ජේත්තුකාර රස්තියාදුව |
පළමු සීනු නද ඇසෙයි. ඔබේ ඇස් තිරය මත සැරිසරයි. කෙටි කාල අන්තරයකින් අනතුරුව, දෙවැනි සීනු නද ඇසෙයි. සිනමා හල මොහොතින් අඳුරේ ගිලෙයි. ඔබේ ආතතිය සමනය කරමින් තිරය මත රූප රාමු පතිත වේ. දැන් ඔබ චිත්‍රපටයක් නරඹයි. වඩා නිවැරැදිව නම් ඔබේ ඇසට චලන රූප පෙළක් දර්ශනය වේ. ‘නරඹයි’ යන්න කර්තෘ කාරක ක්‍රියා පදයකි. එනම් ‘නරඹයි’ යන ක්‍රියාව සිදුකරන්නෙක් සිටියි. කෙටියෙන් පවසතොත් නරඹන්නෙක් සිටියි. ඒ ඔබයි. ඔබ කරන්නේ අඳුරු සිනමා හල තුළ තිරය ඉදිරිපස අසුන්ගෙන ඒ දෙස බලා සිටීමයි. ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක වන ප්‍රක්ෂේපණ යන්ත්‍රය ඔබ උදෙසා තිරය මත සන්තතික රූප පෙළක් මවයි. දැන් තිරයේ දිස්වන චරිත හා එක්ව වරෙක ඔබ සතුටු වෙයි. වරෙක දුක් වෙයි. වරෙක කෝප ගනියි. තිරයේ දිස් වන කතාවේ ඔබද කොටස්කරුවකු වෙයි.
එසේ රූප රාමු හා එක් විය හැකි නම් එය ඔබට හොඳ චිත්‍රපටයකි. නොඑසේනම් එය මෙලෝ රහක් නැති එකකි. සිනමා දර්ශනය අතරමැද ඔබ තරහින් සිනමා හලෙන් පිටවන්නටද ඉඩ ඇත. ඔබ වැනි නරඹන්නන් බොහෝ දෙනකු ආකර්ෂණය කරන්නට හැකි වූ චිත්‍රපටයක් අපි අති සාර්ථක වාණිජ චිත්‍රපටයක් ලෙස හඳුන්වමු. නොඑසේ නම් එය බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපටයකි. එදා මෙදා තුර ලාංකේය සිනමා ඉතිහාසයේ වඩාත්ම ඔබේ වූ නෙත් ඇද ගත් නිර්මාණය ඔබ දන්නවාද? සීනු නාදයකින් තොරව, අඳුරු සිනමා හලට නොගොස් දැන් අපි එය රස විඳිමු. ඒ සඳහා අපට වසර 40ටත් එහා අතීතයට යා යුතු වේ. ඒ 1971 වසර වෙතයි.
නාගරික පහළ පන්තියේ සමාජ ශාලාවක බිලියඩ් ගසන පිරිසකි. එතැන පොඩ්ඩේ (ගාමිණී ෆොන්සේකා), විජේ (විජය කුමාරණතුංග), ජගිරියා (ඇන්තනී සී. පෙරේරා) සහ ලින්ටන් (සේනාධීර රූපසිංහ) යන සිවු යහළුවෝද වෙති. ඔවුන්ගේ නවාතැන බත් අම්මා (පර්ල් වාසුදේව) ගේ නිවෙසයි. එයද නාගරික මුඩුක්කු පන්නයේ නිවෙසකි. පොඩ්ඩේ, බත් අම්මාගේ දුව සෝමා (ශ්‍රියානි අමරසේන) ට ආදරය කරයි. මෝටර් රථ අලුත්වැඩියා කරන ගරාජයක කාර්මිකයකු ලෙස සේවය කරන පොඩ්ඩෙට හැරෙන්න අනික් මිතුරන්ට රැකියා නැත. ලින්ටන් මහා මාර්ගයේ කොළ තුනේ සූදුවෙන් මුදල් උපයයි. ජගිරිය අත බලා ශාස්ත්‍ර කියන්නෙකි. ගරාජයේ අයිතිකරු වන හැරී (ලයනල් දැරණියගල) ගේ සහචරයකුට පහරදීම නිසා පොඩ්ඩේට ද රැකියාව අහිමි වේ. කඩවසම් විජය ධනවත් තරුණියක වන නිල්මිණි (මාලනී ෆොන්සේකා) ගේ ආදරය දිනා ගනී. ඇය හැරීට විවාහාපේක්ෂිත තරුණියයි. විවාහයට පෙර නිල්මිණි, විජේ හා පැන යයි. ඒ යන්නේ බත් අම්මාගේ නිවෙසටය. නිල්මිණිගේ රන් ආභරණ රැගත් බෑගය තබන්නේ සෝමා ළඟය. කිසිවකු සෝමාව මරා දමා සල්ලි බෑගය රැගෙන යයි. මේ සඳහා සැක කෙරෙන්නේ සිවු යහළුවන්ය. පොඩ්ඩේ හැරෙන්නට අනෙක් තිදෙනාම පොලිස් අත්අඩංගුවට පත්වේ. මිනීමරුවා හැරී බව දැනගන්නා පොඩ්ඩේ ඔහුට පහර දෙයි. හැරී පොලිස් අත්අඩංගුවට පත්වන අතර අවසානයේ නිල්මිණි සහ විජේ විවාහ වේ.
60-70 දශකයේ සිංහල සිනමාවට ඇලුම් කරන ඔබ මේ වන විටත් මේ චිත්‍රපටය කුමක්දැයි දන්නවා ඇති. නීල් රූපසිංහ අධ්‍යක්ෂණය කළ මෙය හතර දෙනාම සූරයෝ’ චිත්‍රපටයයි. ලංකාවේ වඩාත් සාර්ථකව තිරගත වූ චිත්‍රපට අතර ඉදිරියෙන්ම සිටින්නේ මෙය බවට සැකයක් නැත. අද වනවිට කළු සුදු චිත්‍රපටයක් සිනමා ශාලාවක දැකීම කිසිසේත් නොවන්නක් වද්දී එදා 71 දී කළු සුදු ‘හතර දෙනාම සූරයෝ’ ප්‍රේක්ෂක සිත් ඇද බැඳ ගති. එදවස වාණිජ සිනමාව නැතිනම් වට්ටෝරු සිනමාව ගනයේ ලු. මෙහි එදා ගැලරියට අවශ්‍ය සියලු අංගෝපාංග නොඅඩුව තිබිණි. පෙම්වතා, පෙම්වතිය, දුෂ්ටයා, විකටයා, සටන් ජවනිකා, පොලිසිය, මිනීමැරීමක්, අබිරහසක් යන එකී මෙකී නොකී සියලු අංගයන්ගෙන් එය සමන්විත විය. ආ! ඇයි ජෝතිපාලගේ සහ ලතාගේ ගීත.
ඒ හැරෙන්නට එදා ‘හතර දෙනාම සූරයෝ’ යනු දක්ෂ කලාකරුවන් ගේ එකතුවකි. ගාමිණීගේ දැවැන්ත පෞරුෂයත්, ළාබාල විජයගේ කොළිලොල් බවත්, තිරයේ කවදා හෝ සිටි හොඳම විකටයා වන ඇන්තනී ගේ එකතුව චිත්‍රපටය නරඹන්නන්ට ප්‍රිය උපදවන්නක් කෙළේය. අකාලයේ මියගිය දක්ෂ නළුවකු වූ සේනාධීර මෙන්ම නිළි චරිත දෙක රඟ පෑ ශ්‍රියානි හා මාලනී ද චිත්‍රපටය හා මැනවින් බැඳුණේය. මෑතකදී නීල් රූපසිංහ වර්තමාන නළුවන් යොදා ‘හතර දෙනාම සූරයෝ’ වර්ණනයෙන් නිමැවුවේය. එය එක් අතකින් ගාමිණී, විජය වැනි නළු රජුන්ට කළ අපහාසයක් විය. අනෙක් අතට රංගනය යනු තමන්ට ආගන්තුක විෂයක් බව රොෂාන් පිලපිටිය, බුද්ධික වැන්නන්ට පසක් කරන්නක් විය. අතීත සිංහල සිනමාව යනු ප්‍රතිනිර්මාණය කළ නොහැක්කකි. ඒ මුල් පිටපත් යනු ප්‍රතිනිර්මාණය නොකළ හැකි, කලාව උදෙසාම නිර්මාණය වූ ඒවාය.
71 සහ 2013 අතර වෙනස අපි දැනටමත් කතා කළෙමු. ඒ තාක්ෂණය නොදියුණු 71ට ගව් ගණනාවක් දුර තාක්ෂණයක් 2013 වන විට ලබා ඇති බවය. ලෝකය ඩිජිටල්කරණය වත්ම මිනිස්සු පොදු අවකාශයෙන් මිදී තම තමන් හුදෙකලා ලෝකවලට ගුළි වෙති. එදා මිනිස් ශ්‍රමය, එකමුතුකම ශිෂ්ටාචාරයේ දී අවැසි වුවද, අද මුදල යන සාධකය සියල්ල අබිබවා පෙරටුවට පැමිණ ඇත. එබැවින් ගැටුම් පසමිතුරුතා බහුල සමාජයෙන් අබිනික්මන කර කෙනෙක් ගුහා ගත වේ. ඒ අර්ථයෙන් ගත් කල ‘හතර දෙනාම සූරයෝ’ පිළිබඳ යළිත් විමසුමට ලක් කිරීම අරුත් සුන් විය හැකිය. එහෙත් මේ සියලු දේ එනම් යුග දෙකක වෙනස රංගන පෞරුෂයන්හි හීනතාව මේ සියල්ලම නොසැලකිය හැකිය. එහෙත් එක් අතකට සූරයෝ සිවු දෙනා ඒ යුගයේ දෘෂ්ටිවාදය නියෝජනය කරති. ලින්ටන් ජූඩෝ ඉගෙන ගන්නේත්, ජගිරියා සාත්තර කියන්නේත් බඩගෝස්තරය සොයා ගැනීමටය. විජේට අවශ්‍ය වන්නේ හොඳ හෝටලයකින් කෑමටය. එනම් ධනවත් තරුණියක හා හාද වීමටය. ඒ ධනවත් විය හැකි කෙටි ක්‍රමයයි. සාප්පුවකින් එළියට එන නිල්මිණිගේ ඇඟේ හැපෙන විජේ අෑ හා හාද වෙයි. නිල්මිණිගේ අත පතන හැරීට ද අවශ්‍ය ඇගේ බූදලය ලබා ගැනීමටය. ඒ අතින් දුෂ්ට හැරීගේ මෙන්ම විජේගේ අභිප්‍රාය ද සමානය. ඒ ඉක්මනින් පොහොසත් වීමය.
සෝමා මරා දමා නිල්මිණිගේ රත්තරන් බඩු සහිත බෑගය සොරා ගත් විට, මිතුරන් හතර දෙනා සතුරෝ වෙති. ඔවුහු මිනී මැරීම සහ සොරකම පිළිබඳ එකිනෙකාට චෝදනා කර ගනිති. පොඩ්ඩේ පවසන්නේ මෙබන්දකි.
‘මට කෙල්ලවයි බෑග් එකයි දෙකම උස්සන්න තිබුණා’ පේන විදියට එක පතේ කාගෙන එකා මෙන් සිටි යහළුවන් විරසක කරන්නේ නැතිවූ වටිනා බෑගයයි. එය එසේ වන්නේම ඔවුන්ගේ රහසිගත ප්‍රාර්ථනාව ධනවත් වීම නිසාවෙනි.
‘හතර දෙනාම සූරයෝ’ චිත්‍රපටයට මිනී මැරුමක් සමඟ සොරකමක් අවශ්‍ය වන්නේම විජේට, නිල්මිණිව හිමිකර දීමටය. විජේව ධනවතෙක් කිරීමටය. පාදඩයකු පොහොසතකු වන ආකාරය චිත්‍රපටයේ මුඛ්‍ය තේමාවයි. එසේ බලන විට චිත්‍රපටය ගැලරියේ විසිල් මැද ආදායම් වාර්තා තබන්නේ, ගැලරියේ සත 75ක් දී ඒ යුගයේ චිත්‍රපටය නැරඹූවන්ගේ ප්‍රාර්ථනයද විජේගේ ප්‍රාර්ථනය නිසාය. පාදඩයකු ඉක්මනින් ධනවත් වීම ගැලරිය ආකර්ෂණය කරන්නේ එබැවිනි. එහෙත් මේ රහසිගත ප්‍රාර්ථනය යට ගොස්, පොඩ්ඩේ ගේ සටන්, ජෝති ඇන්ජි ගේ ගායනා උත්කර්ෂයට නැඟේ. බැලූ බැල්මට පොඩ්ඩේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයයි. විජේ, ලින්ටන් සහ ජගිරියා පොඩ්ඩේ ගේ සෙවණැල්ලේ පසුවන අවශේෂ චරිතයි. එහෙත් සත්‍ය නම් පොඩ්ඩේ යනු විජේගේ සහායක චරිතයයි. මැරවරයන් සමාජ ශාලාවේදී විජේට පහර දෙන විට විජේව ගලවා ගන්නේ පොඩ්ඩේයි. මිනී මැරුම සහ සොරකම සම්බන්ධයෙන් විජේ, ලින්ටන් සහ ජගිරියා අත්අඩංගුවට පත්වේ. එහෙත් පොඩ්ඩේ පොලිසියේ ඇස් වසා පැන යයි. එසේ නොවන්නට සැබෑ මිනීමරුවා නීතියේ රැහැනට හසු නොවේ. පලා යන්නට තැත් කරන හැරීව නවතා, ඔහුට පහරදී නීතියට හසුකර දෙන්නේ පොඩ්ඩේය. දැන් විජේට කිසිදු බාධාවක් නැත. ඔහු නිල්මිණී හා විවාහ වී මධුසමය ගත කිරීමට යයි. පොඩ්ඩේ, සෝමාගේ මතක සමඟ හුදෙකලා වේ. එබැවින් පොඩ්ඩේ යනු මෙහිදී විජේ නම් පාදඩයාගේ සිහිනය සැබෑවක් කරනු පිණිස මැදිහත් වන තවත් පාදඩයෙකි. පාදඩයකු ඉක්මනින් ධනවත් කිරීමේ අදහස සැබෑවක් කරනු පිණිස හඳුන්වාදුන් චරිතයකි.
71 දශකයේ සමකාලීන චිත්‍රපට සලකා බැලුවහොත් මේ පාදඩයාගේ ඉක්මන් පොහොසත් වීම යන දෘෂ්ටිවාදය මතුකර ගත හැකිය. වසන්ත ඔබේසේකර අධ්‍යක්ෂණය කරන ලද ‘දියමන්ති’ චිත්‍රපටය ඔබට මතකද? පුදුමයකට මෙන් මෙම චිත්‍රපටයේ ද ධනවත් තරුණියගේ භූමිකාව මවන්නේ මාලනීමයි. එහිදී උපාධිධාරි පාදඩ තරුණයා වන්නේ විජේය. මෙහිදී මිනීමැරුමක් මෙන්ම දියමන්ති මාලයක් සොරා ගැනීමක් ඇතුළත්ය. අවසානයේ අබිරහස විසඳේ. පාදඩ තරුණයාට ධනවත් රූමතියගේ අත හිමිවේ. මෙහිදී විජේගේ මිතුරන් වන්නේ පොකට් ධර්මේ හා කෝචට් ගුණේ යන පාදඩයන් දෙදෙනෙකි.
‘හතර දෙනාම සූරයෝ’ හි විජේ, පොඩ්ඩේ ලින්ටන් හා ජගිරියා එක නවාතැනක වෙසෙන තරුණයන් සිවු දෙනෙකි. එහෙත් ‘දියමන්ති’ හි විජේට පොකට් ධර්මේ සහ කෝචට් ගුණේ හමුවන්නේ අහම්බෙනි. රැකියා විරහිත උපාධිධාරියකු වන විජේ සිය පෙම්වතියගේ නිවෙසින් පන්නා දැමෙයි. උපාධි සහතිකය කුණු බක්කියකට දමා ඔහු ඉබාගාතේ ඇවිද යයි. ඔහු නැවතෙන්නේ පාළු නිවෙසක අගුපිලේය. සිරෙන් නිදහස්ව එන කෝචට් ගුණේ, ගණිකා වෘත්තියෙන් ජීවිකාව සරිකර ගත් බිරිය හා උරණව නිවෙසින් පිටව එන ගමනේ නවතින්නේද මේ පාළු ගණිකා වෘත්තියෙන් ජීවිකාව සරි කර ගත් බිරිය හා උරණව නිවෙසින් පිටව එන ගමනේ නවතින්නේද මේ පාළු නිවෙසේය. මුදල් පසුම්බියක් සොරාගෙන පලා යන පොකට් ධර්මේද දිව එන්නේ මෙතැනටය. කෝචට් ගුණේ අත ඇති අරක්කු බෝතලයට වගකියන ඔවුන් තිදෙනා මිතුරන් වේ. පාළු නිවෙසේදී හමුවන මළ සිරුරේ ඇති මුදල් පසුම්බියද රැගෙන ඔවුහු පලා යති. මහ මඟ හමුවන මෝටර් රථයක් පැහැර ගන්නා ඔවුන් රථයේ වූ තරුණයන්ගේ යුරෝපීය ඇඳුමින් සැරසේ. අනතුරුව ඔවුන් සමාජය ඉදිරියේ පෙනී සිටින්නේ වැදගතුන් වශයෙනි. ධනවත් චිත්‍රාව රවටන ඔවුන් ඇය සතු නිවෙසක නැවතීමටද පසුබට නොවේ. දැන් ඔවුන් පොල් ගහ යට කොටියා මුද්‍රාව සහිත සීල් අරක්කු වෙනුවට විස්කි බොමින් සුපිරි සමාජ ශාලාවලට යමින් කෙළි දෙළෙන් පසුවේ. මේ අප දකින්නේ පීඩිත තරුණයන්ගේ සිහිනමය ප්‍රාර්ථනයයි. මෙහිදී චිත්‍රාගේ බාප්පාගේ අබිරහස් මරණය හා දියමන්ති මාලය සොරා ගැනීම අවශ්‍ය වන්නේ පාදඩ විජේට චිත්‍රා හිමිකර දීමටය. විජේව ධනවතෙක් කිරීමටය.
පාදඩ තරුණයකු ධනවතකු බවට පත් වීමේ තේමාව 70 දශකයට සුවිශේෂ යැයි ගැන්මද වැරැදිය. 2013 වසරේ වුව ක්‍රියාත්මක වන්නේ මේ යාන්ත්‍රණයයි. වෙනස වන්නේ අද වන විට ඒ සඳහා ධනවත් තරුණියකගේ පිළිසරණයම අවශ්‍ය නොවීමයි. නූගත් දේශපාලකයකුට සමීප වන මෙවැනි පාදඩයෝ ඔවුන් වෙනුවෙන් විරුද්ධ පාක්ෂිකයන් තළා පෙළා ධනය සහ බලය ලබා ගනිති. මෑත අතීතයේ පාතාලයට සම්බන්ධව මියගිය මෙන්ම ජීවතුන් අතර සිටින මැරවරයන්ගේ නම් මතක් කර ගන්නේ නම් මැනවි. තම දේශපාලනයේ මුවාවෙන් කප්පම් ගැනීම, කුඩු ජාවාරම්, ගණිකා නිවාසවලින් ඔවුන් ඉක්මන් ධනවතුන් බවට පත්වේ. අනතුරුව ඔවුන් ප්‍රාදේශීය දේශපාලකයන් ලෙස කලඑළි බසියි. අද පවතින වෙළෙඳ ආර්ථිකය යටතේ හෘද සාක්ෂියක් අහිමි පාදඩයකුට මධ්‍යම පාන්තිකයකු බවට රූපාන්තරණය වීමේ ඉඩකඩ නොඅඩුව පවතී.
මෙතැනදී වර්තමානය සම්බන්ධව වැදගත් මානයක් මතුවේ. 70 දශකයේ චිත්‍රපට අවශ්‍ය වූයේ කෙනකුගේ සිහිනමය ප්‍රාර්ථනා යථාර්ථයේදී සැබෑ නොවූ නිසාය. ඒ ප්‍රාර්ථනා ඔවුන් වෙනුවෙන් විජය තිරයේදී ඉටු කරගත් බැවිනි. ඔවුන් ඇත්තට ගත කරන ජීවිතය හා ගත කරන්නට ආශා කරන ජීවිතය අතර පරතරයට මැදිහත් වන්නේ විජේය. පාදඩයකු නැතිනම් දුප්පතකු ආශා කරන සුරූපී ධනවත් තරුණිය තිරයේදී අප වෙනුවෙන් විජය අයත් කර ගනී. එබැවින් එදවස සිනමාව කෙනකුට ගෙන දෙන්නේ සහනයකි.
එහෙත් අද වනවිට කෙනකුට හෘද සාක්ෂිය යනුවෙන් දෙයක් නොමැති නම් තමා ආශා කරන වර්ගයේ තරුණියක් යාන වාහන ආදිය ලබා ගැනීමට හැකිය. එක පැත්තකින් අද හෘදය සාක්ෂිය යනු වැදගැම්මකට නැති මිනුම් දඬුවකි. කෙනකුගේ වටිනාකම අද තීරණය කරන්නේ ඔහුගේ ගුණවත්කම අවංක බව ආදී මිනුම්වලින් නොවේ. ඒ වෙනුවට ඔහු භාවිත කරන මෝටර් රථය ඔහුගේ ධනවත් බව ආදී මිනුම්වලිනි. අද කෙනකු තවකෙකුට සලකන්නේ මිල මුදල් යාන වාහන වැනි මිනුම් දඬු මතය. එබැවින් බොහෝ අය බල්ලන් මරා හෝ මුදල් සෙවීමට නොපැකිළෙති. හෘදය සාක්ෂිය යනු අතීතයේ පැවැති අද නොපවතින්නට කියන නමකි.
|
Wednesday, September 11, 2013
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment