ජේත්තුකාර රස්තියාදුව
පසුගිය දවස්වල සියනෑ කෝරලේ පුරාවට කඩින් කඩ වැසි. වැස්සත් හරියට දැන් කාලේ කෙල්ලෝ වගේ. වැස්ස ගැන කලින් තීරණයකට එන්න අමාරුයිනේ. ඒ වගේ කෙල්ලෝ ගැනත් පූර්ව නිගමනයකට යන්න බෑ. මොකද ඊළඟ මොහොතේ එයාලා හැසිරෙන විදිය දෙයියොත් දන්නේ නෑ. ලංකාවේදි වැස්ස ගැන කාලගුණ අනාවැකි නිතරම බොරු වෙනවා. ඒ වගේ තරුණියොත් තමන් ගැන තමන්ගේ පෙම්වතුන් හිතන විදිය වැරැදි බව හැමවිටම සනාථ කරනවා.
කොහොම වුණත් මේ වස්සාන කාලේ රස්තියාදුකාරයාට පාරේ රස්තියාදු ගහන්න ඉඩ නොලැබුණු තරම්. ඒ නිසා මේ දවස්වල රස්තියාදුකාරයා පොත්පත්වල අකුරු අතර වගේම, චිත්‍රපටවල රූප රාමු අතරේ රස්තියාදු ගැහැව්වා. පසුගිය තීරු ලිපිවල ඔයාලා හමුවට ආවේ ඒ රස්තියාදුවේ ප්‍රතිඵල තමයි.
නොවැම්බරයේ අවසාන දිනය වැටුණේ සෙනසුරාදාවකට. අතපය හිරි ඇර ගන්නත් එක්ක රස්තියාදුකාරයා පොද වැස්ස නොතකා ඒ හැන්දෑවේ පාරට බැස්සා. කොළඹ - මීගමු පාරේ ඇවිදගෙන ගිය රස්තියාදුකාරයා පෙරියමුල්ලෙන් හැරිලා මීගමු වෙරළ මාවතේ ඉදිරියට ගියා. පාළුව, තනිකම වගේම සීතල විඳින්න නම් මධුවිතකට වඩා ඔෟෂධයක් තවත් නෑනේ. රස්තියාදුකාරයා දෙවරක් නොසිතාම පාර අයිනේ තිබුණු අවන්හලකට වැදුණා. ඒකේ නම ඕ.ටූ. ඒ කියන්නේ විද්‍යාත්මක නම් ඔක්සිජන් කියන තේරුම. ඇත්ත තමයි සමහර වෙලාවට ජීවිතය ජීවත් කරවන ඔක්සිජන් කියන්නේ මධුවිතනේ. අවන්හලේ අඳුරු මුල්ලක අසුන් ගත්තු රස්තියාදුකාරයා වටපිටාවට ඇහැ යොමු කෙරුවා. තැන් තැන්වල තිබුණු මේස වටේ ඇඟ පුරා පච්ච කොටා ගත්තු, කොණ්ඩෙ වවපු වගේම තට්ටේ ගා ගත්තු තරුණයෝ එක්රැස් වෙලා හිටියා. එයාලගේ සැහැල්ලු ඇඳුම්, පැලඳුම් කියා පෑවේ එයාලා මීගමුව නගරයට ආගන්තුක නොවන බවක්.
අවන්හල මධ්‍යයේ වූ කවිච්චියක නීගේරා් තරුණයකු අසුන් ගෙන සිටියා. ඔහුගේ උකුල මත ඔහු වගේම නීගේරා් තරුණියක් ඔහුව අතොරක් නැතිව සිප ගනිමින් පසුවුණා. විදේශිකයන් බහුලව ගැවසෙන මීගමුවට මේ වගේ දර්ශන අලුත් දේ නෙවෙයි. ලංකාව සිංහල බෞද්ධ රටක් වුණාට මීගමුවේ ඉන්නේ ගොඩක්ම කතෝලික බැතිමතුන්නේ. ඉතින් අවහන්හලේ හිටි පච්ච කොටා ගත්තු තරුණයෝ මේ ජෝඩුව දිහා නිකමටවත් බැලුවේ නැහැ. අවහන්හලේ එක් කොටසක දිග මේසයක් වටා පහළොවක් වගේ පිරිසක් අසුන් ගෙන සිටියා. ඔවුන්ට නම් මේ දසුන හිතට අල්ලපු බවක් පේන්න තිබ්බේ නෑ. එයාලා නම් මීගමුවට ආගන්තුකයන් බව රස්තියාදුකාරයාට වැටහුණා. හිමිහිට මධුවිත තොල ගාන අතරේ රස්තියාදුකාරයා හිටියේ වටපිටාව ගැන විපරමින්.
කොහොමත් ලාංකිකයාට අනුන්ගෙන් තොර ලෝකයක් නෑනේ. අනුන් නොසොයන්න. තමන් සොයන්න. මේ විදියට බුදු හාමුදුරුවෝ හරිම පැහැදිලිව කියලා තියෙනවා. ඒත් ඒ කතාව ඉන්දියාවට වගේම ලංකාවටත් අදාළ නෑ.
මේ දිගු මේසෙ හිටි අයගෙන් දෙදෙනකු හැරෙන්න ඉතිරි අය තරුණයන්. එයාලාගේ කතාබහේ අතරින් පතර ලංකාවේ දකුණේ ප්‍රාදේශීය ව්‍යවහාර භාෂාවත් පාවිච්චි වුණා. මේ වන විටත් අවන්හලේ ඇසුණු බටහිර සංගීතයට ඔවුන් නර්තනයක් එක් කළා. ඒත් ඒ ඝෝෂාකාරී සංගීතය සුළු වේලාවකින් ඔවුන්ට එපා වුණු බවක් පෙනුණා. අනතුරුව ඔවුන් මුහුදු වෙරළ දිසාවට පල්ලම් බැස්සා. රස්තියාදුකාරයාත් හිමිහිට එයාලා පිටුපසින් පියවර මැන්නා. වෙරළේ අඩ අඳුරු තීරයකට එක්කාසු වුණු කොහේද තිබුණු බොංගෝ බෙරයක් එළියට ඇදලා ගත්තා.
මොහොතකින් මීගමු වෙරළ සිසාරා මියුරු ගී රාවයක් ඇසෙන්නට වුණා. මේ වෙද්දි රස්තියාදුකාරයාත් ඒ කණ්ඩායමේ සාමාජිකයකු වෙලා ඉවරයි. ඔවුන්ගේ ගායනයට තාල තබමින් ඒ අතරතුර ඔවුන් හා ෙදාඩමලු වෙන්න රස්තියාදුකාරයා අමතක කළේ නෑ.
මේ වෙද්දි බෙර වාද්‍යය කළේ ධනුෂ්ක. මිල්ටන් මල්ලවාරච්චිගේ ගීත ගායනා කළේ අමල්. ජෝතිපාලට පණ දුන්නේ චනුෂ්ක. මධුවිතින් තොර අයෝමාල්, නිශාන්ත ගායනා කළේ නව පරපුරේ ගීත. චන්දන, අනුෂ්ක, වෙල්ලප්පිලි, සුරවීර, මලින්ත යන නම් රස්තියාදුකාරයාගේ මතක පොතට එක් වුණා. මෙයාලා මීට මාසයකට පමණ කලින් ජනතා අයිතියට පැවරුණු කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ මෙහෙයුමට උරදෙන තරුණයෝ බව රස්තියාදුකාරයා දැන් දන්නවා. අර මුලින් සඳහන් කළ මැදිවියේ දෙදෙනා සමරකෝන් මහත්තයා සහ සරත් මහත්තයා. ඔවුන් දෙදෙනාගේ මඟ පෙන්වීම නිවැරැදි බව මෙතැනදීම රස්තියාදුකාරයාට වැටහුණා. මේ සාදයට මුළුමනින්ම වගේ ජීවය කැවූයේ දැනටත් සංගීත කණ්ඩායමක රිදම් ගිටාර් වාදකයකු වන සමීර. සිංහල, හින්දි වගේම බටහිර ගීතත් ඔහු මනාව හැසිරෙව්වා.
මේ ප්‍රිය සාදයට ඔබ්බෙන් නවතා තිබූ ලොරියක කැසට් යන්ත්‍රයක් මහා හඩින් කෑ ගසන්න පටන් ගත්තා. පමණ ඉක්මවා මධුවිත පානය කළ තරුණයන් තිදෙනකු ඒ හඬට නැටුමක යෙදුණා. සාමාන්‍යයෙන් මේ වගේ පොදු තැනක ගැටුමක ආරම්භය වන්නේ මේ වගේ කඩාවැදීම්. ඒත් මෙතැනදි අපේ තරුණයෝ වෙරළේ වෙනත් තැනකට තමන්ගේ ප්‍රිය සාදය ගෙන ගියා.
තවත් මධුපැන් සමඟ රුෂාන් සාදයට එක් වෙන්නේ මේ වෙලාවේ. තිදරු පියකු වන රුෂාන් බිරියගේ සුළු පමාවකින් තමයි ගෙදරින් එළියට පැන ගෙන තියෙන්නේ. එයාගේ රථය මීගමු වැල්ලේ එරුණා. තල්ලු කරලා ගොඩගන්න බැරි රථය උස්සලා පැත්තකින් තියන්න තරම් මේ තරුණයෝ ශක්තිමත් වුණා. ඒත් ඒ ශක්තිය ඔවුන් අර ලොරියේ බැස්ස තරුණයන් මත මුදා නොහැරීම නම් රස්තියාදුකාරයාට අදහන්න බැරි තරම්. අඩ හෝරාවක් පුරාවට පැවැති වැස්සත් මේ ප්‍රිය සාදයට බාධාවක් වුණ් නෑ. ඒත් මේ වෙද්දි වෙරළ පුරාවට සිටි විනෝදකාමීන් දැන් දැකගන්න නෑ. මේ වෙද්දි මැදියම් රැයත් ගෙවිලා. එතැනට පැමිණි පොලිසියේ මහත්තුරු දෙන්නෙක් එතැනින් ඉවත් වන ලෙස ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීමට සවන් දෙන්න තරම් අපේ තරුණයෝ නිහතමානි වුණා. රස්තියාදුකාරයාත් ඔවුන්ගේ වාහනයක පිහිටෙන් පාන්දර ගම්පහ නගරයට සේන්දු වුණා.
තත්කාලීන සමාජයේදී අපට නිරන්තරයෙන් අහන්න ලැබෙන්නේ සොරකම්, මංකොල්ල කෑම්, මිනීමැරීම් වගේම ස්ත්‍රී දූෂණ පිළිබඳව. පේන විදියට සමාජය බරපතළ විදියට පිරිහීමට ලක්වෙලා. ඒ අතරේ ගුවන්විදුලියෙන් වගේම රූපවාහිනියෙන් දවස පුරාවට බණ දේශනා අහන්න ලැබෙනවා. හන්දියක්, හන්දියක් ගාව බුදු පිළිම. ඒ තැන්වලත් පාන්දර පිරිත් සජ්¿ධායනා ඇසෙනවා. මිනිස්සුන්ට වැඩි වැඩියෙන් බණ ඇහෙද්දි ඊට සාපේක්ෂව අපරාධත් වැඩිවෙනවාද මන්දා.
70 දශකයේ වගේම 80 දශකයේ මැදක් වනතුරු ගුවන් විදුලිය හැරෙන්න රූපවාහිනිය තිබුණේ නෑ. ඒ නිසා ගීත අසන්න ලැබුණට ගායකයාව දකින්න ලැබුණේ නෑ.
අද නම් ගායක, ගායිකාවෝ හැමෝම රූපවාහිනිය හරහා ගෙදර සාලයට ම එනවානේ. ඒත් එදා තමන් ආශා ගායකයා හෝ ගායිකාව දැකගන්න යාබද නගරයේ කලාතුරකින් පැවැත්වෙන සංගීත සන්දර්ශනයට යන්නම වෙනවා. බාල, මහලු, ස්ත්‍රී, පුරුෂ භේදයක් නැතිව එදා හැමෝම වගේ සංගීත සන්දර්ශනවලට ඇදුණා. රස්තියාදුකාරයාට තවම මතකයි හැම අවුරුද්දෙම දෙසැම්බරයේදී නිට්ටඹුවේ පැවැත්වුණු ‘ක්‍රිස්මස් සැටඩේ නයිට්’ ප්‍රසංගය. අද ජීවතුන් අතර නැති ජෝති, මිල්ටන්, වල්පොළ රස්තියාදුකාරයා මුලින් දැක ගත්තේ ඒකෙදී. එහෙත් අද වෙද්දි ඒ විදියේ සජීවී වින්දනයක් ලබන්න ටිකක් අමාරුයි. ඒකට හේතුව රූපවාහිනියෙන් ගායක, ගායිකාවො දැකලම එපාවීම නෙවෙයි. පිහි ඇනුමකින් තොරව අවසන් වෙන සංගීත සන්දර්ශනයක් කියන්නේ කිසිවකු නොමළ ගෙයකින් අබ අහුරක් හොයා ගන්නවා වගේ.
මීගමු වෙරළේ නම් පොලිස් ආරක්ෂාවෙ අඩුවක් නෑ. ඒත් අද වෙද්දි ලංකාවේ උණවටුන, පොල්හේන වගේ මුහුදු වෙරළ වගේම බෝපත් ඇල්ල වගේ දියඇලි ළඟත් නිතරම ගැවසෙන්නේ පොඩි දේකටත් දැළි පිහි අදින තුට්ටු දෙකේ බොරු චණ්ඩි. ඒ නිසාවෙන් මවුපියන් තම දරුවන් සමඟ රූපවාහිනියට ඇබ්බැහි වෙනවා. අද වෙද්දි විනෝදය පොදු අවකාශයෙන් පෞද්ගලික අවකාශයට ඇවිල්ලා.
ඉතින් මෙන්න මේ වගේ කාලෙක රස්තියාදුකාරයාට අහම්බෙන් හමුවුණු කොළඹ - කටුනායක අධිවේගී මාර්ග මෙහෙයුමේ තරුණයන් වාසනාවන්. සාදය පුරාවට එක අසභ්‍ය වචනයක්වත් කටින් පිට නොකරපු වැඩිහිටි ගෞරවය වගේම හොඳ විනයක්, ශිෂණයක් තිබුණු මේ තරුණයෝ ගමෙන් ගෙනා හොඳ දේ රැක ගත්තොත් රස්තියාදුකාරයාට සුබවාදීව ලියන්න හැකි වේවි.
බොහෝ වෙලාවට ගමෙන් නගරයට එන තරුණයන් ගැන සමාජයේ හොඳ ආකල්පයක් නෑ. ඒ නිසයි මහගමසේකර අතින් මේ විදියට ලියැවෙන්නේ.
සිදාදියට එන්නට මට
බුද්ධිය නුඹ තමයි එදා
පාර කියා දුන්නේ
ඒ එනකොට ගෙන ආ දෙය
විය පැහැදම් වුණා මිසක
අලුතින් එක්වූ කිසිම දෙයක් නැත්තේ
හිස බර කළ පුහු නම්බුව විතරයි මට ඇත්තේ ...
No comments:
Post a Comment