ජේත්තුකාර රස්තියාදුව 0 May 18, 2014 2:00 am Hits(38)
නොසිතූ මොහොතක රස්තියාදුකාරයාට දුරකතන ඇමැතුමක් ලැබුණා. සාමාන්‍යයෙන් අද දවසේ දුරකතන ඇමැතුමක ඇති සුවිශේෂයක් නෑ. හැමෝම අතේ අද ජංගම දුරකතන තියෙනවනේ. ඒත් මේ ඇමතුම රස්තියාදුකාරයාට ලැබෙන්නේ අවුරුදු දහයකට පස්සේ. ඒ රස්තියාදුකාරයාගේ අතීත පෙම්වතියකගෙන්. තිදරු මවකුත් වුණු ඇයට හදිසියේ රස්තියාදුකාරයාව මතකයට ඇවිල්ලා.
ඇගේ හඬ කන වැටුණු ඇසිල්ලෙම රස්තියාදුකාරයා දෙවරක් නොසිතා ඇය ඇමැතුවා.
‘ඇයි සකුණි.’
‘අවුරුදු 10කට පස්සේ ඔයා එකපාරටම මගේ කටහඬ හඳුනාගත්තේ කොහොමද?’ ඒ ඇගේ පළමු පැනය.
‘සකුණි, අවුරුදු 10ක් කියන්නේ දිගු කාලයක්. කැලණි පාලම යටින් මොනතරම් වතුර ගලාගෙන යන්න ඇතිද? ඉරවල් කීයක් පායන්න ඇතිද? මට හමුවුණු ඔයා වගේ පුංචි කෙල්ලෝ කාරණා කාරණ දන්න ගැහැනු වෙන්න ඇතිද? කී දාහක් ඉපදිලා, කී දාහක් මැරෙන්න ඇතිද? ඒ හැමදේම එහෙම වුණත් ඔයාගේ මතකය, මට තව අමතක නෑ.’
රස්තියාදුකාරයා හැඟුම්බර වුණා.
‘ඔයා මට ඔච්චරටම ආදරේ කළාද?’ ඇගේ හෙ¾ඩ් ශෝකයක්ද, පසුතැවිල්ලක්ද යන්න තේරුම්ගන්න රස්තියාදුකාරයා අසමත් වුණා.
‘ඇත්තමයි සකුණි. මම ඔයාට මලකට, සමනලයකුට වගේ ආදරය කළා. මගේ ආදරය හරි අහිංසකයි. මම ඔයාව ඇඳක් එක්ක සම්බන්ධ කරලා හිතුවේ නෑ. සත්තයි.’
රස්තියාදුකාරයා කටහඬ අවදි කළා.
‘ඔයාට වැරැදුණේ ඔතැනයි’ ඒ සකුණි.
රස්තියාදුකාරයා මොහොතකට ගොළු වුණා. එයාගේ මුළු ශරීරයම අප්‍රාණික වෙලා ළඟම තිබුණු පුටුවකට කඩා වැටුණා. තවදුරටත් දුරකතනයට සවන් දෙන්නවත්, කතා කරන්නවත් රස්තියාදුකාරයාට පුළුවන්කමක්වත් ඕනෑකමක්වත් ඉතිරිවෙලා තිබුණේ නෑ. ඉර හතක් පායන මහ දවාලේ එයාගේ ලෝකේ අන්ධකාර වුණා.
රස්තියාදුකාරයාගේ අතීත ආදර කතා අපට මොකටද කියලා ඔයාලට හිතෙනව ඇති. ඒක ඇත්ත. මනෝමයෙන් හරි ආදරය නොකරපු කෙනෙක් හොයාගන්න අමාරුයි. ඒත් මෙතැනදී රස්තියාදුකාරයා අවුරුදු 10කට පස්සේ දැනගත්තු දේ සමහර ආදරවන්තයෝ කලින්ම දැනගන්නවා. ඒත් මේ දේ දැන නොගෙනම ජීවිතය ගෙවා දාන අයත් ඉන්නවා.
ආදරය වෙනුවට රාගය විතරක් ගැහැනියගෙන් බලාපොරොත්තු වන පිරිමි නම් මෙතැනදී උදම් අනාවි. ගැහැනුන්ට මොන ආදරයද? උන්ට ඕනෑ සෙක්ස් විතරයි කියාවි. ඒත්, රස්තියාදුකාරයා ගැහැනිය එච්චර සරල තැනකට ලඝු කරන්නේ නෑ. එහෙම කළොත් ඒක වැරැදියි.
අපි ආයෙම සකුණි කියන දේ විමසලා බලමු. රස්තියාදුකාරයා ඇයට ආදරය කරන්නේ මලකට, සමනලයකුට වගේ. මල හා සමනලයා අයිති වන්නේ ස්වභාවධර්මයට. සොබාදහමට ඇලුම් කරන අපි කවුරුවත් සොබාදහම තමන්ගේ කරගන්න උත්සාහ කරන්නේ නෑ. මොකද එහෙම කරන්නත් බෑනේ. සකුණි කියන්නේ සොබාදහම වගේ අචේතනික වස්තුවක් නෙවෙයි. රස්තියාදුකාරයාට වරදින්නේ අන්න එතැනදී. ඇයත් ලෙයින්, මසින් තැනුණු හැඟීම්, දැනීම් තියෙන මනුෂ්‍ය ප්‍රාණියෙක්නේ. ඒත් මේ කාරණය එතැනින්ම හමාර කරලා හිත හදාගන්න බෑ. මොකද ඒ බව හොඳටම දන්න හැම කාම කලාවේ කෙළ පැමිණි පිරිමින්ට පවා වරදිනවා.
හැම වෙලාවෙම වගේ පිරිමියකුට ගැහැනිය පිළිබඳ තියෙන්නේ වැරැදි වැටහීමක්.
රස්තියාදුකාරයාගේ කතාවේදී එයා සකුණිට කවි ලියනවා. සකුණිගේ චිත්‍ර අඳිනවා. සකුණිත් එක්ක පොත්පත් ගැන කතාකරනවා. ඇලෙක්සැන්ඩර් කැෆරින්ගේ ‘රන් මිණි වළල්ල’ කතාවේ ආදරය වෙනුවෙන් සියදිවි හානි කරගත් ෂෙල්ට්කොෆ්ව අගය කරනවා. ජීවිතයට එක් වතාවක් පමණක් අහම්බෙන් කෙනකුට ලැබෙන දිව්‍යමය ප්‍රේමය ගැන කතා කරනවා. රස්තියාදුකාරයා දිව්‍යමය ප්‍රේමයක ආනන්දයෙන් සකුණි දිහා බලන්නේ.
ඒත් ඊට වෙනස්ව සකුණිට ඇත්ත ජීවිතයේ ප්‍රශ්න තියෙනවා. එයා ඉන්නේ එයාව හදිසියේ අත්හැරලා එයාගේ හොඳම යෙහෙළියව විවාහ කරගත් පෙම්වතාගේ මතකයෙන්. ඒ විතරක්ද අකාලයේ මියගිය තමන්ගේ ආදරණීය සහෝදරයා ගැන මතකයෙන්. දුරින් ඉඳගෙන ආදරය කරපු රස්තියාදුකාරයාගෙන් අෑට ඇගේ ප්‍රශ්නවලට උත්තරයක්වත්, ඇයට සැනසුමක්වත් ලැබෙන්නේ නෑනේ. ඒ වෙනුවට ඇගේ හැම ප්‍රශ්නයකදීම ඇගේ ළඟින් හිටපු, ඇයට අවශ්‍ය වෙලාවට අෑ ළඟ ඉන්න ඇගේ හොඳම යාළුවාව ඇය විවාහ කරගන්නවා; රස්තියාදුකාරයටයි එයාගේ මල්වලට, සමනලයන්ට කැමති දෙයක් කරගන්න ඇරලා.
යමක්කමක් තියෙන පිළිවෙළට ඉන්න පවුල්වල තරුණියෝ පවා හිටිහැටියේ තමන්ට වඩා පහළින් ඉන්න තරුණයෝ එක්ක පැනලා යනවා. සමහර මන්ත්‍රිවරුන්ගේ ළාබාල දියණිවරු මන්ත්‍රිතුමාගේ ශරීර ආරක්‍ෂකයෙක් එක්ක පැනලා යනවා වගේ. එහෙම නැතිනම් ධනවත් මුදලාලිගේ දුවලා හෝටලයේ වේටර් තරුණයෙක් එක්ක වහං වෙනවා වගේ. අතීත ඉන්දියාවෙත් පටාචාරා සිටු දුව කැලේ වැදුණේ සිටු මැඳුරේ මෙහෙකාරයා එක්කනේ. ඇයි මෙහෙම වෙන්නේ?
මුදල් හොයන එක, වස්තු රැස්කරන එක ලේසි දෙයක් නෙවෙයි. සිටුවරු, මහා මුදලාලිලා ධනයත් එක්ක ගැටෙද්දී එයාලට තමන්ගේ දියණියන් මඟහැරෙනවා. මන්ත්‍රිතුමා ඡන්දදායකයන් එක්ක දඟලද්දී, දුවගේ තනි නොතනියට ඉන්නේ රියැදුරු, නැත්නම් ආරක්‍ෂක නිලධාරියා. ඇයට අවශ්‍ය දේ කෙරෙන්නේ ඔහු අතින්. ඇය කැමැති තැනක යන්නේ ඔහු එක්ක. ඇයට අවශ්‍ය සැලකීම වගේම ආරක්‍ෂාව ලැබෙන්නේ ඔහුගෙන්.
විධායක ශේ්‍රණියේ පෙම්වතකුට තමන්ගේ පෙම්වතියට ඕනෑ ඕනෑ වෙලාවක ඇය මුණගැහෙන්න බෑ. ඒත් සමාජයේ පහළ ස්ථරයක තරුණයකුට - නිදසුනක් විදියට ත්‍රිරෝද රථ රියැදුරකුට එහෙම ගැටලුවක් නැහැ. ඇයත් එක්ක ඇගේ ගමන්බිමන් යන්න ඔහුට බාධාවක් නෑ. මල්, සමනල්ලු නොදන්නවා වුණාට ඇගේ දුක, ශෝකයේදී ඇයව සනසන්න පාරේ ජීවිත ගතකරන එයාලා හොඳට දන්නවා. ඉතින්, ඊට පස්සේ එයාලාගේ පශ්චාත් විවාහය අපි දෙවියන් වහන්සේට භාර දෙමු.
මෙතැනදී යමක්කමක් තියෙන, යම් ප්‍රාමාණික උගත්කමක් තියෙන තරුණයා වටහා නොගන්නා යමක් තියෙනවා. ඔහු තරුණියන්ව කොටස් දෙකකට බෙදනවා. දුටු පමණින් කාමය උපද්දවන, මොහොතක කම් සැපතකට පමණක් සුදුසු තරුණිය හා එසේ නොවන විවාහ ජීවිතයකට සුදුසු අහිංසක, විනීත තරුණිය විදියට. මේ දෙවැනියට කී තරුණියට ඔහු පෙම් කරනවා. ඇයව ආරක්‍ෂා කරනවා. ඇයත් එක්ක ගතකරන අනාගත පවුල් ජීවිතය පිළිබඳ අහස් මාලිගා තනනවා. ඒත් හිටි හැටියේ මේ විනීත තරුණිය හදිසියේ හඳුනාගත් පාදඩ පිරිමියකු හා පලා යනවා. ඇගේ වැදගත් පෙම්වතා තමන්ගේ අනාගත සුබ සිහිනෙන් කටුක සත්‍යයට අවදි වෙනවා. ඔහුට මේ සිදුවීම අදහාගන්න බෑ. තේරුම්ගත නොහෙන ඇගේ ද්‍රෝහීකම ඔහු අසහනයට පත් කරනවා.
මෙතැනදී රස්තියාදුකාරයා කියන්න හදන්නේ ගැහැනු කවුරුද වරදේ නොබැඳෙන? කියලා නෙවෙයි. පිරිමියකු ආදරයට රාගය පටලවා ගන්නේ නැතිව ඉන්නවා. ඒත් ගැහැනියට ආදරය කියන්නේ රාගයත් එක්ක යන සම්මිශ්‍රණයක්. තමන්ගේ පෙම්වතියට ආදරය කරන, ඇය ගැන කවි පද බඳින, අෑ ගැන මනෝ ලෝකයක ඉන්න පිරිමියා ඇයට වැඩක් නෑ. ඇයට ඕනෑ ඇය එක්ක හුදෙකලා වෙන්න ආශා, ඇයව සිපගන්න, ඇගේ ශරීරය ආදරයෙන් ගවේෂණය කරන පෙම්වතෙක්. ඇයට ආදරය හරියට දැනෙන්නේ එතකොට. තමන්ට ආදරේ කරන, තමන්ගේ සිරුරට ආශා කරන පිරිමියකුයි ඇය ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේ පෙම්වතකුට ඇය තමන්ව පූජා කරනවා.
විවාහයට පෙරාතුව ගැබ්ගන්නේ එහෙම නැතිනම් කන්‍යාභාවය අහිමිව අසරණ වන තරුණියෝ කියන්නේ තමන්ට සමීප වුණු පෙම්වතාට කිසිදු ඉතිරියකින් තොරව ආදරය කරපු අය. එහෙම නැතිව අධික කාමාශාව නිසා පිරිමින් පතපු තරුණියන් නෙවෙයි. ආදරය නිසාම පිරිමින්ට ඉඩ දුන්නු තරුණියක ඒ පිරිමියා නම් කරන්නේ පැනලා දෙන, වල් ගැහැනියක විදියට. පිරිමි ලෝකයේ මේ කතාවට තටු ලැබෙනවා. ඊළඟට ඇයට හමුවන පිරිමියා එන්නෙම ඇගේ ශරීරය පතාගෙන. මෙතැනදී ආදරය නිසාම ඒ තරුණිය මහමඟට වැටෙනවා.
මේ ලක්‍ෂ්‍යයේදී රස්තියාදුකාරයාට මතක් වෙන්නේ ගුණදාස අමරසේකරගේ මුල් කාලයේ නවකතා. යළි උපන්නෙමි, ගන්ධබ්බ අපදානය වගේ කතා. ඒ කතාවල ගමෙන් නගරයට එන බුද්ධිමතාට නොතේරෙන්නෙම ගැහැනිය සහ ගැහැනියකගේ ආදරය. ඔහු තමන් ආදරය කරන තරුණිය සමඟ ආධ්‍යාත්මික ප්‍රේමයක් ගැන සිතනවා; ඇය පාරිශුද්ධ තරුණියක ලෙස දකිනවා. එහෙත් ඇයට ඕනෑ ඔහුගෙන් හාදුවක්. ඔහු සමඟ හුදෙකලාව පෙම් සුව විඳින්න. මේ වෙලාවේ අපේ ග්‍රාමීය පෙම්වතා වියවුලකට යනවා. ඔහුට ප්‍රේමාලිංගන ග්‍රාම්‍ය අසභ්‍ය දේ. ව්‍යවහාර ලෝකයට පිටුපාලා කාව්‍යමය ලෝකයක තනිවුණු අමරසේකරලාගේ ඛේදාන්තය එයයි.
මතක තියාගන්න, ගැහැනිය ආදරය දකින්නේ ලස්සන වචන අහසේ සමනල්ලු, මල් අස්සේ විතරක් නෙවෙයි. ඇයට, ඇගේ ශරීරයට ආශා කරන පෙම්වතාගේ ප්‍රේමාලිංගනය ඇතුළේ.
No comments:
Post a Comment