ජේත්තුකාර රස්තියාදුව
0
December 15, 2013
2:00 am
Hits(46)
රස්තියාදුකාරයාගේ හිතට වදින්න සිංහලෙන් ලියපු ලේඛකයන් බොහෝ දෙනෙක් අද
වෙද්දි ජීවතුන් අතර නෑ. මහගමසේකර සහ මාර්ටින් වික්‍රමසිංහ මෙලොවින්
සමුගනිද්දි රස්තියාදුකාරයා පතපොත අතගාන කුඩාවෙක්. සාහිත්‍යය එක්ක
රස්තියාදුකාරයාගේ ජීවිතය සමපාත වෙද්දි සුගතපාල ද සිල්වා වගේම එදිරිවීර
සරච්චන්ද්‍ර නොඑන්නම ගියා. සරච්චන්ද්‍ර කියනවා වගේ ආවොත් නොගොසින් බැරිය.
ඒ පරපුරෙන් අපට තාම ඉතිරි වෙලා ඉන්නේ සිරි ගුණතිලක සහ ගුණදාස අමරසේකර.
ඒත් සිරි ගුණසිංහගේ නම් නව නිර්මාණයක් ළඟදී දැකගන්නට ලැබුණේ නැහැ. ඒත්
වාසනාවකට වගේ අමරසේකර නම් තාමත් ලියනවා. අමරසේකරගේ ව්‍යාජ ජාතික චින්තනය
එක්කවත්, ගමෙන් නගරයට එන ප්‍රඥාවන්තයා එක්කවත් රස්තියාදුකාරයා කොහෙත්ම එකඟ
නෑ. ඒවා මනස්ගාත. ඔළුවේ හදාගත්තු බහුබූත. ඒ මොනවා වුණත් අද දවසේ සිංහල
භාෂාව ලස්සනටම හසුරුවන ලේඛකයා අමරසේකර බව නම් හැබෑ සත්‍යයක්. ඒ මට්ටමට
එන්න නිශ්ශංක විජේමාන්න, ලියනගේ අමරකීර්ති වගේම එරික් ඉලයප්පආරච්චිත්
සෑහෙන කට්ටක් කනවා.
ගම සහ නගරය අතර දෝලනය වන ගමෙන් නගරයට පැමිණි උගත්
තරුණයාගේ මනෝභාවය අමරසේකර හරියට චිත්‍රණය කරන්නේ යටලමත්ත නම් ග්‍රාමයේ
උපත ලැබීම ආධාර කරගෙන. ජීවන සුවඳ, යළි උපන්නෙමි වගේම ගන්ධබ්බ ආපදානයත් ඔය
තරම් අව්‍යාජ වන්නේ ඒ නිසා.
රස්තියාදුකාරයාට හදිසියේ අමරසේකර සිහිපත් වුණේ 2013දී එළිදැක්වුණු ඔහුගේ
කියනු මැන දිවි අරුත කෙටිකතා සංග්‍රහය නිසා. පොතේ පෙරවදනේ අමරසේකර මේ වගේ
සටහනක් තියනවා.
“නවකතාව තමා වසන සමාජය හා තමා ගෙවන ජීවිතය පිළිබිඹු කරන කැඩපතක් විය යුතුය.”
මෙච්චර
පරක්කු වෙලා හරි අමරසේකරගේ ඇස් පෑදුණු එක නම් ලොකු දෙයක්. බලලෝභය නිසා
රට, ජාතිය, ආගම ගැන කතා කරපු බොරු දේශ ප්‍රේමීන්ගෙන් අමරසේකර ඇත්තටම
මිදුණා නම් හොඳ පොතක් කියවන්නට ලැබීමේ භාග්‍යය අපට ලැබේවි.
මේ කෙටිකතා
සංග්‍රහයේ කෙටිකතා අතරින් අද රස්තියාදුකාරයා සාකච්ඡාවට ගන්නේ ‘රැගෙන මා අත
සමි¼ද කියනු මැන දිවි අරුත’ කියන කෙටි කතාව. සුපුරුදු පරිදි මේ කෙටි කතාවේ
සාරාංශයකට අපි යොමු වෙමු.
මේ කතාවේ කථකයා සුගතේ. එයා ගමේ ඉස්කෝලෙකින් ශිෂ්‍යත්වය සමත් වෙලා කොළඹ
රාජකීය විද්‍යාලයට ආපු ශිෂ්‍යයෙක්. එයාගේ තාත්තා ගමේ වෙද මහත්තයෙක්.
රාජකීය විද්‍යාලයේදී එයාට කොළඹ හතේ ප්‍රසිද්ධ රාජ නීතිඥයකුගේ පුතා වන
ලූෂන් පීිරිස් හමුවෙනවා. තමන්ගේ ගෙදර වැඩකාරයෝ සමඟ පමණක් සිංහලෙන් කතා
කරන ලූෂන්ගේ තලයට ඉංගී්‍රසි හරියට නොදන්නා සුගතෙලා වැටෙන්නේ නෑ. සරසවි
පිවිසුමෙන් සුගතේ වෛද්‍ය පීඨයට ඇතුළු වෙද්දී සරසවි පිවිසුමට පෙනී නොහිටම
ලූෂන් එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියට යනවා.
ටික කාලෙකට පස්සේ ලූෂන් ලංකාවට ගොඩබසින්නේ සමාජවාදියකු විදියට. දැන්
එයාගේ නමට දැරණියගල කෑල්ලක් එකතු වෙලා. ටික දවසකින් එයා පත්කළ
මන්ත්‍රිවරයකු විදියට ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්නේ. ඊළඟට එයා ආණ්ඩුවේ ප්‍රබලම
ඇමැතිවරයා බවට පත් වෙනවා. ඒ ලූෂන් පීරිස් ලෙසින් නෙවේ. ලලිත් ප්‍රියනාත්
දැරණියගල යන නමින්. මේ වෙද්දි සංවේදී මිනිසකු වන සුගතේ රෝගීන්ගේ වේදනාව
දැකීමෙන් අෑත් වෙන්න මහජන සෞඛ්‍ය වෛද්‍ය සේවයට පත්වෙලා. හෙදියක වුණු විමලාව
විවාහ කරගෙන. ඒ ආදර සම්බන්ධතාවක ප්‍රතිඵලයක් ලෙස.
සුගතේ, දෛවය ගෙනැවිත් දෙන දේ භාරගන්නවා විනා, දෛවය වෙනස් කරගැනීමේ ආශාවක්
නැති මිනිහෙක්. ඊට වෙනස්ව ලූෂන් දෛවයට අභියෝග කර සිය අපේක්ෂා මුදුන්පත්කරවා
ගන්නෙක්. ඔහුගේ ජීවිතය වන්නේ උද්දච්චකම, උඩඟුකම සහ මමායනය. ඒත් ඔහු අවංක
ඇමැතිවරයෙක්. රට ගැන, සමාජය ගැන හරවත් විශ්ලේෂණ නැති වෛද්‍යවරුන්ගෙන් සුගතේ
හුදෙකලා වෙනවා. විවේකයේදී සිංහල නවකතා කියවපු ඔහු කාලයක් පන්සල්වල
බිතුසිතුවම් පිටපත් කළා. මේ විදියට සුගතේ අල්පේච්ඡ ජීවිතයක් ගත කරද්දි
ලූෂන් බරපතළ ලෙස බලය හඹා යනවා.
අවසානයේ ඡන්දයෙන් පැරැදී මන්ත්‍රිකම අහිමි වන ලූෂන් අවලංගු කාසියක් බවට පත්වෙනවා. ඉක්බිති ඔහු පිළිකාවකින් මිය යනවා.
අරුත්සුන්
ජීවිතයට අරුතක් ලැබෙන්නේ ජීවිතය ඉක්මවා සිටින පරමාදර්ශයක් වෙත කැපවුණොත්
බව මතක් කරමින් සුගතේ සිය මිතුරකු නොවූ මිතුරාගෙන් සමු ගන්නවා.
ලංකාවේදී ලූෂන් පීරිස් වගේ මැති ඇමැතිවරු නම් ඕනෑ පදම් ඉන්නවා. ජනතාවගේ
ගැලවුම්කාරයෝ විදියට ඇවිත් තමන්ගෙ හත්මුතු පරම්පරාවම ගලවා ගන්න හදන්නේ.
ලංකාවට දෙදහස් පන්සියයක බෞද්ධ උරුමයක් තියෙන එක ඇත්ත. ඒත් බෞද්ධ දර්ශනය
තමන්ගේ ජීවිතයට එකතු කර නොගැනීම තමයි වරද. ලූෂන් පීරිස් වගේම තමන් අජරාමර
විදියට හිතලා වැඩ කරපු කී දෙනකුට මරණය නොසිතූ වෙලාවක ළඟා වුණේ නැතිද?
කෙනෙක්
මෙලොව ඉපදෙන්නෙ දින නියමයක් නැති මරණ දඬුවමක් එක්ක. ඒත් කාටවත් තමන් මරණය
හිමි සත්ත්වයෙක් කියලා මොහොතකටවත් හිතෙනවාද? එහෙම හිතෙනවා නම් ධනය, බලය
පසුපස මේ තරම් තණ්හාවකින් හඹා යන්නේ නෑනේ.
සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි දන්නේ ගම හොඳයි, නගරය සංකරයි විදියට. ඒත් මේ
හොඳ ගැමියා කොහොමින් හරි නගරයට එනවා. ඊළඟට නාගරිකයන්ටත් වඩා නාගරික වෙන්න
උත්සාහ කරනවා. රස්තියාදුකාරයා කලින් දවසකත් පවසපු විදියට යම් ආයතනයක
මනුස්සකමක් ගෑවිලාවත් නැති නිලධාරියෙක් ඉන්නවා නම් ඒ බොහෝ විට ගමෙන් නගරයට
අමාරුවෙන් ආපු කෙනෙක්. තුත්තිරි ගස් අල්ල අල්ලා ඇවිත් අන්තිමට හැමෝටම
කරදරයක් වෙනවා.
බටහිර රටවල මෝටර් රථ ඕනෑ වන්නේ දෙපාවල දිගුවක් විදියට. ඒ කියන්නේ
පහසුවෙන් ගමන් යන්න. ජංගම දුරකතන අවශ්‍ය වන්නේ ඉක්මනින් පණිවුඩ හුවමාරු
කරගන්න. ඒත් අද වෙද්දි සමහර ආයතන ප්‍රධානීන් ළඟ එක එක මාදිලියේ වාහන හත
අටක් තියෙනවා. එයාලගේ මේස උඩ දුරකතන හතර පහක්, ජංගම දුරකතන නම් ගණනාවක්
තියෙනවා. සමහරු ගොඩයන්ට මැජික් කියන්නේ මේවට වෙන්න ඇති. ලංකාවෙදි වාහන,
දුරකතනවලට තියෙන්නේ බටහිර අර්ථය නෙවෙයි. තමන්ගේ තත්ත්වය, බලපුළුවන්කාරකම
පෙන්වන්න තමයි වාහන, දුරකතන පාවිච්චි කරන්නේ. නිකමට හිතන්න තමන්ගේ මිදුලේ
වාහන හත අටක් තියෙන මිනිහෙක් පිස්සෙක් නොවී බේරෙයිද? උදේට නැඟිටලා ගමනක්
යන්න මොන වාහනයක් තෝරා ගන්නවද කියලා අඩු ගාණේ පැය භාගයක්වත් කල්පනා කරන්න
වෙනවනේ.
පසුගිය කාලේ ඇමැති පුත්තු, සමාජ ශාලාවලදී තරුණයන්ට ගැහුවේ එයාලා දරුණු
නිසා නෙවෙයි. තමන්ට බලයක් තියෙන බව ලෝකයාට පෙන්නීමේ ආශාවෙන්. මොකද බලය
කියන එක කෙනෙක් දිහා බැලුවම පෙන්නේ නෑනේ. ඉතින් ඒකට පහරදීම වගේ ක්‍රියාවක්
කරන්නම වෙනවා. තමන් සල්ලිකාරයෙක් බව නම් කඹයක් විතර චේන් එකක් බෙල්ලේ
දාගෙන, අත් දෙකේම ඔරලෝසු දෙකක් දාගෙන පෙන්වන්න පුළුවන්නේ.
සරලව මනුෂ්‍ය අර්ථයෙන් මිනිහෙක් කියන්නේ හිතන දේ කියන, කියන දේ කරන කෙනෙක්
වෙන්න ඕනෑ. ඒත් සාමාන්‍ය ලාංකිකයා කියන්නේ මේකෙ විරුද්ධ පැත්ත. ඒ කියන්නේ
තමන් හිතන දේ වෙනුවට වෙනත් දෙයක් කියන ඊට හාත්පසින්ම විරුද්ධ දේ
කරන්නෙක්. කුහක වත කියන්නේ ඕකට වෙන්න ඇති.
මේ කියපු දේ තවත් වැටහෙන්න
රස්තියාදුකාරයා සත්‍ය නිදසුනක් ගේන්නම්. එක්තරා රාජ්‍ය ආයතනයක විධායක
ශේර්ණියේ හාදයෙක් හිටියා. හිටි හැටියේ මෙයාට ඉහළ තනතුරක් ලැබුණා.
මෙයාගේ සගයෝ මෙහෙම වුණේ කොහොමද හොයලා බැලුවා. ඒක වෙනම කතාවක්. ඒත් එයා
කවදාවත් මස්, මාළු තියා උම්බලකඩ කෑල්ලක් ගෑවුණු තැනක නොකන මදුරුවෙක්වත්
නොමරන පට්ට බෞද්ධයෙක්. එයාගේ කන්තෝරුවෙ මේසේ උඩ බුද්ධ පින්තූර, අතේ පිරිත්
නූල්, නිල වාහනයෙන් ඇහෙන්නේ පිරිත් සංගායනා. ඒත් ව්‍යවහාර ජීවිතයේදී එයා
තමන්ට පහළ සේවකයන්ව තළා පෙළා දාන එක කරන්නේ.
ඒ කියන්නේ සොක්කන්ට ලෙඩ දාන මෙයා ලොක්කන්ට කොන්ද නමනවා. එතැනින් නොනැවතී දණ
ගහනවා. ලොක්කන්ගේ ගෙවල්වල බල්ලෝ, පූසන්ට පවා ඇඹරෙනවා. ලොක්කගේ අල්ලපු ගෙදර
ඉන්න කුලියට පොල් කඩන එකාටත් ඇඹරෙනවා. ඇත්තටම මොකක්ද මේ විකාරරූපී රංගනය.
මෙයා අනුන්ට මනුස්සකමට නොසලකපු නිසා මෙයාට කවුරුවත් සලකන්නේ නෑ. ඒක තේරුම්
නොගෙන බැනුම් අහලා කිචවෙලා, නීච වෙලා, කේලාම් කියලා ඉහළ තනතුරකට පැනලා ඒ
හයියෙන් බලෙන් මිනිසුන්ගෙන් සැලකුම් ගන්න හදනවා. මොනතරම් අසහනයකින්,
අතෘප්තියකින්ද එයා ජීවත් වෙනවා ඇත්තේ.
බලයට ඇති ආශාව කියන්නේ එක්තරා මානසික ලෙඩක්. තමන් ලබන වැටුපට සරිලන සේවයක්
නොකරන මේ ලෙඩ්ඩු අනුන්ට ලෙඩ දමමින් පිරිත් අහමින් පසුවෙනවා. අඩුම තරමින්
වැඩක් නොකර හරි, අනුන්ට වැඩ කරගන්න දීලා ඇති තරම් පිරිත් ඇහුව නම් අඩු
ගාණේ සෝවාන්වත් වෙන්න තිබුණා.
අනේ මෙහෙම තණ්හාවක්
අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්
No comments:
Post a Comment