Sunday, August 11, 2013

ජේත්තුකාර රස්තියාදුව

රස්තියාදුකාරයා  මීට ඉහත කොලමක ‘මැක්සිම් ගෝර්කි’ගේ ‘මකාර් චුද්‍ර’ කෙටි කතාව පිළිබඳ කතා කෙරුවා. එතැනදි රස්තියාදුකාරයා විමසුමට ලක් කළේ ගැහැනියකගේ නිදහස නිසා සදහටම අහිමි වන පිරිමියාගේ නිදහස පිළිබඳව. රුසියාවේ අස්සක් මුල්ලක් නෑර කරක් ගහපු  ගෝර්කි සුන්දර රස්තියාදුකාරයෙක්. රුසියාවේ පාදඩයෝ, ගණිකාවො, හොරු, කොල්ලකාරයෝ වගේ පාදඩ පීඩිත පන්තිය ගෝර්කිට ආගන්තුක වුණේ නෑ. ඊට වෙනස්ව  වෘත්තියෙන් වෛද්‍යවරයකු වුණු ‘ඇන්ටන් චෙකොෆ්’ එයාගේ කෙටිකතාවලට වස්තු බීජ කර ගත්තේ  රුසියාවේ මධ්‍යම පාන්තික ජන ජීවිතය.

චෙකොෆ්ගේ නමත් එක්ක රස්තියාදුකාරයාට එකපාර මතක් වෙන්නේ ඔහුගේ ‘බල්ලා කැටුව ඇවිදින කාන්තාව, නම් කෙටි කතාව. මේ කෙටිකතා රස්තියාදුකාරයා මුලින්ම දැක්කේ 1963 අවුරුද්දේ පළවුණු පද්ම හර්ෂ කුරණගේ සම්පාදනය කරපු  ‘රුසියානු කෙටිකතා’ නම් ග්‍රන්ථයේ. ඒත් චෙකොෆ් ‘බල්ලා කැටුව ඇවිදින කාන්තාව‘ රචනා කළේ 1899දී.

රස්තියාදුකාරයා තමන්ගේ නන්නත්තාර ජීවිතයේදී වැඩිම වාර ගණනක් කියවපු කෙටිකතාව විදියට ‘බල්ලා කැටුව ඇවිදින කාන්තාව‘ සඳහන් කරන්න පුළුවන්. ඒ කතාව කියවන හැම වාරෙම තමන්ට අහු නොවුණු තවත් යමක් තියෙනවා කියලා රස්තියාදුකාරයාට හිතෙනවා.  ඒ කියන්නේ යමක් මඟහැරුණා වගේ හැඟීමක්. ගොඩක් වෙලාවට ඒ හැඟීම වෙන්න ඇති නැවැත නැවැත ඒ කතාව කියවන්න රස්තියාදුකාරයාව පොලඹවන්නේ. ඇත්තටම ඒ කතාවෙ එහෙම මඟහැරෙන යමක් තියෙනවද? කොහොම නමුත්, ඒ මඟහැරුණු දේ වටහා ගන්නට පෙරාතුව අපි මේ කෙටිකතාව සාරාංශ ගත කරමු.

මොස්කව් හි වෙසෙන මධ්‍යම පාන්තිකයකු වන ගුරොෆ් තිදරු පියෙක්. වාග් විද්‍යා උපාධිධාරියකු වන ඔහු  බැංකුවක  විධායක ශේ්‍රණියේ නිලධාරියෙක්. විසි වැනි වියේ පසුවන  ආන්නා විවාහක කාන්තාවක්. ඇයට හතළිස් හැවිරිදි ගුරොෆ් හමුවන්නේ යාල්ටාවේදී. එහිදී ඔවුන් එකිනෙකාට පෙම්  කරන්න පටන් ගන්නවා. එහෙත් එක් දවසක ඔවුන් වෙන් වන්නේ යළි හමු නොවන අදිටනින්. ඔවුන් තම තමන්ගේ නිවෙස් බලා යනවා. ටිකෙන් ටික ගුරොෆ් සාමාන්‍ය මධ්‍යම පාන්තික මොස්කව් ජීවිතයට හැඩ ගැසෙනවා. එහෙත් ආන්නාගේ මතකය  අමතක කිරීමට අපොහොසත් වන ගුරොෆ් ආන්නා සොයා අෑ වෙසෙන  නගරයට යනවා. අනතුරුව ආන්නා මසකට වරක් ගුරොෆ් සොයා  මොස්කව් ඒමට පටන් ගන්නවා. අවසානයක් නැති අවසානයකින් කෙටිකතාව අවසන් වෙනවා.

ඇත්ත. මේ වගේ සම්බන්ධතා ලංකාවේදීත් ඕනෑ තරම් අහන්න ලැබෙනවා තමයි. විශ්ව සාහිත්‍යයේ රස්තියාදු ගහද්දි, එහෙම අසම්මත සම්බන්ධතා නැති පාරිශුද්ධ විවාහ ජීවිත ගතකරන මිනිස්සු ඉන්න රටවල් ලොවෙත් නැති බව පැහැදිලි වෙනවා. ඒත් එච්චර සුලබ කතා තේමාවක් වන ‘බල්ලා කැටුව ඇවිදින කාන්තාව’ කතාවට ඇයි කෙනෙක් මෙච්චර  ආකර්ෂණය වෙන්නේ? ගුරොෆ්ගේ එදා වයසේ දැන් ඉන්න පිරිමි නම් ආන්නාගේ ළාබාල  තාරුණ්‍යයට ආකර්ෂණය වෙන්න ඇති. ගුරොෆ්ට අනන්‍ය වෙලා සුන්දර ආන්නා එක්ක පරිකල්පනයේදී සමහන් සුව විඳිනවා වෙන්න පුළුවන්. මෙතැනදීත් ප්‍රශ්නයක් මතු වෙනවා. මැදිවියේ පිරිමියා සහ ළාබාල තරුණිය ඇයි අපව මෙතරම් කැලඹීමකට පත් කරන්නේ?

අපි මේ කතාව පොඩ්ඩක් දිගහැරලා බලමු. මෙතැනදී ප්‍රධාන වශයෙන් චරිත හතරක් ගැන අපට කතා කරන්න සිදු වෙනවා. ඒ ගුරොෆ්, ආන්නා, ගුරොෆ්ගේ බිරිය සහ ආන්නාගේ සැමියායි.
මේ කතාවේ ගුරොෆ් ගැන සඳහන් වන්නේ මේ ආකාරයට “ඔහුගේ පෙනුමෙහි ද, චර්තයෙහිද, මුළු පැවැත්මෙහිද  ගැහැනුන් ඇදගන්නාසුලු, වශීකරනසුලු කිසිවක් ගැබ්ව තිබේ. ඔහු මෙය දැන සිටියේය. කිසියම් ගුප්ත බලයකින් මෙන් ඔහුද ගැහැනුන් වෙත ඇදී යයි.”
(156 පිටුව රුසියානු කෙටිකතා පද්ම හර්ෂ කරණගේ ඔබගේ පහසුව සඳහා මේ සටහනෙහි එන සියලු උපුටන පද්ම හර්ෂ කරණගේ සම්පාදනය කරන ලද රුසියානු කෙටිකතා සංග්‍රහයේ එන ‘බල්ලා කැටුව යන කාන්තාව’ කෙටිකතාවෙන් ගත් බව සලකන්න.)
ආන්නා විසිවියේ පසුවන රූමත්, දයාබර කාන්තාවක් ලෙස කතාවේ හැඳින්වේ. නොපැසුණු යොවුන් වියත්,  ලැජ්ජාශීලී බවත් ඇගෙන් විද්‍යමාන වේ.
ගුරොෆ්ගේ බිරිය ඔහුගේ වයසට වඩා එකහමාරක් වයස් ගත පෙණුමකින් යුක්තය, ඇය තමා බුද්ධිමත් ගැහැනියක ලෙස තමාවම හඳුන්වා ගන්නියකි. ගුරොෆ්ට අනුව ඇය මෝඩ, පටු කල්පනාවෙන් යුත් අවිනීත ගැහැනියකි.

ආන්නාගේ සැමියා  ගැන කෙටිකතාවේ මෙසේ සඳහන් වේ.
“ඇත්ත වශයෙන් ඔහුගේ උස සිරුරත්, දෙකම්මුලේ රැවුලත්, හිස මුදුනෙහි තරමක පෑදුණු තට්ටයත් දාසයකු සිහි කරවයි. ඔහුගේ කබායෙහි පැලඳි කිසියම් විද්‍යායතනයකින් ලැබුණු ලාංඡනය හරියටම දාසයකුගේ නොම්බරයක් වැන්න”
(පිටුව - 173)
මේ කතාවේ ගුරොෆ්ගේ බිරිය හා ආන්නාගේ සැමියා හඳුන්වා දෙන්නේ ප්‍රියමනාප බවකින් තොර ආදරය යන විෂයෙහි ආගන්තුක වූවන් ලෙසය. එබැවින් ගැහැනුන්ගේ සිත ඇදගන්නාසසුලු ගුරොෆ් හා නොපැසුණු යෞවනයෙන් යුත් රූමත් ආන්නාගේ ප්‍රේම සම්බන්ධය සිදුවිය යුත්තක් ලෙස අපට ගම්‍ය වේ.
අනෙක් අතට මොස්කව් නගරයේ මධ්‍යම පාන්තික  ජීවිතය චෙකොෆ් උපහාසයට ලක් කරයි. ඒකාකාරී කුසීත ජීවිතයක් ගත කරන මේ මොස්කව් වැසියන් ගුරොෆ්ට ගෙන එන්නේ කොඳු ඇට සීතල කරන අපහසුවකි. මේ නීච මධ්‍යම පන්තියෙන් පලා යන්නට ගුරොෆ්ට උපකාරි වන්නේ ආන්නා කෙරෙහි බැඳුණු ප්‍රේමයයි.
කෙනෙක් තම අවිනීත බිරියගෙන් ගැලවීම, ඒකාකාර කුසීත දිවියකින් අෑත් වීම සාධාරණයි. ඒ සඳහා සුන්දර තරුණියක හා පෙමින් බැඳීමේ වරදක් කිව නොහැකිය.

චෙකොෆ් අපගේ මනස ගුරොෆ් හා ආන්නාගේ අසම්මත ප්‍රේමය හා එකඟ වන්නට පොලඹවන්නේ එසේයි.
මෙතැනදී ගුරොෆ් ගතකරන ජීවිතය අපට දෙවිධියකට හඳුනා ගන්න පුළුවන්. මොස්කව්හි මධ්‍යම පාන්තිකයකු වශයෙන් ගතකරන සමාජ ජීවිතය හා හැමෝටම හොර රහසේ ආන්නා හා ගතකරන ජීවිතය වශයෙන්. එහෙත් මොස්කව්හි සිය පවුල් ජීවිතය හා සමාජ ජීවිතය ඔහු මතුපිටින් ගත කරන්නක්. එය ආශාවෙන් තොර ඔහුට ගතකිරීමට සමාජ වටපිටාව  තීන්දු කළ ජීවිතය. ඊට වෙනස්ව ආන්නාගේ ඇසුර  ඔහු ආශා කරන ඔහුගේ සත්‍ය ජීවිතය. මෙතැනදී කෙනකුට ගුරොෆ් දෙබිඩි ජීවිතයක් ගත කරන්නකු ලෙස හැඳින්වීම පහසුයි. ඒත් මේ දෙබිඩි ජීවිතය මොස්කව්හි ගුරොෆ්ට පමණක් ආවේණික  ජීවිතයක් නෙවෙයි. හැම විටම පාහේ  රුසියානුවකුට පමණක් නොව ලාංකිකයකුට පවා පොදු වන්නක්. කෙනකුට ගත කරන්න සිදුවන ජීවිතය හා  ඔහු ගත කරන්නට කැමැති ජීවිතය අතර හැම විටම පරතරයක් පවතිනවා. නැතිනම් කෙනෙක් හොර රහසේ තමා කැමැති ජීවිතය පවත්වාගෙන යනවා. දහවල හොඳ සැමියකු වගකීම් බර විධායක ශේ‍ර්ණියේ නිලධාරියකු ඇඳිරියත් සමඟ රාත්‍රි සමාජ ශාලා කරා නැතිනම් කැරොකේ ශාලා කරා ඇදෙන්නේ මේ ආශා කරන ජීවිතය සොයා ගෙනය.
 ගුරොෆ්, ආන්නා හමුවීමට පෙරද කාන්තා ඇසුර ප්‍රිය කළ අයෙකි. ඔහුට අතීතයේ හමු වූ ගැහැනුන් ගැන වරෙක සිහිපත් වෙයි. එහිදී ගැහැනු තෙවර්ගයක් හමුවේ.
සැහැල්ලු සිත් ඇති කරුණාවන්ත ගැහැනු, ඔහු ඔවුනට ලබා දුන් සැපත කෙටි වුවද ඔවුන් ඔහුට ස්තුතිපූර්වක විය.

ස්ත්‍රී, පුරුෂ සම්බන්ධ උපදින්නේ ප්‍රේමයෙන්  හෝ කාමරාගයෙන් හෝ නොව ඊට වඩා උසස් දෙයකින් යැයි ඉමක් කොනක් නැතිව උජාරු ලෙස ‍ෙදාඩවන, අවංකකමින් තොරව ප්‍රේම කරන ඔහුගේ බිරිය වැනි ගැහැනු.
ජීවිතයෙන් ලැබෙන දෙයට වඩා යමක් උදුරා ලබා ගැනීමට  මුරණ්ඩු ආශාවකින් යුතු භයානක බැල්මක් ආරුඪ වූ නෙන් ඇති, පැහැපත් උදාසීන ගැහැනු. ඔවුහු නව යොවුන් විය පසු කළ චපල, තැන්පත් නැති හිතුමතයේ ක්‍රියා කරන මෝඩ අය වූහ.

(පිටුව 161)
එහෙත් ගුරොෆ්ට අනුව ආන්නා පෙර කී ගැහැනුන්ගෙන් වෙනස්ය.
“එහෙත් මැය කෙරෙහි නොපැසුණු යොවුන් වියේ ලැජ්ජා, බියත් කුලෑටි ගතියත් දක්නට තිබිණි. හදිසියේ කිසිවකු ‍ෙදාරට තට්ටු කළ විට ඇති වන්නාක් වැනි චිත්තාකූල ස්වභාවයක් ඇගේ හැසිරීමෙහි පිළිබිඹු වී ඇත.”
(පිටුව 161)
ගුරොෆ් තමා ආන්නාට ආදරය කරන්නේ ඇයි යන්නට සුපැහැදිලි හේතුවක් නැත. ඒ වෙනුවට ඔහුට පැවැසිය හැක්කේ නැතිනම් සිහිපත් වන්නේ ඔවුන් එක්ව ගත කළ කාලයේ ඇගෙන් විද්‍යමාන වූ භාව භාව ලීලාය. මෙහිදී ඔහුට ආන්නා හුස්ම හෙළන හඬ, ඔහු වෙත හෙළන බැල්ම මෙන්ම ඇගේ ඇඳුමේ ‘සර සර’ හඬද මඟ නොහැරෙයි.

 පිරිමියකු කාන්තාවක් හා ආදරයෙන් බැඳෙන්නේ ඇයි යන්නට පැහැදිලි නිවැරැදි පිළිතුරක් ලබාදිය නොහැකිය. ඒ ඇගේ පෙනුමේ ඇති සුවිශේෂයක් නිසා හෝ ඇගේ සුවිශේෂ චර්යා රටාවක් හෝ නිසා නොවේ. එය එම පිරිමියාද නොදන්නා ඔහුගේ යටි හිතෙහි  කාවැදුණු යම් හේතුවක් නිසාය. එම හේතුව  මේ යැයි ඔහුම අර්ථ දැක්වුවද ඒ නිවැරැදි නොවේ. පාඨකයන් මේ කෙටිකතාවට ආශක්ත වන්නේද එය යළි යළි කියවීමට පොලඹවන්නේද ගුරොෆ් සහ අපද නොදන්නා ආනාගේ මේ සුවිශේෂයයි. ගැහැනු සොඬෙකු ආන්නා හා ආදරයෙන් බැඳීමට ඇය තුළ ඇති සුවිශේෂය කුමක්ද  යන්නයි. ගුරොෆ්ට  මෙන්ම අපටද මේ ආන්නාගේ සුවිශේෂය හමු නොවේ. එබැවින් ඒ සොයා අප යළි යළි යොමුවන්නේ ‘බල්ලා කැටුව ඇවිදින කාන්තාව’ වෙතයි.
යම් හෙයකින් ගුරොෆ්ගේ බිරිය තම සැමියා හා ආන්නාගේ ඇසුර දැන ගත්තේ නම් ඇයද විමසනුයේ තම සැමියාගේ ආදරය දිනා ගැන්මට තරම් ආන්නා තුළ ඇති තමා තුළ නැති සුවිශේෂය කුමක්ද යන්නයි.

කෙනෙක් විවාහයෙන් පිටත කාන්තා ඇසුර  ලබයි. එයට හේතුව ලෙස ඔහු හුවා දක්වන්නේ සිය බිරිය අවිනීත මෝඩ ගැහැනියක බවයි. ඒ ඔහු සිය ස්ත්‍රී ඇසුර තමාටම  සාධාරණය කර ගන්නා ආකාරයයි. මෙතැනදී නම් ගුරොෆ්ට මෙබඳු තාවකාලික ස්ත්‍රී සමාගම් ගණනාවකට  පසු ආන්නා හමුවේ. තමාට සැබැවින්ම ඇය අත්හැරිය  නොහැකි බව ඔහුට වැටහේ. යොවුන් වියේ පසුවුවද රූමත් ආන්නා යනුද විවාහක ළඳකි. ඇයටද කියන්නට ඇත්තේ තම සැමියාගේ ඇති අඩුලුහුඬුකම්ය.
සත්‍ය නම්, ගුරොෆ්ගේ බිරිය අවිනීත වන්නේත්, ආන්නාගේ සැමියා නිවටයකු සේ වන්නේත් යළි ඔවුන්ගේ ඇසුර සාධාරණීකරණය කිරීමටය. ඒ හේතුවක් පැවැසිය නොහැකි  ව්‍යාකූල ගුරොෆ් හා ආන්නාගේ ඇසුරට හේතූන් සොයා අසමත් වීමෙන් ඇති වන අසහනයෙන් ගැලවෙන්නටය.
ඇත්තටම විවාහක පිරිමියකු වෙනත් කාන්තාවක හා බැඳෙන්නේ ඇය තම බිරියට වඩා රූමත් නිසාද? එමෙන්ම  විවාහ කාන්තාවක සිය සැමියා අතැර වෙනත් පිරිමියකු  හා බැඳෙන්නේ ඔහු තම සැමියාට වඩා කඩවසම් නිසාද? මේ ප්‍රශ්න දෙකටම පිළිතුර වන්නේ ‘එසේ නොවේ’ යන්නයි.  කැත ගැහැනුන් හා පලා ගිය කඩවසම් පිරිමින් ගැන මෙන්ම මෙලෝ කඩවසමක් නැති පිරිමින් හා බැඳුණු රුවැති ළඳුන් ගැනද අසා ඇත. ජීවිතයේදී එබඳු යුවළවල් කොතකුත් හමු වී ඇත. ඒ එසේ වූයේ ඇයි යන්නට ඔවුනට ද ස්ථිරසාර පිළිතුරක් නැත.

කෙනෙක් ආශා කරන වස්තුව මිස, එසේ ආශා කරන්නට හේතු වන්න සැම විටම අපට ආගන්තුකය. හේතුව යන්නට ලැබෙන පිළිතුර අසහනයෙන් ගල්වන්නක් මිස නිවැරැදි හේතුව නොවේ. එසේ නිවැරැදි යැයි පවසන්නට පිළිතුරක්ද සබුද්ධික තලයේ නැත.
විශ්ව සාහිත්‍යය වෙත නැඹුරු වූ කල, අසම්මත ප්‍රේමයෙන් අපට හමුවන්නේ ටෝල්ස්ටෝයිගේ ඇනා කැරනිනා හිදීය. ෆ්ලෝපයාගේ ‘එමා බෝවාරි’හිදීය. ‘ඇනා කැරනිනා’ හි ආනා තරුණ රොන්ස්කිට පෙම් කරයි. ඇගේ සැමියා ඇයට පිළිකුල් සහගතය.
‘එමා බෝවාරි’ හිදී එමාගේ සැමියා උදාසීන මිනිසෙකි. ඇය උණුසුම් ප්‍රේම සබඳතාවක් පතයි.

ලෝරන්ස්ගේ ‘චැටර්ලි ආර්යාව‘ පෙමින් බැඳෙන්නේ උයන් පල්ලකු වූ මෙලෝර්ස් සමඟය. ඇගේ සැමියා යුද්ධයෙන් පසු ආබාධිත වූ අයෙකි.
විවාහයෙන් පිටත පෙම් සබඳතාවක බැඳුණු ගැහැනියකගේ සැමියා, මේ ආකාරයට බොහෝ විට උදාසීන නැතිනම් උද්ධච්ච මිනිසෙකි. එසේත් නොමැති නම් අවිවේකී, කාර්යබහුල අයෙකි. බොහෝ විට ඒ විවාහයන්ගේ පදනම ආදර සම්බන්ධතා නොවේ. නැතිනම් නව යොවුන් තරුණිය නොදැනුවත්ව වූ විවාහයකි. තම මුහුකුරා නොගිය අත්දැකීම් නිසා වූවකි. මවුපියන්ගේ කැමැත්තට පිටුපෑමට නොහැකි වූ නිසා වූවෙකි.
එකී නොකී මේ සියලු හේතූන්ගෙන් අප මඟහැර යන්නේ ගැහැනියකගේ ආශාව යන කලාපයයි. ගැහැනියගේ ආශාව යන්න පිරිමියාට හැමවිටම ප්‍රහේලිකාවක් යන්නයි.

විජය ධර්ම ශ්‍රී  අධ්‍යක්ෂණය කළ ‘දුහුළු මලක්’හි  නිලුපා (නීටා ප්‍රනාන්දු) විවාහක එක්දරු මවකි. ඇගේ සැමියා සුරවීර (ටෝනි රණසිංහ) කථිකාචාර්යවරයෙකි. ඔහු කාර්යබහුල, තැන්පත් මිනිසෙකි. නිලුපා කෙළිලොල් තරුණයකු වන රොහාන් (රවීන්ද්‍ර රන්දෙණිය) සමඟ ඇසුරක් ගෙන යයි.  මේ බව දැන ගන්නා සුරවීර අවුලට පත්වේ. ඒත් අවසානයේ නිලුපා රොහාන්ගෙන් සමු ගනී. අවුලට පත්වන රොහාන්  සිය පාවහන් මුහුදට විසිකර අෑතට ඇවිද යයි. නිලුපාගේ ආශාව පිරිමින් දෙදෙනකුම නන්නත්තාර කරන්නේ එසේයි.
ගැහැනියගේ ආශාව ලුහුබැඳ යෑම යනු මිරිවැඩි සඟල නොව ඇඳිවත පවා අහිමි වන්නට හේතුවන බව රස්තියාදුකාරයාගේ අදහසයි.

No comments:

Post a Comment