ජේත්තුකාර රස්තියාදුව |
රස්තියාදුකාරයා එයාගේ ළමා කාලයේදී කතන්දර අහන්න හරි ආසයි. යම්තම් අකුරු ගළපා ගන්න පුරුදු වෙද්දී එයා කතාන්දර පොත් අතරේ සැරිසැරුවා. ඇලඩින් සහ පුදුම පහන. අලි බබා සහ හොරු හතළිහ ඒ දවස්වල එයාගේ සිත් ගත්තු කතන්දර. ඇලඩින් සහ අලි බබා තමයි එයාගේ ළමා ලෝකයේ වීරයන් වුණේ. පසු කාලෙක නම් රස්තියාදුකාරයාට හිතුණා නැති වෙන්න දෙයක් නොතිබුණු ඇලඩින් වගේ කෙනකුට බයවෙන්න හේතුවක් නැති නිසාම ඒ වගේ නිර්භීත වුණාදෝ කියලා. හරියට ඇඳි වත පමණක් උරුම, අකුරු හරඹය නොදන්නා කෙනෙක් අංක තහඩු නැති සුදු වෑන් රථවලට බය වෙන්නේ නෑනේ.
පසු කාලෙක මේ කතන්දර රස්තියාදුකාරයාට චිත්‍ර කතා පත්තරවල පිටු අතරේ හමුවුණා. ඒ චිත්‍ර කතා අතර ලන්දේසි හටන, පහන් තරුව, රිදී කුමාරි, හැංගිමුත්තං කියන කතා තිබුණා රස්තියාදුකාරයාට මතකයි. නවකතා සහ කෙටි කතා ලංකාවට ආවේ චිත්‍රකතා මාධ්‍යයට ප්‍රථමයෙන්. ඒත් රස්තියාදුකාරයාට කතාන්දර සහ චිත්‍රකතාවලට පසුවයි නවකතා සහ කෙටි කතා හමුවන්නේ. ඒත් චිත්‍රපට නම් යම්තම් ඇස් ඇර ගන්න පුළුවන් වුණ අවධියේ ඉඳන් රස්තියාදුරයාට සමීපයි. ඒ කොහොම වුණත් මේ නවකතා, කෙටි කතා සහ සිනමාව තුළ පවා ගැබ්ව තියෙන්නේ කතාන්දර කීමේ කලාව. පාරදිගේ අතිරේකයේ බොහොමයක්ම කතා කතාන්දර කලාව තුළ ලියවෙන ඒවා. පාරදිගේ ජනප්‍රියයි නම්; ඒකට හේතුව තමයි අපි හැමෝම කතාන්දර කලාවට ආදරය කිරීම.
විශ්ව සාහිත්‍යයේ හමුවන මහා ආඛ්‍යාන කියන්නේම බොහෝ විට සංකීර්ණ කතන්දර. ලියෝ ටෝල්ස්ටෝයිගේ ඇනා කැරනිනා, ගුස්ටාෆ් ෆ්ලෝබෙයාගේ 'එමා බෝවාරි' වගේම බොරිස් ෆැස්ටර්නක්ගේ 'ඩොක්ටර් ශිවාගෝ' කියන්නේ ඒ අර්ථයෙන් කතන්දර කලාවේ කූටප්‍රාප්තිය.
මෙතැනදී රස්තියාදුකාරයාට මඟ හරින්න බැරි ආඛ්‍යානයක් තමයි ඇලෙක්සැන්ඩර් ඩුමාගේ මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා. මරණය ජයගෙන තමාට වින කැටුවන්ගෙන් පළිගැනීමට සිටුවර වේශයෙන් එන එඩ්මන්ඩ් දාන්තේ.
වර්තමාන නව කතාව, කෙටි කතාව වගේම සිනමාව නූතන දර්ශනවාදයන් එක්ක වෙනසකට ලක් වෙලා තියෙනවා. ඉන්ද්‍රජාලික යථාර්ථය, පශ්චාත් නූතනවාදය වගේම මනෝ විශ්ලේෂණය අද කලාව එක්ක ගැට ගහලා කතා කරනවා. ඒත් කතන්දර කීමේ කලාවෙන් මුළුමනින්ම බැහැර වන්නට තරම් හැකියාවක් නම් කලා කෘතීන්ට නෑ.
රස්තියාදුකාරයා පූර්විකාවක් වශයෙන් මේ දේවල් මතක් කෙරුවට සාහිත්‍යයෙන් නැත්නම් සිනමාවේ විකාශනය ගැන හරබර සටහනක් තබන්න ගත්ත උත්සාහයක් නෙවෙයි මේ. සාහිත්‍යයේදී වේවා, සිනමාවේදී වේවා බොහෝ වෙලාවට ඔබත් අත්විඳ ඇති තේමාවක් මතුපිටට ගෙන එන්නයි රස්තියාදුකාරයාගේ මේ වෑයම.
70 දශකයේ චිත්‍ර කතා තරමටම ජනප්‍රිය වුණේ ඩීමන් ආනන්දගේ මාරක කතා. රහස් පරීක්ෂක ජේමිස් බණ්ඩා, බි්‍රගේඩියර් එම්, ඩිකී වීරකෝන් වගේ චරිතවලට බොහෝ විට ආභාෂය ලැබුවේ බටහිර වීරාභිවාදන හරහා. සිංහල නවකතා කලාව ආරම්භයේදී පියදාස සිරිසේනත් කෝන්ගොඩ වික්‍රමපාල නම් චරිතය සමඟ අබිරහස් ලුහුබැඳ කරළියට පැමිණියා. බොහෝ විට මාරක කතාවෙන් වුණේ මැර කල්ලි මර්දනයට නැත්නම් කොල්ලකරුවන් ලුහු බැඳීමට සරලව අබිරහස්වල සුල මුල සොයා ගැනීමට. මේවා ත්‍රාසජනක මුහුණුවරකින් ඉදිරිපත් වුණේ.
එහෙත් මීට වෙනස්ව අද දක්වාත් සිංහල සාහිත්‍යයට වගේම සිංහල චිත්‍රපට සඳහාත් නැතිවම බැරි කතා තේමාවක් පවතිනවා. මේ කතා තේමාව නාමකරණය කරන්න තරම් රස්තියාදුකාරයාගේ සිංහල දැනුම පොහොසත් නෑ. එහෙත් මේ තේමාව අත්හරින්න එයාගේ අදහසක් නෑ. ඒ නිසා එයා දන්න විදියට උදාහරණයක් හරහා මේ තේමාවට ළඟා වෙන්න කැමැතියි.
ප්‍රංශයේදී ගීද මෝපසාන්ට් කතාන්දර කලාවේ කුමාරයා වෙද්දී ඩබ්ලිව්. ඒ. සිල්වා තමයි ලංකාවේදී ඒ තනතුරට උරුමකම් පෑවේ. වයස අවුරුදු 17දී සිරියලතාගෙන් ආරම්භ කරපු ගමන, කැලෑ හඳ, රදළ පිළිරුව, දෛවයෝගය, විජයබා කොල්ලය, ලක්ෂ්මී හෙවත් නොනැසෙන රැජන, සුනේත්‍රා නොහොත් අවිචාර සමය වගේ පොත් ගණනාවක් හරහා අවසන් වුණා. ඒත් රස්තියාදුකාරයා මෙතැනදී තෝරා ගන්නේ 'හිඟන කොල්ලා' නවකතාව. ඒ ආශ්‍රිතව පසු කාලෙක කේ.ඒ. ඩබ්ලිව්. පෙරේරා ඒ නමින්ම චිත්‍රපටයක් නිර්මාණය කළා.
මේ හිඟන කොල්ලාගේ නම සයියා. එයා වයියාගේ පුතා. සයියා මගෝඩියෙක්. දවසක් ඔහු උපායකින් වංසවත් මැරියන්ගේ බෙල්ලේ තිබුණු පෙන්ඩන්ට් එක ගලවා ගන්නවා. හොරකම ඇයට අහු වෙනවා. ඒත් ඇය, පෙන්ඩන්ට් එක විකුණා හොඳ මිනිහකු වන ලෙස සයියාට පවසනවා. අනතුරුව සයියා, අබේගුණවර්ධන නීතිඥයාව මැර කල්ලියකින් ගලවා ගන්නවා. දැන් සයියා මොරිස් අබේගුණවර්ධන නමින් යුත් උගත් කඩවසම් තරුණයෙක්. ඔහු මැරියන්ගේ ආදරයද දිනා ගන්නවා. ඒත් නොකළ මිනී මැරුමකට මොරිස්ට, මරණ දඬුවම නියම වෙනවා. අවසානයේ මොරිස්ට මරණ දඬුවම ලබා දුන් නඩුකාරයා වන මැරියන්ගේ මාමා, මොරිස්ගේ පියා බව හෙළි වෙනවා. මේ නඩුකාරයා තරුණ වියේදී දඩයමේ යන විට හමු වූ ළමා හාමි නම් තරුණියට නඩුකාරයා නිසා ලැබෙන දරුවා වන්නේ මොරිස්.
කේ.ඒ. ඩබ්ලිව්. පෙරේරාගේම 'ජනක සහ මංජු' චිත්‍රපටයේ අනාථ තරුණයකු වන ජනකට අවසානයේ සිය මව සහ පියා හමු වෙනවා.
හිරෙන් නිදහස් වෙලා එන නොම්මර 17 - විජේ (විජය කුමාරණතුංග) පා තබන්නේ අනුන්ගේ වැයික්කියකට. ඒ නාත් (සනත් ගුණතිලක) ගේ අඩවිය. බහින් බස් වීමකින් අනතුරව මේ දෙන්නා සටනට බහිනවා. මෙතැනට පොලිස් පරීක්ෂකවරයෙක් (ජීවන් කුමාරණතුංග) කඩා වදිනවා. එක් තීරණාත්මක මොහොතක මේ තුන්දෙනා තමන් එක් කුස උපන් සහෝදරයන් බව දැන ගන්නවා. මේ විජය අවසන් වරට රඟපෑ චිත්‍රපට කිහිපයකින් එකක් වූ නොම්මර් -17 හි කතා සාරාංශය. දැන් අපි මෑතදී තිරගත වුණු චන්ද්‍රරත්න මාපිටිගමගේ 'සිහිනය දිගේ එන්න' චිත්‍රපටයේ කතා සාරාංශය විමසා බලමු. සංගීත් (අමිල අබේසේකර) කඳුකරයට එන්නේ සිය මව වූ මල්ලිකා (වීණා ජයකොඩි) සමඟ. එහිදී සංගීත් ප්‍රදේශයේ නගරාධිපති (සනත් ගුණතිලක) දුෂ්මන්තගේ දියණිය වූ රිද්මා (උදාරි වර්ණකුලසූරිය) සමඟ පෙමින් බැඳෙනවා. මල්ලිකාත්, දුෂ්මන්තත් මේ සම්බන්ධයට විරුද්ධ වෙනවා. හේතුව වන්නේ සංගීත්ගේ පියාත්, රිද්මාගේ පියාත් එක් අයෙක්. එනම් දුෂ්මන්ත වීමයි. එහෙත් රිද්මා, දුෂ්මන්තගේ දියණියක් නොව රහසේ හදා වඩා ගත් අනෙකෙකුගේ දැරියක බව දුෂ්මන්තගේ බිරිය හෙළි කරනවා. රිද්මාට ඇගේ සත්‍ය මවුපියන් හමුවෙනවා. සංගීත්ගේ සහ රිද්මාගේ එක් වීමට තිබූ බාධාව අහෝසි වෙනවා.
සිංහල සිනමාවේ ඉතිහාසය හාරා අවුස්සා බලද්දී චිත්‍රපටයේ කතා නායකයාට හෝ නායිකාවට අවසානයේ සිය සත්‍ය මවුපියන් හමුවන කතා රැගත් චිත්‍රපට සංඛ්‍යාව ගණනින් විශාලයි. සිනමාවට පමණක් නොව සිංහල සාහිත්‍යයට පවා මේ තේමාව ආගන්තුක වන්නේ නෑ.
1969 දී ටී.බී. ඉලංගරත්න රචනා කළ 'නිවෙන ගින්න' නවකතාව යළි මතක් කර ගනිමු. එහි නඩුකාරවරයකු වන සුමිත්ගේ සහ ඔහුගේ බිරිය අනෝමාගේ පුතු විජිත. ඔහු වෛද්‍යවරයෙක්. ඔහු තමා සමඟ එකට ඉගෙනගත් පසුව ඔහු සේම වෛද්‍යවරියක වූ අනුලා සමඟ පෙමින් බැඳෙනවා. එහෙත් අනුලා අනාථ දැරියක වීම ඔවුන්ගේ එක් වීමට ඇති බාධාවයි. නන්දා යනු අනෝමාගේ නිවෙස් ඇති දැඩි වුණු දැරියක්. අනුලාගේ අයියා වූ රෝහිත නිසා ඇය ගැබ් ගන්නවා. නන්දාත් අනෝමාත් සිය දරුවන් බිහි කරන්නේ එකම රෝහලකයි. එහිදී නන්දා සිය පුතු වන විජිත, අනෝමා ළඟ තබා අනෝමාගේ දියණිය අනුලාව රැගෙන යනවා. අවසානයේ නන්දාගේ ලිපියකින් මේ සියල්ල හෙළි වෙනවා. අනුලා සහ විජිත යුග දිවියට එළැඹෙනවා.
1980දී ජයකොඩි සෙනෙවිරත්න ලියූ 'සොල්දර ගෙදර' නවකතාව ඔබ කියවා ඇති. එහි විදුහල්පතිවරයකු වන රණවීර සහ ඔහුගේ බිරිය හේමලතා මැණිකේගේ දියණිය මාලතී ඇය රණවීරගේ මිතුරෙක් වන වීරසිංහගේ පුතු මධුර සමඟ පෙම් සබඳතාවක පැටළෙනවා. එහෙත් හේමලතා සහ වීරසිංහ මේ සම්බන්ධයට දැඩි සේ විරුද්ධ වෙනවා. අවසානයේ හේමලතා සිය දිවි නසා ගන්නේ ලියුමක් ලියා තබා එහි හේමලතාගේ පුතු මාධවගේත්, දියණිය මාලතීගේත් පියා රණවීර නොව වීරසිංහ බව හෙළිදරව් කර තිබෙනවා.
අවශ්‍ය නම් අවසානයේ සිය සත්‍ය මවුපියන් හමුවන කතා තේමාව රැගත් කලා කෘති ඕනෑ තරම් ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙත් වැදගත් වන්නේ ඒවායේ කතා රසයවත් සැඟවුණු රහසවත් නොවේ. මෙවැනි කතා තේමාවන් සර්ව කාලීන වන්නේ ඇයි යන්නට පිළිතුරකි. සරලව මෙවැනි තේමාවක් හැම කාලයකම දකින්නට හැකි වීමේ රහසයි. අනික් අතට මේ තේමාව රැගත් චිත්‍රපට උපරිම ප්‍රේක්ෂක ප්‍රතිචාර ද දිනා ගන්නවා.
සාමාන්‍ය ජීවිතයේ යාචකයන් ප්‍රතික්ෂේප කරන අය පවා 'හිඟන කොල්ලා' හි සයියාව ආදරයෙන් වැලඳ ගන්නවා. මෙතැනදි කෙනකුට සයියාගේ චරිතය නිරූපණය කරන්නේ විජය කුමාරණතුංග වීම එකම හේතුව ලෙස දක්වා ඇඟ බේරාගත හැකිය. ඇත්ත. පතිරාජගේ 'බඹරු ඇවිත්' හිදී බේබි මහත්තයා (විජය) වැල්ලේ කෙල්ලක වූ හෙලන් (මාලනී) ව ලිංගික හැසිරීමකට පොලඹවා ගන්නා විටත් අපට විජය ගැන අහිතක් සිතෙන්නේ නෑ. එසේ වන්නේ අපි ද විජය හා අනන්‍යව හෙලන්ව දූෂණය කරන බැවින්. ඒ එසේ වුව අප සයියා හා බැඳෙන්නේ කිසිදු වගකීමක් නැති ආතක් පාතක් නැති අනාථ ජීවිතයකට අපද ආශා කරන බැවින්ද? ඒ කෙසේ වුව අප චිත්‍රපටයක් නැරැඹීමට යන්නේ එහි අප කැමැති නළුවා හෝ නිළිය රඟපාන නිසා වීමද අසත්‍යයක් නොවේ.
ඒ එසේ වුව මේ කතා පුවත්වල ඇත්තේ කෙනකුගේ සත්‍ය උත්පත්තිය හෙළිදරව් වීම්ය. කෙනකුට තමන්ගේ ඇත්ත උත්පත්තිය එතරම් වැදගත්ද? කිසිවකුගේ බිරියකට දරුවකු ලද විට සැමියා වහාම සිය වාසගම දරුවාට ලබා දී සිය පීතෘත්වය තහවුරු කරනවා. එහෙත් එය දරුවා මවගෙන් සාහසිකව වෙන් කිරීමක්. දරුවාගේ අයිතිය පියා පවරා ගැනීමක්. එහෙත් මෙතැනදී දරුවාගේ සත්‍ය පියා කවුද යන්න දන්නේ දරුවාගේ මව පමණයි. එහෙත් වෙනකකු නිසා ගැහැනියක ලබන දරුවා ඇය ඇගේ නීත්‍යානුකූල සැමියාගේ අයිතියට නතු වීමට ඉඩ හැර බලා සිටින්නේ සැමියාගෙන් පළි ගන්නටද? ඒ ඇය දස මසක් කුස තුළ තමාට බද්ධව වැඩෙන දරුවාගේ අයිතිය පැහැර ගැනීමට එරෙහිව ගසන නිහඬ කැරැල්ලක්.
කෙනකුට තම මවුපිය දෙදෙනාම අහිමි විය හැකිය. නැත්නම් කෙනකු උපදින විට තම පියා ජීවතුන් අතර නැත. තවකෙකුට පියා ගැන මතක සටහන් නොමැත. නොඑසේ නම් කෙනකු තම පියාට හා මවට අකමැතිය. පියාගේ හා මවගේ අඩන්තේට්ටම්වලට යටත් වීමට පවා සිදු වෙනවා.
සත්‍යය නම් බොහෝ දෙනකු සිය ගත කෙරෙන ජීවිතයෙන් තෘප්තියක් ලබන්නේ නැත. සැබෑ ජීවිතයේදී නොලැබෙන තෘප්තිය පතා ඔවුන් යන්නේ පරිකල්පනයටය. මේ පරිකල්පනයේදී ඔවුන්ට තමන් ආශා කරන ආකාරයේ පියවරු හමුවේ. ඒ පරිකල්පනීය තමන් ඇත්ත කියා සිතන පියාට තමන්ව මඟ හැරෙන ආකාරය යනු යළි ප්‍රබන්ධයකි.
බොහෝ විට කලා කෘතිවලට පාදක වන්නේ දුප්පතකු, අනාථයකු, හොරෙකු නැත්නම් මිනීමරුවකු තමනගේ පියා ලෙස සමාජයේ කැපී පෙනෙන මහත්තයකු ලැබීමයි. එහෙත් කිසිදා ප්‍රබන්ධයක පොහොසත් තරුණයකුට තම සත්‍ය පියා ලෙස දුප්පතකු හමු නොවේ.
එබැවින් කෙනකුගේ සැබෑ උත්පත්තිය යනු තමා අකැමැති ජීවන රටාවකින් අෑත් වීමට ඔහු විසින් සාදා ගන්නා පරිකල්පනීය උත්තරයයි. එය සැබෑවක් නොවේ. සිත රිදුණු කුඩාවුන් පවා මවුපියන් හා උරණව පවසන්නේ 'ඔයා මගේ තාත්තා නෙවෙයි' ආදී වශයෙනි. කුඩා දරුවකු පවා තමන්ට සැබෑ ලෝකයේදී නොසලකන මවුපියන් වෙනුවට තමන්ට ඇත්තටම සෙනෙහස ගෙන එන සත්‍ය මවුපියන් කොහේ හෝ ඇතැයි පරිකල්පනය කරන්නේ ඔහු තමා ලද උත්පත්තිය පිළිබඳ ඇති කලකිරීමෙනි. එබැවින් තමා ප්‍රාර්ථනා කරන ආකාරයේ නැත්නම් තමාට අහිමි වීයැයි පරිකල්පනය කරන යහපත් මවුපියන් දැක බලා ගැනීමට ඔවුහු නවකතා කියවති. සිනමා ශාලා කරා වැල නොකැඩී ඇදී යති. එහෙත් සත්‍යය යනු ප්‍රබන්ධයකට වඩා වැඩි යමක් නොවේ. |
Saturday, July 27, 2013
Sunday, July 21, 2013
ජේත්තුකාර රස්තියාදුව |
නුවර වැවේ ජල තලය සිපගෙන හමාපු සුළඟ රස්තියාදුකාරයාට සිසිලසක් ගෙනාවා. වියළි කලාපයේ වැව් නොතිබුණා නම් පුල්ලෙයාර් සාමිගෙ පිහිට විතරයි. වැව් ඉවුරේ වැටිලා තිබුණු රූස්ස ගහක කඳකට හේත්තු වුණු රස්තියාදුකාරයා ඉමක් කොනක් නැති ජල කඳ දිහා බලාගෙන හටියා. ඊට ටිකක් එහා හිටපු රස්තියාදුකාරයාගේ අඹයහළුවා, අමර ගිටාරයේ තත් පිරි මදිනවා. තව මොහොතකින් පටන් ගැනෙන මධු සාදය සඳහා පෙර සූදානමක් ඒ. අෑත වැව් ඉවුරෙන් මිනිස් රූ දෙකක් මතු වෙනවා රස්තියාදුකාරයාට පෙනුණා. එයාලා ළං වෙද්දි ඒ ගැහැනු දෙදෙනකු බවත්, තවත් ළං වෙද්දි ඒ අහිගුණ්ඨික ගෝත්‍රයේ අය බවත් රස්තියාදුකාරයාට වැටහුණා.
ඒ දෙන්නා අමර ළඟ නැවතුණා. කම්මැළිකමෙන් ඒ දිහා බලපු රස්තියාදුකාරයා දැක්කේ එතැන හිටපු මහලු කාන්තාව අමරගෙ අත අල්ලා ගන්නවා. අමරට සාත්තරයක් අහන්න හිතිලා. අනෙක් තැනැත්තිය රස්තියාදුකාරයා දිහාවට ඇවිද ගෙන ආවා. එයා යන්තම් තරුණ වියට පා තබපු හිරිමල් යෞවනියක්. ගැටිස්සියක්. ඇගේ කෝපි පැහැ නිරෝගී සමත්, දම් පැහැ හැට්ටයෙන් එළියට පනින්න දඟලන රණ තිසරුන්වත් රස්තියාදුකාරයාගේ ඇස්වලට වහං වුණේ නෑ. රස්තියාදුකාරයාට සාත්තර ගැනවත්, නක්‍ෂත්‍රය ගැනවත් විශ්වාසයක් නෑ. අත නොපොවන මානේ අෑත ආකාසයේ පෙනෙන, නොපෙනෙන ග්‍රහ තාරකා මිනිස්සුන්ගේ ජීවිතවලට බලපාන විදිය එයාට තේරෙන්නේ නෑ.
"මාත්තියා, අත බලනවා. සාත්තර කියනවා."
තරුණියගේ මියුරු කට හඬ ඇහුණු රස්තියාදුකාරයා ඇගේ මුහුණ බැලුවා. "අම්මෝ! ඇස්වල ලස්සන. ගිනි කන වැටෙනවා." රස්තියාදුකාරයා තරුණියන් කී දෙනකුගේ අත පතලා තියෙනවද? ඒත් ඒ හැම මොහොතේම අත් වුණේ පරාජය විතරයි. ඉතිරි වුණේ පසුතැවිල්ල. "හැන්ඩියන්ට බඩු නෑ." කියලා රස්තියාදුකාරයා හිත හදා ගත්තා. අද නම් රස්තියාදුකාරයාට පුල්ලෙයාර් දෙවියන්ගේ බැල්ම වැටිලා. ලස්සන කෙල්ලක්, රස්තියාදුකාරයාගේ අත ඉල්ලනවා. අහිගුණ්ඨික කෙල්ලක් තමයි. කෙල්ල ලස්සන නම් සෝමාලියාවේ වුණත් මොකද? හරි. හරි. සාස්තරයක් කියන්න තමයි. ඒ වුණාට අත ඉල්ලනවනේ. නිකන් වේළෙන එකේ අතින් ඇල්ලුවත් මදිද? රස්තියාදුකාරයා පොඩ්ඩක් විතර අදි මදි කරලා කෙල්ලට අත දික් කෙරුවා. අම්මෝ! අතේ සිනිඳු. ඇල්ලුවට හපන්න බෑනේ. කෙල්ලගෙ ඇස්වල මොකක්ද වශීකරණයක්. ස්වර්ණමාලි චෛත්‍යය ළඟදී දුටුගැමුණු රජ්ජුරුවන්ට හමු වුණු නාග කන්‍යාවිය රස්තියාදුකාරයාට මතක් වුණා. මේකිත් නාග ලෝකෙන් ඇවිත්ද මන්ද? හරි නේන්නම් බුලත් විටක් කාලා තොල් දෙකත් රතු වෙලා. නාග ලෝකෙනෙ බුලත් තියෙන්නේ. රස්තියාදුකාරයාට දුටුගැමුණු රජ්ජුරුවෝ වෙන්න බෑනේ. අඩු ගාණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රි කෙනෙක්වත් වුණා නම් පාර්ලිමේන්තුවට යන්න සුදුසුකම් හදාගන්න තිබුණා. "මාත්තියාගේ මනමාලකම තමා තියෙනවා. මාත්තියා කොහේ ගියත් එතැන බලවත් උදවිය තමා යින්නවා. වැනෙන හිතක් තමා තීනවා. එක නෝනාට මාත්තියා ආදරේ නෑ."
යකෝ! හෙණ ගහන්න එපායැ මේකි කියන කතා. මොන පිරිමියාද මනමාල නැත්තෙ. හැම එකාම වගේ හිත යටින් වල්. සිල් ගත්ත පූස් පැටව් වගේ හිටියට. එක අතකට මේකී කියන්නේ ඇත්ත තමා. යන යන තැන ගෑනු ඉන්නවා නේන්නම්. ගෙදර ගියාම අම්මලා, නංගිලා,අක්කලා ඉන්නවා. මහ පාරේ, බස් එකේ, කෝච්චියේ හැම තැනම කෙල්ලෝ ඉන්නවා නේන්නම්. ඒක ඉතින් මම කරන දෙයක් නෙවෙයිනේ. ලංකාවේ ජනගහනයෙන් වැඩි කොටස කොහොමටත් කාන්තාවොනේ.
"මාත්තියා සෙල්ලක්කාරයා තමා. මේ අතින් හම්බ කරනවා. අනික් අතින් විසි කරනවා. අපරාදේ සල්ලි තමා පුච්චනවා. මාත්තියා වටේ යාළු, මිත්‍රයෝ ගොඩායි. ඒත් හදිසියකට, නරක දවසට කවුරුත් නෑ. මාත්තියාට".
සාස්තරකාරිය අල්ලේ රේඛා යන්තමින් පිරි මදිමින් පැවැසුවා.
රස්තියාදුකාරයාගේ යටි කයේ නිරුවත ලොවෙන් වහං කළේ කාබන් බ්ලූ ඩෙනිමක්. උඩුකයේ තිබුණේ බොත්තම් කිහිපයක් විවර වුණු ලිනන් කමිසයක්. අනුරාධපුරයේ ආවට, රස්තියාදුකාරයා සිල් ගත්තේ නෑ. ඒ නිසා එයා සුදු ඇඳුම් ඇඳලා මල් වට්ටියක් අතේ දරාගෙන හිටියේ නෑ. මේකි අමරගේ අතේ තිබුණු ගිටාරය වගේම රස්තියාදුකාරයා අතේ දැල්වුණු දුම් වැටියත් දකින්න ඇති. ඉතින් මේ සලකුණු සාස්තරකාරි දකිනවනේ. ඉතින් මෙයාලාට සෙල්ලක්කාරයෝ කියන්නෙ අමුතුවෙන් හස්ත රේඛා ශාස්ත්‍රය අවශ්‍ය වෙන්නෙ නෑ. සල්ලි පුච්චනවා කියන්න ඇත්තේ දැල් වුණු දුම් වැටිය දිහා බලලා. ඒත් කෙල්ල බොරු කිව්වේ නෑ. හදිසියකදි කවුරුත් නෑ තමයි. මොකද නරක දවස් කිය කියා එන්නේ නෑනේ. ඇත්ත තමා. නොදන්නා පළාතකදි, නොදන්නා මිනිසුන් අතරේ හදිසි කරදරයක් වුණොත් යාළුවෝ කවුරුත් නෑනෙ. එයාලා දැන ගනිද්දි පෙරහර ගිහිල්ලා.
ඒත් නරක කාලෙකට කවුරුත් නැති වේවිද? ඒක දැන්ම හිතා ගන්න බෑනේ. එතකොට මේ දැනුත් ළඟ ඉන්න අමරවත් නැති වේවිද? රස්තියාදුකාරයා අමර දිහා සැකෙන් බැලුවා. අමර ඇහැක් ගහලා හිනා වුණා. ඒ මූණේ වංකභාවයක ලකුණක් හොයා ගන්න තිබ්බේ නෑ.
සාස්තරකාර තරුණිය නොනවත්වා ෙදාඩෝනවා. පිස්සෙක් ළඟ හැදුණු ගිරා පැටියෙක් වගේ. "මාත්තියා ආදරේ නෑ. හැබෑවට මාත්තියගේ නෝනා තමා ආදරේ. නෝන වස ගේනි. පිරිමි නැකැතෙ ඉපදිලා තියෙන්නේ". අරක්කු, සිගරැට් බොන මිනිහෙකුගේ ගෑනියක් අනිවාර්යයෙන් වස ගේනි තමා. මොකද මිනිස්සු බීලා ගෙදර එනවට ගෑනු කැමැති නෑ. එක පැත්තකින් ධන හානිය. අනික් පැත්තෙන් සෞඛ්‍යය පිරිහීම. ඉතින් බේබද්දෙකුගේ බිරියක් වස ගේනි නොවී, සීදේවි ගෑනියක් වේවිද? ආ! මෙයා රස්තියාදුකාරයාගේ මඟුල් මුද්ද දකින්න ඇති. ඒ මදිවට නෝනාගේ ඇමතුමක් ඒ වෙලාවේ ආවනේ. ඒ දුරකතන ඇමතුම නතර කළේ "පිස්සුද? මම බොන්නෙ නෑ." කියල නේ. ඉතින් මේ සීදේවි සාස්තර කෙල්ල එක පාරම රස්තියාදුකාරයා මධු ලෝලියෙක් වගත්, නෝනා ඒකට සීමා පනවන බවත් දැන ගත්තා.
රස්තියාදුකාරයාගේ සිතුවිලි දැහැනට බාධා කරමින් සාස්තරකාරි යළිත් ෙදාඩන්න ගත්තා.
"මාත්තියාට මාරක අපලයක් තිබුණා. ඒත් ඒක මඟ හැරුණා. ඒත් තව අවුරුදු දෙකකින් තමා තව අපලයක් තියෙනවා." රස්තියාදුකාරයා තමන්ගේ අතීතයට එබී බැලුවා. බැලුවම අතීතය කියන්නෙම අපලයක් තමා. දෙපාරක් දියේ ගිලිලා මැරෙන්න ගියා. එක පාරක් මල්වතු ඔයේදී, අනිත් පාර කලා ඔයේදී. දෙසැරෙම රස්තියාදුකාරයාගේ පිහිටට රස්තියාදුකාරයාගේ පියා ළඟම හිටියා. මෙතැනදි රස්තියාදුකාරයාට අතීත කතාවක් සිහියට එනවා. මේ නුවර වැවේදිම අවුරුදු පනහකට විතර අෑත අතීතයේදී රස්තියාදුකාරයාගේ පියා කෑගල්ලේ විද්‍යා ගුරුවරයකුගේ පුතෙක්ව මරණයෙන් ගලවා ගත්තා. අද ඒ පුතා ඇමැතිවරයෙක්. ඇමැතිවරයෙක් වුණත් පව් අප්පා පරාණයක්නේ. වැරැද්දක් කියන්න බෑ. ආ! හදිසි අනතුරු දෙකකටම රස්තියාදුකාරයා මූණ දුන්නා. ඒවා මාරාන්තික නෑ. යන්තම් මාස දෙක තුනකින් අත, පය කඩාගෙන නමුත් ගොඩ ආවා. මේ අපලෙ රස්තියාදුකාරයාට තිබ්බේ තරුණියකගෙන් වෙන්න බැරිද? පාසල් ප්‍රේමය රුවනි අද කැනඩාවේ. සමහර වෙලාවට රස්තියාදුකාරයා එයාගේ පරණ පෙම්වතියන් එයාලගේ සැමියන් එක්ක දකිනවා. එයාලා රස්තියාදුකාරයාට වචනයක්, දෙකකිනුත් සංග්‍රහ කරනවා. රස්තියාදුකාරයාට ලොකු සැනසිල්ලක් දැනෙනවා. මොකද එදා සොඳුරුවට පෙනුණ සිහිනිඟ දැන් හොයා ගන්න බෑ. කැලණි ටයර් මතු වෙලා. ඒවා නම් රස්තියාදුකාරයා ගැලවුණු මාරක අපල වෙන්න පුළුවන්.
අතීතයේ අපල ගෙවුණා කියමුකෝ. එතකොට ඉදිරියෙදි විඳින්න ලැබෙන අපලෙ මොකක්ද? රස්තියාදුකාරයාගේ පුංචි කාලේ පාසල් මිතුරියකගේ සැමියකු නම් වරක් දෙවරක් රස්තියාදුකාරයාව මරන බවට තර්ජනය කළා. ඒකවත් වෙයිද? රස්තියාදුකාරයා පව්! ඒක මේ වරදවා වටහා ගැනීමක්. ඒ සැමියා හෙණ අබ්ලික් පොරක්. මිනිහා හිතන්නේ ගෑනියෙක් මිනිහෙක් එක්ක කතා කළොත් බබාලා හම්බ වෙයි කියලා.
ඉතින් මේ සාස්තරය ඉවර වුණේ තරුණිය, රස්තියාදුකාරයාගේ දිග හැරපු අත මිට මොළවලා. සාස්තරේට නෙවෙයි කෙල්ලට වශී වෙලා හිටපු රස්තියාදුකාරයාගේ දුප්පත් පසුම්බියෙන් කොළ දෙක තුනක් අරන් ඒකි යන්න ගියා. ඒකි එක්ක ඒකිගේ රැහේට එකතු වෙලා නයි නටවලා, රිළව් නටවලා, රෑට අර චූටි කූඩාරමකට ඒකිත් එක්ක රිංගන ආශාවක් රස්තියාදුකාරයාට ඇති වෙලා, නැති වෙලා ගියා. රස්තියාදුකාරයාගේ හිත ඒ කෙල්ල කිව්වා වගේ අයාලේ යනවා. සාස්තරකාරිගෙන් හිත අමාරුවෙන් මුදා ගත්තු රස්තියාදුකාරයා, ඒ තරුණියගේ වදන් මෙනෙහි කළා. නාඳුනන මිනිහෙකුට ගැළපෙන විදිහට අනාවැකි කීම අමාරු නෑ. ජීවිතේ පුරා රස්තියාදු ගහන අහිගුණ්ඨිකයෝ සාමාන්‍යයෙන් මිනිස් මනස සම්බන්ධ විශේෂඥයෝ. එයාලා ෆ්‍රොයිඩ්ව, ලැකාන්ව හදාරලා නෑ. අහලවත් නෑ. ඒත් ව්‍යවහාරයෙන් ලද දැනුමෙන් කෙනෙකුගේ මනසට කිට්ටු කරන්න දක්‍ෂයි. එයාලගේ සුලබ යෙදුම් තියෙනවා. ඒවා සමාජයේ තරා තිරමක් නැතිව වලංගු වෙනවා. "මහත්තයා හම්බ කරනවා. වියදම් කරනවා. යාළුවෝ පිරිවරාගෙන. ඒත් හදිසියකදි කවුරුත් නෑ."
මෙතැන හරි පුදුම දෙයක් තියෙනවා. නොකා, නොබී ඉතිරි කරන මසුරෙක් ගන්න. ඒ මිනිහාත් හිතන්නේ මිනිහාගේ වියදම් වැඩියි කියලා. ඉතින් මසුරෙක්ම වුණත් "අත දිග හැරලා වියදම් කරනවා" කියන එක වලංගුයි.
යාළුවෝ නැතිව හිතවතුන් පමණක් ඉන්න කෙනෙක් ගන්න. එයා සමීපව කාවවත් ආශ්‍රය කරන්නෙ නෑ. දන්න අඳුනන අය එක්ක වචනයක්, දෙකක් හුවමාරු කර ගන්නවා. හැබැයි ඒ එයා දන්න යාළුකම. ඇත්තටම තමන්ට යාළුවෝ නෑ, තමන් හුදෙකලා බව කෙනකුට වැටහුණොත් ඒක ටිකක් දරා ගන්න අමාරුනේ. ඒත් මේ අඩු කතා අඩු සිනා ඇති පුද්ගලයා පවා හිතන්නේ තමන්ට යාළුවෝ ඉන්නවා කියලා. මොකද සමීප ආශ්‍රය නැති වුණාට දන්න හඳුනන මුහුණු එයා දන්න යාළුකමට ආදේශ වෙනවා.
මේ විදියට කෙනෙක්ගේ ත්‍යාගශීලී බව, ධාර්මික බව, කරුණාවන්තකම, උගත්කම පිළිබඳව ඕනෑ තරම් කතා කරන්න පුළුවන්. හොරෙක්, වංචාකාරයෙක් වුණත් හිතන්නේ තමන් අවංක මිනිහෙක් කියලා. ඇමෙරිකාවේ හිටපු දරුණු අපරාධකාරයකු වුණු ටුගන් ක්‍රව්ලි පවා පැවැසුවේ "එයා ජනතාවගේ හිතවතෙක්" කියලා. අප එළියේ ඉඳන් නරක මිනිස්සු විදියට දකින පුද්ගලයන්ට පැවැත්මක් තියෙන්නේ ඔවුන් සමාජයේ පැවතෙන්නේ තමන් යහපත් මිනිසුන් වශයෙන් ඔවුන්ම විශ්වාස කරන නිසා. එක අතකට මිනිස් මනසේ විශේෂත්වයක් මෙතැනදී දැකගත හැකි වෙනවා. කෙනකු සැම විටම තමා අතින් වන වැරැදි තමාගෙන් පිට අනෙකෙකු වෙත භාර දෙනවා. තමා නොව වෙනත් අයකුට පටවනවා.
ඒ එසේම වෙනකෙ ගේ යහපත් ක්‍රියාවක් තමන්ගේ නම ඉදිරියේ ලකුණු කර දමනවා. මෙසේ අප සෑම විටම අපවම දකින්නේ යහපත් අයකු ලෙසයි. ඉතින් අහිගුණ්ඨික තරුණියකට ආචාර්යවරු, මහාචාර්යවරු පවා යටපත් කරගත හැකියි. එය ඇගේ හැකියාව නොව, සමාජයේ මිනිසුන් බොහොමයක් තමන් ගැන මවා ගෙන ඇති ප්‍රතිරූපයයි. ඔවුන් තමන්වම දකින ආකාරයයි. එය ඇය ව්‍යවහාර දැනුමෙන් ඔවුන් හට පවසනවා.
අතීතය යනු සිදුවීම් තැනින් තැන මතක, බොහෝ මතක අමතකව යන ගෙවුණු කාලයක්. ඒ කාලයේ අපල තිබූ බව සිහියට නඟා ගත හැක්කේ අමාරුවෙන්. ඉතින් සාස්තරකාරියකට කෙනෙක්ගේ අතීතයේ අපල ගැන ඕනෑ දෙයක් කිව හැකියි. එමෙන්ම අනාගතය යනු තවමත් ළඟා නොවුනක්. ඒ ගැන දැන් තියා කිසිවක් කියන්න බෑ. එබැවින් සාස්තරකාරියකට කෙනෙක්ගේ අනාගතය ගැන නොබියව ඕනෑ දෙයක් කිව හැකිය.
පාසලේ දෙකේ පන්තියේදී කට්ටි පැන්න අයෙකුට පවා තමන් නූගතෙක් නොවේ. එබැවින් ඕනෑම මෝඩයකුට, පිස්සකුට පවා මහා උගතකු ලෙසම අනාවැකි කිව හැකියි. ඔවුන් පවා සිතන්නේ සමාජය මෝඩයි තමන් නුවණැත්තන් ලෙසයි.
සාත්තර බොරු බව ඇත්ත. ඒත් සොඳුරු ළඳකගෙන් ඉඳ හිට අත බලවා ගත්තම ඒකෙ වැරැද්දක් නම් නෑ. |
Friday, July 19, 2013
ජේත්තුකාර රස්තියාදුව |
එදා සෙනසුරාදාවක්. රස්තියාදුකාරයා උදේම නුවරඑළිය යන්න පිටත් වුණා. ඒ එයාගේ යාළුවෝ වගයක් එක්ක. එයාලව රැගත් වෑන් රිය නිට්ටඹුව පසු කරලා අත්තනගල්ල පාරට වැටුණා. වයින් ස්ටෝර්ස් එක එක පහු වෙන්න ගත්තා. දංගොල්ලවත්තෙන් පස්සේ උණගහදෙණිය. ආයි සෑහෙන වෙලාවකින් ගෝනගල්දෙණිය. මේ විදියට යටියන්තොට, කිතුල්ගල තිබුණු සුරාසල් පසු කරලා ගිනිගත්හේනට ළඟා වුණා. වෙනදා නම් මේ වගේ ගමනකදී වාහනේට නැඟපු ගමන් මධුවිත අතට ගන්නේ.
එදා නඩේ ගුරා බුද්ධික. එයා නුවරඑළියට යන තුරා මධුවිතට සීමා පනවලා තිබුණේ. වාහනේ ගිනිගත්හේනේ නැවැත්වුවෙත් දිවා ආහාරය ගන්න. ඒත් ටික වෙලාවකින් හේමන්ත කොහෙන්දෝ බ්‍රෑන්ඩි බෝතලයක් ගෙනාවා. කටගැස්මට වඩෙත් එක්ක. දැන් මොන දවල් කෑමද? යහළුවෝ නඩේ ගුරාගෙ තහනම නොතකා බෝතලයට වග කියන්න පටන් ගත්තා. මඳ පවනේ යම්තමට එහෙන් මෙහෙන් සින්දු කෑලි ඇහෙන්න ගත්තා. කිසි ගැම්මක් තිබ්බේ නෑ. ඒත් ඊළඟ සින්දුවට හැමෝම අත්වැල් අල්ලන්න වුණා. සමන්ගෙ ගිටාරය ප්‍රාණවත් වුණා.
දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට
නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට පිපි මලක් වුණා මල් නොපිපෙන තටාකෙට ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට මධුවිත එක්ක සමඟාමීව යන්නේ ගීතයයි. ඒත් මේ ගීත කියන්නෙම ආයි ජෝති. ජෝති අයියාගේ සින්දු නොකියන ප්‍රිය සාදයක් විනෝද ගමනක් ගැන හිතා ගන්න බෑ. මේ තැන්වල සජීවී බව ප්‍රාණවත් බව රකින්න ජෝති අයියා ඕනෑමයි.
ජෝතිපාල අපෙන් සමු අරන් අවුරුදු විසි හයයි. ඒත් අදටත් ජෝතිගෙන් තොරව සිංහල ගීතයට පැවැත්මක් නෑ. කාලෙකට ඉස්සර ලංකාවේ ගායකයන්ව ප්‍රබුද්ධ, පීචං විදියට වර්ග කරලා තිබුණේ. ජෝති අයත් වුණේ පීචං කාණ්ඩයට. ඒත් එදා පීචං ජෝතිගෙන් තොරව සිංහල සිනමාවක් තිබුණේ නෑ. ජෝතිගේ ඇවෑමෙන් ලංකාවේ වාණිජ සිනමාව සුන්නද්දූලි වෙලා ගියා. එදා සිනමාවේ දැවැන්තයන් වුණු ගාමිණීට, විජයට පසුබිම් ගායනා කළේ ජෝති. ගාමිණී - මාලනී පෙම් රැඟුම් වගේම විජය - මාලනී පෙම් රැඟුම් ජනාදරය දිනා ගත්තේ පසුබිමේ ඇසුණු ජෝතිගේ මියුරු කට හඬ නිසා.
කොහොම නමුත් රස්තියාදුකාරයා ජෝතිගේ ජීවිත කතාව හරි ජෝතිගේ මනුෂ්‍යකම ගැන හරි ලියන්න වෙහෙසෙන්නේ නෑ. මොකද ජෝති මැරුණට පස්සේ හැමෝම වගේ ජෝතිගේ ගුණ ගායනා කරන්න අරන්. සමහරු ජෝතිව සින්නක්කරේටම අරන්. ජෝති කතා නොකරන තැන ඕනෑ කෙනකුට ඕනෑ දෙයක් කියන්න පුළුවන් නේ. ඒ නිසා රස්තියාදුකාරයා අවදි කරන්න හදන්නේ ජෝති ගෙ ගීත එක්ක සබැඳුණු අතීතය.
රස්තියාදුකාරයාට කුඩා කාලේ පාසල් ගියේ වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයට. ඒ කාලේ දැන් වාගේ පෞද්ගලික විනෝදාස්වාද වන රූපවාහිනි, කැසට්, පරිගණක තිබුණේ නෑ. තිබුණේ පොදු විනෝදාස්වාද මාධ්‍යයන් වන චිත්‍රපට, වේදිකා නාට්‍ය. ඒත් බහුතරය ඇදිලා ගියේ සිනමාවට. කුඩා රස්තියාදුකාරයා සති අන්තය වන තුරු බලා ඉන්නේ සිය පවුල පිටින් පිච්චර් හෝල් එකකට රිංගන්න.
පාසලේ විදුහල්පති හිටියේ වටද්දර ලියනගේ කවියා. පන්තිය භාරව හිටියේ සිතා වීරමන්ත්‍රි ගුරුතුමිය. දවසක් ලියනගේ සර් පන්තියට ආවා. ඒ ආවේ ටේප් රෙකෝඩරයක් කියලා මැජික් භාණ්ඩයක් අරන්. ඒකෙන් අපි කියන දේ නැවත අහන්න පුළුවන්. මාරයිනේ! ලියනගේ සර්ට ළමයින්ගේ සින්දු කීපයක් පටිගත කරන්න ඕනෑ වුණා. ඒ දවස්වලත් විරිදු කියන කාන්ති හේමමාලි ෆොන්සේකා විරිදුවක් ගායනා කළා. මංගල සුසන්ත කිව්වේ කවියක්. චුටිටං බට්ටිච්චා දං ගෙඩියක් දැක්කා.. කියලා. රස්තියාදුකාරයාත් ඇරියේ නෑ. කිව්වා සින්දුවක් දන්නවද රස්තියාදුකාර පොඩ්ඩා කියපු සිංදුව.
එපා වුණත් හෙට ඕනෑ වේවි
නාවොත් ඔයාට තරහ හිතේවි ආඩම්බර වී තැවෙන්න වෙයි අඬා නොරොක් වී සිටින්න වෙයි. හිතා මතා මේ කියන්නේ මං හෝ හෝ තුෂරා........... ඒ දවස්වල රස්තියාදුකාර පොඩ්ඩගෙ කටේ තිබුණේ තුෂාරා චිත්‍රපටයේ සින්දුනේ. ලස්සන සීතා ටීචර් නම් යම්තමට රවලා බැලුවා. ඒ කාලේ අපේ සීතා ටීචර් අපට තරවටු කළහම අපට දුකයි. ඒ ටීචගෙ හිත රිදුණු නිසා. ඒ තරමට අපි ටීචර්ට ආදරෙයි. ලියනගේ සර්ට නම් පොඩි හිනාවක් ගියා. හොර නැතුව එතුමා දෙපාරක්වත් තුෂාරා නරඹලා ඇති.
ඒ දවස්වල ජනප්‍රිය චිත්‍රපටයක් එක්ක ඒ චිත්‍රපටයේ ගීත ඇතුළත් පොත් වෙළෙඳපොළට එනවා. සත පහක් වෙන්න ඕනෑ මිල. රස්තියාදුකාර පොඩ්ඩා බස් එක මඟහැරලා පයින් ඇවිත් ඉතුරු වුණ සල්ලි දාලා මේ ගීත පොත් ගන්නවා. හවසට වත්ත කෙළවරේ තිබුණු කීන ගහේ අත්තට නැඟලා මහ හයියෙන් ජෝතිගේ සින්දු කියනවා.
ඒ කාලේ රස්තියාදුකාර පොඩ්ඩගේ කටේ ජෝතිගේ ගීත මහ හුඟක් තිබුණා.
චන්දන ඇල්ලෙන් නාලා- අංජන මල් මී ගාලා
හැංගුන බඹරා ආවා - ලස්සන රහසක් කීවා මේ ගීතය අඩංගු චිත්‍රපටය පොඩි කාලේ බැලුවට පස්සේ රස්තියාදුකාරයා දැකලා නෑ. එයාට මතක විදියට 'සුජීවා' චිත්‍රපටයේ මේ සිංදුව ගයන්නේ රෝයි ද සිල්වා. රස්තියාදුකාරයාට නිව්ටන්ගේ නියම අද මතක නෑ. සූර්යයා පෘථිවිය වටේ ගියත් එකයි. පෘථිවිය සූර්යයා වටා ගියත් එකයි. ඇමෙරිකාව හොයා ගත්තේ කවුද? ඇමෙරිකාව නැති වෙලා තිබුණාද? එහෙම මතකයක් නෑ. ජෝන් ලොගී බෙයාඩ් රූපවාහිනිය නිපදවපු නිසා එයා එක්ක නම් තරහක් තියෙනවා. රස්තියාදුකාරයාට යන්තම් පන්සිල් පද නම් මතකයි. ඒත් පිළිවෙළට නෙවේ. කොහොමත් දෙකක්ම අත් හරින්න වෙනවානේ.
ඒ මොනවා වුණත් දෙකේ, තුනේ පන්තිවල ඉගෙන ගනිද්දී පවා නරඹපු චිත්‍රපට වගේම ඒවායේ ජෝතිපාල ගායනා කරපු ගීත නම් වරදින්නේ නැතුව කියතෑකි.
රස්තියාදුකාර පොඩ්ඩාගේ තාත්තා සමහර හැන්දෑවක ගෙදර එන්නේ හීන් අඩියකින් සප්පායම් වෙලා. එදාට එයාගේ කතාව වැඩියි. අම්ම තරහින් බුම්මගෙන පැත්තකට වෙලා ඉන්නවා. අද වගේ එදා ගමට විදුලි ආලෝකය තිබ්බේ නෑ. තාත්තා අඬ අඳුරේ ඉස්තෝප්පුවේ පිල් කද මත වාඩි වෙලා ගීතයක පද අමුණනවා.
චන්ද්‍රා මේ රෑ පායා ආවා- හර්දේ පෙමින් නාව නාවා
මේ ආදරේ වාසනාවන් - දුක් වේදනාවන් නිවේවා තාත්තා හැමදාම වගේ මේ ගීතය ගයන රහස මේකයි. රස්තියාදුකාරයාගේ අම්මගේ නම වන්ද්‍රා. සිංහල සිනමාවේ මතකයේ රැඳෙන පෙම් රැඟුම් බොහොමයකට පසු බිම් ගායකයා ජෝති. මේ ගීත ගුවනින් ඇසෙද්දී ඒ පෙම් රැඟුම් මතකයට එනවා. මේ අතරින් ගාමිණී- මාලනී රඟන කස්තුරි සුවඳ. මේ ගීතයන්හි ජෝතිගේ සහාය ගායිකාව ඇන්ජලින් ගුණතිලක.
පාට පොදක් තිකලා- නළල් තලාවේ කැළුම් වළලු නෙතින් අසුරලා
මුතු සිනා සල සලා - නැළවි නැළවි ඒ නුවන් මහද නීල වරලියේ...... ඒ වගේම 'සදහටම ඔබ මගේ' චිත්‍රපටයේ එන මේ ගීතය අමර පෙම් ලතාවේ - රන් මලක් උදාවේ අඳුන් සඳුන් සුව මැවේ - මනෝ මන්දිරේ විජය - මාලනී සඳහාත් ජෝති - ඇන්ජි යුවළ ගී ගයා තිබෙනවා. 'තුෂාරා' චිත්‍රපටයේ එන මේ ගීතය.
මීදුම් ගලා කන්දේ
ඉවසන්න බෑ සීතේ උණුසුම් දැනේ දෑතේ ළංවී මට දැන් කියන්න ආදරේ දෝ..... 'සංගීතා' චිත්‍රපටයේ ඉර හඳ වැඳලා - නෙත් දෙක ඇරලා අත ඔබෙ නළලෙ තියා හදවත කොඳුරා - පවසමි ඉඳුරා මම ආදරේ කියා.....
එදා මෙදා තුර ලංකාවේ බිහිවුණු සාර්ථකම වාණිජ චිත්‍රපටය ලෙස ගැනෙන 'හතර දෙනාම සූරයෝ'හි සූරයන් හතර දෙනා වන ගාමිණී, විජය, සේනාධීර රූපසිංහ සහ ඇන්තනි රූපසිංහ ජෝතිගේ හඬට නැටුමක් ඉදිරිපත් කරන මේ ගීතය කිසිදා අමතක වේද?
කොඩි ගහ යට මම උපන්නේ - නම ගිය තැනකි රටේ කොළඹය කියලයි කියනනේ - මුළු ලෝකය හතර වටේ ඒත් ජෝතිගේ ගීතයට පණ දෙන රසිකයන්ට මෙන්ම රස්තියාදුකාරයාට වෙනස්ව මාලනියගේ ප්‍රියතම ගීතය 'වක්කඩ ළඟ දිය වැටෙනා තාලෙට' ගීතයලු. ඒ බව අෑ විසින් හෙළි කර ඇත.
එදා 'ආදරේ හිතෙනවා දැක්කම' චිත්‍රපයේ උස්වැටකෙයියා මුහුදු තීරයේ ගිටාරයක් වයමින් ජෝතිගේ හ¾ඩින් ගීයක් ගයද්දී ඇය වශීකෘතව උන්නා ඔබට මතක ඇති. ඒ ගීතය මෙයයි.
දැසෙ විමන් ෙදාරෙන් - සීන රුවන් තිරෙන් නික්මි ගොළු බසින් - පරවි රැජින ලෙසින් ඔබ පියඹා ගොසින් ඇත්ත. ගාමිණී, විජය, ගීතා, නීටා, අනෝජා මෙන්ම මාලනී ද ජනප්‍රිය නළු නිළියන්. ඒ එදාය. එහෙත් ඔවුන්ගේ ජනප්‍රියත්වයට ජෝති- ඇන්ජි ඉවහල් වූවා මිස ජෝති ඔවුන් නිසා ජනප්‍රිය වූයේ නැත. එය ඉතා සරලව මෙසේයි. ගාමිණී හෝ විජය දුටු විට අපට ජෝතිවත් ජෝතිගේ ගීවත් මතකයට නොඒ. එහෙත් ජෝතිගේ සිනමා පසුබිම් ගායන ගුවනින් ඇසෙන විට අපට ඒ ගී ඇතුළත් ජවනිකාව සිහියට නැඟේ.
ඒ ජවනිකාවට පෙනී සිටි රංගන ශිල්පියා හා ශිල්පිනිය මතකයට නැඟේ. එබැවින් මාලනිය වේවා ගීතා වේවා නීටා වේවා රසික සිත් හි නොමැකෙන්නේ ජෝති - ඇන්ජිගේ ගී ගුවනින් නිතර ඇසෙන නිසාය.
අද වන විට කිසිදු නළුවකු ජනප්‍රිය නොවන්නේ විජයගෙන් පසු කිසිදු නළුවෙක් සඳහා ජෝතිට පසුබිම් ගී ගයන්නට නොහැකි වූ බැවින්ද? අද දිනයේ සුපර් ස්ටාර්ස්ලා, මෙගා ස්ටාර්ස්ලා එක රැයෙන් බිහි වෙනවා. ඒත් රැය පහන් වූ විට වියැකී යන තරු ලෙස මඳ කලකින් ඔවුන් අතීතයට එක් වෙනවා. ඒ එසේ වුව කිසිදා ජෝතිව හැබැහින් දැක නැති වත්මන් තරුණ පරපුර පවා ජෝතිගේ ගී ආදරයෙන් වැලඳ ගන්නවා.
ගී පොත, මී විත මෙන්ම සොඳුරු ගැහැනුන් හා ආදරයෙන් බැඳුණු ජෝති කිසිදා සැප
සම්පත් මහා මන්දිර හා යානවාහන හඹා ගියේ නැත. උස් පහත් භේදයෙන් යුතුව මිනිසුන්ට ආදරය කළේය. පෙරළා ඔවුන්ගේ භක්ත්‍යාදරයද ජෝතිට ලැබිණි. එවන් සැබෑ මිනිසකු වූ ජෝතිගේ හඬෙහි ඇත්තේ ඔහුගේ හද පතුලෙන් නැඟෙන සැබෑ ආදරයයි. ඒ ආදරයේ හඬ යම්තමින් හෝ මිනිසත් බව ඉතුරු වුණු සමාජයක ඉස්මතු වීම හුදු අහම්බයක් නොවේ.
එන අන් භවයේදී ජෝති හා එක්ව මධුවිතක් රස විඳීමේ අපේක්ෂාව ඇතුළුව
රස්තියාදුකාරයා ඔබෙන් සමුගන්නම්. රත්තරන් සඳක් පායන්නයි- රත්තරන් ඉරක් පායන්නයි ජීවිතේ නඳුන් උයනේ- සැනසෙන්න බී මල් පැණි සුබ දවසක් වේවා... 'දහකින් එකෙක්' චිත්‍රපටයට මේ ගීය ගැයුවේ ලක්ෂ ගණනාවකින් එකෙක් වීම සුවිශේෂයකි. |
Subscribe to:
Posts (Atom)