Sunday, July 21, 2013

ජේත්තුකාර රස්තියාදුව

නුවර වැවේ ජල තලය සිපගෙන හමාපු සුළඟ රස්තියාදුකාරයාට සිසිලසක් ගෙනාවා. වියළි කලාපයේ වැව් නොතිබුණා නම් පුල්ලෙයාර් සාමිගෙ පිහිට විතරයි. වැව් ඉවුරේ වැටිලා තිබුණු රූස්ස ගහක කඳකට හේත්තු වුණු රස්තියාදුකාරයා ඉමක් කොනක් නැති ජල කඳ දිහා බලාගෙන හටියා. ඊට ටිකක් එහා හිටපු රස්තියාදුකාරයාගේ අඹයහළුවා, අමර ගිටාරයේ තත් පිරි මදිනවා. තව මොහොතකින් පටන් ගැනෙන මධු සාදය සඳහා පෙර සූදානමක් ඒ. අෑත වැව් ඉවුරෙන් මිනිස් රූ දෙකක් මතු වෙනවා රස්තියාදුකාරයාට පෙනුණා. එයාලා ළං වෙද්දි ඒ ගැහැනු දෙදෙනකු බවත්, තවත් ළං වෙද්දි ඒ අහිගුණ්ඨික ගෝත්‍රයේ අය බවත් රස්තියාදුකාරයාට වැටහුණා.


ඒ දෙන්නා අමර ළඟ නැවතුණා. කම්මැළිකමෙන් ඒ දිහා බලපු රස්තියාදුකාරයා දැක්කේ එතැන හිටපු මහලු කාන්තාව අමරගෙ අත අල්ලා ගන්නවා. අමරට සාත්තරයක් අහන්න හිතිලා. අනෙක් තැනැත්තිය රස්තියාදුකාරයා දිහාවට ඇවිද ගෙන ආවා. එයා යන්තම් තරුණ වියට පා තබපු හිරිමල් යෞවනියක්. ගැටිස්සියක්. ඇගේ කෝපි පැහැ නිරෝගී සමත්, දම් පැහැ හැට්ටයෙන් එළියට පනින්න දඟලන රණ තිසරුන්වත් රස්තියාදුකාරයාගේ ඇස්වලට වහං වුණේ නෑ. රස්තියාදුකාරයාට සාත්තර ගැනවත්, නක්‍ෂත්‍රය ගැනවත් විශ්වාසයක් නෑ. අත නොපොවන මානේ අෑත ආකාසයේ පෙනෙන, නොපෙනෙන ග්‍රහ තාරකා මිනිස්සුන්ගේ ජීවිතවලට බලපාන විදිය එයාට තේරෙන්නේ නෑ.

"මාත්තියා, අත බලනවා. සාත්තර කියනවා."
තරුණියගේ මියුරු කට හඬ ඇහුණු රස්තියාදුකාරයා ඇගේ මුහුණ බැලුවා.
"අම්මෝ! ඇස්වල ලස්සන. ගිනි කන වැටෙනවා."
රස්තියාදුකාරයා තරුණියන් කී දෙනකුගේ අත පතලා තියෙනවද? ඒත් ඒ හැම මොහොතේම අත් වුණේ පරාජය විතරයි. ඉතිරි වුණේ පසුතැවිල්ල. "හැන්ඩියන්ට බඩු නෑ." කියලා රස්තියාදුකාරයා හිත හදා ගත්තා. අද නම් රස්තියාදුකාරයාට පුල්ලෙයාර් දෙවියන්ගේ බැල්ම වැටිලා. ලස්සන කෙල්ලක්, රස්තියාදුකාරයාගේ අත ඉල්ලනවා. අහිගුණ්ඨික කෙල්ලක් තමයි. කෙල්ල ලස්සන නම් සෝමාලියාවේ වුණත් මොකද? හරි. හරි. සාස්තරයක් කියන්න තමයි. ඒ වුණාට අත ඉල්ලනවනේ. නිකන් වේළෙන එකේ අතින් ඇල්ලුවත් මදිද?
රස්තියාදුකාරයා පොඩ්ඩක් විතර අදි මදි කරලා කෙල්ලට අත දික් කෙරුවා. අම්මෝ! අතේ සිනිඳු. ඇල්ලුවට හපන්න බෑනේ. කෙල්ලගෙ ඇස්වල මොකක්ද වශීකරණයක්. ස්වර්ණමාලි චෛත්‍යය ළඟදී දුටුගැමුණු රජ්ජුරුවන්ට හමු වුණු නාග කන්‍යාවිය රස්තියාදුකාරයාට මතක් වුණා. මේකිත් නාග ලෝකෙන් ඇවිත්ද මන්ද? හරි නේන්නම් බුලත් විටක් කාලා තොල් දෙකත් රතු වෙලා. නාග ලෝකෙනෙ බුලත් තියෙන්නේ. රස්තියාදුකාරයාට දුටුගැමුණු රජ්ජුරුවෝ වෙන්න බෑනේ. අඩු ගාණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රි කෙනෙක්වත් වුණා නම් පාර්ලිමේන්තුවට යන්න සුදුසුකම් හදාගන්න තිබුණා.
"මාත්තියාගේ මනමාලකම තමා තියෙනවා. මාත්තියා කොහේ ගියත් එතැන බලවත් උදවිය තමා යින්නවා. වැනෙන හිතක් තමා තීනවා. එක නෝනාට මාත්තියා ආදරේ නෑ."

යකෝ! හෙණ ගහන්න එපායැ මේකි කියන කතා. මොන පිරිමියාද මනමාල නැත්තෙ. හැම එකාම වගේ හිත යටින් වල්. සිල් ගත්ත පූස් පැටව් වගේ හිටියට. එක අතකට මේකී කියන්නේ ඇත්ත තමා. යන යන තැන ගෑනු ඉන්නවා නේන්නම්. ගෙදර ගියාම අම්මලා, නංගිලා,අක්කලා ඉන්නවා. මහ පාරේ, බස් එකේ, කෝච්චියේ හැම තැනම කෙල්ලෝ ඉන්නවා නේන්නම්. ඒක ඉතින් මම කරන දෙයක් නෙවෙයිනේ. ලංකාවේ ජනගහනයෙන් වැඩි කොටස කොහොමටත් කාන්තාවොනේ.
"මාත්තියා සෙල්ලක්කාරයා තමා. මේ අතින් හම්බ කරනවා. අනික් අතින් විසි කරනවා. අපරාදේ සල්ලි තමා පුච්චනවා. මාත්තියා වටේ යාළු, මිත්‍රයෝ ගොඩායි. ඒත් හදිසියකට, නරක දවසට කවුරුත් නෑ. මාත්තියාට".

සාස්තරකාරිය අල්ලේ රේඛා යන්තමින් පිරි මදිමින් පැවැසුවා.
රස්තියාදුකාරයාගේ යටි කයේ නිරුවත ලොවෙන් වහං කළේ කාබන් බ්ලූ ඩෙනිමක්. උඩුකයේ තිබුණේ බොත්තම් කිහිපයක් විවර වුණු ලිනන් කමිසයක්. අනුරාධපුරයේ ආවට, රස්තියාදුකාරයා සිල් ගත්තේ නෑ. ඒ නිසා එයා සුදු ඇඳුම් ඇඳලා මල් වට්ටියක් අතේ දරාගෙන හිටියේ නෑ. මේකි අමරගේ අතේ තිබුණු ගිටාරය වගේම රස්තියාදුකාරයා අතේ දැල්වුණු දුම් වැටියත් දකින්න ඇති. ඉතින් මේ සලකුණු සාස්තරකාරි දකිනවනේ. ඉතින් මෙයාලාට සෙල්ලක්කාරයෝ කියන්නෙ අමුතුවෙන් හස්ත රේඛා ශාස්ත්‍රය අවශ්‍ය වෙන්නෙ නෑ. සල්ලි පුච්චනවා කියන්න ඇත්තේ දැල් වුණු දුම් වැටිය දිහා බලලා. ඒත් කෙල්ල බොරු කිව්වේ නෑ. හදිසියකදි කවුරුත් නෑ තමයි. මොකද නරක දවස් කිය කියා එන්නේ නෑනේ. ඇත්ත තමා. නොදන්නා පළාතකදි, නොදන්නා මිනිසුන් අතරේ හදිසි කරදරයක් වුණොත් යාළුවෝ කවුරුත් නෑනෙ. එයාලා දැන ගනිද්දි පෙරහර ගිහිල්ලා.

ඒත් නරක කාලෙකට කවුරුත් නැති වේවිද? ඒක දැන්ම හිතා ගන්න බෑනේ. එතකොට මේ දැනුත් ළඟ ඉන්න අමරවත් නැති වේවිද? රස්තියාදුකාරයා අමර දිහා සැකෙන් බැලුවා. අමර ඇහැක් ගහලා හිනා වුණා. ඒ මූණේ වංකභාවයක ලකුණක් හොයා ගන්න තිබ්බේ නෑ.
සාස්තරකාර තරුණිය නොනවත්වා ‍ෙදාඩෝනවා. පිස්සෙක් ළඟ හැදුණු ගිරා පැටියෙක් වගේ.
"මාත්තියා ආදරේ නෑ. හැබෑවට මාත්තියගේ නෝනා තමා ආදරේ. නෝන වස ගේනි. පිරිමි නැකැතෙ ඉපදිලා තියෙන්නේ".
අරක්කු, සිගරැට් බොන මිනිහෙකුගේ ගෑනියක් අනිවාර්යයෙන් වස ගේනි තමා. මොකද මිනිස්සු බීලා ගෙදර එනවට ගෑනු කැමැති නෑ. එක පැත්තකින් ධන හානිය. අනික් පැත්තෙන් සෞඛ්‍යය පිරිහීම. ඉතින් බේබද්දෙකුගේ බිරියක් වස ගේනි නොවී, සීදේවි ගෑනියක් වේවිද? ආ! මෙයා රස්තියාදුකාරයාගේ මඟුල් මුද්ද දකින්න ඇති. ඒ මදිවට නෝනාගේ ඇමතුමක් ඒ වෙලාවේ ආවනේ. ඒ දුරකතන ඇමතුම නතර කළේ "පිස්සුද? මම බොන්නෙ නෑ." කියල නේ. ඉතින් මේ සීදේවි සාස්තර කෙල්ල එක පාරම රස්තියාදුකාරයා මධු ලෝලියෙක් වගත්, නෝනා ඒකට සීමා පනවන බවත් දැන ගත්තා.

රස්තියාදුකාරයාගේ සිතුවිලි දැහැනට බාධා කරමින් සාස්තරකාරි යළිත් ‍ෙදාඩන්න ගත්තා.
"මාත්තියාට මාරක අපලයක් තිබුණා. ඒත් ඒක මඟ හැරුණා. ඒත් තව අවුරුදු දෙකකින් තමා තව අපලයක් තියෙනවා."
රස්තියාදුකාරයා තමන්ගේ අතීතයට එබී බැලුවා. බැලුවම අතීතය කියන්නෙම අපලයක් තමා. දෙපාරක් දියේ ගිලිලා මැරෙන්න ගියා. එක පාරක් මල්වතු ඔයේදී, අනිත් පාර කලා ඔයේදී. දෙසැරෙම රස්තියාදුකාරයාගේ පිහිටට රස්තියාදුකාරයාගේ පියා ළඟම හිටියා. මෙතැනදි රස්තියාදුකාරයාට අතීත කතාවක් සිහියට එනවා. මේ නුවර වැවේදිම අවුරුදු පනහකට විතර අෑත අතීතයේදී රස්තියාදුකාරයාගේ පියා කෑගල්ලේ විද්‍යා ගුරුවරයකුගේ පුතෙක්ව මරණයෙන් ගලවා ගත්තා. අද ඒ පුතා ඇමැතිවරයෙක්. ඇමැතිවරයෙක් වුණත් පව් අප්පා පරාණයක්නේ. වැරැද්දක් කියන්න බෑ. ආ! හදිසි අනතුරු දෙකකටම රස්තියාදුකාරයා මූණ දුන්නා. ඒවා මාරාන්තික නෑ. යන්තම් මාස දෙක තුනකින් අත, පය කඩාගෙන නමුත් ගොඩ ආවා. මේ අපලෙ රස්තියාදුකාරයාට තිබ්බේ තරුණියකගෙන් වෙන්න බැරිද? පාසල් ප්‍රේමය රුවනි අද කැනඩාවේ. සමහර වෙලාවට රස්තියාදුකාරයා එයාගේ පරණ පෙම්වතියන් එයාලගේ සැමියන් එක්ක දකිනවා. එයාලා රස්තියාදුකාරයාට වචනයක්, දෙකකිනුත් සංග්‍රහ කරනවා. රස්තියාදුකාරයාට ලොකු සැනසිල්ලක් දැනෙනවා. මොකද එදා සොඳුරුවට පෙනුණ සිහිනිඟ දැන් හොයා ගන්න බෑ. කැලණි ටයර් මතු වෙලා. ඒවා නම් රස්තියාදුකාරයා ගැලවුණු මාරක අපල වෙන්න පුළුවන්.

අතීතයේ අපල ගෙවුණා කියමුකෝ. එතකොට ඉදිරියෙදි විඳින්න ලැබෙන අපලෙ මොකක්ද? රස්තියාදුකාරයාගේ පුංචි කාලේ පාසල් මිතුරියකගේ සැමියකු නම් වරක් දෙවරක් රස්තියාදුකාරයාව මරන බවට තර්ජනය කළා. ඒකවත් වෙයිද? රස්තියාදුකාරයා පව්! ඒක මේ වරදවා වටහා ගැනීමක්. ඒ සැමියා හෙණ අබ්ලික් පොරක්. මිනිහා හිතන්නේ ගෑනියෙක් මිනිහෙක් එක්ක කතා කළොත් බබාලා හම්බ වෙයි කියලා.
ඉතින් මේ සාස්තරය ඉවර වුණේ තරුණිය, රස්තියාදුකාරයාගේ දිග හැරපු අත මිට මොළවලා. සාස්තරේට නෙවෙයි කෙල්ලට වශී වෙලා හිටපු රස්තියාදුකාරයාගේ දුප්පත් පසුම්බියෙන් කොළ දෙක තුනක් අරන් ඒකි යන්න ගියා. ඒකි එක්ක ඒකිගේ රැහේට එකතු වෙලා නයි නටවලා, රිළව් නටවලා, රෑට අර චූටි කූඩාරමකට ඒකිත් එක්ක රිංගන ආශාවක් රස්තියාදුකාරයාට ඇති වෙලා, නැති වෙලා ගියා. රස්තියාදුකාරයාගේ හිත ඒ කෙල්ල කිව්වා වගේ අයාලේ යනවා.
සාස්තරකාරිගෙන් හිත අමාරුවෙන් මුදා ගත්තු රස්තියාදුකාරයා, ඒ තරුණියගේ වදන් මෙනෙහි කළා. නාඳුනන මිනිහෙකුට ගැළපෙන විදිහට අනාවැකි කීම අමාරු නෑ. ජීවිතේ පුරා රස්තියාදු ගහන අහිගුණ්ඨිකයෝ සාමාන්‍යයෙන් මිනිස් මනස සම්බන්ධ විශේෂඥයෝ. එයාලා ෆ්‍රොයිඩ්ව, ලැකාන්ව හදාරලා නෑ. අහලවත් නෑ. ඒත් ව්‍යවහාරයෙන් ලද දැනුමෙන් කෙනෙකුගේ මනසට කිට්ටු කරන්න දක්‍ෂයි.
එයාලගේ සුලබ යෙදුම් තියෙනවා. ඒවා සමාජයේ තරා තිරමක් නැතිව වලංගු වෙනවා. "මහත්තයා හම්බ කරනවා. වියදම් කරනවා. යාළුවෝ පිරිවරාගෙන. ඒත් හදිසියකදි කවුරුත් නෑ."

මෙතැන හරි පුදුම දෙයක් තියෙනවා. නොකා, නොබී ඉතිරි කරන මසුරෙක් ගන්න. ඒ මිනිහාත් හිතන්නේ මිනිහාගේ වියදම් වැඩියි කියලා. ඉතින් මසුරෙක්ම වුණත් "අත දිග හැරලා වියදම් කරනවා" කියන එක වලංගුයි.
යාළුවෝ නැතිව හිතවතුන් පමණක් ඉන්න කෙනෙක් ගන්න. එයා සමීපව කාවවත් ආශ්‍රය කරන්නෙ නෑ. දන්න අඳුනන අය එක්ක වචනයක්, දෙකක් හුවමාරු කර ගන්නවා. හැබැයි ඒ එයා දන්න යාළුකම. ඇත්තටම තමන්ට යාළුවෝ නෑ, තමන් හුදෙකලා බව කෙනකුට වැටහුණොත් ඒක ටිකක් දරා ගන්න අමාරුනේ. ඒත් මේ අඩු කතා අඩු සිනා ඇති පුද්ගලයා පවා හිතන්නේ තමන්ට යාළුවෝ ඉන්නවා කියලා. මොකද සමීප ආශ්‍රය නැති වුණාට දන්න හඳුනන මුහුණු එයා දන්න යාළුකමට ආදේශ වෙනවා.

මේ විදියට කෙනෙක්ගේ ත්‍යාගශීලී බව, ධාර්මික බව, කරුණාවන්තකම, උගත්කම පිළිබඳව ඕනෑ තරම් කතා කරන්න පුළුවන්. හොරෙක්, වංචාකාරයෙක් වුණත් හිතන්නේ තමන් අවංක මිනිහෙක් කියලා. ඇමෙරිකාවේ හිටපු දරුණු අපරාධකාරයකු වුණු ටුගන් ක්‍රව්ලි පවා පැවැසුවේ "එයා ජනතාවගේ හිතවතෙක්" කියලා. අප එළියේ ඉඳන් නරක මිනිස්සු විදියට දකින පුද්ගලයන්ට පැවැත්මක් තියෙන්නේ ඔවුන් සමාජයේ පැවතෙන්නේ තමන් යහපත් මිනිසුන් වශයෙන් ඔවුන්ම විශ්වාස කරන නිසා. එක අතකට මිනිස් මනසේ විශේෂත්වයක් මෙතැනදී දැකගත හැකි වෙනවා. කෙනකු සැම විටම තමා අතින් වන වැරැදි තමාගෙන් පිට අනෙකෙකු වෙත භාර දෙනවා. තමා නොව වෙනත් අයකුට පටවනවා.

ඒ එසේම වෙනකෙ ගේ යහපත් ක්‍රියාවක් තමන්ගේ නම ඉදිරියේ ලකුණු කර දමනවා. මෙසේ අප සෑම විටම අපවම දකින්නේ යහපත් අයකු ලෙසයි. ඉතින් අහිගුණ්ඨික තරුණියකට ආචාර්යවරු, මහාචාර්යවරු පවා යටපත් කරගත හැකියි. එය ඇගේ හැකියාව නොව, සමාජයේ මිනිසුන් බොහොමයක් තමන් ගැන මවා ගෙන ඇති ප්‍රතිරූපයයි. ඔවුන් තමන්වම දකින ආකාරයයි. එය ඇය ව්‍යවහාර දැනුමෙන් ඔවුන් හට පවසනවා.
අතීතය යනු සිදුවීම් තැනින් තැන මතක, බොහෝ මතක අමතකව යන ගෙවුණු කාලයක්. ඒ කාලයේ අපල තිබූ බව සිහියට නඟා ගත හැක්කේ අමාරුවෙන්. ඉතින් සාස්තරකාරියකට කෙනෙක්ගේ අතීතයේ අපල ගැන ඕනෑ දෙයක් කිව හැකියි.
එමෙන්ම අනාගතය යනු තවමත් ළඟා නොවුනක්. ඒ ගැන දැන් තියා කිසිවක් කියන්න බෑ. එබැවින් සාස්තරකාරියකට කෙනෙක්ගේ අනාගතය ගැන නොබියව ඕනෑ දෙයක් කිව හැකිය.

පාසලේ දෙකේ පන්තියේදී කට්ටි පැන්න අයෙකුට පවා තමන් නූගතෙක් නොවේ. එබැවින් ඕනෑම මෝඩයකුට, පිස්සකුට පවා මහා උගතකු ලෙසම අනාවැකි කිව හැකියි. ඔවුන් පවා සිතන්නේ සමාජය මෝඩයි තමන් නුවණැත්තන් ලෙසයි.
සාත්තර බොරු බව ඇත්ත. ඒත් සොඳුරු ළඳකගෙන් ඉඳ හිට අත බලවා ගත්තම ඒකෙ වැරැද්දක් නම් නෑ.

No comments:

Post a Comment