Wednesday, August 28, 2013

ජෙත්තුකාර රස්තියදුව
1959 අවුරුද්දේ විශිෂ්ටතම නිර්මාණයට හිමිවන ‍ෙදාන් පේද්‍රික් සම්මානය දිනා ගත්තේ ‘අක්කර පහ’ නවකතාව. ඒක මඩවල ඇස්. රත්නායක ලිව්වේ. ලෙස්ටර් ජේම්ස් පීරිස් ඒක ‘අක්කර පහ’ නමින්ම සිනමාවට ගෙනාවා. 1959 දී ලියැවුණු නවකතාවක් ගැන 2013 දී කතා කරන්නේ ඇයි? ඒක සාධාරණ ප්‍රශ්නයක්. කොහොම නමුත් මේ කෙටි පූර්විකාවත් එක්ක අපි ‘අක්කර පහ’ සංක්ෂිප්ත කරමු.

සමන්තැන්න කියන්නේ අලව්ව ප්‍රදේශයේ ගමක්. මේ ගමේ ගොවියකු වන බණ්ඩාට සහ ඔහුගේ බිරිය මැණිකාට දරුවන් සතර දෙනෙකි. තිදෙනකු ගැහැනුු දරුවන් වනවිට එකම පිරිමි දරුවා සේනය. ඔහු ඉගෙනීමේ දක්ෂයෙකි. එබැවින් ඔහු පොල්ගහවෙල පාසලක සිට වැඩි දුර ඉගෙනීමට නුවර කුමාර විද්‍යාලයට ඇතුළු වෙයි. සේන සිය ගමේ පෙම්වතිය සඳවතීගෙන්ද වෙන්ව නුවර යන්නේ ආයාසයෙනි. නුවරදී ඔහු සිය පාසල් මිතුරු සමරසේනගේ බෝඩිමේම නවාතැන් ගනී. එහිදී සේන සහ බෝඩිමේ හිමිකාරියගේ දියණියක වන තෙරේසා අතර සම්බන්ධයක් ඇති වේ. එහෙත් ඇය සමරේ සමඟද සම්බන්ධතාවක් පවත්වා ගෙන යයි. සේනගේ අධ්‍යාපනය වෙනුවෙන් උකස් කළ සේනගේ නිවෙස ඔවුනට අහිමි වේ. ගොවි ජන ව්‍යාපාරය යටතේ මිණිපෙන් අක්කර පහක් ලබන සේනලා එහි පදිංචියට යයි. තෙරේසා, සේන අත්හැර නිහාල් නම් තරුණයකු හා විවාහ ගිවිස ගැනීම නිසා, සේන අධ්‍යාපනය ද අතරමඟ දමා නුවර හැර යයි. තාවකාලිකව රැකියා කිහිපයක් කරන සේන තදින් බීමට ඇබ්බැහි වේ. අවසානයේ සුවපත් වන සේන යළි මිණිපේ පැමිණේ. අවසානයේ, සේන තමා වෙනුවෙන්ම බලා සිටි සඳවතීව ආවාහ කර ගනී. රැකියාව වශයෙන් උගත් සේන ගොවිකම තෝරා ගනී. ‘අක්කර පහ’ නිමාවේ.

මේ කතාවේදී හමුවන සේන අහිංසක ගැමි තරුණයෙකි. ඔහු නාගරික තරුණියක වූ තෙරේසාගේ ව්‍යාජ ප්‍රේමයට රැවටේ. ඇය සේන මෙන්ම සේන ගේ මිතුරු සමරේද රහසින් ඇසුරු කරයි. දෙදෙනාම අත්හැර නිහාල් හා විවාහ ගිවිස ගන්නටද නොපැකිළේ. එයින් සිත් රිදවා ගත් සේනව අස්වසන්නටද ඇයට ඇවැසි නැත. ඇය කිසිවක් සිදු නොවූ අයුරින් හැසිරේ. නාගරික තරුණිය චපලය.

මීට වෙනස්ව සඳවතී ස්ථිරසාර අදහස් ඇති තරුණියකි. ඇය සේනට පිදූ ආදරය වෙනකෙකුට නොදෙයි. සේන වෙනුවෙන් ඇය කොතෙකුත් බලා සිටියි. ගැමි තරුණිය අහිංසකය. අවංකය. ඇය ආදරයෙහිලා විශ්වාස කටයුතු දායකය. සිය ප්‍රේමයට කිසිදා පිටු නොපායි.
උන්හිටි තැන් අහිමි වන බණ්ඩා මිණිපෙන් ලැබෙන අක්කර පහේ පදිංචියට යයි. ඔවුනට දැන් අගහිඟ නැත. එහි වෙල් විදානේ කමට පත් වන්නේ බණ්ඩාය. අනතුරුව ඔහු ගම්මුලාදෑනියා බවට පත්වේ. ජයට මඟුල් කා සේනගේ අක්කා කුමාරි ගමේ පාසලේ ගුරුවරයකු සමඟ විවාහ වේ. අධ්‍යාපනය අතරමඟ නවතා දමන සේනද මිණිපේට පැමිණ ගොවිතැන සිය රැකියාව කර ගනී. ගුරුවරියක වන සඳවතී ආවාහ වන්නේද ගොවියකු වූ සේන සමඟය. ගොවිතැන මොන තරම් උතුම් වෘත්තියක්ද?

‘කවදා හෝ ජාතියේ සංවර්ධනය ඇති විය යුත්තේ අපේ ප්‍රධාන රක්ෂාව වන ගොවිතැන තුළින්ය යන අදහස මගේ සිත තුළ වැඩෙන්නට පටන් ගත්තේ මා සිදාදියට විත් එහි පදිංචි වූවාට පසුය.’
මේ ඔබ කියවූයේ කර්තෘගේ සටහනකි. බොහෝ විට ගම, ගැමියා, ගැමි තරුණිය, ගැමි සමාජය මෙන්ම ඒ හා බැඳුණු ගොවිතැන උත්කර්ෂයට නංවන්නේ ගමේ ඉපිද, එහිම ජීවත්වී මිය යන්නට ඉරණම් වූ සැබෑ ගැමියකු නොවේ. ඔවුනට ගම යනු ගැමි ජීවිතය යනු කෙසේ හෝ ගෙවා දැමීමට තීන්දු වූ ඉරණමක් පමණි. ඊට වෙනස්ව ගමෙන්, සිදාදියට අධ්‍යාපනයේ පිහිටෙන් සංක්‍රමණය වී එහිම පදිංචි වන ගැමියාට ඇති අතීත වේදනාව ගමයි. තමා කිසිදා යළි පදිංචියට නොයන ගම ඔහු මහත් අභිරුචියෙන් වර්ණනා කරයි. ගැමි තරුණියගේ ගුණ වර්ණනා කරන නමුදු ඔවුන් ගැමි ලියක සරණ පාවා නොගනී. මහත් දුක් මහන්සියෙන් ඉගෙන ලබා ගත් රැකියාව අත්හැර ගොවිතැන් බත් කරන්නට ගමට යන්නේද නැත. නගරයේ පදිංචිව සැබෑ නාගරිකයන්ට ද වඩා නාගරික වීමට තැත් කරන ඔවුන්ට මඟහැරුණු ගම සම්බන්ධයෙන් ඇත්තේ කාංසාවකි. පරිකල්පනයේ දී ඔවුන් ගම උත්කර්ෂයට නඟන්නේ එබැවිනි.

සිදාදියේ තරුණියකට රැවටී, යළි ගමෙහි පිහිට පතා ආපසු යන ගැමි තරුණයා යනු ඔවුනගේ හිතලුවකි. ඊට හාත්පසින්ම වෙනස් ආකාරයට ඔවුන් සිදාදියේ තරුණියකගේ පිහිටෙන්, නගරයේ ස්ථාපිත වීමට යත්න දරයි. නගරයේ රැකියාවක් ලැබ, සහෝදර නිලධාරීන්ට වළ කපා ඉහළට නඟින්නේ මොවුන්ය. කිසියම් ආයතනයක ඉහළ නිලධාරියකු, තම යටත් සේවකයන් පීඩාවට පත් කරයි නම්, සහෝදර නිලධාරීන්ට වින කටියි නම් නොඅනුමානව ඔහු ගමෙන් පැමිණි අයකු වීමේ සම්භාවිතාව ඉහළය.

මෙතැනදී රස්තියාදුකාරයාට ජයසේන ජයකොඩි ලියූ ‘රන් දහඩිය’ මතකයට එනවා. රැකියා විරහිත උගත් තරුණයන් පිරිසක් මහ වන මැද ගොවි බිමක් ගොඩනඟනවා. ඒ සඳහා ඔවුන් නොවිඳිනා දුකක් නෑ. නියඟයෙන්, වල් අලින්ගෙන්, ගංවතුරෙන් පීඩා විඳින ඔවුන් අවසානයේ ජය ගන්නවා. ලේ හැලෙන විප්ලවයකින් තමන්ගේ අයිතිය සොයා ගිය 71 කැරැලිකරුවන්ට විකල්පයක් ලෙසයි මේ ගොවි සංග්‍රාමය ‘රන් දහදිය’ නමින් එළි දකින්නේ.
ලංකාවේදී යමක් කමක් ඇති මධ්‍යම පංතිකයාට අවශ්‍ය තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්න. ‘අපි කාටවත් කරදර කරන්නේ නෑ. අපිටත් කවුරුත් කරදර කරන්න එපා’ යනු ඔවුන්ගේ සටන් පාඨයයි. ඒත් ඔවුන්ගේ නිහඬ ජීවිතයට බාධා වෙන්නේ 71 කැරැල්ල. කැරැලි ගසන තරුණයන් ඔවුනට වධයක්. ඒ නිසයි පරිකල්පනීය වගා සංග්‍රාමයක් අවශ්‍ය වෙන්නේ. කැරැලිකරුවා වෙනුවට, ගොවි තරුණයා යන සංකල්පය ගොඩ නැංවෙන්නේ එහෙමයි.

ගමෙන් නගරයට පැමිණෙන උගත් ගැමි තරුණයා යන සංකල්පය බොහෝ නවකතාවන්ට ආගන්තුක වූ වස්තු බීජයක් නෙවෙයි. බොහෝ විට මේ නවකතා රචනා වෙලා තියෙන්නෙත් එහෙම ගමෙන්, නගරයට පසුකාලීනව සංක්‍රමණය වූ අයටයි. වඩා පහසු දිවියක් අපේක්ෂාවෙන් ගම අත්හැර නගරයට පැමිණෙන ඔවුන් තමන්ගේ වරදකාරී බව මඟ හැර ගත්තේ ගම උත්කර්ෂයට නංවන ප්‍රබන්ධයන්ගෙන්.

බොහෝ විට මෙහෙම ගමෙන්, නගරයට එන ප්‍රබන්ධිත චරිත නගරයේදී නන්නත්තාර කරවීමට මේ බොහෝ කතුවරුන් අමතක කරන්නේ නෑ. ඒත් ඊට වෙනස්ව මාර්ටින් වික්‍රමසිංහගේ සංක්‍රමණික ගැමි තරුණයා ධනවතෙක්, බලවතෙක් වෙනවා. ඔවුන් නගරයට නාගරිකයන්ටත් වඩා අනුගත වෙනවා. වික්‍රමසිංහගේ ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය වගේම කරුවල ගෙදර යන කෘතිවල අපට මේ කියන තරුණයා මුණගැහෙනවා. ඒ ගාල්ලේ සුන්දර ගමක් වුණු කොග්ගලින් කොළඹට පැමිණි තරුණයන්. මේ එක් එක් ප්‍රබන්ධිත තරුණයන්ගේ කතා තුළ සුළු සුළු වෙනස්කම් තිබුණත් ඔවුන් මූලිකව ධනය හා බලය සොයා යන්නන්.
වික්‍රමසිංහ ගම්පෙරළිය ලියන්නේ 1944දී. ඒ කලියුගය, යුගාන්තය ඇතුළත් තුන් අෑඳුතු කතා පෙළක පළමුවැන්න වශයෙනි. කතාවට පාදක වන්නේ කොග්ගල ගම් පියසය. ඉංග්‍රීසි උගත් තරුණයකු වන පියල් ගමේ ප්‍රභූවරයකු වන කයිසාරුවත්තේ මුහන්දිරම් ගේ දියණියක වන නන්දාට පෙම් කරනවා. එහෙත් කුල මානය හිසින් ගත් ඔවුන් නන්දාව විවාහ කර දෙන්නේ කුලීන එහෙත් වැඩි වත් පොහොසත්කමක් නැති ජිනදාසට. පියල් ගම හැර කොළඹට යනවා. එහිදී ශූර ව්‍යාපාරිකයකු වන ඔහු ධනවතකු වෙනවා. වෙළෙදාමක් සඳහා සිංහලේ ගිය ජිනදාස මිය ගිය බව සිතන නන්දා පියල් හා ආවාහ වෙනවා. ඔවුන් පියල් කොළඹ ඉදි කළ නව නිවෙසට පදිංචිය සඳහා යනවා.

මෙතැනදී අපට හමුවන්නේ වෙනස් වන ලෝකයට අනුගතව තම බලාපොරොත්තු සඵල කරගත් තරුණයෙක්. මෙතැනදී ධනය, බලය නොඅඩුව ඇති පියල් නන්දා ආවාහයෙන් ගමේ කුලීන පවුලකට සම්බන්ධ වේ. ධනය, බලය හමුවේ කුලය යන්න නොගිණිය හැක්කක් විය යුතු වුවද, ගමෙන් නගරයට ආවෙකුට ගමෙහි අධිපති වන කුලය යන සාධකය මඟහැරෙන්නේ නැත.
බොහෝ විට වික්‍රමසිංහයන්ගේ ප්‍රබන්ධ තුළ ගැමි තරුණියන් කෙලෙසන්නේද, අනියම් බිරින්දෑවරු සරණ යන්නේද ප්‍රභූවරුන්ය. එහෙත්, ඒ බැව් සඳහන් වන්නේ කුලීනයන් කෙරෙහි වෛරයක් ඇති නොවන ආකාරයටය.
‘ඇය ගමේ කුලීන තරුණයකු අතින් කුල දම් සිඳ ගත් තැනැත්තියකි.’

එය කුලීන තරුණයකු අතින් වන දඟකාර කමක් නැතිනම් විය යුත්තක් සේ අපට හැඟේ. හතළිස් ගණන්වල කොග්ගල ගමෙහි කුලීන තරුණයෙක්ව ඉපදුණා නම්!
වික්‍රමසිංහ යුගාන්තය ලියන්නේ 1949 දීය. අනතුරුව 1957 දී ලියන කලියුගයෙන් ගම්පෙරළිය හා යුගාන්තය සම්බන්ධ කරයි.

මාලින් සහ අරවින්ද අපට හමුවන්නේ ජැටියේදීය. ඒ ඔවුන් එංගලන්තයෙන් ආපසු ලංකාවට පැමිණි විටය. මාලින් උපතින්ම නාගරිකයෙකි. ඔහු සවිමන්් කබලාන නම් ධනවත් ව්‍යාපාරිකයාගේ පුතාය. එහෙත් අරවින්ද විහාරහේන යනු දෙණියායේ ගොඩේ මුදලාලි කෙනකු වන වස්තුහාමිගේ පුත්‍රයාය. අරවින්ද වෛද්‍යවරයකු ලෙස කොළඹ මහ රෝහලේ සේවය කරයි. මාලින් පියාගේ කර්මාන්ත ශාලාවක වැඩ පුහුණු වෙයි. දෙදෙනාම එංගලන්තයේදී සමාජවාදී අදහස් දැරූවන්ය. සමාජය වෙනස් කරන්නට යෑම සිය දිවි හානි කර ගැනීමක් ලෙස පවසන අරවින්ද පවතින ක්‍රමයට හැඩ ගැසේ. මංගලිකා සමඟ කෙටි ඇසුරක් පැවැත්වූ නමුදු ඔහු විවාහ වන්නේ මාලින් ගේ නැඟණිය වූ චමරි සමඟය. එහෙත් තම පියාට එරෙහි වන මාලින් කම්කරුවන් සංවිධානය කරයි. අවසානයේ ඔහු මන්ත්‍රණ සභාවට මන්ත්‍රිවරයකු ලෙස පත්වේ.

මෙතැනදී දෙණියායෙන් ආ අරවින්ද නාගරිකයන්ට වඩා නාගරිකයකු වේ. පීඩිත පන්තිය වෙනුවෙන් සටන් කිරීමට වඩා ඔහුට අවශ්‍ය නාගරික ප්‍රභූ සමාජයේ ස්ථාපිත වීමටය. එහෙත් අරවින්ද කළු චරිතයක් නොවේ. ඔහු ඡන්දය සඳහා මාලින්ට මුදල් ලබා දේ. එහෙත් ප්‍රසිද්ධියේ මාලින්ට සහාය දී චමරිගේ පියා තරහ කර ගත්තේ ද නැත.
1949 දී ලියන ලද යුගාන්තය 2013ට වුව වලංගු වේ. අරවින්ද මෙන් ගමෙන් සරසවියට එන ගැමි තරුණයා මුලින් විප්ලවවාදියෙකි. රැඩිකල් දේශපාලන චරිතයකි. උපාධිය ලැබ සරසවියෙන් පිටමං වන්නේ විප්ලවය සරසවි ගේට්ටුවෙන් ඇතුළත තනිකරය. ඒ තැන ගන්නට තව තවත් ගැමි තරුණයෝ සරසවියට පැමිණෙති. මෙය එක්තරා ආකාර චක්‍රීය ක්‍රියාදාමයකි. ඉන්පසු විධායක ශේ‍ර්ණියේ රැකියාවක් කොළඹින් ගෙයක් සහිතව විවාහයක්. ලිප්ටන් වට රවුමේ පිකටිං කරන රැකියා විරහිත උපාධිධාරීන්ට පහර දෙන්නට වුව ඔවුන් නොපැකිළේ. මේ අද දවසේ අරවින්දලාගේ කතාවයි.

වික්‍රමසිංහ ‘කරුවල ගෙදර’ රචනා කළේ 1963දීය. වැර වෑයමෙන් මුදල් උපයා ගත් ගැමියකු වූ තිතන්ට පුතුන් දෙදෙනෙකි. වැඩිමලා සිරිමල් ඉගෙනීමේ දක්ෂයෙකි. බාලයා නිමල් ඉගෙනුම නවතා ගමේ පොල් ගස් බදු ගන්නා තරුණයෙකි. ඔහු ගම හැර නොයන, හැඩිදැඩියෙකි. සිරිමල්, විජේසූරිය නම් ධනවත්, ව්‍යාපාරිකයකු ළඟ සේවය කරයි. ඔහුගේ දියණිය ෂීලා සමඟ සිරිමල් හාද වෙයි. ඒ ෂීලාට ඇති ආදරයටත් වඩා ඇය ඉහළ නැඟීමේ හිණිමඟක් සේ සිතාය. පසුව ෂිලා විවාහ කර ගන්නා සිරිමල් බම්බලපිටියේ පදිංචි වේ. ක්‍රමයෙන් ධනවතකු වන ඔහු යළි කොග්ගලට ඇලුම් කරයි.
ගමේ ඉතාම සුන්දර තරුණියකත්, ෂීලාත් සිරිමල් සිතින් සංසන්දනය කළේය. ගැමි තරුණියගේ රූ සපුව ඇසට සහ අතට ද හසුවන්නකි. ෂීලා ගේ රූ සපුව සියුම් සුවඳ පැනින් එන සුවඳ මෙන් ඉඳුරන් ගේ ආධ්‍යාත්මයට හසු වන්නකි.’

(පිටු 126 - 127 කරුවල ගෙදර)
යුගාන්තයේදී අපට මදිරා දෙමාලසිංහ, මංගලිකා සැවුළුගල වැනි බහු පුරුෂ කාන්තාවෝද හමුවේ. එහෙත් චමරි, නීලා වැනි එක් හිමියෙක් පතන තරුණියෝද වෙත්. නාගරික තරුණියට එරෙහිව ගැමි තරුණිය උත්කර්ෂයට නංවන්නක් යුගාන්තයේ නැත. චමරි, ෂීලා වැනි නාගරික ධනවත් තරුණියන් විචාරශීලී, බුද්ධිමත් තරුණියන්ය. ඔවුන් දෙදෙනාම සිය මවුපියන්ට එරෙහිව තමන් සිත් ගත් ගැමි තරුණයන් හා විවාහ වේ.

චමරි හා ෂීලා යනු ගමෙන් නගරයට සංක්‍රමණය වන තරුණයන්ගේ ෆැන්ටසිමය ස්ත්‍රියයි. ඔවුන් බෙහෙවින් රූමත් විය යුතුය. ඊටත් වඩා ධනවත් විය යුතුය. හොඳ සමාජ තත්ත්වයක් තිබිය යුතුය. නාගරික සමාජයේ සිරිත්, විරිත් අතැඹුලක් සේ දත යුතුය. ඒ එසේ වුව පති භක්තිය, දිවි හිමියෙන් රැකිය යුතුය.
මඩවල ඇස්. රත්නායක ගේ ගුණගරුක ගැමි තරුණිය වෙනුවට වික්‍රමසිංහ ගෙන එන ෆැන්ටසිමය නාගරික තරුණිය ඇයයි. දැන් ඔබ හමුවේ විකල්ප දෙකක් ඇත. එක්කෝ ගමට ගොස් ගොවි තරුණයකුව යහපත් සඳවතිය සොයා ගත යුතුය. නැතිනම් මාරාන්තික ඉගෙනුමක නියැළී සුන්දර චමරි හෝ ෂීලාව සොයා ගත යුතුයි.

Tuesday, August 20, 2013

ජේත්තුකාර රස්තියාදුකාරයා


අතීත හින්දි සිනමාවට සිහින කුමාරයා වුණේ දිලිප් කුමාර්. බිමල් රෝයි අධ්‍යක්‍ෂණය කරපු 'දේව්දාස්' චිත්‍රපටයේ දිලිප්, පෙම්වතිය අහිමිව මධුවිතට ඇබ්බැහි වන පෙම්වතාගේ චරිතය අපූරුවට නිරූපණය කරනවා. ඒත් දිලිප්ට වෙනස්ව, හින්දි සිනමාවේදී රස්තියාදුකාරයකු විදියට ඉන්දියාවේ අඳුරු අහුමුලු අතපත ගාපු රාජ් කපූර්ට රස්තියාදුකාරයා කැමතියි. 'දේව්දාස්' නව නිෂ්පාදනයේදී එදා දිලිප් රඟපෑ චරිතයට පණ දෙන්නේ ෂාරුක් ඛාන්.

ෂාරුක් හැඳින්වෙන්නේ බොලිවුඩයේ අංක එක විදියට. ඒත් කෙනකුට හිතන්න යමක් ඉතිරි වන චරිත නිරූපණය අතින් අමීර් ඛාන් ඉන්නේ ගොඩක් ඉදිරියෙන්. ගුලාම්, රාජා හින්දුස්ථානි, ගජිනි, තාරේ සමීන් ප්‍යර්, ලගාන් කියන්නේ අමීර් සාධාරණයක් ඉටුකරපු චිත්‍රපට. ඒත් රස්තියාදුකාරයා මේ පූර්විකාවෙන් අනතුරුව කතා කරන්න යන්නේ '3 ඉඩියට්ස්' චිත්‍රපටය ගැන. රාජ් කුමාර් හිරානි අධ්‍යක්‍ෂණය කරපු '3 ඉඩියට්ස්' 2009 වසරේදී තිරගත වුණේ. හැමදාම වගේ අදත් අපි චිත්‍රපටයේ කතා සාරාංශයෙන් පටන් ගනිමු. අනතුරුව අපි '3 ඉඩියට්ස්'වල අපූර්වත්වය ගවේෂණය කරමු.


මේ චිත්‍රපටයට පසුබිම් වන්නේ ඉන්ජිනේරුවන් බිහිකරන ආයතනයක් වන ඉම්පීරියල් කොලේජ්ය. සාම්ප්‍රදායික ගුරුවරයකු වන විරු සහස්‍රබුද්ධි (බෝමන් ඉරානි)ගේ පටබැඳි නාමය වයිරස්ය. ඔහුගේ ප්‍රියතම ගෝලයා වන චතූර් රාමලිංගම් නැතිනම් සයිලන්සර් කට පාඩම් කිරීමේ ශූරයෙකි. රැන්චෝදාස් චංචල් (අමීර් ඛාන්) යනු දඩබ්බර ශිෂ්‍යයෙකි. ඔහු නිරන්තරයෙන්ම වයිරස්ව කෝප ගන්වන්නේ ප්‍රශ්න ඇසීමෙනි.


හින්දිවලට දුර්වල සයිලන්සර් හින්දියෙන් ලියන ලද කතාවක් පාඩම් කරගන්නේ ගුරු දිනයේදී වයිරස්ගේ හිත දිනාගැනීමටයි. එහෙත් උපායකින් රැන්චෝ, ඒ කතාවේ වචන වෙනස් කරනවා. සයිලන්සර්ව විහිළුවට ලක්වෙනවා. එදින සයිලන්සර් රැන්චෝට වඩා තමා අනාගතයේදී සාර්ථක වන බවට ශපථ කරනවා. රැන්චෝගේ සගයන් දෙදෙනා වන්නේ රාජු (හර්මන් ජෝෂි) සහ ෆර්හාන් (මාධවන්)ය. වයිරස්ට වුවමනා ඔවුන්ව රැන්චෝගෙන් වෙන්කරවන්න. විශ්‍රාමික තැපැල් මහතකු වූ රාජුගේ පියා අංශභාග රෝගියෙක්. අවිවාහක සොයුරියක් සිටින ඔවුන් ඉතා දිළිඳු බැවින් රාජු ඔවුන්ගේ අවසාන බලාපොරොත්තුවයි. උපාධියෙන් තොර පැවැත්මක් නැති රාජු සයිලන්සර්ගේ කාමරයට මාරුවෙනවා.


හදිසියේ හෘදයාබාධයක් වැලඳෙන රාජුගේ පියාව රෝහලට රැගෙන යන්නේ රැන්චෝ සහ ප්‍රියා (කරීනා කපූර්) විසින්. ඒ ප්‍රියාගේ ස්කූටරයේ තබාගෙන. වෛද්‍ය ශිෂ්‍යාවක වන ප්‍රියා වයිරස්ගේ දියණියයි. රාජුගේ පියා සුවය ලබනවා. රාජු යළි රැන්චෝ සමඟ මිතුරු වෙනවා. බීමත්වන රැන්චෝ රාජු සහ ෆර්හාන් සමඟ වයිරස්ගේ නිවෙසට යනවා. ඒ ප්‍රියාට ආදරය ප්‍රකාශ කිරීමට. ඔවුන්ව වයිරස්ට හසුවෙනවා. රාජුව පාසලෙන් නෙරපා නොදැමීමට නම් රැන්චෝව හසුකළ යුතු බව වයිරස් රාජුට පවසනවා. රාජු උඩුමහලින් බිමට පනිනවා. සුවය ලැබ විදුහලට පැමිණෙන රාජුට රැකියාවක් ලැබෙනවා. ෆර්හාන් වනජීවී ඡායාරූප ශිල්පය තෝරාගන්නවා. මහ වැසි සහිත දිනෙක ප්‍රියාගේ සොයුරිය මෝනාගේ දරු ප්‍රසූතිය එළැඹෙනවා. ඇයව රෝහලට ගෙනයෑමේ හැකියාවක් නෑ. රැන්චෝ මැදිහත්ව මෝනාගේ දරු ප්‍රසූතිය සිදුකරනවා. අවුරුදු තිහකින් පසු හමුවූ සුවිශේෂී ශිෂ්‍යා වූ රැන්චෝට වයිරස්ගේ අභ්‍යවකාශ පෑන හිමිවෙනවා.


වසර දහයකට පසු සයිලන්සර් රැන්චෝව සොයා පැමිණෙනවා. ඇමෙරිකානු කම්පැනියක සේවය කරන ඔහුට අවශ්‍ය තමා රැන්චෝට වඩා සාර්ථක බව සනාථ කිරීමටය. රාජු සහ ෆර්හාන් සමඟ රැන්චෝ සොයා යන ගමනේදී රැන්චෝ යනු අනාථ දරුවකු වන චෝටේ බව හෙළිවනවා. අතරමඟදී ඔවුන් ප්‍රියාගේ විවාහ මංගල්‍යයට ඇතුළු වී ප්‍රියාද රැගෙන යනවා. ලඩක්වලදී ඔවුන්ට පාසල් ගුරුවරයකු වන චෝටේව හමුවෙනවා. තම සමාගම වෙනුවෙන් අස්සන් කරන්නට නියමිත කොන්ත්‍රාත්තුවට අදාළ විද්‍යාඥයා වන වන්ග්ලු යනු රැන්චෝ බව සයිලන්සර්ට හෙළි වෙනවා.


වෙරළේ අෑතට දුව යන රාජු, ෆර්හාන්, රැන්චෝ සහ ප්‍රියා පසුපස සයිලන්සර් ලුහුබඳිනවා. ඒ කොන්ත්‍රාත්තුව අස්සන් කර තමාගේ රැකියාව බේරාදෙන ලෙස රැන්චෝගෙන් අයදිමින්.
අනුභූතිකාව '3 ඉඩියට්ස්' කියන්නේ සුන්දර මිනිසකු වූ රැන්චොදාස් චංචල්ගේ කතාව. ඔහුගේ එඩිතරකම, අභියෝගවලට මුහුණ දීමේ හැකියාව, උණුසුම මිත්‍රශීලී බව, තැනට සුදුසු නුවණ චිත්‍රපටය පුරාවට විහිදෙනවා.


ඒ හැරෙන්නට ඉන්දියාවේ පවතින අධ්‍යාපන රටාවට සියුම් පහරක් එල්ල කරන්නට රැන්චෝට යොදා ගැනෙනවා. රැන්චෝගේ මිත්‍ර ෆර්හාන්ට අනුව ෆර්හාන් ඉපදෙන්නේ උදේ 5.15ට. 5.16 වෙද්දී ෆර්හාන්ගේ පියා තීරණය කරනවා ෆර්හාන් ඉන්ජිනේරුවකු විය යුතු බවට. මේ තීරණය තමයි ෆර්හාන්ව ඉම්පීරියල් කොලීජියට යවන්නේ. ඉන්දියාවේ මවුපියන් සලකන්නේ සමාජ තත්ත්වය මිස ළමයාගේ කැමැත්තවත්, හැකියාවත් නෙවෙයි. මොකද ෆර්හාන් කියන්නේ වන සතුන්ගේ ඡායාරූප ගන්නට කැමැති දක්‍ෂ ඡායාරූප ශිල්පියෙක්. රැන්චෝගේ මැදිහත්වීම මත අවසානයේ ඉන්ජිනේරු වෘත්තීය වෙනුවට ෆර්හාන් කැමැති ඡායාරූප ශිල්පයේ යෙදෙන්නට ඔහුට හැකි වෙනවා.


චිත්‍රපටයේ එක් වෙලාවක, ප්‍රියා සිය පියා වන වයිරස්ට චෝදනා කරනවා. ඒ ඇගේ සොහොයුරාගේ මරණය සම්බන්ධයෙන්. ලේඛකයකු වන්නට ආශා කළ ඇගේ සොයුරාට පියාගෙ බලපෑම මත ඉම්පීරියල් කොලීජියට ප්‍රවේශ වන විභාගයට පෙනී සිටින්නට සිදුවනවා. තුන් වරක්ම අසමත් වන ඔහු සිය දිවි හානි කරගන්නවා.
එක් අවස්ථාවක සිය දිවි හානි කරගන්නා සිසුන්ගේ අනුපාතය රැන්චෝ පෙන්වා දෙනවා. ඉන් වයිසර් කෝපයට පත්වෙනවා. සාම්ප්‍රදායික වයිරස්ට අවශ්‍ය වන්නේ කටපාඩම් කරගත් න්‍යායන්ය. සයිලන්සර් ඔහුගේ ජනප්‍රියම ශිෂ්‍යයා වන්නේ ඔහු නිදි වරමින් කටපාඩම් කරන නිසාය. රැන්චෝ පෙනී සිටින්නේ කට පාඩම් කිරීම වෙනුවට අවබෝධයෙන් ගන්නා දැනුම වෙනුවෙනි. ඒ හැරෙන්නට වනපොත් කළ දැනුම වෙනුවට ඔහු සිය දැනුම ප්‍රායෝගිකව භාවිත කරයි. නවක සිසුන් වධයට බඳුන්ව අසරණව සිටියදී ඔහු ජේ‍යෂ්ඨයකුව විදුලිසර වද්දා ඔවුන්ව බියවද්දයි. මෝනාගේ දරු ප්‍රසූතියේදී ඔහු අඳුරු නිවෙස මෝටර් රථ බැටරියෙන් ආලෝකවත් කරයි. භාවිතයෙන් තොර න්‍යාය වෙනුවට රැන්චෝ අවස්ථානුකූලව ක්‍රියාත්මක වන ප්‍රායෝගික බුද්ධියක් ඇත්තෙකි.


වසරකට ලක්‍ෂ හයක් පමණ ඉන්දියානුවන් ඉන්ජිනේරු උපාධිය ලබාගන්නවා. ඉන් පසුව බොහෝ දෙනකු ර්ඕඒ උපාධිය ලබනවා. රැන්චෝ මේ තත්ත්වය උපහාසයට ලක්කරනවා. ඒ මෝඩයකු සේ නිරූපිත ප්‍රියාගේ අනාගත සැමියා සම්බන්ධයෙන්. ඔහු පළමුව ඉන්ජිනේරු උපාධිය ගන්නවා. දෙවනුව ර්ඕඒ සමත්වෙලා බැංකුවක වැඩ කරනවා. බැංකුවක වැඩ කරන්න ඕනෑ නම් මොකට ඉන්ජිනේරු උපාධියක් ගත්තද? ඒ රැන්චෝ විමසන්නයි.


ඉන්දියාවේ සාමාන්‍ය ඉන්ජිනේරුවන්ට වෙනස්ව රැන්චෝට අවශ්‍ය උපාධි සහතිකය නොව ඉගෙන ගැනීමයි. ඔහු ඉම්පීරියල් කොලීජියට එන්නේ අනෙකකුගේ නමිනි. ඒ අනුව රැන්චෝ යනු වෙනකෙකි. උපාධි සහතිකය හිමිවන්නේ කිසිදා ඉන්ජිනේරු විද්‍යාව නූගත්තකුටය. එහෙත් පේටන් බලපත්‍ර හිමි නිර්මාණයන්හි හිමිකරුවා වීමට ඔහුට උපාධි සහතිකය අවශ්‍ය නොවේ. අවසානයේ සයිලන්සර්ට, රැන්චෝ පසුපස දිව යන්නට සිදුවේ. ඒ උපාධි සහතිකය, ප්‍රායෝගික බුද්ධියට යටවීමේ ඉඟියයි.
මේ හැරෙන්නට රැන්චෝදාස් යනු කලාතුරකින් හමුවන වර්ගයේ හොඳ මිනිසෙකි. විභාගය පවා අමතක කර සිය මිතුරු රාජුගේ පියාව රෝහලට ගෙන යයි. රාජු වෙනුවෙන් ප්‍රශ්න පත්‍ර සොරකමකට පවා ඔහු ඉදිරිපත් වේ. මෝනාගේ දරු ප්‍රසූතියටද ඔහු නොබියව මුහුණ දෙයි. මේ ඉන්දියාවේ සැබවින් නොපවතින මිනිසාය. දැන් අපි අනුභූතියෙන් ඔබ්බට ගොස් '3 ඉඩියට්ස්' විමසා බලමු. සෑම චිත්‍රපටයක්ම ප්‍රබන්ධයක් වන විට එම ප්‍රබන්ධයේ හමුවන චරිත ද ප්‍රබන්ධ වීම අහම්බයක් නොවේ. එබැවින් රැන්චෝදාස් චංචල් යනු අවිවාදයෙන්ම ප්‍රබන්ධිත චරිතයකි. වඩා නිවැරැදිව ඔහු අප ආශා කරන ෆැන්ටසියයි. සැබැවින්ම හමු නොවන අප ආශා කරන මිතුරාය. පෙම්වතාය.


ඉන්දියාවට ආසන්න ලංකාවද අධ්‍යාපනය අතින් මෙයට දෙවැනි නොවේ. ලාංකික අපටද රැන්චෝ වැනි යහළුවකු, පෙම්වතකු, විද්‍යාර්ථියකු හමු නොවේ. අධ්‍යාපනය යනු අද ලාංකික වෙළෙඳපොළේ ඉහළින්ම ලංසු තැබෙන භාණ්ඩයයි. මේ බව නගරයේ මෙන්ම නගරාසන්න ටියුෂන් කඩ අසලට ගිය විට පහසුවෙන් වටහාගත හැකිය. මේ අධ්‍යාපන පොරයේ මවුපියන්ද මහා කොටසක් ඉටු කරයි. උසස් පෙළ යනු විශාල ශිෂ්‍ය සංඛ්‍යාවකින් ඉතා අවම ප්‍රමාණයක් සරසවි වරම් ලබන විභාගයකි. එබැවින් එක පාසලේ, එක පන්තියේ, එක ළඟ වාඩි වී සිටින යහළුවන් පවා රහසින් අනෙකා පරයා යෑමේ උත්සාහයක නිරත වේ. සාමාන්‍ය පෙළ ගණිතයට, විද්‍යාවට යන්තම් සම්මාන ලබාගත් දරුවන්ගේ මවුපියන්ටද අවශ්‍ය, එක්කෝ තම දරුවා ඉන්ජිනේරුවකු කිරීමටය. නැත්නම් ‍ෙදාස්තරවරයකු කිරීමටය. මවුපියන්ට දරුවන්ගේ ආශාවන් හෝ හැකියාවන් සම්බන්ධව වගේ වගක් නැත. දක්‍ෂ සිත්තරකු වන ලකුණු පෙන්වන නැතිනම් ගායනයේ, වාදනයේ හුරුබුහුටි දරුවාට වුව අවසානයේ සිදුවන්නේ එක්කෝ ගෙම්බෙකු, මීයකු විච්ඡේදනය කරන්නටය. එක්කෝ ඛණ්ඩාංක ජ්‍යාමිතිය, නැතිනම් කාබනික රසායනය තුළ නන්නත්තාර වන්නටය. ආශා නැති හැකියාවක් නැති විෂයයන් අභියස සියදිවි තොර කරගන්නටය. මෙතැනදී අවාසනාවට කාරණාව වන්නේ සරසවි පිවිසෙන බහුතරය සැබැවින්ම ඒ අදාළ අංශයට කැමැත්තක් නැති උන් වීමය. ඒ බොහෝ දෙනා වසර හතරක පහක කාලයක් සරසවිය තුළ ගෙවා දමන්නේ බොහෝවිට රැකියාවේ සුරක්‍ෂිතභාවය පිළිබඳ සිතමිනි. වෛද්‍ය විද්‍යාලයේ පළමු වසරේ බහුතරයක් විශාදයෙන් පෙළෙන බව නොරහසකි.

මේ තමා ආශා කරන්නත්, අනිවාර්යයෙන්ම කරන්නට සිදුවන්නත් අතර ඇති දුරස්ථ භාවයේ ඵලයකි. ඉන්ජිනේරු පීඨයක පවා එක් වසරක පිවිසෙන කණ්ඩායමකින් කිහිපදෙනකු පාඨමාලාව හැර යන්නේත්, පාඨමාලාව අතරතුර මෙන්ම උපාධිය ලැබූ පසුත් උමතු වන්නේත් මේ බලාත්කාරය දරාගත නොහැකි බැවිනි. මවුපියන්ගේ ඉටු නොවුණු ආශා ඉටුකිරීමට බිලි වන්නේ මේ අසරණ වූ දරුවන්ය. උපාධි ලැබ ඉන්ජිනේරුවන්, වෛද්‍යවරුන් වශයෙන් වසරකට සමාජයට එන්නන්ගෙන් කී දෙනකු ඒ සඳහා සුදුසුද? සුපර් ස්ටාර් වෛද්‍යවරු මෙන්ම ස්ත්‍රී දූෂක වෛද්‍යවරුද නොගැළපෙන වෘත්තියකින් ඇතිවන ආතතියක පලයක්මය. '3 ඉඩියට්ස්'හි චතුර් රාමලිංගම් ලෙස උදේ සිට රෑ වන තුරු නිර්දේශිත පොත්පත් මුල සිට අගටත්, අග සිට මුලටත් වනපොත් කර උපාධි ලැබූවන්ට මඟහැරෙන්නේ සමාජ ජීවිතයයි. සංස්කෘතික ජීවිතයක් ගැන මෙලෝ අල බෝලයක් නොදන්නා මොවුන්ට ප්‍රේමය, ආදරය යනු ස්ත්‍රී දූෂණයක් වීම එතරම් පුදුමය දනවන්නක් නොවේ.


පත පොතෙහි ඇලී ගැලී ලද උපාධියෙන් ඉන්ජිනේරු වෘත්තියට පිවිසුණුවුනට ප්‍රායෝගික ක්‍ෂේත්‍රය නොතේරෙන්නකි. වනපොත් කිරීම හැර මිනිස් ඇසුර නැති මොවුන්ට තම සහෝදර සේවකයන් පෙනෙන්නේ සතුරන් ලෙසය. තමා විනාශ කරන්නට මාන බලන වුන් ලෙසටය. ඔවුන්ට මිත්‍රත්වය, අනෙකා ඉවසීම, සහයෝගිතාව වැනි ගුණාංග නැත. තමාට 'සර්' නොකියන, කේලාම් නොකියන සගයන්ට ඔවුන් වළ කපන්නේ එහෙයිනි. මෙබඳු වෘත්තිකයන් සිටින ආයතනවල බලතල ඇත්තේ එක්කෝ ඇහැට කනට පෙනෙන ලිපිකාරිනියකටය. ඇය කා කා ස වුවද විය හැකිය. නැතිනම් අදාළ නිලධාරියාගේ රියැදුරු තැනටය. මේ ලංකාවේ අධ්‍යාපනය, වර්තමානයේ මිනිස් සුබ සිද්ධියට ඉවහල් වන ආකාරයයි.


ලංකාවේ පවතින බලු පොරයක් බඳු අධ්‍යාපන රටාව අප ගෙන යන්නේ අනෙකා අවිශ්වාස කිරීමටය. ඔවුන් සතුරන් සේ දැකීමටය. එබැවින් අප ආශා කරන උණුසුම් මිත්‍රත්ව, ළෙන්ගතුකම් යනු හුදෙක් සිහිනයක් පමණි. මෙවැනි මොහොතක, අප හමුවට එන 'රැන්චෝදාස් චංචල්' අප මහත් ආදරයෙන් වැලඳගන්නේ එබැවිනි. අප වෙන්නට ආශා කරන එහෙත් එසේ වන්නට බැරි මිතුරා ඔහුය. රැන්චෝට අනන්‍ය වීමෙන් අප ළඟ නොමැති, අපට ලබාගත නොහැකි මනුෂ්‍යත්වය භුක්ති විඳිය හැකිය.


සමාජ තත්ත්වය මෙන්ම සුරක්‍ෂිත රැකියාවක සිහිනයේ පැටලුණු අති සාමාන්‍ය ඉන්දියානුවකු උපාධි සහතිකය අතහැර නොදමයි. ඒ වෙනුවෙන් ආත්මාර්ථකාමියකු වන්නට නොපැකිළේ. රැන්චෝදාස් අනාථ දරුවකු වන්නේ එබැවිනි. ඔහුට වියපැහැදම් කරන්නේ වෙනකකුගේ නමින් උපාධි සහතිකය ලබාගැනීමටය. පැකිළීමකින් තොරව, ගුරුවරුන්ට පවා අභියෝග කරන්නට සමත් රැන්චෝදාස් කෙනකු බිහි වන්නේ එසේයි. ඔහුට ලබාගන්නට දෙයක්වත්, අත්හරින්නට දෙයක්වත් නැත.


අද දවසේ වෘත්තිකයන් වඩ වඩා කුහක වත් පුරන්නේ, මනුෂ්‍යත්වය පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් ගණන් නොගන්නේ ඔවුන් වඩ වඩා ධනය, බලය හා තනතුරු ලුහුබැඳ යන බැවින්ද? බෙදාගැනීම වෙනුවට බදා ගැනීම ඔවුන්ගේ එකම දහම නිසාද? සංස්කෘතික ජීවිතය යනු හැමවිටම ඔවුනට මඟහැරෙන ප්‍රපංචයක් නිසාද?
උපාධි සහතිකය නොමැති රැන්චෝ යනු කිසිවක් අහිමි වූවකු නොවේ. සියල්ල ලැබුණෙකි. මිත්‍රත්වයෙන් මෙන්ම ආදරයෙන් ආශීර්වාද ලද්දෙකි. එහෙත් අපේ වෘත්තිකයකුට සිය උපාධි සහතිකය යම් හෙයකින් අහිමි වුවහොත් ඉනික්බිති ඔහු යනු නොපවතින්නකි.

Sunday, August 11, 2013

ජේත්තුකාර රස්තියාදුව

රස්තියාදුකාරයා  මීට ඉහත කොලමක ‘මැක්සිම් ගෝර්කි’ගේ ‘මකාර් චුද්‍ර’ කෙටි කතාව පිළිබඳ කතා කෙරුවා. එතැනදි රස්තියාදුකාරයා විමසුමට ලක් කළේ ගැහැනියකගේ නිදහස නිසා සදහටම අහිමි වන පිරිමියාගේ නිදහස පිළිබඳව. රුසියාවේ අස්සක් මුල්ලක් නෑර කරක් ගහපු  ගෝර්කි සුන්දර රස්තියාදුකාරයෙක්. රුසියාවේ පාදඩයෝ, ගණිකාවො, හොරු, කොල්ලකාරයෝ වගේ පාදඩ පීඩිත පන්තිය ගෝර්කිට ආගන්තුක වුණේ නෑ. ඊට වෙනස්ව  වෘත්තියෙන් වෛද්‍යවරයකු වුණු ‘ඇන්ටන් චෙකොෆ්’ එයාගේ කෙටිකතාවලට වස්තු බීජ කර ගත්තේ  රුසියාවේ මධ්‍යම පාන්තික ජන ජීවිතය.

චෙකොෆ්ගේ නමත් එක්ක රස්තියාදුකාරයාට එකපාර මතක් වෙන්නේ ඔහුගේ ‘බල්ලා කැටුව ඇවිදින කාන්තාව, නම් කෙටි කතාව. මේ කෙටිකතා රස්තියාදුකාරයා මුලින්ම දැක්කේ 1963 අවුරුද්දේ පළවුණු පද්ම හර්ෂ කුරණගේ සම්පාදනය කරපු  ‘රුසියානු කෙටිකතා’ නම් ග්‍රන්ථයේ. ඒත් චෙකොෆ් ‘බල්ලා කැටුව ඇවිදින කාන්තාව‘ රචනා කළේ 1899දී.

රස්තියාදුකාරයා තමන්ගේ නන්නත්තාර ජීවිතයේදී වැඩිම වාර ගණනක් කියවපු කෙටිකතාව විදියට ‘බල්ලා කැටුව ඇවිදින කාන්තාව‘ සඳහන් කරන්න පුළුවන්. ඒ කතාව කියවන හැම වාරෙම තමන්ට අහු නොවුණු තවත් යමක් තියෙනවා කියලා රස්තියාදුකාරයාට හිතෙනවා.  ඒ කියන්නේ යමක් මඟහැරුණා වගේ හැඟීමක්. ගොඩක් වෙලාවට ඒ හැඟීම වෙන්න ඇති නැවැත නැවැත ඒ කතාව කියවන්න රස්තියාදුකාරයාව පොලඹවන්නේ. ඇත්තටම ඒ කතාවෙ එහෙම මඟහැරෙන යමක් තියෙනවද? කොහොම නමුත්, ඒ මඟහැරුණු දේ වටහා ගන්නට පෙරාතුව අපි මේ කෙටිකතාව සාරාංශ ගත කරමු.

මොස්කව් හි වෙසෙන මධ්‍යම පාන්තිකයකු වන ගුරොෆ් තිදරු පියෙක්. වාග් විද්‍යා උපාධිධාරියකු වන ඔහු  බැංකුවක  විධායක ශේ්‍රණියේ නිලධාරියෙක්. විසි වැනි වියේ පසුවන  ආන්නා විවාහක කාන්තාවක්. ඇයට හතළිස් හැවිරිදි ගුරොෆ් හමුවන්නේ යාල්ටාවේදී. එහිදී ඔවුන් එකිනෙකාට පෙම්  කරන්න පටන් ගන්නවා. එහෙත් එක් දවසක ඔවුන් වෙන් වන්නේ යළි හමු නොවන අදිටනින්. ඔවුන් තම තමන්ගේ නිවෙස් බලා යනවා. ටිකෙන් ටික ගුරොෆ් සාමාන්‍ය මධ්‍යම පාන්තික මොස්කව් ජීවිතයට හැඩ ගැසෙනවා. එහෙත් ආන්නාගේ මතකය  අමතක කිරීමට අපොහොසත් වන ගුරොෆ් ආන්නා සොයා අෑ වෙසෙන  නගරයට යනවා. අනතුරුව ආන්නා මසකට වරක් ගුරොෆ් සොයා  මොස්කව් ඒමට පටන් ගන්නවා. අවසානයක් නැති අවසානයකින් කෙටිකතාව අවසන් වෙනවා.

ඇත්ත. මේ වගේ සම්බන්ධතා ලංකාවේදීත් ඕනෑ තරම් අහන්න ලැබෙනවා තමයි. විශ්ව සාහිත්‍යයේ රස්තියාදු ගහද්දි, එහෙම අසම්මත සම්බන්ධතා නැති පාරිශුද්ධ විවාහ ජීවිත ගතකරන මිනිස්සු ඉන්න රටවල් ලොවෙත් නැති බව පැහැදිලි වෙනවා. ඒත් එච්චර සුලබ කතා තේමාවක් වන ‘බල්ලා කැටුව ඇවිදින කාන්තාව’ කතාවට ඇයි කෙනෙක් මෙච්චර  ආකර්ෂණය වෙන්නේ? ගුරොෆ්ගේ එදා වයසේ දැන් ඉන්න පිරිමි නම් ආන්නාගේ ළාබාල  තාරුණ්‍යයට ආකර්ෂණය වෙන්න ඇති. ගුරොෆ්ට අනන්‍ය වෙලා සුන්දර ආන්නා එක්ක පරිකල්පනයේදී සමහන් සුව විඳිනවා වෙන්න පුළුවන්. මෙතැනදීත් ප්‍රශ්නයක් මතු වෙනවා. මැදිවියේ පිරිමියා සහ ළාබාල තරුණිය ඇයි අපව මෙතරම් කැලඹීමකට පත් කරන්නේ?

අපි මේ කතාව පොඩ්ඩක් දිගහැරලා බලමු. මෙතැනදී ප්‍රධාන වශයෙන් චරිත හතරක් ගැන අපට කතා කරන්න සිදු වෙනවා. ඒ ගුරොෆ්, ආන්නා, ගුරොෆ්ගේ බිරිය සහ ආන්නාගේ සැමියායි.
මේ කතාවේ ගුරොෆ් ගැන සඳහන් වන්නේ මේ ආකාරයට “ඔහුගේ පෙනුමෙහි ද, චර්තයෙහිද, මුළු පැවැත්මෙහිද  ගැහැනුන් ඇදගන්නාසුලු, වශීකරනසුලු කිසිවක් ගැබ්ව තිබේ. ඔහු මෙය දැන සිටියේය. කිසියම් ගුප්ත බලයකින් මෙන් ඔහුද ගැහැනුන් වෙත ඇදී යයි.”
(156 පිටුව රුසියානු කෙටිකතා පද්ම හර්ෂ කරණගේ ඔබගේ පහසුව සඳහා මේ සටහනෙහි එන සියලු උපුටන පද්ම හර්ෂ කරණගේ සම්පාදනය කරන ලද රුසියානු කෙටිකතා සංග්‍රහයේ එන ‘බල්ලා කැටුව යන කාන්තාව’ කෙටිකතාවෙන් ගත් බව සලකන්න.)
ආන්නා විසිවියේ පසුවන රූමත්, දයාබර කාන්තාවක් ලෙස කතාවේ හැඳින්වේ. නොපැසුණු යොවුන් වියත්,  ලැජ්ජාශීලී බවත් ඇගෙන් විද්‍යමාන වේ.
ගුරොෆ්ගේ බිරිය ඔහුගේ වයසට වඩා එකහමාරක් වයස් ගත පෙණුමකින් යුක්තය, ඇය තමා බුද්ධිමත් ගැහැනියක ලෙස තමාවම හඳුන්වා ගන්නියකි. ගුරොෆ්ට අනුව ඇය මෝඩ, පටු කල්පනාවෙන් යුත් අවිනීත ගැහැනියකි.

ආන්නාගේ සැමියා  ගැන කෙටිකතාවේ මෙසේ සඳහන් වේ.
“ඇත්ත වශයෙන් ඔහුගේ උස සිරුරත්, දෙකම්මුලේ රැවුලත්, හිස මුදුනෙහි තරමක පෑදුණු තට්ටයත් දාසයකු සිහි කරවයි. ඔහුගේ කබායෙහි පැලඳි කිසියම් විද්‍යායතනයකින් ලැබුණු ලාංඡනය හරියටම දාසයකුගේ නොම්බරයක් වැන්න”
(පිටුව - 173)
මේ කතාවේ ගුරොෆ්ගේ බිරිය හා ආන්නාගේ සැමියා හඳුන්වා දෙන්නේ ප්‍රියමනාප බවකින් තොර ආදරය යන විෂයෙහි ආගන්තුක වූවන් ලෙසය. එබැවින් ගැහැනුන්ගේ සිත ඇදගන්නාසසුලු ගුරොෆ් හා නොපැසුණු යෞවනයෙන් යුත් රූමත් ආන්නාගේ ප්‍රේම සම්බන්ධය සිදුවිය යුත්තක් ලෙස අපට ගම්‍ය වේ.
අනෙක් අතට මොස්කව් නගරයේ මධ්‍යම පාන්තික  ජීවිතය චෙකොෆ් උපහාසයට ලක් කරයි. ඒකාකාරී කුසීත ජීවිතයක් ගත කරන මේ මොස්කව් වැසියන් ගුරොෆ්ට ගෙන එන්නේ කොඳු ඇට සීතල කරන අපහසුවකි. මේ නීච මධ්‍යම පන්තියෙන් පලා යන්නට ගුරොෆ්ට උපකාරි වන්නේ ආන්නා කෙරෙහි බැඳුණු ප්‍රේමයයි.
කෙනෙක් තම අවිනීත බිරියගෙන් ගැලවීම, ඒකාකාර කුසීත දිවියකින් අෑත් වීම සාධාරණයි. ඒ සඳහා සුන්දර තරුණියක හා පෙමින් බැඳීමේ වරදක් කිව නොහැකිය.

චෙකොෆ් අපගේ මනස ගුරොෆ් හා ආන්නාගේ අසම්මත ප්‍රේමය හා එකඟ වන්නට පොලඹවන්නේ එසේයි.
මෙතැනදී ගුරොෆ් ගතකරන ජීවිතය අපට දෙවිධියකට හඳුනා ගන්න පුළුවන්. මොස්කව්හි මධ්‍යම පාන්තිකයකු වශයෙන් ගතකරන සමාජ ජීවිතය හා හැමෝටම හොර රහසේ ආන්නා හා ගතකරන ජීවිතය වශයෙන්. එහෙත් මොස්කව්හි සිය පවුල් ජීවිතය හා සමාජ ජීවිතය ඔහු මතුපිටින් ගත කරන්නක්. එය ආශාවෙන් තොර ඔහුට ගතකිරීමට සමාජ වටපිටාව  තීන්දු කළ ජීවිතය. ඊට වෙනස්ව ආන්නාගේ ඇසුර  ඔහු ආශා කරන ඔහුගේ සත්‍ය ජීවිතය. මෙතැනදී කෙනකුට ගුරොෆ් දෙබිඩි ජීවිතයක් ගත කරන්නකු ලෙස හැඳින්වීම පහසුයි. ඒත් මේ දෙබිඩි ජීවිතය මොස්කව්හි ගුරොෆ්ට පමණක් ආවේණික  ජීවිතයක් නෙවෙයි. හැම විටම පාහේ  රුසියානුවකුට පමණක් නොව ලාංකිකයකුට පවා පොදු වන්නක්. කෙනකුට ගත කරන්න සිදුවන ජීවිතය හා  ඔහු ගත කරන්නට කැමැති ජීවිතය අතර හැම විටම පරතරයක් පවතිනවා. නැතිනම් කෙනෙක් හොර රහසේ තමා කැමැති ජීවිතය පවත්වාගෙන යනවා. දහවල හොඳ සැමියකු වගකීම් බර විධායක ශේ‍ර්ණියේ නිලධාරියකු ඇඳිරියත් සමඟ රාත්‍රි සමාජ ශාලා කරා නැතිනම් කැරොකේ ශාලා කරා ඇදෙන්නේ මේ ආශා කරන ජීවිතය සොයා ගෙනය.
 ගුරොෆ්, ආන්නා හමුවීමට පෙරද කාන්තා ඇසුර ප්‍රිය කළ අයෙකි. ඔහුට අතීතයේ හමු වූ ගැහැනුන් ගැන වරෙක සිහිපත් වෙයි. එහිදී ගැහැනු තෙවර්ගයක් හමුවේ.
සැහැල්ලු සිත් ඇති කරුණාවන්ත ගැහැනු, ඔහු ඔවුනට ලබා දුන් සැපත කෙටි වුවද ඔවුන් ඔහුට ස්තුතිපූර්වක විය.

ස්ත්‍රී, පුරුෂ සම්බන්ධ උපදින්නේ ප්‍රේමයෙන්  හෝ කාමරාගයෙන් හෝ නොව ඊට වඩා උසස් දෙයකින් යැයි ඉමක් කොනක් නැතිව උජාරු ලෙස ‍ෙදාඩවන, අවංකකමින් තොරව ප්‍රේම කරන ඔහුගේ බිරිය වැනි ගැහැනු.
ජීවිතයෙන් ලැබෙන දෙයට වඩා යමක් උදුරා ලබා ගැනීමට  මුරණ්ඩු ආශාවකින් යුතු භයානක බැල්මක් ආරුඪ වූ නෙන් ඇති, පැහැපත් උදාසීන ගැහැනු. ඔවුහු නව යොවුන් විය පසු කළ චපල, තැන්පත් නැති හිතුමතයේ ක්‍රියා කරන මෝඩ අය වූහ.

(පිටුව 161)
එහෙත් ගුරොෆ්ට අනුව ආන්නා පෙර කී ගැහැනුන්ගෙන් වෙනස්ය.
“එහෙත් මැය කෙරෙහි නොපැසුණු යොවුන් වියේ ලැජ්ජා, බියත් කුලෑටි ගතියත් දක්නට තිබිණි. හදිසියේ කිසිවකු ‍ෙදාරට තට්ටු කළ විට ඇති වන්නාක් වැනි චිත්තාකූල ස්වභාවයක් ඇගේ හැසිරීමෙහි පිළිබිඹු වී ඇත.”
(පිටුව 161)
ගුරොෆ් තමා ආන්නාට ආදරය කරන්නේ ඇයි යන්නට සුපැහැදිලි හේතුවක් නැත. ඒ වෙනුවට ඔහුට පැවැසිය හැක්කේ නැතිනම් සිහිපත් වන්නේ ඔවුන් එක්ව ගත කළ කාලයේ ඇගෙන් විද්‍යමාන වූ භාව භාව ලීලාය. මෙහිදී ඔහුට ආන්නා හුස්ම හෙළන හඬ, ඔහු වෙත හෙළන බැල්ම මෙන්ම ඇගේ ඇඳුමේ ‘සර සර’ හඬද මඟ නොහැරෙයි.

 පිරිමියකු කාන්තාවක් හා ආදරයෙන් බැඳෙන්නේ ඇයි යන්නට පැහැදිලි නිවැරැදි පිළිතුරක් ලබාදිය නොහැකිය. ඒ ඇගේ පෙනුමේ ඇති සුවිශේෂයක් නිසා හෝ ඇගේ සුවිශේෂ චර්යා රටාවක් හෝ නිසා නොවේ. එය එම පිරිමියාද නොදන්නා ඔහුගේ යටි හිතෙහි  කාවැදුණු යම් හේතුවක් නිසාය. එම හේතුව  මේ යැයි ඔහුම අර්ථ දැක්වුවද ඒ නිවැරැදි නොවේ. පාඨකයන් මේ කෙටිකතාවට ආශක්ත වන්නේද එය යළි යළි කියවීමට පොලඹවන්නේද ගුරොෆ් සහ අපද නොදන්නා ආනාගේ මේ සුවිශේෂයයි. ගැහැනු සොඬෙකු ආන්නා හා ආදරයෙන් බැඳීමට ඇය තුළ ඇති සුවිශේෂය කුමක්ද  යන්නයි. ගුරොෆ්ට  මෙන්ම අපටද මේ ආන්නාගේ සුවිශේෂය හමු නොවේ. එබැවින් ඒ සොයා අප යළි යළි යොමුවන්නේ ‘බල්ලා කැටුව ඇවිදින කාන්තාව’ වෙතයි.
යම් හෙයකින් ගුරොෆ්ගේ බිරිය තම සැමියා හා ආන්නාගේ ඇසුර දැන ගත්තේ නම් ඇයද විමසනුයේ තම සැමියාගේ ආදරය දිනා ගැන්මට තරම් ආන්නා තුළ ඇති තමා තුළ නැති සුවිශේෂය කුමක්ද යන්නයි.

කෙනෙක් විවාහයෙන් පිටත කාන්තා ඇසුර  ලබයි. එයට හේතුව ලෙස ඔහු හුවා දක්වන්නේ සිය බිරිය අවිනීත මෝඩ ගැහැනියක බවයි. ඒ ඔහු සිය ස්ත්‍රී ඇසුර තමාටම  සාධාරණය කර ගන්නා ආකාරයයි. මෙතැනදී නම් ගුරොෆ්ට මෙබඳු තාවකාලික ස්ත්‍රී සමාගම් ගණනාවකට  පසු ආන්නා හමුවේ. තමාට සැබැවින්ම ඇය අත්හැරිය  නොහැකි බව ඔහුට වැටහේ. යොවුන් වියේ පසුවුවද රූමත් ආන්නා යනුද විවාහක ළඳකි. ඇයටද කියන්නට ඇත්තේ තම සැමියාගේ ඇති අඩුලුහුඬුකම්ය.
සත්‍ය නම්, ගුරොෆ්ගේ බිරිය අවිනීත වන්නේත්, ආන්නාගේ සැමියා නිවටයකු සේ වන්නේත් යළි ඔවුන්ගේ ඇසුර සාධාරණීකරණය කිරීමටය. ඒ හේතුවක් පැවැසිය නොහැකි  ව්‍යාකූල ගුරොෆ් හා ආන්නාගේ ඇසුරට හේතූන් සොයා අසමත් වීමෙන් ඇති වන අසහනයෙන් ගැලවෙන්නටය.
ඇත්තටම විවාහක පිරිමියකු වෙනත් කාන්තාවක හා බැඳෙන්නේ ඇය තම බිරියට වඩා රූමත් නිසාද? එමෙන්ම  විවාහ කාන්තාවක සිය සැමියා අතැර වෙනත් පිරිමියකු  හා බැඳෙන්නේ ඔහු තම සැමියාට වඩා කඩවසම් නිසාද? මේ ප්‍රශ්න දෙකටම පිළිතුර වන්නේ ‘එසේ නොවේ’ යන්නයි.  කැත ගැහැනුන් හා පලා ගිය කඩවසම් පිරිමින් ගැන මෙන්ම මෙලෝ කඩවසමක් නැති පිරිමින් හා බැඳුණු රුවැති ළඳුන් ගැනද අසා ඇත. ජීවිතයේදී එබඳු යුවළවල් කොතකුත් හමු වී ඇත. ඒ එසේ වූයේ ඇයි යන්නට ඔවුනට ද ස්ථිරසාර පිළිතුරක් නැත.

කෙනෙක් ආශා කරන වස්තුව මිස, එසේ ආශා කරන්නට හේතු වන්න සැම විටම අපට ආගන්තුකය. හේතුව යන්නට ලැබෙන පිළිතුර අසහනයෙන් ගල්වන්නක් මිස නිවැරැදි හේතුව නොවේ. එසේ නිවැරැදි යැයි පවසන්නට පිළිතුරක්ද සබුද්ධික තලයේ නැත.
විශ්ව සාහිත්‍යය වෙත නැඹුරු වූ කල, අසම්මත ප්‍රේමයෙන් අපට හමුවන්නේ ටෝල්ස්ටෝයිගේ ඇනා කැරනිනා හිදීය. ෆ්ලෝපයාගේ ‘එමා බෝවාරි’හිදීය. ‘ඇනා කැරනිනා’ හි ආනා තරුණ රොන්ස්කිට පෙම් කරයි. ඇගේ සැමියා ඇයට පිළිකුල් සහගතය.
‘එමා බෝවාරි’ හිදී එමාගේ සැමියා උදාසීන මිනිසෙකි. ඇය උණුසුම් ප්‍රේම සබඳතාවක් පතයි.

ලෝරන්ස්ගේ ‘චැටර්ලි ආර්යාව‘ පෙමින් බැඳෙන්නේ උයන් පල්ලකු වූ මෙලෝර්ස් සමඟය. ඇගේ සැමියා යුද්ධයෙන් පසු ආබාධිත වූ අයෙකි.
විවාහයෙන් පිටත පෙම් සබඳතාවක බැඳුණු ගැහැනියකගේ සැමියා, මේ ආකාරයට බොහෝ විට උදාසීන නැතිනම් උද්ධච්ච මිනිසෙකි. එසේත් නොමැති නම් අවිවේකී, කාර්යබහුල අයෙකි. බොහෝ විට ඒ විවාහයන්ගේ පදනම ආදර සම්බන්ධතා නොවේ. නැතිනම් නව යොවුන් තරුණිය නොදැනුවත්ව වූ විවාහයකි. තම මුහුකුරා නොගිය අත්දැකීම් නිසා වූවකි. මවුපියන්ගේ කැමැත්තට පිටුපෑමට නොහැකි වූ නිසා වූවෙකි.
එකී නොකී මේ සියලු හේතූන්ගෙන් අප මඟහැර යන්නේ ගැහැනියකගේ ආශාව යන කලාපයයි. ගැහැනියගේ ආශාව යන්න පිරිමියාට හැමවිටම ප්‍රහේලිකාවක් යන්නයි.

විජය ධර්ම ශ්‍රී  අධ්‍යක්ෂණය කළ ‘දුහුළු මලක්’හි  නිලුපා (නීටා ප්‍රනාන්දු) විවාහක එක්දරු මවකි. ඇගේ සැමියා සුරවීර (ටෝනි රණසිංහ) කථිකාචාර්යවරයෙකි. ඔහු කාර්යබහුල, තැන්පත් මිනිසෙකි. නිලුපා කෙළිලොල් තරුණයකු වන රොහාන් (රවීන්ද්‍ර රන්දෙණිය) සමඟ ඇසුරක් ගෙන යයි.  මේ බව දැන ගන්නා සුරවීර අවුලට පත්වේ. ඒත් අවසානයේ නිලුපා රොහාන්ගෙන් සමු ගනී. අවුලට පත්වන රොහාන්  සිය පාවහන් මුහුදට විසිකර අෑතට ඇවිද යයි. නිලුපාගේ ආශාව පිරිමින් දෙදෙනකුම නන්නත්තාර කරන්නේ එසේයි.
ගැහැනියගේ ආශාව ලුහුබැඳ යෑම යනු මිරිවැඩි සඟල නොව ඇඳිවත පවා අහිමි වන්නට හේතුවන බව රස්තියාදුකාරයාගේ අදහසයි.

Sunday, August 4, 2013

ජේත්තුකාර රස්තියාදුව

පෝය දවසේ උදේ වරුවේ රස්තියාදුකාරයාට ගෙවුණේ අල්ලපු ගමේ ඉළව් ගෙදරක. නයෙකු දෂ්ට කිරීමෙන් මරණයට පත්වෙලා තිබුණේ රස්තියාදුකාරයාගේ සමකාලීනයෙක්. පසුගිය වසර දෙක, තුනේදී මේ විදියට නයින්, පොළඟුන් දෂ්ට කිරීමෙන් ගමේ කිහිපදෙනකු මිය ගියා. ඒත් මේ ගම නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයට යාන්තම් කිලෝමීටරයක විතර දුරින් තියෙන්නේ. ඒ නිට්ටඹුව නගරයේ ඉඳන්. රස්තියාදුකාරයාගේ ගැටවර වියේදී ඒ කියන්නේ මීට අවුරුදු විස්සකට විතර ඉහතදි නම් ගම කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගමක්. එදා ගමට විදුලි බලය තිබුණේ නෑ. අදටත් ජල නළ පහසුකම් නම් නෑ.

වී ගොවිතැන තමයි ගම්මුන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වුණේ. එදා ගමේ යන්තමට ලංගම බස් රථයක් ගමන් කරන අබලන් මාර්ගයක් තිබුණා. තවමත් එක බස් රථයම දිව්වට පාර නම් කාපට් කරලා. ඒකටත් එක්ක ත්‍රිරෝද රථ, මෝටර් සයිකල් නම් පාරේ අඩුවක් නෑ. එදා ගමේ වැඩි වශයෙන් තිබුණේ පොල් අතු හෙවිල්ලපු, වරිච්චි බිත්තියෙන් කුඩා නිවාස. අද වෙද්දි ඒ හැම ගෙයක්ම ගඩොලින් බැඳපු, උළු හෙවිල්ලපු ගෙවල් බවට පරිවර්තනය වෙලා. ඒ හැම ගෙදරම විදුලි බලයෙන් රූපවාහිනි, කැසට් යන්ත්‍ර ක්‍රියාත්මක වෙනවා.

රස්තියාදුකාරයා ගැටයා සන්ධියේදී ගමේ එහෙමකට විදුලි පන්දම් භාවිතයක් තිබුණේ නෑ. ගැහැනු උදවිය, මහලු උදවිය නම් රෑ පානේ ගමේ, ගොඩේ ඇවිද්දේ හුළු අත්තක් ආධාරයෙන්. රස්තියාදුකාරයාට නම් විදුලි පන්දමවත්, හුළු අත්තවත් ඕනෑ වුණේ නෑ. රෑ පානේ ඇස් පියාගෙන යන්න පුළුවන් තරමට ගමේ අඩිපාරවල් කට පාඩම්. අදට සාපේක්ෂව එදා වල් බිහි වුණු ඉඩම් ගමේ තැනින් තැත තිබුණා. කනත්තේ මිනී වළක් කපද්දි නම් අනිවාර්යයෙන් නයෙක්, පොළඟෙක් නැත්නම් කුණකටුවෙක්වත් හම්බ වෙනවා. ගොයම් කපන කාලෙට කුඹුරේදිත් සර්පයෝ නම් වරදින්නේ නෑ. සාමාන්‍යයෙන් කුණකටුවෙක්, ගරුඬෙක්, ගෝනුස්සෙක් දෂ්ට නොකරපු කෙනෙක් ගමේ බේතකටවත් හොයා ගන්න බෑ. ගමේ සර්ප වෙද මහත්තයා එක මැල්ලුමෙන් මේ සරුපයන්ගේ විෂ බස්සනවා. එදා ගමේ ගෙවල් තිබුණේ අෑතින් අෑත. සාමාන්‍යයෙන් කෙනකුට අඩුම තරමේ අක්කරයක් විතරවත් ඉඩමක් අයිතිව තිබුණා. වී ගොවිතැන අතරතුර ලැබෙන විවේකයේදී මේ ඉඩම් මයියොක්කා, බතල, බණ්ඩක්කා, මෑ, වගේ බෝගවලින් සරසන්න එදා ගම්මු මැළි වුණේ නෑ.

ඒ කාලෙත් නයි, පොළොංඟු මිනිස්සුන්ට දෂ්ට කළා. ඒත් කලාතුරකින් කෙනෙක් මියගියේ. සර්ප විෂ නසන්නට සමත් වෙද මහත්තුරු එදා හිටියා. කාලයක් අත්තනගලු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකුව සිටි පොලිස් සේවයෙන් විශ්‍රාම ගත්තු තිහාරියේ සර්ප වෙද මහත්තයා ජිවකයකු වගේ. පොළොං විෂට මුළු ශරීරයම නිල් වෙලා, ඉදිමිලා සිහිසන් නැතිව ගිය කිහිප දෙනකු මේ වෙද මහත්තයා ගොඩ දැම්මා. ඒත් එතැනදි මුදල කියන සාධකය ඉස්මතු වුණේ නෑ. පාරම්පරික සිංහල වෙදකම පිහිටන්නේ බොහොම ධාර්මික වෙද මහත්වරුන්ට කියලා රස්තියාදුකාරයා අහලා තියෙනවා. අද දවසේ ලෙඩා දකිද්දි මුදල තීරණය කරන වෙද මහත්තුරු සිංහල වෙදකමේ හාස්කම් නැති කරලා දානවා. අදට වඩා සර්පයන් බහුල එදා නමුත්, සර්ප විෂෙන් මියයන සංඛ්‍යාව අදට වඩා එදා අඩුයි. 'විෂ ඝෝර සර්පයා අත නෑරි මෝඩයා' කිවුවට එදා සර්පයන්ව මරා දමන්න ගම් වැසියන් පැකිළුණා.

විශේෂයෙන් නාගයෙක් නම් මරන්නෙම නැති තරම්.
"අනේ නයි හාමි යන්න. මෙතැන නොදරුවො ඉන්නවා." ඒ විදියට ගම්මු නයාට ආයාචනා කරනවා. නයා ඒ වචන සලකලා හිමිහිට පල්ලම් බහිනවා. බොහෝ වේලාවට මියගිය
සමීපතම යන් නාගයන්ව ඉපදිලා තමන්ව ආරක්ෂා කරන බව පැරැන්නෝ විශ්වාස කළා.
'නයාට ගහලා පොල්ල වරද්ද ගන්න එපා' කියලා කියමනක් තියෙනවානේ. ඒ කියන්නේ නයා තමන්ට හිරිහැරයක් වුණොත් ඊට සම්බන්ධ අයගෙන් පළි ගන්නවා කියන එක. සමහරුන්ව අපි 'නයා වගේ' කියලා හඳුන්වනවා. ඒ අය පොඩි වරදකට වුණත් පළිගන්නට පෙලැඹෙන අය.

එදා ගමේ වල්බිහිව කැලෑවට ගිය ඉඩම් අද බිම් කොටස්වලට කැඩිලා. වෙන්දේසි වෙලා. ඒ කියන්නේ සර්පයන්ගේ වාස භූමි එයාලට අහිමි වෙලා. ඒ වෙනුවට එදා බව බෝග පිරුණු ගෙවතු අද වල් බිහිවෙලා. මොකද රස්තියාදුකාරයාගේ පරම්පරාවේ උදවියගෙන් බොහෝ දෙනකු අද ගොවිතැන අත් හැරලා. 'මඩ සෝදා ගත්කල ගොවියා රජකමටත් සුදුසුයි' කියන යෙදුම අදට ගැළපෙන්නේ නෑ. ඒ ඡන්ද කාලෙදි ගොවි මහත්තුරු රවටන්න කියන යෙදුමක් වෙලා. රජ වෙනවට වඩා, ඩෙනිමකට ටී ෂර්ට් එකකට බැහැලා රජවරු වගේ ඉන්නයි, අද ගැමි තරුණයෝ කැමති. නගරයේ කන්තෝරුවක කම්හලක මාසික වේතනයකට සේවයට යෑම, කුඹුරට බහිනවට වඩා හොඳ බවයි ඔවුන්ගේ අදහස. තව පැත්තකින් මඩට බහින අයට වැලඳෙන 'මාරාන්තික මී උණ' ගොවින්ව බියපත් කරලා. ඉතින් අද පුරන්ව ගිය කුඹුරු වල් බිහිවුණු ගෙවතු සර්පයන්ගේ වාසස්ථාන බවට පත් වෙලා. ගෙවත්ත වගා කරනවට වඩා වැඩ ඇරිලා එන ගමන් එළවළු දෙසිය පණහක් ගේන එක සනීපයි වගේනේ.

කොහොම නමුත් එදාට වෙනස්ව අද කෙනෙකුට සර්පයකු දෂ්ට කළ විට ප්‍රතිකාර සඳහා ගෙන යන්නේ ළඟම තියෙන රෝහලට. ඒ සර්ප විෂට එන්නතක් ලබා දෙන්න. දැන් නම් බොහෝ විට රෝහලට ගෙනියන අතරමඟදි ලෙඩා මැරිලා. සර්පයෙක් දෂ්ට කළාම ඒ කෙනා සිහි මුර්ඡාවට පත් වෙනවා. එදා වෙද මහත්තුරු ලෙඩාගේ කකුල තුවාල කරලා බෙහෙත් ගල්වලා ගම්මිරිස් කුඩු එහෙම එක්ක නස්නයක් කරනවා. ලෙඩාට යළි සිහි එනවා. රස්තියාදුකාරයාට වෙලාවකට හිතෙනවා මේ මියගියා කියලා මිහිදන් කරන්නේ සිහිමුර්ඡා වුණු අයද කියලා. ඉස්සර නම් රුක්අත්තන ලෑලිවලින් හදපු මිනී පෙට්ටියේ වළලන අය, සර්ප විෂ රුක් අත්තන ලීයට උරා ගෙන නැවැත පණ ලබාගෙන තියෙනවලු. කොහොම නමුත් අද ජීවක කුලයේ වෙද මහත්තුරු හොයා ගන්න එක නිකිණි හොයනවා වගේ වැඩක්.

රස්තියාදුකාරයාගේ ගම අයත් වන්නේ අත්තනගල්ල ආසනයට. ඊට අල්ලපු ගම මොට්ටුන්න. ඒක අයිති මීරිගම ආසනයට. මේ ආසන දෙකේ සීමාව කුඩා ඇළකින් වෙන් වෙන්නේ. ඇළෙන් එගොඩ සොහොන් පිට්ටනිය. මහා ඇටඹ ගහත් එක්ක තියෙන රූස්ස ගස් නිසා දවාලටත් සොහොන් පිට්ටනිය කළුවරයි. මූසල පාළුවක් තියෙන්නේ. පොඩි කාලේ තාත්තත් එක්ක දං කඩන්න, රූනෝ හදන්න රබර් ඇට අහුලන්න බට තුවක්කුවකට බට ලී කපන්න මේ සොහොන් පිටියට රස්තියාදුකාරයා ගිහින් තියෙනවා.

කාලයක් ගමේ සුන්දරත්වය විඳින්න තරම් විවේකයක් රස්තියාදුකාරයාට තිබුණේ නෑ. උදේ රැයින් එයා අකුරු කරන්න ගෙන්දගම් පොළොවට යන්න වේයන්ගොඩින් කෝච්චියට නැඟගන්නවා. ඒත් ගෙන්දගම් පොළොවෙන් එයා ආපහු ගමට වැටෙනවා. මඟහැරුණු කාලය අල්ලන්නත් එක්ක එයා ගමේ සමකාලීන යෞවනයට සෙට් වෙනවා. දවස පුරාම ක්‍රිකට් ගහලා දී ඇල්ලේ ඔයට පැනලා නාගෙන මේ යහළුවෝ අන්ධකාරයට මුවා වෙලා අන්නාසි වතු, කුරුම්බා වතු පාළු කෙරුවා.
හැන්දෑවට රා බෝතල් තුන හතරක් හොයා ගත්තු දවසක, අල්ලපු ගමේ මයියොක්කා ගස් හතර පහක් අතුරුදන් වුණා. ඒත් මේ අන්ධකාරයේ සැරිසරද්දි කාගෙවත් අතක විදුලි පන්දමක් තිබුණේ නෑ. ඒත් පුදුමෙ කියන්නේ සර්පයෙක් දැක්කෙවත්, පෑගුනේවත් දෂ්ට කළේවත් නෑ. අඩු ගාණේ සර්පයන්ව මතකයට ආවේවත් නෑ. සර්පයන්ටත් හිතා ගන්න බැරිව යන්නැති රස්තියාදුකාර ගැටවරයන්ගේ සංගෙට නැති වැඩ.

රස්තියාදුකාරයා හිතින් හැම ලස්සන කෙල්ලකුටම පෙම් කළා. ඒත් ආදර සම්බන්ධයක් ඇති වුණේ කනත්ත බාලිකාවේ කෙල්ලක් එක්ක. ඒ කියන්නේ ගමේ කනත්ත නෙවෙයි. බොරැල්ල කනත්ත. ඒ පාසලේ උසස් පෙළ හදාරද්දි. තමන්ගේ පෙම්වතා රස්තියාදුකාරයකු බව අහගන්න මොන කෙල්ලද කැමැති. ඉතින් එයා රස්තියාදුකාරයාට නිදැල්ලේ රස්තියාදු ගහන්න හැරලා රුසියාවට ගියා වැඩිදුර ඉගෙන ගන්න. ඒ මතක ගෙන්දගම් පොළොවෙම වළ දාලා ඉටි පන්දමක් පත්තු කරලා, රස්තියාදුකාරයා ගමට සම්ප්‍රාප්ත වුණා. මේ දවස්වල එයා කරුණාසේන ජයලත්ගේ නවකතා හරහායි ආදරය දැක්කේ. එයා 'ගොළු හදවතේ' දම්මි එක්ක තරහ වුණේ සුගත්ට තියපු පොල්ල නිසා. සුගත්ට ඇත්තටම ආදරය කරපු මේනකා තමයි ඒ කාලේ රස්තියාදුකාරයාගේ ප්‍රාර්ථනාව වුණේ. ඒත් ගමට ආවම එයා හෙව්වේ 'ගැහැනු ළමයි' පොතේ කුසුම් වගේ කෙල්ලෙක්.

ඉතින් මෙහෙම රස්තියාදුකාරයාත් කුසුම් කෙනකුට බැල්ම දාන්න ගත්තා. කුසුම් කෙල්ලො තුනක් හිටපු පවුලක වැඩිමලා වෙද්දි, මේ කුසුම් කෙල්ලො තුනක මද්දුම දෝනි වෙච්චි. අපි එයාට 'සුදු හාමිනේ' කියමු. දිගු වරලස, රවුම් මුහුණ, මුවැත්තියකගෙ බැල්ම රස්තියාදුකාරයාව පිස්සු වැට්ටුවා. රස්තියාදුකාරයාගේ පාපැදියට රාජකාරි බහුල වුණා. ඇය පාසල් යද්දි, ටියුෂන් පන්ති යද්දි, පෝයට පන්සල් යද්දි රස්තියාදුකාරයාත් අෑ එක්කමයි. සුදු හාමිනේ ගමේ ළිඳ ළඟ නාද්දි රස්තියාදුකාරයාත් බාල්දියක් අරන් එතැන. බැරිම තැන සුදු හාමිනේ රස්තියාදුකාරයාගේ පෙම්වතිය බවට පත් වුණා. එයාලගේ ආදරය ගමේ ළි¼ද ළඟ දෙවැටේ වෙල් එලියේ හොර රහසේ ගලා ගෙන ගියා. හිරිපොද වැස්සේ නැදුන් ගස් හේඩාවේ මලින් පිරුණු සල්ගස යට ගොඩක් සැ¼¼දෑවන්වල ඔවුන් හමු වුණා. හඳ පායපු රැයක මැදි රැයේ ඇගේ කුටියේ කවුළුව ළඟට යන්නට රස්තියාදුකාරයා පසුබට වුණේ නෑ. කවුළුවේ කිතුල් පොලු අතරින් ඇගේ දෙඅත් අල්ලන් ඔවුන් ‍ෙදාඩමළු වුණා. ඇගෙන් සමු ගෙන සොහොන් පිටිය මැදින් ගෙදර එන රස්තියාදුකාරයාට හොල්මන් කරදර කළේ නෑ. සතා සීපාවගෙන් අතුරු අන්තරාවක් වුණෙත් නෑ. ආදරයට සජීවී අජීවී හැම කෙනෙක්ම උදවු කරනවා ඇති.

කාලය ගත වුණා. ගමට විදුලි බලය ලැබුණා. කටු මැටි ගෙවල් උළු ගෙවල් බවට පත්වුණා. පොදු ළිඳ පාළුවට ගියා. ළිඳ ගාව තිබුණු රූස්ස නුග ගහ, තට්ටු ගෙයක පියගැට පෙළක් බවට පරිවර්තනය වුණා. දී ඇල්ලේ ඔයේ නිල් පාට වතුර බොර පාටින් ගලා ගියා. ගමේ අන්නාසි වතු පර්චස් විස්සේ කෑලිවලට කැඩුණා. ගමේ ගුරු පාරවලට කොන්ක්‍රීට් වැටුණා. රස්තියාදුකාරයා සුදු හාමිනේ මුණ ගැසුණු සොහොන් පිටිය අසල දෙවැට වල් බිහිවුණා. රස්තියාදු සමාගමේ සගයන් එක එක්කෙනාට රැකියා ලැබුණා. ඒ හැමෝම තම තමන්ගේ කූඩු හදාගෙන ඒවා තුළට ගාල් වුණා. සුදු හාමිනේ හත්දවසක් මඟුල් කාලා අෑත ගමකට දීග ගියා. රස්තියාදුකාරයා මිල්ටන් මල්ලවාරච්චිගේ විරහ ගී අහන්න ගත්තා. ඊටත් පස්සේ එයා ආදර සැමැරුම් දී ඇල්ලේ ඔයට විසික් කරලා වේයන්ගොඩින් මහව කෝච්චියේ නැඟලා අයෙම කොළඹ ගෙන්දගම් පොළොව පාගන්න ගියා.

'ගැහැනු ළමයි' නවකතාවේ නිමල් හතුරුසිංහ කුසුම්ව අත්හැරලා පද්මිව විවාහ කර ගන්නවා. ඒ නිසා රස්තියාදුකාරයාට ඒ දවස්වල නිමල්ව පේන්න බෑ. ඒත් රස්තියාදුකාරයාගේ ජීවිතයෙනුත් එයාගේ කුසුම් ටිකින් ටික අෑත් වුණා. සුදු හාමිනේ කියන්නේ කුසුම්ගේ සමරූපය නෙවෙයි නේ. ආදරය කියන්නේ තමන්ගේ පෙම්වතිය ඇගේ සියලු දුර්වලතා අඩුපාඩු සියල්ලම සමඟ භාර ගැනීම කියලා රස්තියාදුකාරයා වටහා ගන්නා විට සුදු හාමිනේ දෙදරු මවක්.

කොහෙද යන්නේ කියලා ඇහැව්වම මල්ලේ පොල් කිව්වලු. රස්තියාදුකාරයා කියා ගෙන ආවේ මොනවාද? ඉවර කළේ මොකකින්ද? කමක් නෑ ජීවිතය කියන්නේ වියලා ඉවර වුණු පන් පැදුරක් නෙවෙයි නේ. අසම්පූර්ණ වියමනක් නේ. අනෙක් අතට අනෙක් අයගේ පෙම් සබඳතා පිළිබඳව හැමදාම කතා කරලා තමන් සුද්දෝධන වගේ ඉන්න රස්තියාදුකාරයා කැමැති නෑ. කොහොම හරි නයෙක්ගෙන් පටන් අරගෙන හීන් සීරුවේ රස්තියාදුකාරයා පට්ට නයෙක් අතඇරිලා කියලා නම් හිතන්න එපා.

කෙනෙක් කැමැති වුණත් අකැමැති වුණත් එයාට අතීතයක් තියෙනවා. මේ අතීතය ලේඛන ගතවෙද්දි ඒකට ඉතිහාසය කියලා නමක් වැටෙනවා. ඒත් කීයෙන් කී දෙනාගේ ජීවිත ද ඉතිහාස ගත වෙන්නේ? ආපහු ඉතිහාසය කියන්නෙත් බොහෝ විට ලේඛනගත කරන්නාගේ අභිරුචිය මත ගොඩ නැඟෙන්නක්. ඉතින් අපි මහා ලොකුවට කතා කරන දෙදහස් පන්සිය වසරක උරුමය කියන්නෙම ආයිත් ප්‍රබන්ධයක්ම තමයි.
එච්චර දුරට යන්න ඕන නෑ. තමන්ගේම එදිනෙදා ජීවිතය දිහා පොඩ්ඩක් නැවතිලා බලන්න. අපේ ජීවිතයේ යථාර්ථය කියලා අපි දකින්නෙම ආයිම ප්‍රබන්ධයක් විතරයි. අපි ඒ ප්‍රබන්ධයේ ප්‍රබන්ධිත චරිත විතරයි.