ජේත්තුකාර රස්තියාදුව |
මනමේ, සිංහබාහු යනු අතීතයේ එදිරිවීර සරච්චන්ද්‍ර අතින් නිමැවුණු නාට්‍යයන්ය. එහෙත් එම කෘතීන්හි තේමාව හුදෙක් අතීතයට සීමා වූවක් නොවේ. ඒ බැව් සනාථ කරන්නට මෙන් 2013 දී නිශ්ශංක විජේමාන්න අතින් නවකතාවකට නෑකම් කියන්නක් නිර්මාණය වී තිබේ. තිත්ත සීනි, කීඩෑවෝ ඇවිත්, මුවා මැරූ සලමන් වැනි කෙටි කතා සංග්‍රහ හරහා සාහිත්‍ය ලෝකයට පැමිණි ඔහුගේ මේ දෙවැනි දිගු කතාව ‘තාරා මගේ දෙව්දුව’යි. එක් අතකට එය අතීත කතාවක් වර්තමානය හා ගළපන්නට කළ වෑයමකි. කෙසේ වුව ‘තාරා මගේ දෙව්දුව’ කියවූ ඔබට මෙන්ම නොකියවූ ඔබගේද පහසුව තකා එහි සාරාංශය විමසා බලමු.
පුරාවිද්‍යා නිලධරයකු වන භානුක බණ්ඩාර, ක්‍රි. ව. හත්වැනි - අට වැනි යුගවල වෙල්ලස්ස, බින්තැන්න ආශ්‍රිතව වන්දනාමානයට ලක්වූ තාරා දේවි නම් දෙවඟනගේ ප්‍රතිමාවක් සොයයි. තාරා ශ්‍යාමලී කුමාරස්වාමි යනු, භානුක සිය බාලවියේ පෙම් බැඳි දැරියයි. ඇය සිංහල මවක කුස, දෙමළ පියකුට දාව උපන්නියකි. ඇගේ සමාජ තත්ත්වය හා නොපෑහෙන දුප්පතකු වූ භානුක ඇගෙන් පලා යයි. වසර ගණනාවකට පසුව අවිවාහක තාරාට භානු මුණගැසෙන විට ඔහු එක් දරු පියෙකි. ඔහුගේ බිරිය තාරාගේ ළඟම මිතුරිය වූ ප්‍රියංගාය. මේ දෙවන වර ඔවුන්ගේ හමුවීම තාරා සහ භානුකගේ ප්‍රේමය අලුත් කරන්නට සමත් විය. භානුක, තාරාට පෙම් කරන බවත්, තාරාද භානුකට පෙම් කරන බවත් ප්‍රියංගාට රහසක් නොවේ. භානුකට සිය කැණීම්වලදී තාරා දේවිගේ ප්‍රතිමාව හමුවේ. එහි හිස කඳින් වෙන් වී ඇත. එහෙත් ඒ ප්‍රතිමාවේත්, සැබෑ තාරාගේත් සාම්‍යයක් භානුක දකියි. යළි තාරා සොයා යන භානුකට ඇය මානසික රෝහලකට ඇතුළු කළ බවත්, එතැනින් මිදී පලා ගිය බවත් දැනගන්නට ලැබේ.
සැබෑ තාරා ගේ කතාව කියැවෙන්නේ දෙමළ හා සිංහල ප්‍රතිවිරෝධිතා පසුබිම් කරගෙනය. එක් අතකින් සිංහල හමුදාව, ත්‍රස්ත හමුදාව සමඟ අවසන් යුද්ධයට එළැඹ තිබේ. දෙමළ ජාතිකයන් පෙනී සිටින බව හඟවන රාජ්‍ය නොවන සංවිධානයක් ඒ මුවාවෙන් මුදල් ලබා ගැනීමේ සිට දේශපාලන අරමුණු ඉටු කර ගැන්මට වෙහෙසෙයි. භානුක, තාරා වැන්නවුන් හා ඔවුන්ගේ දක්ෂතාව මේ සංවිධානය අයුතු ලෙස ප්‍රයෝජනයට ගනියි.
වරෙක භානුක ගීතයක් නිර්මාණය කරයි.
ආ¾ඩි ළිඳේ වතුර රසයි
කලා වැවේ වතුර තරම් අම්මේ... පැලපීය අරන් දකුණුකරෙන් අපි එනවා තල් හකුරු කන්න අම්මේ...
එම ගීතය දෙමළ බසට පෙරළන්නේ තාරායි. භානුකට නොතේරෙන තනුව එකම වූ ගීතයේ පද තාරා වෙනස් කර ඇත.
කලා වැවේ වතුර රසයි ආ¾ඩි ළිඳේ වතුර තරම් අම්මේ... තල් හකුරු අරන් උතුරුකරෙන් අපි එනවා පැලපීය කන්න අම්මේ...
සිංහලයන්ට ආඩි ළිඳේ වතුර රස නමුදු එය කලා වැවේ වතුර තරම් රස නොවේ. තාරාට අනුව කලා වැවේ වතුර රස නමුදු එය ආඩි ළිඳේ වතුර තරම් රස නොවේ. සාමය සහ සමානත්වය අපේක්ෂා කළ ද ඒ ඒ ජාතීන් තමන් අනෙක්වාට වඩා ශේර්ෂ්ඨ යැයි හඟියි. කලා වැවේ බොර වතුරට වෙනස්ව උල්පත්වලින් එන ආ¾ඩි ළිඳේ වතුර රස යයි කාටවත් නොකියවෙන්නේ එබැවිනි. සත්‍යය වෙනුවට ඇත්තේ සංසන්දනාත්මක බවකි.
රස්තියාදුකාරයාට අවශ්‍ය සිංහල හා දෙමළ දේශපාලනය ‘තාරා’ කෘතියෙන් ගෙනහැර පාන්නට නොවේ. එම දේශපාලනය සංකීර්ණ සේ පෙනෙන නමුත් අතිශය සරල සමීකරණයකට වුව ලඝු කළ හැකිය. සිංහලයාට සිංහල යනුවෙන් ඔහුටම ආවේණික අනන්‍යතාවක් නැත. එපරිදිම දෙමළාට දෙමළ යනුවෙන් ඔහුටම ආවේණික අනන්‍යතාවක්ද නැත. සිංහලයකුට සිංහල වීමට දෙමළකු ඇවැසි වන අතර, දෙමළාට දෙමළකු වීමට සිංහලයකුද අවශ්‍යය. එළාර නැත්නම් දුටුගැමුණු නැති අතර දුටුගැමුණු නැතිනම් එළාරයෙක් ද නැත. ලංකාවේ උතුරු නැඟෙනහිර ද්‍රවිඩ බිම් ලංකාවේ දකුණට බලපාන අයුරු ඔබට ගෙදර වැඩ සඳහා දෙන්නම්. කොටි සංවිධානය ක්‍රියාත්මක වන අවධියේ දකුණ සහ කොටි සංවිධානය භූමියෙන් ඉවත් කළ පසු දකුණ සංසන්දනය කර බලන්න.
කෙසේ වුව ‘තාරා මගේ දෙව්දුව‘ දේශපාලන විග්‍රහයකට යෑම වෙනුවට රස්තියාදුකාරයාව පොලඹවන්නේ ‘තාරා දේවි’ ය සොයා යන්නටය. කවුද මේ තාරා දේවි? ඇය මානව හිතවාදිනියකි. පති භක්තිය ඇත්තියකි. වරින් වර මේ බිමෙහි ඉපදෙමින් ඇය ආදරය, යුක්තිය, සාමය උදෙසා පෙනී සිටින්නීය.
භානුක පසළොස්වැනි වියේදී තාරාට ආදරය කරයි. එහෙත් ඇගේ ආදරය පෙරළා ලැබේද යනු ඔහුට ඇති ගැටලුවයි. එහෙයින් ඔහු ඇය ද ඇය වෙසෙන නගරයද අතැර පලා යයි. දැන් ඔහු සැබැවින් අහිමි වූ තාරා වෙනුවට, ‘තාරා දේවිය’ ගේ ප්‍රතිමාවක් සොයයි.
ස්ත්‍රිය, සැබෑ ස්ත්‍රිය, ආදරයේ ගැහැනිය කවුද යන්නට ඔහු පිළිතුරක් ගොනු කරයි. එබඳු ගැහැනියක් අතීතයේ ජීවත්ව සිටියාය. එහෙත් ඇය වරින් වර උත්පත්තිය ලබන්නීය. මේ ආත්මයේ ඇය තාරා ශ්‍යාමලී කුමාරස්වාමිය. මේ ආදරය දන්නා ගැහැනිය සොයා යන භානුක පරිකල්පනය කරන ‘තාරා’ යි.
සරච්චන්ද්‍රට අනුව වැදි රජු, මනමේ කුමරියගෙන් කඩුව උදුරා ගත්තා මිස, කුමරිය වැදි රජුට කඩුව දුන්නා නොවේ. සියුමැලි ළඳ බොළඳ කුමරියට මේ සටන දරා ගත නොහැකිව ඇය විපිළිසරව පසු වූ බවකි. ඒ බැවින් ඒ ඓතිහාසික වරදත් අහිංසක අෑ මත පැටවෙයි.
ආදරයට පැවැත්මක් ඇත්තේ, ආදරය එක්වීමකින් කෙළවර නොවන්නක් විටදීය. ආදරය යන්න උත්කර්ෂයට නැඟෙන්නට නම් පෙම්වතුන් එක් නොවිය යුතුය. ඉතිහාසය මේ පිළිබඳ සාක්ෂ්‍ය දරයි. රෝමියෝට, ජුලියට් හමු නොවේ. ‘වදරිං හයිට්ස්’හි හීත්ක්ලිෆ්ට, කැතරින් හිමි නොවේ. ඇලෙක්සැන්ඩර් ඩුමාගේ සිටුවර මොන්ත ක්‍රිස්තෝහි එඩ්වඩ් දාන්තේට මර්සිදි හමු නොවේ. ගොළු හදවතක් දම්මිට නොතිබී දම්මි, සුගත් සමඟ පැන ගියා නම් ගොළු හදවතක් නැත.
‘තාරා මගේ දෙව්දුව‘ හි යාන්ත්‍රණයද මීට වෙනස් නොවේ. සැබෑ ස්ත්‍රිය නැතිනම් ආදරය දන්නා, සැබැවින් ආදරය කරන ස්ත්‍රිය යනු නීතිය ඉදිරියේ හෝ දෙවියන් ඉදිරියේ එක් වන ගැහැනිය නොවේ. ඇය අයිති පරිකල්පනීය ලෝකයටය. මැදි විදුහලට පැමිණෙන නවක ශිෂ්‍යාව ‘තාරා’ට ආදරය කරන්නේ භානුය. ඒ පෙනෙන විදියට ඇය ද ඔහුට ළෙන්ගතුය. අනෙක් ළමුන්ට වෙනස්ව භානුක සාහිත්‍යය පිළිබඳ දැනුම ඇති බොහෝ පත පොත කියවූවෙකි. සිංහල සාහිත්‍යයේ ප්‍රවීණයකු වූ ඇගේ පියාගේ සිත් ගන්නට භානුක සමත් වන්නේ එහෙයිනි. එහෙත් භානුක හිටි හැටියේ පලා යයි. අනතුරුව ඇයට සමීප වන්නේ භානුකගේ පාසල් සගයා දුෂ්‍යන්තය. වසරකට අඩු කලකින් ඒ සබඳතාව කෙළවර වේ. ඇගේ මස්සිනා වන දෙමළ තරුණයාට ද ඇය ප්‍රිය නොකරයි. වරින් වර ඇයට සමීප වන කිසිදු පිරිමියකු හා නිත්‍ය ඇසුරකට ඇය නොපෙලඹෙයි. ඇය භානුක පිළිබඳ පරිකල්පනීය ලොවක ජීවත් වේ.
සැබැවින්ම තරුණියකගේ සිත ඇදී යන්නේ තමාට ආදරය කරන තමා ලුහු බැඳ එන පිරිමියා වෙනුවට, තමා ආදරය කරද්දී තමාගෙන් දුරස්ව පලා යන තරුණයාටද? එක් අතකට එබඳු අහිමි ආදරයක් යනු, වෙනකකුගේ ආදරය ලැබීමෙන් වැළකීමට තරුණියක, ඇය නොදැනුම්වත්ව පවත්වාගෙන යන ආරක්ෂාකාරී යාන්ත්‍රණයකි. ආදරය යනු පරිපූර්ණ පෙම්වතකු ලැබීම නම් මිථ්‍යාව ඇයට අවශ්‍ය විවාහයෙන් ගැලවී අතෘප්තිය ආත්මය කරගෙන ජීවත් වීමටය. එය සැබෑ ස්ත්‍රිය හෝ ආදර බර ස්ත්‍රිය නොව මානසික ව්‍යාධියකින් පෙළෙන ස්ත්‍රියක සිහිගන්වන්නකි.
මීට සමානව භානුක, තාරාගේ යෙහෙළිය ප්‍රියංගා හා ආවාහ ව දියණියක ද සිටින පියෙකි. එහෙත් ඔහු ජීවත් වන්නේ තම කැදැල්ල තුළ නොවේ. පැටි වියේදී හමු වූ ‘තාරා’ දැරිය පිළිබඳ මතකයේය. ඔහු ‘තාරා දේවි’ ප්‍රතිමාව සොයා ගවේෂණය කරන්නේ නොලැබුණු සැබෑ තාරාව අජීවී තාරා දේවි තුළින් දකින්නටය.
තරුණයකු ආදරය කර හෝ නොකර විවාහ වේ. දරුවන් ලබයි. ගත වන පවුල් ජීවිතය ඔහුට සාමාන්‍යකරණය වේ. ඉන් මිදෙන්නට ඔහු තමාට සැබැවින් පෙම් කරන තරුණියක පිළිබඳ පරිකල්පනයක පැටලේ. කතාවේ එන භානුකට නම් මේ තරුණිය තාරා ශ්‍යාමලීය. ඇය අවිවාහකව සිටීමෙන් ඔහු හඟින්නේ, ඒ තමාට ඇය කළ ආදරයේ ඇති ගැඹුරු බවය. එහෙත් ඔහුට, ඇය හා කායික ඇසුරකට යෑමට ඇගෙන් ඉඩ නොලැබේ. ඒ වෙනුවට ඇය, ඔහු සමඟ කඳු මිටියාවත්වල සැරිසරයි. තමන්ගේ අතීතය පිළිබඳ ආවර්ජනයක යෙදෙයි. එහෙත් ඇයට ඔහුට හිමි වීමට ඕනෑකමක් නැත. මෙතැනදී නම් ඇය තම බාධාව බවට පත්කර ගන්නේ භානුකගේ බිරිය ප්‍රියංගා හා ඔවුන්ගේ දියණියයි. භානුක තමාට ආදරය කරන සැබෑ ආදර බර ස්ත්‍රිය තාරාගෙන් දකින නමුදු, තාරාට භානු යනු විවාහයෙන් මෙන්ම සැබෑ ජීවිතයෙන් පලා යෑමට තනා ගත් පරිකල්පනීය උත්තරයක් පමණි.
භානුක හමුවන තුරු ඇයට, ඔහු පිළිබඳව ඇති ආදරය, සත්‍යයක් සේ විශ්වාස කරමින් ජීවත් විය හැකිය. එහෙත්, ඔහු සැබැවින්ම හමු වූ පසු ඇයට පරිකල්පනයේදී හමු වූ භානුකට වෙනත් භානුකයකු හමුවේ. උඩුකය නිරුවත් කර, තම හදේ ගැස්ම භානුකට දැනෙන්නට සලස්වන තාරාට වෙනස් ව ඔහුගේ අත යැවෙන්නේ ඇගේ ඩෙනිම් කලිසම කරාය. වරෙක ඔහු, ඇය මල් පාවරයකදී තමාට යට කර ගනියි. ඇය ඔහුගේ ග්‍රහණයෙන් මිදෙයි. තාරාට අවශ්‍ය භානුකව හිමි කර ගැන්මට හෝ භානුකට හිමි වීමට නොවේ. පරිකල්පනීය ලෝකයක, සිතින් මවා ගත් භානුකයකුට පෙම් කර ව්‍යවහාර ලෝකයෙන් පලා යෑමටය.
සාහිත්‍යයේදී වේවා, නටබුන් වූ ස්ත්‍රී ප්‍රතිමා තුළ ස්ත්‍රිය සොයනවුනට මඟහැරෙන්නේ සැබෑ ස්ත්‍රියයි. එහෙත් ආදර බර ස්ත්‍රිය යනු අතීතයේදී සිටි, වර්තමානයේදී ද කොහේ හෝ ඇති ස්ත්‍රියක යැයි විශ්වාස කිරීම පිරිමියාට සහනයකි. එහෙත්, ඔබට සැබැවින්ම ආදරය කරන ස්ත්‍රිය යනු කිසිදා හමු නොවන කිසිවකුට කිසිදා හමු නොවූ මිරිඟුවකි.
තාරා,
මගේ දෙව්දුව... සොයා ගත නොහැක මට ඔබව සැබැවින්ම ගොහින් බෝ අෑත දුර නොපෙනී සිටින විට නොව රැඳී සිටින විට මා ළඟම තව තවත් ඔබ සොයා ගත නොහැක මට |
Thursday, October 3, 2013
Subscribe to:
Post Comments (Atom)
👍
ReplyDelete