Tuesday, November 19, 2013

ප්‍රේම සම්බන්ධතා බොහොමයක් සබන් බුබුළු වගේ. කෙටි කාලීන පැවැත්මක් තියෙන්නේ. ඇයි එහෙම ආදර සම්බන්ධතාවලට වැඩි ආයුෂ නැත්තේ? මේ පිළිබඳ කතා කරද්දී, අපි දකින දකින තරුණියන් සමඟ සම්බන්ධතාවකට යන තරුණයන් වගේම, ඒ දේම කරන තරුණියොත් අත් හැරලා දාමු. ඒ අය සුව කරන්න ලංකාවේ කවිච්චියේ ප්‍රතිකාර වගේ සායන නෑනේ.

ආදරයක් විවාහයකට පෙරාතුව අවසන් වීමට පොදු හේතුව විදිහට සලකන්න පුළුවන් නොගැළපීම. මේ නොගැළපීමට හේතු මහා ගොඩක් තියෙනවා. හැබැයි මේ නොගැළපීම ආදර කතාවේ මුල්ම අවධියේත් තියෙනවා. ඒත් විවාහය කියන සන්ධිස්ථානයේදී තමයි මේ කෙස් ගස් වගේ තිබුණු නොගැළපීම් කොස් ගස් වගේ වෙන්නේ.

බුදු දහමෙදී කතා කරනවා හේතුඵලවාදය ගැන. සරලව ගත්තොත් හේතුවක් නිසා ඵලයක් හට ගන්නවා. මේක සොබා දහමට සාධාරණයි. ඒත් සංස්කෘතික ජීවිතයේදී හේතුව කියන්නේ ඵලයට පසුව එන දෙයක්. යම් සිදුවීමකට පසුව තමයි අපි හේතු සොයන්නේ. ඒ කියන්නේ යමක් වුණාට පසුව. ඉතින් ආදරයේදීත් මේ වගේමයි. පෙම්වතාට හෝ පෙම්වතියට වෙන අතක් බලා ගන්න හිතුණාම තමයි නොගැළපීම කියන හේතුව ඉස්මතු වෙන්නේ. ඉතින් ඒ හේතු ජාතිය, දේශය, කුලය, මව සහ පියා ගේ පටන් ධනය, බලය, නිලය වැනි අනන්ත සංඛ්‍යාවක් කාරණා දක්වා දිගු වෙන්න පුළුවන්.

අතීතයේදී බිඳුණු ප්‍රේමය වෙනුවෙන් ජීවිත කාලය හුදෙකලාව ගත කරපු පෙම්වතුන් හිටියා. එහෙම නැතිනම් සිය දිවි නසා ගත්තු, මත්පැනට ඇබ්බැහි වුණු පෙම්වතුන් සුලබව හිටියා. ඒත් ඒ අසූව දශකයට පෙරාතුව. එතැනින් පසුව විවෘත ආර්ථිකෙත් එක්ක ශුද්ධ වූ දේ පවා විකිණෙන්න ගන්නවා. එතැනදී ආදරය පවා තවදුරටත් නිර්ව්‍යාජ, අධ්‍යාත්මික බැඳීමක් නෙමෙයි. වෙළෙඳපොළේ විකිණිය හැකි තවත් එක් භාණ්ඩයක් විතරයි. ඉතින් මේ තත්කාලීන සමාජයේදී ආදරය වෙනුවට පවතින්නේ තෝරා ගැනීමක්; අනාගතයේ ලාභ ඉපදවිය හැකි ආයෝජනයක්. ඒ නිසා නටබුන් වූ ප්‍රේමයන් මත ඉකි බිඳ, වැළපෙන පෙම්වතුන්, පෙම්වතියන් අද දවසේ හොයා ගැනීම එච්චර පහසු දෙයක් නෙමෙයි.

ඒ කොහොම වුණත්, අද රස්තියාදුකාරයා කතා කරන්නේ පෙම් සබඳතා බිඳ වැටෙන එක්තරා වෙනස් ආකාරයක් පිළිබඳව. සමහර වෙලාවට පෙම් සබඳතා හිටි අඩියේ නවතිනවා. කාටවත් හේතුව තේරුම් ගන්න බෑ. මොකද හැමෝටම වගේ පේන්නේ පෙම්වතා සහ පෙම්වතිය එකිනෙකාට හරියටම පෑහෙනවා වගේ. රූපයෙන්, ගුණයෙන්, වත් පොහොසත් කමින්, පවුලේ තත්ත්වයෙන් දෙන්නා ඒ එකිනෙකා පරයන්නේ නෑ. ඒත් විවාහය වෙන්නේ නෑ. පුදුමයි නේද? ඒත් ඒක ඇත්තක්.

මේ කතාව රස්තියාදුකාරයා කාලෙකට ඉස්සර කියවපු කෙටි කතාවක තිබුණේ. කෙටි කතාවෙ නමවත් ලේඛකයා කවුද කියලාවත් රස්තියාදුකාරයාගේ මතකයට එන්නේ නෑ. ඒත් ඒ කතාවෙ සාරාංශය මේ වගේ. එක්තරා පාසලක තරුණ ගුරුවරයෙක් ඒ පාසලේම තරුණ ගුරුවරියකට පෙම් කරනවා. ගුරුවරිය ටිකක් දුර පළාතක. දවසක මේ ගුරුවරයා ඇගේ නිවෙසට යනවා. එදයින් පසු ඔහු ඇගෙන් ටික ටික දුරස් වෙනවා. එක් මොහොතක ඔහු ඇයටත් නොකියා වෙනත් පාසලකට මාරු වෙලා යනවා. දෙදෙනාගේ නොගැළපීමක් ගැන කාටවත් හිතා ගන්න බෑ. ඇත්තටම වෙන්නේ, මේ ගුරුවරයා එක්තරා නගරයකදී, සමහර විට කොළඹදී වෙන්නැති - දිනපතා දකින හිඟන්නෙකු හිටියා. එදා අර ගුරුවරියගේ නිවෙසෙදි හමු වෙන ඇගේ පියා මේ හිඟන්නා. ඔහු හිඟා කාලා තියෙන්නේ තමන්ගේ දුවට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න. ඒත් තමන්ගේ තාත්තා සිඟා යදින බව ඇය දන්නේ නෑ. හිඟන්නාට මේ ගුරුවරයා ගැන මතකයක් නෑ. මේ විදිහට ගුරුවරයාගේ අෑත්වීමට හේතුව දන්නේ ගුරුවරයාම විතරයි.

එක පැත්තකින් තමන් ආදරය කරන වගේම තමන්ට ආදරය කරන පෙම්වතිය. ඇගේ කියන්න ‍ෙදාසක් නෑ. ඇගේ පියා හිඟන්නෙකුවීම ඇගේ වරදක් නෙමෙයි. එහෙත් හිඟන්නෙකුගේ දුවක හා ආවාහ වීම සම්මතයට අනුව කළ නොහැක්කක්. මේ උභතෝකෝටිකයට පිළිතුරක් කෙසේ සොයන්නද? එක්කෝ, සමාජය තඹ පිච්චියකට මායිම් නොකර අෑ හා විවාහ විය යුතුයි. නොඑසේනම් අෑව අමතක කළ යුතුයි. උත්තරයක් සොයා ගත නොහෙන ඔහු කරන්නේ හිටි අඩියේ පළා යෑම.

ලියෝ තෝල්ස්තෝයි ‘බාල් නැටුමෙන් පසු’ නම් කෙටි කතාව ලියන්නේ 1903දී. මේ කෙටි කතාව රස්තියාදුකාරයාට කියවන්න ලැබෙන්නේ පද්ම හර්ෂ කුරුණගේ විසින් පරිවර්තනය කරන ලද රුසියානු කෙටි කතා සංග්‍රහයෙන්.

මේ කතාව කියන්නේ තමන්වම කමකට නැති මිනිසෙකු ලෙස හඳුන්වා ගන්න ඉවාන් වසිල්යෙවිච්. ඔහු පළාත් බද විශ්වවිද්‍යාලයක සිටින අවධියේ ප්‍රීතිමත්, කෙළිලොල් තරුණයෙක්. ඔහුගේ සිත් දිනා ගත් තරුණිය වරෙන්කා. ඇගේ පියා යුද නිලදරුවෙක්. එක් රැයක වංශාධිපතියකුගේ ප්‍රිය සම්භාෂණයකදී ඔහු වරෙන්කා සමඟ කළ බාල් නැටුමෙන් සතුටට පත් වෙනවා. ඇය කෙරෙහි වූ ඔහුගේ ආදරය නිසා ඔහුට එදින පාන්දර නින්ද යන්නේ නෑ. වධ බෙර හඬක් සමඟ හොරණෑ නාදයක් ඔහුට වරෙන්කාගෙ නිවෙස අසල වෙල් එළියෙන් ඇසෙනවා. ඔහු එදෙසට ඇදෙනවා. හමුදා සෙබළ කාණ්ඩයක් පැන යෑමට තැත් කළ ටාටර් වරයකුට කස පහර දෙමින් රැගෙන යනු ඔහුට දක්නට ලැබෙනවා. එම කණ්ඩායම මෙහෙයවන්නේ වරෙන්කාගේ පියා. හදිසියේ ඉවාන්ව දකින ඔහු ඉවාන් දෙස රවා බලනවා. ඉවාන් ලැජ්ජාවෙන් එතැනින් ඉවත්ව යනවා. ඒ සිදුවීම ඔහුට අමතක කරන්න බෑ. එදා රෑ වෙරිවන තුරු මත්පැන් බිව් පසුයි ඔහුට නින්ද යන්නේ. වරින් වර ඔහු වරෙන්කාව හමු වුණත්, ඇගේ මඳ සිනහව ඔහුට සිහි ගන්වනන්නේ වෙල් එළියේදී දුටු ඇගේ පියා. අෑ කෙරෙහි වූ ඔහුගේ ප්‍රේමය ක්‍රමයෙන් ක්‍ෂය වෙනවා.

යුධ හමුදාවට බැඳීමට තිබූ ආශාවත් ඉවාන්ගෙන් බැහැර වෙනවා. ඔහු කිසිවක් නොකරන කමකට නැති මිනිසෙකු බවට පත් වෙනවා. ඔහුගේ ජීවත් වීමේ ආශාව මෙන්ම වරෙන්කා කෙරෙහි වූ දැඩි ප්‍රේමය එක් රැයක් පහන්වන්නට සුන්නද්දූලි වෙලා යනවා. ඇය කෙරෙහි වූ ගැඹුරු, මුදු හැඟීම අතුරුදන් වෙනවා. අහම්බයකින් ඇස ගැටුණු අනපේක්‍ෂිත සිදුවීමක් ඔහුගේ ආදරයට මෙන්ම මුළු ජීවිතයටද බලපාන්නේ ඒ විදිහට. මේ කතාවේ ටෝල්ස්ටෝයි ගෙන එන තර්කය වෙන්නේ මිනිසා පරිසරය අනුව හැදෙනවා නෙමෙයි. ඔක්කොම වෙන්නේ ඉබේටයි කියන එක.

මෙතැනදී අපි පද්ම හර්ෂ කුරණගේ ලියූ රුසියානු කෙටි කතා හි 148 පිටුව උපුටා දක්වමු.
‘මගේ ප්‍රේමය? එදා හිටන් මගේ ප්‍රේමය ටිකෙන් ටික මැලවිලා යන්න පටන් ගත්තා. අද පුරුදු පරිදි කල්පනා සහිතව මඳ සිනා පාන කොට වෙල් එළියේදී දුටු අන්දමට මට නිලධාරියා මතක් වෙනවා. එයින් මට අපහසුවකුත්, අසන්තෝෂයකුත් දැනුණා. මම ටිකින් ටික ඇය බලන්න යෑම අත හැරියා.
මගේ ප්‍රේමය ක්‍රමයෙන් නැති වෙලා ගියා. සමහර වෙලාවට සිදුවන දේවල හැටි ඔහොම තමයි. ඒ වගේ සිදුවීම් මිනිසෙකුගේ මුළු ජීවිතයටම බලපානවා. මුළු ජීවිතය වෙනස් කරනවා.’

රස්තියාදුකාරයා මෙතැනදී මතුකරන්නේ, මොන තරම් බලවත් ප්‍රේමයක් වුණත් දරාගත නොහැකි සිදුවීමක් හරහා දෙදරා ඉරිතළා යන බවයි. මෙතැනදී වැදගත් කාරණය නම් මේ සිදුවීම ඇතුළේ පෙම්වතිය කොහෙත්ම නෑ. ඇය එහෙම සිදුවීමක් දන්නෙවත් නෑ. ඒත් ඇගෙන් බාහිර, ඇගෙන් තොර එහෙත් ඇගේ පියා සම්බන්ධ අමානුෂික ක්‍රියා කලාපය අවසාන කරන්නේ ඇය අත්විඳින ඔහුගේ ආදරය. ඒ එක්ක විනාශ වෙන්නේ ඔහුගේ ජීවිතය.
මේ අත්දැකීම රුසියාවේ ඉවාන් වසිල්යෙවිච්ට පමණක් සීමා වූවක් කියලා දැන් ඔයාලා හිතනවා ඇති. කරුණාකර තමන්ගේ ගැටවර වියට ආපහු යන්න. එදා පටන් මේ දක්වා කාලය අනුලෝම ප්‍රතිලෝමව සිහිපත් කරන්න. ඔයා ජීවිතය ඇතුළේ, ආදරය ඇතුළේ රස්තියාදු ගහපු කෙනෙකු නෙම් ඔයාගේ ජීවිතයේ මේ වගේ සිදුවීමක් නැති වෙන්න බෑ.

බොහෝ වෙලාවට තමන් ආදරය කරන තරුණියට ඒ තරම් ම වෛර කරන තරුණයො ඔබට හමු වෙලා නැතිද? තරුණයෙක් තරුණියකට උමතු ලෙස ආදරය කරනවා. එහෙත් ඇය දකින විට ඔහුට මැවෙන්නේ අප්‍රසන්න මතකයක්. ඇගෙන් තොර ලෝකයක් ඔහුට නෑ. ඒත් අර අප්‍රිය සහගත මතකය එක්ක ඔහුට ජීවත් වෙන්නත් බෑ. හොඳයි ඔබ ඔහු නම් මොකක්ද ගන්න තීරණය?
ඔබ ආදරය කරන තරුණියගේ පියා, සාහසිකව මරා දැමූ ඔබේ පියාගේ ඝාතකයා බව ඔබට දැන ගන්නට ලැබුණොත්... 

1 comment:

  1. මේක බොහොඅ කෙටියෙන් විග්‍රහ කරන්න අමාරු දෙයක්.
    ප්‍රේමය කියන්නේ සදාකාලික වෙන්න තියෙන ඉඩ අඩුයි. කිසිම දෙයක් ස්තාවර නෑ කියලා බුදු හාමුදුරුවොත් කීව එකේ ප්‍රේමය ආදරය විතරක් හැමදාම එකම විදියට තියෙන්න ඕනෙ කියලා හිතන එකෙත් අවුලක් තියෙනවා.
    ඔබ කියනවා වගේ අපි ආදරය කරන බොහෝ අය ටික දවසකින් අපිට නොගැලපෙනවා. පිටින් අයට ඒක තේරෙන්නේ නෑ වෙන්නත් පුළුවන්. ඒත් එකිනෙකා හා ගැවසෙද්දි අනෙකා තමන්ට කොයි තරම් ගැලපෙනවද කියලා අපිටම වැටහෙනකොට ප්‍රේමය ටිකෙන් ටික දුරු වෙනවා. ඒකේ කිසිම වරදක් නෑ. ඒත් සමහර ප්‍රේම සම්බන්දතා එහෙම කියලාම ඈත් වුනත් කඩා වැටෙන්නේ නෑ. ඒ අය විවාහ වෙන්නේ නෑ. එකට ජීවත් වෙන්නෙත් නෑ ඒත් ප්‍රේමය එතනමයි. නොගැලපීම් එක්ක එකට ජීවත් වීම පැත්තකින් තියලා ප්‍රේමය විඳිනවා. ඒක ලංකාවේ සමාජයේ අඩුවෙන් වුනාට සිවිල් සමාජයක බහුලව වෙන දෙයක්.
    තව සමහර අවස්තා වල පෙරුම් පුරා ආදරේ කරපු අය හිත් රිදෝගෙන වෙන් වෙලා යනව. එකිනෙකාට ගරහා කරගන්නවා. එතකොට ප්‍රේමයක් තිබුනමද කියලාවත් හොඳට හිතලා බැලුවම හිතාගන්න බෑ. ඒත් සමහර ප්‍රේම කතා තියෙනවා මුලින්ම ආදරෙන් බැඳිලා පස්සේ ඒ ආදරය ඈත් කරලා (හිතින් නෙමෙයි) මුළු ජීවිත කාලයම ඒ ආදරය වෙනුවෙන් කැප වෙලාම ඉන්න. හැම හීනෙකම දකින්නෙත් අර ප්‍රේමවන්තයාමයි. ඒත් කවදාවත් ඒ දෙපැත්තම එකිනෙකාට ඒ ආදරය කියාගන්නෙ නෑ. ඒත් ඒ ආදරය මහ ඉහලින් හදවතේ සමරනවා. ඒ වුනාට ඒ අයට එදිනෙදා අවශ්‍ය ආදරය වෙනුවෙන් සමහර විට තවත් ප්‍රේම කතාවන් ඇති. ඒත් අර ආදරය තරම් ඒවා විසල් නෑ.
    මට හිතෙන්නේ බැඳීම් නැති බලාපොරොත්තු නැථි ආදරයක් තමයි හොඳම දේ කියලා. ඒත් ඒක මහ විහිළුවක් විතරයි. මේ හැම දෙයක්ම කම්ප්ලෙක්ස් විතරමයි. ඒත් ආදරය අපිව ජීවත් කරනවනවා.

    can u please remove word verification? (settings)

    ReplyDelete