ජේත්තුකාර රස්තියාදුව |
රස්තියාදුකාරයා ගොම්මන් කළුවරත් එක්ක වේයන්ගොඩ සීගිරි සිනමා ශාලාවට රිංගුවා. ඒ ජයන්ත චන්ද්‍රසිරිගේ සමනල සංධ්වනිය නැරැඹීමේ අභිලාෂයෙන්. සමනල සංධ්වනියට කලින් මාස ගණනාවක් සීගිරිය බදු අරන් හිටියේ සිරි පැරකුම් ඒකෙදි ජනතාව පවුල් පිටින් අතීත කාමයට රොක් වුණා. සමනල සංධ්වනියත් එක්තරා ආකාරයකට අතීත කාමයක් තමයි. ඒත් ඒක නරඹන්න ජන ගංගාවක් නම් ගලන්නේ නෑ. බහුතරයක් ලාංකිකයෝ කියන්නේ ආත්මාභිමානය බිංදුවට සමාන කොටසක්. මෙයාලා බලාගෙන ඉන්නේ තිරයට හරි කමක් නෑ රජ කෙනකු පහළ වෙන තුරු. මොකද වන්දනාමාන කරන්න. බෞද්ධ දර්ශනය කෙසේ වෙතත් ලාංකිකයා හරියටම උකහාගෙන තියෙන්නේ දණ්ඩ නමස්කාරය තමයි. මේක හරියට ස්වාමි-සේවක සබඳතාව වගේ. ස්වාමියා කොයිතරම් සේවකයාව පීඩාවට පත් කළත්, සේවකයාට ස්වාමියාගෙන් තොර පැවැත්මක් නෑ. තවමත් ප්‍රවේණිදාස ක්‍රමයේ හැව ඇරගන්න බෑ අපට.
ඒ කතාව පැත්තකට දාමු. මොකද ලාංකික චින්තනය කියන්නේ ගස්, වැල් වගේ සොබාදහමට අයිති දෙයක් මිස සංස්කෘතික කාරණාවක් නෙවෙයිනේ.
රස්තියාදුකාරයා සමනල සංධ්වනිය නරඹන්න ගියේ බරපතළ කුතුහලයකින්. ඒකට හේතුපාදක වුණේ එයාට එහෙන් මෙහෙන් ඇහුණු චිත්‍රපටයේ තේමා ගීතය. ඉකි ගසා හඬන අතීතයක කඳුළු එක්ක ගනුදෙනු කරනා මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා.......
මේ කතාව අතීතයට සම්බන්ධ එකක් බව පැහැදිලියි. ඒත් මොකක්ද මේ මගේ නොවන මගේම ආදරය කියන්නේ? ඒක ටිකක් විතර ප්‍රහේලිකාත්මකයි. මගේ නොවන කියන්නේ මට අයිති නෑ කියන එක. මට අයිති නැති මගේ ආදරය කියන්නේ වෙන කාගෙවත් තරුණියකට ආදරය කරනවා වගේ තේරුමක්නේ. ඉතින් රස්තියාදුකාරයාට ඕනෑ වුණේ මේ මගේ නොවන මගේම ආදරය විඳින්න. කොහොමත් ආදර සාහිත්‍යයට එකතු වෙන්නේ සාම්ප්‍රදායික ආදර කතා හරි විවාහ හරි නෙවෙයිනේ. ඒ අතින් බලද්දී අසම්මත ආදරය කියන්නේ ආදරයේ සම්මතය වගේ. කොහොම හරි කමක් නෑ. රස්තියාදුකාරයා සමනල සංධ්වනියේ සාරාංශයෙන් පටන්ගන්නම්.
සමනල සංධ්වනිය දිග හැරෙන්නේ 1992 අවුරුද්දේ ඉඳන් 2013 අවුරුද්ද දක්වා. ඒ කියන්නේ එස්.එම්.එස්. යුගයට පෙර ලියුම්වලින් සන්නිවේදනය වන යුගයේ පටන්. මේ කතාව ඇරැඹෙන්නේ වාදීෂ දේවින්ද වික්‍රමනායක කියන ගැටවරයාට අහම්බයකින් හමුවන ආදර හසුනකින්. ඒ පුන්‍යා නම් තරුණියක විසින් ඇගේ පෙම්වතා වන රේවතට ලියන ලද්දක්. ලියුමට අනුව ඔවුන් හැම අවුරුද්දෙම මාර්තු 07 නුවරඑළියේ කුමාරි උද්‍යානයේදී හමුවෙන්න නියමිතයි. ඉතින් වාදීෂ මාර්තු 7 වැනිදා කුමාරි උද්‍යානයට යනවා. ඒ පුන්‍යාට ලියුම භාරදෙන්න. පුන්‍යාව දැකගන්න වාදීෂට හැකි වුණත් 92 අවුරුද්දෙවත්, 93 අවුරුද්දෙවත් ලියුම පුන්‍යාට දෙන්න වාදීෂට බැරිවෙනවා. මේ ලියුම ගැන දැනගන්න වාදීෂගේ අයියා ලියුම වාදීෂගෙන් අරගන්නවා. ඔහු මාර්තු 7 වැනිදා ජීවිතයෙන් අමතක කරන්න වාදීෂට බලකරනවා. යළි අපට වාදීෂ හමුවෙද්දී ඔහු ජනප්‍රිය සංගීතවේදියෙක්. විවාහක එක් දරු පියෙක්. ඒත්, ඔහු තදින් බීමට ඇබ්බැහිවෙලා. 2013 පෙබරවාරියේ දවසක වාදීෂගෙ උපන් දිනය. එදා වාදීෂගෙ අයියා අර පුන්‍යාගේ ලියුම වාදීෂ අතට පත්කරනවා. 2013 මාර්තු 7 යළි වාදීෂ කුමාරි උද්‍යානයට යනවා. අවුරුදු 21ට පසු ඔහුට පුන්‍යා හමුවෙනවා. මේ වෙද්දී පුන්‍යාගෙ සැමියා රේවත, පුදුමාතලන් ක්‍රියාන්විතයේදී මියගිහින්. වාදීෂ, පුන්‍යාගෙන් සමුගන්නේ ඔහුගේ සංගීත සංධ්වනිය නැරැඹීමට ඇයට ආරාධනා කරමින්. එහිදී ඔහු පුන්‍යාට ඇගේ ලිපිය භාර දෙනවා. ඒ මෙසේ කියමින්. ‘මට මගේ ළඟට එන්න දෙන්න.’
හීනෙන් හිනැහී තුන් යම මා රවටා
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිළෙනවා නින්දෙන් ඇහැරී කළුවරේම යළි සොයනා මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා..... වාදීෂ ආදරය හඳුනාගන්නේ පුන්‍යාගේ ලියුමෙන්. මුලින්ම ඔහු ලියුමේ පිට කවරය සොයන්න වෙහෙස ගන්නවා. ඒක හරියන්නේ නෑ. ඊළඟට ඔහු 92 මාර්තු 7 කුමාරි උද්‍යානයට යනවා. පළමුවෙන් ඔහු ලියුම දෙන්නේ වැරැදි තරුණියකට. ඊළඟට ඔහු පුන්‍යාව දකිනවා. ඔහු අෑ පසුපස යනවා. එතැනදී ඔහු පුන්‍යාගේ නවාතැනේ තරුණියන්ගේ ගුටි පූජාවකට ඉලක්ක වෙනවා. නැවත ඔහු පුන්‍යාගේ නවාතැනට යද්දී ඇය එතැනින් යන්න ගිහින්. ලියුමෙන් මිදෙන්න ඔහු එය දිය ඇල්ලකට විසිකරනවා. ඒත් නැවතත් එය ඔහුට ලැබෙනවා. ඊළඟ අවුරුද්දේ ඒ කියන්නේ 93 අවුරුද්දේ මාර්තු 7 ඔහු යළි කුමාරි උද්‍යානයට යනවා. එතැනදී පුන්‍යාට හිරිහැර කරන්න සැරසෙන පාදඩයකුට ඔහු පහර දෙනවා. ඒ මැරයන්ගෙන් ඔහු ගැලවෙන්නේ අමාරුවෙන්. එතැනදීත් ඔහුට පුන්‍යාව මඟ හැරෙනවා. වාදීෂ ජීවත්වෙන්නේ පුන්‍යාගේ ලියුම හිතේ දරාගෙන. පුන්‍යාගේ වචන ඔහුගේ හිතේ නින්නාද වෙනවා. ඔහු පුන්‍යාව හමුවෙලා ලියුම ඇයට භාරදෙන්න මහත් වෙහෙසක් දරනවා. අනපේක්‍ෂිත ගැටුම්වලට මැදිවෙනවා. ඔහුගේ මේ මහන්සිය, ශ්‍රමය එක්ක ඔහුගේ හිතේ පුන්‍යා ගැන ආදරයක් ඇතිවෙනවා. මේ ලක්‍ෂ්‍යයේදී තමයි වාදීෂගේ අයියා, වාදීෂගෙන් පුන්‍යාගේ ලියුම උදුරාගන්නේ. ඒත් අවුරුදු 21ක් පුරාවට වාදීෂ ජීවත්වෙන්නේ පුන්‍යා ගැන මතකයේ. ඔහුට ඇයව මොහොතකටවත් අමතක වෙන්නේ නෑ. ඔහුගේ ගීතයන්ට පාදකවෙන්නේ මේ අහිමි ආදරයේ වේදනාව. වාදීෂ සැබැවින්ම විඳින මානසික පීඩාව. ළතැවුල. ඒ නිසයි ඒ ගීත සාර්ථක වෙන්නේ. ඔහුගේ හදවතේ ගැඹුරුම වේදනාව සුන්දර ශෝක ගීතයන් නිර්මාණය කරනවා.
2013 පෙබරවාරියේදී වාදීෂට, පුන්‍යාගේ ලියුම ආපසු ලැබෙනවා. ඒ වාදීෂගේ අයියාගෙන් වාදීෂට ලැබෙන උපන්දින තෑග්ග. එතැනදී වාදීෂගේ සොහොයුරාගේ කතාවෙන් වාදීෂගේ ජීවිතය නිරාවරණය වෙනවා. අපි දැනටමත් වාදීෂ මධුලෝලියකු බව දන්නවා. ඒත් ඒ කලාකාරයන්ගේ සාමාන්‍ය විදිය කියලා අපට හිතහදාගන්න බෑ. වාදීෂ, පුන්‍යා ගැන මතක මත්වතුරේ දිය කරන්න උත්සාහ ගන්නේ. ඒත් ඒක අසාර්ථක වෑයමක්. මේ වෙද්දී වාදීෂ, විවාහක එක්දරු පියෙක්. සෞන්දර්යා, ඔහුගේ බිරිය ආදරයක කූටප්‍රාප්තිය නෙවෙයි. යෝජිත විවාහයක ප්‍රතිඵලයක්. ඒත් ඇය වාදීෂට ආදරෙයි. වාදීෂව විවාහ කරවන්නේ, ඔහුගේ නිමක් නැති පෙම් පටලැවිලි නිසා තරුණියන් අසරණ වීම වළක්වන්න. ඒ බව පවසන්නේ වාදීෂගේ අයියා. ඒත් මෙතැනදී වාදීෂ සල්ලාලයකු ලෙස සලකන්න බෑ. මේ කෙටි පෙම් සබඳතා කලාකරුවන්ගේ පැෂන් එක විදියට ගන්නත් බෑ. පුන්‍යාගේ මතකත් එක්ක වාදීෂට වෙන පෙම් සබඳතාවක් දිගටම පවත්වාගෙන යන්න බෑ. වරින් වර මතකයට එන පුන්‍යා වාදීෂගේ පෙම් සබඳතාවල නිමාව සටහන් කරනවා. ඒ නිසයි ඔහුට ස්ථීර ආදරයක් ඇති නොවෙන්නේ.
බැලූ බැල්මට මේ කතාව විශ්වාස කරන්න බෑ වගේ. කොහේද ඉන්න පෙම්වතියක් එයාගේ පෙම්වතාට ලියපු ආදර හසුනක් වෙන කෙනකුගේ ජීවිතයට මේ තරම් බලපෑමක් කරයිද? ඒත් අපි හැමෝම දැන හෝ නොදැන මේ වගේ අතීත කතාවක් එක්ක ජීවත්වෙනවා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? කවුරු අකැමැති වුණත් ඇත්ත ඒක තමයි. අපේ වර්තමාන ජීවිතය කියන්නේ අපිට මතක හෝ අමතක අතීත සිදුවීමක ප්‍රක්ෂේපණයක්ම විතරයි.
අපි මේ කතාව තවත් පැහැදිලි කරගන්න බලමු. මවගේ ගර්භාෂයේ වැඩෙන කලලය මෙලොව එළිය දකින්නේ ළදරුවෙක් විදියට. මේ ළදරුවා බිහිවෙන්නේ භාෂා ලෝකයට. එයා බහ තෝරන්න ගන්නවා. ළදරුවා දරුවෙක් වෙලා ඊගාවට ළමයෙක් වෙනවා. ඊටත් පස්සේ යොවුන් විය. අධ්‍යාපනය ඉවර වෙලා රැකියාවක්. එතැන්නි පස්සේ පරස්තාවක්, සාමාන්‍යයෙන් කෙනකු අත්විඳින ජීවිතය මේකයි. දෘශ්‍යමානය සත්‍ය නම් කෙනකුගේ ජීවිතය පටන්ගන්නේ එයා මෙලොව එළිය දැකපුදා ඉඳන්. සත්‍ය නම් කෙනකුගේ පසුකාලීන ජීවිතය කියන්නේ මීට වෙනස් දෙයක්. කෙනකුට තමන්ගේ ළමා කාලයේදී විඳින්නට සිදුවන දරාගත නොහැකි අත්දැකීමක් හරහා තමයි එයාගේ වර්තමානය නැත්නම් අනාගතය තීරණය වෙන්නේ. බොහෝ වේලාවට මේ දරාගත නොහැකි අත්දැකීම කෙනකුගේ මතකයේ නෑ. ඒත් එයාගේ ජීවිතය තීරණය වෙන්නේ එයාට අමතක එයාගේ යටි සිතට මතක මේ සිදුවීම එක්ක.
දැන් ඔයාලට වාදීෂව තේරුම්ගන්න පහසුයි. එයාගේ ජීවිතයේ මුල් කාලයේ හමුවන ආදර හසුන එයාව කැලඹීමකට පත්කරනවා. ඒ හසුන පුන්‍යාට භාරදෙන්න එයාට බැරි වෙනවා. ඒත් එයාගේ ජීවිතයේ පසු කාලයට බලපාන්නේ මේ හසුන. ඒ වාදීෂ ආදරය හඳුනාගන්න විදිය. ඇත්තටම වාදීෂ ආදරය කරන්නේ පුන්‍යාට. ඒ ආදරය එයාට දැනෙන්නේ පුන්‍යාගේ වදන් අතරින්. වෙන තරුණියකට හිත නොයන්න තරම් ඒ අත්දැකීම ගොඩක් ප්‍රබලයි. එයාට සෞන්දර්යා විවාහ කරගන්න සිදුවෙනවා. ඒත් එයා බැඳිලා ඉන්නේ පුන්‍යා එක්ක.
අන්තිමට පුන්‍යා වාදීෂගේ සංගීත සංධ්වනිය රසවිඳින්න එනවා. එතැනදී වාදීෂ පුන්‍යාට එයාගේ ආදර හසුන භාරදෙනවා. කඳුළු සලන පුන්‍යාගේ මුහුණ වාදීෂගේ මුහුණට සමීප වෙනවා. ඇත්ත නම් වාදීෂත් පුන්‍යාත් එකිනෙකා වැලඳගන්න ඕනෑ. ඒත් මේ වෙද්දී පුන්‍යා වියපත්. වාදීෂ එක් දරු පියෙක්. එක් වෙන්නට ඉඩක් නැති අවකාශයක්. පුන්‍යාට පුන්‍යාගේ ලියුම දෙනවාත් එක්කම වාදීෂ පුන්‍යාගෙන් අෑත් වෙනවා.
මේක හරියට මනෝ විශ්ලේෂණයකදී කෙනකු තමන්ගේ මානසික රෝගයේ මූල බීජය හඳුනාගන්නවා වාගේ. එතැනින් පස්සේ එයාට සාමාන්‍ය ජීවිතයකට යන්න පුළුවන්.
කොහොම වුණත් කෙනකුගේ ජීවිතය කියන්නේ එයා සබුද්ධිකව හසුරුවන දෙයකට වඩා දැන හෝ නොදැන එයාගේ මතකයේ සනිටුහන් වුණු අමතක නොවන අතීත මතකයක ප්‍රක්ෂේපණයක් බව යළිත් අවධාරණය කරන්නම්.
රිදුමක් වාගේ කිසිදා සුව නොවනා සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරුවනා මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා... |
Sunday, November 10, 2013
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment