ජේත්තුකාර රස්තියාදුව |
සාමාන්‍යයෙන් ලාංකිකයා ඕපාදූප කතාවෙහිලා රුසියෙකි. ඇසූ දේ පිළිබඳ මෙන්ම දුටු දේ පිළිබඳවත් ඔහු තොර තෝංචියක් නැතිව කතා කරයි. හිස් වචන කතා කිරීම යනු නොකළ යුත්තකි. එහෙත් ඒ පිළිබඳ කාටවත් වගේ වගක් නැත. එබැවින් ඕපාදූප යනු ලංකාවේ සාමාන්‍යකරණයට ලක්වූවකි.
රස්තියාදුකාරයාට මේ සටහන තබන්නට මුල් වූයේ, පසුගිය දිනවල ලංකාවේ මහත් ආන්දෝලනයට ලක්වුණු සිනමා කෘතියකි. ඒ 2011 වසරේදී සංජීව පුෂ්පකුමාර නිර්මාණය කළ ‘ඉගිල්ලෙන මාළුවෝ’ ය. ප්‍රංශ සිනමා උළෙලක් සමඟ එය මුල්වරට ලංකාවේ තිරගත විය. ඒ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීය. අනතුරුව එම කෘතියට එල්ලවූයේ කටුක විවේචනයන්ය. ගල්මුල් ප්‍රහාරයන්ගෙන් බැට කෑ ‘ඉගිල්ලෙන මාළුවෝ’ බිම ඇද වැටී අවසන් හුස්ම හෙලීය. ඒ නැවත දේශීය රිදී තිරයේදී නම් ඉගිල්ලෙන්නට වරම් අහිමිවය.
මෙහි ඇති පුදුමය නම් ඉගිල්ලෙන මාළුවෝ නැරඹූවන්ටද වඩා නැරඹූ නැතිවුන් චිත්‍රපටය පිළිබඳ පළ කළ අදහස්ය. ඕනෑම චිත්‍රපටයක් නැරඹුවකුට ඒ පිළිබඳව කියන්නට කුමක් හෝ අදහසක් ඇත. කෙනකු සිනමා ශාලාවකට යන්නේ හිස් වූ මනසකින් නොවේ. බහ තෝරන වියේ සිට ටිකෙන් ටික එකතුව කරපින්නාගත් මති මතාන්දර සම්භාරයක් සමඟය. එබැවින් කෙනකු ඒ ගැන අදහස් පළ කරන්නේ තමා තුළ ඇති ඒ (නො) දැනුමෙනි. කෙනකුට යමක් ඇතැයි හැඟෙන චිත්‍රපටය, තව කෙනකුට කිසිවක් නැතැයි හැඟෙන්නේ ඒ දෙදෙනාගේ (නො) දැනුමේ සීමාවන් නිසාය. චිත්‍රපටය නැරඹුවකුට කියන්නට මොනවා හෝ තිබීම මෙනයින් සාධාරණය. එහෙත් ඉගිල්ලෙන මාළුවෝ’ පිළිබඳ මත පළ කළ විත්‍රපටය නරඹා නැති වුන් පිළිබඳව තත්ත්වය කෙසේද? ඔවුන් වනාහි අති පණ්ඩිතයන් වන්නට තැත් කරන මුග්ධයන්ය. ඒ එසේ වුව කෘතිය නරඹා ඒ පිළිබඳ අදහස් දක්වන අයද හුදු නුවණැත්තෝ නොවෙති.
මන්ද ඒ අදහස යනු හුදෙක් ඔවුන්ගේ රුචි අරුචිකම් නිසාය. එබැවින් මේ බොහොමයක් අදහස් යනු ඕපාදූප නොඉක්ම වූ ඒවාය.
කෙසේ වුව යම් අහම්බයකින් රස්තියාදුකාරයාට ‘ඉගිල්ලෙන මාළුවෝ’ නරඹන්නට හැකියාව ලැබිණි. බැලූ බැල්මට එය ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ ‘ඉර මැදියම’ ආකෘතිය සිහි ගන්වයි. යුදමය වාතාවරණය පසුබිමව, යම් කාල පරාසයක දිවෙන නැඟෙනහිර දුෂ්කර ගම්මානයක වෙසෙන පවුල් තුනක කතාවක් තිරයේ දිග හැරෙයි. එහි අන්තර්ගත කතා ත්‍රිත්වය නැතිනම් ආඛ්‍යාන තුන මෙසේයි.
01 වාසනා සහ පරාක්‍රම නම් හමුදා සෙබළාගේ කතාව.
02 වැන්දඹු මව සහ ඇගේ පුතුගේ කතාව 03 දෙමළ තරුණියගේ කතාව
පරාක්‍රමට පෙම් කරන වාසනා ඔහු නිසා ගැබ්බර වේ. කලලය ගබ්සා කරන්නට තැත් කළද ඔවුන් එහි ලා අපොහොසත් වේ. ගරා වැටුණු ගොඩනැඟිල්ලක ඔවුන් ලිංගිකව එක්වේ. ඒ දර්ශනය ඇගේ පියාගේ නෙත ගැටේ. ඔහු මහත් කම්පාවට පත්වේ. එහෙත් ඔහු තමා දුටු දේ රහසේ තබා ගනී. ගම ආරක්ෂා කිරීමේ සිවිල් බළකායට ඔහුත් ඇතුළු වේ. මුරපොළේ රාජකාරියට වාර්තා නොකිරීමේ වරදට ඔහු හමුදා සෙබළුන්ගේ දඬුවමකට ලක්වේ. අනතුරුව හිස් බංකරයක් තුළදී ඔහු තම ගිනි අවියෙන් වෙඩි තබා ගෙන මියයයි. මේ අතර පරාක්‍රම ඇතුළු බළකායට වෙනත් අෑත කඳවුරකට මාරුවක් ලැබේ. වාසනා ගම අත් හැර පලා යයි.
02 වැන්දඹු මව සහ ඇගේ පුතා
වැන්දඹු මවක් සිය දරුවන් සමඟ දුකසේ දිවි ගෙවයි. දුගී බව නිසාම ඇය කිරි විකුණන්නට ගත්තද එය අසමත් වේ. ඇය ගමේ තරුණයකු වූ ගැමුණු සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන යයි. ඇගේ වැඩිමල් පුතු පාසල් ශිෂ්‍යයෙකි. ඔහු මාළු විකුණා සිය පවුල නඩත්තු කිරීමට සහාය වේ. ඔහු තම පාසලේ දැරියක හා පෙම් සබඳතාවක් පවත්වයි. සිය මව සහ ගැමුණු පිළිබඳ කට කතා ඔහුගේ කන වැටේ. මේ නිසා පෙම්වතිය ඉදිරියේ අපහාසයට පත්වන ඔහු නොසන්සුන් වේ. සෝදිසියෙන් පසුවන ඔහුට, සිය මව, ගැමුණු සමඟ සමහන් සුව විඳිනු නෙත ගැටේ. මේ පිළිබඳ බහින් බස් වීමකින් පසු ඔහු සිය මව පිහියෙන් ඇන මරා දමයි. ඔහුද නිවෙසින් පලා යයි.
03 දෙමළ තරුණිය
දෙමළ දැරිය මල්වර වන්නේ ඇය තම නිවෙස බලා යන බස් රියේදීය. ඇගේ මව ගෘහණියකි. පියා ලිපිකරුවෙකි. ඇගේ පාසලට පැමිණෙන කොටි තරුණයෝ, තම සටන සාධාරණීකරණය කරමින් දේශන පවත්වති. එක් රැයක ඔවුන්ගේ නිවෙසට කඩා වදින කොටි තරුණයෝ ලක්ෂ දෙකක කප්පම් මුදලක් ඉල්ලති. එය නොලැබුණොත් තරුණිය පැහැර ගන්නා බවට තර්ජනය කරති. කප්පම් ගැනීමට කොටි නිවෙසට පැමිණෙන විට තරුණිය පැන ගොසිනි. මුදල් සහ තරුණිය නොලැබෙන කොටි ඇගේ මවුපියන්ව වෙඩි තබා ඝාතනය කරති.
ප්‍රසන්නගේ ‘ඉර මැදියම’ ආකෘතියද මෙයට වෙනස් නොවේ. එහිද යුදමය පසුබිමක ආඛ්‍යාන තුනක් දක්නට ලැබේ.
01 අතුරුදන් වූ ගුවන් නියමුවා සොයා යන ඔහුගේ බිරිය සහ මාධ්‍යවේදියා. 02 හමුදා සෙබළා සහ ඔහුගේ නැඟෙණිය. 03 සිය ගම්බිම් හැර යන්නට සිදුවුණු මුස්ලිම් ජාතික පියා සහ පුතු. ඉර මැදියම අවසානයේ හමුදා සෙබළා බසයක ගමන් කරයි. ඒ දිශාවටම මුස්ලිම් ජාතිකයා ද බයිසිකලයක් පැද යයි. ඒ ඔවුන් යළි සිය ජීවිත සොයා යන ආකාරයයි.
‘ඉගිල්ලෙන මාළුවෝ’ හි ආරම්භයේද ගමන් කරන බස් රථයක් හමුවේ. ඒ තුළ වාසනා, වැන්දඹුව සහ ඇගේ පුතා මෙන්ම දෙමළ දැරියද දක්නට ලැබේ. බස් රථය නවත්වන හමුදා මුරපොළේ පරාක්‍රමද සිටියි. රියැදුරු, කොන්‍ෙදාස්තර සහිත බසය පවසන්නේ එයට නිශ්චිත ගමනාන්තයක් ඇති බවයි.
යළි ‘ඉගිල්ලෙන මාළුවෝ’ හි අවසානයේද එම බස් රථය ගමන් කරනු පෙනේ. එහෙත් රියැදුරෙක් නොමැතිව සුක්කානම කරකැවී ඉදිරියට යන බසයේ කොන්දොස්තරවරයෙක්ද නැත. එහි අසුන් ගෙන සිටින්නේ මව මරා පලා යන පුතා නිවෙසින් පලා යන වාසනා හා කොටින්ගෙන් ගැලවීමට පලා යන දෙමළ තරුණියයි. රියැදුරු නොමැති බසය, නිශ්චිත ගමනාන්තයක් නැති ඔවුන්ගේ පලා යෑම රූපණය කරයි.
වරෙක පරාක්‍රම සහ වාසනා දෙපසින් අල්ලා ගත් ගිනි අවිය මැදි කර ගෙන සමාන්තර රේල් පීලි මත ගමන් කරති. කිසිදා හමු නොවන සමාන්තර රේල් පීලි මත සිටින ඔවුන් තාවකාලිකව එක් කරන්නේ ගිනි අවියයි. යුදමය පසුබිමක හටගත් ඔවුන්ගේ ආදරය තාවකාලික එකක් බව ඉන් ගම්‍ය වේ. කෙසේ වුව පරාක්‍රම තමාව හැර යන බවට වාසනා සැක උපදවයි.
‘බුදු වෙන්න හිතා ගෙන වුණත් සිද්ධාර්ථ කුමාරයා යශෝධරා දේවිව දාලා ගිය බව මම දන්නවා. ඒ අය අපි වගේ නෙවෙයි ආත්ම ගණනක් පෙරුම් පුරපු අය’ ඒ වාසනාය. ‘දන්නවද සිද්ධාර්ථ කුමාරයා දාල ගියත් යශෝධරා දේවි සිද්ධාර්ථට හැමදාම ආදරෙන් හිටියා.’ ඒ පරාක්‍රමය.
‘මම නම් දාල ගියොත් මරනවා’ වාසනා එසේ පිළිතුරු දෙයි. පසුව පරාක්‍රම වාසනා හැරදා අෑත කඳවුරකට මාරුවක් ලැබ යයි. මහත් පීඩාවකින් පාරේ ඇවිද යන වාසනාට ගමේ පන්සලේ හාමුදුරුවෝ මුණ ගැසෙයි. ‘හාමුදුරුවනේ ඒකා ගියේ මගේ බඩට දරුවෙක් දීලා’
‘වාසනා , සිද්ධාර්ථ කුමාරයා, යශෝධරා දේවිව දාලා ගියාම යශෝධරා දේවි හඬුවද? වෛර කළාද? නෑනේ. රාහුල කුමාරයා ඉපදුණා විතරයි. ඒත් යශෝධරා දේවි, රාහුල කුමාරයාව උස් මහත් කරලා ශාසනයට පූජා කළා නේද?’
‘යශෝධරාට තිබ්බ දේවල් මට නෑනේ, හාමුදුරුවනේ.’ සති අග පුවත්පත්වල සමහර ලිපි මඟින් පැවැසුණේ ‘ඉගිල්ලෙන මාළුවෝ’ බෞද්ධාගමට අපහාස කරන බවකි. සිද්ධාර්ථ යනු ගෞතම බුදුන්ගේ ගිහි ජීවිතයේ නාමයයි. සිද්ධාර්ථ යශෝධරා හැර යන්නේ බුදු වීමෙන් පසු නොව, බුද්ධත්වයට පෙරය. මෙතැනදී මතු කෙරෙන්නේ, දරිද්‍රතාව සහ අනාරක්ෂාව සහිත යුදමය පසුබිමක වාසනාට, දරුවකු හදා වඩා ගත නොහැක යන්නයි.
චිත්‍රපටයේදී පරාක්‍රම යනු හමුදා සෙබළෙකි.
හමුදා සෙබළා රණවිරුවකු වන්නේ යුද බිමේදී රට වෙනුවෙන් සටන් කරන විටය. ඔහු තරුණියක හා පෙම් කරන විට පෙම්වතෙකි. බිරියට ඔහු සැමියෙකි. දරුවන්ට පියෙකි. තරුණියන් අතරමං කරන විටෙක සල්ලාලයෙකි. එබැවින් හමුදා සෙබළකුට රණවිරුවකු ලෙස නිත්‍ය අනන්‍යතාවක් නැත. එය රජවරු සිටුවරු මෙන්ම පුලනුන් හටද වලංගු ධර්මතාවකි. ජයග්‍රාහී යුද්ධයට මිලිටරිමය නායකත්වය දුන් හමුදාපතිටද පසු කලෙක සිරගත වන්නට සිදුවිය. එවිට ඔහු රණවිරුවකුද ? තවත් එක් සිරකරුවකු පමණක්ද? කෙසේ වුව, තරුණියක ගැබ් ගන්වා පලා යෑම රණ විරුවකුට තරම් නොවන බව සත්‍යයකි. එහෙත් ‘ඉගිල්ලෙන මාළුවෝ’ යනු චිත්‍රපටයකි. එබැවින් එය ප්‍රබන්ධයකි. පරාක්‍රම යනු ප්‍රබන්ධ චරිතයකි. සත්‍යයටත් වඩා ප්‍රබන්ධයට බිය විය යුතුද?
‘ඉගිල්ලෙන මාළුවෝ’හි දෙමළ තරුණියගේ මවුපියන් මරා දමන්නේ කොටි තරුණයන්ය. ඒ ඉල්ලූ කප්පම නොලැබුණු බැවිනි. යුදමය පසුබිමක සාමාන්‍ය ජනතාවට ඇත්තේ පීඩාවකි. හිංසනයකි. මල්වර දැරියට බසයෙන් බැසීමට සිදු වන විටත් ඇගේ මවුපියන් මරා දැමෙන විටත් ක්‍රියාත්මක වන්නේ මේ හිංසනයයි.
චිත්‍රපටයේ ඇති ලිංගික ජවනිකාවල පසුතලය වන්නේ ගරා වැටුණු ගොඩනැඟිලිය. යුදමය පසුබිමක මෙවැනි නටබුන් වූ නිවෙස් මිස සුව පහසු තානායම් නැත. එබැවින් පරාක්‍රමට සිදුවන්නේ ගරා වැටුණු නිවෙසක ආවරණයකින් තොරව වාසනා හා කායිකව එක් වන්නටය. ත්‍රිකුණාමලයේ හැදී වැඩී කොළඹට සංක්‍රමණය වූවකු ගේ නිල් චිත්‍රපට දැක්ම, මේ ලිංගික ජවනිකාවලට පදනම් වූ අයුරු පැහැදිලිය.
‘ඉගිල්ලෙන මාළුවෝ’ හි පෙම්වතා අතින් ගැබ්බරව අසරණ වන තරුණිය වාසනාය. පෙම්වතා පරාක්‍රමය. වැන්දඹු බිරියගේ පතිවත කෙලෙසන්නේ ගැමුණුය.
ඉතිහාසයට අනුව පරාක්‍රමබාහු යනු ලංකාව පෙරදිග ධාන්‍යාගාරය බවට පත් කළ රජ කෙනෙකි. දුටුගැමුණු යනු එළාර නම් ද්‍රවිඩ රජු පරදා රට එකසේසත් කළ නරපතියෙකි. එහෙත් චිත්‍රපටයේ හමුවන පරාක්‍රම තරුණියක් අනාථ කර පැන යයි. ගැමුණු අසරණ වැන්දඹු බිරියකගෙන් සිය කම්පවස නිවා ගනියි. නමින් වාසනා වුවද වාසනා යනු අවාසනාවම ජීවිතය කර ගත් තරුණියකි. ඒ අනුව ගැමුණු, පරාක්‍රම මෙන්ම වාසනා යනු හුදෙක් සංඥා නාම මිස ඒ නම් තුළ ඒවාට ආවේණික අර්ථයන් නැත.
යළි ‘ඉගිල්ලෙන මාළුවෝ’ යනුම විවිධ අර්ථ ජනිත කරවන්නකි. සිංහල ජාතිවාදියකුට මෙය රණවිරුවන්ට කළ අපහාසයක් විය හැකිය. දෙමළ ජාති වාදියකුට මෙය කොටි සංවිධානයකට කළ අපහාසයක් විය හැක. ස්ත්‍රීවාදියකුට මෙය ස්ත්‍රීන්ට එරෙහි පුරුෂ පීඩනය විය හැකිය. තවකෙකුට මෙය ඩබල් × වර්ගයේ නිල් චිත්‍රපටයක් සේ පෙනෙන්නටද ඉඩ ඇත.
චිත්‍රපටයේ එක් ජවනිකාවක එළිමහනේ ගසකට හේත්තු වී සිටින පරාක්‍රමව, වාසනා සිප ගනියි. ඇස් වසා ගන්නට ඔහුට පවසන වාසනා, ඒ ක්‍ෂණයෙන් ඔහුගේ රහසඟ කපා දමයි. ගැහැනු සොඬෙකු මේ ජවනිකාව ආදර්ශයට ගන්නට ඉඩ ඇත. ඒ මෙසේයි.
තරුණියක හා ලිංගිකව එක්වන විට වැරැදීමකින්වත් දෙ ඇස වසා නොගත යුතු බවයි. කෙසේ වුව සිංහල රිදී තිරයේ ‘මාළුවෝ ඉගිල්ලෙනතුරු’ පොකුණ බොර දිය වන තුරු වැඩිහිටියන්ට ‘සිරි පැරකුම්’ සරණයි! |
Sunday, September 22, 2013
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment