ජේත්තුකාර රස්තියාදුව 0 February 2, 2014 2:00 am Hits(8)
ගමේ කඩ පිලේ දාම් අදින, ගමේ පාරේ බෝක්කු උඩ කල් යවන, රැයක් දවාලක් නොබලා ගම පුරා සැරිසරන තරුණයන් අදත් ඉන්නවා. මේ අයව ගම්මුන් පොදුවේ හඳුන්වන්නේ රස්තියාදුකාරයෝ කියලා. රෑට වතුවල කුරුම්බා, පොල් හොරකමේ යන, මයියොක්කා හොරාවට ගලවන මේ අය රා වගේම හොර අරක්කු ඒ කියන්නේ ගමේ බඩුත් පාවිච්චි කරනවා. වරදවා වටහාගන්න එපා. මේක ජීවිතය එක්ක කරන සොඳුරු රස්තියාදුවක් නෙවෙයි. කවදාටත් තරුණයන් අතහැර නොයන විරැකියාවේ ප්‍රතිඵලයක්. මෙන්න මේ වගේ තරුණයන්ව ‘වල්මත්වූවෝ’ විදියට වසන්ත ඔබේසේකර අපට හඳුන්වලා දෙනවා. ඒ 1976 දී. ඒ අදින් අවුරුදු තිස් ගණනකට පෙරාතුව. ඉතින් මේ නන්නත්තාර තාරුණ්‍යයේ කතාව අපි සාරාංශ ගතකරමු.
එකිනෙකා හා දැඩි ළෙන්ගතුකමකින් යුතු තරුණයන් පස් දෙනකු අපට හමුවෙනවා. ඒ සමන් (සිරිල් වික්‍රමගේ), සිරිල් (ටෝනි රණසිංහ), සුනිල් (ෂර්ලි ගෝමස්), සෝමදාස (සෝමසිරි දෙහිපිටිය) හා පීටර් (නාමල් වීරමුණි) ය. මේ අයගෙන් යමක් කමක් ඇති පවුලක තරුණයකු වන්නේ සිරිල් පමණයි. සමන් උපාධිධරයෙක්. පීටර් ගංජා විකුණනවා. සුනිල්ට අවශ්‍ය ලේඛකයකු වීමටයි. සෝමදාස රාත්‍රියේ හිමියන් නොමැති නිවෙස්වලට රිංගන සෙල්ලක්කාරයෙක්. ඔවුන්ගේ පොදු සාධකය නම් විරැකියාවයි.
චිත්‍රපටය ඇරැඹෙන්නේ මේ තරුණයන් ගම්බද පාරක කෙළිදෙළෙන් ඇවිද යන රූප රාමුවකින්. පසුබිමෙන් ඇසෙන්නේ මේ ගීතයයි.
මලින් මරේ රොන් පොපියන
රඟන බඹර ජීවිතේ
කප්පරු හිස දැවී ලියලන
නව යව්වන ජීවිතේ
අපට උරුම නැත - නාඬන් හදවත
තරුණ පැතුම් හිසින් දරා
මතු දවසට පෙරුම් පුරා
ඉපණැලි කටු කොහොල් මැදින්
මඟ සොයනා ගමනේ
කි¼දා බසින ජීවිතයට
නැත කිසි පිළිසරණේ
රාත්‍රියේ ගංජා උරමින්, බූරුවා ගසමින්, රා බොමින්, ගම පුරා ඇවිදින ඔවුන්ගේ සූදානම නාඩගමක් රඟ දැක්වීමටයි. මේ ‘රාජසිංහ නාඩගම’යි. හා හා පුරා කියලා එහි තිර රචකයා වන්නේ සුනිල්ය. ඒ මේ නාඩගම රඟ දක්වන අතරතුර පීටර් හිර භාරයට ගැනේ. ඒ ගංජා ළඟ තබා ගැනීමේ වරදටයි. නාඩගම කඩාකප්පල් වෙනවා. පීටර්ට විරුද්ධව පොලිසියට ඔත්තු දෙන්නේ සුමනදාස. ඔහු සමන්ගේ ගෙයත්, ඉඩමත් උකසට ගත්ත ගබ්රියෙල් ගේ පුතා. දැන් මේ තරුණයන්ට එක් මිතුරකු අහිමි වෙනවා.
සුනිල් හා සබඳකමක් පවත්වපු ෆිලොමිනා ගැබ් ගන්නවා. සොහොයුරා එවන මුදලින් යම්තම් ජීවිතය ගැට ගසා ගන්නා සුනිල්ට පවුල් ජීවිතයක් යනු සිහිනයක්. සුනිල් පැදුරටත් නොකියා පලා යනවා. ඒ ෆිලෝමිනාගෙන් ගැලවීමට නෙවෙයි. කරන්න වෙන දෙයක් නැති නිසා.
සමන්, සිරිල්ගේ නැඟෙණිය සුමනා සමඟ පෙම් සබඳතාවක් ගෙනයනවා. රැකියාවක් යනු සිහිනයක් නිසා සමන් එයාගේ උපාධි සහතිකය ගිනිබත් කරනවා. සුමනා වෙනකෙකු හා විවාහ වෙනවා. සමන්ගේ නිවෙස හා ඉඩම සින්න වෙන්න ආසන්න වෙනවා. සමන්ගේ පියා ගෙල වැලදාගෙන මිය යනවා. ශෝකයෙන් වියරු වැටෙන සමන් ගබ්රියෙල්ට පහරදීලා ඉඩමේ උකස්කරය පැහැර ගන්නවා. ඊට එරෙහිවන සුමනදාසට සමන් පිහියෙන් අනිනවා. පලා යන සමන් ගබ්රියෙල්ගේ වෙඩි පහරින් මිය යනවා.
සමන්ගේ දේහය රැගත් මිනී පෙට්ටියට කරදීමට ඉන්නේ සිරිල් හා සෝමදාස පමණයි. අවසානයේ සිරිල් ද සෝමදාසගෙන් සමුගෙන කොළඹ බලා යන දුම්රියකට ගොඩ වදිනවා.
ආපසු ගම දෙසට යන සෝමදාසගේ රූප රාමුවකින් වල්මත්වූවෝ නිමාව දකිනවා.
අරමුණු විසඳුමක් නැතේ
අද පමණයි හෙටක් නැතේ
හිස් අහසට අත් ඔසවා
අපිත් කිරට හැඬුවා
සා පවසට, අනේ අපට
කිරි එරුණේ නැතුවා....
වල්මත්වූවෝ හි තරුණයන්ටද අරමුණු තියෙනවා. නාඩගමෙන් ලැබෙන මුදලින් සුනිල් ලියූ පොත මුද්‍රණය කිරීමට ඔවුන් අදහස් කරනවා. රැකියාවක් ගැන සිහින නොදැක පීටර් නීති විරෝධී ආකාරයට මුදල් උපයනවා. සමන්ට අවශ්‍ය වන්නේ තමන්ගේ නිවෙස හා ඉඩම බේරා ගන්න. චිත්‍රපටයේ හමුවෙන ඇත්ත රස්තියාදුකාරයා සෝමදාස විතරයි. සෝමදාස ගමට බැඳුණු මිනිහෙක්. ඔහු ගම විඳිනවා. රැයේ සොපි අක්කාගේ ෙදාරට තට්ටු කරන ඔහු තවත් ගැමි ගැහැනුන්ගේ ෙදාරවලට තට්ටු කිරීමටත් මැළිවන්නේ නෑ. ඔහුගේ අනුරාගී සූරකම් ඔහුව ගමේම
සංඝටකයක් කරනවා.
වල්මත්වූවෝ හි දිශානතිය වටහාගන්නට ගම හැරගිය සුනිල් සිරිල් වෙත එවන ලිපිය ප්‍රමාණවත්.
“අපේ ගමේ නිස්කලංකෙට මම හරිම ආසයි. නමුත් වැඩක් නැතිව ගමේ පල්වෙන කොට ඒ නිස්කලංකයත් මිනිසුන්ට මහා බරක් වෙනවා. අරමුණක් නැතිව අපරාජිත ජීවිත ගත කරන්න මට කිසිම ආශාවක් නෑ. උඹලගෙ ගහ ගැනීම් නිසා හෝ ෆිලෝමිනාගේ සිද්ධිය නිසා මම ගමෙන් පැන ගියා නෙවෙයි. සදාකාලික ගමටම සීමා වූ අරමුණක් නැති ජීවිතයක් ගත කිරීමට බැරි නිසයි මම ගමෙන් පැනලා ගියේ. මම විතරක් නෙවෙයි සෝමදාසත්, සමනුත්, උඹත් උඹලගේ ඉගෙනීමෙන් පලක් නැතිව නිකම්ම වේළිලා යනවා. අපට වඩා වෙනත් මඟක් ගැනීමට පීටර්ට වුණ දේ උඹලා දන්නවානේ.
මෙගම සෞන්දර්යයෙන් යුතු වුවද අපි එයට කොටු වුණු සිරකරුවෝ වෙමු. සමාජය අපිව කොන්කර ඇති බැවින් අපි සමාජයෙන් අෑත්විය යුතුය. නැත්නම් සමාජය වෙනස් කළ යුතුය. ගමේ පල්වෙමින් මේ පියවර අපට ගත නොහැක.”
ගම පිළිබඳව මෙසේ සෞන්දර්යාත්මක කියැවීමකට යන්නේත්, ගමෙන් එපිට නගරයේදී සාක්ෂාත් කර ගත හැකි අරමුණු පිළිබඳව ෆැන්ටසියක් ගොඩනැඟන්නේත් නූගත් ගැමියා නොව ප්‍රාමාණික අධ්‍යාපනයක් ලද උගත් තරුණයකු වූ සුනිල්ය. ‘රාජසිංහ නාඩගම’ හා බැඳුණු ගම ඔහුට තව දුරටත් අනවශ්‍යයි. ෆිලොමිනා ගැබ් ගැනීමද සුනිල්ට අනුව අත්වැරැද්දකි.
“යාන්තම් පැදුර පෑගුණා විතරයි බං”
ගම යනු අතීතය, අත් හැරිය යුතු යමක් වන විට නගරය යනු දිනාගත යුතු ලෝකයක් ලෙස සුනිල් දකිනවා. යමක් කමක් ඇති සිරිල් පොඩි මහත්තයාට ගමේ නිස්කලංක ජීවිතයක් ගත කළ හැකිය. එහෙත් ගම හැරදා ඔහුද කොළඹ යනවා.
ගම යනු යළි සොබා දහම වන විට, මේ තරුණයන් නගරය කරා ඇදෙන්නේ සංස්කෘතිය සොයාද?
70 දශකයේදී ගමෙන්, නගරයට සංක්‍රමණය වුණු ගැමි තරුණයන්ට සිය අරමුණු සාක්ෂාත් කර ගන්නට පුළුවන් වීද? ගමදී නගරය ෆැන්ටසිකරණය කළ එවුන් නගරයේදී සිය ෆැන්ටසියෙන් සැබෑවට අවදිවන්නට ඇත්ද? මේ පිළිබඳව දැනගන්නට ඊළඟ සතිය වන තුරු ඉවසන්නට ඔබට සිදුවෙනවා. ඒ රස්තියාදුකාරයා ගමෙන් නගරයට ආ තරුණයන් ඔබ හමුවට ගෙන එන නිසා. ඒ වසන්තගේම නිර්මාණයක් වූ ‘දියමන්ති’ හරහා.
පහනේ තෙල් සිඳෙන තුරා
තටු ගිලිහී දැවෙන තුරා
පහන් සිළුව වටා රඟන
පළගැටි රෑනයි....
මිරිඟු සයුරු සොයා සරණ
පළගැටි රෑනයි...