Sunday, September 22, 2013

ජේත්තුකාර රස්තියාදුව
සාමාන්‍යයෙන් ලාංකිකයා ඕපාදූප කතාවෙහිලා රුසියෙකි. ඇසූ දේ පිළිබඳ මෙන්ම දුටු දේ පිළිබඳවත් ඔහු තොර තෝංචියක් නැතිව කතා කරයි. හිස් වචන කතා කිරීම යනු නොකළ යුත්තකි. එහෙත් ඒ පිළිබඳ කාටවත් වගේ වගක් නැත. එබැවින් ඕපාදූප යනු ලංකාවේ සාමාන්‍යකරණයට ලක්වූවකි.

රස්තියාදුකාරයාට මේ සටහන තබන්නට මුල් වූයේ, පසුගිය දිනවල ලංකාවේ මහත් ආන්දෝලනයට ලක්වුණු සිනමා කෘතියකි. ඒ 2011 වසරේදී සංජීව පුෂ්පකුමාර නිර්මාණය කළ ‘ඉගිල්ලෙන මාළුවෝ’ ය. ප්‍රංශ සිනමා උළෙලක් සමඟ එය මුල්වරට ලංකාවේ තිරගත විය. ඒ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීය. අනතුරුව එම කෘතියට එල්ලවූයේ කටුක විවේචනයන්ය. ගල්මුල් ප්‍රහාරයන්ගෙන් බැට කෑ ‘ඉගිල්ලෙන මාළුවෝ’ බිම ඇද වැටී අවසන් හුස්ම හෙලීය. ඒ නැවත දේශීය රිදී තිරයේදී නම් ඉගිල්ලෙන්නට වරම් අහිමිවය.

මෙහි ඇති පුදුමය නම් ඉගිල්ලෙන මාළුවෝ නැරඹූවන්ටද වඩා නැරඹූ නැතිවුන් චිත්‍රපටය පිළිබඳ පළ කළ අදහස්ය. ඕනෑම චිත්‍රපටයක් නැරඹුවකුට ඒ පිළිබඳව කියන්නට කුමක් හෝ අදහසක් ඇත. කෙනකු සිනමා ශාලාවකට යන්නේ හිස් වූ මනසකින් නොවේ. බහ තෝරන වියේ සිට ටිකෙන් ටික එකතුව කරපින්නාගත් මති මතාන්දර සම්භාරයක් සමඟය. එබැවින් කෙනකු ඒ ගැන අදහස් පළ කරන්නේ තමා තුළ ඇති ඒ (නො) දැනුමෙනි. කෙනකුට යමක් ඇතැයි හැඟෙන චිත්‍රපටය, තව කෙනකුට කිසිවක් නැතැයි හැඟෙන්නේ ඒ දෙදෙනාගේ (නො) දැනුමේ සීමාවන් නිසාය. චිත්‍රපටය නැරඹුවකුට කියන්නට මොනවා හෝ තිබීම මෙනයින් සාධාරණය. එහෙත් ඉගිල්ලෙන මාළුවෝ’ පිළිබඳ මත පළ කළ විත්‍රපටය නරඹා නැති වුන් පිළිබඳව තත්ත්වය කෙසේද? ඔවුන් වනාහි අති පණ්ඩිතයන් වන්නට තැත් කරන මුග්ධයන්ය. ඒ එසේ වුව කෘතිය නරඹා ඒ පිළිබඳ අදහස් දක්වන අයද හුදු නුවණැත්තෝ නොවෙති.

මන්ද ඒ අදහස යනු හුදෙක් ඔවුන්ගේ රුචි අරුචිකම් නිසාය. එබැවින් මේ බොහොමයක් අදහස් යනු ඕපාදූප නොඉක්ම වූ ඒවාය.
කෙසේ වුව යම් අහම්බයකින් රස්තියාදුකාරයාට ‘ඉගිල්ලෙන මාළුවෝ’ නරඹන්නට හැකියාව ලැබිණි. බැලූ බැල්මට එය ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ ‘ඉර මැදියම’ ආකෘතිය සිහි ගන්වයි. යුදමය වාතාවරණය පසුබිමව, යම් කාල පරාසයක දිවෙන නැඟෙනහිර දුෂ්කර ගම්මානයක වෙසෙන පවුල් තුනක කතාවක් තිරයේ දිග හැරෙයි. එහි අන්තර්ගත කතා ත්‍රිත්වය නැතිනම් ආඛ්‍යාන තුන මෙසේයි.

01 වාසනා සහ පරාක්‍රම නම් හමුදා සෙබළාගේ කතාව.
02 වැන්දඹු මව සහ ඇගේ පුතුගේ කතාව
03 දෙමළ තරුණියගේ කතාව

පරාක්‍රමට පෙම් කරන වාසනා ඔහු නිසා ගැබ්බර වේ. කලලය ගබ්සා කරන්නට තැත් කළද ඔවුන් එහි ලා අපොහොසත් වේ. ගරා වැටුණු ගොඩනැඟිල්ලක ඔවුන් ලිංගිකව එක්වේ. ඒ දර්ශනය ඇගේ පියාගේ නෙත ගැටේ. ඔහු මහත් කම්පාවට පත්වේ. එහෙත් ඔහු තමා දුටු දේ රහසේ තබා ගනී. ගම ආරක්ෂා කිරීමේ සිවිල් බළකායට ඔහුත් ඇතුළු වේ. මුරපොළේ රාජකාරියට වාර්තා නොකිරීමේ වරදට ඔහු හමුදා සෙබළුන්ගේ දඬුවමකට ලක්වේ. අනතුරුව හිස් බංකරයක් තුළදී ඔහු තම ගිනි අවියෙන් වෙඩි තබා ගෙන මියයයි. මේ අතර පරාක්‍රම ඇතුළු බළකායට වෙනත් අෑත කඳවුරකට මාරුවක් ලැබේ. වාසනා ගම අත් හැර පලා යයි.

02 වැන්දඹු මව සහ ඇගේ පුතා
වැන්දඹු මවක් සිය දරුවන් සමඟ දුකසේ දිවි ගෙවයි. දුගී බව නිසාම ඇය කිරි විකුණන්නට ගත්තද එය අසමත් වේ. ඇය ගමේ තරුණයකු වූ ගැමුණු සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන යයි. ඇගේ වැඩිමල් පුතු පාසල් ශිෂ්‍යයෙකි. ඔහු මාළු විකුණා සිය පවුල නඩත්තු කිරීමට සහාය වේ. ඔහු තම පාසලේ දැරියක හා පෙම් සබඳතාවක් පවත්වයි. සිය මව සහ ගැමුණු පිළිබඳ කට කතා ඔහුගේ කන වැටේ. මේ නිසා පෙම්වතිය ඉදිරියේ අපහාසයට පත්වන ඔහු නොසන්සුන් වේ. සෝදිසියෙන් පසුවන ඔහුට, සිය මව, ගැමුණු සමඟ සමහන් සුව විඳිනු නෙත ගැටේ. මේ පිළිබඳ බහින් බස් වීමකින් පසු ඔහු සිය මව පිහියෙන් ඇන මරා දමයි. ඔහුද නිවෙසින් පලා යයි.

03 දෙමළ තරුණිය
දෙමළ දැරිය මල්වර වන්නේ ඇය තම නිවෙස බලා යන බස් රියේදීය. ඇගේ මව ගෘහණියකි. පියා ලිපිකරුවෙකි. ඇගේ පාසලට පැමිණෙන කොටි තරුණයෝ, තම සටන සාධාරණීකරණය කරමින් දේශන පවත්වති. එක් රැයක ඔවුන්ගේ නිවෙසට කඩා වදින කොටි තරුණයෝ ලක්ෂ දෙකක කප්පම් මුදලක් ඉල්ලති. එය නොලැබුණොත් තරුණිය පැහැර ගන්නා බවට තර්ජනය කරති. කප්පම් ගැනීමට කොටි නිවෙසට පැමිණෙන විට තරුණිය පැන ගොසිනි. මුදල් සහ තරුණිය නොලැබෙන කොටි ඇගේ මවුපියන්ව වෙඩි තබා ඝාතනය කරති.

ප්‍රසන්නගේ ‘ඉර මැදියම’ ආකෘතියද මෙයට වෙනස් නොවේ. එහිද යුදමය පසුබිමක ආඛ්‍යාන තුනක් දක්නට ලැබේ.
01 අතුරුදන් වූ ගුවන් නියමුවා සොයා යන ඔහුගේ බිරිය සහ මාධ්‍යවේදියා.
02 හමුදා සෙබළා සහ ඔහුගේ නැඟෙණිය.
03 සිය ගම්බිම් හැර යන්නට සිදුවුණු මුස්ලිම් ජාතික පියා සහ පුතු.
ඉර මැදියම අවසානයේ හමුදා සෙබළා බසයක ගමන් කරයි. ඒ දිශාවටම මුස්ලිම් ජාතිකයා ද බයිසිකලයක් පැද යයි. ඒ ඔවුන් යළි සිය ජීවිත සොයා යන ආකාරයයි.

‘ඉගිල්ලෙන මාළුවෝ’ හි ආරම්භයේද ගමන් කරන බස් රථයක් හමුවේ. ඒ තුළ වාසනා, වැන්දඹුව සහ ඇගේ පුතා මෙන්ම දෙමළ දැරියද දක්නට ලැබේ. බස් රථය නවත්වන හමුදා මුරපොළේ පරාක්‍රමද සිටියි. රියැදුරු, කොන්‍ෙදාස්තර සහිත බසය පවසන්නේ එයට නිශ්චිත ගමනාන්තයක් ඇති බවයි.
යළි ‘ඉගිල්ලෙන මාළුවෝ’ හි අවසානයේද එම බස් රථය ගමන් කරනු පෙනේ. එහෙත් රියැදුරෙක් නොමැතිව සුක්කානම කරකැවී ඉදිරියට යන බසයේ කොන්දොස්තරවරයෙක්ද නැත. එහි අසුන් ගෙන සිටින්නේ මව මරා පලා යන පුතා නිවෙසින් පලා යන වාසනා හා කොටින්ගෙන් ගැලවීමට පලා යන දෙමළ තරුණියයි. රියැදුරු නොමැති බසය, නිශ්චිත ගමනාන්තයක් නැති ඔවුන්ගේ පලා යෑම රූපණය කරයි.

වරෙක පරාක්‍රම සහ වාසනා දෙපසින් අල්ලා ගත් ගිනි අවිය මැදි කර ගෙන සමාන්තර රේල් පීලි මත ගමන් කරති. කිසිදා හමු නොවන සමාන්තර රේල් පීලි මත සිටින ඔවුන් තාවකාලිකව එක් කරන්නේ ගිනි අවියයි. යුදමය පසුබිමක හටගත් ඔවුන්ගේ ආදරය තාවකාලික එකක් බව ඉන් ගම්‍ය වේ. කෙසේ වුව පරාක්‍රම තමාව හැර යන බවට වාසනා සැක උපදවයි.

‘බුදු වෙන්න හිතා ගෙන වුණත් සිද්ධාර්ථ කුමාරයා යශෝධරා දේවිව දාලා ගිය බව මම දන්නවා. ඒ අය අපි වගේ නෙවෙයි ආත්ම ගණනක් පෙරුම් පුරපු අය’ ඒ වාසනාය. ‘දන්නවද සිද්ධාර්ථ කුමාරයා දාල ගියත් යශෝධරා දේවි සිද්ධාර්ථට හැමදාම ආදරෙන් හිටියා.’ ඒ පරාක්‍රමය.
‘මම නම් දාල ගියොත් මරනවා’ වාසනා එසේ පිළිතුරු දෙයි.
පසුව පරාක්‍රම වාසනා හැරදා අෑත කඳවුරකට මාරුවක් ලැබ යයි. මහත් පීඩාවකින් පාරේ ඇවිද යන වාසනාට ගමේ පන්සලේ හාමුදුරුවෝ මුණ ගැසෙයි.
‘හාමුදුරුවනේ ඒකා ගියේ මගේ බඩට දරුවෙක් දීලා’

‘වාසනා , සිද්ධාර්ථ කුමාරයා, යශෝධරා දේවිව දාලා ගියාම යශෝධරා දේවි හඬුවද? වෛර කළාද? නෑනේ. රාහුල කුමාරයා ඉපදුණා විතරයි. ඒත් යශෝධරා දේවි, රාහුල කුමාරයාව උස් මහත් කරලා ශාසනයට පූජා කළා නේද?’
‘යශෝධරාට තිබ්බ දේවල් මට නෑනේ, හාමුදුරුවනේ.’
සති අග පුවත්පත්වල සමහර ලිපි මඟින් පැවැසුණේ ‘ඉගිල්ලෙන මාළුවෝ’ බෞද්ධාගමට අපහාස කරන බවකි. සිද්ධාර්ථ යනු ගෞතම බුදුන්ගේ ගිහි ජීවිතයේ නාමයයි. සිද්ධාර්ථ යශෝධරා හැර යන්නේ බුදු වීමෙන් පසු නොව, බුද්ධත්වයට පෙරය. මෙතැනදී මතු කෙරෙන්නේ, දරිද්‍රතාව සහ අනාරක්ෂාව සහිත යුදමය පසුබිමක වාසනාට, දරුවකු හදා වඩා ගත නොහැක යන්නයි.

චිත්‍රපටයේදී පරාක්‍රම යනු හමුදා සෙබළෙකි.
හමුදා සෙබළා රණවිරුවකු වන්නේ යුද බිමේදී රට වෙනුවෙන් සටන් කරන විටය. ඔහු තරුණියක හා පෙම් කරන විට පෙම්වතෙකි. බිරියට ඔහු සැමියෙකි. දරුවන්ට පියෙකි. තරුණියන් අතරමං කරන විටෙක සල්ලාලයෙකි. එබැවින් හමුදා සෙබළකුට රණවිරුවකු ලෙස නිත්‍ය අනන්‍යතාවක් නැත. එය රජවරු සිටුවරු මෙන්ම පුලනුන් හටද වලංගු ධර්මතාවකි. ජයග්‍රාහී යුද්ධයට මිලිටරිමය නායකත්වය දුන් හමුදාපතිටද පසු කලෙක සිරගත වන්නට සිදුවිය. එවිට ඔහු රණවිරුවකුද ? තවත් එක් සිරකරුවකු පමණක්ද? කෙසේ වුව, තරුණියක ගැබ් ගන්වා පලා යෑම රණ විරුවකුට තරම් නොවන බව සත්‍යයකි. එහෙත් ‘ඉගිල්ලෙන මාළුවෝ’ යනු චිත්‍රපටයකි. එබැවින් එය ප්‍රබන්ධයකි. පරාක්‍රම යනු ප්‍රබන්ධ චරිතයකි. සත්‍යයටත් වඩා ප්‍රබන්ධයට බිය විය යුතුද?

‘ඉගිල්ලෙන මාළුවෝ’හි දෙමළ තරුණියගේ මවුපියන් මරා දමන්නේ කොටි තරුණයන්ය. ඒ ඉල්ලූ කප්පම නොලැබුණු බැවිනි. යුදමය පසුබිමක සාමාන්‍ය ජනතාවට ඇත්තේ පීඩාවකි. හිංසනයකි. මල්වර දැරියට බසයෙන් බැසීමට සිදු වන විටත් ඇගේ මවුපියන් මරා දැමෙන විටත් ක්‍රියාත්මක වන්නේ මේ හිංසනයයි.
චිත්‍රපටයේ ඇති ලිංගික ජවනිකාවල පසුතලය වන්නේ ගරා වැටුණු ගොඩනැඟිලිය. යුදමය පසුබිමක මෙවැනි නටබුන් වූ නිවෙස් මිස සුව පහසු තානායම් නැත. එබැවින් පරාක්‍රමට සිදුවන්නේ ගරා වැටුණු නිවෙසක ආවරණයකින් තොරව වාසනා හා කායිකව එක් වන්නටය. ත්‍රිකුණාමලයේ හැදී වැඩී කොළඹට සංක්‍රමණය වූවකු ගේ නිල් චිත්‍රපට දැක්ම, මේ ලිංගික ජවනිකාවලට පදනම් වූ අයුරු පැහැදිලිය.

‘ඉගිල්ලෙන මාළුවෝ’ හි පෙම්වතා අතින් ගැබ්බරව අසරණ වන තරුණිය වාසනාය. පෙම්වතා පරාක්‍රමය. වැන්දඹු බිරියගේ පතිවත කෙලෙසන්නේ ගැමුණුය.
ඉතිහාසයට අනුව පරාක්‍රමබාහු යනු ලංකාව පෙරදිග ධාන්‍යාගාරය බවට පත් කළ රජ කෙනෙකි. දුටුගැමුණු යනු එළාර නම් ද්‍රවිඩ රජු පරදා රට එකසේසත් කළ නරපතියෙකි. එහෙත් චිත්‍රපටයේ හමුවන පරාක්‍රම තරුණියක් අනාථ කර පැන යයි. ගැමුණු අසරණ වැන්දඹු බිරියකගෙන් සිය කම්පවස නිවා ගනියි. නමින් වාසනා වුවද වාසනා යනු අවාසනාවම ජීවිතය කර ගත් තරුණියකි. ඒ අනුව ගැමුණු, පරාක්‍රම මෙන්ම වාසනා යනු හුදෙක් සංඥා නාම මිස ඒ නම් තුළ ඒවාට ආවේණික අර්ථයන් නැත.

යළි ‘ඉගිල්ලෙන මාළුවෝ’ යනුම විවිධ අර්ථ ජනිත කරවන්නකි. සිංහල ජාතිවාදියකුට මෙය රණවිරුවන්ට කළ අපහාසයක් විය හැකිය. දෙමළ ජාති වාදියකුට මෙය කොටි සංවිධානයකට කළ අපහාසයක් විය හැක. ස්ත්‍රීවාදියකුට මෙය ස්ත්‍රීන්ට එරෙහි පුරුෂ පීඩනය විය හැකිය. තවකෙකුට මෙය ඩබල් × වර්ගයේ නිල් චිත්‍රපටයක් සේ පෙනෙන්නටද ඉඩ ඇත.

චිත්‍රපටයේ එක් ජවනිකාවක එළිමහනේ ගසකට හේත්තු වී සිටින පරාක්‍රමව, වාසනා සිප ගනියි. ඇස් වසා ගන්නට ඔහුට පවසන වාසනා, ඒ ක්‍ෂණයෙන් ඔහුගේ රහසඟ කපා දමයි. ගැහැනු සොඬෙකු මේ ජවනිකාව ආදර්ශයට ගන්නට ඉඩ ඇත. ඒ මෙසේයි.
තරුණියක හා ලිංගිකව එක්වන විට වැරැදීමකින්වත් දෙ ඇස වසා නොගත යුතු බවයි.
කෙසේ වුව සිංහල රිදී තිරයේ ‘මාළුවෝ ඉගිල්ලෙනතුරු’ පොකුණ බොර දිය වන තුරු වැඩිහිටියන්ට ‘සිරි පැරකුම්’ සරණයි!

Wednesday, September 11, 2013

ජේත්තුකාර රස්තියාදුව
පළමු සීනු නද ඇසෙයි. ඔබේ ඇස් තිරය මත සැරිසරයි. කෙටි කාල අන්තරයකින් අනතුරුව, දෙවැනි සීනු නද ඇසෙයි. සිනමා හල මොහොතින් අඳුරේ ගිලෙයි. ඔබේ ආතතිය සමනය කරමින් තිරය මත රූප රාමු පතිත වේ. දැන් ඔබ චිත්‍රපටයක් නරඹයි. වඩා නිවැරැදිව නම් ඔබේ ඇසට චලන රූප පෙළක් දර්ශනය වේ. ‘නරඹයි’ යන්න කර්තෘ කාරක ක්‍රියා පදයකි. එනම් ‘නරඹයි’ යන ක්‍රියාව සිදුකරන්නෙක් සිටියි. කෙටියෙන් පවසතොත් නරඹන්නෙක් සිටියි. ඒ ඔබයි. ඔබ කරන්නේ අඳුරු සිනමා හල තුළ තිරය ඉදිරිපස අසුන්ගෙන ඒ දෙස බලා සිටීමයි. ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක වන ප්‍රක්ෂේපණ යන්ත්‍රය ඔබ උදෙසා තිරය මත සන්තතික රූප පෙළක් මවයි. දැන් තිරයේ දිස්වන චරිත හා එක්ව වරෙක ඔබ සතුටු වෙයි. වරෙක දුක් වෙයි. වරෙක කෝප ගනියි. තිරයේ දිස් වන කතාවේ ඔබද කොටස්කරුවකු වෙයි.

එසේ රූප රාමු හා එක් විය හැකි නම් එය ඔබට හොඳ චිත්‍රපටයකි. නොඑසේනම් එය මෙලෝ රහක් නැති එකකි. සිනමා දර්ශනය අතරමැද ඔබ තරහින් සිනමා හලෙන් පිටවන්නටද ඉඩ ඇත. ඔබ වැනි නරඹන්නන් බොහෝ දෙනකු ආකර්ෂණය කරන්නට හැකි වූ චිත්‍රපටයක් අපි අති සාර්ථක වාණිජ චිත්‍රපටයක් ලෙස හඳුන්වමු. නොඑසේ නම් එය බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපටයකි. එදා මෙදා තුර ලාංකේය සිනමා ඉතිහාසයේ වඩාත්ම ඔබේ වූ නෙත් ඇද ගත් නිර්මාණය ඔබ දන්නවාද? සීනු නාදයකින් තොරව, අඳුරු සිනමා හලට නොගොස් දැන් අපි එය රස විඳිමු. ඒ සඳහා අපට වසර 40ටත් එහා අතීතයට යා යුතු වේ. ඒ 1971 වසර වෙතයි.

නාගරික පහළ පන්තියේ සමාජ ශාලාවක බිලියඩ් ගසන පිරිසකි. එතැන පොඩ්ඩේ (ගාමිණී ෆොන්සේකා), විජේ (විජය කුමාරණතුංග), ජගිරියා (ඇන්තනී සී. පෙරේරා) සහ ලින්ටන් (සේනාධීර රූපසිංහ) යන සිවු යහළුවෝද වෙති. ඔවුන්ගේ නවාතැන බත් අම්මා (පර්ල් වාසුදේව) ගේ නිවෙසයි. එයද නාගරික  මුඩුක්කු පන්නයේ නිවෙසකි. පොඩ්ඩේ, බත් අම්මාගේ දුව සෝමා (ශ්‍රියානි අමරසේන) ට ආදරය කරයි. මෝටර් රථ අලුත්වැඩියා කරන ගරාජයක කාර්මිකයකු ලෙස සේවය කරන පොඩ්ඩෙට හැරෙන්න අනික් මිතුරන්ට රැකියා නැත. ලින්ටන් මහා මාර්ගයේ කොළ තුනේ සූදුවෙන් මුදල් උපයයි. ජගිරිය අත බලා ශාස්ත්‍ර කියන්නෙකි. ගරාජයේ අයිතිකරු වන හැරී (ලයනල් දැරණියගල) ගේ සහචරයකුට පහරදීම නිසා පොඩ්ඩේට ද රැකියාව අහිමි වේ. කඩවසම් විජය ධනවත් තරුණියක වන නිල්මිණි (මාලනී ෆොන්සේකා) ගේ ආදරය දිනා ගනී. ඇය හැරීට විවාහාපේක්ෂිත තරුණියයි. විවාහයට පෙර නිල්මිණි, විජේ හා පැන යයි. ඒ යන්නේ බත් අම්මාගේ නිවෙසටය. නිල්මිණිගේ රන් ආභරණ රැගත් බෑගය තබන්නේ සෝමා ළඟය. කිසිවකු සෝමාව මරා දමා සල්ලි බෑගය රැගෙන යයි. මේ සඳහා සැක කෙරෙන්නේ සිවු යහළුවන්ය. පොඩ්ඩේ හැරෙන්නට අනෙක් තිදෙනාම පොලිස් අත්අඩංගුවට පත්වේ. මිනීමරුවා හැරී බව දැනගන්නා පොඩ්ඩේ ඔහුට පහර දෙයි. හැරී පොලිස් අත්අඩංගුවට පත්වන අතර අවසානයේ නිල්මිණි සහ විජේ විවාහ වේ.

60-70 දශකයේ සිංහල සිනමාවට ඇලුම් කරන ඔබ මේ වන විටත් මේ චිත්‍රපටය කුමක්දැයි දන්නවා ඇති. නීල් රූපසිංහ අධ්‍යක්ෂණය කළ මෙය හතර දෙනාම සූරයෝ’ චිත්‍රපටයයි. ලංකාවේ වඩාත් සාර්ථකව තිරගත වූ චිත්‍රපට අතර ඉදිරියෙන්ම සිටින්නේ මෙය බවට සැකයක් නැත. අද වනවිට කළු සුදු චිත්‍රපටයක් සිනමා ශාලාවක දැකීම කිසිසේත් නොවන්නක් වද්දී එදා 71 දී කළු සුදු ‘හතර දෙනාම සූරයෝ’ ප්‍රේක්ෂක සිත් ඇද බැඳ ගති. එදවස වාණිජ සිනමාව නැතිනම් වට්ටෝරු සිනමාව ගනයේ ලු. මෙහි එදා ගැලරියට අවශ්‍ය සියලු අංගෝපාංග නොඅඩුව තිබිණි. පෙම්වතා, පෙම්වතිය, දුෂ්ටයා, විකටයා, සටන් ජවනිකා, පොලිසිය, මිනීමැරීමක්, අබිරහසක් යන එකී මෙකී නොකී සියලු අංගයන්ගෙන් එය සමන්විත විය. ආ! ඇයි ජෝතිපාලගේ සහ ලතාගේ ගීත.

ඒ හැරෙන්නට එදා ‘හතර දෙනාම සූරයෝ’ යනු දක්ෂ කලාකරුවන් ගේ එකතුවකි. ගාමිණීගේ දැවැන්ත පෞරුෂයත්, ළාබාල විජයගේ කොළිලොල් බවත්, තිරයේ කවදා හෝ සිටි හොඳම විකටයා වන ඇන්තනී ගේ එකතුව චිත්‍රපටය නරඹන්නන්ට ප්‍රිය උපදවන්නක් කෙළේය. අකාලයේ මියගිය දක්ෂ නළුවකු වූ සේනාධීර මෙන්ම නිළි චරිත දෙක රඟ පෑ ශ්‍රියානි හා මාලනී ද චිත්‍රපටය හා මැනවින් බැඳුණේය. මෑතකදී නීල් රූපසිංහ වර්තමාන නළුවන් යොදා ‘හතර දෙනාම සූරයෝ’ වර්ණනයෙන් නිමැවුවේය. එය එක් අතකින් ගාමිණී, විජය වැනි නළු රජුන්ට කළ අපහාසයක් විය. අනෙක් අතට රංගනය යනු තමන්ට ආගන්තුක විෂයක් බව රොෂාන් පිලපිටිය, බුද්ධික වැන්නන්ට පසක් කරන්නක් විය. අතීත සිංහල සිනමාව යනු ප්‍රතිනිර්මාණය කළ නොහැක්කකි. ඒ මුල් පිටපත් යනු ප්‍රතිනිර්මාණය නොකළ හැකි, කලාව උදෙසාම නිර්මාණය වූ ඒවාය.

71 සහ 2013 අතර වෙනස අපි දැනටමත් කතා කළෙමු. ඒ තාක්ෂණය නොදියුණු 71ට ගව් ගණනාවක් දුර තාක්ෂණයක් 2013 වන විට ලබා ඇති බවය. ලෝකය ඩිජිටල්කරණය වත්ම මිනිස්සු පොදු අවකාශයෙන් මිදී තම තමන් හුදෙකලා ලෝකවලට ගුළි වෙති. එදා මිනිස් ශ්‍රමය, එකමුතුකම ශිෂ්ටාචාරයේ දී අවැසි වුවද, අද මුදල යන සාධකය සියල්ල අබිබවා පෙරටුවට පැමිණ ඇත. එබැවින් ගැටුම් පසමිතුරුතා බහුල සමාජයෙන් අබිනික්මන කර කෙනෙක් ගුහා ගත වේ. ඒ අර්ථයෙන් ගත් කල ‘හතර දෙනාම සූරයෝ’ පිළිබඳ යළිත් විමසුමට ලක් කිරීම අරුත් සුන් විය හැකිය. එහෙත් මේ සියලු දේ එනම් යුග දෙකක වෙනස රංගන පෞරුෂයන්හි හීනතාව මේ සියල්ලම නොසැලකිය හැකිය. එහෙත් එක් අතකට සූරයෝ සිවු දෙනා ඒ යුගයේ දෘෂ්ටිවාදය නියෝජනය කරති. ලින්ටන් ජූඩෝ ඉගෙන ගන්නේත්, ජගිරියා සාත්තර කියන්නේත් බඩගෝස්තරය සොයා ගැනීමටය. විජේට අවශ්‍ය වන්නේ හොඳ හෝටලයකින් කෑමටය. එනම් ධනවත් තරුණියක හා හාද වීමටය. ඒ ධනවත් විය හැකි කෙටි ක්‍රමයයි. සාප්පුවකින් එළියට එන නිල්මිණිගේ ඇඟේ හැපෙන විජේ අෑ හා හාද වෙයි. නිල්මිණිගේ අත පතන හැරීට ද අවශ්‍ය ඇගේ බූදලය ලබා ගැනීමටය. ඒ අතින් දුෂ්ට හැරීගේ මෙන්ම විජේගේ අභිප්‍රාය ද සමානය. ඒ ඉක්මනින් පොහොසත් වීමය.

සෝමා මරා දමා නිල්මිණිගේ රත්තරන් බඩු සහිත බෑගය සොරා ගත් විට, මිතුරන් හතර දෙනා සතුරෝ වෙති. ඔවුහු මිනී මැරීම සහ සොරකම පිළිබඳ එකිනෙකාට චෝදනා කර ගනිති. පොඩ්ඩේ පවසන්නේ මෙබන්දකි.
‘මට කෙල්ලවයි බෑග් එකයි දෙකම උස්සන්න තිබුණා’
පේන විදියට එක පතේ කාගෙන එකා මෙන් සිටි යහළුවන් විරසක කරන්නේ නැතිවූ වටිනා බෑගයයි.
එය එසේ වන්නේම ඔවුන්ගේ රහසිගත ප්‍රාර්ථනාව ධනවත් වීම නිසාවෙනි.

‘හතර දෙනාම සූරයෝ’ චිත්‍රපටයට මිනී මැරුමක් සමඟ සොරකමක් අවශ්‍ය වන්නේම විජේට, නිල්මිණිව හිමිකර දීමටය. විජේව ධනවතෙක් කිරීමටය. පාදඩයකු පොහොසතකු වන ආකාරය චිත්‍රපටයේ මුඛ්‍ය තේමාවයි. එසේ බලන විට චිත්‍රපටය ගැලරියේ විසිල් මැද ආදායම් වාර්තා තබන්නේ, ගැලරියේ සත 75ක් දී ඒ යුගයේ චිත්‍රපටය නැරඹූවන්ගේ ප්‍රාර්ථනයද විජේගේ ප්‍රාර්ථනය නිසාය. පාදඩයකු ඉක්මනින් ධනවත් වීම ගැලරිය ආකර්ෂණය කරන්නේ එබැවිනි. එහෙත් මේ රහසිගත ප්‍රාර්ථනය යට ගොස්, පොඩ්ඩේ ගේ සටන්, ජෝති ඇන්ජි ගේ ගායනා උත්කර්ෂයට නැඟේ. බැලූ බැල්මට පොඩ්ඩේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයයි. විජේ, ලින්ටන් සහ ජගිරියා පොඩ්ඩේ ගේ සෙවණැල්ලේ පසුවන අවශේෂ චරිතයි. එහෙත් සත්‍ය නම් පොඩ්ඩේ යනු විජේගේ සහායක චරිතයයි. මැරවරයන් සමාජ ශාලාවේදී විජේට පහර දෙන විට විජේව ගලවා ගන්නේ පොඩ්ඩේයි. මිනී මැරුම සහ සොරකම සම්බන්ධයෙන් විජේ, ලින්ටන් සහ ජගිරියා අත්අඩංගුවට පත්වේ. එහෙත් පොඩ්ඩේ පොලිසියේ ඇස් වසා පැන යයි. එසේ නොවන්නට සැබෑ මිනීමරුවා නීතියේ රැහැනට හසු නොවේ. පලා යන්නට තැත් කරන හැරීව නවතා, ඔහුට පහරදී නීතියට හසුකර දෙන්නේ පොඩ්ඩේය. දැන් විජේට කිසිදු බාධාවක් නැත. ඔහු නිල්මිණී හා විවාහ වී මධුසමය ගත කිරීමට යයි. පොඩ්ඩේ, සෝමාගේ මතක සමඟ හුදෙකලා වේ. එබැවින් පොඩ්ඩේ යනු මෙහිදී විජේ නම් පාදඩයාගේ සිහිනය සැබෑවක් කරනු පිණිස මැදිහත් වන තවත් පාදඩයෙකි. පාදඩයකු ඉක්මනින් ධනවත් කිරීමේ අදහස සැබෑවක් කරනු පිණිස හඳුන්වාදුන් චරිතයකි.

71 දශකයේ සමකාලීන චිත්‍රපට සලකා බැලුවහොත් මේ පාදඩයාගේ ඉක්මන් පොහොසත් වීම යන දෘෂ්ටිවාදය මතුකර ගත හැකිය. වසන්ත ඔබේසේකර අධ්‍යක්ෂණය කරන ලද ‘දියමන්ති’ චිත්‍රපටය ඔබට මතකද? පුදුමයකට මෙන් මෙම චිත්‍රපටයේ ද ධනවත් තරුණියගේ භූමිකාව මවන්නේ මාලනීමයි. එහිදී උපාධිධාරි පාදඩ තරුණයා වන්නේ විජේය. මෙහිදී මිනීමැරුමක් මෙන්ම දියමන්ති මාලයක් සොරා ගැනීමක් ඇතුළත්ය. අවසානයේ අබිරහස විසඳේ. පාදඩ තරුණයාට ධනවත් රූමතියගේ අත හිමිවේ. මෙහිදී විජේගේ මිතුරන් වන්නේ පොකට් ධර්මේ හා කෝචට් ගුණේ යන පාදඩයන් දෙදෙනෙකි.

‘හතර දෙනාම සූරයෝ’ හි විජේ, පොඩ්ඩේ ලින්ටන් හා ජගිරියා එක නවාතැනක වෙසෙන තරුණයන් සිවු දෙනෙකි. එහෙත් ‘දියමන්ති’ හි විජේට පොකට් ධර්මේ සහ කෝචට් ගුණේ හමුවන්නේ අහම්බෙනි. රැකියා විරහිත උපාධිධාරියකු වන විජේ සිය පෙම්වතියගේ නිවෙසින් පන්නා දැමෙයි. උපාධි සහතිකය කුණු බක්කියකට දමා ඔහු ඉබාගාතේ ඇවිද යයි. ඔහු නැවතෙන්නේ පාළු නිවෙසක අගුපිලේය. සිරෙන් නිදහස්ව එන කෝචට් ගුණේ, ගණිකා වෘත්තියෙන් ජීවිකාව සරිකර ගත් බිරිය හා උරණව නිවෙසින් පිටව එන ගමනේ නවතින්නේද මේ පාළු ගණිකා වෘත්තියෙන් ජීවිකාව සරි කර ගත් බිරිය හා උරණව නිවෙසින් පිටව එන ගමනේ නවතින්නේද මේ පාළු නිවෙසේය. මුදල් පසුම්බියක් සොරාගෙන පලා යන පොකට් ධර්මේද දිව එන්නේ මෙතැනටය. කෝචට් ගුණේ අත ඇති අරක්කු බෝතලයට වගකියන ඔවුන් තිදෙනා මිතුරන් වේ. පාළු නිවෙසේදී හමුවන මළ සිරුරේ ඇති මුදල් පසුම්බියද රැගෙන ඔවුහු පලා යති. මහ මඟ හමුවන මෝටර් රථයක් පැහැර ගන්නා ඔවුන් රථයේ වූ තරුණයන්ගේ යුරෝපීය ඇඳුමින් සැරසේ. අනතුරුව ඔවුන් සමාජය ඉදිරියේ පෙනී සිටින්නේ වැදගතුන් වශයෙනි. ධනවත් චිත්‍රාව රවටන ඔවුන් ඇය සතු නිවෙසක නැවතීමටද පසුබට නොවේ. දැන් ඔවුන් පොල් ගහ යට කොටියා මුද්‍රාව සහිත සීල් අරක්කු වෙනුවට විස්කි බොමින් සුපිරි සමාජ ශාලාවලට යමින් කෙළි දෙළෙන් පසුවේ. මේ අප දකින්නේ පීඩිත තරුණයන්ගේ සිහිනමය ප්‍රාර්ථනයයි. මෙහිදී චිත්‍රාගේ බාප්පාගේ අබිරහස් මරණය හා දියමන්ති මාලය සොරා ගැනීම අවශ්‍ය වන්නේ පාදඩ විජේට චිත්‍රා හිමිකර දීමටය. විජේව ධනවතෙක් කිරීමටය.

පාදඩ තරුණයකු ධනවතකු බවට පත් වීමේ තේමාව 70 දශකයට සුවිශේෂ යැයි ගැන්මද වැරැදිය. 2013 වසරේ වුව ක්‍රියාත්මක වන්නේ මේ යාන්ත්‍රණයයි. වෙනස වන්නේ අද වන විට ඒ සඳහා ධනවත් තරුණියකගේ පිළිසරණයම අවශ්‍ය නොවීමයි. නූගත් දේශපාලකයකුට සමීප වන මෙවැනි පාදඩයෝ ඔවුන් වෙනුවෙන් විරුද්ධ පාක්ෂිකයන් තළා පෙළා ධනය සහ බලය ලබා ගනිති. මෑත අතීතයේ පාතාලයට සම්බන්ධව මියගිය මෙන්ම ජීවතුන් අතර සිටින මැරවරයන්ගේ නම් මතක් කර ගන්නේ නම් මැනවි. තම දේශපාලනයේ මුවාවෙන් කප්පම් ගැනීම, කුඩු ජාවාරම්, ගණිකා නිවාසවලින් ඔවුන් ඉක්මන් ධනවතුන් බවට පත්වේ. අනතුරුව ඔවුන් ප්‍රාදේශීය දේශපාලකයන් ලෙස කලඑළි බසියි. අද පවතින වෙළෙඳ ආර්ථිකය යටතේ හෘද සාක්ෂියක් අහිමි පාදඩයකුට මධ්‍යම පාන්තිකයකු බවට රූපාන්තරණය වීමේ ඉඩකඩ නොඅඩුව පවතී.

මෙතැනදී වර්තමානය සම්බන්ධව වැදගත් මානයක් මතුවේ. 70 දශකයේ චිත්‍රපට අවශ්‍ය වූයේ කෙනකුගේ සිහිනමය ප්‍රාර්ථනා යථාර්ථයේදී සැබෑ නොවූ නිසාය. ඒ ප්‍රාර්ථනා ඔවුන් වෙනුවෙන් විජය තිරයේදී ඉටු කරගත් බැවිනි. ඔවුන් ඇත්තට ගත කරන ජීවිතය හා ගත කරන්නට ආශා කරන ජීවිතය අතර පරතරයට මැදිහත් වන්නේ විජේය. පාදඩයකු නැතිනම් දුප්පතකු ආශා කරන සුරූපී ධනවත් තරුණිය තිරයේදී අප වෙනුවෙන් විජය අයත් කර ගනී. එබැවින් එදවස සිනමාව කෙනකුට ගෙන දෙන්නේ සහනයකි.

එහෙත් අද වනවිට කෙනකුට හෘද සාක්ෂිය යනුවෙන් දෙයක් නොමැති නම් තමා ආශා කරන වර්ගයේ තරුණියක් යාන වාහන ආදිය ලබා ගැනීමට හැකිය. එක පැත්තකින් අද හෘදය සාක්ෂිය යනු වැදගැම්මකට නැති මිනුම් දඬුවකි. කෙනකුගේ වටිනාකම අද තීරණය කරන්නේ ඔහුගේ ගුණවත්කම අවංක බව ආදී මිනුම්වලින් නොවේ. ඒ වෙනුවට ඔහු භාවිත කරන මෝටර් රථය ඔහුගේ ධනවත් බව ආදී මිනුම්වලිනි. අද කෙනකු තවකෙකුට සලකන්නේ මිල මුදල් යාන වාහන වැනි මිනුම් දඬු මතය. එබැවින් බොහෝ අය බල්ලන් මරා හෝ මුදල් සෙවීමට නොපැකිළෙති. හෘදය සාක්ෂිය යනු අතීතයේ පැවැති අද නොපවතින්නට කියන නමකි.

Thursday, September 5, 2013

ජේත්තුකාර රස්තියාදුව
රස්තියාදුකාරයා ගම්පහ සරසවි පොත් සාප්පුවේ පියගැට පෙළ නැග්ගා. ඒ පොතක් සොයා ගන්න අදහසින්. පොත ජපන් ජාතික හරුකි මුරකමිගේ ‘දකුණු මායිමේ’. මේ නවකතාව ගැන රස්තියාදුකාරයාට කිව්වේ එයාගේ හාදියක්. සරසවියේ වරුණි නංගි පොත හොයලා දුන්නා. ඒ වෙලාවෙ නන්නාඳුනන ගැටවරයෙක් රස්තියාදුකාරයාගෙන් ඉල්ලීමක් කළා, එයාගේ පෙම්වතියට දෙන්න රසවත් ආදර කතාවක් හොයලා දෙන්න කියලා. රස්තියාදුකාරයා පොත් කිහිපයක නම් කියාගෙන ගියා. ඒ පොත් එයා කොල්ලා කාලේ ආශාවෙන් කියවපුවා. එඩ්වඩ් මල්ලවාරච්චිගේ ප්‍රාර්ථනා, සුබා සහ සුබ ප්‍රාර්ථනා ත්‍රිත්වය, ජයකොඩි සෙනෙවිරත්නගේ රමනී, රණ තිසරු ඒ නම් අතරට ඇතුළත් වුණා.

මේ දෙබසට සවන් දුන්න වරුණි නංගිට අනුව ඒ පොත්වල මෙලෝ රහක් නෑ. ඒ වෙනුවට වරුණි අද කාලයේ ජනප්‍රිය මල් නවකතා කිහිපයක නම් කිව්වා. ඒ පොත් ගැන නම් රස්තියාදුකාරයා දැනගෙන හිටියේ නෑ. දැන් හැදෙන කොල්ලො, කෙල්ලො අලුත් විදියට ආදරය කරනවා ඇති. එහෙම හිතපු රස්තියාදුකාරයා හෙමිහිට සරසවියෙන් පල්ලම් බැස්සා. ඊළඟට රට කජු හපමින් එයා ගම්පහ අලුත් පාර දිගේ අෑතට ඇවිදගෙන ගියා. මේ වෙලාවෙ එයාට සුගතපාල ද සිල්වාගේ කියමනක් මතක් වුණා.
කෙනෙක් රටකජු කන්නේ බඩ පිරෙන්නවත්, ඒකෙ රසය නිසාවත් නෙවෙයි, දෙනෝ දාහක් අතර මැද දැනෙන හුදෙකලාවෙන් ගැලවෙන්න.’
ඒක බොරුවක් වගේ පේන ඇත්තක්ද?

රස්තියාදුකාරයාට සරසවිය ආයිම මතක් වුණා. එයා එතැනට ගියේ පොතක් ගන්න. ඒ කෙල්ලක් ඒ පොත රසවත් කියලා කියාපු නිසා. සරසවියේදී හමුවුණ ගැටවරයා ගත්තේ වරුණි නංගි නිර්දේශ කරපු පොත්. මොකක්ද මේ යාන්ත්‍රණය?
ඇයි අපිට කෙනෙක් නිර්දේශ කරන පොත් ගන්න සිදුවෙන්නේ? පොතක් පතක් ගැනීමේදී අපට නිර්ණායක නැතිද? සංවාදයට ගන්න ඕනෑ මාතෘකාවක්. ඒත් මෙතැනදී අපට එක පාරම වර්තමානයෙන් පටන් ගන්න අමාරුයි. හැමදාම වගේ අපට අදත් එක්තරා දුරක් අතීතයට යන්න සිදුවෙනවා.
ගොඩක් වෙලාවට, කෙනෙකුට පොත පතට ඇල්ම ඇතිවෙන්න එයාගෙ ළමා කාලයේදි. ආච්චිලා සීයලා කියන කතන්දර රස විඳීමේ දිගුවක් විදියටයි, කෙනකු පත පොතට යොමු වෙන්නේ. අද තරම් තාක්ෂණය නොදියුණු 70 දශකයේ අද වගේ වෛවාරන පොත් මුද්‍රණය වුණේ නෑ. ඒත් එදා පළවුණු සීමිත පොත් ගුණාත්මක බවෙන් ඉහළයි.

කුමාරතුංග මුණිදාස ලියපු හත් පණ, මඟුල් කෑම වගේම හීන් සැරය එදා ළමයින්ගේ පරිකල්පනය පුළුල් කළා. මාර්ටින් වික්‍රමසිංහගේ මඩොල් දූවේ උපාලි ගිනිවැල්ල ළමා අපට වීරයකු වුණා. පරිවර්තන කෘති සුලබ නොවුණු ඒ කාලේ ‘එමිල් සහ රහස් පරීක්ෂකයෝ’ ගැන පොඩි පන්තිවලදී අපි උද්දාමයෙන් කතා කළා. මුහුදු බත් වුණු නැවකින් පණ බේරාගෙන ලංකාවේ කැලෑවකට ගොඩ බැහැපු ඕලන්ද ජාතික හෑන්ස් වැන්දමිර් අපි හඳුනාගත්තේ ආර්. එල්. ස්පිටල්ගේ සුදු ගෝනා සහ වැද්දා පොත් තුළින්.
එදා සාහිත්‍ය ලෝකයේ දැවැන්ත චරිත පැවැතුණා. ඒ නිසාම තමන්ගේ රුචියට සරිලන පොතක් තෝරා ගැනීමේ මහා අවකාශයක් පාඨකයකුට තිබුණා. එතරම් මනස නොවෙහෙසන සරල බසට නෑකම් කියූ ග්‍රන්ථ පරිශීලනය කරන්නන්ට ටී.බී. ඉලංගරත්න පිහිට වුණා. බොහෝ විට උඩරට ගැමි පරිසරය පසුබිම් කරගත් එතුමා විලම්බීත, තිලක, තිලක හා තිලකා, සසර, දෙලොව සිහින, ළස¼දා, මංගලා වැනි කෘතීන් රාශියක් රචනා කළා. කුඩාවුන් උදෙසා ඔහු අඹ යහළුවෝ, හපනා, ශිෂ්‍යත්වය, විලම්බීත එළි දැක්වූවා.

කතාන්දර කලාවට ඇලුම් කළ වුන් ඩබ්ලිව්. ඒ. සිල්වා සරණ ගියා. හිඟන කොල්ලා, රදල පිළිරුව, කැලෑ හඳ වගේ පොත් ලිව්වේ ඔහු වයස අවුරුදු 17දී ලියූ සිරියලතාගෙන් අනතුරුවයි. ඓතිහාසික කතා ලෙස ගිණිය හැකි විජයබා කොල්ලය, දෛවයෝගය සහ සුනේත්‍රා හෙවත් අවිචාර සමය අපව ඉපැරැණි අතීතයකට රැගෙන ගියා. එදා බෞද්ධ සිංහල උරුමය පිළිබඳ සිත් යොමු කරපු අයට පියදාස සිරිසේනව මඟහැරුණේ නෑ. ජයතිස්ස හා රොසලින් වගේම කෝන්ගොඩ වික්‍රමපාලගේ වික්‍රම ඇතුළත් ‘ඩිංගිරි මැණිකා’ වගේ දේශීය බෞද්ධ රහස් පරීක්ෂක කතා ගෙන ආවේ ඔහුයි.

සරලව රස්තියාදුකාරයා කියන්න උත්සාහ දරන්නේ ඒ අතීතයේදී කෙනකුට හොඳ පොතක් පරිශීලනය කිරීමේ අවකාශයක් තිබුණු බවයි. ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය, වගේ පොත් එක්ක මාර්ටින් වික්‍රමසිංහ යථාර්ථවාදී සාහිත්‍යයක් ගැන කතා කළා. සිරි ගුණසිංහ, ගුණදාස අමරසේකර වගේ අය එදිරිවීර සරච්චන්ද්‍රගේ පේරාදෙණි ගුරුකුලයෙන් මතු වුණා. මේ හැමෝම තම තමන්ට ආවේණික ශෛලියෙන් ග්‍රන්ථකරණයේ යෙදුණා. මීට වෙනස්ව අපේ කට්ටිය විදියට සුගතපාල ද සිල්වා නව ආරයකට පොත් ලිව්වා. ජී.බී. සේනානායක, මහගම සේකර, කේ. ජයතිලක ගුරු කුලවලින් ස්වායත්තව පොත් ලිව්වා. ඉතින් මේ විදියට, ඒ දවස්වල රස්තියාදුකාරයාට තමන් කැමැති ආකාර පොතක් කියවන්න, ඒවාත් එක්ක සංවාදයකට යෑමේ වාසනාව තිබුණා. මේ ලේඛකයන් සාහිත්‍ය කරළියෙන් සදහටම සමු ගනිද්දී ඒ අඩුව පුරවන්න කෙනෙක් ආවෙම නැති තරම්. අවසානයේ සුද්දිලා, රොමියෙල්ලා එක්ක සොඳුරු දඩයක්කාරයා වුණු සයිමන් නවගත්තේගම සමුගත්තම සිංහල සාහිත්‍යයට කණ කොකා හැඬුවා.

දැන් වෙනකොට රස්තියාදුකාරයාට කරන්න සිදුවෙලා තියෙන්නේ අතීත මතකයේ රැඳුණු පොත්වල නව මුද්‍රණ මිලට ගන්න එක තමයි. මොකද එහෙමකට හොඳ පොතක් අද ලියැවෙන්නේ කලාතුරකින්. කණ කැස්බෑවා විය සිදුරින් අහස දකිනවා වගේ. අතීත නවකතා සමහරක් ආත්ම ප්‍රකාශන වන තරමට අව්‍යාජයි. අමරසේකරගේ යළි උපන්නෙමි වගේම ගුණසිංහගේ සෙවණැල්ලෙත් මේ අව්‍යාජ බව නොඅඩුව දක්නට ලැබෙනවා. ඒත් කාලයෙන් කාලයට එහෙම අව්‍යාජ ලේඛකයන්ගේ පවා සිතුම් පැතුම් වෙනස් වෙනවා. එදා ගන්ධබ්බ අපදානය අමරසේකරගේ අව්‍යාජත්වය සංකේතවත් කරද්දී සෝමදේවගේ රූපාන්තරණය ව්‍යාජයක් විදියට රස්තියාදුකාරයාට හැඟෙනවා.

එක අතකට අද වෙද්දී මාර්ටින් වික්‍රමසිංහ, මහගම සේකර, සරච්චන්ද්‍ර, ජී.බී. සේනානායක ජීවතුන් අතර නෑ. ආත්ම තෘප්තිය සලකා කලාවට ඇලුම් කරපු අතීතය අද ඉවරයි. අද තියෙන්නේ වෙළෙඳ මානසිකත්වය. වෙළෙඳපොළේ තියෙන ඉල්ලුමට සරිලන භාණ්ඩ නිෂ්පාදනය. ඉතින් පරණ කලාකරුවන් අද වෙද්දී නොවැළැක්විය හැකි ලෙස වර්තමාන වාණිජ ආර්ථිකයට යටවීම එයාලගෙම වරදක් නෙවෙයි. ඒ අතින් සුගතපාල ද සිල්වා වගේ අය මේ වාණිජ පොරයේ ගොදුරු නොවී මිය යෑම සාහිත්‍යයට පොදුවේ කලාවට වුණු සේවයක් වගේ. මේක පැරැණි කලාකරුවන් ඉක්මනින් මියයෑම හොඳයි කියන පටු අරුතින් ගන්න එපා. එයාලා භෞතිකව මිය යද්දී එයාලගේ කලා කෘති යුගයක අව්‍යාජත්වය විදහා පාමින් සදාතනිකව ජීවත් වෙනවා.

අද වෙද්දී යුගයේ ආදරණීය නවකතාකරුවන් ආත්මීය නවකතාකරුවන් තොග ගණනේ බිහිවෙලා. මේ කතාවල පොල් රොටි, සුදු ආප්ප, කොත්තු රොටි, ලුණු මිරිස්වල රසය උත්කර්ෂයට නංවලා. සමහර පෙම්වතුන් රසට කිරි කෝපි හදනවා. තම සමහරු සුවඳ පැතිරෙන්න කිරි හොදි හදනවා. ආදරයට බිත්තර රොටී, කැකුළු බත්, මුරුංගා හොදි සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා හිතාගන්න බෑ. සමහර විට මේ ආත්මීය කතාකරුවන් විවාහ වෙලා තියෙන්නේ උයන්න පිහන්න දන්නේ නැති කාසි කාර ගෑනු දරුවන් එක්ක වෙන්නැති. ඉතින් ඒ දැරිවියන්ගේ ආදරය දිනා ගන්න අපේ ආත්මීය කට්ටිය දාඩිය දාගෙන උයන, පිහන වැඩ කරනවා ඇති. ගොඩාක් වෙලාවට කෙනෙක් ආදරය ගැන උස්මුරුත්තාවට යන තුරු කතා කරන්නේ ආදරය කොහෙත්ම නොලැබෙද්දී. ආදරය ජීවිතයෙන් අෑතට පලා යද්දී ඒ කම්පනයෙන් මිදෙන්න වැඩි වැඩියෙන් ආදරය ගැන ලියන්න ගන්නවා. ගෙදරදි හරියට බඩ පිරෙන්න කන්න නොලැබෙන මෙයාලා පාරේ හමුවෙන අයිල කඩවල තෝසේ, වඩේ, ආප්පවලට කෑදර වෙන එක පුදුමයක් නෙවෙයි.

බි්‍රතාන්‍ය පාලනයේ අවසන් කාලයේදී දේශීය ධනවතුන්ගේ පුතුන්ට උසස් අධ්‍යාපනය ලබා ගන්න එංගලන්තයට යෑමට හැකි වුණා. බොහෝ විට ඉංග්‍රීසි ආණ්ඩුවේ සිවිල් නිලධාරීන් වීමේ බලාපොරොත්තුවෙන් මෙහෙම ගිය අය ලංකාවට සමාජවාදය ගෙනාවා. මොකද එංගලන්තයේදී සිංහලයන්ව කල්ලන් විදියට එහෙ සිවිල් සමාජය ගැරහුමට ලක් කළා. ලාංකිකයන්ට ආශ්‍රය කරන්න හැකි වුණේ එංගලන්තෙ කම්කරු පාන්තිකයෝ. මෙහෙදී ධනපති වුණු ලාංකිකයාට එංගලන්තෙදි පිහිටට හිටියේ සමාජවාදය. ඉතින් ඒ සමාජවාදයත් අරගෙන එයාලා ආපසු ලංකාවට ආවා. උත්තරාරෝපිතයක් වුණු ඒ සමාජවාදය ලංකාවට බලපෑ හැටි පසෙකට දාමු. ඒත් ඒ සමාජවාදයත් එක්ක අපට රුසියානු සාහිත්‍ය මුණගැසෙනවා. ආපසු 71දී විජේවීරගේ කැරැල්ලට සමගාමීව සහ පශ්චාත් කැරැලි සමයේ රුසියානු සාහිත්‍යය ලංකාවේ ඉතා තදින් ප්‍රචලිත වෙනවා. සමාජවාදී පක්ෂ හරහා රුසියාවේ ඉගෙනීමට ලාංකික තරුණයන්ට ලැබෙන ශිෂ්‍යත්ව මේ සාහිත්‍යය ලංකාවේ පැතිරීමට තව හේතුවක් වෙනවා. කොහොමින් හරි රස්තියාදුකාරයාගේ ගැටවර වියට නිකොලොයි ඔස්තේ‍රාවිස්කිගේ වානේ පන්නරයේ ඉන්නා පාවෙල් කොර්චාගිත්, ගෝර්කිගේ අම්මා පොතේ පාව්ලුෂා වීරයන් වෙනවා. විප්ලවය ආශ්‍රිත වීරාභිවාදන වන බරිස් ප්ලෙවයිගේ සැබෑ මිනිසකුගේ කතාවක්, යුරි බොන්දර්යෙව්ගේ ‘උණු හිම’ වගේ කතාවලින් ඔබ්බට හොඳ සාහිත්‍යයක් අපට උකහා ගන්න ලැබෙනවා. විශ්ව සාහිත්‍යයේ දැවැන්තයෝ වන ලියෝ ටෝල්ස්ටෝයි, පියදෝර් ‍ෙදාස්තව්යෙස්කි, නිකොලොයි ගොගොල්, ඇලෙක්සන්දර් පුෂ්කින් අපට කියවන්න ලැබෙන්නේ මේ උත්තරාරෝපිත සමාජවාදයේ යහපත් අතුරු ඵලයක් විදියට. මෙතැනදී දැදිගම වී. රුද්‍රිගු පද්ම හර්ෂ කරණගේ කරපු රුසියන් පරිවර්තන අමතක කරන්න බෑ.

කෙනකුට කියන්න පුළුවන් රස්තියාදුකාරයා ජීවත් වෙන්නේ අතීත කාමයක කියලා. ඒ මොනවා වුණත් වර්තමානයේත් කියවන්න දෙයක් තියෙන ආපසු හිතන්න පොලඹවන පොත් ලියන්නො නැත්තෙම නෑ. කෙටි කතා ගත්තම නිශ්ශංක විජේමාන්න, ජයතිලක කම්මැල්ලවීර, එරික් ඉලයප්ආරච්චි වගේම ලියනගේ අමරකීර්ති වගේ අය ලඝු කොට සලකන්න බෑ. බොහෝ වෙලාවට මේ අය යම් පමණක දේශපාලනයක් ඇතුළේ රැස්කර ගත්තු දැනුමක ප්‍රතිඵලයක් එයාලගේ පොත්. හුදෙකලාව සමාජයෙන් වියුක්තව ජීවත් වුණු කෙනකුට අත්දැකීම් ඔස්සේ පරිකල්පනයට යන්න බැහැනේ.

1956දී සිංහලය රාජ්‍ය භාෂාව වෙනවා. ගමේ පහළ මධ්‍යම පාන්තික තරුණයෝ සරසවි වරම් ලබනවා. අමරසේකර, සරච්චන්ද්‍රත් එහෙම හද්දා පිටිසරින් සරසවි ආපු අය. ඒත් එයාලා ඉංග්‍රීසි, සිංහල දෙකම හසුරුවන ද්විභාෂික උගත්තු. ඒත් ඊට පසු පරම්පරාව මෙහෙම ද්විභාෂික උගත්තු නෙවෙයි. මධ්‍යම පාන්තික හර පද්ධතිවලින් ඔළු ගෙඩි පුරවා ගත්තු සමාජයේ ඉහළට නැඟීම එකම අභිලාෂය කර ගත්තු අය. සරච්චන්ද්‍රලා සිවිල් සේවය අත්හැරලා කලාව තෝරා ගනිද්දී මේ ගැමි තරුණයෝ තම එකම අරමුණ කර ගත්තේ සිවිල් සේවය. අමරසේකරගේ ගමනක මුල, ගම්‍ෙදාරින් එළියට, වංකගිරියක, ඉණිමගේ ඉහළට කතා පෙළ වැදගත් වෙන්නේ මෙතැනදී. ග්‍රාමීය මධ්‍යම පන්තියේ සිතුම් පැතුම් ඒවායේ නිරූපණය වෙනවා.

අද වෙද්දි යොවුන් නවකතා එකම රාමුවක තියෙන්නේ. ගමෙන් එන අහිංසක පෙම්වතා සහ නාගරික ධනවත් අහිංසක යුවතිය, ධනවත් නාගරික තරුණයා සහ අහිංසක ගැමි යුවතිය. මේ විදියට මේ කතාවල තරුණිය හෝ තරුණයා අනිවාර්යයෙන් ධනවත් වන අතර කුරිරු දුෂ්ටයකු නම් වරදින්නේම නැහැ. අතීතයේ ලේඛකයන් කල් ගත කර එක පොතක් එළි දක්වද්දී අද තරුණ ලේඛකයන් ආප්ප බාන තරම් ඉක්මනින් සතියකට නවකතා කිහිපයක් එළි දක්වනවා. ඔවුන් ලියූ පොත් සංඛ්‍යාව ශතකයද ඉක්මවා යනවා. බැලූ බැල්මට නම් මෙතරම් පොත් තොගයක්, ලංකාව සාහිත්‍යය අතින් කොතරම් පෝෂිත දැයි කෙනකුට හිතෙන්න පුළුවන්.

එළැඹෙන්නේ සාහිත්‍ය මාසයටයි. හොඳ පොතක් තෝරා ගැනීමේ ගැටලුව එලෙසමයි. ඒ නිසාදෝ බොහෝ දෙනා තොග ගණනේ අභ්‍යාස පොත් ලාබෙට ගෙන සතුටු වේවි. රස්තියාදුකාරයාටද බරපතළ ගැටලුවක් තිබේ. ඒ විචාරයක් කරන්නට සුදුසු පොතක් තෝරා ගැනීමයි. නිශ්ශංක විජේමාන්නගේ වත් පොතක් එළි දැක්වේවි යනු රස්තියාදුකාරයාගේ බලාපොරොත්තුවයි.