ජේත්තුකාර රස්තියාදුව |
එදා සෙනසුරාදාවක්. රස්තියාදුකාරයා උදේම නුවරඑළිය යන්න පිටත් වුණා. ඒ එයාගේ යාළුවෝ වගයක් එක්ක. එයාලව රැගත් වෑන් රිය නිට්ටඹුව පසු කරලා අත්තනගල්ල පාරට වැටුණා. වයින් ස්ටෝර්ස් එක එක පහු වෙන්න ගත්තා. දංගොල්ලවත්තෙන් පස්සේ උණගහදෙණිය. ආයි සෑහෙන වෙලාවකින් ගෝනගල්දෙණිය. මේ විදියට යටියන්තොට, කිතුල්ගල තිබුණු සුරාසල් පසු කරලා ගිනිගත්හේනට ළඟා වුණා. වෙනදා නම් මේ වගේ ගමනකදී වාහනේට නැඟපු ගමන් මධුවිත අතට ගන්නේ.
එදා නඩේ ගුරා බුද්ධික. එයා නුවරඑළියට යන තුරා මධුවිතට සීමා පනවලා තිබුණේ. වාහනේ ගිනිගත්හේනේ නැවැත්වුවෙත් දිවා ආහාරය ගන්න. ඒත් ටික වෙලාවකින් හේමන්ත කොහෙන්දෝ බ්‍රෑන්ඩි බෝතලයක් ගෙනාවා. කටගැස්මට වඩෙත් එක්ක. දැන් මොන දවල් කෑමද? යහළුවෝ නඩේ ගුරාගෙ තහනම නොතකා බෝතලයට වග කියන්න පටන් ගත්තා. මඳ පවනේ යම්තමට එහෙන් මෙහෙන් සින්දු කෑලි ඇහෙන්න ගත්තා. කිසි ගැම්මක් තිබ්බේ නෑ. ඒත් ඊළඟ සින්දුවට හැමෝම අත්වැල් අල්ලන්න වුණා. සමන්ගෙ ගිටාරය ප්‍රාණවත් වුණා.
දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට
නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට පිපි මලක් වුණා මල් නොපිපෙන තටාකෙට ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට මධුවිත එක්ක සමඟාමීව යන්නේ ගීතයයි. ඒත් මේ ගීත කියන්නෙම ආයි ජෝති. ජෝති අයියාගේ සින්දු නොකියන ප්‍රිය සාදයක් විනෝද ගමනක් ගැන හිතා ගන්න බෑ. මේ තැන්වල සජීවී බව ප්‍රාණවත් බව රකින්න ජෝති අයියා ඕනෑමයි.
ජෝතිපාල අපෙන් සමු අරන් අවුරුදු විසි හයයි. ඒත් අදටත් ජෝතිගෙන් තොරව සිංහල ගීතයට පැවැත්මක් නෑ. කාලෙකට ඉස්සර ලංකාවේ ගායකයන්ව ප්‍රබුද්ධ, පීචං විදියට වර්ග කරලා තිබුණේ. ජෝති අයත් වුණේ පීචං කාණ්ඩයට. ඒත් එදා පීචං ජෝතිගෙන් තොරව සිංහල සිනමාවක් තිබුණේ නෑ. ජෝතිගේ ඇවෑමෙන් ලංකාවේ වාණිජ සිනමාව සුන්නද්දූලි වෙලා ගියා. එදා සිනමාවේ දැවැන්තයන් වුණු ගාමිණීට, විජයට පසුබිම් ගායනා කළේ ජෝති. ගාමිණී - මාලනී පෙම් රැඟුම් වගේම විජය - මාලනී පෙම් රැඟුම් ජනාදරය දිනා ගත්තේ පසුබිමේ ඇසුණු ජෝතිගේ මියුරු කට හඬ නිසා.
කොහොම නමුත් රස්තියාදුකාරයා ජෝතිගේ ජීවිත කතාව හරි ජෝතිගේ මනුෂ්‍යකම ගැන හරි ලියන්න වෙහෙසෙන්නේ නෑ. මොකද ජෝති මැරුණට පස්සේ හැමෝම වගේ ජෝතිගේ ගුණ ගායනා කරන්න අරන්. සමහරු ජෝතිව සින්නක්කරේටම අරන්. ජෝති කතා නොකරන තැන ඕනෑ කෙනකුට ඕනෑ දෙයක් කියන්න පුළුවන් නේ. ඒ නිසා රස්තියාදුකාරයා අවදි කරන්න හදන්නේ ජෝති ගෙ ගීත එක්ක සබැඳුණු අතීතය.
රස්තියාදුකාරයාට කුඩා කාලේ පාසල් ගියේ වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයට. ඒ කාලේ දැන් වාගේ පෞද්ගලික විනෝදාස්වාද වන රූපවාහිනි, කැසට්, පරිගණක තිබුණේ නෑ. තිබුණේ පොදු විනෝදාස්වාද මාධ්‍යයන් වන චිත්‍රපට, වේදිකා නාට්‍ය. ඒත් බහුතරය ඇදිලා ගියේ සිනමාවට. කුඩා රස්තියාදුකාරයා සති අන්තය වන තුරු බලා ඉන්නේ සිය පවුල පිටින් පිච්චර් හෝල් එකකට රිංගන්න.
පාසලේ විදුහල්පති හිටියේ වටද්දර ලියනගේ කවියා. පන්තිය භාරව හිටියේ සිතා වීරමන්ත්‍රි ගුරුතුමිය. දවසක් ලියනගේ සර් පන්තියට ආවා. ඒ ආවේ ටේප් රෙකෝඩරයක් කියලා මැජික් භාණ්ඩයක් අරන්. ඒකෙන් අපි කියන දේ නැවත අහන්න පුළුවන්. මාරයිනේ! ලියනගේ සර්ට ළමයින්ගේ සින්දු කීපයක් පටිගත කරන්න ඕනෑ වුණා. ඒ දවස්වලත් විරිදු කියන කාන්ති හේමමාලි ෆොන්සේකා විරිදුවක් ගායනා කළා. මංගල සුසන්ත කිව්වේ කවියක්. චුටිටං බට්ටිච්චා දං ගෙඩියක් දැක්කා.. කියලා. රස්තියාදුකාරයාත් ඇරියේ නෑ. කිව්වා සින්දුවක් දන්නවද රස්තියාදුකාර පොඩ්ඩා කියපු සිංදුව.
එපා වුණත් හෙට ඕනෑ වේවි
නාවොත් ඔයාට තරහ හිතේවි ආඩම්බර වී තැවෙන්න වෙයි අඬා නොරොක් වී සිටින්න වෙයි. හිතා මතා මේ කියන්නේ මං හෝ හෝ තුෂරා........... ඒ දවස්වල රස්තියාදුකාර පොඩ්ඩගෙ කටේ තිබුණේ තුෂාරා චිත්‍රපටයේ සින්දුනේ. ලස්සන සීතා ටීචර් නම් යම්තමට රවලා බැලුවා. ඒ කාලේ අපේ සීතා ටීචර් අපට තරවටු කළහම අපට දුකයි. ඒ ටීචගෙ හිත රිදුණු නිසා. ඒ තරමට අපි ටීචර්ට ආදරෙයි. ලියනගේ සර්ට නම් පොඩි හිනාවක් ගියා. හොර නැතුව එතුමා දෙපාරක්වත් තුෂාරා නරඹලා ඇති.
ඒ දවස්වල ජනප්‍රිය චිත්‍රපටයක් එක්ක ඒ චිත්‍රපටයේ ගීත ඇතුළත් පොත් වෙළෙඳපොළට එනවා. සත පහක් වෙන්න ඕනෑ මිල. රස්තියාදුකාර පොඩ්ඩා බස් එක මඟහැරලා පයින් ඇවිත් ඉතුරු වුණ සල්ලි දාලා මේ ගීත පොත් ගන්නවා. හවසට වත්ත කෙළවරේ තිබුණු කීන ගහේ අත්තට නැඟලා මහ හයියෙන් ජෝතිගේ සින්දු කියනවා.
ඒ කාලේ රස්තියාදුකාර පොඩ්ඩගේ කටේ ජෝතිගේ ගීත මහ හුඟක් තිබුණා.
චන්දන ඇල්ලෙන් නාලා- අංජන මල් මී ගාලා
හැංගුන බඹරා ආවා - ලස්සන රහසක් කීවා මේ ගීතය අඩංගු චිත්‍රපටය පොඩි කාලේ බැලුවට පස්සේ රස්තියාදුකාරයා දැකලා නෑ. එයාට මතක විදියට 'සුජීවා' චිත්‍රපටයේ මේ සිංදුව ගයන්නේ රෝයි ද සිල්වා. රස්තියාදුකාරයාට නිව්ටන්ගේ නියම අද මතක නෑ. සූර්යයා පෘථිවිය වටේ ගියත් එකයි. පෘථිවිය සූර්යයා වටා ගියත් එකයි. ඇමෙරිකාව හොයා ගත්තේ කවුද? ඇමෙරිකාව නැති වෙලා තිබුණාද? එහෙම මතකයක් නෑ. ජෝන් ලොගී බෙයාඩ් රූපවාහිනිය නිපදවපු නිසා එයා එක්ක නම් තරහක් තියෙනවා. රස්තියාදුකාරයාට යන්තම් පන්සිල් පද නම් මතකයි. ඒත් පිළිවෙළට නෙවේ. කොහොමත් දෙකක්ම අත් හරින්න වෙනවානේ.
ඒ මොනවා වුණත් දෙකේ, තුනේ පන්තිවල ඉගෙන ගනිද්දී පවා නරඹපු චිත්‍රපට වගේම ඒවායේ ජෝතිපාල ගායනා කරපු ගීත නම් වරදින්නේ නැතුව කියතෑකි.
රස්තියාදුකාර පොඩ්ඩාගේ තාත්තා සමහර හැන්දෑවක ගෙදර එන්නේ හීන් අඩියකින් සප්පායම් වෙලා. එදාට එයාගේ කතාව වැඩියි. අම්ම තරහින් බුම්මගෙන පැත්තකට වෙලා ඉන්නවා. අද වගේ එදා ගමට විදුලි ආලෝකය තිබ්බේ නෑ. තාත්තා අඬ අඳුරේ ඉස්තෝප්පුවේ පිල් කද මත වාඩි වෙලා ගීතයක පද අමුණනවා.
චන්ද්‍රා මේ රෑ පායා ආවා- හර්දේ පෙමින් නාව නාවා
මේ ආදරේ වාසනාවන් - දුක් වේදනාවන් නිවේවා තාත්තා හැමදාම වගේ මේ ගීතය ගයන රහස මේකයි. රස්තියාදුකාරයාගේ අම්මගේ නම වන්ද්‍රා. සිංහල සිනමාවේ මතකයේ රැඳෙන පෙම් රැඟුම් බොහොමයකට පසු බිම් ගායකයා ජෝති. මේ ගීත ගුවනින් ඇසෙද්දී ඒ පෙම් රැඟුම් මතකයට එනවා. මේ අතරින් ගාමිණී- මාලනී රඟන කස්තුරි සුවඳ. මේ ගීතයන්හි ජෝතිගේ සහාය ගායිකාව ඇන්ජලින් ගුණතිලක.
පාට පොදක් තිකලා- නළල් තලාවේ කැළුම් වළලු නෙතින් අසුරලා
මුතු සිනා සල සලා - නැළවි නැළවි ඒ නුවන් මහද නීල වරලියේ...... ඒ වගේම 'සදහටම ඔබ මගේ' චිත්‍රපටයේ එන මේ ගීතය අමර පෙම් ලතාවේ - රන් මලක් උදාවේ අඳුන් සඳුන් සුව මැවේ - මනෝ මන්දිරේ විජය - මාලනී සඳහාත් ජෝති - ඇන්ජි යුවළ ගී ගයා තිබෙනවා. 'තුෂාරා' චිත්‍රපටයේ එන මේ ගීතය.
මීදුම් ගලා කන්දේ
ඉවසන්න බෑ සීතේ උණුසුම් දැනේ දෑතේ ළංවී මට දැන් කියන්න ආදරේ දෝ..... 'සංගීතා' චිත්‍රපටයේ ඉර හඳ වැඳලා - නෙත් දෙක ඇරලා අත ඔබෙ නළලෙ තියා හදවත කොඳුරා - පවසමි ඉඳුරා මම ආදරේ කියා.....
එදා මෙදා තුර ලංකාවේ බිහිවුණු සාර්ථකම වාණිජ චිත්‍රපටය ලෙස ගැනෙන 'හතර දෙනාම සූරයෝ'හි සූරයන් හතර දෙනා වන ගාමිණී, විජය, සේනාධීර රූපසිංහ සහ ඇන්තනි රූපසිංහ ජෝතිගේ හඬට නැටුමක් ඉදිරිපත් කරන මේ ගීතය කිසිදා අමතක වේද?
කොඩි ගහ යට මම උපන්නේ - නම ගිය තැනකි රටේ කොළඹය කියලයි කියනනේ - මුළු ලෝකය හතර වටේ ඒත් ජෝතිගේ ගීතයට පණ දෙන රසිකයන්ට මෙන්ම රස්තියාදුකාරයාට වෙනස්ව මාලනියගේ ප්‍රියතම ගීතය 'වක්කඩ ළඟ දිය වැටෙනා තාලෙට' ගීතයලු. ඒ බව අෑ විසින් හෙළි කර ඇත.
එදා 'ආදරේ හිතෙනවා දැක්කම' චිත්‍රපයේ උස්වැටකෙයියා මුහුදු තීරයේ ගිටාරයක් වයමින් ජෝතිගේ හ¾ඩින් ගීයක් ගයද්දී ඇය වශීකෘතව උන්නා ඔබට මතක ඇති. ඒ ගීතය මෙයයි.
දැසෙ විමන් ෙදාරෙන් - සීන රුවන් තිරෙන් නික්මි ගොළු බසින් - පරවි රැජින ලෙසින් ඔබ පියඹා ගොසින් ඇත්ත. ගාමිණී, විජය, ගීතා, නීටා, අනෝජා මෙන්ම මාලනී ද ජනප්‍රිය නළු නිළියන්. ඒ එදාය. එහෙත් ඔවුන්ගේ ජනප්‍රියත්වයට ජෝති- ඇන්ජි ඉවහල් වූවා මිස ජෝති ඔවුන් නිසා ජනප්‍රිය වූයේ නැත. එය ඉතා සරලව මෙසේයි. ගාමිණී හෝ විජය දුටු විට අපට ජෝතිවත් ජෝතිගේ ගීවත් මතකයට නොඒ. එහෙත් ජෝතිගේ සිනමා පසුබිම් ගායන ගුවනින් ඇසෙන විට අපට ඒ ගී ඇතුළත් ජවනිකාව සිහියට නැඟේ.
ඒ ජවනිකාවට පෙනී සිටි රංගන ශිල්පියා හා ශිල්පිනිය මතකයට නැඟේ. එබැවින් මාලනිය වේවා ගීතා වේවා නීටා වේවා රසික සිත් හි නොමැකෙන්නේ ජෝති - ඇන්ජිගේ ගී ගුවනින් නිතර ඇසෙන නිසාය.
අද වන විට කිසිදු නළුවකු ජනප්‍රිය නොවන්නේ විජයගෙන් පසු කිසිදු නළුවෙක් සඳහා ජෝතිට පසුබිම් ගී ගයන්නට නොහැකි වූ බැවින්ද? අද දිනයේ සුපර් ස්ටාර්ස්ලා, මෙගා ස්ටාර්ස්ලා එක රැයෙන් බිහි වෙනවා. ඒත් රැය පහන් වූ විට වියැකී යන තරු ලෙස මඳ කලකින් ඔවුන් අතීතයට එක් වෙනවා. ඒ එසේ වුව කිසිදා ජෝතිව හැබැහින් දැක නැති වත්මන් තරුණ පරපුර පවා ජෝතිගේ ගී ආදරයෙන් වැලඳ ගන්නවා.
ගී පොත, මී විත මෙන්ම සොඳුරු ගැහැනුන් හා ආදරයෙන් බැඳුණු ජෝති කිසිදා සැප
සම්පත් මහා මන්දිර හා යානවාහන හඹා ගියේ නැත. උස් පහත් භේදයෙන් යුතුව මිනිසුන්ට ආදරය කළේය. පෙරළා ඔවුන්ගේ භක්ත්‍යාදරයද ජෝතිට ලැබිණි. එවන් සැබෑ මිනිසකු වූ ජෝතිගේ හඬෙහි ඇත්තේ ඔහුගේ හද පතුලෙන් නැඟෙන සැබෑ ආදරයයි. ඒ ආදරයේ හඬ යම්තමින් හෝ මිනිසත් බව ඉතුරු වුණු සමාජයක ඉස්මතු වීම හුදු අහම්බයක් නොවේ.
එන අන් භවයේදී ජෝති හා එක්ව මධුවිතක් රස විඳීමේ අපේක්ෂාව ඇතුළුව
රස්තියාදුකාරයා ඔබෙන් සමුගන්නම්. රත්තරන් සඳක් පායන්නයි- රත්තරන් ඉරක් පායන්නයි ජීවිතේ නඳුන් උයනේ- සැනසෙන්න බී මල් පැණි සුබ දවසක් වේවා... 'දහකින් එකෙක්' චිත්‍රපටයට මේ ගීය ගැයුවේ ලක්ෂ ගණනාවකින් එකෙක් වීම සුවිශේෂයකි. |
Friday, July 19, 2013
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment