Tuesday, November 26, 2013

ජේත්තුකාර රස්තියාදුව
අද ඊයේ නෙවෙයි කාලයක ඉඳන් ලංකාවේ හින්දි චිත්‍රපට උන්මාදයක් තිබුණා. අතීතයේදිත් බොලිවුඩ් තරු වුණු දිලිප් කුමාර්, රාජ් කපුර්, දේව් ආනන්ද වගේ නළුවන්ට ලාංකික සිනමා ලෝලියෝ ආදරේ කළා. හැබැයි ඒ අතීතයේ හින්දි තරුවලට අභියෝග කරන මට්ටමට සිංහල සිනමාවේ නළුවෝ හිටියා. ගාමිණී, විජය, රවීන්ද්‍ර, ටෝනි වගේ සුපිරි තරු හින්දි තරු මට්ටමේ නැතිනම් ඊටත් එහායින් හිටියේ.

ඒත් අද වෙද්දී සිංහල සිනමාවේ තරු ගුණය තියෙන නළුවෝ නෑ. නිළියෝ ගැනත් කියන්න තියෙන්නෙ ඒ දේමයි. එදා නාර්ගීස්ට, මීනා කුමාරිට, ඩිම්පල් කපාඩියාට සමානව සිංහල සිනමාවේ රුක්මණී දේවි, සන්ධ්‍යා කුමාරි, අනුලා රණවීර, පුණ්‍යා හීන්දෙණිය වගේ සුපිරි නිළියෝ හිටියා. අද ඒ වගේ තරු නෑ. ඒ නිසා තමයි පූජා උමා ශංකර්ලා අද සිංහල සිනමාව ආක්‍රමණය කරලා තියෙන්නේ.

කොහොම වුණත් මේ දවස්වල ලාංකේය සිනමා රසිකයෝ උන්මාදයට පත් කරපු හින්දි චිත්‍රපටයක් රස්තියාදුකාරයාට නරඹන්න ලැබුණා. චිත්‍රපටයේ නම ආශික් -2. ඒ කියන්නේ ‘උමතුව‘ කියන තේරුම. වෙලාවට ලංකාවේ බෞද්ධ සංවිධාන හින්දි චිත්‍රපට නොබලන්නේ. එහෙම වුණා නම්  අනිවාර්යයෙන් ආශික් - 2 ලංකාවේ තහනමට ලක් වෙනවා. මොකද මේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා චිත්‍රපටය පටන් ගත්තු වෙලාවේ ඉඳන් කරන්නේ බොන එකමයි. සැන්ඩි නැතිව, බයිට් නැතිව බෝතල් ගණනාවක් කටේ තියාගෙනම ඉවර කරනවා. මෙයා ගායකයෙක්. නම රාහුල් ජයිකර් (ආදිත්‍ය රෝයි කපුර්). එයාගේ ජීවිතය කියන්නේ මත්පැන්.

ඉන්දියාවේ සුපිරි ගායකයා වුණු රාහුල් බීම නිසාම පිරිහෙනවා. ඒත් දවසක අෑත කුඩා අවන් හලකදී ඔහුගෙම ගීතයක් ගයන ගායිකාවක් ඔහුට හමු වෙනවා. ඇය අරෝහි ෂිර්කේ (සර්දා කපුර්). රාහුල් ඇයව ජනප්‍රිය ගායිකාවක් බවට පත් කරනවා. ඔහු ගී ගැයීමෙන් අෑත් වෙනවා. දුටු දා සිටම ඇයට පෙම් කරන ඔහු ඇය ජනප්‍රිය වෙත්දී තව තවත් මධු විතට ඇදෙනවා. ජනප්‍රියත්වය හීන වෙද්දී ඔහු දුප්පතෙක් වෙනවා. මධු විතට ඇගෙන් මුදල් සොරා ගන්නා තැනට ඔහු පත් වෙනවා. දැන් අරෝහි ගායිකාවක පමණක් නොව නිළියක්. ඇගේ දියුණුවට ඇති බාධාව තමා බව වටහා ගන්න රාහුල් සිය දිවි හානි කර ගන්නවා.
ආශික් - 2 තිර ගත වෙන්නේ 2013 අවුරුද්දේ. මීට අවුරුදු තිහකට පෙරයි ‘අභිමාන්’ තිරගත වෙන්නේ. එයත් ගායකයකු වටා ගෙතුණ කතාවක්. ඒ දවස්වල අභිමාන් ප්‍රචාරක පටයේ කියැවුණේ මෙහෙම පාඨයක්. ඔවුන් දෙදෙනා එක් කළේද සංගීතයයි. වෙන් කළේද සංගීතයයි.

සුබීර් කුමාර් (අමිතාබ් භච්චන්) ඉන්දියාවේ ජනප්‍රියම ගායකයා. මධු බඳුනක්, දුම් වැටියක් ඔහු අත තිබුණත් ඔහු මත්පැනට දැඩිව ඇබ්බැහි වූවෙක් නොවෙයි. ඔහුට උමා දේවිගේ (ජයා බහදුරි) ගායනයක් මුලින්ම ඇහෙන්නේ. අනතුරුව සාම්ප්‍රදායික ඉන්දියානු කුල කුමරියක වන උමාව ඔහු විවාහ කර ගන්නවා. ඇගේ පියාගෙන් රාගධාරි සංගීතය හදාරපු ඇය ටික කලකින් සුබීර්ට වඩා ජනප්‍රිය වෙනවා. සුබීර්ට ඇති ජනප්‍රියතාව අඩු වෙමින් උමා පෙරමුණට එනවා. මෙයින් මානසිකව ඇද වැටෙන සුබීර් ඇයට බැන වැදීම නිසා ඇය ආපසු සිය පියා වෙත යනවා. ඇගේ කුස සිටින දරුවාත් ප්‍රසූතියේදී මිය යනවා. ඇය කම්පාවට පත්ව කතා නොකර හැඟීම් විරහිතව ඉන්නවා. ඇය සුවපත් වන්නට නම් ඇගේ ඇසින් කඳුළු පිට විය යුතුයි. අවසානයේ ඇය ප්‍රසංග වේදිකාවක සුබීර් ගී ගයනු අසා සිටිනවා. ඒ ඔවුන්ගේ මධු සමය දා ගැයූ ගීයයි. ඇගේ නෙතින් කඳුළු කඩා වැටෙනවා. සුබීර් හා එක්ව ඇය යළි ගී ගයනවා. ආශික් - 2ට වෙනස්ව යළි එක්වීමකින් ශුභදායි ලෙස අභිමාන් නිමාවට පත් වෙනවා.

උමා, සුබීර්ට ආදරය කරනවා. ඒත් සුබීර්ට වැදගත් වන්නේ ගායකයකු ලෙස ඔහුට ඇති පිළිගැනීම. ඔහුගේ රසිකයන් උමා වටා රොක් වෙද්දී ඔහු නොසන්සුන් වෙන්නේ ඒ නිසයි. ඉන්දියාව කියන්නේ පිතෘ මූලික සමාජයක්. මහා ඉහළින් බල පවත්වන රටක්. එතැනදී පිරිමියා තමයි මුල් තැන ගන්නේ. ගැහැනිය පිරිමියාට යටත් දෙවැනි පන්තියේ පුර වැසියෙක් විදියට ගණන් ගැනෙන්නේ. නිදහස්කාමී ජීවිතයක් ගත කරන චිත්‍රා වෙනුවට සුබීර් තෝරා ගන්නේ උමාව. ඒ උමාගෙන් සුබීර් සාම්ප්‍රදායික ඉන්දියානු කුල කාන්තාව දකින නිසා. ඇත්ත ජීවිතයෙත් ජයා බහදුරි අමිතාබ් භච්චන්ගේ බිරිය වෙන්නේ මේ නිසාම වෙන්න ඇති. ‘අභිමාන්’ අවසන් වෙන්නේ යළිත් සුබීර් කුමාර්, උමා දේවි සමඟ ප්‍රසංග වේදිකාවට එක් වෙමින්. උමා නිසාම අහිමි වුණු ජනප්‍රියත්වය යළි උමා නිසාම ලබා ගනිමින් එක් පැත්තකින් උපන් ගෙයිම මියයන දරුවාත් සමඟ උමා හැඟීම් දැනීම් නැති තත්ත්වයකට පත් වෙන්නෙම යළි සුබීර්ව වේදිකාවට නග්ගන්න. ඔහුගේ අහිමි වුණු ජනප්‍රියත්වය යළි ලබා දෙන්න. ඉන්දියාව තුළ බල පැවැත්වෙන පිරිමියා ප්‍රමුඛයි යන දෘෂ්ටිවාදය සිනමාවට පවා මඟහැර යන්න බෑ.

ඒත් 2013දී අපට ආශික් - 2 වල හමුවන ඉන්දියානුවා දියුණු චරිතයක්. රාහුල්, අරෝහි තමාගෙ ගීතය ගයනු අසා සිටිනවා. අරෝහිගේ ගායනය තම ගායනට වඩා උසස් බව ඇය ඉදිරියේ ප්‍රකාශ කරන්න ඔහු පැකිළෙන්නේ නෑ. එතැනින් නොනැවතී ඇය ඉන්දියාවේ ජනප්‍රියම ගායිකාව දක්වා ගෙන යන්නට ඔහු ඇයට උපකාර කරනවා. තමාගේ දුර්වලකම මධුවිත සේ දකින ඔහු ඇගේ දුර්වල තැන ලෙස දකින්නේ තමාවයි. ඔහුගේ ගායන දිවිය පිරිහෙන්නේ මධුවිතට අසීමිතව ලොල් වීම නිසායි. ඒ ආකාරයට අරෝහි තමාට ඇති ආදරය නිසා පිරිහෙන බව රාහුල් අවබෝධ කර ගන්නවා. ඇයට ඇති ආදරය නිසාම ඇගේ සාර්ථකත්වය පතා රාහුල් සිය දිවි නසා ගන්නවා.

‘අභිමාන්’ හි සුබීර් ආත්මාර්ථකාමියකු වන විට ආශික්හි පෙම්වතා, රාහුල් සැබෑ ආදරය යනු ජීවිත පරිත්‍යාගයෙන් හෝ පෙම්වතියගේ යහපත පතන පරාර්ථකාමියෙක්. ‘අභිමාන්’ හි උමා සුබීර් හා එක් වෙන්නේ නීතියෙන්. එහෙත් ආශික් හි අරෝහි රාහුල් වෙත යන්නේ විවාහය ගැන අදහසක් ඇතුව නොවේ. සැබෑ ආදරය යන්නට බලපත්‍ර ඇවැසි නොවන බව ඇය සනාථ කරනවා. ජීවිතය ජීවත් කරවන්නේ ආදරයයි. මධු විතෙහි ගිලුණු රාහුල්ගේ ජීවිතය පණ ගසන්නේ අරෝහිගේ ආදරය හේතුවෙන්.

‘අභිමාන්’ 80 දශකයේ ඉන්දියානු දෘෂ්ටිවාදයේ නියෝජනයක් වන විට ආශික්-2 යනු සමකාලීන ඉන්දියානු දෘෂ්ටිවාදයේ නියෝජනයක් නොවන්නේ ඇයි? චීනය සහ ඇමෙරිකාව සමඟ ලෝකයේ ආධිපත්‍යයට සටන් වදින ඉන්දියාව යනු තවදුරටත් ගෞතම බුදුරජුන්ගේ මවුබිම හෝ අශෝක අධිරාජ්‍යයාගේ දේශය හෝ නොවෙයි. ලෝක වෙළෙඳපොළේ අනෙකුත් හා තරග වදින වාණිජ දේශයක්. මුදලට මුල් තැන ලැබෙන ඉන්දියානු ජන සමාජය තුළ නොපවතින්නක් සැබෑ ආදරය. සැබැවින් නොපවතින සැබෑ ආදරය චිත්‍රපටයක වේශයෙන් හෝ දැකීම ඉන්දියානුවන්ට සහනයක් වෙන්නේ ඒ නිසා. ‘ආශික්’ හි රාහුල් මිය යන්නේ සැබෑ ආදරය යන්නට ශුභදායි එක් වීමක් ඉන්දියාව තුළ නොපවතින නිසාද? කෙසේ වුවත් තවදුරටත් සැබෑ ආදරය යන්න පවතින්නේ රිදී තිරයේ හෝ සාහිත්‍ය නිර්මාණයක සංකල්පයක් ලෙස පමණයි.

ආශික් - 2හි අපට හමුවන්නේ නවක මුහුණක්. ඒ ආදිත්‍ය රෝයි කපුර්. බොලිවුඩය පවතින්නේ එකම තරුවකින් නෙවෙයි. දිලිප් කුමාර්, අමිතාබ්, රාජේශ් ඛන්නා වගේ තරු නිවෙද්දී අමීර්, සල්මන්, ෂාරුක් යන ඛාන් ත්‍රිත්වය එනවා. ඊළඟට රන්ධීර් කපුර් බොලිවුඩය ආක්‍රමණය කරනවා. දැන් ආදිත්‍ය රෝයි. ඉතින් බොලිවුඩ් සිනමාව ලෝකෙම ජයගන්න එක පුදුමයක් නෙවෙයි. ඒත් ලංකාවේ අපි තවමත් ගාමිණී, විජය මතක් කරලා හූල්ලනවා. මොකද තවමත් තරු ගුණය තියෙන නළු නිළියෝ ලංකාවෙ ඉපදිලා නැති නිසා.

 ලංකාව, ඉන්දියාව වෙනුවට චීනයට දෑත් දිගු කරද්දී ලංකාවේ හැම පාරකම බජාජ් ත්‍රිරෝද රථ, ඉන්දියානු යතුරුපැදි දුවනවා. ඒ වෙනුවට චෙරි ශ්‍රී ශ්‍රී  වගේ  මෝටර් රථ ආවත්, ලංකාවේ සිනමාහල්වලට නම් හින්දි චිත්‍රපට නැතුව ගැලවීමක් නෑ. රට පුරා හතු පිපෙනවා වගේ පවතින වීඩියෝ වෙළෙඳසල්වලට බොලිවුඩ් චිත්‍රපට ආවේ නැත්නම් ඒ තැන්වල රාත්‍රි කොත්තු කඩ දාන්න තමයි වෙන්නේ.
කොහොම නමුත් රාහුල් ජයිකර්ගේ සැබෑ ආදරය සිහිපත් කරමින් රස්තියාදුකාරයා සතියක විරාමයකට යන්නම්
ජීවිතයත් ඔබම පමණයි
මගේ සැනසුමද
මගේ වේදනාවද
මගේ උමතුවද
ඔබම පමණයි

No comments:

Post a Comment