, February 1, 2014

ජේත්තුකාර රස්තියාදුව   0     February 2, 2014 2:00 am Hits(8) 

ගමේ කඩ පිලේ දාම් අදින, ගමේ පාරේ බෝක්කු උඩ කල් යවන, රැයක් දවාලක් නොබලා ගම පුරා සැරිසරන තරුණයන් අදත් ඉන්නවා. මේ අයව ගම්මුන් පොදුවේ හඳුන්වන්නේ රස්තියාදුකාරයෝ කියලා. රෑට වතුවල කුරුම්බා, පොල් හොරකමේ යන, මයියොක්කා හොරාවට ගලවන මේ අය රා වගේම හොර අරක්කු ඒ කියන්නේ ගමේ බඩුත් පාවිච්චි කරනවා. වරදවා වටහාගන්න එපා. මේක ජීවිතය එක්ක කරන සොඳුරු රස්තියාදුවක් නෙවෙයි. කවදාටත් තරුණයන් අතහැර නොයන විරැකියාවේ ප්‍රතිඵලයක්. මෙන්න මේ වගේ තරුණයන්ව ‘වල්මත්වූවෝ’ විදියට වසන්ත ඔබේසේකර අපට හඳුන්වලා දෙනවා. ඒ 1976 දී. ඒ අදින් අවුරුදු තිස් ගණනකට පෙරාතුව. ඉතින් මේ නන්නත්තාර තාරුණ්‍යයේ කතාව අපි සාරාංශ ගතකරමු.

එකිනෙකා හා දැඩි ළෙන්ගතුකමකින් යුතු තරුණයන් පස් දෙනකු අපට හමුවෙනවා. ඒ සමන් (සිරිල් වික්‍රමගේ), සිරිල් (ටෝනි රණසිංහ), සුනිල් (ෂර්ලි ගෝමස්), සෝමදාස (සෝමසිරි දෙහිපිටිය) හා පීටර් (නාමල් වීරමුණි) ය. මේ අයගෙන් යමක් කමක් ඇති පවුලක තරුණයකු වන්නේ සිරිල් පමණයි. සමන් උපාධිධරයෙක්. පීටර් ගංජා විකුණනවා. සුනිල්ට අවශ්‍ය ලේඛකයකු වීමටයි. සෝමදාස රාත්‍රියේ හිමියන් නොමැති නිවෙස්වලට රිංගන සෙල්ලක්කාරයෙක්. ඔවුන්ගේ පොදු සාධකය නම් විරැකියාවයි. 
චිත්‍රපටය ඇරැඹෙන්නේ මේ තරුණයන් ගම්බද පාරක කෙළිදෙළෙන් ඇවිද යන රූප රාමුවකින්. පසුබිමෙන් ඇසෙන්නේ මේ ගීතයයි.

මලින් මරේ රොන් පොපියන 
රඟන බඹර ජීවිතේ
කප්පරු හිස දැවී ලියලන 
නව යව්වන ජීවිතේ 
අපට උරුම නැත - නාඬන් හදවත 
තරුණ පැතුම් හිසින් දරා 
මතු දවසට පෙරුම් පුරා 
ඉපණැලි කටු කොහොල් මැදින් 
මඟ සොයනා ගමනේ 
කි¼දා බසින ජීවිතයට 
නැත කිසි පිළිසරණේ

රාත්‍රියේ ගංජා උරමින්, බූරුවා ගසමින්, රා බොමින්, ගම පුරා ඇවිදින ඔවුන්ගේ සූදානම නාඩගමක් රඟ දැක්වීමටයි. මේ ‘රාජසිංහ නාඩගම’යි. හා හා පුරා කියලා එහි තිර රචකයා වන්නේ සුනිල්ය. ඒ මේ නාඩගම රඟ දක්වන අතරතුර පීටර් හිර භාරයට ගැනේ. ඒ ගංජා ළඟ තබා ගැනීමේ වරදටයි. නාඩගම කඩාකප්පල් වෙනවා. පීටර්ට විරුද්ධව පොලිසියට ඔත්තු දෙන්නේ සුමනදාස. ඔහු සමන්ගේ ගෙයත්, ඉඩමත් උකසට ගත්ත ගබ්රියෙල් ගේ පුතා. දැන් මේ තරුණයන්ට එක් මිතුරකු අහිමි වෙනවා. 
සුනිල් හා සබඳකමක් පවත්වපු ෆිලොමිනා ගැබ් ගන්නවා. සොහොයුරා එවන මුදලින් යම්තම් ජීවිතය ගැට ගසා ගන්නා සුනිල්ට පවුල් ජීවිතයක් යනු සිහිනයක්. සුනිල් පැදුරටත් නොකියා පලා යනවා. ඒ ෆිලෝමිනාගෙන් ගැලවීමට නෙවෙයි. කරන්න වෙන දෙයක් නැති නිසා.

සමන්, සිරිල්ගේ නැඟෙණිය සුමනා සමඟ පෙම් සබඳතාවක් ගෙනයනවා. රැකියාවක් යනු සිහිනයක් නිසා සමන් එයාගේ උපාධි සහතිකය ගිනිබත් කරනවා. සුමනා වෙනකෙකු හා විවාහ වෙනවා. සමන්ගේ නිවෙස හා ඉඩම සින්න වෙන්න ආසන්න වෙනවා. සමන්ගේ පියා ගෙල වැලදාගෙන මිය යනවා. ශෝකයෙන් වියරු වැටෙන සමන් ගබ්රියෙල්ට පහරදීලා ඉඩමේ උකස්කරය පැහැර ගන්නවා. ඊට එරෙහිවන සුමනදාසට සමන් පිහියෙන් අනිනවා. පලා යන සමන් ගබ්රියෙල්ගේ වෙඩි පහරින් මිය යනවා.

සමන්ගේ දේහය රැගත් මිනී පෙට්ටියට කරදීමට ඉන්නේ සිරිල් හා සෝමදාස පමණයි. අවසානයේ සිරිල් ද සෝමදාසගෙන් සමුගෙන කොළඹ බලා යන දුම්රියකට ගොඩ වදිනවා. 
ආපසු ගම දෙසට යන සෝමදාසගේ රූප රාමුවකින් වල්මත්වූවෝ නිමාව දකිනවා. 
අරමුණු විසඳුමක් නැතේ 
අද පමණයි හෙටක් නැතේ 
හිස් අහසට අත් ඔසවා 
අපිත් කිරට හැඬුවා 
සා පවසට, අනේ අපට 
කිරි එරුණේ නැතුවා....

වල්මත්වූවෝ හි තරුණයන්ටද අරමුණු තියෙනවා. නාඩගමෙන් ලැබෙන මුදලින් සුනිල් ලියූ පොත මුද්‍රණය කිරීමට ඔවුන් අදහස් කරනවා. රැකියාවක් ගැන සිහින නොදැක පීටර් නීති විරෝධී ආකාරයට මුදල් උපයනවා. සමන්ට අවශ්‍ය වන්නේ තමන්ගේ නිවෙස හා ඉඩම බේරා ගන්න. චිත්‍රපටයේ හමුවෙන ඇත්ත රස්තියාදුකාරයා සෝමදාස විතරයි. සෝමදාස ගමට බැඳුණු මිනිහෙක්. ඔහු ගම විඳිනවා. රැයේ සොපි අක්කාගේ ‍ෙදාරට තට්ටු කරන ඔහු තවත් ගැමි ගැහැනුන්ගේ ‍ෙදාරවලට තට්ටු කිරීමටත් මැළිවන්නේ නෑ. ඔහුගේ අනුරාගී සූරකම් ඔහුව ගමේම 
සංඝටකයක් කරනවා.

වල්මත්වූවෝ හි දිශානතිය වටහාගන්නට ගම හැරගිය සුනිල් සිරිල් වෙත එවන ලිපිය ප්‍රමාණවත්. 
“අපේ ගමේ නිස්කලංකෙට මම හරිම ආසයි. නමුත් වැඩක් නැතිව ගමේ පල්වෙන කොට ඒ නිස්කලංකයත් මිනිසුන්ට මහා බරක් වෙනවා. අරමුණක් නැතිව අපරාජිත ජීවිත ගත කරන්න මට කිසිම ආශාවක් නෑ. උඹලගෙ ගහ ගැනීම් නිසා හෝ ෆිලෝමිනාගේ සිද්ධිය නිසා මම ගමෙන් පැන ගියා නෙවෙයි. සදාකාලික ගමටම සීමා වූ අරමුණක් නැති ජීවිතයක් ගත කිරීමට බැරි නිසයි මම ගමෙන් පැනලා ගියේ. මම විතරක් නෙවෙයි සෝමදාසත්, සමනුත්, උඹත් උඹලගේ ඉගෙනීමෙන් පලක් නැතිව නිකම්ම වේළිලා යනවා. අපට වඩා වෙනත් මඟක් ගැනීමට පීටර්ට වුණ දේ උඹලා දන්නවානේ.

මෙගම සෞන්දර්යයෙන් යුතු වුවද අපි එයට කොටු වුණු සිරකරුවෝ වෙමු. සමාජය අපිව කොන්කර ඇති බැවින් අපි සමාජයෙන් අෑත්විය යුතුය. නැත්නම් සමාජය වෙනස් කළ යුතුය. ගමේ පල්වෙමින් මේ පියවර අපට ගත නොහැක.” 
ගම පිළිබඳව මෙසේ සෞන්දර්යාත්මක කියැවීමකට යන්නේත්, ගමෙන් එපිට නගරයේදී සාක්‍ෂාත් කර ගත හැකි අරමුණු පිළිබඳව ෆැන්ටසියක් ගොඩනැඟන්නේත් නූගත් ගැමියා නොව ප්‍රාමාණික අධ්‍යාපනයක් ලද උගත් තරුණයකු වූ සුනිල්ය. ‘රාජසිංහ නාඩගම’ හා බැඳුණු ගම ඔහුට තව දුරටත් අනවශ්‍යයි. ෆිලොමිනා ගැබ් ගැනීමද සුනිල්ට අනුව අත්වැරැද්දකි.

“යාන්තම් පැදුර පෑගුණා විතරයි බං”
ගම යනු අතීතය, අත් හැරිය යුතු යමක් වන විට නගරය යනු දිනාගත යුතු ලෝකයක් ලෙස සුනිල් දකිනවා. යමක් කමක් ඇති සිරිල් පොඩි මහත්තයාට ගමේ නිස්කලංක ජීවිතයක් ගත කළ හැකිය. එහෙත් ගම හැරදා ඔහුද කොළඹ යනවා. 
ගම යනු යළි සොබා දහම වන විට, මේ තරුණයන් නගරය කරා ඇදෙන්නේ සංස්කෘතිය සොයාද?
70 දශකයේදී ගමෙන්, නගරයට සංක්‍රමණය වුණු ගැමි තරුණයන්ට සිය අරමුණු සාක්ෂාත් කර ගන්නට පුළුවන් වීද? ගමදී නගරය ෆැන්ටසිකරණය කළ එවුන් නගරයේදී සිය ෆැන්ටසියෙන් සැබෑවට අවදිවන්නට ඇත්ද? මේ පිළිබඳව දැනගන්නට ඊළඟ සතිය වන තුරු ඉවසන්නට ඔබට සිදුවෙනවා. ඒ රස්තියාදුකාරයා ගමෙන් නගරයට ආ තරුණයන් ඔබ හමුවට ගෙන එන නිසා. ඒ වසන්තගේම නිර්මාණයක් වූ ‘දියමන්ති’ හරහා.

පහනේ තෙල් සිඳෙන තුරා 
තටු ගිලිහී දැවෙන තුරා 
පහන් සිළුව වටා රඟන 
පළගැටි රෑනයි....
මිරිඟු සයුරු සොයා සරණ 
පළගැටි රෑනයි...

Saturday, December 28, 2013


අද වාගේ කාලෙක කෙනකු වර්තමානයේ ජීවත් වෙනවා කියන්නෙම ධනය, බලය වගේම භෞතික භාණ්ඩ පසුපස එළවීමක් විතරයි. මේ තරගයෙන් මිදිලා අල්පේච්ඡව ජීවත් වෙන කෙනකු කියන්නේ සමාජයෙන් හුදෙකලා වූවෙක්. 60-70 දශකවල ඉපදුණු කෙනකු දැක්ක සාරධර්ම තිබුණු යුගයක් තිබුණා. ඊට පස්සේ එයාලා තමන්ගේ මැදිවියේ දකින්නේ මිනිසත්කම පිරිහුණු මොනරු රජයන යුගයක්. රස්තියාදුකාරයා ඇතුළු අපි හැමෝම ගෙවන්නේ මෙන්න මේ යුගය. මුලින් කී යුගයේදී මිනිහෙකුට ආත්මයක් කියලා දෙයක් තිබුණා නම් දැන් එහෙම දෙයක දූවිල්ලක්වත් ඉතිරි වෙලා නෑ.

ඒ යුගයේදී වැඩිහිටියන්ට, පන්සලේ හාමුදුරුවන්ට, වෙද මහත්තයට, ඉස්කෝලේ මහත්වරුන්ට හැමෝම ගරු කළා. ඒත් අද එහෙම නෑ. එදා එයාලා සේවයක් කළා නම් අද වෙද්දි ඒ සේවාව බිස්නස් එකක් බවට පත් වෙලා. එදා ඉස්කෝලෙ මහත්තයා අද ටියුෂන් සර් වෙලා. අධ්‍යාපනය දෙන්නේ මුදලට. එදා පාවහන් නොමැතිව මිනිසුන්ගේ සුවසෙත උදෙසා යොදුන් ගණන් ඇවිදපු හාමුදුරුවන්ට අද බණකට වඩින්න රෝද හතරක් නැතිව බෑ. ඒකෙත් එක පැත්තක් තියෙනවා. ඉක්මනට බණ කියලා ඉක්මනට පන්සලට ඇවිත් මෙගා ටෙලි නාට්‍යයක් ගොඩ දාගන්න පුළුවන්නේ.

ඒ යුගයේ රජයේ සේවකයා කියන්නේ වැදගත් මිනිහෙක්. කන්තෝරුවක කාර්යාල සහායක පවා ගමේ වැදගත් මිනිහෙක්. ක්ලාර්ක් මහත්තුරු ගැන කියලා වැඩක් නෑනේ. ගමට ලියුම් ගේන තැපැල් කාරයා එදා ගරු කටයුතු තැපැල් මහත්තයා. ගම හරහා දිවෙන ලංගම බසයේ රියැදුරු මහත්තයාට නොකියන මඟුලක් ගමක නෑ. ඒත් අද වෙද්දී කවුරුවත් කාවවත් ගණන් නොගන්න සමාජයක්. මොකද එහෙම ගණන් ගන්න වෙලාවක් නෑ. පොඩ්ඩක් වට පිට බැලුවත් අනෙක් අය ඉස්සර වෙලා දුවනවා. ඉතින් අද වෙද්දි නගරය විතරක් නෙවෙයි ගමත් සුන්දර නෑ. එදා වගේ ගහෙන් බා ගත්තු රා මුට්ටියක්, දෙකකට වග කියලා ගම මැදින් රෑ දෙමන්දමේ සීපද කියාගෙන හුළු අත්ත වන වනා යන ගැමියො අද දකින්න නෑ. එහෙම ගැමියෙක් දකින්න ඕනෑ නම් මහගමසේකරගේ ‘තුංමන්හන්දිය’ ච්ඍච් පටය බලන්න වෙනවා.

අද දවසේ කොළඹ නගරය අලංකාර කෙරෙනවා. පැරැණි ගොඩනැඟිලි සංරක්ෂණය වෙනවා. ඒවා හොඳ වැඩ. නගරයේ කැළිකසළ ශුද්ධ වෙලා පිළිවෙළක් වෙන එක හොඳයි. ඒත් මිනිස්සු වැඩි වැඩියෙන් අභ්‍යන්තරය කිලිටු වෙද්දි නේද තමන්ගේ වට පිටාව ශුද්ධ කරන්න වෙහෙසෙන්නේ? අන්තිමට ඉතිරි වෙන්නේ සුන්දර කොන්ක්‍රීට් වනාන්තරයක්  මැද ආධ්‍යාත්මිකව හිස් වුණු මිනිහෙක් විතරයි. ඒ හිස්කම වැහෙන්න රට පුරා හන්දියක් හන්දියක් ගාණේ බුද්ධ ප්‍රතිමා, සුරුවම් ඉදිවේවි. දැනටත් හැම වෙලේම අනෙකාගේ බෙල්ල කපා ගෙන හරි ඉස්සරහට යන්න හදන මිනිස්සු දවසකට සිය පාරක් විතර අනෙක් අයට බුදු සරණයි කියනවා. ඒ දුරකතන සංවාද අවසානයේ. අද වෙද්දි බුදු සරණයි කියන්නේ බායි, සීයූ, චෙරියෝ වගේ වචනයක් බවට පත් වෙලා.

රස්තියාදුකාරයා පෙර යුගය සහ පසු යුගය දෙකම දකිනවා. අද වෙද්දී නිම නොවෙන වර්තමානයක ජීවත් වන මිනිසාට යම් තරමකට හෝ වචනයේ අර්ථයෙන් මනුෂ්‍යයකු වෙන්නේ අතීත මතකයේදී විතරයි. වර්තමානය කියන්නේ අතීතයේ ප්‍රක්ෂේපණයක් කියලා කවුදෝ කියලා තිබුණා. ඒක පට්ට බොරුවක්. අතීතය කියන්නේ කෙනකුට මානසිකව හරි මනුෂ්‍ය හැඟීම් උපද්දවන සංකල්පයක්.

අද වෙද්දි ජයන්ත චන්ද්‍රසිරිගේ ‘සමනල සංධ්වනිය’ ට මිනිස්සු සෙට් වෙන තැන ඕකයි. අතීතයේත් වඩා මතකයට එන සංවේදී හැඟීම ආදරයනේ. ඉතින් අතීතයක් තිබුණු කෙනකුට ‘මට මගේ නොවන මගේම ආදරයක්’ ගැන මතක පුංජයක් හරි තියෙනවා. ආදරය සීමාමායිම් නොතකන සංවේදී හැඟීමක් වෙද්දී කෙනෙක් ඒ ආදරයම විවාහය දක්වා ගෙන යන්නේ කලාතුරකින්. තවමත් ලංකාව වගේ තුන් වැනි ලෝකයේ රටක විවාහය බොහෝ විට තීන්දු වෙන්නේ ආර්ථික සාධක මත. විවාහ නොවී ඉඳීමේ අවනම්බුවෙන් ගැලවෙන්න බොහොම සංවේදී ගැහැනු රොබෝවරු වගේ මිනිස්සුන්ට කඹුරන්නේ ඔය යාන්ත්‍රණය නිසා. මවුපියන්ට බරක් නොවෙන්න ඕනෑ නිසා වැටිලා ඉන්න තැනක් තියෙන, අරක්කු, සිගරැට් නොබොන මිනිහෙක් තෝරා ගත්තම ‘ගොඩ’ වගේනේ.

මෙතැනදී රස්තියාදුකාරයාට එයාගේ ආදරණීය පාප මිත්‍රයකු මතක් වෙනවා. එයාට අනුව නම් අරක්කු, සිගරැට් නොබොන යහපත් හැදියාවක් තියෙන හොඳ ස්වාමි පුරුෂයන්ගේ විනීත භාර්යාවෝ ආදරය කරන්නේ හොඳට අරක්කු, සිගරැට් බොන හැදියාවක් ගෑවිලා නැති මිනිසුන්ටලු. මේකේ යාන්ත්‍රණය නම් කියලා දෙන්න එයාට දැනුමක් නෑ. ඒත් මේ කියන්නෙත් ‘මගේ නොවන මගේම ආදරයක්’ ගැන තමා.

සමනල සංධ්වනිය ගැන රස්තියාදුකාරයා එක කොලමක්ම කතා කළා. ඔයාලට මතක ඇති වාදීෂ කියන ගැටවරයා පුණ්‍යා කියන තරුණිය එයාගේ පෙම්වතාට ලියපු ලියුමක් එක්ක ජීවත් වෙන හැටි. වාදීෂ, පුණ්‍යාට ලියුම් භාර දෙන්න දරන උත්සාහය. ඒ ලියුමෙ සංවේදිතාව එක්ක පුණ්‍යාට බැඳෙනවා. ඒ තමයි එයාගේ මගේ නොවන මගේම ආදරය.

ලංකාව වගේ මානසිකව නොවැඩුණු මිනිස්සු ඉන්න කොදෙව්වක කෙනකුට තමන්ගේ අව්‍යාජ සිතුවිලි බෙදා ගන්න කෙනෙක් නෑ. හැම වෙලේම අපට හමුවෙන මිනිස්සු දෙබිඩ්ඩො වෙන්නේ ඒ නිසා. අනෙක් අතට විවෘතව, අවංකව කතා කරන මිනිහා මෙහෙදී පට්ට මෝඩයකු බවට පත් වෙනවා. ඉතින් තනියම කල්පනා කර කර තනිවම විඳවන එක තමයි ලාංකික තරුණයාගේ දෙදහස් පන්සියයක උරුමය.

මෙතැනදී රස්තියාදුකාරයාට මතු කරන්න අවශ්‍ය සමනල සංධ්වනියේ හැඟීම්බර පැත්ත නෙවෙයි. මේ චිත්‍රපටයේ නොපෙනෙන දේශපාලනය. වාර්ගික අරගලය නිමා වෙද්දී සිනහව අරක් ගත්තේ ගාමණී, මාතා, සෙල්වම් වගේ චිත්‍රපට. එ්වායේ දෙමළ ත්‍රස්තවාදයේ කුරිරු බව එක්ක මානුෂික සිංහල, සොල්දාදුවා ගැන කතා කළා. ඒ රැල්ල ‘ප්‍රතිරූ’ චිත්‍රපටය එක්ක නැති වෙලා යනවා.

ඊළඟට සිනමාවට එන්නේ කුවේණි, අබා, මහින්දාගමනය, සිරිපැරකුම් වගේ අතීත රාජාවලි සම්බන්ධ චිත්‍රපට. වර්තමානයේ නීච වැඩ, පක්කලි වැඩ කරන හැම කෙනෙක්ම මේ චිත්‍රපට බලලා තමන් ශේ‍ර්ෂ්ඨ සිංහලයෙක් කියලා සතුටු වෙනවා. මේ චිත්‍රපට අයත් වන්නේ අපට අතීතයේ තිබුණා යැයි සිතන අභිමානයක් එක්ක. ඉතින් හැමෝටම වර්තමානය අමතක කරලා අතීතයේ ජීවත් වෙන්න පුළුවන්. බස්වල සෙනඟ පටවගෙන ඉස්සරහට පුවක් මල් කිනිත්තක් ගහගෙන අනුරාධපුරය, පොළොන්නරුව නැත්නම් සෝමාවතිය, දිඹුලාගල, වගේ තැන්වලට වන්දනාවේ යන්න පුළුවන්.

සමනල කතාවේ ඇත්ත දේශපාලනයත් මීට වෙනස් නෑ. චන්ද්‍රසිරිගේ අතීත වැඩ බැලුවම ඒවාත් අතීතයෙන් ආ කතා. වෙද හාමිනේ, දඬුබස්නාමානය අකාල සන්ධ්‍යා වගේ ටෙලි එන්නෙත් අතීතයෙන්. වෙද හාමිනේ. කියන්නේ තලකිරියාගම ගමේ අතීතයේ හිටපු ඉසිවර වෙද මහත්තයාගේ දුව. දඬුබස්නාමානයේ කතා කරන්නේ අතීතයේ තිබුණා යැයි කියන අංගම්පොර ගැන. අකාල සන්ධ්‍යා වල හමුවෙන්නේ අතීතයේ හිටියයි කියන සුදලිය, මරු වල්ලිය කියන සටන් පරපුරවල් දෙකක් ගැන. ඒ කතා අස්සට ප්‍රේමය ඔබ්බවලා තියෙන්නේ. කොහොමත් නිකම්ම නිකම් කතාවකට  ආදරය කලවම් කළාම කාට වුණත් බලා ඉන්න ආශාවක් ඇති වෙනවනේ. මොකද අපට ආදරය අහිමි නිසා අනුන්ගේ ආදර කතා අස්සෙ හරි අපේ ජීවිත ගොඩ දාගන්න පුළුවන්නේ. කොහොම නමුත් ආකෘති හරඹ, අව්‍යාජ ආදරය, වීරත්වය, ත්‍රාසය, කලවම් කරලා ආපු මේ ටෙලිත් අවසාන විනිශ්චයේදී අයත් වන්නේ අතීත වේදනාවන්ට. දැන් නොමැති අතීතයේ  තිබුණා යැයි සිතන ශේ‍ර්ෂ්ඨත්වයකට.

සමනල කතාවේ නම් 1992 තරම් අතීතයක ඉඳන් චිත්‍රපටය දිග හැරෙන්නේ. කතාව ලිපි ගනුදෙනු කරපු යුගයෙන් ඉර්ඉ යුගය දක්වා  දිවෙන්නේ. ගැටවරයකුගේ ළපටි සිතේ පැලපදියම් වුණු ආදරය, විරහව සුන්දරයි. ඒ සංවේදීකම අපිව ගෙන යන්නේ අපට තිබුණා යැයි අපි සිතන අතීතයට. ඒ අතීතයේදී අපට අහිමි වුණු ආදර කතාවලට. ඉතින් ,චන්ද්‍රසිරි අපි වර්තමානයට හෙණ ගහන්න කියලා අතීතයේ ජීවත් වෙනවා. ඔයාට සතුටු ඇති නේද?
අමරසිරිගේ සින්දුව ලස්සනයි. වාදීෂ නියමෙට රඟපානවා. පුණ්‍යා දැක්කම ඇඬෙනවා. වැඩේ මරු හැබැයි සිංදුව ලියපු අමිල කියන විදියට ජයන්ත චිත්‍රපටය කරල තියෙන්නේ සිංදුව මුල් කරගෙන. ඒක වෙනමම කතා කරන්න ඕන කතාවක්.

රන්ගිරි දඹුල්ලේ ක්‍රිකට් ගහද්දී බඩු මිල ඉහළ යනවා. චාල්ස් කුමාරයා ලංකාවට එද්දිත් එහෙමයි. දැන් අපි මැන්ඩෙලාගේ වීරත්වය කතා කරනවා.  ඒ වගේ අපි වාදීෂගේ ඔපෙරාවට වශී වෙලා අපේ ඉපැරැණි ආදරය කතා එක්ක සම වැදිලා ආපසු ඇස් හරිද්දි ඇඳි වතත් නැති වෙලා.
ඇත්ත. යථාර්ථය කටුකයි. ඒක සිනමාවට ගෙනාවම ගල් මුල් වදින්නේ ‘මේ මගේ සඳයි’ කරපු හඳගම, කලාකාරයෙක් වෙද්දී චන්ද්‍රසිරි කලා ශිල්පියෙක් වෙන්නේ ඒකයි.
‘භාවිතයෙන් තොර න්‍යාය වඳයි’ කිව්වේ  ලෙනින්. යථාර්ථය නොදුටු ඇස් ඇතිව වර්තමානය මඟහැරලා අතීතය ගොඩනැඟීම කලාව නෙවෙයි. බදුලු කෝච්චියේ පරිප්පු වඩේ විකුණනවා වගේ වැඩක්.

Wednesday, December 18, 2013

ජේත්තුකාර රස්තියාදුව
  0     December 15, 2013 2:00 am Hits(46)

රස්තියාදුකාරයාගේ හිතට වදින්න සිංහලෙන් ලියපු  ලේඛකයන් බොහෝ දෙනෙක් අද වෙද්දි ජීවතුන් අතර නෑ. මහගමසේකර සහ මාර්ටින් වික්‍රමසිංහ මෙලොවින් සමුගනිද්දි රස්තියාදුකාරයා පතපොත  අතගාන කුඩාවෙක්. සාහිත්‍යය එක්ක රස්තියාදුකාරයාගේ  ජීවිතය  සමපාත වෙද්දි සුගතපාල ද සිල්වා වගේම එදිරිවීර සරච්චන්ද්‍ර නොඑන්නම ගියා. සරච්චන්ද්‍ර කියනවා වගේ ආවොත්  නොගොසින් බැරිය.

ඒ පරපුරෙන්  අපට තාම ඉතිරි වෙලා ඉන්නේ සිරි ගුණතිලක  සහ ගුණදාස අමරසේකර. ඒත් සිරි ගුණසිංහගේ නම් නව නිර්මාණයක් ළඟදී දැකගන්නට ලැබුණේ නැහැ.  ඒත් වාසනාවකට වගේ අමරසේකර නම්  තාමත් ලියනවා. අමරසේකරගේ ව්‍යාජ ජාතික චින්තනය  එක්කවත්, ගමෙන් නගරයට එන ප්‍රඥාවන්තයා එක්කවත් රස්තියාදුකාරයා  කොහෙත්ම එකඟ නෑ. ඒවා මනස්ගාත. ඔළුවේ හදාගත්තු බහුබූත. ඒ මොනවා වුණත් අද දවසේ සිංහල භාෂාව  ලස්සනටම හසුරුවන ලේඛකයා අමරසේකර  බව නම් හැබෑ  සත්‍යයක්. ඒ මට්ටමට එන්න නිශ්ශංක විජේමාන්න, ලියනගේ  අමරකීර්ති වගේම එරික් ඉලයප්පආරච්චිත් සෑහෙන කට්ටක් කනවා.
 ගම සහ නගරය අතර දෝලනය වන ගමෙන් නගරයට පැමිණි උගත් තරුණයාගේ මනෝභාවය අමරසේකර  හරියට චිත්‍රණය කරන්නේ යටලමත්ත නම් ග්‍රාමයේ  උපත ලැබීම ආධාර කරගෙන. ජීවන සුවඳ, යළි උපන්නෙමි වගේම ගන්ධබ්බ ආපදානයත් ඔය තරම් අව්‍යාජ වන්නේ ඒ නිසා.

රස්තියාදුකාරයාට හදිසියේ අමරසේකර සිහිපත් වුණේ 2013දී එළිදැක්වුණු ඔහුගේ කියනු මැන දිවි අරුත කෙටිකතා සංග්‍රහය  නිසා. පොතේ පෙරවදනේ අමරසේකර මේ වගේ සටහනක් තියනවා.
“නවකතාව තමා වසන සමාජය හා තමා ගෙවන ජීවිතය පිළිබිඹු කරන කැඩපතක් විය යුතුය.”
මෙච්චර පරක්කු වෙලා හරි අමරසේකරගේ ඇස් පෑදුණු එක නම් ලොකු දෙයක්. බලලෝභය  නිසා රට, ජාතිය, ආගම ගැන කතා කරපු බොරු දේශ ප්‍රේමීන්ගෙන් අමරසේකර ඇත්තටම  මිදුණා නම් හොඳ පොතක් කියවන්නට ලැබීමේ භාග්‍යය අපට ලැබේවි.
 මේ කෙටිකතා සංග්‍රහයේ කෙටිකතා අතරින් අද රස්තියාදුකාරයා සාකච්ඡාවට ගන්නේ ‘රැගෙන මා අත සමි¼ද කියනු මැන දිවි අරුත’ කියන කෙටි කතාව. සුපුරුදු පරිදි මේ කෙටි කතාවේ සාරාංශයකට අපි යොමු වෙමු.

 මේ කතාවේ කථකයා සුගතේ. එයා ගමේ ඉස්කෝලෙකින් ශිෂ්‍යත්වය සමත් වෙලා කොළඹ රාජකීය විද්‍යාලයට ආපු ශිෂ්‍යයෙක්. එයාගේ තාත්තා ගමේ වෙද මහත්තයෙක්.  රාජකීය විද්‍යාලයේදී එයාට කොළඹ හතේ ප්‍රසිද්ධ රාජ නීතිඥයකුගේ පුතා වන ලූෂන්  පීිරිස් හමුවෙනවා. තමන්ගේ ගෙදර වැඩකාරයෝ සමඟ පමණක්  සිංහලෙන් කතා කරන ලූෂන්ගේ තලයට ඉංගී්‍රසි හරියට නොදන්නා සුගතෙලා වැටෙන්නේ නෑ. සරසවි පිවිසුමෙන් සුගතේ වෛද්‍ය පීඨයට  ඇතුළු වෙද්දී සරසවි පිවිසුමට පෙනී නොහිටම ලූෂන් එංගලන්තයේ  ඔක්ස්ෆර්ඩ් සරසවියට යනවා.

ටික කාලෙකට පස්සේ ලූෂන්  ලංකාවට ගොඩබසින්නේ සමාජවාදියකු විදියට. දැන් එයාගේ  නමට දැරණියගල කෑල්ලක්  එකතු වෙලා.  ටික දවසකින්  එයා පත්කළ මන්ත්‍රිවරයකු විදියට ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්නේ. ඊළඟට එයා ආණ්ඩුවේ ප්‍රබලම ඇමැතිවරයා  බවට පත් වෙනවා. ඒ ලූෂන් පීරිස් ලෙසින් නෙවේ. ලලිත් ප්‍රියනාත් දැරණියගල යන නමින්. මේ වෙද්දි සංවේදී මිනිසකු වන සුගතේ රෝගීන්ගේ වේදනාව දැකීමෙන් අෑත් වෙන්න මහජන සෞඛ්‍ය වෛද්‍ය සේවයට පත්වෙලා. හෙදියක වුණු විමලාව විවාහ කරගෙන. ඒ ආදර සම්බන්ධතාවක ප්‍රතිඵලයක් ලෙස.

සුගතේ, දෛවය ගෙනැවිත් දෙන දේ  භාරගන්නවා විනා, දෛවය වෙනස් කරගැනීමේ ආශාවක් නැති මිනිහෙක්. ඊට වෙනස්ව ලූෂන් දෛවයට අභියෝග කර සිය අපේක්ෂා මුදුන්පත්කරවා ගන්නෙක්. ඔහුගේ ජීවිතය වන්නේ උද්දච්චකම, උඩඟුකම සහ මමායනය. ඒත් ඔහු අවංක  ඇමැතිවරයෙක්. රට ගැන, සමාජය ගැන හරවත් විශ්ලේෂණ නැති වෛද්‍යවරුන්ගෙන් සුගතේ හුදෙකලා වෙනවා. විවේකයේදී සිංහල නවකතා  කියවපු ඔහු කාලයක් පන්සල්වල  බිතුසිතුවම් පිටපත් කළා.  මේ විදියට සුගතේ  අල්පේච්ඡ ජීවිතයක් ගත කරද්දි ලූෂන් බරපතළ ලෙස බලය හඹා යනවා.

 අවසානයේ ඡන්දයෙන් පැරැදී මන්ත්‍රිකම අහිමි වන ලූෂන් අවලංගු කාසියක් බවට පත්වෙනවා. ඉක්බිති ඔහු පිළිකාවකින් මිය යනවා.
 අරුත්සුන් ජීවිතයට අරුතක් ලැබෙන්නේ ජීවිතය ඉක්මවා සිටින පරමාදර්ශයක් වෙත කැපවුණොත් බව මතක් කරමින් සුගතේ සිය මිතුරකු නොවූ මිතුරාගෙන් සමු ගන්නවා.

 ලංකාවේදී ලූෂන් පීරිස් වගේ මැති ඇමැතිවරු නම් ඕනෑ පදම් ඉන්නවා. ජනතාවගේ ගැලවුම්කාරයෝ විදියට ඇවිත් තමන්ගෙ හත්මුතු පරම්පරාවම ගලවා ගන්න හදන්නේ. ලංකාවට දෙදහස් පන්සියයක බෞද්ධ උරුමයක් තියෙන එක ඇත්ත. ඒත් බෞද්ධ  දර්ශනය තමන්ගේ ජීවිතයට  එකතු කර නොගැනීම තමයි වරද. ලූෂන් පීරිස් වගේම තමන් අජරාමර විදියට හිතලා වැඩ කරපු කී දෙනකුට මරණය නොසිතූ වෙලාවක ළඟා වුණේ නැතිද?
කෙනෙක් මෙලොව ඉපදෙන්නෙ දින නියමයක් නැති මරණ දඬුවමක් එක්ක. ඒත් කාටවත් තමන් මරණය හිමි සත්ත්වයෙක් කියලා මොහොතකටවත් හිතෙනවාද? එහෙම හිතෙනවා නම් ධනය, බලය පසුපස මේ තරම් තණ්හාවකින් හඹා යන්නේ නෑනේ.

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි දන්නේ ගම හොඳයි, නගරය සංකරයි විදියට. ඒත් මේ හොඳ  ගැමියා කොහොමින් හරි නගරයට එනවා. ඊළඟට නාගරිකයන්ටත් වඩා නාගරික  වෙන්න උත්සාහ කරනවා. රස්තියාදුකාරයා කලින් දවසකත් පවසපු  විදියට යම් ආයතනයක මනුස්සකමක් ගෑවිලාවත් නැති නිලධාරියෙක් ඉන්නවා නම් ඒ බොහෝ විට ගමෙන් නගරයට අමාරුවෙන් ආපු කෙනෙක්. තුත්තිරි ගස් අල්ල අල්ලා ඇවිත් අන්තිමට හැමෝටම  කරදරයක් වෙනවා.

 බටහිර රටවල මෝටර් රථ ඕනෑ වන්නේ දෙපාවල දිගුවක් විදියට.  ඒ කියන්නේ පහසුවෙන් ගමන් යන්න. ජංගම දුරකතන  අවශ්‍ය වන්නේ ඉක්මනින් පණිවුඩ හුවමාරු කරගන්න. ඒත් අද වෙද්දි සමහර ආයතන ප්‍රධානීන් ළඟ එක එක මාදිලියේ  වාහන හත අටක් තියෙනවා. එයාලගේ  මේස උඩ දුරකතන  හතර පහක්, ජංගම දුරකතන නම් ගණනාවක් තියෙනවා.  සමහරු  ගොඩයන්ට මැජික් කියන්නේ මේවට  වෙන්න ඇති. ලංකාවෙදි වාහන, දුරකතනවලට තියෙන්නේ බටහිර අර්ථය නෙවෙයි. තමන්ගේ තත්ත්වය, බලපුළුවන්කාරකම පෙන්වන්න තමයි වාහන, දුරකතන පාවිච්චි කරන්නේ. නිකමට  හිතන්න තමන්ගේ මිදුලේ  වාහන හත අටක් තියෙන මිනිහෙක් පිස්සෙක් නොවී බේරෙයිද?  උදේට නැඟිටලා ගමනක් යන්න මොන වාහනයක් තෝරා ගන්නවද කියලා අඩු ගාණේ පැය භාගයක්වත් කල්පනා කරන්න වෙනවනේ.

 පසුගිය කාලේ ඇමැති පුත්තු, සමාජ ශාලාවලදී තරුණයන්ට ගැහුවේ එයාලා දරුණු නිසා නෙවෙයි. තමන්ට බලයක් තියෙන බව ලෝකයාට පෙන්නීමේ ආශාවෙන්. මොකද  බලය කියන එක කෙනෙක් දිහා බැලුවම පෙන්නේ නෑනේ. ඉතින් ඒකට පහරදීම වගේ ක්‍රියාවක් කරන්නම වෙනවා. තමන් සල්ලිකාරයෙක් බව නම් කඹයක් විතර චේන් එකක් බෙල්ලේ දාගෙන, අත් දෙකේම ඔරලෝසු දෙකක් දාගෙන පෙන්වන්න පුළුවන්නේ.

සරලව මනුෂ්‍ය අර්ථයෙන් මිනිහෙක් කියන්නේ හිතන දේ කියන, කියන දේ කරන කෙනෙක් වෙන්න ඕනෑ. ඒත් සාමාන්‍ය ලාංකිකයා කියන්නේ මේකෙ විරුද්ධ පැත්ත. ඒ කියන්නේ තමන් හිතන දේ වෙනුවට වෙනත් දෙයක් කියන  ඊට හාත්පසින්ම  විරුද්ධ දේ කරන්නෙක්. කුහක  වත කියන්නේ ඕකට වෙන්න ඇති.
 මේ කියපු දේ තවත් වැටහෙන්න රස්තියාදුකාරයා සත්‍ය  නිදසුනක් ගේන්නම්. එක්තරා රාජ්‍ය ආයතනයක විධායක ශේ‍ර්ණියේ හාදයෙක් හිටියා. හිටි හැටියේ මෙයාට  ඉහළ තනතුරක්  ලැබුණා.  මෙයාගේ සගයෝ මෙහෙම වුණේ කොහොමද හොයලා බැලුවා. ඒක වෙනම කතාවක්. ඒත් එයා කවදාවත් මස්, මාළු තියා උම්බලකඩ කෑල්ලක්  ගෑවුණු තැනක  නොකන  මදුරුවෙක්වත් නොමරන පට්ට බෞද්ධයෙක්. එයාගේ කන්තෝරුවෙ මේසේ උඩ බුද්ධ පින්තූර, අතේ පිරිත් නූල්, නිල වාහනයෙන්  ඇහෙන්නේ පිරිත් සංගායනා. ඒත් ව්‍යවහාර ජීවිතයේදී එයා තමන්ට පහළ  සේවකයන්ව තළා පෙළා දාන එක කරන්නේ.

ඒ කියන්නේ සොක්කන්ට ලෙඩ දාන මෙයා ලොක්කන්ට කොන්ද නමනවා. එතැනින් නොනැවතී දණ ගහනවා. ලොක්කන්ගේ ගෙවල්වල බල්ලෝ, පූසන්ට පවා ඇඹරෙනවා. ලොක්කගේ අල්ලපු ගෙදර ඉන්න  කුලියට පොල් කඩන එකාටත් ඇඹරෙනවා. ඇත්තටම මොකක්ද මේ විකාරරූපී රංගනය. මෙයා අනුන්ට මනුස්සකමට නොසලකපු නිසා මෙයාට කවුරුවත් සලකන්නේ නෑ. ඒක තේරුම් නොගෙන බැනුම් අහලා කිචවෙලා, නීච වෙලා, කේලාම් කියලා ඉහළ තනතුරකට පැනලා ඒ හයියෙන් බලෙන් මිනිසුන්ගෙන් සැලකුම් ගන්න හදනවා. මොනතරම් අසහනයකින්, අතෘප්තියකින්ද එයා ජීවත් වෙනවා ඇත්තේ.

බලයට ඇති ආශාව කියන්නේ එක්තරා මානසික ලෙඩක්. තමන් ලබන වැටුපට සරිලන සේවයක් නොකරන මේ ලෙඩ්ඩු අනුන්ට ලෙඩ දමමින් පිරිත් අහමින් පසුවෙනවා. අඩුම තරමින් වැඩක් නොකර  හරි, අනුන්ට වැඩ කරගන්න දීලා  ඇති තරම් පිරිත් ඇහුව නම් අඩු ගාණේ සෝවාන්වත් වෙන්න තිබුණා.
අනේ මෙහෙම තණ්හාවක්
අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්

Tuesday, December 10, 2013

ජේත්තුකාර රස්තියාදුව 

පසුගිය දවස්වල සියනෑ කෝරලේ පුරාවට කඩින් කඩ වැසි. වැස්සත් හරියට දැන් කාලේ කෙල්ලෝ වගේ. වැස්ස ගැන කලින් තීරණයකට එන්න අමාරුයිනේ. ඒ වගේ කෙල්ලෝ ගැනත් පූර්ව නිගමනයකට යන්න බෑ. මොකද ඊළඟ මොහොතේ එයාලා හැසිරෙන විදිය දෙයියොත් දන්නේ නෑ.  ලංකාවේදි වැස්ස ගැන කාලගුණ අනාවැකි නිතරම බොරු වෙනවා. ඒ වගේ තරුණියොත් තමන් ගැන තමන්ගේ පෙම්වතුන් හිතන විදිය වැරැදි බව හැමවිටම සනාථ කරනවා.

 කොහොම වුණත් මේ වස්සාන කාලේ රස්තියාදුකාරයාට පාරේ රස්තියාදු ගහන්න ඉඩ නොලැබුණු තරම්.  ඒ නිසා මේ දවස්වල රස්තියාදුකාරයා පොත්පත්වල අකුරු අතර වගේම, චිත්‍රපටවල රූප රාමු අතරේ රස්තියාදු ගැහැව්වා. පසුගිය  තීරු ලිපිවල ඔයාලා හමුවට ආවේ ඒ රස්තියාදුවේ ප්‍රතිඵල තමයි.

 නොවැම්බරයේ අවසාන දිනය වැටුණේ සෙනසුරාදාවකට. අතපය හිරි ඇර ගන්නත් එක්ක රස්තියාදුකාරයා පොද වැස්ස නොතකා ඒ හැන්දෑවේ පාරට බැස්සා. කොළඹ - මීගමු පාරේ  ඇවිදගෙන ගිය රස්තියාදුකාරයා පෙරියමුල්ලෙන් හැරිලා  මීගමු වෙරළ මාවතේ ඉදිරියට ගියා. පාළුව, තනිකම වගේම සීතල විඳින්න නම් මධුවිතකට වඩා ඔෟෂධයක් තවත් නෑනේ. රස්තියාදුකාරයා දෙවරක් නොසිතාම පාර අයිනේ තිබුණු අවන්හලකට වැදුණා. ඒකේ නම ඕ.ටූ. ඒ කියන්නේ විද්‍යාත්මක නම් ඔක්සිජන් කියන තේරුම. ඇත්ත  තමයි සමහර වෙලාවට ජීවිතය ජීවත් කරවන ඔක්සිජන් කියන්නේ මධුවිතනේ. අවන්හලේ අඳුරු මුල්ලක  අසුන් ගත්තු රස්තියාදුකාරයා වටපිටාවට ඇහැ යොමු කෙරුවා. තැන් තැන්වල තිබුණු මේස වටේ  ඇඟ පුරා පච්ච කොටා ගත්තු, කොණ්ඩෙ වවපු වගේම තට්ටේ ගා ගත්තු තරුණයෝ එක්රැස් වෙලා හිටියා. එයාලගේ සැහැල්ලු ඇඳුම්, පැලඳුම් කියා පෑවේ එයාලා මීගමුව නගරයට ආගන්තුක නොවන බවක්.

අවන්හල මධ්‍යයේ වූ කවිච්චියක නීගේ‍රා් තරුණයකු අසුන් ගෙන සිටියා. ඔහුගේ උකුල මත ඔහු වගේම නීගේ‍රා්  තරුණියක් ඔහුව අතොරක් නැතිව සිප ගනිමින් පසුවුණා. විදේශිකයන් බහුලව ගැවසෙන මීගමුවට මේ වගේ දර්ශන  අලුත් දේ නෙවෙයි. ලංකාව සිංහල බෞද්ධ  රටක් වුණාට  මීගමුවේ ඉන්නේ ගොඩක්ම කතෝලික  බැතිමතුන්නේ. ඉතින් අවහන්හලේ හිටි පච්ච කොටා ගත්තු තරුණයෝ මේ ජෝඩුව දිහා නිකමටවත් බැලුවේ නැහැ.  අවහන්හලේ  එක් කොටසක  දිග මේසයක් වටා පහළොවක් වගේ පිරිසක් අසුන් ගෙන සිටියා. ඔවුන්ට නම් මේ දසුන හිතට අල්ලපු බවක් පේන්න තිබ්බේ නෑ. එයාලා නම් මීගමුවට ආගන්තුකයන් බව රස්තියාදුකාරයාට වැටහුණා. හිමිහිට මධුවිත තොල ගාන අතරේ රස්තියාදුකාරයා හිටියේ වටපිටාව ගැන විපරමින්.
 කොහොමත් ලාංකිකයාට අනුන්ගෙන් තොර ලෝකයක් නෑනේ. අනුන් නොසොයන්න. තමන් සොයන්න. මේ විදියට බුදු හාමුදුරුවෝ හරිම පැහැදිලිව කියලා තියෙනවා. ඒත් ඒ කතාව ඉන්දියාවට වගේම ලංකාවටත්  අදාළ නෑ.

 මේ දිගු මේසෙ හිටි අයගෙන් දෙදෙනකු හැරෙන්න ඉතිරි අය තරුණයන්. එයාලාගේ  කතාබහේ  අතරින් පතර ලංකාවේ දකුණේ ප්‍රාදේශීය  ව්‍යවහාර  භාෂාවත් පාවිච්චි වුණා. මේ වන විටත් අවන්හලේ ඇසුණු බටහිර සංගීතයට  ඔවුන් නර්තනයක් එක් කළා. ඒත් ඒ ඝෝෂාකාරී සංගීතය  සුළු වේලාවකින් ඔවුන්ට එපා වුණු බවක් පෙනුණා.  අනතුරුව ඔවුන් මුහුදු වෙරළ දිසාවට පල්ලම් බැස්සා. රස්තියාදුකාරයාත් හිමිහිට එයාලා පිටුපසින් පියවර මැන්නා. වෙරළේ  අඩ අඳුරු තීරයකට එක්කාසු වුණු කොහේද තිබුණු බොංගෝ බෙරයක් එළියට ඇදලා ගත්තා.

මොහොතකින්  මීගමු වෙරළ සිසාරා මියුරු ගී රාවයක් ඇසෙන්නට වුණා. මේ වෙද්දි රස්තියාදුකාරයාත් ඒ කණ්ඩායමේ සාමාජිකයකු වෙලා ඉවරයි. ඔවුන්ගේ ගායනයට තාල තබමින් ඒ අතරතුර ඔවුන් හා ‍ෙදාඩමලු වෙන්න රස්තියාදුකාරයා අමතක කළේ නෑ.

 මේ වෙද්දි බෙර වාද්‍යය කළේ ධනුෂ්ක. මිල්ටන් මල්ලවාරච්චිගේ ගීත ගායනා කළේ අමල්. ජෝතිපාලට පණ දුන්නේ චනුෂ්ක. මධුවිතින් තොර අයෝමාල්, නිශාන්ත ගායනා කළේ නව පරපුරේ ගීත. චන්දන,  අනුෂ්ක, වෙල්ලප්පිලි, සුරවීර, මලින්ත යන නම් රස්තියාදුකාරයාගේ මතක පොතට එක් වුණා.  මෙයාලා මීට මාසයකට පමණ කලින් ජනතා අයිතියට පැවරුණු කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ මෙහෙයුමට උරදෙන  තරුණයෝ බව රස්තියාදුකාරයා දැන් දන්නවා.  අර මුලින්  සඳහන් කළ මැදිවියේ දෙදෙනා සමරකෝන් මහත්තයා සහ සරත් මහත්තයා. ඔවුන් දෙදෙනාගේ  මඟ පෙන්වීම නිවැරැදි බව මෙතැනදීම රස්තියාදුකාරයාට වැටහුණා. මේ සාදයට  මුළුමනින්ම වගේ ජීවය කැවූයේ දැනටත් සංගීත කණ්ඩායමක රිදම් ගිටාර් වාදකයකු වන සමීර. සිංහල, හින්දි වගේම බටහිර ගීතත් ඔහු මනාව හැසිරෙව්වා.

 මේ ප්‍රිය සාදයට ඔබ්බෙන් නවතා තිබූ ලොරියක  කැසට් යන්ත්‍රයක් මහා හඩින් කෑ ගසන්න පටන් ගත්තා. පමණ ඉක්මවා මධුවිත  පානය කළ තරුණයන් තිදෙනකු ඒ හඬට නැටුමක යෙදුණා. සාමාන්‍යයෙන් මේ වගේ පොදු තැනක ගැටුමක ආරම්භය වන්නේ මේ වගේ කඩාවැදීම්. ඒත් මෙතැනදි අපේ තරුණයෝ වෙරළේ වෙනත් තැනකට තමන්ගේ ප්‍රිය සාදය ගෙන ගියා.

 තවත් මධුපැන් සමඟ රුෂාන් සාදයට එක් වෙන්නේ මේ වෙලාවේ. තිදරු පියකු වන රුෂාන් බිරියගේ සුළු පමාවකින් තමයි ගෙදරින් එළියට පැන ගෙන තියෙන්නේ.  එයාගේ රථය මීගමු වැල්ලේ එරුණා. තල්ලු කරලා ගොඩගන්න බැරි රථය උස්සලා පැත්තකින් තියන්න තරම් මේ තරුණයෝ ශක්තිමත් වුණා. ඒත් ඒ ශක්තිය ඔවුන් අර ලොරියේ බැස්ස තරුණයන් මත මුදා නොහැරීම නම් රස්තියාදුකාරයාට අදහන්න බැරි තරම්. අඩ හෝරාවක් පුරාවට පැවැති වැස්සත් මේ ප්‍රිය සාදයට බාධාවක් වුණ් නෑ. ඒත් මේ වෙද්දි වෙරළ පුරාවට සිටි විනෝදකාමීන් දැන් දැකගන්න නෑ.  මේ වෙද්දි මැදියම් රැයත් ගෙවිලා. එතැනට පැමිණි පොලිසියේ මහත්තුරු දෙන්නෙක් එතැනින් ඉවත් වන ලෙස ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීමට සවන් දෙන්න තරම් අපේ තරුණයෝ නිහතමානි වුණා. රස්තියාදුකාරයාත් ඔවුන්ගේ වාහනයක පිහිටෙන් පාන්දර ගම්පහ නගරයට සේන්දු වුණා.

 තත්කාලීන සමාජයේදී අපට නිරන්තරයෙන් අහන්න ලැබෙන්නේ සොරකම්, මංකොල්ල කෑම්, මිනීමැරීම් වගේම ස්ත්‍රී දූෂණ පිළිබඳව. පේන විදියට සමාජය  බරපතළ විදියට පිරිහීමට ලක්වෙලා. ඒ අතරේ ගුවන්විදුලියෙන් වගේම රූපවාහිනියෙන් දවස පුරාවට බණ දේශනා අහන්න ලැබෙනවා. හන්දියක්, හන්දියක් ගාව බුදු පිළිම. ඒ තැන්වලත් පාන්දර පිරිත් සජ්¿ධායනා ඇසෙනවා. මිනිස්සුන්ට වැඩි වැඩියෙන් බණ ඇහෙද්දි ඊට සාපේක්ෂව අපරාධත් වැඩිවෙනවාද මන්දා.
 70 දශකයේ වගේම 80 දශකයේ මැදක් වනතුරු ගුවන් විදුලිය හැරෙන්න රූපවාහිනිය තිබුණේ නෑ. ඒ නිසා ගීත අසන්න ලැබුණට ගායකයාව දකින්න ලැබුණේ නෑ.

අද නම් ගායක, ගායිකාවෝ හැමෝම රූපවාහිනිය හරහා  ගෙදර සාලයට ම එනවානේ. ඒත් එදා තමන් ආශා ගායකයා හෝ ගායිකාව දැකගන්න යාබද නගරයේ කලාතුරකින් පැවැත්වෙන සංගීත සන්දර්ශනයට යන්නම වෙනවා. බාල, මහලු, ස්ත්‍රී, පුරුෂ භේදයක් නැතිව එදා හැමෝම වගේ සංගීත  සන්දර්ශනවලට ඇදුණා. රස්තියාදුකාරයාට තවම මතකයි හැම අවුරුද්දෙම දෙසැම්බරයේදී නිට්ටඹුවේ පැවැත්වුණු ‘ක්‍රිස්මස් සැටඩේ නයිට්’ ප්‍රසංගය. අද ජීවතුන් අතර නැති ජෝති, මිල්ටන්, වල්පොළ රස්තියාදුකාරයා  මුලින් දැක ගත්තේ ඒකෙදී. එහෙත් අද වෙද්දි ඒ විදියේ සජීවී වින්දනයක් ලබන්න ටිකක් අමාරුයි. ඒකට හේතුව රූපවාහිනියෙන් ගායක, ගායිකාවො දැකලම එපාවීම නෙවෙයි. පිහි ඇනුමකින් තොරව අවසන් වෙන සංගීත සන්දර්ශනයක් කියන්නේ කිසිවකු නොමළ ගෙයකින් අබ අහුරක් හොයා ගන්නවා  වගේ.

 මීගමු වෙරළේ නම් පොලිස්  ආරක්ෂාවෙ අඩුවක් නෑ. ඒත් අද වෙද්දි ලංකාවේ උණවටුන, පොල්හේන වගේ මුහුදු වෙරළ වගේම බෝපත් ඇල්ල වගේ දියඇලි ළඟත් නිතරම  ගැවසෙන්නේ පොඩි දේකටත් දැළි පිහි අදින තුට්ටු දෙකේ බොරු චණ්ඩි. ඒ නිසාවෙන් මවුපියන් තම දරුවන් සමඟ රූපවාහිනියට ඇබ්බැහි වෙනවා. අද වෙද්දි විනෝදය  පොදු අවකාශයෙන් පෞද්ගලික අවකාශයට ඇවිල්ලා.

 ඉතින් මෙන්න මේ වගේ කාලෙක රස්තියාදුකාරයාට අහම්බෙන් හමුවුණු කොළඹ - කටුනායක අධිවේගී මාර්ග මෙහෙයුමේ තරුණයන් වාසනාවන්. සාදය පුරාවට  එක අසභ්‍ය වචනයක්වත් කටින් පිට නොකරපු වැඩිහිටි  ගෞරවය වගේම හොඳ විනයක්, ශිෂණයක් තිබුණු මේ තරුණයෝ ගමෙන් ගෙනා හොඳ දේ රැක ගත්තොත් රස්තියාදුකාරයාට සුබවාදීව ලියන්න හැකි වේවි.
 බොහෝ වෙලාවට ගමෙන් නගරයට එන තරුණයන් ගැන සමාජයේ හොඳ ආකල්පයක් නෑ. ඒ නිසයි මහගමසේකර අතින් මේ විදියට ලියැවෙන්නේ.

සිදාදියට එන්නට මට
බුද්ධිය නුඹ තමයි එදා
පාර කියා දුන්නේ 
ඒ එනකොට ගෙන ආ දෙය
විය පැහැදම් වුණා මිසක
අලුතින් එක්වූ කිසිම දෙයක් නැත්තේ
හිස බර කළ පුහු නම්බුව විතරයි මට ඇත්තේ ...