Wednesday, August 28, 2013

ජෙත්තුකාර රස්තියදුව
1959 අවුරුද්දේ විශිෂ්ටතම නිර්මාණයට හිමිවන ‍ෙදාන් පේද්‍රික් සම්මානය දිනා ගත්තේ ‘අක්කර පහ’ නවකතාව. ඒක මඩවල ඇස්. රත්නායක ලිව්වේ. ලෙස්ටර් ජේම්ස් පීරිස් ඒක ‘අක්කර පහ’ නමින්ම සිනමාවට ගෙනාවා. 1959 දී ලියැවුණු නවකතාවක් ගැන 2013 දී කතා කරන්නේ ඇයි? ඒක සාධාරණ ප්‍රශ්නයක්. කොහොම නමුත් මේ කෙටි පූර්විකාවත් එක්ක අපි ‘අක්කර පහ’ සංක්ෂිප්ත කරමු.

සමන්තැන්න කියන්නේ අලව්ව ප්‍රදේශයේ ගමක්. මේ ගමේ ගොවියකු වන බණ්ඩාට සහ ඔහුගේ බිරිය මැණිකාට දරුවන් සතර දෙනෙකි. තිදෙනකු ගැහැනුු දරුවන් වනවිට එකම පිරිමි දරුවා සේනය. ඔහු ඉගෙනීමේ දක්ෂයෙකි. එබැවින් ඔහු පොල්ගහවෙල පාසලක සිට වැඩි දුර ඉගෙනීමට නුවර කුමාර විද්‍යාලයට ඇතුළු වෙයි. සේන සිය ගමේ පෙම්වතිය සඳවතීගෙන්ද වෙන්ව නුවර යන්නේ ආයාසයෙනි. නුවරදී ඔහු සිය පාසල් මිතුරු සමරසේනගේ බෝඩිමේම නවාතැන් ගනී. එහිදී සේන සහ බෝඩිමේ හිමිකාරියගේ දියණියක වන තෙරේසා අතර සම්බන්ධයක් ඇති වේ. එහෙත් ඇය සමරේ සමඟද සම්බන්ධතාවක් පවත්වා ගෙන යයි. සේනගේ අධ්‍යාපනය වෙනුවෙන් උකස් කළ සේනගේ නිවෙස ඔවුනට අහිමි වේ. ගොවි ජන ව්‍යාපාරය යටතේ මිණිපෙන් අක්කර පහක් ලබන සේනලා එහි පදිංචියට යයි. තෙරේසා, සේන අත්හැර නිහාල් නම් තරුණයකු හා විවාහ ගිවිස ගැනීම නිසා, සේන අධ්‍යාපනය ද අතරමඟ දමා නුවර හැර යයි. තාවකාලිකව රැකියා කිහිපයක් කරන සේන තදින් බීමට ඇබ්බැහි වේ. අවසානයේ සුවපත් වන සේන යළි මිණිපේ පැමිණේ. අවසානයේ, සේන තමා වෙනුවෙන්ම බලා සිටි සඳවතීව ආවාහ කර ගනී. රැකියාව වශයෙන් උගත් සේන ගොවිකම තෝරා ගනී. ‘අක්කර පහ’ නිමාවේ.

මේ කතාවේදී හමුවන සේන අහිංසක ගැමි තරුණයෙකි. ඔහු නාගරික තරුණියක වූ තෙරේසාගේ ව්‍යාජ ප්‍රේමයට රැවටේ. ඇය සේන මෙන්ම සේන ගේ මිතුරු සමරේද රහසින් ඇසුරු කරයි. දෙදෙනාම අත්හැර නිහාල් හා විවාහ ගිවිස ගන්නටද නොපැකිළේ. එයින් සිත් රිදවා ගත් සේනව අස්වසන්නටද ඇයට ඇවැසි නැත. ඇය කිසිවක් සිදු නොවූ අයුරින් හැසිරේ. නාගරික තරුණිය චපලය.

මීට වෙනස්ව සඳවතී ස්ථිරසාර අදහස් ඇති තරුණියකි. ඇය සේනට පිදූ ආදරය වෙනකෙකුට නොදෙයි. සේන වෙනුවෙන් ඇය කොතෙකුත් බලා සිටියි. ගැමි තරුණිය අහිංසකය. අවංකය. ඇය ආදරයෙහිලා විශ්වාස කටයුතු දායකය. සිය ප්‍රේමයට කිසිදා පිටු නොපායි.
උන්හිටි තැන් අහිමි වන බණ්ඩා මිණිපෙන් ලැබෙන අක්කර පහේ පදිංචියට යයි. ඔවුනට දැන් අගහිඟ නැත. එහි වෙල් විදානේ කමට පත් වන්නේ බණ්ඩාය. අනතුරුව ඔහු ගම්මුලාදෑනියා බවට පත්වේ. ජයට මඟුල් කා සේනගේ අක්කා කුමාරි ගමේ පාසලේ ගුරුවරයකු සමඟ විවාහ වේ. අධ්‍යාපනය අතරමඟ නවතා දමන සේනද මිණිපේට පැමිණ ගොවිතැන සිය රැකියාව කර ගනී. ගුරුවරියක වන සඳවතී ආවාහ වන්නේද ගොවියකු වූ සේන සමඟය. ගොවිතැන මොන තරම් උතුම් වෘත්තියක්ද?

‘කවදා හෝ ජාතියේ සංවර්ධනය ඇති විය යුත්තේ අපේ ප්‍රධාන රක්ෂාව වන ගොවිතැන තුළින්ය යන අදහස මගේ සිත තුළ වැඩෙන්නට පටන් ගත්තේ මා සිදාදියට විත් එහි පදිංචි වූවාට පසුය.’
මේ ඔබ කියවූයේ කර්තෘගේ සටහනකි. බොහෝ විට ගම, ගැමියා, ගැමි තරුණිය, ගැමි සමාජය මෙන්ම ඒ හා බැඳුණු ගොවිතැන උත්කර්ෂයට නංවන්නේ ගමේ ඉපිද, එහිම ජීවත්වී මිය යන්නට ඉරණම් වූ සැබෑ ගැමියකු නොවේ. ඔවුනට ගම යනු ගැමි ජීවිතය යනු කෙසේ හෝ ගෙවා දැමීමට තීන්දු වූ ඉරණමක් පමණි. ඊට වෙනස්ව ගමෙන්, සිදාදියට අධ්‍යාපනයේ පිහිටෙන් සංක්‍රමණය වී එහිම පදිංචි වන ගැමියාට ඇති අතීත වේදනාව ගමයි. තමා කිසිදා යළි පදිංචියට නොයන ගම ඔහු මහත් අභිරුචියෙන් වර්ණනා කරයි. ගැමි තරුණියගේ ගුණ වර්ණනා කරන නමුදු ඔවුන් ගැමි ලියක සරණ පාවා නොගනී. මහත් දුක් මහන්සියෙන් ඉගෙන ලබා ගත් රැකියාව අත්හැර ගොවිතැන් බත් කරන්නට ගමට යන්නේද නැත. නගරයේ පදිංචිව සැබෑ නාගරිකයන්ට ද වඩා නාගරික වීමට තැත් කරන ඔවුන්ට මඟහැරුණු ගම සම්බන්ධයෙන් ඇත්තේ කාංසාවකි. පරිකල්පනයේ දී ඔවුන් ගම උත්කර්ෂයට නඟන්නේ එබැවිනි.

සිදාදියේ තරුණියකට රැවටී, යළි ගමෙහි පිහිට පතා ආපසු යන ගැමි තරුණයා යනු ඔවුනගේ හිතලුවකි. ඊට හාත්පසින්ම වෙනස් ආකාරයට ඔවුන් සිදාදියේ තරුණියකගේ පිහිටෙන්, නගරයේ ස්ථාපිත වීමට යත්න දරයි. නගරයේ රැකියාවක් ලැබ, සහෝදර නිලධාරීන්ට වළ කපා ඉහළට නඟින්නේ මොවුන්ය. කිසියම් ආයතනයක ඉහළ නිලධාරියකු, තම යටත් සේවකයන් පීඩාවට පත් කරයි නම්, සහෝදර නිලධාරීන්ට වින කටියි නම් නොඅනුමානව ඔහු ගමෙන් පැමිණි අයකු වීමේ සම්භාවිතාව ඉහළය.

මෙතැනදී රස්තියාදුකාරයාට ජයසේන ජයකොඩි ලියූ ‘රන් දහඩිය’ මතකයට එනවා. රැකියා විරහිත උගත් තරුණයන් පිරිසක් මහ වන මැද ගොවි බිමක් ගොඩනඟනවා. ඒ සඳහා ඔවුන් නොවිඳිනා දුකක් නෑ. නියඟයෙන්, වල් අලින්ගෙන්, ගංවතුරෙන් පීඩා විඳින ඔවුන් අවසානයේ ජය ගන්නවා. ලේ හැලෙන විප්ලවයකින් තමන්ගේ අයිතිය සොයා ගිය 71 කැරැලිකරුවන්ට විකල්පයක් ලෙසයි මේ ගොවි සංග්‍රාමය ‘රන් දහදිය’ නමින් එළි දකින්නේ.
ලංකාවේදී යමක් කමක් ඇති මධ්‍යම පංතිකයාට අවශ්‍ය තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්න. ‘අපි කාටවත් කරදර කරන්නේ නෑ. අපිටත් කවුරුත් කරදර කරන්න එපා’ යනු ඔවුන්ගේ සටන් පාඨයයි. ඒත් ඔවුන්ගේ නිහඬ ජීවිතයට බාධා වෙන්නේ 71 කැරැල්ල. කැරැලි ගසන තරුණයන් ඔවුනට වධයක්. ඒ නිසයි පරිකල්පනීය වගා සංග්‍රාමයක් අවශ්‍ය වෙන්නේ. කැරැලිකරුවා වෙනුවට, ගොවි තරුණයා යන සංකල්පය ගොඩ නැංවෙන්නේ එහෙමයි.

ගමෙන් නගරයට පැමිණෙන උගත් ගැමි තරුණයා යන සංකල්පය බොහෝ නවකතාවන්ට ආගන්තුක වූ වස්තු බීජයක් නෙවෙයි. බොහෝ විට මේ නවකතා රචනා වෙලා තියෙන්නෙත් එහෙම ගමෙන්, නගරයට පසුකාලීනව සංක්‍රමණය වූ අයටයි. වඩා පහසු දිවියක් අපේක්ෂාවෙන් ගම අත්හැර නගරයට පැමිණෙන ඔවුන් තමන්ගේ වරදකාරී බව මඟ හැර ගත්තේ ගම උත්කර්ෂයට නංවන ප්‍රබන්ධයන්ගෙන්.

බොහෝ විට මෙහෙම ගමෙන්, නගරයට එන ප්‍රබන්ධිත චරිත නගරයේදී නන්නත්තාර කරවීමට මේ බොහෝ කතුවරුන් අමතක කරන්නේ නෑ. ඒත් ඊට වෙනස්ව මාර්ටින් වික්‍රමසිංහගේ සංක්‍රමණික ගැමි තරුණයා ධනවතෙක්, බලවතෙක් වෙනවා. ඔවුන් නගරයට නාගරිකයන්ටත් වඩා අනුගත වෙනවා. වික්‍රමසිංහගේ ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය වගේම කරුවල ගෙදර යන කෘතිවල අපට මේ කියන තරුණයා මුණගැහෙනවා. ඒ ගාල්ලේ සුන්දර ගමක් වුණු කොග්ගලින් කොළඹට පැමිණි තරුණයන්. මේ එක් එක් ප්‍රබන්ධිත තරුණයන්ගේ කතා තුළ සුළු සුළු වෙනස්කම් තිබුණත් ඔවුන් මූලිකව ධනය හා බලය සොයා යන්නන්.
වික්‍රමසිංහ ගම්පෙරළිය ලියන්නේ 1944දී. ඒ කලියුගය, යුගාන්තය ඇතුළත් තුන් අෑඳුතු කතා පෙළක පළමුවැන්න වශයෙනි. කතාවට පාදක වන්නේ කොග්ගල ගම් පියසය. ඉංග්‍රීසි උගත් තරුණයකු වන පියල් ගමේ ප්‍රභූවරයකු වන කයිසාරුවත්තේ මුහන්දිරම් ගේ දියණියක වන නන්දාට පෙම් කරනවා. එහෙත් කුල මානය හිසින් ගත් ඔවුන් නන්දාව විවාහ කර දෙන්නේ කුලීන එහෙත් වැඩි වත් පොහොසත්කමක් නැති ජිනදාසට. පියල් ගම හැර කොළඹට යනවා. එහිදී ශූර ව්‍යාපාරිකයකු වන ඔහු ධනවතකු වෙනවා. වෙළෙදාමක් සඳහා සිංහලේ ගිය ජිනදාස මිය ගිය බව සිතන නන්දා පියල් හා ආවාහ වෙනවා. ඔවුන් පියල් කොළඹ ඉදි කළ නව නිවෙසට පදිංචිය සඳහා යනවා.

මෙතැනදී අපට හමුවන්නේ වෙනස් වන ලෝකයට අනුගතව තම බලාපොරොත්තු සඵල කරගත් තරුණයෙක්. මෙතැනදී ධනය, බලය නොඅඩුව ඇති පියල් නන්දා ආවාහයෙන් ගමේ කුලීන පවුලකට සම්බන්ධ වේ. ධනය, බලය හමුවේ කුලය යන්න නොගිණිය හැක්කක් විය යුතු වුවද, ගමෙන් නගරයට ආවෙකුට ගමෙහි අධිපති වන කුලය යන සාධකය මඟහැරෙන්නේ නැත.
බොහෝ විට වික්‍රමසිංහයන්ගේ ප්‍රබන්ධ තුළ ගැමි තරුණියන් කෙලෙසන්නේද, අනියම් බිරින්දෑවරු සරණ යන්නේද ප්‍රභූවරුන්ය. එහෙත්, ඒ බැව් සඳහන් වන්නේ කුලීනයන් කෙරෙහි වෛරයක් ඇති නොවන ආකාරයටය.
‘ඇය ගමේ කුලීන තරුණයකු අතින් කුල දම් සිඳ ගත් තැනැත්තියකි.’

එය කුලීන තරුණයකු අතින් වන දඟකාර කමක් නැතිනම් විය යුත්තක් සේ අපට හැඟේ. හතළිස් ගණන්වල කොග්ගල ගමෙහි කුලීන තරුණයෙක්ව ඉපදුණා නම්!
වික්‍රමසිංහ යුගාන්තය ලියන්නේ 1949 දීය. අනතුරුව 1957 දී ලියන කලියුගයෙන් ගම්පෙරළිය හා යුගාන්තය සම්බන්ධ කරයි.

මාලින් සහ අරවින්ද අපට හමුවන්නේ ජැටියේදීය. ඒ ඔවුන් එංගලන්තයෙන් ආපසු ලංකාවට පැමිණි විටය. මාලින් උපතින්ම නාගරිකයෙකි. ඔහු සවිමන්් කබලාන නම් ධනවත් ව්‍යාපාරිකයාගේ පුතාය. එහෙත් අරවින්ද විහාරහේන යනු දෙණියායේ ගොඩේ මුදලාලි කෙනකු වන වස්තුහාමිගේ පුත්‍රයාය. අරවින්ද වෛද්‍යවරයකු ලෙස කොළඹ මහ රෝහලේ සේවය කරයි. මාලින් පියාගේ කර්මාන්ත ශාලාවක වැඩ පුහුණු වෙයි. දෙදෙනාම එංගලන්තයේදී සමාජවාදී අදහස් දැරූවන්ය. සමාජය වෙනස් කරන්නට යෑම සිය දිවි හානි කර ගැනීමක් ලෙස පවසන අරවින්ද පවතින ක්‍රමයට හැඩ ගැසේ. මංගලිකා සමඟ කෙටි ඇසුරක් පැවැත්වූ නමුදු ඔහු විවාහ වන්නේ මාලින් ගේ නැඟණිය වූ චමරි සමඟය. එහෙත් තම පියාට එරෙහි වන මාලින් කම්කරුවන් සංවිධානය කරයි. අවසානයේ ඔහු මන්ත්‍රණ සභාවට මන්ත්‍රිවරයකු ලෙස පත්වේ.

මෙතැනදී දෙණියායෙන් ආ අරවින්ද නාගරිකයන්ට වඩා නාගරිකයකු වේ. පීඩිත පන්තිය වෙනුවෙන් සටන් කිරීමට වඩා ඔහුට අවශ්‍ය නාගරික ප්‍රභූ සමාජයේ ස්ථාපිත වීමටය. එහෙත් අරවින්ද කළු චරිතයක් නොවේ. ඔහු ඡන්දය සඳහා මාලින්ට මුදල් ලබා දේ. එහෙත් ප්‍රසිද්ධියේ මාලින්ට සහාය දී චමරිගේ පියා තරහ කර ගත්තේ ද නැත.
1949 දී ලියන ලද යුගාන්තය 2013ට වුව වලංගු වේ. අරවින්ද මෙන් ගමෙන් සරසවියට එන ගැමි තරුණයා මුලින් විප්ලවවාදියෙකි. රැඩිකල් දේශපාලන චරිතයකි. උපාධිය ලැබ සරසවියෙන් පිටමං වන්නේ විප්ලවය සරසවි ගේට්ටුවෙන් ඇතුළත තනිකරය. ඒ තැන ගන්නට තව තවත් ගැමි තරුණයෝ සරසවියට පැමිණෙති. මෙය එක්තරා ආකාර චක්‍රීය ක්‍රියාදාමයකි. ඉන්පසු විධායක ශේ‍ර්ණියේ රැකියාවක් කොළඹින් ගෙයක් සහිතව විවාහයක්. ලිප්ටන් වට රවුමේ පිකටිං කරන රැකියා විරහිත උපාධිධාරීන්ට පහර දෙන්නට වුව ඔවුන් නොපැකිළේ. මේ අද දවසේ අරවින්දලාගේ කතාවයි.

වික්‍රමසිංහ ‘කරුවල ගෙදර’ රචනා කළේ 1963දීය. වැර වෑයමෙන් මුදල් උපයා ගත් ගැමියකු වූ තිතන්ට පුතුන් දෙදෙනෙකි. වැඩිමලා සිරිමල් ඉගෙනීමේ දක්ෂයෙකි. බාලයා නිමල් ඉගෙනුම නවතා ගමේ පොල් ගස් බදු ගන්නා තරුණයෙකි. ඔහු ගම හැර නොයන, හැඩිදැඩියෙකි. සිරිමල්, විජේසූරිය නම් ධනවත්, ව්‍යාපාරිකයකු ළඟ සේවය කරයි. ඔහුගේ දියණිය ෂීලා සමඟ සිරිමල් හාද වෙයි. ඒ ෂීලාට ඇති ආදරයටත් වඩා ඇය ඉහළ නැඟීමේ හිණිමඟක් සේ සිතාය. පසුව ෂිලා විවාහ කර ගන්නා සිරිමල් බම්බලපිටියේ පදිංචි වේ. ක්‍රමයෙන් ධනවතකු වන ඔහු යළි කොග්ගලට ඇලුම් කරයි.
ගමේ ඉතාම සුන්දර තරුණියකත්, ෂීලාත් සිරිමල් සිතින් සංසන්දනය කළේය. ගැමි තරුණියගේ රූ සපුව ඇසට සහ අතට ද හසුවන්නකි. ෂීලා ගේ රූ සපුව සියුම් සුවඳ පැනින් එන සුවඳ මෙන් ඉඳුරන් ගේ ආධ්‍යාත්මයට හසු වන්නකි.’

(පිටු 126 - 127 කරුවල ගෙදර)
යුගාන්තයේදී අපට මදිරා දෙමාලසිංහ, මංගලිකා සැවුළුගල වැනි බහු පුරුෂ කාන්තාවෝද හමුවේ. එහෙත් චමරි, නීලා වැනි එක් හිමියෙක් පතන තරුණියෝද වෙත්. නාගරික තරුණියට එරෙහිව ගැමි තරුණිය උත්කර්ෂයට නංවන්නක් යුගාන්තයේ නැත. චමරි, ෂීලා වැනි නාගරික ධනවත් තරුණියන් විචාරශීලී, බුද්ධිමත් තරුණියන්ය. ඔවුන් දෙදෙනාම සිය මවුපියන්ට එරෙහිව තමන් සිත් ගත් ගැමි තරුණයන් හා විවාහ වේ.

චමරි හා ෂීලා යනු ගමෙන් නගරයට සංක්‍රමණය වන තරුණයන්ගේ ෆැන්ටසිමය ස්ත්‍රියයි. ඔවුන් බෙහෙවින් රූමත් විය යුතුය. ඊටත් වඩා ධනවත් විය යුතුය. හොඳ සමාජ තත්ත්වයක් තිබිය යුතුය. නාගරික සමාජයේ සිරිත්, විරිත් අතැඹුලක් සේ දත යුතුය. ඒ එසේ වුව පති භක්තිය, දිවි හිමියෙන් රැකිය යුතුය.
මඩවල ඇස්. රත්නායක ගේ ගුණගරුක ගැමි තරුණිය වෙනුවට වික්‍රමසිංහ ගෙන එන ෆැන්ටසිමය නාගරික තරුණිය ඇයයි. දැන් ඔබ හමුවේ විකල්ප දෙකක් ඇත. එක්කෝ ගමට ගොස් ගොවි තරුණයකුව යහපත් සඳවතිය සොයා ගත යුතුය. නැතිනම් මාරාන්තික ඉගෙනුමක නියැළී සුන්දර චමරි හෝ ෂීලාව සොයා ගත යුතුයි.

No comments:

Post a Comment