ජේත්තුකාර රස්තියාදුව |
රස්තියාදුකාරයා ගම්පහ සරසවි පොත් සාප්පුවේ පියගැට පෙළ නැග්ගා. ඒ පොතක් සොයා ගන්න අදහසින්. පොත ජපන් ජාතික හරුකි මුරකමිගේ ‘දකුණු මායිමේ’. මේ නවකතාව ගැන රස්තියාදුකාරයාට කිව්වේ එයාගේ හාදියක්. සරසවියේ වරුණි නංගි පොත හොයලා දුන්නා. ඒ වෙලාවෙ නන්නාඳුනන ගැටවරයෙක් රස්තියාදුකාරයාගෙන් ඉල්ලීමක් කළා, එයාගේ පෙම්වතියට දෙන්න රසවත් ආදර කතාවක් හොයලා දෙන්න කියලා. රස්තියාදුකාරයා පොත් කිහිපයක නම් කියාගෙන ගියා. ඒ පොත් එයා කොල්ලා කාලේ ආශාවෙන් කියවපුවා. එඩ්වඩ් මල්ලවාරච්චිගේ ප්‍රාර්ථනා, සුබා සහ සුබ ප්‍රාර්ථනා ත්‍රිත්වය, ජයකොඩි සෙනෙවිරත්නගේ රමනී, රණ තිසරු ඒ නම් අතරට ඇතුළත් වුණා.
මේ දෙබසට සවන් දුන්න වරුණි නංගිට අනුව ඒ පොත්වල මෙලෝ රහක් නෑ. ඒ වෙනුවට වරුණි අද කාලයේ ජනප්‍රිය මල් නවකතා කිහිපයක නම් කිව්වා. ඒ පොත් ගැන නම් රස්තියාදුකාරයා දැනගෙන හිටියේ නෑ. දැන් හැදෙන කොල්ලො, කෙල්ලො අලුත් විදියට ආදරය කරනවා ඇති. එහෙම හිතපු රස්තියාදුකාරයා හෙමිහිට සරසවියෙන් පල්ලම් බැස්සා. ඊළඟට රට කජු හපමින් එයා ගම්පහ අලුත් පාර දිගේ අෑතට ඇවිදගෙන ගියා. මේ වෙලාවෙ එයාට සුගතපාල ද සිල්වාගේ කියමනක් මතක් වුණා.
කෙනෙක් රටකජු කන්නේ බඩ පිරෙන්නවත්, ඒකෙ රසය නිසාවත් නෙවෙයි, දෙනෝ දාහක් අතර මැද දැනෙන හුදෙකලාවෙන් ගැලවෙන්න.’ ඒක බොරුවක් වගේ පේන ඇත්තක්ද?
රස්තියාදුකාරයාට සරසවිය ආයිම මතක් වුණා. එයා එතැනට ගියේ පොතක් ගන්න. ඒ කෙල්ලක් ඒ පොත රසවත් කියලා කියාපු නිසා. සරසවියේදී හමුවුණ ගැටවරයා ගත්තේ වරුණි නංගි නිර්දේශ කරපු පොත්. මොකක්ද මේ යාන්ත්‍රණය?
ඇයි අපිට කෙනෙක් නිර්දේශ කරන පොත් ගන්න සිදුවෙන්නේ? පොතක් පතක් ගැනීමේදී අපට නිර්ණායක නැතිද? සංවාදයට ගන්න ඕනෑ මාතෘකාවක්. ඒත් මෙතැනදී අපට එක පාරම වර්තමානයෙන් පටන් ගන්න අමාරුයි. හැමදාම වගේ අපට අදත් එක්තරා දුරක් අතීතයට යන්න සිදුවෙනවා. ගොඩක් වෙලාවට, කෙනෙකුට පොත පතට ඇල්ම ඇතිවෙන්න එයාගෙ ළමා කාලයේදි. ආච්චිලා සීයලා කියන කතන්දර රස විඳීමේ දිගුවක් විදියටයි, කෙනකු පත පොතට යොමු වෙන්නේ. අද තරම් තාක්ෂණය නොදියුණු 70 දශකයේ අද වගේ වෛවාරන පොත් මුද්‍රණය වුණේ නෑ. ඒත් එදා පළවුණු සීමිත පොත් ගුණාත්මක බවෙන් ඉහළයි.
කුමාරතුංග මුණිදාස ලියපු හත් පණ, මඟුල් කෑම වගේම හීන් සැරය එදා ළමයින්ගේ පරිකල්පනය පුළුල් කළා. මාර්ටින් වික්‍රමසිංහගේ මඩොල් දූවේ උපාලි ගිනිවැල්ල ළමා අපට වීරයකු වුණා. පරිවර්තන කෘති සුලබ නොවුණු ඒ කාලේ ‘එමිල් සහ රහස් පරීක්ෂකයෝ’ ගැන පොඩි පන්තිවලදී අපි උද්දාමයෙන් කතා කළා. මුහුදු බත් වුණු නැවකින් පණ බේරාගෙන ලංකාවේ කැලෑවකට ගොඩ බැහැපු ඕලන්ද ජාතික හෑන්ස් වැන්දමිර් අපි හඳුනාගත්තේ ආර්. එල්. ස්පිටල්ගේ සුදු ගෝනා සහ වැද්දා පොත් තුළින්.
එදා සාහිත්‍ය ලෝකයේ දැවැන්ත චරිත පැවැතුණා. ඒ නිසාම තමන්ගේ රුචියට සරිලන පොතක් තෝරා ගැනීමේ මහා අවකාශයක් පාඨකයකුට තිබුණා. එතරම් මනස නොවෙහෙසන සරල බසට නෑකම් කියූ ග්‍රන්ථ පරිශීලනය කරන්නන්ට ටී.බී. ඉලංගරත්න පිහිට වුණා. බොහෝ විට උඩරට ගැමි පරිසරය පසුබිම් කරගත් එතුමා විලම්බීත, තිලක, තිලක හා තිලකා, සසර, දෙලොව සිහින, ළස¼දා, මංගලා වැනි කෘතීන් රාශියක් රචනා කළා. කුඩාවුන් උදෙසා ඔහු අඹ යහළුවෝ, හපනා, ශිෂ්‍යත්වය, විලම්බීත එළි දැක්වූවා.
කතාන්දර කලාවට ඇලුම් කළ වුන් ඩබ්ලිව්. ඒ. සිල්වා සරණ ගියා. හිඟන කොල්ලා, රදල පිළිරුව, කැලෑ හඳ වගේ පොත් ලිව්වේ ඔහු වයස අවුරුදු 17දී ලියූ සිරියලතාගෙන් අනතුරුවයි. ඓතිහාසික කතා ලෙස ගිණිය හැකි විජයබා කොල්ලය, දෛවයෝගය සහ සුනේත්‍රා හෙවත් අවිචාර සමය අපව ඉපැරැණි අතීතයකට රැගෙන ගියා. එදා බෞද්ධ සිංහල උරුමය පිළිබඳ සිත් යොමු කරපු අයට පියදාස සිරිසේනව මඟහැරුණේ නෑ. ජයතිස්ස හා රොසලින් වගේම කෝන්ගොඩ වික්‍රමපාලගේ වික්‍රම ඇතුළත් ‘ඩිංගිරි මැණිකා’ වගේ දේශීය බෞද්ධ රහස් පරීක්ෂක කතා ගෙන ආවේ ඔහුයි.
සරලව රස්තියාදුකාරයා කියන්න උත්සාහ දරන්නේ ඒ අතීතයේදී කෙනකුට හොඳ පොතක් පරිශීලනය කිරීමේ අවකාශයක් තිබුණු බවයි. ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය, වගේ පොත් එක්ක මාර්ටින් වික්‍රමසිංහ යථාර්ථවාදී සාහිත්‍යයක් ගැන කතා කළා. සිරි ගුණසිංහ, ගුණදාස අමරසේකර වගේ අය එදිරිවීර සරච්චන්ද්‍රගේ පේරාදෙණි ගුරුකුලයෙන් මතු වුණා. මේ හැමෝම තම තමන්ට ආවේණික ශෛලියෙන් ග්‍රන්ථකරණයේ යෙදුණා. මීට වෙනස්ව අපේ කට්ටිය විදියට සුගතපාල ද සිල්වා නව ආරයකට පොත් ලිව්වා. ජී.බී. සේනානායක, මහගම සේකර, කේ. ජයතිලක ගුරු කුලවලින් ස්වායත්තව පොත් ලිව්වා. ඉතින් මේ විදියට, ඒ දවස්වල රස්තියාදුකාරයාට තමන් කැමැති ආකාර පොතක් කියවන්න, ඒවාත් එක්ක සංවාදයකට යෑමේ වාසනාව තිබුණා. මේ ලේඛකයන් සාහිත්‍ය කරළියෙන් සදහටම සමු ගනිද්දී ඒ අඩුව පුරවන්න කෙනෙක් ආවෙම නැති තරම්. අවසානයේ සුද්දිලා, රොමියෙල්ලා එක්ක සොඳුරු දඩයක්කාරයා වුණු සයිමන් නවගත්තේගම සමුගත්තම සිංහල සාහිත්‍යයට කණ කොකා හැඬුවා.
දැන් වෙනකොට රස්තියාදුකාරයාට කරන්න සිදුවෙලා තියෙන්නේ අතීත මතකයේ රැඳුණු පොත්වල නව මුද්‍රණ මිලට ගන්න එක තමයි. මොකද එහෙමකට හොඳ පොතක් අද ලියැවෙන්නේ කලාතුරකින්. කණ කැස්බෑවා විය සිදුරින් අහස දකිනවා වගේ. අතීත නවකතා සමහරක් ආත්ම ප්‍රකාශන වන තරමට අව්‍යාජයි. අමරසේකරගේ යළි උපන්නෙමි වගේම ගුණසිංහගේ සෙවණැල්ලෙත් මේ අව්‍යාජ බව නොඅඩුව දක්නට ලැබෙනවා. ඒත් කාලයෙන් කාලයට එහෙම අව්‍යාජ ලේඛකයන්ගේ පවා සිතුම් පැතුම් වෙනස් වෙනවා. එදා ගන්ධබ්බ අපදානය අමරසේකරගේ අව්‍යාජත්වය සංකේතවත් කරද්දී සෝමදේවගේ රූපාන්තරණය ව්‍යාජයක් විදියට රස්තියාදුකාරයාට හැඟෙනවා.
එක අතකට අද වෙද්දී මාර්ටින් වික්‍රමසිංහ, මහගම සේකර, සරච්චන්ද්‍ර, ජී.බී. සේනානායක ජීවතුන් අතර නෑ. ආත්ම තෘප්තිය සලකා කලාවට ඇලුම් කරපු අතීතය අද ඉවරයි. අද තියෙන්නේ වෙළෙඳ මානසිකත්වය. වෙළෙඳපොළේ තියෙන ඉල්ලුමට සරිලන භාණ්ඩ නිෂ්පාදනය. ඉතින් පරණ කලාකරුවන් අද වෙද්දී නොවැළැක්විය හැකි ලෙස වර්තමාන වාණිජ ආර්ථිකයට යටවීම එයාලගෙම වරදක් නෙවෙයි. ඒ අතින් සුගතපාල ද සිල්වා වගේ අය මේ වාණිජ පොරයේ ගොදුරු නොවී මිය යෑම සාහිත්‍යයට පොදුවේ කලාවට වුණු සේවයක් වගේ. මේක පැරැණි කලාකරුවන් ඉක්මනින් මියයෑම හොඳයි කියන පටු අරුතින් ගන්න එපා. එයාලා භෞතිකව මිය යද්දී එයාලගේ කලා කෘති යුගයක අව්‍යාජත්වය විදහා පාමින් සදාතනිකව ජීවත් වෙනවා.
අද වෙද්දී යුගයේ ආදරණීය නවකතාකරුවන් ආත්මීය නවකතාකරුවන් තොග ගණනේ බිහිවෙලා. මේ කතාවල පොල් රොටි, සුදු ආප්ප, කොත්තු රොටි, ලුණු මිරිස්වල රසය උත්කර්ෂයට නංවලා. සමහර පෙම්වතුන් රසට කිරි කෝපි හදනවා. තම සමහරු සුවඳ පැතිරෙන්න කිරි හොදි හදනවා. ආදරයට බිත්තර රොටී, කැකුළු බත්, මුරුංගා හොදි සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා හිතාගන්න බෑ. සමහර විට මේ ආත්මීය කතාකරුවන් විවාහ වෙලා තියෙන්නේ උයන්න පිහන්න දන්නේ නැති කාසි කාර ගෑනු දරුවන් එක්ක වෙන්නැති. ඉතින් ඒ දැරිවියන්ගේ ආදරය දිනා ගන්න අපේ ආත්මීය කට්ටිය දාඩිය දාගෙන උයන, පිහන වැඩ කරනවා ඇති. ගොඩාක් වෙලාවට කෙනෙක් ආදරය ගැන උස්මුරුත්තාවට යන තුරු කතා කරන්නේ ආදරය කොහෙත්ම නොලැබෙද්දී. ආදරය ජීවිතයෙන් අෑතට පලා යද්දී ඒ කම්පනයෙන් මිදෙන්න වැඩි වැඩියෙන් ආදරය ගැන ලියන්න ගන්නවා. ගෙදරදි හරියට බඩ පිරෙන්න කන්න නොලැබෙන මෙයාලා පාරේ හමුවෙන අයිල කඩවල තෝසේ, වඩේ, ආප්පවලට කෑදර වෙන එක පුදුමයක් නෙවෙයි.
බි්‍රතාන්‍ය පාලනයේ අවසන් කාලයේදී දේශීය ධනවතුන්ගේ පුතුන්ට උසස් අධ්‍යාපනය ලබා ගන්න එංගලන්තයට යෑමට හැකි වුණා. බොහෝ විට ඉංග්‍රීසි ආණ්ඩුවේ සිවිල් නිලධාරීන් වීමේ බලාපොරොත්තුවෙන් මෙහෙම ගිය අය ලංකාවට සමාජවාදය ගෙනාවා. මොකද එංගලන්තයේදී සිංහලයන්ව කල්ලන් විදියට එහෙ සිවිල් සමාජය ගැරහුමට ලක් කළා. ලාංකිකයන්ට ආශ්‍රය කරන්න හැකි වුණේ එංගලන්තෙ කම්කරු පාන්තිකයෝ. මෙහෙදී ධනපති වුණු ලාංකිකයාට එංගලන්තෙදි පිහිටට හිටියේ සමාජවාදය. ඉතින් ඒ සමාජවාදයත් අරගෙන එයාලා ආපසු ලංකාවට ආවා. උත්තරාරෝපිතයක් වුණු ඒ සමාජවාදය ලංකාවට බලපෑ හැටි පසෙකට දාමු. ඒත් ඒ සමාජවාදයත් එක්ක අපට රුසියානු සාහිත්‍ය මුණගැසෙනවා. ආපසු 71දී විජේවීරගේ කැරැල්ලට සමගාමීව සහ පශ්චාත් කැරැලි සමයේ රුසියානු සාහිත්‍යය ලංකාවේ ඉතා තදින් ප්‍රචලිත වෙනවා. සමාජවාදී පක්ෂ හරහා රුසියාවේ ඉගෙනීමට ලාංකික තරුණයන්ට ලැබෙන ශිෂ්‍යත්ව මේ සාහිත්‍යය ලංකාවේ පැතිරීමට තව හේතුවක් වෙනවා. කොහොමින් හරි රස්තියාදුකාරයාගේ ගැටවර වියට නිකොලොයි ඔස්තේරාවිස්කිගේ වානේ පන්නරයේ ඉන්නා පාවෙල් කොර්චාගිත්, ගෝර්කිගේ අම්මා පොතේ පාව්ලුෂා වීරයන් වෙනවා. විප්ලවය ආශ්‍රිත වීරාභිවාදන වන බරිස් ප්ලෙවයිගේ සැබෑ මිනිසකුගේ කතාවක්, යුරි බොන්දර්යෙව්ගේ ‘උණු හිම’ වගේ කතාවලින් ඔබ්බට හොඳ සාහිත්‍යයක් අපට උකහා ගන්න ලැබෙනවා. විශ්ව සාහිත්‍යයේ දැවැන්තයෝ වන ලියෝ ටෝල්ස්ටෝයි, පියදෝර් ෙදාස්තව්යෙස්කි, නිකොලොයි ගොගොල්, ඇලෙක්සන්දර් පුෂ්කින් අපට කියවන්න ලැබෙන්නේ මේ උත්තරාරෝපිත සමාජවාදයේ යහපත් අතුරු ඵලයක් විදියට. මෙතැනදී දැදිගම වී. රුද්‍රිගු පද්ම හර්ෂ කරණගේ කරපු රුසියන් පරිවර්තන අමතක කරන්න බෑ.
කෙනකුට කියන්න පුළුවන් රස්තියාදුකාරයා ජීවත් වෙන්නේ අතීත කාමයක කියලා. ඒ මොනවා වුණත් වර්තමානයේත් කියවන්න දෙයක් තියෙන ආපසු හිතන්න පොලඹවන පොත් ලියන්නො නැත්තෙම නෑ. කෙටි කතා ගත්තම නිශ්ශංක විජේමාන්න, ජයතිලක කම්මැල්ලවීර, එරික් ඉලයප්ආරච්චි වගේම ලියනගේ අමරකීර්ති වගේ අය ලඝු කොට සලකන්න බෑ. බොහෝ වෙලාවට මේ අය යම් පමණක දේශපාලනයක් ඇතුළේ රැස්කර ගත්තු දැනුමක ප්‍රතිඵලයක් එයාලගේ පොත්. හුදෙකලාව සමාජයෙන් වියුක්තව ජීවත් වුණු කෙනකුට අත්දැකීම් ඔස්සේ පරිකල්පනයට යන්න බැහැනේ.
1956දී සිංහලය රාජ්‍ය භාෂාව වෙනවා. ගමේ පහළ මධ්‍යම පාන්තික තරුණයෝ සරසවි වරම් ලබනවා. අමරසේකර, සරච්චන්ද්‍රත් එහෙම හද්දා පිටිසරින් සරසවි ආපු අය. ඒත් එයාලා ඉංග්‍රීසි, සිංහල දෙකම හසුරුවන ද්විභාෂික උගත්තු. ඒත් ඊට පසු පරම්පරාව මෙහෙම ද්විභාෂික උගත්තු නෙවෙයි. මධ්‍යම පාන්තික හර පද්ධතිවලින් ඔළු ගෙඩි පුරවා ගත්තු සමාජයේ ඉහළට නැඟීම එකම අභිලාෂය කර ගත්තු අය. සරච්චන්ද්‍රලා සිවිල් සේවය අත්හැරලා කලාව තෝරා ගනිද්දී මේ ගැමි තරුණයෝ තම එකම අරමුණ කර ගත්තේ සිවිල් සේවය. අමරසේකරගේ ගමනක මුල, ගම්‍ෙදාරින් එළියට, වංකගිරියක, ඉණිමගේ ඉහළට කතා පෙළ වැදගත් වෙන්නේ මෙතැනදී. ග්‍රාමීය මධ්‍යම පන්තියේ සිතුම් පැතුම් ඒවායේ නිරූපණය වෙනවා.
අද වෙද්දි යොවුන් නවකතා එකම රාමුවක තියෙන්නේ. ගමෙන් එන අහිංසක පෙම්වතා සහ නාගරික ධනවත් අහිංසක යුවතිය, ධනවත් නාගරික තරුණයා සහ අහිංසක ගැමි යුවතිය. මේ විදියට මේ කතාවල තරුණිය හෝ තරුණයා අනිවාර්යයෙන් ධනවත් වන අතර කුරිරු දුෂ්ටයකු නම් වරදින්නේම නැහැ. අතීතයේ ලේඛකයන් කල් ගත කර එක පොතක් එළි දක්වද්දී අද තරුණ ලේඛකයන් ආප්ප බාන තරම් ඉක්මනින් සතියකට නවකතා කිහිපයක් එළි දක්වනවා. ඔවුන් ලියූ පොත් සංඛ්‍යාව ශතකයද ඉක්මවා යනවා. බැලූ බැල්මට නම් මෙතරම් පොත් තොගයක්, ලංකාව සාහිත්‍යය අතින් කොතරම් පෝෂිත දැයි කෙනකුට හිතෙන්න පුළුවන්.
එළැඹෙන්නේ සාහිත්‍ය මාසයටයි. හොඳ පොතක් තෝරා ගැනීමේ ගැටලුව එලෙසමයි. ඒ නිසාදෝ බොහෝ දෙනා තොග ගණනේ අභ්‍යාස පොත් ලාබෙට ගෙන සතුටු වේවි. රස්තියාදුකාරයාටද බරපතළ ගැටලුවක් තිබේ. ඒ විචාරයක් කරන්නට සුදුසු පොතක් තෝරා ගැනීමයි. නිශ්ශංක විජේමාන්නගේ වත් පොතක් එළි දැක්වේවි යනු රස්තියාදුකාරයාගේ බලාපොරොත්තුවයි.
|
Thursday, September 5, 2013
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment