ජේත්තුකාර රස්තියාදුව |
මෙම වෘත්තාන්තය කෙසේ පටන් ගත යුතු දැයි මම නොදනිමි. පසුගිය කාලය තුළ සිදුවූ හැමදේ ඒ සිදුවූ අනුපිළිවෙළින්ම මා සිහිපත් කළ යුතුයි. එහෙත් ඒ සිදුවීම් මා මතකයට නැඟෙන්නේ එවන් කාල රටාවකට අනුව නොවේ. එය එලෙසම ඔබට විස්තර කළහොත් එය අගක් මුලක් නැති නන් දෙඩවිල්ලක් යැයි ඔබ සිතනු ඇත. ඔබ කුමක් සිතුවත් මට ඉන් ඇති ඵලය කුමක්ද? මා උත්සාහ කරන්නේ ඔබට කතාන්දරයක් කීමට නොවේ. මා සිත අරක් ගත් බරකින් නිදහස් වීමටයි. ඉන් පසු මා සිටින කාමරයේ බාල්කයේ ගැට ගසා ඇති කඹයෙන් මගේ දිවි තොර කර ගනිමි.
මේ රස්තියාදුකාරයාගේ පාපෝච්චාරණයක් නෙවෙයි. නිධානයක් ගැනීමට සිය බිරිය වූ අයිරින්ව මරා දැමූ විලී අබේනායකගේ පාපෝච්චාරණයයි. විලී අපට හමුවන්නේ ලෙස්ටර්ගේ නිධානය චිත්‍රපටයෙන්. මේ නිධානයට පාදක වන්නේ ජී.බී. සේනානායකගේ එනමින්ම වූ කෙටි කතාවක්. ඒත් මෙතැනදී රස්තියාදුකාරයා ඉස්මතු කරන්නේ විලී අබේනායක ලෙස රඟපෑ ගාමිණී ෆොන්සේකාගේ ප්‍රතිභාවය. ජෝ අබේවික්‍රම, විජය කුමාරණතුංග, ටෝනි රණසිංහ, රවීන්ද්‍ර රන්දෙණිය වගේ දක්‍ෂ නළුවන් හිටියත් ගාමිණී තමයි සිංහල සිනමාවේ අසමසම පෞරුෂත්වය. ගාමිණීට කිට්ටු කරන්න නළුවෙක් රස්තියාදුකාරයාගේ ජීවිත කාලේ නම් බිහිවන්නේ නැති බව ඒකාන්තයි.
තමන්ගේ කොණ්ඩය කපාගත්තු මොරිස් බාබර්ට මුදල් දීම ප්‍රතික්ෂේප කරනවා. එතැනදී ඔහු බාබර්ලා දෙන්නටම පහර දෙනවා. මෙතැනට මැදිහත් වන්නේ සුදු සරමකින් සහ සුදු කමිසයකින් සැරසුණු මැදිවියේ අයෙක්.
‘මොකක්ද ෙදාරේ අහිංසකයන්ට සල්ලි දෙන්නකෝ’ එයින් කෝපයට පත්වන මොරිස් මැදිවියේ පුද්ගලයාට පහර පිට පහර දෙනවා. පහර කා නැඟිටන ඔහු එක්වරම එක් අතකින් සරම දණහිස තෙක් ඔසවා තිත්ත කුණුහරුපයක් කියමින් මොරිස්ට පහර දෙනවා. අවසානයේ අඩපණව වැතිර සිටින මොරිස්ට නැඟිටින්නට අත දෙන්නෙත් මැදිවියේ පුද්ගලයායි. ඒ වසර විස්සකට පසු හිර ගෙදරින් නිදහස ලබා පැමිණි චුට්ටේ. දිනේෂ් ප්‍රියසාද් අධ්‍යක්‍ෂණය කළ ‘දෙමෝදර පාලම’ චිත්‍රපටයේ ඒ තරම් තාත්වික සටනකට එක් වන්නේ චුට්ටේ ලෙස ගාමිණී ෆොන්සේකා. චුට්ටේගෙන් ගුටිකන මොරිස්ට රඟපාන්නේ හැමදාම දුෂ්ටයකු වුණු විල්සන් කරූ.
හතර දෙනාම සූරයෝ චිත්‍රපටයේ පොඩ්ඩේ ලෙස රඟපාන ගාමිණී වරක් ගරාජයකදී ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුට පහර දෙනවා. ඒ රස්තියාදුකාරයා සිංහල චිත්‍රපටයක දැකපු තාත්විකම සටන් ජවනිකාව. 60-70 දශකයේදී සිනමාවේ ප්‍රතිවීර චරිත නිරූපණය කළේ එච්.ඩී. කුලතුංග, ආනන්ද ජයරත්න, ලයනල් දැරණියගල, මොරිස් දහනායක, බැප්ටිස්ට් ප්‍රනාන්දු, පූජිත මෙන්ඩිස්, පියදාස විජේකෝන්, බන්දු මුණසිංහ, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, සේනක පෙරේරා කියන නළුවන්. මේ හැමෝම වාගේ ගාමිණීගෙන් මදි නොකියන්න ගුටි කාපු අය. ගාමිණීගෙන් ගුටි කන්න හරි, ගාමිණී එක්ක එකට රඟපාන්න ලැබීම එයාලට ලොකු ආඩම්බරයට හේතුවක්. දැන් සැදෑ සමය ගතකරන මේ සටන් නළුවන්ට නිතර මෙනෙහි කරන්න යමක් ඉතුරු කරලා ගාමිණී සමුගත්තේ.
වසන්තයේ මේ ආදරේ දේදුනු පායා....
අර ගුවනේ නැඟේ නැඟේ ඡායා
නිලට නිලේ කඩා හැලේ දිය රැලි කඳු යායේ....... මේ ගීතය ගයමින් චන්දන කිට්ටු වන්නේ චම්මිට. හදිසියේ කඩා වැටුණු ආගන්තුක තරුණයාව මඟහරින්න තැත් කරන චම්මි පසුව ඔහු හා ගී ගයනවා. මේ සෙල්වරත්නම්ගේ හොඳට හොඳයි චිත්‍රපටයේ. චම්මි ලෙස රඟපාන්නේ මාලනී ෆොන්සේකා. ඒ සිනමාවේ ගාමිණී, මාලනී යුගයයි. සේන සමරසිංහගේ බොහෝ නිර්මාණවලට එක්වුණේ ගාමිණී. කස්තුරි සුවඳ ඒ අතරින් අමතක නොවන චිත්‍රපටයක්. හැමෝටම පහර දෙන ලයනල් දැරණියගල, ගාමිණීගෙන් ගුටි කනවා. ලයනල් ආදරය කරන තරුණියගේ පෙම්වතා වන්නෙත් ගාමිණී. ලංකාවේ (අ) විචාරකයන්ට අනුව ගස් වටේ දුවන පෙම්වතුන් සිටින වට්ටෝරු සිනමාවට ගාමිණී යමක් එක් කළා. ගැලරියේ විසිල් පහර නොකඩවා ගාමිණීට වදිද්දී නිෂ්පාදකයන්ගේ පොකැට්ටුව පිරුණා. ඒක හොඳ දෙයක්. මොකද මේ චිත්‍රපටවල ලාභයෙන්, පාඩු ලබන්න බලාගෙන හරි කලාත්මක චිත්‍රපට නිෂ්පාදනයට මේ සමහර නිෂ්පාදකවරු එක් වුණා.
ගාමිණී වීර චරිත රඟපාන, පෙම් කරන චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා පිහිටෙව්වා. විජය සිංහල සිනමාවේ අහිංසක පෙම්වතා වෙද්දී, ගාමිණී අයුක්තියට එරෙහිව සටන් වැදුණා. ගාමිණී බොහොම ආක්‍රමණශීලීයි. ඔහු දුගී තරුණයකුට රඟපාන විට පවා, පොහොසත් තරුණියකට ළංවන්නේ බයාදුකමෙන් නෙවෙයි. ගාමිණීගේ පෞරුෂත්වය ආදරයේදී පවා කැපී පේනවා.
සිනමාවේ තරුණියක් ගාමිණීට ආදරේ කරද්දී ඒක බොරුවක් විදියට ප්‍රේක්‍ෂකයාට හිතෙන්නේ නෑ. මොකද ගාමිණීට ආදරේ නොකර කෙල්ලෝ වෙන කාට ආදරේ කරන්නද?
සටන් අධ්‍යක්‍ෂවරු පවා ගාමිණීගෙන් ගුටි කද්දීත් එහෙමයි. ගාමිණීට ගහන්න බැරි කෙනෙක් නැති බව අපට තේරෙනවා. ගාමිණී සිනමාව නම් මායාව ඇත්තක් බව අපට සනාථ කළා.
එතෙක් මෙතෙක් සිංහල සිනමාවේ මතකයේ රැඳෙන චරිත කිහිපයකම හිමිකාරයා ගාමිණී ෆොන්සේකා. නිධානයේ විලී අබේනායක, ගාමිණීම අධ්‍යක්‍ෂණය කරපු පරසතු මල්හි වැහිහේනේ බොනී මහත්තයා, සුනිල් ආරියරත්නගේ සරුංගල් චිත්‍රපටයේ, දෙමළ ජාතික නඩරාජා, හුලවාලි චිත්‍රපටයේ ධාරා නම් රොඩී රැහේ මහයා, නිහාල්සිංහගේ වැලිකතරේ වික්‍රම රන්දෙණිය නම් පොලිස් පරීක්‍ෂකවරයා, අමල් බිසෝහි බයිසා නම් ගැමියා ගාමිණීගේ අමතක නොවන රංගනයන්ගෙන් කිහිපයක්.
ඒත් ඔබ 60-70 දශකයේ සිනමා ලෝලියකු නම් ගාමිණී කියපු සැණින් ඔබට ගාමිණී රඟපෑ සූරයා චිත්‍රපට පෙළ මතක් වෙනවා නොඅනුමානයි. ඒ එදත් සූරයා අදත් සූරයා, සූරයන්ගෙත් සූරයා, සූරයා සූරයාමයි වැනි චිත්‍රපට. ලෙනින් මොරායස්ගේ ඔන්න බබෝ බිල්ලෝ එනවාහි ගාමිණීගේ පෙම්වතිය වන්නේ ස්වර්ණා කහවිට. ඇය සිරිල් මල්ලි චිත්‍රපටයේත් ගාමිණීගේ පෙම්වතිය. ෂරිත ලායි, වීණා ජයකොඩි, ශි්‍රයානි අමරසේන, සෝනියා දිසා, ගාමිණී හා තිරයේදී පෙම් කළ නිළියන්ගෙන් කිහිපදෙනෙක්.
වරින් වර ගාමිණී හා පටලා නිළියන් සම්බන්ධ කළ වාර ගණන බොහෝයි. ගාමිණීට පෙම් නොකර වෙන කාට පෙම් කරන්නදැයි සිතා ගාමිණී රසිකයන් සැනසෙන්නට ඇති. ගාමිණී ආදරවන්තයකු මිස සල්ලාලයකු නොවේ. අද දවසේ නිළියන් අධ්‍යක්‍ෂවරුන්, නිෂ්පාදකවරුන් මෙන්ම ජනප්‍රිය නළුවන් හා නිදි වදින්නේ චිත්‍රපටයක ප්‍රධාන චරිත පතාය. එහෙත් ගාමිණී යනු එවැනි භින්න පෞරුෂයක් හිමි නළුවකු නොවේ. ලෙස්ටර්ට හැරෙන්නට සිනමා ලෝකයේ අනෙක් අයට ‘ගාමිණී සර්’ය. නැතිනම් ගාමිණී මහත්තයාය. ගාමිණී සැබැවින්ම මහත්මයෙකි.
පට් පට් ගා මුදල් සෙවීමට ගැමියන් උනන්දු කළ ටෙලි නාට්‍ය වූයේ පළිඟු මැණිකේය. පුදුමයකට මෙන් ඒ නාට්‍යයේ රඟපෑ කිහිපදෙනකුම අද මුදල් පතා කඩේ යන්නන්ය. එහි එක් නළුවකු තමාව හඳුන්වා ගන්නේ ගාමිණීගේ පුනරාගමනය ලෙසයි. ගාමිණීට රඟපෑමෙන් සම වීමට තබා ගාමිණී වැනි පෞරුෂයක් ගොඩ නඟාගන්නට සිහින මැවීම පවා විහිළුවකි.
ගාමිණී යනු නාගරික ශික්‍ෂණය ලද සැබෑ පිරිමියෙකි. අද සිනමාවට නැත්තේද පිරිමි නළුවන්ය. මේ බව නැවත නිර්මාණය කළ නීල් රූපසිංහගේ හතර දෙනාම සූරයෝ නැරඹුවා නම් වටහාගත හැකිය. පොඩ්ඩේට සමාන වන්නට නූතන පොඩ්ඩේට කිසි ලෙසකිනුත් නොහැකිය.
මේ කියවන ඔබ රස්තියාදුකාරයා අතීත කාමයේ හිරවී සිටින්නකු ලෙස වටහාගනු ඇත. අද දවසේත් දක්‍ෂ තරුණ නළුවන් නැත්තේ නොවේ.
ඒ බොහෝ කොට චරිතාංග රංගනයටය. රවීන්ද්‍ර රොෂාන්, ජගත් බෙනරගම, ජගත් මනුවර්ණ දක්‍ෂ තරුණ නළුවන්ය. කමල් අද්දරආරච්චිට චිත්‍රපට ලැබුණා නම් ඔහුගේ දක්‍ෂ රඟපෑම් දැකගන්නට තිබිණි. සේනාධීර රූපසිංහ අකාලේ මිය නොගියා නම් ගාමිණීට කරට කර සටනක් දීමේ හැකියාව ඔහුට තිබිණි.
දඩයමේ ජයලාල් ලෙස රඟපෑ රවීන්ද්‍ර, බඹරු ඇවිත්හි බේබි මහත්තයා මෙන්ම පාර දිගේහි චන්දරේ වූ විජය, වැලි කතරේ ගෝරිං මුදලාලි වූ ජෝ, දෙලොවක් අතරෙහි නිශ්ශංක වූ ටෝනි, විරාගයේ අරවින්ද වූ සනත් සිංහල සිනමාවේ මතකයේ රැඳෙන රංගනයන්ය. බොහෝවිට දෙවැනි පෙළ චරිත නිරූපණය කළ කලං, විමල්, සෝමසිරි දෙහිපිටිය, සිරිල් වික්‍රමගේ යනුද සිනමාවේ දක්‍ෂ නළුවන්ය.
එහෙත් ගාමිණීගේ වියෝව සිංහල සිනමාවට දරාගත නොහැකිය. ගාමිණීගේ අඩුව යම් තරමකට විජයගෙන් පිරිමසා ගත්තද, රිදී තිරය පිරෙන පෞරුෂත්වයක් ගාමිණීගෙන් හැර කාගෙන් අපේක්‍ෂා කරන්නද? ගාමිණීගෙන් පහර කන්නට නොලැබුණු සටන් නළුවන්ට මෙන්ම ගාමිණී හා පෙම් කරන්නට නොලැබුණු නිළියන්ට කනගාටුව ප්‍රකාශ කරමින් රස්තියාදුකාරයා සමුගන්නම්.
රන්මසු රන් කිරිගරුඬ තලාවක සැලෙන නදින් ඔබ අමතන්නම් පා යුග එසවෙනවා මා ඔබ වෙත එනවා ආවා සොයා....... ආවා සොයා ආද |
Wednesday, October 16, 2013
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment