ජේත්තුකාර රස්තියාදුව |
පෝය දවසේ උදේ වරුවේ රස්තියාදුකාරයාට ගෙවුණේ අල්ලපු ගමේ ඉළව් ගෙදරක. නයෙකු දෂ්ට කිරීමෙන් මරණයට පත්වෙලා තිබුණේ රස්තියාදුකාරයාගේ සමකාලීනයෙක්. පසුගිය වසර දෙක, තුනේදී මේ විදියට නයින්, පොළඟුන් දෂ්ට කිරීමෙන් ගමේ කිහිපදෙනකු මිය ගියා. ඒත් මේ ගම නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයට යාන්තම් කිලෝමීටරයක විතර දුරින් තියෙන්නේ. ඒ නිට්ටඹුව නගරයේ ඉඳන්. රස්තියාදුකාරයාගේ ගැටවර වියේදී ඒ කියන්නේ මීට අවුරුදු විස්සකට විතර ඉහතදි නම් ගම කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගමක්. එදා ගමට විදුලි බලය තිබුණේ නෑ. අදටත් ජල නළ පහසුකම් නම් නෑ.
වී ගොවිතැන තමයි ගම්මුන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වුණේ. එදා ගමේ යන්තමට ලංගම බස් රථයක් ගමන් කරන අබලන් මාර්ගයක් තිබුණා. තවමත් එක බස් රථයම දිව්වට පාර නම් කාපට් කරලා. ඒකටත් එක්ක ත්‍රිරෝද රථ, මෝටර් සයිකල් නම් පාරේ අඩුවක් නෑ. එදා ගමේ වැඩි වශයෙන් තිබුණේ පොල් අතු හෙවිල්ලපු, වරිච්චි බිත්තියෙන් කුඩා නිවාස. අද වෙද්දි ඒ හැම ගෙයක්ම ගඩොලින් බැඳපු, උළු හෙවිල්ලපු ගෙවල් බවට පරිවර්තනය වෙලා. ඒ හැම ගෙදරම විදුලි බලයෙන් රූපවාහිනි, කැසට් යන්ත්‍ර ක්‍රියාත්මක වෙනවා.
රස්තියාදුකාරයා ගැටයා සන්ධියේදී ගමේ එහෙමකට විදුලි පන්දම් භාවිතයක් තිබුණේ නෑ. ගැහැනු උදවිය, මහලු උදවිය නම් රෑ පානේ ගමේ, ගොඩේ ඇවිද්දේ හුළු අත්තක් ආධාරයෙන්. රස්තියාදුකාරයාට නම් විදුලි පන්දමවත්, හුළු අත්තවත් ඕනෑ වුණේ නෑ. රෑ පානේ ඇස් පියාගෙන යන්න පුළුවන් තරමට ගමේ අඩිපාරවල් කට පාඩම්. අදට සාපේක්ෂව එදා වල් බිහි වුණු ඉඩම් ගමේ තැනින් තැත තිබුණා. කනත්තේ මිනී වළක් කපද්දි නම් අනිවාර්යයෙන් නයෙක්, පොළඟෙක් නැත්නම් කුණකටුවෙක්වත් හම්බ වෙනවා. ගොයම් කපන කාලෙට කුඹුරේදිත් සර්පයෝ නම් වරදින්නේ නෑ. සාමාන්‍යයෙන් කුණකටුවෙක්, ගරුඬෙක්, ගෝනුස්සෙක් දෂ්ට නොකරපු කෙනෙක් ගමේ බේතකටවත් හොයා ගන්න බෑ. ගමේ සර්ප වෙද මහත්තයා එක මැල්ලුමෙන් මේ සරුපයන්ගේ විෂ බස්සනවා. එදා ගමේ ගෙවල් තිබුණේ අෑතින් අෑත. සාමාන්‍යයෙන් කෙනකුට අඩුම තරමේ අක්කරයක් විතරවත් ඉඩමක් අයිතිව තිබුණා. වී ගොවිතැන අතරතුර ලැබෙන විවේකයේදී මේ ඉඩම් මයියොක්කා, බතල, බණ්ඩක්කා, මෑ, වගේ බෝගවලින් සරසන්න එදා ගම්මු මැළි වුණේ නෑ.
ඒ කාලෙත් නයි, පොළොංඟු මිනිස්සුන්ට දෂ්ට කළා. ඒත් කලාතුරකින් කෙනෙක් මියගියේ. සර්ප විෂ නසන්නට සමත් වෙද මහත්තුරු එදා හිටියා. කාලයක් අත්තනගලු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකුව සිටි පොලිස් සේවයෙන් විශ්‍රාම ගත්තු තිහාරියේ සර්ප වෙද මහත්තයා ජිවකයකු වගේ. පොළොං විෂට මුළු ශරීරයම නිල් වෙලා, ඉදිමිලා සිහිසන් නැතිව ගිය කිහිප දෙනකු මේ වෙද මහත්තයා ගොඩ දැම්මා. ඒත් එතැනදි මුදල කියන සාධකය ඉස්මතු වුණේ නෑ. පාරම්පරික සිංහල වෙදකම පිහිටන්නේ බොහොම ධාර්මික වෙද මහත්වරුන්ට කියලා රස්තියාදුකාරයා අහලා තියෙනවා. අද දවසේ ලෙඩා දකිද්දි මුදල තීරණය කරන වෙද මහත්තුරු සිංහල වෙදකමේ හාස්කම් නැති කරලා දානවා. අදට වඩා සර්පයන් බහුල එදා නමුත්, සර්ප විෂෙන් මියයන සංඛ්‍යාව අදට වඩා එදා අඩුයි. 'විෂ ඝෝර සර්පයා අත නෑරි මෝඩයා' කිවුවට එදා සර්පයන්ව මරා දමන්න ගම් වැසියන් පැකිළුණා.
විශේෂයෙන් නාගයෙක් නම් මරන්නෙම නැති තරම්.
"අනේ නයි හාමි යන්න. මෙතැන නොදරුවො ඉන්නවා." ඒ විදියට ගම්මු නයාට ආයාචනා කරනවා. නයා ඒ වචන සලකලා හිමිහිට පල්ලම් බහිනවා. බොහෝ වේලාවට මියගිය සමීපතම යන් නාගයන්ව ඉපදිලා තමන්ව ආරක්ෂා කරන බව පැරැන්නෝ විශ්වාස කළා. 'නයාට ගහලා පොල්ල වරද්ද ගන්න එපා' කියලා කියමනක් තියෙනවානේ. ඒ කියන්නේ නයා තමන්ට හිරිහැරයක් වුණොත් ඊට සම්බන්ධ අයගෙන් පළි ගන්නවා කියන එක. සමහරුන්ව අපි 'නයා වගේ' කියලා හඳුන්වනවා. ඒ අය පොඩි වරදකට වුණත් පළිගන්නට පෙලැඹෙන අය.
එදා ගමේ වල්බිහිව කැලෑවට ගිය ඉඩම් අද බිම් කොටස්වලට කැඩිලා. වෙන්දේසි වෙලා. ඒ කියන්නේ සර්පයන්ගේ වාස භූමි එයාලට අහිමි වෙලා. ඒ වෙනුවට එදා බව බෝග පිරුණු ගෙවතු අද වල් බිහිවෙලා. මොකද රස්තියාදුකාරයාගේ පරම්පරාවේ උදවියගෙන් බොහෝ දෙනකු අද ගොවිතැන අත් හැරලා. 'මඩ සෝදා ගත්කල ගොවියා රජකමටත් සුදුසුයි' කියන යෙදුම අදට ගැළපෙන්නේ නෑ. ඒ ඡන්ද කාලෙදි ගොවි මහත්තුරු රවටන්න කියන යෙදුමක් වෙලා. රජ වෙනවට වඩා, ඩෙනිමකට ටී ෂර්ට් එකකට බැහැලා රජවරු වගේ ඉන්නයි, අද ගැමි තරුණයෝ කැමති. නගරයේ කන්තෝරුවක කම්හලක මාසික වේතනයකට සේවයට යෑම, කුඹුරට බහිනවට වඩා හොඳ බවයි ඔවුන්ගේ අදහස. තව පැත්තකින් මඩට බහින අයට වැලඳෙන 'මාරාන්තික මී උණ' ගොවින්ව බියපත් කරලා. ඉතින් අද පුරන්ව ගිය කුඹුරු වල් බිහිවුණු ගෙවතු සර්පයන්ගේ වාසස්ථාන බවට පත් වෙලා. ගෙවත්ත වගා කරනවට වඩා වැඩ ඇරිලා එන ගමන් එළවළු දෙසිය පණහක් ගේන එක සනීපයි වගේනේ.
කොහොම නමුත් එදාට වෙනස්ව අද කෙනෙකුට සර්පයකු දෂ්ට කළ විට ප්‍රතිකාර සඳහා ගෙන යන්නේ ළඟම තියෙන රෝහලට. ඒ සර්ප විෂට එන්නතක් ලබා දෙන්න. දැන් නම් බොහෝ විට රෝහලට ගෙනියන අතරමඟදි ලෙඩා මැරිලා. සර්පයෙක් දෂ්ට කළාම ඒ කෙනා සිහි මුර්ඡාවට පත් වෙනවා. එදා වෙද මහත්තුරු ලෙඩාගේ කකුල තුවාල කරලා බෙහෙත් ගල්වලා ගම්මිරිස් කුඩු එහෙම එක්ක නස්නයක් කරනවා. ලෙඩාට යළි සිහි එනවා. රස්තියාදුකාරයාට වෙලාවකට හිතෙනවා මේ මියගියා කියලා මිහිදන් කරන්නේ සිහිමුර්ඡා වුණු අයද කියලා. ඉස්සර නම් රුක්අත්තන ලෑලිවලින් හදපු මිනී පෙට්ටියේ වළලන අය, සර්ප විෂ රුක් අත්තන ලීයට උරා ගෙන නැවැත පණ ලබාගෙන තියෙනවලු. කොහොම නමුත් අද ජීවක කුලයේ වෙද මහත්තුරු හොයා ගන්න එක නිකිණි හොයනවා වගේ වැඩක්.
රස්තියාදුකාරයාගේ ගම අයත් වන්නේ අත්තනගල්ල ආසනයට. ඊට අල්ලපු ගම මොට්ටුන්න. ඒක අයිති මීරිගම ආසනයට. මේ ආසන දෙකේ සීමාව කුඩා ඇළකින් වෙන් වෙන්නේ. ඇළෙන් එගොඩ සොහොන් පිට්ටනිය. මහා ඇටඹ ගහත් එක්ක තියෙන රූස්ස ගස් නිසා දවාලටත් සොහොන් පිට්ටනිය කළුවරයි. මූසල පාළුවක් තියෙන්නේ. පොඩි කාලේ තාත්තත් එක්ක දං කඩන්න, රූනෝ හදන්න රබර් ඇට අහුලන්න බට තුවක්කුවකට බට ලී කපන්න මේ සොහොන් පිටියට රස්තියාදුකාරයා ගිහින් තියෙනවා.
කාලයක් ගමේ සුන්දරත්වය විඳින්න තරම් විවේකයක් රස්තියාදුකාරයාට තිබුණේ නෑ. උදේ රැයින් එයා අකුරු කරන්න ගෙන්දගම් පොළොවට යන්න වේයන්ගොඩින් කෝච්චියට නැඟගන්නවා. ඒත් ගෙන්දගම් පොළොවෙන් එයා ආපහු ගමට වැටෙනවා. මඟහැරුණු කාලය අල්ලන්නත් එක්ක එයා ගමේ සමකාලීන යෞවනයට සෙට් වෙනවා. දවස පුරාම ක්‍රිකට් ගහලා දී ඇල්ලේ ඔයට පැනලා නාගෙන මේ යහළුවෝ අන්ධකාරයට මුවා වෙලා අන්නාසි වතු, කුරුම්බා වතු පාළු කෙරුවා.
හැන්දෑවට රා බෝතල් තුන හතරක් හොයා ගත්තු දවසක, අල්ලපු ගමේ මයියොක්කා ගස් හතර පහක් අතුරුදන් වුණා. ඒත් මේ අන්ධකාරයේ සැරිසරද්දි කාගෙවත් අතක විදුලි පන්දමක් තිබුණේ නෑ. ඒත් පුදුමෙ කියන්නේ සර්පයෙක් දැක්කෙවත්, පෑගුනේවත් දෂ්ට කළේවත් නෑ. අඩු ගාණේ සර්පයන්ව මතකයට ආවේවත් නෑ. සර්පයන්ටත් හිතා ගන්න බැරිව යන්නැති රස්තියාදුකාර ගැටවරයන්ගේ සංගෙට නැති වැඩ.
රස්තියාදුකාරයා හිතින් හැම ලස්සන කෙල්ලකුටම පෙම් කළා. ඒත් ආදර සම්බන්ධයක් ඇති වුණේ කනත්ත බාලිකාවේ කෙල්ලක් එක්ක. ඒ කියන්නේ ගමේ කනත්ත නෙවෙයි. බොරැල්ල කනත්ත. ඒ පාසලේ උසස් පෙළ හදාරද්දි. තමන්ගේ පෙම්වතා රස්තියාදුකාරයකු බව අහගන්න මොන කෙල්ලද කැමැති. ඉතින් එයා රස්තියාදුකාරයාට නිදැල්ලේ රස්තියාදු ගහන්න හැරලා රුසියාවට ගියා වැඩිදුර ඉගෙන ගන්න. ඒ මතක ගෙන්දගම් පොළොවෙම වළ දාලා ඉටි පන්දමක් පත්තු කරලා, රස්තියාදුකාරයා ගමට සම්ප්‍රාප්ත වුණා. මේ දවස්වල එයා කරුණාසේන ජයලත්ගේ නවකතා හරහායි ආදරය දැක්කේ. එයා 'ගොළු හදවතේ' දම්මි එක්ක තරහ වුණේ සුගත්ට තියපු පොල්ල නිසා. සුගත්ට ඇත්තටම ආදරය කරපු මේනකා තමයි ඒ කාලේ රස්තියාදුකාරයාගේ ප්‍රාර්ථනාව වුණේ. ඒත් ගමට ආවම එයා හෙව්වේ 'ගැහැනු ළමයි' පොතේ කුසුම් වගේ කෙල්ලෙක්.
ඉතින් මෙහෙම රස්තියාදුකාරයාත් කුසුම් කෙනකුට බැල්ම දාන්න ගත්තා. කුසුම් කෙල්ලො තුනක් හිටපු පවුලක වැඩිමලා වෙද්දි, මේ කුසුම් කෙල්ලො තුනක මද්දුම දෝනි වෙච්චි. අපි එයාට 'සුදු හාමිනේ' කියමු. දිගු වරලස, රවුම් මුහුණ, මුවැත්තියකගෙ බැල්ම රස්තියාදුකාරයාව පිස්සු වැට්ටුවා. රස්තියාදුකාරයාගේ පාපැදියට රාජකාරි බහුල වුණා. ඇය පාසල් යද්දි, ටියුෂන් පන්ති යද්දි, පෝයට පන්සල් යද්දි රස්තියාදුකාරයාත් අෑ එක්කමයි. සුදු හාමිනේ ගමේ ළිඳ ළඟ නාද්දි රස්තියාදුකාරයාත් බාල්දියක් අරන් එතැන. බැරිම තැන සුදු හාමිනේ රස්තියාදුකාරයාගේ පෙම්වතිය බවට පත් වුණා. එයාලගේ ආදරය ගමේ ළි¼ද ළඟ දෙවැටේ වෙල් එලියේ හොර රහසේ ගලා ගෙන ගියා. හිරිපොද වැස්සේ නැදුන් ගස් හේඩාවේ මලින් පිරුණු සල්ගස යට ගොඩක් සැ¼¼දෑවන්වල ඔවුන් හමු වුණා. හඳ පායපු රැයක මැදි රැයේ ඇගේ කුටියේ කවුළුව ළඟට යන්නට රස්තියාදුකාරයා පසුබට වුණේ නෑ. කවුළුවේ කිතුල් පොලු අතරින් ඇගේ දෙඅත් අල්ලන් ඔවුන් ෙදාඩමළු වුණා. ඇගෙන් සමු ගෙන සොහොන් පිටිය මැදින් ගෙදර එන රස්තියාදුකාරයාට හොල්මන් කරදර කළේ නෑ. සතා සීපාවගෙන් අතුරු අන්තරාවක් වුණෙත් නෑ. ආදරයට සජීවී අජීවී හැම කෙනෙක්ම උදවු කරනවා ඇති.
කාලය ගත වුණා. ගමට විදුලි බලය ලැබුණා. කටු මැටි ගෙවල් උළු ගෙවල් බවට පත්වුණා. පොදු ළිඳ පාළුවට ගියා. ළිඳ ගාව තිබුණු රූස්ස නුග ගහ, තට්ටු ගෙයක පියගැට පෙළක් බවට පරිවර්තනය වුණා. දී ඇල්ලේ ඔයේ නිල් පාට වතුර බොර පාටින් ගලා ගියා. ගමේ අන්නාසි වතු පර්චස් විස්සේ කෑලිවලට කැඩුණා. ගමේ ගුරු පාරවලට කොන්ක්‍රීට් වැටුණා. රස්තියාදුකාරයා සුදු හාමිනේ මුණ ගැසුණු සොහොන් පිටිය අසල දෙවැට වල් බිහිවුණා. රස්තියාදු සමාගමේ සගයන් එක එක්කෙනාට රැකියා ලැබුණා. ඒ හැමෝම තම තමන්ගේ කූඩු හදාගෙන ඒවා තුළට ගාල් වුණා. සුදු හාමිනේ හත්දවසක් මඟුල් කාලා අෑත ගමකට දීග ගියා. රස්තියාදුකාරයා මිල්ටන් මල්ලවාරච්චිගේ විරහ ගී අහන්න ගත්තා. ඊටත් පස්සේ එයා ආදර සැමැරුම් දී ඇල්ලේ ඔයට විසික් කරලා වේයන්ගොඩින් මහව කෝච්චියේ නැඟලා අයෙම කොළඹ ගෙන්දගම් පොළොව පාගන්න ගියා.
'ගැහැනු ළමයි' නවකතාවේ නිමල් හතුරුසිංහ කුසුම්ව අත්හැරලා පද්මිව විවාහ කර ගන්නවා. ඒ නිසා රස්තියාදුකාරයාට ඒ දවස්වල නිමල්ව පේන්න බෑ. ඒත් රස්තියාදුකාරයාගේ ජීවිතයෙනුත් එයාගේ කුසුම් ටිකින් ටික අෑත් වුණා. සුදු හාමිනේ කියන්නේ කුසුම්ගේ සමරූපය නෙවෙයි නේ. ආදරය කියන්නේ තමන්ගේ පෙම්වතිය ඇගේ සියලු දුර්වලතා අඩුපාඩු සියල්ලම සමඟ භාර ගැනීම කියලා රස්තියාදුකාරයා වටහා ගන්නා විට සුදු හාමිනේ දෙදරු මවක්.
කොහෙද යන්නේ කියලා ඇහැව්වම මල්ලේ පොල් කිව්වලු. රස්තියාදුකාරයා කියා ගෙන ආවේ මොනවාද? ඉවර කළේ මොකකින්ද? කමක් නෑ ජීවිතය කියන්නේ වියලා ඉවර වුණු පන් පැදුරක් නෙවෙයි නේ. අසම්පූර්ණ වියමනක් නේ. අනෙක් අතට අනෙක් අයගේ පෙම් සබඳතා පිළිබඳව හැමදාම කතා කරලා තමන් සුද්දෝධන වගේ ඉන්න රස්තියාදුකාරයා කැමැති නෑ. කොහොම හරි නයෙක්ගෙන් පටන් අරගෙන හීන් සීරුවේ රස්තියාදුකාරයා පට්ට නයෙක් අතඇරිලා කියලා නම් හිතන්න එපා.
කෙනෙක් කැමැති වුණත් අකැමැති වුණත් එයාට අතීතයක් තියෙනවා. මේ අතීතය ලේඛන ගතවෙද්දි ඒකට ඉතිහාසය කියලා නමක් වැටෙනවා. ඒත් කීයෙන් කී දෙනාගේ ජීවිත ද ඉතිහාස ගත වෙන්නේ? ආපහු ඉතිහාසය කියන්නෙත් බොහෝ විට ලේඛනගත කරන්නාගේ අභිරුචිය මත ගොඩ නැඟෙන්නක්. ඉතින් අපි මහා ලොකුවට කතා කරන දෙදහස් පන්සිය වසරක උරුමය කියන්නෙම ආයිත් ප්‍රබන්ධයක්ම තමයි.
එච්චර දුරට යන්න ඕන නෑ. තමන්ගේම එදිනෙදා ජීවිතය දිහා පොඩ්ඩක් නැවතිලා බලන්න. අපේ ජීවිතයේ යථාර්ථය කියලා අපි දකින්නෙම ආයිම ප්‍රබන්ධයක් විතරයි. අපි ඒ ප්‍රබන්ධයේ ප්‍රබන්ධිත චරිත විතරයි. |
Sunday, August 4, 2013
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment