Monday, May 5, 2014

ජේත්තුකාර රස්තියාදුව   0     May 4, 2014 2:00 am Hits(28) 

ජීවිතය කියන්නේ හැමෝම වගේ පිළිවෙළකට ගත කරන්න බලාපොරොත්තුවන්නක්. ඒත් කාගෙවත් ජීවිත එහෙම පිළිවෙළකට ගත වෙන්නේ නෑ. නොසිතපු මොහොතක සිදුවන අලකලංචියකින්  ජීවිතයේ රිද්මය බිඳෙනවා. කෙනෙක් තමන්ගේ ළමාවිය ගත කරලා ගැටවර වියෙනුත් පසුව රැකියාවක් නැතිනම් ජීවනෝපායක් සොයා ගන්නවා. මෙන්න මේ කාලෙදි තමන් හිටපු අම්ම, තාත්තා සහෝදර, සහෝදරියෝ ඇතුළත් පවුලෙන් වෙන්වෙලා මෙයා තමන්ටම පවුලක් හදා ගන්නවා.

ඒ කියන්නේ විවාහ වෙනවා. විවාහයෙන් පසුව දරු මල්ලෝ; එයාලා ලොකු මහත් කරලා ලොකු මහත්වරු කරන එක ජීවිතයේ ඒකායන අරමුණ බවට පත්වෙනවා. මෙන්න මේ අරමුණට කෙනෙක්ට පිළිවෙළකට ළඟා වෙන්න අමාරුයි. සමහර විට තමන්ගේ මරණය නැතිනම් බරපතළ අසනීප තත්ත්වයක් මෙතැනදී හරස් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැතිනම් බලාපොරොත්තු ගොන්නක් පොදි කර ගෙන ඇහැ වගේ බලා ගත්ත දරුවාගේ මරණයක්; එහෙම නැතිනම් දරුවාගේ මෑණියන්ගේ මරණයක් වුණත් මේ ජීවිතයේ තියෙන පිළිවෙළ බිඳ දමනවා.

මරණය කියන්නේ උපන් හැමෝටම කවදා හරි අත් විඳින්න වෙන සංසිද්ධියක්. මරණයේ දුක මළවුන් එක්ක වැළලෙනවා කියලත් කියනවා. කොහොම නමුත් රස්තියාදුකාරයා ඇතුළු අප හැමෝම ජීවත් වෙන්නෙත් දින නියමයක් නැති මරණ දඬුවමක් එක්කළා. මරණයකදී ඇති වෙන්නේ දරාගත නොහැකි ශෝකයක්. දුකක්. වේදනාවක්.

මීට අමතරව තමන්ගේ බිරිය නැතිනම් සැමියා තමන්ව අත් හැරලා පිටත සබඳතාවකට යෑමෙන් තමන්ගේ පවුල සීසීකඩ විසිර යෑමේ සම්භාවිතාවක් පවතිනවා. හැම තැනදීම නොවුණත් මේ හැරයෑම බොහෝ විට මරණයක් තරම්ම නැතිනම් මරණයකට වඩා දරුණු අත්දැකීමක් වෙනවා. ඒත් ඒ හැමෝටම නෙවෙයි. ඒ වගේ තමාව අත්හැර බිරිය පැන යෑමේ සිදුවීමක් රස්තියාදුකාරයාට මෙතැනදී සිහිපත් වෙනවා. ඒ 2011 වසරේදී එළිදැකපු කෙටි කතා සංග්‍රහයකදී හමුවුණු කෙටි කතාවකින්. කෙටි කතා සංග්‍රහය ‘පර මලක සුගන්ධය’ රචකයා වෙන්නේ හෙන්රි ජයසූරිය. අදාළ කෙටි කතාවෙ නම ‘බත් කොල්ලා’.

බත් කොල්ලගේ වයස අවුරුදු 31යි. නමේ හැටියට එයා කරන්නේ තමන්ගේ බිරිය සඳමාලි පාර්සල් කරන බත් තමන්ගේ රැලේ බයිසිකලයේ නැඟලා තැන් තැන්වලට බෙදා හැරීමයි. රැලේ බයිසිකලය බත් කොල්ලට ලැබෙන්නේ තාත්තාගේ පරවේණි උරුමයෙන්. වින්කලේ බාස් උන්නැහැ බත් කොල්ලාගේ රැලේ බයිසිකලයයි. එයාගේ 28 හැවිරිදි බිරිය සඳමාලියි ගැන කියන්නේ මේ වගේ කතාවක්.

‘උෟට ඔය බයිසිකලෙයි උගේ ගෑනියි තරං වටිනා වෙන දෙයක් මේ තුන් ලෝකෙම නෑ’
බත් කොල්ලාගේ ජීවිතය ගෙවුණේ එකම විදියට. සඳමාලි උයන කෑම පාර්සල් දහවල බෙදා දුන්නට පස්සේ බත් කොල්ලා ලාසරස්ගෙන් හීන් අඩියක් ගහලා ගෙදර ඇවිත් නින්දක් දානවා. හවසට ටවුමට යන ඔහු පසුදා බත් පාර්සල්වලට අවශ්‍ය කළමනා ගෙන එනවා.
ඒත් නොසිතූ විදියට මේ දින චරියාව එක් දිනකදී වෙනස් වෙනවා. ඒ දහවලෙහි ගෙදර එන බත් කොල්ලාට සඳමාලි ගෙදර නැති බව පසක් වීමෙන් වෙනදා වගේ  හවස හිස් පිඟන් ගේන්නවත්, සල්ලි එකතු කරන්නවත් බත් කොල්ලා එදා ගියේ නෑ. ඒ වෙනුවට එයා රෑ වෙන තුරුම සඳමාලිව හෙව්වා. ඒත් පලක් වුණේ නෑ. එදා පටන් බත් කොල්ලා දහවලට බත් ගෙනා යෑම නැවත්වූවා. ඒත් ඒ දින දෙක තුනකට පමණයි.

‘එක් හවස් යාමයක බැංකුවේ හුරු පුරුදු කස්ටර්මස්ලා අබියස බත් කොල්ලා කඟවේනකු සේ පෙනී සිටියා.
‘සර්’ ඔහු මහත්තුරුන්ව ඇමැතුවා. 
හෙට ඉඳලා මං සර්ලට කෑම ගේනවා. දැන් ඉතිං කඩෙන් කන්න ඕනෙ නෑ. මතක් කරලා යන්නයි ආවෙ සර්’
‘මුදලාලි පවුල ආයෙ ආවද?’
‘මොන!’ බත් කොල්ලා පැවැසුවෙ ඉතා සන්සුන් සිතින් සැහැල්ලුවෙන්.

‘මං වෙන ගෑනියෙක් ගෙනාවා’
‘සර්ලා බය වෙන්න එපා! මේකිටත් හොඳට උයන්ඩන පිහන්න පුළුවන්. ඊයේ රෑ ටැස් කළා. හැම දෙයක්ම සඳමාලියට වඩා හුඟාක් හොඳයි’.
බත් කොල්ලා හිනාවුණා හයියෙං.
‘පෙරේදා රෑ රා තැබෑරුම ගාව උන්නේ කඩල ගොට්ටක් කකා තට්ට තනියෙං. කාත් කවුරුවත් නැති අනාථ වෙච්ච එකියක්. මං එක්කං ආවා!.. එච්චරයි. සමාජවාදෙ කියන්නේ ඕකටනෙ සර්! නැද්ද සර්?’

බත් කොල්ලා ආයේම මේඩ් ඉන් ඉන්ග්ලන්ඩ්! ඔරිජිනල් රැලේ බයිසිකලයට නැඟුණා.
හෙට ගැන මහා බලාපොරොත්තුවක් නැති අද දවසේ ජීවිත වෙත බත් කොල්ලාගේ කතාව ඉවර වෙන්නේ ඒ විදියට. හැමිල්ටන් ඇළ ආශ්‍රිතව ඇළකන්දෙ ජීවත්වෙන බත් කොල්ලා අයිති වෙන්නේ සමාජයේ පහළ ස්තරයකට. සමහරු මුඩුක්කුවාසීන් විදියට මෙයාලා හඳුන්වන්නේ. බරපතළ විදියට කිව්වොත් පාදඩ පීඩිත පන්තිය නියෝජනය කරන්නේ ‘බත් කොල්ලා’.

මේ කතාවේ මුලදිම කියනවා බත් කොල්ලාට ලෝකය වෙන්නේ උගේ රැලේ බයිසිකලෙයි උගේ ගෑනියි විතරයි කියලා. ඒත් එයාගේ ගෑනි, සඳමාලි පැදුරටත් නොකියා පලා යනවා. ඒ ඇසිල්ලෙන් කොල්ලා තවත් ගෑනියෙක් ගේනවා. ආයේම රැලේ බයිසිකලේයි, ගෑනියකුයි කොල්ලාට ඉන්නවා.
මෙතැනදී බත් කොල්ලාට උගේ වහල යට ගෑනියෙක් ඉඳීම අවශ්‍යයයි. ඒ බත් වෙළෙ¼දාමට සහ කායික අවශ්‍යතා පිරිමසා ගන්නට. එතැනදී අවුරුදු 9ක් එකට හිටපු සඳමාලිද වෙන එකියක්ද කියන එක එයාට අදාළ නෑ. මගේ ගෑනිය කියන්නට කවුරුන් හෝ ගෑනියක්. එච්චරයි. වැඩේ සරලයි.

ලංකාවේදී කලාකාරයෝ, ආචාර්යවරු, මහාචාර්යවරු, ප්‍රබුද්ධයෝ, ගැහැනිය තේරුම් ගන්න බැරිව දිගින් දිගටම පොත් ලිව්වා. නාට්‍ය නිෂ්පාදනය කළා. ස්ත්‍රිය සොයා නොනවතින ගමනක යෙදුණා. මේ නොපවතින ස්ත්‍රියව හඳුනාගන්න බත් කොල්ලට තිබුණු ඉව මේ ප්‍රබුද්ධයන්ට තිබුණේ නෑ.
සඳමාලි ගෙදරින් ගිය දවසේ බත් කොල්ලා හැම තැනම ඇයව සෙව්වා. ඒත් හමු වුණේ නෑ, කොල්ලාට සඳමාලිව තේරුම් ගන්න තරම් න්‍යායික දැනුමක් තිබ්බේ නෑ. තමන් දන්න න්‍යායකට සඳමාලිව ගේන්න කොල්ලා දන්නේ නෑ. අනෙක් අතට සඳමාලි ගැන ඔළුවේ හදාගත්තු මනස්කාන්ත, පාර භෞතික කොල්ලාට තිබුණේ නෑ. කොල්ලා තේරුම් ගත්තේ මෙච්චරයි. ගැහැනිය සඳමාලි හෝ කවුරුන් හෝ මගේ වහල යට සිටින විට මගේ ගැහැනියයි. ඇගෙන් ඉටුවිය යුතු වන්නේ බත් ඉවීම සහ බත් පාර්සල් කිරීමට අමතරව අවශ්‍ය විටක කම් සැප ලැබීමට සහයෝගය දීමයි.

ආධ්‍යාත්මික ආදරය, සංසාරගත බැඳීම්, මේ කිසිවක් බත් කොල්ලාගේ දැනුමට ගෝචර වෙන්නේ නෑ දහවල් බත් පාර්සල් බෙදා හීන් අඩියක් ගසා, ටකරං වහල යට සිගරැට්ටුවක් උරමින් නින්දට වැටීම කොල්ලාගේ චිත්ත සමාදානයයි.
එක් අතකින් එදා වේල හම්බකර ගෙන අමාරුවෙන් දිවි ගෙවනවුට මානසික ගැටලු නෑ. ඒ ඔවුන්ට සිතන්නට වෙලාවක් නොමැති කම සහ පොත පතින් ඇට්ට කුණාවූ දැනුමක් නැති නිසාය. උගතුන්, බුද්ධිමතුන් යැයි සැලකෙන්නන්ට මුදල් මෙන්ම විවේකය ගෙවීමට කාලය තියෙනවා.
බත් කොල්ලාගේ ගෑනි වෙනුවට විද්‍යාඥයකුගේ, නැතිව මහාචාර්යවරයකුගේ බිරිය වෙනකකු හා ගියහොත් කුමක් වේවිද? පළමුව ඇය පිළිබඳ සොයන එතුමා අනතුරුව ඒ සම්බන්ධයෙන් න්‍යායිකව විශ්ලේෂණය කර සමහර විට නිසංසල අවහන්හලක මධු විතක් තොලගාමින් තම සහෘදයන් හා ගැහැනියගේ චපලත්වය සම්බන්ධ න්‍යායක් ගොඩනඟාවි. ඒ මධ්‍යම පාන්තිකයන්ට ඇති (නො) දැනුම අතිරික්ත කාලය සහ මුදල් නිසාය.

එහෙත් මීට වෙනස්ව බත් කොල්ලාට සිතන්නට දැනුමක්වත්, නාස්ති කරන්නට කාලයක්වත් නැත. කෙසේ හෝ බත් වෙළෙදාම කළ යුතුව තියෙනවා. තැබෑරුම අසල හමුවන ගැහැනියගේ පාරිශුද්ධතාව ඔහුට ගැටලුවක් නොවන අතර සඳමාලිගේ ඩියුටිය ඇය හොඳින් කිරීම ඔහුට ඕනෑවටත් වඩා ප්‍රමාණවත්ය.
මංගල යහනාවේදී පාරිශුද්ධ භාවය ඔප්පු කර ගත නොහැකි වූ බිරින්දෑවරු නිසා ඉතිරි ජීවිත කාලයම මානසිකව වද විඳින සැමියන්ට බත් කොල්ලා ආදර්ශයකි.
මධ්‍යම පාන්තිකයාට විවාහය යනු බැරූරුම් කාරණාවකි. පස් මහ බැලුම් බලා කළ යුත්තකි. එක්කෝ විවාහ ආදරය මුල් කර ගත් ඒවාය. නැතිනම් යෝජිත ඒවාය. ඒ කෙසේ වුව විවාහයේ දී මධ්‍යම පාන්තික සැමියා ආදරයට මුල් තැන දුන්නත් ලිංගික විශ්වාසය ඇගෙන් පතයි. ඒ ඇය තමා හැර අන් පිරිමියකුගේ පහස නොලැබිය යුතු බවයි.

බොහෝ කොට මධ්‍යම පාන්තික සැමියා තම බිරියගේ අණට ඉහළින් නොයන්නෙකි. අෑ අකැමැති මත්පැන් පානය ඔහු අත්හරියි. දුම්පානය බැහැර කරයි. අෑ කැමැති සියල්ල ඉෂ්ට කිරීමට ඔහු සැදී පැහැදී සිටී. රස්තියාදුකාරයාට අනුව ගැහැනුන් මත්පැන් සහ දුම්වැටිවලට ප්‍රසිද්ධියේ විරුද්ධ බව ඇත්තකි. එහෙත් රස්තියාදුකාරයාට ඇති ගැටලුව වන්නේ මත්පැන් නොබොන, දුම්පානය නොකරන, සිය බිරිය අකැමැති කිසිවක් නොකරන වැදගත් මහත්වරුන්ගේ බිරියන් මත්පැනින්, දුම්වැටියෙන් තොර ලොවක් නැති පාදඩ පිරිමින් හා හොර රහසේ කම් සැප විඳින්නේ ඇයි යන්නයි.
රස්තියාදුකාරයා මේ පැනයට පිළිතුරක් දීමට ඉක්මන් වන්නේ නෑ. එසේ වුවහොත් මත්පැන්, දුම්වැටි බේතකටවත් සොයා ගැනීමට නොහැකි වටපිටාවක් නිර්මාණය වීමට ඉඩ ඇත.

ඉතිං ජීවිතයේ පිළිවෙළක් තියෙන එකේ වරදක් නෑ. ඒත් මතක තියා ගන්න මේ පිළිවෙළ බිඳ වැටෙන්න නියමිත ගැහැනිය හෝ බිරිය නිසා නෙවෙයි. අෑ ගැන තියෙන පාර භෞතික විශ්වාසය නිසා.

2 comments:

  1. පුරුශ මූලික සමාජයක කොහොමත් කාන්තාව,සමලිංගිකයා ඇතුලු අනෙක් සියලුම ජීවීන් අර්ත ගැන්වෙන්නේ පුරුශයාගේ ඇසින් තමයි.විශේෂයෙන්මෙ ලංකාව වැනි රටවල කාන්තාව පුරුෂයාගේ ඇසින් විග්‍රහ කෙරුණත් පුරුෂයාව කාන්තාවගේ ඇසින් විග්‍රහ කිරීම ඉතාම අල්ප වශයෙන් සිදුවන්නක් ඇය ලිංගිකත්වය දෙස බලන ආකාරය පවා විග්‍රහ වෙන්නේ පුරුෂයා දකින ආකාරය අනුව මිස කාන්තාව දකින ආකාරයෙන් නොවේ. නාට්‍ය නිෂ්පාදක කරුවන් ලේඛකයන් කාන්තාවද සොයා ගෙන ගියත් කාන්තාවට තමාවවත්,පුරුශයාවවත් සොයායාමට තරම් ලංකාව තුළ තුළ ශක්තියක් නෑ.තමන් ඔසප් වේදනාවට භාවිතා කළ යුතු නිෂ්පාදනය පවා භාවිත කරන්නේ තමාගෙ අවශ්‍යතාවය නොව අනාගතයේදී තමාව හිමිවන පුරුශයාට නිදි ඇදේදි පෙන්විය යුතු රුධිර බිඳු කිහිපය ගැන සලකා බලාය.කෙසේ නමුත් මෙහි සිටියේ බත් කොල්ලෙකු නිසා ඔහු සරල මෙන්ම කූල් පිරිමියෙක්. බත් කෙල්ලකට මෙය සිදු වූවා නම් නම් ඇය ඉතා සංකීර්ණ,චපල ස්ත්‍රයක් වීමට ඉඩ
    වැඩිය.අනෙක් කරුණ නම් මෙහි කතුවර රස්තියාදුකාරයා මදුවිත ගන්නට ඉඩ නොදෙන බිරින්දෑවරුන් පිලිබද ද්වේශයකින් යුක්ත බවක් පෙනී යයි. සියලු කාන්තාවන් මදුවිතට විරුද්ධ නැත.

    ReplyDelete
  2. පුරුශ මූලික සමාජයක කොහොමත් කාන්තාව,සමලිංගිකයා ඇතුලු අනෙක් සියලුම ජීවීන් අර්ත ගැන්වෙන්නේ පුරුශයාගේ ඇසින් තමයි.විශේෂයෙන්මෙ ලංකාව වැනි රටවල කාන්තාව පුරුෂයාගේ ඇසින් විග්‍රහ කෙරුණත් පුරුෂයාව කාන්තාවගේ ඇසින් විග්‍රහ කිරීම ඉතාම අල්ප වශයෙන් සිදුවන්නක් ඇය ලිංගිකත්වය දෙස බලන ආකාරය පවා විග්‍රහ වෙන්නේ පුරුෂයා දකින ආකාරය අනුව මිස කාන්තාව දකින ආකාරයෙන් නොවේ. නාට්‍ය නිෂ්පාදක කරුවන් ලේඛකයන් කාන්තාවද සොයා ගෙන ගියත් කාන්තාවට තමාවවත්,පුරුශයාවවත් සොයායාමට තරම් ලංකාව තුළ තුළ ශක්තියක් නෑ.තමන් ඔසප් වේදනාවට භාවිතා කළ යුතු නිෂ්පාදනය පවා භාවිත කරන්නේ තමාගෙ අවශ්‍යතාවය නොව අනාගතයේදී තමාව හිමිවන පුරුශයාට නිදි ඇදේදි පෙන්විය යුතු රුධිර බිඳු කිහිපය ගැන සලකා බලාය.කෙසේ නමුත් මෙහි සිටියේ බත් කොල්ලෙකු නිසා ඔහු සරල මෙන්ම කූල් පිරිමියෙක්. බත් කෙල්ලකට මෙය සිදු වූවා නම් නම් ඇය ඉතා සංකීර්ණ,චපල ස්ත්‍රයක් වීමට ඉඩ
    වැඩිය.අනෙක් කරුණ නම් මෙහි කතුවර රස්තියාදුකාරයා මදුවිත ගන්නට ඉඩ නොදෙන බිරින්දෑවරුන් පිලිබද ද්වේශයකින් යුක්ත බවක් පෙනී යයි.එම නිසා මදුවිත පානයට ඉඩ නොදෙන ගැහැණුන්ම තමා අනියම සොයා යන්නේ වගේ තර්කයක් ඔහු ගොඩනගන්න උත්සාහ කර තිබෙනවා.මධ්‍යම පාන්තික කාන්තාවත් පුරුශයා මත යැපනවා.ඔහු කියන දේට එකග වෙනවා.ඔබ කියන අයුරින් කාන්තාවට ඕනෑ ලෙස පුරුශයා ඉන්නවා වගේ චිත්‍රයක් ලොවට පෙනුනත් කාන්තාවගේ ඇදුමේ සිට අනෙකුත් සියල්ල තීරණය වන්නේ තම සැමියා ඇතුලු මුලුමහත් සමාජයටම ඇවැසි විදිහටයි. එය වැසී ඇති සත්‍යයක්.

    ReplyDelete